නිර්මාල් රන්ජිත් දේවසිරි ඉරානයට එරෙහි ඇමරිකානු යුද්ධයේ අධිරාජ්‍යවාදී ස්වභාවය වසන් කිරීමට ඉතිහාසය අඹරයි

කොලඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ මහාචාර්යවරයා වන නිර්මාල් රංජිත් දේවසිරි තම යූටියුබ් චැනලයේ “ට්‍රම්ප් ලෝකය 1648ට ගෙන යයි ද” යන මැයෙන් වීඩියෝවක් පල කලේ ය. මාර්තු 19 වැනි දා පල වූ එම වීඩියෝවෙන් ඔහු තර්ක කලේ ඉරානයට එරෙහි ඇමරිකානු ප්‍රහාරයන් 1648 වෙස්ට්ෆාලියා සාම ගිවිසුම මගින්  ස්ථාපිත කෙරුනු ගෝලීය පර්යායයේ බිඳ වැටීමක් පෙන්නුම් කරන බවත් එනයින් ලෝකය පූර්ව වෙස්ට්ෆාලියානු තත්වයකට ඇඳ දැමීමේ ඉඩකඩ ඇති බවත් ය.

නිර්මාල් රන්ජිත් දේවසිරි

පශ්චත් නුතනවාදියෙකු වන දේවසිරි, මාක්ස්වාදයේ අද්‍යතන අඛන්ඩතාව වන ට්‍රොට්ස්කිවාදය කෙරෙහි පරම සතුරුකම දක්වන්නෙකි. මෑත මාසවල ඔහු “නිර්මාල් සමග ඉතිහාසය” නම් වූ තමන් ගේ ම යූටියුබ් චැනලයකින් විවිධ මාතෘකා ඔස්සේ සිය දේශපාලනයට ගැලපෙන අයුරින් ඉතිහාසය විකෘත කරමින් සහ වත්මන් තත්වයන් ව්‍යාජ අර්ථකරනයන්ට ලක් කරමින් කතා පවත්වයි. ජනතා විමුක්ති පෙරමුන හා ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජාබ) ආන්ඩුව බලයට ගෙන ඒමට සහයෝගය දුන් ඔහු, එම ආන්ඩුව රැකීම වත්මනේ සිය ප්‍රධාන කාර්යයක් කරගෙන තිබේ. 

මහාචාර්යවරයා ඉදිරිපත් කරන්නේ හුදු ඔහුගේ සොයාගැනීම් හෝ විශ්ලේෂනයක් නොව, ට්‍රම්ප් ආන්ඩුවේ දෙවන වාරයත් සමග සහ ඉරානයට එරහි යුද්ධයත් සමග එහි විදේශ පිලිවෙත පිලිබඳ ව අධිරාජ්‍යවාදී සන්ස්තාපිතයේ ම කොටස්, ඔවුන්ට අනුගත චින්තන පර්ෂද සහ ශාස්ත්‍රාලිකයන් පෙරට දමමින් සිටින මතවාදයන් ය. ඔවුහු, “නීති-පාදක ලෝක පර්යාය” හා “පශ්චාත් වෙස්ට්ෆාලියානු ලෝක පර්යාය ගැන ට්‍රම්ප් ගේ අප්‍රසාදය” ආදිය ගැන විවාදයක යෙදී සිටිති. 

ඔවුන්ගෙන් ප්‍රකාශයට පත්වන්නේ, ට්‍රම්ප්ගේ යුද ගැටුම් ද ඇතුලු විදේශ මැදිහත්වීම්, ඊනියා නිත්‍යානුකුල භාවයක්, සාධාරනියකරනයක්, හේතු දැක්වීමක් නොමැති ව ම සිදු කිරීමෙන් ඇතිවිය හැකි අනර්ථයන් ගැන උත්සුකයයි. ඔවුනට ඉරානයට එරෙහි යුද්ධය කෙරෙහි විරුද්ධත්වයක් නැත. ඒත්තු ගැන්වෙන අයුරින් යුද මැදිහත්වීම් සිදු කිරීමෙන් ඒවාට පක්ෂපාත ව “මහජන මතය” හැරවිය හැකි යයි ඔවුහු කල්පනා කරති. දේවසිරි ඔවුන් අනුයමින් සිටින්නෙකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (wsws.org) පැහැදිලි කර ඇති පරිදි, එක්සත් ජනපදයේ ලෝක ආධිපත්‍යය යලි අත්පත් කර ගන්නට කැසකවන ට්‍රම්ප් ආන්ඩුව නියෝජනය කරන්නේ මුල්‍ය කතිපයාධිකාරයේ පාතාලයයි; එනම්, ෆැසිස්ට් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ නඩය යි. පෙර පැවති සම්මතයන්, ජාත්‍යන්තර නීති, ගිවිසුම් ආදී කිසිවක් නොතකා අනක්ගුනක් නැති ව ක්‍රියා කරන මුල්‍ය කතිපයාධිකාරයෙන් ප්‍රකාශයට පත්වන්නේ එක්සත් ජනපදය ගිලී සිටින අර්බුදයෙන් ගොඩ ඒමට දරන වියරු උත්සාහයයි. 

ප්‍රශ්නය වන්නේ, ලෝකය න්‍යෂ්ටික ව්‍යසනයක් තුලට ඇද ගෙන යමින් සිටින, එක්සත් ජනපද ආන්ඩුව  හා අන් අධිරාජ්‍යවාදී බලයන් සිදුකරන සංහාර ගැන තැති ගැන්මට හෝ භීතියට පත්වීම නො ව එය වලක්වන්නේ කෙසේ ද යන්නයි. එය කල හැකි වන්නේ, නිෂ්පාදන ක්‍රමයේ හරි මැද සිටින, එක ම විප්ලවවාදී බලවේගය වන, ජාත්‍යන්තර කම්කරු පන්තිය ලෝක සමාජවාදී විප්ලවයෙන් ධනවාදය පෙරලා දැමීමෙනි.

දේවසිරි විනාඩි 50කට ආසන්න ඔහුගේ ඉතිහාස පාඩම (නොහොත් අනෛතිහාසික පාඩම) පැවැත්වූයේ, ඇමරිකාව මැද පෙරදිග සිය දඩ බල්ලා වන ඊශ්‍රායලය ද සමග ගෙන යන ප්‍රහාරවලින් ඉරානයේ කුඩා දරුවන් ඇතුලු දහස් ගනන් වැසියන් ඝාතනය කරමින් හා මිලියන ගනන් ජනයා අවතැන් කරමින් ද ඊශ්‍රායලය විසින් ලෙබනනයේ ඒ හා සමාන විනාශයන් කරමින් ද ගෙන යන යුද්ධය අති බිහිසුනු ලෙස වර්ධනය කෙරෙමින් පැවති අවස්ථාවක ය. 

ඔහුට සිය කතාව පුරාවට ම “අධිරාජ්‍යවාදය” යන වචනය අකැප විය. තම නරුමත්වය ප්‍රදර්ශනය කරමින්, දේවසිරි, පීඩිත රටක් වන ඉරානයට එරෙහි සාපරාධී හා නීති විරෝධී යුද්ධය හා ඉන් සිදු කෙරෙමින් පැවති විනාශය හෙලා දැක්කේ නැත. 

සමපේක්ෂනය වැපිරීම 

ඔහුගේ අදහස් ප්‍රකාශය පැවතුනේ, 1648 ට පෙර, යුරෝපයේ පැවති තිස් අවුරුදු යුද්ධය බඳු කාකොටා ගැනීම් තත්වයකට ලෝකය ඇද වැටේ ද යන්න දැන් ප්‍රධාන ප්‍රශ්නය බවට පත් ව ඇතැයි සමපෙක්ෂනයක් වැපිරීම මගින් ඉරානයට එරෙහි ඇමරිකානු ප්‍රහාරයෙන් මතුකර ඇති තීරනාත්මක ප්‍රශ්න හිතාමතා ම ව්‍යාකුල කිරීමයි. තමන් පැලපදියම් වී, සිටින වත්මන් ධනේෂ්වර පර්යාය අවුල් ජාලයකට ඇද වැටීමෙන් අත්විය හැකි සන්තෑසිය ගැන ඇතැම් මධ්‍යම පන්තික කන්ඩායම් වලට පවතින තැවුල හා භීතිය ද ඔහු ගෙන් ප්‍රකාශයට පත් වේ. 

ඔහු මෙසේ පැවසුවේය: “මේ වෙස්ට්ෆේලියා ගිවිසුමෙන් පස්සේ කාලයක් තිස්සේ ලෝකයේ යම් කිසි ක්‍රමයක් ඇති වෙලා හැදිච්ච වර්ල්ඩ් ඕඩර් එකක් තියෙනවා. එම ලෝක පර්යායට යම් කිසි එකඟතාවයක් ඇති වෙලා ඒ සම්බන්ධ විවිධ සංවිධාන යාන්ත්‍රන හැදිලා ජාත්‍යන්තර නීති හැදිලා නිර්මානය වෙච්චි පද්ධතියක් තියෙනවා.”

දේවසිරිට අනුව, නූතන ජාත්‍යන්තර පද්ධතිය එම සාම ගිවිසුමෙන් පටන් ගෙන සියවස් ගනනාවක් තිස්සේ ස්වෛරී ජාතික රාජ්‍යයන්ගේ එකඟතාවයෙන් ගොඩ නගා ගත් ජාත්‍යන්තර නීති සහ ආයතනවලින් සමන්විත වෙයි. මේ තර්කනයට අනුව, වර්තමාන අර්බුදය වනාහි, එලෙස එකිනෙකාගේ ස්වෛරීත්වයට ගරු කරමින් ස්ථාවර ව පැවති පද්ධතියක කඩා වැටීමකි. 

මේ කාලය තුල ප්‍රංස විප්ලවය, ජාතික රාජ්‍ය ඇතිවීම, කාර්මික විප්ලවය සමහර යුද්ධ සහ පලමු වන ලෝක යුද්ධය ඇති වූ බව කී ඔහු එය අවසන් කිරීමට ඇමරිකානු ජනාධිපති වුඩ්‍රෝ විල්සන් මැදිහත් වී ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට හා ලෝක පර්යාය පවත්වා ගැනීමට කරුනු 14 වැඩ සටහනක් ඉදිරිපත් කිරීමත් ජාතීන්ගේ සංවිධානය ඇති කිරීමටත් ක්‍රියා කල බව සඳහන් කලේ ය.

තව ද, දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියේ හා ජපානයේ ඒකාධිපතිත්වයන්ට විරුද්ධ ව, මිත්‍ර පාක්ෂික රටවල් එකතු වී තමන් අතර මතභේද නොතකා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට එකතු වී කටයුතු කල බවට ද, පසු ගිය වසර 80ක කාලයේ පැවති පර්යාය තුල විවිධ ප්‍රශ්න ඇති වුනත් පර්යාය පැවති බවට ද දේවසිරි තර්ක කලේ ය. ට්‍රම්ප් පාලනය යටතේ ඉරානයේ යුද මැදිහත් වීම් වලින්, හා ඉරානයේ ප්‍රහාර වලින් එය අහෝසි වෙන්නට යන නමුත් “පේන්නට තිබෙන විධියට අද කවුරුවත් මේ පර්යාය ආරක්ෂා කරන්නට ඉදිරි පත් වී නෑ. යුරෝපය තමන්ගේ වැඩක් බලාගෙන නිහඬ ව ඉන්නව. චීනයට හා රුසියාවට මේක නැති කරන්න බෑ, ඒවායේ, තියෙන්නේ ඒකාධිපති පාලනයන්” යැයි ඔහු කියා ගෙන ගියේ ය. 

1648 ගිවිසුම ද ඇතුලු ව යුද්ධ වැලක්වීමට පාලකයන් ක්‍රියාකලේ ඇයි ද යන්නට ද මහාචාර්යවරයා අර්ථකථනයක් දුන්නේ ය: [යුද්ධයේ] විනාශකාරී බලය නිසා ඒවා ගෙන යාමට සීමා තිබුනා. වත්මන් තත්වය ගත්තොත් ලෝක ආර්ථිකය එකිනෙකට බැඳිලා, මුල්‍ය හා කාර්මික මධ්‍යස්ථාන ගොඩනැගී තිබෙනවා; සැලසුම් කල විශාල නගර ආදියෙන් යුක්තයි. මේවා විනාශ කෙරෙන, “විනාශකරිත්වයේ බලය” දිගට ම ගෙන යාම වලක්වා ගැනීමට මැදිහත් වීම සිදුවුනු බව ඔහු කීවේ ය. කුමන හෝ අධිරාජ්‍යවාදී බලයක් මැදිහත් වී අද තත්වය වෙනස් කරන තුරු බලා සිටීමේ සංශයවාදය හා අශුභවාදය දේවසිරි ගේ කතාව අරක් ගෙන තිබුනි.

වෙස්ට්ෆාලියා සාම ගිවිසුම යනු, ශුද්ධ වූ රෝමන් අධිරාජ්‍ය තුල, මධ්‍යම යුරෝපය අලලා ගත් “තිස් අවුරුදු යුද්ධ” අවසන් කිරීමට මියුන්ස්ටේර් සහ ඔස්නබ්‍රුක් වල අත්සන් කෙරුනු ගිවිසුම් මාලාවකි. රෝමානු කතෝලික සහ ප්‍රොතෙස්තන්ත ඇතුලු ආගමික භේද මුල් කරගත් දේශපාලන එදිරිවාදිකම් මත ඇතිවුනු යුද්ධ වලදී  ජීවිත මිලියන ගනනක් හා දේපොල විනාශයක් සිදුවූ තතු තුල ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීම වස් ගිවිසුම ගසන ලදී. එය, රාජ්‍ය ස්වෛරීත්වය නිත්‍යානුකුල සමානාත්මතාවය, මැදිහත් නොවීම,භෞමික අඛන්ඩතාවය, හා ආගමික සාමය ආදී මූලධර්ම ගිවිසුමෙන් ඉදිරිපත් වූ අතර ඒවා උල්ලංඝනය ඉන් පසු ව ද සිදු නොවූයේ නොවේ. එහෙත් මේ මූලධර්මවල බලපෑම ධනේශ්වර ලෝකය තුල ඊලඟ ශත වර්ෂ තුල ද ප්‍රමුඛ බලපෑමක් සිදු කලේ ය.  

1648න් දශක හතරකට පසු ව, සියවසක් තුල දක්නට ලැබුනේ, එංගලන්ත විප්ලවය, ප්‍රංස විප්ලවය, යුරෝපය පුරා පැතිරී ගිය විප්ලව, 1871 ජර්මනිය එක්සත් කිරීම මගින් වැඩවසම්වාදී සීමා බිඳ, ධනපති නිෂ්පාදන සම්බන්ධතා හා ජාතික රාජ්‍ය තහවුරු කෙරුනු කාලයයි. 1765-1783 විප්ලවය බ්‍රිතාන්‍ය කොලනි පාලනයෙන් ඇමරිකාව මුදා ගන්නා ලද අතර 1861 සිවිල් යුද්ධයෙන් වහල් ක්‍රමය අහෝසි කර ඇමරිකානු එක්සත් ජනපදය බිහි කෙරුනි. මුල් ධනපති රටවල අධිරාජ්‍යවාදය කරා පරිවර්තනය සිදු වූයේ මේ පදනම් මත ය. 

මහාචාර්ය වරයාට අනුව, යුද්ධ පවා ඇති වුවත් ලෝක ඉතිහාසය ගලාගෙන විත් අද දක්වා විකාශය වී තිබේ. ලෝකයේ දැවැන්ත ම වෙනස් කම් සිදුවූ සහශ්‍ර භාගයකට අධික කාලයක ඉතිහාසය මේ ‘ඉතිහාසඥයාට’ ඒ සා අති සරල ය! විනාශය නතර කල යුතු ය යන අදහස් පහල වූ, එමෙන් ම පර්යාය රැක ගත යුතු යයි අදහස් කල අය තත්වය පාලනය කර දුන්හ. 

මේ වනාහි, ඉතිහාසයේ ගාමක බලය වන්නේ අදහස්, භාෂනය සහ කතිකාව විසින් යයි සලකන ආත්මීය විඥානවාදියාගේ ප්‍රවිෂ්ටයයි. ඔහු වෛෂයික වුත් පන්ති-පාදක වුත් විශ්ලේෂනය මුලුමනින් ම බැහැර කරයි. ඒ වෙනුවට ආත්මීය විඥානවාදය පෙරට දමන ඔහු, සමාජ පරිවර්තනයන් කෙරෙහි ද්‍රව්‍යමය බලවේගයන්ගේ ක්‍රියාකාරිත්වයක් පවතීය යන්න ප්‍රතික්ෂේප කරයි. 

ඓතිහාසික විකාශය සිදුවුයේ කෙසේ ද?

වෙස්ට්ෆාලියා ගිවිසුමෙන් පසු ලෝකයේ සම්බන්ධතා කිසියම් පිලිවෙලකට පැවතියේ ය යන්න ඔප්පු කිරීමට පලමු වන හා දෙවන ලෝක යුද්ධ හුවා දැක්වීම මගින් ඓතිහාසික විකාශය පිලිබඳ භෞතිකවාදී සංකල්ප ප්‍රතික්ෂේප කොට ඔහු ගොතා ඇති න්‍යායන්ගේ තකතීරුකම හෙලිදරවු කෙරේ.

ඔහුට අනුව, පලමු වන ලෝක යුද්ධය ඇති වූයේ, ජර්මනිය යුරෝපයේ රටවල් අල්ලා ගැනීමට යාම නිසා ය. ප්‍රංශය හා එක්සත් රාජධානිය, රුසියානු සාර් අධිරාජ්‍ය පාලන තන්ත්‍රය සමග සන්ධානයකින් ජර්මනියට එරෙහි ව ගැටුමට ආවේ ය. 

යටත් විජිත වල කෝටි සංඛ්‍යාත ජනයා ලෙයින් මඬිමින් සූරා කෑමේ හා දේපොල කොල්ල කෑමේ යෙදුනු එක්සත් රාජධානිය, ප්‍රන්සය හා රුසියානු සාර් අධිරාජ්‍ය සන්ධාන ගත ව ජර්මනියට එරෙහි යුද්ධයට එලඹුනේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට හා සාමකාමී ලෝක පර්යායක් පවත්වා ගැනීමට යයි කීම මේ බලයන් තොරොම්බල් කල ප්‍රලාප දෙසා බෑමකි. අධිරාජ්‍යවාදී බලයක මුල් අවධියේ සිටි ඇමරිකාව,1918 යුද්ධයට අවතීර්න වුයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝක පර්යායක් පවත්වා ගෙන යාමේ අශාවකින් පෙලුනු නිසා ද නොවේ. 

ලෙනින් හා ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, 1914 ලෝක සංග්‍රාමය, පෘථිවි තලය බෙදා ගෙන සිටි අධිරාජ්‍යවාදි බලයන් එය යලි බෙදා ගැනීමේ මහා ගැටුමකි. යුද්ධය සහ ජාත්‍යන්තරය යන මහාර්ඝ ලියවිල්ලේ ට්‍රොට්ස්කි මෙසේ සඳහන් කලේ ය: 

“ධනවාදය විසින් විකසනය කෙරුනු නිෂ්පාදන බලවේගයන් ජාතික රාජ්‍ය සීමා ඉක්මවා ගොස් තිබේ. වත්මන දේශපාලන රූපාකාරය වන ජාතික රාජ්‍ය මෙම නිෂ්පාදන බලවේගයන්ගේ සූරා කෑම සඳහා අතිශයින් ම පටු වේ. එහෙයින්, අපගේ ආර්ථික පද්ධතියේ ස්වාභවික ප්‍රවනතාව නම්, මේ රාජ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට කඩා වැදීමට ප්‍රයත්න දැරීමයි. සමස්ත ලෝකය ම, ගොඩබිම සහ සමුද්‍රය, පෘෂ්ටය මෙන්ම අභ්‍යන්තරය ද එහි, වෙන් වූ කොටස්, එකිනෙක සමග බැඳී තිබෙන එක ම ආර්ථික වැඩ බිමක් බවට පත් ව තිබේ, ධනවාදය විසින් මෙම කටයුත්ත ඉෂ්ට කරනු ලැබ තිබේ. එහෙත්, මෙම කටයුත්ත ඉෂ්ට කිරීමේ දී එක් එක් රටේ ධනේශ්වරයේ ලාභ අවශ්‍යතා සඳහා ලෝකය අලලා ගෙන ඇති ආර්ථික පද්ධතිය යටත් කර ගැනීමේ සටනට ධනපති රාජ්‍යයන් මෙහෙයවනු ලැබිනි. අධිරාජ්‍යවාදයේ දේශපාලනය අන්, සියල්ලටමත් වඩා ප්‍රදර්ශනය කර තිබෙන්නේ මෙයයි: 1789-1815, 1848,1859, 1864-1866, සහ 1870 විප්ලව හා යුද්ධ මගින් නිර්මානය කෙරුනු පැරනි ජාතික රාජ්‍යයන් යල්පැන ගොස් ඇති බවත්, ආර්ථික වර්ධනයට ඉවසිය නොහැකි බාධාවක් වී පවති…” (The War and the International-1915, Author's Preface) 

ලියොන් ට්‍රොට්ස්කි [Photo: WSWS]

ධනවාදයේ නෛසර්ගික ප්‍රතිවිරෝධතා පුපුරා ගොස් ඇති බව ද “යුද්ධයන්ගේ හා විප්ලවයන්ගේ යුගයක්” ඇරඹී ඇති බව සහ “ධනවාදය විසින් සමාජවාදී ආර්ථික ක්‍රමයකට කොන්දේසි නිර්මානය කර ඇති බව” ද ට්‍රොට්ස්කි පෙන්වා දුන්නේ ය. 

පලමු වන ලෝක යුද්ධයට 1917 අප්‍රේල් මාසයේ ඇමරිකාව ඇතුල් වූයේ, ජනාධිපති විල්සන් වංචනික ව  ප්‍රකාශ කලා සේ “ලෝකය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සුරක්ෂිත තැනක් කල යුතු ව තිබූ” නිසා නොව, නැගී එන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා රැක ගැනීමට හා යුරෝපය තුල කෙමෙන් සිය බලපෑම වර්ධනය කර ගැනීමේ උවමනාවෙනි. 1918 ජනවාරි මාසයේ ඔහුගේ කරුනු 14 යුද්ධය අවසන් කිරීමේ ලියවිල්ල ඉදිරිපත් වූයේ, 1917 ඔක්තෝබර් (නොවැම්බර්) විප්ලවයෙන් මාස දෙකකට පසු ව ය, එය රුසියානු සමාජවාදී විප්ලවයට හා යුරෝපයේ නැගී එමින් තිබු විප්ලව රැල්ලට එරෙහි ව අධිරාජ්‍යවාදීන්ගේ පෙලගැස්ම ප්‍රකාශයට පත් කලේ ය.

ජනාධිපති විල්සන්ගේ යෝජනාව අනුව ඇති කල එක්සත් ජාතීන්ගේ සංවිධානය එකිනෙක රටවලට ගරු කලා නොව අධිරාජ්‍යවාදයේ මැදිහත් වීම සඳහා නව වේදිකාවක් හෙවත්, ලෙනින් කී පරිදි “හොරුන්ගේ කුස්සියක්” සම්පාදනය කලේ ය. “ධනවාදී බලයන් ගේ සන්ධානය වනාහි, අමු ප්‍රෝඩාවකි, සත්‍ය කරුන නම්, එකෙක් අනෙකා ගෙන් කුමක් හෝ උදුරා ගැනීමට මාන බලන මං පහරන්න්ගේ සන්ධානයකි” යැයි ලෙනින් සඳහන් කලේ ය. එය, ආසන්න වසයෙන් ම, යටත් කෙරුනු ජර්මනියේ ප්‍රදේශ හා එහි කොලනි ජයග්‍රහනය කල රටවල්  විසින් නිදහසේ කඩා වඩා ගත් අතර ජාතීන් ගේ සංගමය ජර්මනියේ සාර් සානුව තාවකාලිකව පාලනය ට ගෙන, ඩන්සිග් නිදහස් නගරයක් කලේ ය. 

දෙවන ලෝක සංග්‍රාමය ගැන ඔහු කියන කතාව එවැනි ම තකතීරු කමින් ඉහ වහා ගිය, අධිරාජ්‍යවාදීන්ගේ පච දෙසා බෑමකි. බ්‍රිතාන්‍ය හා ප්‍රංස අධිරාජ්‍යවාදීහු  ජර්මන් හා ජපාන එකාධිපතීත්වයන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට තමන් යුද්ධයට එලඹුනු බව කීහ. ඇමරිකාව යුද්ධයේ අවසන් කාලයේ ඊට ඇතුලු වී, ටෝකියෝවේ ලක්ෂ සංඛ්‍යාත ජනයා ගිනි බෝම්බ වලින් අලුකොට දමා ගැටුම් අවසන් වූ ආපසු, 1945 හිරෝෂිමාවට හා නාගසාකි වලට පරමානු බෝම්බ හෙලා ලක්ෂ සංඛ්‍යාත ජනයා වනසා දැමුවේ කුමන ප්‍රජාතන්ත්‍රවාදි පර්යායක් රැක ගැනීමට ද? 

අධිරාජ්‍යවාදී බලයන් තත්වය සමහන් කර දෙන තුරු බලා සිටීමේ බලාපොරොත්තු ව ඇති ව සිටින මෙන් මහ ජනතාවතාවන්ට දේශනා කරන දේවසිරිට මේ ප්‍රශ්න වලංගු නැත. 

දේවසිරිගේ විශ්ලේෂනය අවසානයේ, ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් කැලඹුනු ජාත්‍යන්තර පද්ධතියක “ඉතිහාසයේ ගොදුරු” ලෙස ඉදිරිපත් කෙරෙයි. ලංකාව තුල, මහ ජනතාව කල යුත්තේ, දේවසිරිට අනුව අත්දැකීම් නොමැති නිසා ජවිපෙ ආන්ඩුව මේ සඳහා ප්‍රශස්ත ම කන්ඩායම නොවන නිසා - පැත්තකට වී වත්මන් “ආන්ඩුව පරීක්ෂනයෙන් සමත් වන්නේ ද” කියා බලා සිටීමයි. මෙය ජවිපෙ/ජාජබ ආන්ඩුව කොක්කෙන් ගලවා හැරීමට මහාචාර්ය පන්ඩිතයෙක් සටකපට ලෙස දරන උත්සාහයකි. 

ජවිපෙ/ජාජබ ධනේශ්වරයේ පක්ෂයක් බවට පරිවර්තනය වී තිබේ. එය ජාත්‍යන්තර ප්‍රග්ධනයේ හා ලංකාවේ ධනපති පන්තියේ උවමනාවන්ට සේවය කිරීමට දැනුවත් ව ම ඉදිරිපත් වී සිටියි. ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ඒජන්සිය වන ජාමූඅ වැඩපිලිවෙල ක්‍රියාවට දමන ආන්ඩුව, ඉරානයට එරෙහි යුද්ධය හෙලා දැකීම ප්‍රතික්ෂේප කල, කලින් ඇඳ ගෙන සිටි අධිරාජ්‍ය-විරෝධී සලුපිලි උනා දැමු, ඇමරිකානු ගැත්තෙකු ලෙස ජවිපෙ/ජාජබ ඉස්මත්තට ඒම පෙන්නුම් කරන්නේ, එහි ලඳ-බොලඳ, අත්දැකීම අඩුකම නොවේ; ඉන් සනාථ වී ඇත්තේ, කල් පසු වී ධනපතිවාදයේ කරලියට පැමිනි රටවල ධනේශ්වරයේ කිසිදු කොටසකට අධිරාජ්‍යවාදයෙන් ස්වාධීන වූ ප්‍රතිපත්තියක් ගෙන යාමට නොහැකි බවට ලියොන් ට්‍රොට්ස්කි නොනවතින විප්ලවය පිලිබඳ ක්‍රියාමාර්ගය විදාරනයේ දී පෙන්වා දුන් වෛෂයික සත්‍යයි. දේවසිරි ද සිටගෙන ඉන්නේ ආන්ඩුව සමග ය. 

දේවසිරි ගේ ප්‍රතිගාමී දේශපාලන මැදිහත්වීම

ඇමරිකාව ඉරානයට එරෙහි ව දියත් කර ඇති යුද්ධය පිලිබඳ දේවසිරි ගේ විශ්ලේෂනය දැනුවත් ප්‍රතිගාමී දේශපාලන මැදිහත්වීමකි. ඔහුට ඒ සම්බන්ධයෙන් ඉතිහාසයක් තිබේ. 

1980 ගනන් අග, කොලඹ විශ්ව විද්‍යාලයේ, ජවිපෙට හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයට එරෙහි ව පිහිට වූ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දයා පතිරන සමීපයෙන් සිටි ඔහු, ජවිපෙ විසින් පතිරන ඝාතනයෙන් පසු ව හා යුඇන්පී ආන්ඩුවේ ත්‍රස්තය සහ 1987-1990 ජවිපෙ ෆැසිස්ට් ප්‍රහාර මධ්‍යයේ යටිබිම් ගත ව සිටි දේවසිරි 1990 ගනන් වල යලි එලි බැස්සේ, “වාම” පශ්චාත් නුතන වාදියෙකු ලෙස මෙන් ම ඊලඟ වසරවල ධනේශ්වර දේශපාලන ප්‍රභුවේ ප්‍රකට නියෝජිතයන් වන, චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ සමග සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයෙකු ලෙසිනි. 

1991 දෙසැම්බරයේ දී, ස්ටැලින්වාදී නිලධරය පාවාදීම් කුලුගන්වමින්, සෝවියට් සංගමය බිඳ විසුරුවා දැමීමෙන් පසු, එය මාක්ස්වාදයේ හා සමාජවාදයේ බිඳවැටීමක් ලෙස ව්‍යාජ ලෙස හුවා දැක්වූ ජාත්‍යන්තර ප්‍රතිගාමී ව්‍යාපාරයෙන් දිරිය ලද ඔහු රැඩිකලෙකු ලෙස පෙනී සිටිමින් මාක්ස්වාදයට පහර දීමේ මුලිකත්වය ගත්තේය.

2015 දී හේ, රාජපක්ෂ ආන්ඩුව මැතිවරනයෙන් පෙරලා දමා මෛත්‍රිපාල සිරිසේන- වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට, තිරයෙන් පිටුපස සිට වොෂින්ටනය ගෙන ගිය ආන්ඩු මාරු ව්‍යාපාරයට සහයෝගය දුන්නේ ය. රාජපක්ෂ ආන්ඩුවට එරෙහි ව කම්කරුවන් හා දුගීන් අතර පැතිරෙමින් පැවති බරපතල විරෝධය, මෙම ආන්ඩු මාරු ව්‍යාපාරය තුලට හැරවීම සඳහා මධ්‍යම පන්තික ඊනියා සිවිල් සමාජ සංවිධාන උසිගන්වා ගෙන දියත් කෙරුනු ව්‍යාපාරයේ ඔහු ප්‍රමුඛයෙක් විය. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පිහිටුවූ පසු ඔහු එය හැඳින්වුයේ ලංකාවේ “පෙබරවාරි විප්ලවය” ලෙසයි.

2019 දී ඔහු ජාතික ජන බලවේගය පිහිටුවීමේ කර්තව්‍යට සහයෝගය දුන්නේ ය. ජාබ වනාහි, දේශපාලන අර්බුදයෙන් බැටකමින් සිටි පාලක ප්‍රභුවේ කොටස් ජවිපෙ පිලිවාත්තු කොට සේවයට ගැනීම සඳහා කෙරුන මැදිහත්වීමකින් නිර්මානය කෙරුනකි. පාලක පන්තියේ ඇනවුම සමග දේවසිරි එකට සිටියේ ය. 

2022 මහජන නැගිටීමට සහභාගි වූ මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා දුගී ජනතාව, ධනපති පන්තිය සමග ගැටීමේ මාවතින් ඉවතට හරවා, සුරක්ෂිත මාවතකට තල්ලු කිරීම සඳහා, ජවිපෙ ඇතුලු විපක්ෂ පාර්ලිමේන්තු පක්ෂවල අන්තර්වාර පාලනයක් සඳහා ගෙන ගිය ව්‍යාපාරයට දේවසිරි ද එක් විය. ඔහුගේ ඊලඟ කටයුත්ත වූයේ, 2024 ජවිපෙ/ජාජබ බලයට ගෙන ඒමට සහාය වීමයි. දැන් ඊට සුදුහුනු තැවරීමේ හා සේදීමේ ව්‍යවසායේ ඔහු යෙදී සිටියි.

ඉරානයට එරෙහි ඇමරිකානු යුද්ධයෙන්, ගෝලීය පරිමාන ව උත්සන්න කර ඇති ආර්ථික හා සමාජ අර්බුදයක් වර්ධනය වෙමින් තිබේ. ලංකාව තුල ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු පියවර මතින් පීඩාවට පත් ව සිටින ජනයා මතට එල්ල කරන ප්‍රහාර කම්කරුවන්ගේ බරපතල අරගල ඇවිලවීමට නියමිත ය. ධනපති පන්තියේ ප්‍රතිගාමී ප්‍රචාර, වෘත්තීය සමිති නිලධරයන් ආන්ඩුව සහ ධනපති මහා ව්‍යාපාරිකයන් සමග කල්ලි ගැසීම, ආන්ඩුවේ විෂඝෝර මර්දන නීති, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම සංවිධානවල අවමන්ගත කිරීම් වලින් කම්කරු පන්තිය තෙරපා ඔබා ගෙන සිටීම දිගට ම කරගෙන යා නොහැකි ය. 

කම්කරු පන්තියේ ප්‍රමුඛත ම ප්‍රශ්නය බවට පත් ව ඇත්තේ ඉරානයට එරෙහි යුද්ධයෙන් මතු කර ඇති පරිදි, ලෝක යුද්ධය තුලට මහ ජනතාව ඇද දැමීමට එරෙහි අරගලයයි. ලංකාවේ කම්කරුවන් දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එක්සත් වෙමින් යුද්ධයට එරෙහි ව සමාජවාදය මත පාදක වූ ගෝලීය ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් කිරීම අවශ්‍ය වේ. ජාමූඅ කප්පාදුවෙන් හා යුද්ධයෙන් උත්සන්න කෙරෙන ප්‍රහාරවලට එරෙහි අරගලය මේ සමග බැඳී ඇත. 

කම්කරු පන්තිය මේ කර්තව්‍යයන් සඳහා දේශපාලනික ව ස්වාධීන බලයක් ලෙස මෙහෙයවීම සඳහා, අවශ්‍ය මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී පක්ෂ ගොඩ නැගීම සඳහා එක්වන ලෙස එහි දැනුවත් කොටස් වලට, තරුනයන්ට, ශිෂ්‍යයන්ට ප්‍රගතිශීලි බුද්ධිමතුන්ට සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අපි ඇරයුම් කරමු. සසප කම්කරු පන්තිය ලෝක සමාජවාදී වැඩපිලිවෙල මත බලමුලු ගැන්වීමට සටන් කරන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාවයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජාත්‍යන්තර කමිටුවේ ලෝක ප්‍රකාශනයයි. 

Loading