“….එක් ධ්‍රැවයක ධනය සමුච්චය වීම යනු, ඒ සමඟම, ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයේ, එනම්, ප්‍රාග්ධනයේ ස්වරූපයෙන් තමන්ගේ ම නිෂ්පාදනය නිපදවන පන්තියේ පැත්තේ, දුක්ඛිතභාවය, ශ්‍රම වහල්භාවයේ වේදනාව, නොදැනුවත්කම, කෲරත්වය, මානසික පරිහානිය සමුච්චය වීමකි.”
-මාක්ස්, දාස් කැපිටාල්
කාල් මාක්ස්ගේ මෙම පැහැදිලිකිරීම්වල සමකාලීන අදාලත්වය පෙන්නුම් කරමින්, මිලියන සංඛ්‍යාත ජනයා දිනෙන් දින අන්ත දරිද්‍රතාවටත් කාලකන්නිභාවයටත් ඇද වැටෙමින් තිබිය දී, ලංකාවේ යෝධ සමාගම් රුපියල් බිලියන ගනනින් දැවැන්ත ලාභ කඳු ගසා ගන්නා ආකාරය ධනපති පුවත්පත් පිටු පුරා මේ දිනවල පල කෙරමින් තිබේ.
2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වන මූල්‍ය වර්ෂය සහ 2026 පලමු කාර්තුව සඳහා ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගම් සහ කොම්පැනි තමන්ගේ ලාභ ඉහල යාම පිලිබඳ මෙ ලෙස උදම් අනද්දී, මැයි මාසයේ නිකුත් වූ වෙනත් වාර්තාවකින් හෙලිදරවු කෙරුනේ පවුල් මිලියන 1.6 ක් දරිද්‍රතාවයට ඇද වැටී ඇති බවයි. 2025 ලෝක බැංකු සමීක්ෂනයට අනුව රටේ දරිද්‍රතාව සියයට 22කට ආසන්න තත්වයේත්, තවත් සියයට 10ක් දරිද්‍රතා රේඛාවට ආසන්නයෙන් ජීවත්වූහ.
සාමාන්‍ය මහජනයාගේ ජීවන තත්වයන්හි තියුනු කඩා වැටීම පෙන්නුම් කරමින්, 2019 දී රුපියල් 6,966 ක් වූ නිල දරිද්‍රතා රේඛාව, 2026 මැයි මාසයේ දී රුපියල් 17,117 දක්වා, දෙගුනයකටත් වඩා වැඩි ප්‍රමානයකින් ඉහල ගොස් ඇත. ලෝක ආහාර සංවිධානයේ වාර්තා වලට අනුව 2024 දෙසැම්බර් වන විට පවුල් වලින් සියයට 38 කට වියදම් ඉහල යාම නිසා තමන්ගේ ආහාර රටාවන් වෙනස් කර ගැනීමට සිදු ව ඇත. මාස 5 ත් අවුරුදු 5 ත් අතර ලමුන්ගෙන් සියයට දොලහක් දුෂ්පෝශන තත්වයන්ට මුහුන දෙති. විරැකියාව ඉහල යමින් පවතී.
මේ සියල්ල මැද්දෑවේ දී, ඉහල ලාභ වාර්තා කරගත් සමාගම් කිහිපයක් පහත දැක්වේ.
- විශාලත ම විවිධාංගීකරනය වූ සමූහ ව්‍යාපාරයක් වන හේලීස් සංගතයේ, 2026 මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය කාර්තුවේදී ලාභ සියයට 4 කින් රුපියල් බිලියන 38.4 දක්වා වර්ධනය කරගෙන ඇත. එම මාස කිහිපයේදී ඒකාබද්ධ ආදායම පසුගිය වර්ෂයේ එම කාර්තුවට සාපේක්ෂ ව සියයට 19කින් රුපියල් බිලියන 585.02 දක්වා ඉහල නංවා ගෙන ඇත.
- ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම 2026 මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය කාර්තුවේ දී ලාභ සියයට 218 කින් රුපියල් බිලියන 6.31 දක්වා වර්ධනය කර ගෙන ඇත. එම මාස කිහිපයේ දී ඒකාබද්ධ ආදායම පසුගිය වර්ෂයේ එම කාර්තුවට සාපේක්ෂ ව සියයට 62 කින් රුපියල් බිලියන 89.5 සිට රුපියල් බිලියන 144.8 දක්වා ඉහල නංවා ගෙන ඇත.
- වාහන ආනයනය කරන යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී අවසන මූල්‍ය වර්ෂයේ දී ඒකාබද්ධ ආදායම රුපියල් බිලියන 52.36 ක ආදයමක් වාර්තා කලේ ය. එය පසුගිය වසරේ ආදායමට සාපේක්ෂ ව සියයට 345 ක වර්ධනයක් වන අතර රුපියල් බිලියන 40.58ක ඉහල නැග්මකි. එහි ලාභ සම්බන්ධයෙන් සැලකූ කල පසුගිය වසරට සාපේක්ෂ ව බිලියන 3.54 ක නැග්මක් සටහන් කරමින් සියයට 4.8කින් ඉහල ගියේ ය.
- සීඅයිසී හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගමේ දල ලාභය පසුගිය මූල්‍ය වර්ෂයට සාපේක්ෂ ව සියයට 8.39 කින් බිලියන 24.09 දක්වා ඉහල ගියේ ය. බදු වලින් පසු ලාභය සියයට 24.5 කින් ඉහල ගොස් ඇත. සමාගමේ සෞඛ්‍ය සහ පුද්ගලික රැකවරන ක්ශේත්‍රයේ ලාභ සියයට 33.65 කින් ඉහල ගොස් ඇත.
- සිංගර් ශ්‍රී ලංකා මාර්තුවලින් අවසන් වූ කාර්තුවේ දී දල ලාභය රුපියල් බිලියන 11.8 දක්වා සියයට 56 කින් ඉහල නංවා ගත්තේ ය.
- සුපිරි වෙලඳසැලවල් අයත් කාගිල්ස් සිලෝන් පීඑල්සී 2026 මුල් මාස තුන තුල රුපියල් බිලියන 2.63 ක ලාභයක් වාර්තා කලේ ය. එය පසුගිය වසරේ මෙම කාර්තුවට සාපේක්ශ ව සියයට 31 ක ඉහල යාමකි. මාර්තු 31 න් අවසන් වූ සමස්ත මූල්‍ය වර්ෂයේ දී සමාගමේ ලාභ පසුගිය වර්ෂයට සාපේක්ෂ ව බිලියන 3කින් ඉහල නංවා ගනිමින් රුපියල් බිලියන 10.61 දක්වා වර්ධනය වී ඇත.
- එල්ඕඑල්සී ෆයිනෑන්ස් ගත වූ මූල්‍ය වර්ෂයේ දී බදු වලින් පසු ලාභය ලෙස බිලියන 27.4 ක් වාර්තා කලේ ය. එය පසුගිය වසරට සාපේක්ෂ ව සියයට 7කින් ඉහල යාමකි.
- සන්නිවේදන ක්ශේත්‍රයේ දැවැන්තයෙක් වන ඩයලොග් (Axiata, PCL) වාර්තා වලට අනුව, 2026 පලමු කාර්තුවේ ශුද්ධ ලාභය පසුගිය වසරට සාපේක්ෂ ව දෙගුන වී රුපියල් බිලියන 9.6 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 29) දක්වා ඉහල ගොස් ඇත.
- ජැට් හෝල්ඩින්ග්ස් 25/26 වර්ෂයේ දී වාර්තාගත ඉහල ම ආදායම වාර්තා කල අතර, එය පසුගිය වසරට සාපේක්ෂ ව සියයට නමයක් වර්ධනයක් සටහන් කරමින් බිලියන 12.6ක ලාභ වාර්තා කලේ ය. එය දල ලාභය සියයට 21 කින් බිලියන 4.8 දක්වා ඉහල නංවා ගත්තේ ය.
උක්ත සමාගම් ලැයිස්තුව නිරීක්ෂනය කරන විට, තීරනාත්මක ව පැහැදිලිවන කාරනයක් වන්නේ, මහජනතාවගේ දෛනික ජීවිතය කෙරෙහි තීරනාත්මක බලපෑමක් ඇති කරන ප්‍රවාහනය, ආහාර, සන්නිවේදනය යන ක්ශේත්‍ර වල ආධිපත්‍යය දරන සමාගම් මෙලෙස දැවැන්ත ලාභ උකහා ගෙන ඇති බවයි.
සැලකිය යුතු කාරනය වන්නේ මෙම දැවැන්ත සමාජ ද්‍රැවාන්තගතවීම පිලිබඳ වාර්තා එමින් ඇත්තේ, ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජනබලවේය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) ඇන වූ රුදුරු කප්පාදු මුලුමනින් ම ක්‍රියාවට දමමින් පවතින තත්වයක වීම ය. කාරනය පැහැදිලි ය: අයිඑම්එෆ් නියෝග ප්‍රකාර බදු ඉහල දැමීම්, අත්‍යවශ්‍ය භාන්ඩ වල මිල ඉහල දැමීම, සුබසාධන කපා හැරීම, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය සහ ප්‍රතිව්‍යූහගතකරනය, ආයෝජකයන් ආකර්ශනය කිරීමේ නාමය යටතේ ධනපතියන්ට ලබා දෙන සහන යනාදිය දසලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනයා හා දුප්පතුන්ගේ වියදමින්, සංගත ප්‍රභූවේ ලාභ ඉහල නැගීමට අවශ්‍ය කොන්දේසි නිර්මානය කර ඇති බවයි.
මෙලෙස ප්‍රධාන පෙලේ සමාගම් සුවපහසු ලෙස දැවැන්ත ලාභ පොදි ගසා ගන්නා අතරේ, “බාහිර කම්පන” හමුවේ ආර්ථිකය නොසැලී පවත්වා ගැනීම සඳහා මහජනතාව කැප විය යුතු බවට ආන්ඩුවේ පටන් ධනපති මාධ්‍ය සහ ශාස්ත්‍රාලිකයෝ දක්වා සංස්ථාපිතයේ සියලු කොටස් උද්ඝෝශනය කරමින් සිටී. පසුගිය මැයි මාසයේ දී දිසානායක මහජනතාවට නියෝග කලේ ලංකාව “දශක ගනනාවක් පුරා ආර්ථික යුද්ධයක ගිලී සිටින” හෙයින් ඒ යුද්ධය ජය ගැනීමට කැප විය යුතු බවයි. මෙම සියලු තර්ක වල එල්ලය වී ඇත්තේ මහජනයාට තවත් කැප කිරීම් කරන ලෙස නියෝග කරමින් මහා සමාගම් තව දුරටත් පොහොසත් කිරීමයි.
ඒ යටතේ ගත වූ මැයි මාසයේ දී උද්ධමනය 2024 පෙබරවාරි පටන් ඉහල ම අගය වාර්තා කලේ ය. කොලඹ පාරිභෝගික දර්ශකයට අනුව මැයි මාසයේ උද්ධමනය සියයට 5.5 කි. ආන්ඩුව අයිඑම්එෆ් නියෝග යටතේ 2026 පෙබරවාරි මාසයේ පටන් ගෑස්, විදුලිය සහ තෙල් ඇතුලු බලශක්ති ප්‍රභවයන් ඒවා නිෂ්පාදනය කිරීම සඳහා යන පිරිවැය මහජනතාවගෙන් අයකර ගන්නා තත්වය යටතේ ඒවායේ මිල සැලකිය යුතු පරිමානයකින් ඉහල ගොස් ඇත. මහ බැංකුව දේශීය ආර්ථිකය ස්ථාවර කිරීමේ නාමය යටතේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 1කින් එම මාසයේ දී ම ඉහල දැම්මේ ය. රාජ්‍ය සේවය ප්‍රතිව්‍යූහගතකරනය කිරීම ඇතුලු තවත් ප්‍රහාර ආන්ඩුව අඛන්ඩ ව ක්‍රියාවේ යොදවමින් සිටී.
ආන්ඩුව එක පැත්තකින් අයිඑම්එෆ් කප්පාදු ක්‍රියාවට දමන අතරේ අනෙක් පැත්තේ ඉරාන යුද්ධයත් සමග අහස උසට නැගුනු තෙල් මිල, පොහොර මිලෙහි බර කෙලින් ම මහජනයා මත පටවා ඇත. ආන්ඩුව මෙම සියලු හෙන ප්‍රහාර කඩාපාත් කරමින් ඇත්තේ, හයසීයකට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි කරමින් ද, මිලියන 2කට වැඩි පිරිසකට බලපෑම් ඇති කරමින් ද වැව් අමුනු, මහාමාර්ග පද්ධති, වගාබිම් ඇතුලු යටිතල ව්‍යුහයට ඩොලර් බිලියන 7-8ක් අතර අලාභයක් සිදු කරමින් 2025 නොවැම්බර් මාසයේ දී ලංකාව මත දැවැන්ත ව්‍යසනයක් ජනිත කල දිත්වා සුලි කුනාටුවෙන් අපරිමිත ව බැටකමින් සිටින ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මත ය.
මහජනයාගේ දුක්ඛිත තත්වය ගැන අබමල් රේනුවක හැගීමක් නැති, අයිඑම්එෆ් ආයතනයේ දේශීය නියෝජිතයන් ලෙස ජනාධිපති දිසානායක ඇතුලු ජවිපෙ/ජාජබ නායකයෝ තම ආන්ඩුව යටතේ- විදෙස් සංචිත ඩොලර් බිලියන 7කට ආසන්න ව තිබීම ඇතුලු ඊනියා ආර්ථික ස්ථාවරත්වයක් අත් කරගෙන තිබීම පිලිබඳව උජාරු කතා දොඩමින් සිටිති.
සැබෑ කාරනාව නම් මෙම මුදල් ඒකරාශී කරගෙන ඇත්තේ උක්ත සඳහන් කල ආකාරයට අතලොස්සක් ධනපතියන්ට ලාභත්, බහුතරයක් මහජනයාට නිමක් නැති ප්‍රහාර එල්ල කිරීමත් හරහා ය.
මෙම ප්‍රහාරවල මූලික එකක් වන්නේ වැඩකරන ජනයා ඇතුලු පීඩිත ජනයා මත පටවමින් ඇති කොඳු කඩන බදු ක්‍රමයයි. 2021 සහ 2024 අතර කාලය තුල ආන්ඩුව වැට් බද්ද සියයට 8 සිට 20 දක්වා වැඩි කල, අතර ආහාර ද්‍රව්‍ය සහ පාසල් ලිපි ද්‍රව්‍ය වැනි නිෂ්පාදන ද වැට් බද්ද එක් කලේ ය. ධනපති පන්තියට බලපාන සෘජු බදු බොහෝ සෙයින් සීමා කොට ලංකාවේ ආන්ඩු වැට් වැනි වක්‍ර බදු මත වාරු වී ඇති අතර එය දුප්පතුන්ට අසමානුපාතික ව බරක් පටවමින් සිටී. සෘජු බදු 1977 දී බදු ආදායමෙන් සියයට 33 ක් වූ නමුත් 1980 සහ 2018 අතර එහි සාමාන්‍යය සියයට 19 ක් පමනකි. ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිසංස්කරන පිලිබඳ 2024 ලෝක බැංකු සමාලෝචනයකින් හෙලි කෙරුනේ 2022 පටන් කල වැට් බදු වෙනස්කම් දරිද්‍රතාවය සියයට 3.9කින් ඉහල යාමට දායක වන බවයි.
මහජනයා මත මේ ආකාරයෙන් බර පටවද්දී සංගත බදු රේට්ටුව සියයට 15-30ත් අතර අඩු අගයක පවතින අතර මහා සමාගම් ධනය හැංගීම ආදී කාරනාවන් මගින් බංදු වංචා සිදු කරමින් ධනය ඉහල නංවා ගනී. ටැක්ස් ජස්ටිස් නෙට්වර්ක් ආයතනයට අනුව, බහුජාතික සමාගම් විසින් සිදු කරන විදේශයන්හි බදු අපයෝජනය හේතුවෙන් වාර්ෂික ව ඩොලර් මිලියන 413 ක ආදායමක් අහිමි වේ. මහජනයා සැබෑ ප්‍රශ්නවලින් වෙනතක හැරවීම සඳහා විරුද්ධ පක්ෂවල තනි තනි දූෂිත දේශපාලකයන්ට චෝදනා කරන ජවිපෙ/ජාජබ, මෙ ලෙස යෝධ පරිමානයෙන් බදු පැහැර හරින සමාගම් හා ධනපතියන් කෙරෙහි කටක් හොල්ලන්නේ නැත.
මෙම තත්වය දැවැන්ත සමාජ අසමානතාවයක් නිර්මානය කර ඇත. 1985 දී ජනගහනයෙන් දුප්පත් ම සියයට පනහ උපයාගත් ආදායම පෙර බදු දේශීය ආදායමෙන් සියයට 18.4ට වූ අතර, ඉහල ම සියයට එක මුලු ආදායමෙන් සියයට 14.5ක් උපයා ගත්තේ ය. 2002 වන විට ආදායමෙන් සියයට 20 ක් ඉහල ම සියයට එක අත්පත් කරගත්තේ ය. 2023 වාර්තා වලට අනුව ඉහල ම සියයට එක දේශීය ආදායමෙන් ¼ එනම් සියයට 20.1 අත්පත් කරගෙන ඇති අතර පහල ම සියයට 50 සතු වන්නේ ආදායමෙන් සියයට 15.7ක සොච්චමකි.
මෙය ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. ඉරානයට එරෙහි ව ගෙන යන යුද්ධයෙන් ලෝකය පුරා මහජනයාගේ ජීවන තත්වයන් වලට පහර එල්ල වද්දී ලෝකය පුරා ධනපති සමාගම් ඉහල ලාභ වාර්තා කලේ ය. ලෝකයේ දියුනුත ම රට වන ඇමෙරිකාවේ වෙසෙන ලොව ධනවත් ම පුද්ගලයා වන ඊලොන් මස්ක් වැඩිකල් නොයාම ලෝකයේ පලමු ට්‍රිලියනපතියා වීමට සූදානම් ව සිටින අතර, මිලියන සංඛ්‍යාත ඇමෙරිකානුවන්ගේ ජීවන තත්වයන් කාබාසිනියා කර ඇත. මාක්ස් හෙලිදරව් කල මෙසේ සමාජයේ එක් ධ්‍රැවයක දරිද්රතාවයද අනෙක් ධ්‍රැවයේ ලාභ කඳු ගැසීම ධනවාදයේ අතිරික්ත වටිනාකම් සමුච්චනයේ මූලික ලක්ෂනයකි. කෙසේ වෙතත් එය ඒක පාර්ශවික ව වර්ධනය වන්නක් නොවේ. මාක්ස් කැපිටාල් කෘතියේ පලමු වෙලුම අවසානයේ දී මෙම තත්වය ධනවාදයේ මිනී වල කනින්නා වන කම්කරු පන්තියේ අරගල වර්ධනය කරන බව පෙන්වා දෙමින් මෙසේ සඳහන් කලේ ය.
“මෙම පරිවර්තන ක්‍රියාවලියේ සියලු වාසි උදුරා ගනිමින් හා ඒකාධිකාරී අයිතිය තහවුරු කරගන්නා ප්‍රාග්ධනයේ බලපෑම, නිරන්තරයෙන් අඩු වෙමින් පවතින අතර, කාලකන්නිකම, පීඩාව, වහල්භාවය, පරිහානිය, සූරා කෑම වර්ධනය වන නමුත් කම්කරු පන්තියේ කැරලිකාරීත්වය ද මේ සමඟම වර්ධනය වන අතර, සෑම විට ම සංඛ්‍යාවෙන් වැඩි වන ඒ පන්තිය, ධනේශ්වර නිෂ්පාදන ක්‍රියාවලියේ ම යාන්ත්‍රනය විසින් විනයගරුක, එක්සත්, සංවිධිත පන්තියක් කරනු ලැබේ.”
තීරනාත්මක ම කාරනාව වන්නේ මෙසේ කැරලිකාරී වන කම්කරු පන්තිය සමාජවාදී විඤ්ඤානයෙන් සන්නද්ධ කරමින් ධනපති පන්තිය මත කඳු ගැසී ඇති සමාජ ධනය සමාජයේ අවශ්‍යතා සඳහා යොදා ගන්නා, නොඑසේ නම්, නිෂ්පදානය අතලොස්සකගේ ලාභය සඳහා නොව සමාජයේ බහුතරයේ අවශ්‍යතාවන් සඳහා යොදාගන්නා සමාජවාදී සමාජයක් ඇති කිරීම සඳහා සමස්ත ධනවාදය ම පෙරලා දැමීමට සටන් කිරීමයි.
වැඩිදුර කියවන්න
- ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වැඩ කරන ජනතාවට එරෙහිව “ආර්ථික යුද්ධයක්” ප්‍රකාශ කිරීමට යුද සැමරුම යොදා ගනී
- වැඩකරන ජනයාට අත පෙවිය නොහැකි මට්ටමට කොලඹ නගරයේ ඉඩම් සහ නිවාස මිල ඉහල යයි
- ඉහල යන පොහොර මිල සහ හිඟය ගොවීන් ව්‍යසනයකට ඇද දැමීමේ තර්ජනය මතු කරයි
- ශ්‍රී ලංකාවට තවත් අයිඑම්එෆ් නය වාරික ලැබෙයි; කප්පාදු දැඩි කරන ලෙස බලපෑම්
