හෙල්මට් කම්හලේ ගින්නෙන් කම්කරුවන් 5 දෙනෙක් මිය යති

[මෙය 5 workers killed in helmet factory fire in Sri Lanka යන මැයෙන් 2026 ජූලි 25 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

කොලඹ සිට කිලෝමීටර් 25 ක් පමන ගිනිකොන දෙසින් පිහිටි, හෝමාගම කටුවන කාර්මික කලාපයේ නිමාටෝ හෙල්මට් කම්හලේ ජූලි 21 වන දින ඇති වූ ගින්නකින් කම්කරුවන් පස් දෙනෙක් මිය ගොස් ඇත.

මෙම ඛේදවාචකය ශ්‍රී ලංකාවේ අති බිහිසුනු කාර්මික ව්‍යසනයන්ගෙන් එකකි. එය අහඹු අනතුරක් නොව, මූලික ආරක්ෂක පියවර නොසලකා හරින ලද කර්මාන්තශාලාවල වැඩ කිරීමට මිනිසුන්ට බල කෙරුනු, ලාභය මත පදනම් වූ ක්‍රමයක ප්‍රතිඵලයකි.

ගිනිගෙන දැවෙන කටුවන හෙල්මට් කම්හල [Photo: WSWS]

ගින්න හටගෙන ඇත්තේ අඟහරුවාදා උදෑසන 9.45 ට පමන ය. කර්මාන්ත ශාලාව තුල පීවීසී, පොලිස්ටයිරින් ෆෝම් සහ ඉක්මනින් දහනය වන තවත් ද්‍රව්‍ය විශාල ප්‍රමානයක් ගබඩා කර තිබී ඇති අතර, එමඟින්, මිනිත්තු කිහිපයක් ඇතුලත, තෙමහල් ගොඩනැගිල්ල මුලුමනින් ම ගින්නෙන් වැසී ගිය බව පසු ව බලධාරීන් සොයාගන්නා ලදී.

ගින්න ආරම්භ වන විට සේවකයින් 80 කට වැඩි පිරිසක් රාජකාරියේ යෙදී සිට ඇති අතර, බොහෝ දෙනෙක් සිටියේ උදෑසන ආහාර විවේකයේ ය. ඔවුන් සියලු දෙනා ම තම තමන්ගේ සේවා ස්ථානවල සිටියා නම්, මරන සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි වීමට ඉඩ තිබුනි.

මූලික පොලිස් පරීක්ෂනවලින් පෙනී ගියේ, තීන්ත තිනර් භාජනයක් මතට විදුලි පංකාවක් වැටීමෙන් පසු විදුලිය කාන්දු වන්නට ඇති බවයි. සිරවී සිටින තම සගයින් උදව් ඉල්ලා කෑ ගසන විට, සේවකයින් ගිනි නිවන උපකරන භාවිතයෙන් ගින්න නිවා දැමීමට උත්සාහ කලහ. නමුත්, ඝන දුමාරයෙන් සහ දැඩි තාපයෙන් ගොඩනැගිල්ල පිරී ගිය විට, තුන්වන මහලේ සිර වී සිටි අයට ගැලවීමක් නොමැති විය.

ගින්න නිවා දැමීමට පෙරමුන ගත් අය අතර නිෂ්පාදන අධීක්ෂකවරයෙකු වන 54 හැවිරිදි මාරියෝ එඩ්වඩ් ද විය. ඔහු බිම් මහලෙන් ගිනි නිවන උපකරනයක් රැගෙන නැවත උඩුමහලට දිව යද්දී ගින්නට හසු ව මිය ගියේ ය.

මිය ගිය අනෙක් සිව් දෙනා, කෘෂිකාර්මික ප්‍රදේශවලින් රැකියා සොයා නගරයට සංක්‍රමනය වූ දුප්පත් තරුන කම්කරුවෝ ය. දෙදෙනෙකුට වයස අවුරුදු 19 ක් වූ අතර අනෙක් දෙදෙනාට වයස අවුරුදු 24 කි. මාධ්‍ය වාර්තාවලට අනුව ඔවුහු දිලිප් ඩිලංක, පහන් උදාර, සචින් ඩිල්ෂාන් සහ ඩී. දමයන්ති වෙති.

මල සිරුරු හඳුනාගත නොහැකි තරමට පිලිස්සී තිබුනි. අනන්‍යතාව තහවුරු කර ගැනීමට ඩීඑන්ඒ පරීක්ෂන අවශ්‍ය විය.

නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ කිඹුල් කඳුලු හෙලමින්, වින්දිතයින්ගේ පවුල්වලට තම “ගැඹුරු ත ම ශෝකය” පල කල අතර මේ සම්බන්ධයෙන් “පුලුල් පරීක්ෂනයක්” සිදු කිරීමට පොරොන්දු විය. ඒ හා සමාන, කෙලවරක් නැති අනෙකුත් විමර්ශන මෙන්, මෙය ද ව්‍යසනයේ සැබෑ හේතු වසන් කිරීමට සහ සමාගම් කලමනාකාරිත්වය ආරක්ෂා කිරීමට පමනක් උපකාරී වනු ඇත.

සමාගමට එරෙහි ව සංකේතමය දඩයක් (token fine) හෝ පනවනු ඇතැයි සිතිය නොහැකි ය. ජනතා විමුක්ති පෙරමුන ප්‍රමුඛ ජාතික ජනතා බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, මෙයට කර්මාන්තශාලා හිමියන් වගකිව යුතු බවට ප්‍රකාශ කිරීමෙන් ආයෝජකයින්ගේ “විශ්වාසය” අඩපන නොකිරීමට අධිෂ්ඨාන කරගෙන සිටී.

ශ්‍රී ලංකාවේ අනෙකුත් බොහෝ නිදහස් වෙලඳ කලාප සහ කාර්මික වතු මෙන්, හෙල්මට් කර්මාන්ත ශාලාව ද මර උගුලක් බව දැනටමත් පැහැදිලි ය. 2010 පමන සිට කර්මාන්ත ශාලාව ක්‍රියාත්මක වූයේ තට්ටු තුනක ගොඩනැගිල්ලක වන අතර එමඟින් විශාල ශ්‍රම බලකායක් තදබද වූ වපසරියක කොටුකර තබන ලදී. බිම් මහලේ බර යන්ත්‍රෝපකරන සවිකර තිබුනි; පින්තාරු කිරීමේ අංශය දෙවැනි මහලේ පවත්වා ගෙන ගිය අතර තෙවන මහල, පොලිස්ටිරින් ෆෝම් සහ ක්ෂනිකව දහනය වන අනෙකුත් ද්‍රව්‍ය සමඟ හෙල්මට් එකලස් කිරීම සඳහා භාවිතා කරන ලදී.

දහනය වන රසායනික ද්‍රව්‍ය සහ අනෙකුත් ද්‍රව්‍ය මගින් ඇවිලුනු ගින්න ගොඩනැගිල්ල පුරා වේගයෙන් පැතිර ගියේය. ප්‍රධාන දොරටුව හරහා ඇතුලු වූ වාතය, ගින්න තවත් උග්‍ර කලේය. ගොඩනැගිල්ලේ වානේ රාමුව කඩා වැටීම හේතුවෙන් හදිසි පිටවීම් අවහිර වූ අතර හදිසි අවස්ථාවලදී පාවිච්චි කිරීමට තිබෙන බාහිර පඩිපෙල ව්‍යුහයෙන් ගැල වී වෙන් වූ බැවින්, තුන්වන මහලේ සේවකයෝ කොටු වූහ.

2024 න් පසු නිමාටෝ කම්හල එහි පරිසර ආරක්ෂන බලපත්‍රය අලුත් කිරීමට අපොහොසත් වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සොයා ගත් බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එය අනිවාර්ය ශබ්ද සහ වායු තත්ත්ව තක්සේරුවක් හෝ අපද්‍රව්‍ය කලමනාකරන වාර්තාවක් ඉදිරිපත් කර නොතිබුනි. කර්මාන්ත ශාලාව තුල භාවිතා කිරීම සඳහා, පිලිස්සුනු විට විෂ සහිත සංයෝග නිකුත් කරන පීවීසී සහ රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමානයක් ගබඩා කර තිබුනි.

ඊටත් වඩා භයානක දෙය නම්, හදිසි ගින්නක් හෝ වෙනත් කාර්මික ව්‍යසනයකට මුහුන දීම සඳහා කර්මාන්ත ශාලාවට හදිසි ප්‍රතිචාර සැලැස්මක් තිබී නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් තහවුරු කිරීමයි. මෙම උල්ලංඝනයන් නිවැරදි කරන ලෙස නිලධාරීන් නැවත නැවතත්—මෑතක දී, ජූලි 2 වන දින පවා—කලමනාකාරිත්වයට උපදෙස් දී ඇත; නමුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. කර්මාන්ත ශාලාවේ ආරක්ෂාව තහවුරු කරන තෙක් නිෂ්පාදනය නතර නොකල මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීහු, කම්කරුවන් මුහුන දෙන අනතුරු පිලිබඳ ඔවුන්ට අනතුරු ඇඟවූයේ නැත.

මෙම ඛේදවාචකය නිල නොසලකා හැරීමේ තවත් කැපී පෙනෙන උදාහරනයක් හෙලිදරව් කර තිබේ. කටුවන කාර්මික කලාපයේ කම්කරුවන් 2,000 ක් පමන සහ අසල පිහිටි ටෙම්පල්බර්ග් කාර්මික වතුයායේ ක්‍රියාත්මක වන සමාගම් 34 ක දහස් ගනනක් සේවයේ යොදවා තිබුන ද, කාර්මික කලාපය තුල හෝ 237,000 කට අධික ජනතාවක් වෙසෙන හෝමාගම ප්‍රදේශය තුල ගිනි නිවන ස්ථානයක් නොමැත.

කටුවන හෙල්මට් කම්හලේ සිටින ගිනි නිවන භටයින් [Photo: WSWS]

ගිනි නිවන හමුදාව ක්‍රියාත්මක වන ලඟම ස්ථානය පිහිටා ඇත්තේ, කිලෝමීටර් 15 ක් පමන දුරින් පිහිටි කෝට්ටේ මහ නගර සභාවේ ය. ගිනි නිවන රථ එම ස්ථානයට ලඟා වීමට පැයකට ආසන්න කාලයක් ගත වූ අතර, ඒ වන විට ගින්න කර්මාන්ත ශාලාව පුරා පැතිර ගොස් තිබූ බැවින්, සිර වී සිටි සේවකයින්ට දිවි ගලවා ගැනීමට ඇති ඉඩකඩ ඉතා අඩු විය.

ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා පරීක්ෂන පද්ධතිය තුල භයානක ලෙස කාර්ය මන්ඩල හිඟයක් පවතී. 2019 ජනවාරි මාසයේදී සන්ඩේ ටයිම්ස් වාර්තා කලේ, කර්මාන්තශාලා ආඥා පනත ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු කාර්මික ආරක්ෂන අංශය සේවයේ යොදවා ඇත්තේ, සුදුසුකම් ලත් කර්මාන්තශාලා පරීක්ෂන ඉංජිනේරුවන් 25 දෙනෙකු පමනක් බවයි. ශ්‍රී ලංකාව පුරා කර්මාන්තශාලා 30,000 කට ආසන්න ප්‍රමානයක් අධීක්ෂනය කිරීම සඳහා ඉංජිනේරුවන් 100 ක් පමන අවශ්‍ය වන බවට කම්කරු නිලධාරීන් ගනන් බලා තිබේ.

කොලඹ ගිනි නිවන සේවයේ ගිනි ආරක්ෂන පරීක්ෂන සඳහා කැපවූ කාර්ය මන්ඩලය ලෙස සිටින්නේ 10 දෙනෙකු පමනක් බවත්, ඔවුන්ට පරීක්ෂා කිරීමට බලය ඇත්තේ, අගනුවර ගොඩනැගිලිවලින් සියයට 20 ක් පමනක් බවත් සන්ඩේ ටයිම්ස් වාර්තා කලේ ය.

හෝමාගම ඛේදවාචකය කාර්මික මරන මාලාවක නව ත ම සිදුවීමයි. 2025 නොවැම්බර් මාසයේ දී, සතියක් ඇතුලත, වෙන වෙනස් සේවා ස්ථානවල අනතුරු වලින් කම්කරුවන් දෙ දෙනෙක් මිය ගියහ: රබර් සැකසුම් කම්හලක දශක ගනනාවක් පැරනි යන්ත්‍රයක් පුපුරා යාමෙන් රජිනිකාන්ත් මිය ගිය අතර, ක්‍රිෂ්නන් විජයකුමාර් අනිවාර්ය ආරක්ෂන පද්ධතියක් නොතිබූ තේ සැකසුම් යන්ත්‍රයකට ඇදී මරනයට පත් විය.‍

2025 අගෝස්තු මාසයේ දී කොලඹ වරාය ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය තුල සහ මාකොල කර්මාන්ත ශාලාවක සේවකයින් දෙ දෙනෙක් මිය ගියහ. වින්දිතයින්ගේ පවුල්වලට ප්‍රමානවත් වන්දි ලැබුනු බවට හෝ සමාගම් හිමිකරුවන් එයට වග කී බවට වාර්තා නොමැත.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව, ශ්‍රී ලංකාවේ සෑම වසරක ම, මාරක සේවා ස්ථාන අනතුරුවලින් 60 ත් 80 ත් අතර ප්‍රමානයක් වාර්තා කරන අතර මාරාන්තික නොවන අනතුරු 2,000 ක් පමන වාර්තා වේ—මෙම සංඛ්‍යාලේඛන, කාර්මික මරන හා තුවාලවල සැබෑ පරිමානය නිසැක ව ම අවතක්සේරු කරයි.

ජාත්‍යන්තර ව ද එම රටාව ම පුනරාවර්තනය වේ.

  • 2026 ජූලි 12 වන දින, බැංකොක්හි තැබෑරුමක ඇති වූ ගින්නකින්, පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් දුසිම් ගනනක් තුවාල ලැබූහ.

  • 2026 මාර්තු මාසයේ දී, දකුනු කොරියාවේ ඩේජියොන් හි වාහන අමතර කොටස් කම්හලක සේවකයින් 14 දෙනෙක් පිලිස්සී ගියහ. එහි නැවත නැවතත් ගිනි ගැනීම් හටගත් අතර හදිසි සේවා ඇමතූ සේවකයින්ට දඬුවම් කරන ලදී.

  • 2025 ඔක්තෝබර් මාසයේ දී, ඇමරිකා එක්සත් ජනපදයේ ටෙනසි හි යුධෝපකරන කම්හලක සිදු වූ පිපිරීමකින් කම්කරුවන් 16 දෙනෙකු මිය ගිය අතර, බංග්ලාදේශයේ ඩකාහි ඇඟලුම් කම්හලක පුද්ගලයින් 16 දෙනෙක් පිලිස්සී මිය ගියහ.

මෙම සියලු ඛේදවාචකවලට හේතුව ආරක්ෂක රෙගුලාසි ලිහිල් වීම සහ රජයේ නිලධාරීන් ඒවා බලාත්මක කිරීමේ ඌනතා වේ.

ශ්‍රී ලංකාවේ ජවිපෙ/ජාජබ ආන්ඩුව කම්කරු නීති විශාල වශයෙන් සංශෝධනය කිරීමට සූදානම් වෙමින් සිටින අතර, එමඟින් සූරා කෑමට ලක්වන සහ භයානක සේවා කොන්දේසි වලට විරුද්ධ වීමට කම්කරුවන්ට ඇති හැකියාව තව දුරටත් සීමා කරනු ඇත. එහි යෝජිත “ප්‍රතිසංස්කරන” අතරට, නීතිමය පිලිගැනීමක් ලබා ගැනීම සඳහා වෘත්තීය සමිතිවලට අවම වශයෙන් සාමාජිකයින් 100 ක් සිටිය යුතු බව සහ ඕනෑ ම කාර්මික ක්‍රියාමාර්ගයකට පෙර අනිවාර්ය රහස් ඡන්ද විමසීම් ඇතුලත් වේ. එය රැකියා සුරක්ෂිතභාවයට සහ වැඩ වර්ජනය කිරීමේ අයිතියට පහර දෙන කම්කරු නීති හතරක් (labour codes) මගින් නීති 29 ක් ප්‍රතිස්ථාපනය කර ඇති ඉන්දීය ආන්ඩුවේ පියවර අනුගමනය කිරීමකි.

කටුවන ගින්න “අනතුරක්” නොව කාර්මික සමූහ ඝාතනයකි—මිනිස් ජීවිතය ලාභය සඳහා වන නොනවතින ධාවනයට යටත් කරන ධනේශ්වර පද්ධතියක නිෂ්පාදනයකි. ආරක්ෂක පියවර නොසලකා හරිනු ලද අතර බලාත්මක නොකෙරේ; මන්ද, කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා වැය කරන සෑම රුපියලක් ම අඩු වන්නේ සමස්ත ලාභයෙන් බැවිනි. කිසිදු නියාමන වෙනසක් හෝ ධනේශ්වර පන්තියේ හෘද සාක්ෂියට කරන මොන ම හෝ ආයාචනයක් ඝාතනය නතර නොකරනු ඇත.

සමාගම්වල සහ රාජ්‍යයේ ආයතන ලෙස ක්‍රියා කරන වෘත්තීය සමිති, සේවා ස්ථානවල ආරක්ෂාව අඩු කිරීමට එරෙහි ව කම්කරුවන් අතර පැවති විරෝධය මර්දනය කර ඇත.

තමන්ගේ ආරක්ෂාව සහ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා, කම්කරුවන්ට, තමන් විසින් ම පාලනය කරන නව සංවිධාන, හදිසි අවශ්‍යතාවයක් බවට පත් ව ඇත: සමාගම්-හිතවාදී වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීන ව, සෑම සේවා ස්ථානයක ම කම්කරු ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කල යුතු ය. රැකියා සහ වැටුප් ආරක්ෂා කිරීමට සටන් කරන අතර ම, කර්මාන්තශාලා අනාරක්ෂිත වන විට මෙම කමිටු නිෂ්පාදනය නතර කල යුතු ය. සියලු ම ආරක්ෂක දත්ත සම්පූර්නයෙන් හෙලිදරව් කරන ලෙස ඉල්ලා සිටීමට සහ මරන සහ තුවාල සඳහා වගකිව යුතු අය නීතිය හමුවට පමුනුවන ලෙස ඉල්ලා සිටීමට ඒවා කම්කරුවන් බලමුලු ගැන්විය යුතු ය.

ධනවාදයට එරෙහි ව සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ දී ජාත්‍යන්තර ව කම්කරුවන් බලමුලු ගැන්වීමට සටන් වදින කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් හරහා, ශ්‍රී ලංකාවේ කම්කරුවන් තම අරගල ඉන්දියාවේ සහ අනෙකුත් රටවල කම්කරුවන් සමඟ සම්බන්ධ කල යුතු ය.

Loading