“මාඋස්සාකැලේ විජයකුමාර්ගේ සහ යටියන්තොට රජිනිකාන්තගේ මරන: ලාභය උදෙසා ජීවිත බිලි නොදෙනු!” යන මැයෙන්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව (වක්රකික) සංවිධානය කරන ප්‍රසිද්ධ රැස්වීම, දෙසැම්බර් 21 වැනි දා මස්කෙලිය අප්කොට් පාරේ පීඑම්ඩී උත්සව ශාලාවේ දී දවල් 2ට ආරම්භ වෙනු ඇත.
පසුගිය මාසයේ පලමු සතිය තුල, වතු කම්කරුවන් දෙදෙනෙකු වන, මස්කෙලිය මාඋස්සාකැලේ විජයකුමාර් (49) සහ යටියන්තොට කිරිපෝරුව වත්තේ රජිනිකාන්ත (25) කාර්මික අනතුරු වලින් මිය ගියහ. මෙය, ගෝලීය ව ඉහල යන කාර්මික අනතුරු රැල්ලක කොටසකි.
විජයකුමාර් මරනයට පත් වූයේ ආරක්ෂක ආවරන සවි නොකල තේ දලු ඇඹරුම් යන්ත්‍රයකට හසු ව ඔහුගේ හිසට මරනීය තුවාල සිදු වීමෙනි; රජිනිකාන්තගේ මරනයට හේතු වූයේ නිසි ප්‍රමිතියෙන් සහ නඩත්තුවකින් තොර ව දශක ගනනක් භාවිත කල බොයිලේරුවක් පුපුරා යාම යි. ඉන් තවත් කම්කරුවෝ බරපතල තුවාල ලදහ.
මේවා හුදෙක් “කාර්මික මරන” නොවේ; ඒවා ධනපතියන්ගේ ලාභය උදෙසා ආරක්ෂක පියවර කපා දැමීමෙන් ද වැඩ වේගවත් කිරීමෙන් ද සිදු කෙරුනු කාර්මික ඝාතනයන් ය.
නොවැම්බර් 30 පැවැත් වීමට නියමිත ව තිබූ මෙම රැස්වීම දිවයිනට බලපෑ සුලිකුනාටු තත්ත්වය හේතුවෙන් කල් දැමීමට සිදු විය. සුලිකුනාටුව විසින් ජනිත කල ව්‍යසනය ද, මෙම කම්කරුවන් දෙ දෙනාගේ මරනයට හේතු වූ, ධනපති ලාභයට මිනිස් ජීවිත යට කිරීමේ දුෂ්ට පිලිවෙතේ ප්රතිඵලයකි. ව්‍යසනයෙන් පැන නැගී ඇති තත්ත්වය තුල මේ රැස්වීම වඩාත් අර්ථභාරී වේ.
යල් පිනූ සමාජ ක්‍රමයක් වන ධනපති ක්‍රමය, තුන්වැනි ලෝක යුද්ධයක් දෙසට ගමන් කරමින් සිටින්නේ, සමාජ ජීවිතයේ සෑම අංශයකින්ම කම්කරුවන් තලා දමමිනි. මහජන සෞඛ්‍යය සහ අධ්‍යාපනය කාබාසිනියා කිරීම, රැකියා විනාශය, ඉවක් බවක් නොමැති කාර්මික ක්‍රියාවන්ගෙන් ජනිත වූ දේශගුනික විපර්යාස, වසංගත, ජන සංහාරක යුද්ධ සහ කාර්මික අනතුරු ආදී අංශ ගනනාවකින් මෙම ප්‍රහාරය ඉදිරියට ගෙන යමින් පවතී.
කාර්මික අනතුරු වලක්වා ගැනීම සහ සේවා ස්ථානයේ සෞඛ්‍ය ආරක්ෂාව සුරක්ෂිත කර ගැනීම සඳහා කම්කරු පන්තිය, සමාගම්වල මෙවලම් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සහ ධනේශ්වර ලාභ අවශ්‍යතාවන්ට එරෙහි ව තමන්ගේ ම සටන් සංවිධාන ගොඩනගා ගත යුතු වෙයි.
මේ සඳහා සෑම කම්හලක, වත්තක හා වැඩපොලක ම ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙස, සසප සහ වකක්‍රික, කම්කරුවන් උනන්දු කරයි.
අනාරක්ෂිත කොන්දේසි යටතේ සිදු කරන නිෂ්පාදන නැවැත්විය යුතු එම කමිටු, සියලු ආරක්ෂක දත්ත හෙලි කරන ලෙසත්, මරනවලට හා තුවාල වීම්වලට වගකිව යුතු සියල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටිය යුතු ය.
මෙම අරගලයේ දී කම්කරු පන්තියේ ජාත්‍යන්තර සහෝදරත්වය ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වේ. ධනවාදයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය තුල, කම්කරුවන් ජාත්‍යන්තර ව බලමුලු ගැන්වීමට, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සටන් කරයි.
ඉහත වැඩපිලිවෙල සාකච්ඡා කරන, මෙම වැදගත් රැස්වීමට සහභාගි වන ලෙස, කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ අවශේෂ පීඩිතයන්ගෙන්, සසප සහ වකක්‍රික ඉල්ලා සිටී.
