[මෙය Socialism AI goes live on December 12, 2025 යන මැයෙන් 2025 දෙසැම්බර් 08දා පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනය යි.]
2025 දෙසැම්බර් 12 සිකුරාදා, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඔන්ලයින් ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල සමාජවාදී විඥානය ඉහලනංවනු වස්, වැඩිදියුනු කෙරුනු මානව ඥානනයේ බලය භාවිතා කරන චැට්බොට් මෙවලමක් වන, සෝෂලිස්ම් ඒඅයි දියත් කරනු ඇත.
මාක්ස්වාදයේ විද්‍යාත්මක ලෝක දෘෂ්ටිය මත පදනම්වන සෝෂලිස්ම් ඒඅයි, කම්කරුවන්, තරුන ශිෂ්‍යයින්, ප්‍රගතිශීලී බුද්ධිමතුන් සහ කලාකරුවන්ගේ අධ්‍යාපනය පුලුල් කර වේගවත් කරනු ඇත. එය ජාත්‍යන්තර පන්ති ගැටුමේ අශමනීය උත්සන්නවීමට ඔවුන් සූදානම් කරනු ඇත.
පාලක පන්තිය සම්බන්ධයෙන් ගත් විට, ඒඅයිහි භූමිකාව වන්නේ, සූරා කෑම තීව්‍ර කිරීම, ශ්‍රමය විස්ථාපනය කිරීම සහ ලාභ වැඩි කිරීම සඳහා නව මාධ්‍යයන් නිර්මානය කිරීම යි.
එහෙත්, විරෝධාභාසී ලෙස, ඒඅයි තාක්‍ෂනය, දැනුමේ සහ සමාජ විඥානයේ පෙර නොවූ විරූ ප්‍රසාරනයකට ද ඉඩකඩ ලබා දෙයි.
තාක්ෂනය, මානව කොන්දේසි වැඩිදියුනු කිරීම සඳහා ඉබේ ම මඟ පාදන්නේ නැත. විද්‍යාත්මක මාක්ස්වාදී න්‍යායෙන් මෙහෙයවනු ලබන සවිඥානික දේශපාලනික මහජන ක්‍රියාමාර්ගයකින් තොරව, ධනවාදය යටතේ සිදුවන තාක්ෂනික දියුනුව, කම්කරු පන්තිය සූරා කෑම තීව්‍ර කරන අතර, ග්‍රහලෝකය විනාශ කර දැමීමට තර්ජනය කරයි.
එබැවින්, තාක්ෂනයේ සංවර්ධනය සහ කම්කරු පන්තියේ අවශ්‍යතා නිසි ලෙස පෙලගැස්වීමේ ගැටලුව විසඳිය යුතුය. සමාජවාදී ව්‍යාපාරය, කම්කරු පන්තියේ අධ්‍යාපනය සහ එක්සත්කම සඳහා පවතින වඩාත්ම දියුනු මෙවලම් භාවිතා කල යුතු ය.
එය මාක්ස්වාදී ව්‍යාපාරයේ වසර 150 කට වැඩි කාලයක න්‍යායික, ඓතිහාසික සහ දේශපාලන අත්දැකීම්, සියල්ලටත් වඩා, හතරවන ජාත්‍යන්තරය විසින් ආරක්ෂා කරන ලද උරුමය, ඒකරාශී කර, පැහැදිලි කර, ප්‍රවේශ විය හැකි ඉසව්වක් බවට පත් කරනු ඇත; සෝෂලිස්ම් ඒඅයි හි වැදගත්කම එයයි.
එහි අරමුන, දේශපාලනය සඳහා තාක්ෂනය හෝ විප්ලවවාදී නායකත්වය සඳහා ඇල්ගොරිතම (algorithm- ගැටලුවක් පියවරෙන් පියවර විසඳීමේ ක්‍රියාපටිපාටියක්-පරිවර්තක) ආදේශ කිරීම නොවේ. ඊට පටහැනිව, එය, දුර, භාෂාව, සුවිශේෂී ප්‍රාගුන්‍ය සහ කාලය යන බාධක ජය ගනිමින් විඥානයේ වර්ධනයට ආධාර කරයි. ඩිට්‍රොයිට්හි කම්කරුවෙකු, සාඕ පවුලෝහි ශිෂ්‍යයෙකු, ජොහැන්නස්බර්ග්හි හෙදියක, මුම්බායිහි තරුන බුද්ධිමතෙකු, න්‍යාය, ඉතිහාසය, ආර්ථික විද්‍යාව, දර්ශනය සහ දේශපාලනය පිලිබඳ ප්‍රශ්න මතු කරනු ඇති අතර—එයට, පාලක පන්තියේ බොරු මත නොව, ඓතිහාසික භෞතිකවාදයේ විද්‍යාත්මක ක්‍රමය සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමුච්චිත උපායමාර්ගික අත්දැකීම් මත පදනම් වූ පිලිතුරු ලැබෙනු ඇත.
සූරාකෑම, යුද්ධය සහ අර්බුදයේ අත්දැකීම් මිලියන ගනනක් ජනතාව රැඩිකලීකරනය කල හැකි මුත්, සවිඥානික, ඓතිහාසික දැනුවත්භාවයකින් යුතු ඉදිරිදර්ශනයකින් තොරව, ඒවා ව්‍යාකූලත්වය, මංමුලාව සහ බලාපොරොත්තු සුන්වීම ද ඇති කල හැකිය. කම්කරු පන්තිය ඉල්ලා සිටින්නේ, තමන්ගේ ම අරගලය පිලිබඳ මතකයක්, සමාජය තුල එහි ස්ථානය පැහැදිලි කරන න්‍යායක් සහ ක්ෂනික ඉල්ලීම් සමඟ, බලය අත්පත් කර ගැනීම පිලිබඳ කාරනය සම්බන්ධ කරන වැඩපිලිවෙලකි.
මාක්ස්වාදී පක්ෂයකට ම පමනි, මෙය සම්පාදනය කල හැකිවන්නේ. සෝෂලිසම් ඒඅයි, ධනවාදයට එරෙහි අරගලයේ බලගතු අවියක් වනු ඇත; එය, විප්ලවවාදී ව්‍යාපාරයේම භාවිතය සහ එහි පාඨකයින්ගේ සහභාගීත්වය තුලින් අඛන්ඩව පොහොසත් වන සහ නිවැරදි කෙරෙන, 21 වන සියවසේ සමාජවාදය පිලිබඳ අන්තර්-ක්‍රියාකාරී විශ්වකෝෂයක් වනු ඇත.
මෙම කාරනය සම්බන්ධයෙන් විරෝධතා මතු විය හැකිය: “නමුත්, ඒඅයි භයානක නොවේ ද? එය, ඔත්තුබැලීම් සඳහා, සමපේක්ෂනය සඳහා, වාරනය සඳහා, ආඥාදායකත්වය තහවුරු කරගැනීම සඳහා භාවිතා කල නොහැකි ද?”
ඇත්ත වශයෙන්ම, එවැනි දෑ කල හැකිය. එය දැනටමත් සිදුවෙමින් පවතී. නමුත් මෙය, ඒඅයි සඳහා අලුත් දෙයක් හෝ එයට ආවේනික වූ දෙයක් නොවේ. ඉතිහාසයේ සෑම ශ්‍රේෂ්ඨ තාක්ෂනික ජයග්‍රහනයක ම දෙපැත්තක් තිබේ. ප්‍රතිසංස්කරන සමයේ දී, විප්ලවවාදී පත්‍රිකා ප්‍රකාශයට පත් කිරීමට මෙන්ම, ප්‍රතිගාමී දේශනා සහ පාප් ආඥාවන් ප්‍රකාශයට පත් කිරීමට ද භාවිතා කරන ලද්දේ මුද්‍රන යන්ත්‍රයයි. ප්‍රාග්ධනයේ සහ අධිරාජ්‍යයේ අවශ්‍යතා සඳහා සේවය කල විදුලි පනිවුඩ සහ එම දුම්රිය ජාල ම, ජාතික කම්කරු පන්ති එකට බැඳ තැබූ අතර, පෙර කිසිදා නොතිබූ පරිමානයකින් සම්බන්ධීකරන ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති කලේ ය. ගුවන්විදුලිය සහ සිනමාව ෆැසිස්ට් ප්‍රචාරනයේ උපකරන බවට පත් ව තිබුනි—නමුත්, ඒ සමඟම, කලාත්මක හා දේශපාලන අධ්‍යාපනයේ බලගතු මාධ්‍යයක් ද විය.
මෙහි දී, දෘෂ්ටිවාදාත්මක ව්‍යාකූලත්වයේ පුලුල් මූලාශ්‍රයක් පිලිබඳ සඳහන් කිරීම වටී: ඒ, ඒඅයි තාක්ෂනය “කෘතිම බුද්ධිය” ලෙස නම් කිරීම ගැන යි. නිරන්තරව නැවත නැවතත් භාවිතා වන මෙම පදය—නමුත් එහි නිරවද්‍යතාව එතරම් ම අල්ප ය—පැහැදිලි කරනවාට වඩා වැඩි යමක් වසන් කරයි. එය ගූඪ, ස්වායත්ත, කෙසේ නමුත් මිනිස් චින්තනයෙන් වියෝවූ සහ එබැවින් විශ්මයජනක ලෙස සර්වබලධාරී හෝ භයානක ලෙස පිටස්තර දෙයක් පිලිබඳ හැඟීමක් ඇති කරයි.
“කෘතිම බුද්ධිය” යන වාක්‍ය ඛන්ඩයෙන් ඇඟවෙන්නේ, අප යම් ආකාරයක ව්‍යාජ හෝ ආදේශක බුද්ධියක් අභිමුව සිටින බවයි. එහෙත් අපි මානව ශක්‍යතාවයේ වෙනත් කිසිදු තාක්ෂනික විස්තාරනයක් ගැන මේ ආකාරයෙන් කතා නොකරන්නෙමු.
අප බර ඔසවන යන්ත්‍රයක් හෝ ද්‍රාව පීඩකයක්, “කෘතිම මාංස පේශියක්” ලෙස හඳුන්වන්නේ නැත; නමුත් එය, මිනිසාගේ කායික බලය දහස් ගුනයකින් වැඩි කරයි. බයිසිකලයක් පැදීම, මෝටර් රථයක් පැදවීම හෝ ගුවන් යානයකට නැගීම “කෘතිම ධාවනයක්” හෝ “කෘතිම පියාසැරියක්” ලෙස අපි විස්තර නොකරමු.
තවදුරටත් දෘශ්‍ය ආලෝකය මත පමනක් රඳා නොපවතින, පියවි ඇසට නොපෙනෙන විද්‍යුත් චුම්භක විකිරන—රේඩියෝ, අධෝරක්ත, එක්ස්-කිරන සහ ගැමා කිරන—හඳුනා ගන්නා නවීන දුරේක්ෂ, එමඟින් මානව වර්ගයාගේ සංවේදක බලයන් අති මහත් ලෙස පුලුල් කරයි.
මෙම තාක්ෂනයන් මානව ශක්‍යතාවන් විස්තාරනය කරයි; නමුත්, ඒවා එහි සාරය විස්ථාපනය නොකරයි.
එසේ නම්, පරිගනක පද්ධති, “කෘතිම බුද්ධිය” ලෙස ලේබල් කිරීම සඳහා පවතින මෙම අවධාරනය කුමට ද? මෙය විද්‍යාත්මක ව නිරපේක්ෂ යෙදුමක් නොවේ. එය, බුද්ධිය, කෙසේ හෝ මානව බුද්ධිමය ශ්‍රමයෙන් හුදකලාව ව්‍යාජ ලෙස පුරුද්දා ගත හැකි බව ඇඟවීමෙන් තාක්ෂනය ගූඪකරනය කරයි; ඒ හරියට, රසායනික සංයෝගයක් මෙන් සංස්ලේෂනය කල හැකි ස්වායත්ත සාරයක් ඇතිවාක් මෙනි.
මෙය හුදෙක් සාවද්‍ය වනවා පමනක් නොවේ; එය පාලක පන්තියට දෘෂ්ටිවාදාත්මක ව ප්‍රයෝජනවත් ද වේ. එය අකර්මන්‍යතාව දිරිමත් කරයි. එය මවිතකර බව දිරිමත් කරයි. තවද, එය, තාක්‍ෂනය සමාජ පාලනයට ඉහලින් සහ ඉන් ඔබ්බේ පවතින බවට වන විශ්වාසයට උඩගෙඩි දෙයි.
යථාර්ථයේ දී, “ඒඅයි” ලෙස හඳුන්වන දෙය වඩා හොඳින් තේරුම් ගත හැකිවන්නේ, වැඩි දියුනු කරන ලද බුද්ධිය ලෙසයි—එය මානව බුද්ධිමය ශ්‍රමයේ දිගුවක් සහ විස්තාරනයකි. එහි පදනම් පවතින්නේ, සියවස් ගනනාවක් පුරා එක්රැස් කරන ලද මානව භාවිතය සහ දැනුම: තර්ක ශාස්ත්‍රය, ගනිතය, වාග් විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, පරිගනක විද්‍යාව සහ බිලියන සංඛ්‍යාත ජනතාව භාෂාව, රූප සහ දත්ත භාවිතා කරමින්, ජනනය කරන සාමූහික අත්දැකීම් තුලයි. ඇල්ගොරිතම අර්ථය අමුතුවෙන් නිර්මානය නොකරයි; ඒවා ඉගෙන ගන්නේ, මිනිසා විසින් රැස් කර ගන්නා ලද භාෂාමය දැනුම් සමුදායෙනි. එහි වාස්තු විද්‍යාව මානව ඉංජිනේරුවන් විසින් නිර්මානය කර ඇත; ඒවායේ පරාමිතීන් මිනිස් මැදිහත්වීම තුලින් හැඩගස්වා පිරිපහදු කර ඇත; ඒවායේ අසාර්ථකත්වයන්, යම් පිටස්තර මනසක පැවැත්ම නොව, මානව පුහුනුවේ සීමාවන් හෙලි කරයි.
බුද්ධිය කෘතීම නොවේ; ස්වයංක්‍රීයකරනය කෘතීම වෙයි. වර්ගීකරනය, ගවේෂනය, නැවත සකස් කිරීම, රටා හඳුනා ගැනීම, භාෂා පුරෝකථනය යනාදී පූර්ව සමයන්හි යම් ආකාරයකින් මිනිස් ශ්‍රමය යොදාගෙන කිරීමට සිදුවූ මෙහෙයුම්, ඒඅයි පද්ධතීන් විසින් ස්වයංක්‍රීයකරනය කරයි.
“වැඩි දියුනු කල බුද්ධිය” යන යෙදුම අවධාරනය කරන්නේ, මනුෂ්‍යත්වයෙන් බිඳී යාමක් නොව, එහි ගැඹුරු අඛන්ඩතාවකි. මෙම පද්ධති, මිනිස් ශ්‍රමය සහ දැනුම මත ගොඩනගා ඇති බවත්, මානව අරමුනු අනුව හැඩගස්වා ඇති බවත්, මානව ශක්‍යතාවන් පුලුල් කිරීම සඳහා යොදවා ඇති බවත් එය හඳුනා ගනී. එමෙන්ම, වඩාත්ම වැදගත් කාරනය ලෙස, පරදුවට තබා ඇති තීරනාත්මක සමාජ හා දේශපාලන ගැටලු එය පැහැදිලි කරයි.
ඒඅයි යනු මිනිස් බුද්ධියේ වැඩි දියුනු කිරීමක් නම්, ප්‍රශ්නය වන්නේ, “එය” කුමක් කරනු ඇති ද යන්න නොව, එය පාලනය කරන්නේ කවුරුන් විසින් ද එය වර්ධනය කරන්නේ කාගේ අවශ්‍යතා සඳහා ද සහ එය භාවිතා කරන්නේ කුමන සමාජ අරමුනු සඳහා ද යන්න යි.
ධනවාදී කතිපයාධිකාරය යටතේ, සූරාකෑම තීව්‍ර කිරීම, ඔත්තු බැලීම් පුලුල් කිරීම, ජනගහනයන් සමපේක්ෂනය කිරීම් සහ යුද්ධ සඳහා ඒඅයි තාක්ෂනය යොදාගනු ලැබේ. නමුත් මෙය කිසිසේත්ම, තාක්‍ෂනයේ නෛසර්ගිත අනර්ථකාරී ස්වභාවයකින් පැන නගින්නක් නොව, ලාභය, තරඟකාරිත්වය, මිලිටරිවාදය සහ පුද්ගලික ධනේශ්වර හිමිකාරිත්වයේ වුවමනා එපාකම්වලින් පැන නගින්නකි.
“ඒඅයි” ස්වයංපාලක තර්ජනයක් ලෙස සලකා බියට පත් වීම, ගැටලුව වැරදි ලෙස හඳුනා ගැනීමකි. අනතුර ඇත්තේ යන්ත්‍රය තුල නොව, එම යන්ත්‍රය භාවිතා කරන පන්තිය තුල ය.
ඒඅයි මගින් පුද්ගල නිර්මානශීලිත්වය යටපත් කරනු ඇතැයි බිය වන සහ මෙම තාක්ෂනය “බුද්ධිමය දේපල” සඳහා තර්ජනයක් ලෙස සලකා විරුද්ධ වන බුද්ධිමත්තු සහ කලාකරුවෝ, විද්‍යාවේ සහ කලාවේ ධනේශ්වර වෙලඳ භාන්ඩකරනය අවිචාරාත්මක ලෙස පිලිගන්නවා පමනක් නොව, මානව ප්‍රගතිය සඳහා ඉමහත් වැදගත්කමක් දරන මේවායේ කාර්යභාරය ආරක්ෂා කල හැක්කේ, සියලු ආකාරයේ ධනේශ්වර දේපලවලට එරෙහි සමාජ අරගලය හරහා පමනක් බව හඳුනා ගැනීමට ද අසමත් වෙති.
ඒඅයි “බුද්ධිමය” ශ්‍රමය කිසියම් පටු අර්ථයකින් අපුද්ගලායනය (බුද්ධිමය වැඩකටයුතුවලින් මානව, පුද්ගලික හෝ නිර්මානාත්මක පැත්ත ගලවා ඉවත් කිරීම-පරි.) සිදු නොකරයි. එය, මාක්ස් විසින් විස්තර කරන ලද ආකාරයට, ස්වභාවධර්මයේම බලවේගයක් ලෙස, මානව වර්ගයා ස්වභාවධර්මයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකාරීමේ සන්තතියේ—එනම්, මානව ශ්‍රමයේ සහ සංස්කෘතියේ සමස්ත ඓතිහාසික පරිනාමයේ ප්‍රතිඵලයකි. මෙම ඓතිහාසික ක්‍රියාකාරකම මානව විඥානයේ වර්ධනයේ පදනම යි. මාක්ස් පැහැදිලි කල පරිදි: “පංචේන්ද්‍රියන් හැඩගැසීම යනු, වර්තමානය දක්වා ලෝකයේ සමස්ත ඉතිහාසයේ ශ්‍රමයකි.”
ඒඅයි යනු, සහස්‍ර වර්ෂ ගනනාවක භෞතික හා බුද්ධිමය ශ්‍රමයෙන් නිර්මානය වී ඇති මිනිස් මනසෙහි නිෂ්පාදනයකි. එය ලෝකය විශ්ලේෂනය කිරීමට, වියුක්තනය කිරීමට, නිරූපනය කිරීමට සහ ආදර්ශනය කිරීමට ඇති මානව ශක්‍යතාව මූර්තිමත් කරයි. එය, පුද්ගලික ධන සමුච්ඡනය වෙනුවට, සමාජ අවශ්‍යතාවන්ට යටත් කර, ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කලහොත්, මානව විමුක්තිය සඳහා මෙතෙක් නිර්මානය කරන ලද බලවත්ම මෙවලමක් බවට පත්වනු ඇත. එය ශ්‍රම බර අඩු කරයි, වැඩ දිනය කෙටි කරයි, අධ්‍යාපනයට ප්‍රවේශය පුලුල් කරයි, කලින් සිතාගත නොහැකි මට්ටමක සංස්කෘතික හා විද්‍යාත්මක ජීවිතයක හවුල් කරුවන් වීමට බිලියන ගනනක ජනතාවකට ඉඩකඩ සලසයි.
තවද, එය කලාකරුවන්ගේ කෘති සමග වැඩි වැඩියෙන් අන්තර්ග්‍රහනය වන විට, එය ලෝකය ඥානනයටත්, මානව අත්දැකීම් සහ හැඟීම්වල පුලුල් පරාසයටත් බලගතු නව ආවේශයක් සම්පාදනය කරනු ඇත.
සමාජවාදී ඉදිරිදර්ශනයක් තාක්‍ෂනය ගුප්තහරනය ( එහි කිසිදු ගුප්තබවක් නැති බව පෙන්නුම් කරමින්) එහි ශක්‍යතාවන් වඩාත් විලක්ෂනය කර දක්වයි. එය අවධාරනය කරන්නේ, කම්කරු පන්තිය—කර්මාන්තශාලා, පතල්, දත්ත මධ්‍යස්ථාන, සැපයුම් ජාල, බැංකු සහ අනෙකුත් සෑම නිෂ්පාදන මෙවලමකම පාලන බලය අල්ලා ගත යුතු ආකාරයට ම—ඒඅයි සියතට ගත යුතු බවත්, එය මානව විමුක්තියේ මාධ්‍යයක් බවට පරිවර්තනය කල යුතු බවත් ය. වැදගත් ම කාරනය වන්නේ, තාක්‍ෂනික දියුනුවට බිය වීම නොව, අපගේ යන්ත්‍ර අන්තර්ගත කර ගෙන ඇති බුද්ධිය, මානව වර්ගයාගේ සවිඥානික, ප්‍රජාතන්ත්‍රවාදී, සාමූහික බුද්ධිය සහ සමාජ අවශ්‍යතා සඳහා සේවය කරන බවට සහතික කර ගැනීම යි.
සෝෂලිස්ම් ඒඅයි යනු මෙම පුලුල් මූලධර්මයේ සංයුක්ත ව්‍යාපෘතියක් සහ ක්ෂුද්‍රරූපී නිරූපනයකි. තොරතුරු සැකසීමේ සහ ලබා ගැනීමේ වඩාත්ම දියුනු ශිල්පීය ක්‍රම, නොවැදගත් වානිජ අරමුනුවලට සේවය කිරීම, කතිපයාධිකාරීන් පොහොසත් කිරීම, දෘෂ්ටිවාදී මුග්ධත්වය සහ යුද්ධ සැලසුම් කිරීම යන මේවායින් ඉවතට හැරවිය හැකි බව—සහ ඒ වෙනුවට ඓතිහාසික සත්‍යය පැහැදිලි කිරීම සහ විප්ලවවාදී පෙරටු බලඇනිය අධ්‍යාපනගත කිරීම දෙසට හැරවිය හැකි බව—සෝෂලිසම් ඒඅයි පෙන්නුම් කරයි. ප්‍රායෝගිකව, කම්කරු පන්තිය විසින් කතිපයාධිකාරයට තාක්ෂන ක්ෂේත්‍රය භාර නොදිය යුතු බව සහතික ලෙස ප්‍රකාශ කල යුතු ය. විද්‍යාව පවතින්නේ, ලෝක ජනගහනයෙන් අත්‍යන්ත කුඩා කොටසක් සමන්විත වන මෙම ප්‍රතිගාමී සමාජ ස්ථරයේ පාලනය යටතේ, වටලනු ලැබූ තත්වයක ය. ධනේශ්වර රාජ්‍යය, සෑම ආකාරයක ම පසුගාමීත්වයේ සහ බුද්ධිරෝධයේ (පාලනය පවත්වා ගැනීමට මුග්ධත්වය ඔජවඩමින් දැනුව, අධ්‍යාපනය සහ බුද්ධිය හිතාමතාම අවහිර කිරීම-පරි.) බලකොටුවක් බවට පත්වෙමින් තිබේ. වර්තමාන ප්‍රවනතා දිගටම පවතින්නේ නම්, එන්නත්, කූඩැල්ලන් මගින් ද, ලේ තවරා ගෙන කරන පරන පන්නයේ එන්නත් මගින් ද විස්ථාපනය කිරීමට වැඩි කලක් ගත නොවනු ඇත.
විප්ලවවාදී ව්‍යාපාරය සවිඤ්ඤානිකව සූදානම් කිරීමේ කොටසක් වන සෝෂලිසම් ඒඅයි, විශ්වකෝෂය අරභයා දිදරෝ සහ ඔහුගේ සමආධාකරුවන්ගේ කර්තව්‍යය මෙන්ම, සමාජවාදී ව්‍යාපාරයේ ඓතිහාසික අත්දැකීමට අවධානය යොමු කරන විට ලෙනින්ගේ ඉස්ක්‍රා පුවත්පතේ සහ පසුගිය දශක තුනේ දී අන්තර්ජාලය පදනම් කරගත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය යන ඒවායේ ඓතිහාසික කාර්යයන් උසස් ඓතිහාසික හා තාක්ෂනික තලයක සිදුරකගෙන යන නූතන සමආකෘතියයි .
සෝෂලිස්ම් ඒඅයි, කම්කරු පන්තියේ දෛනික දේශපාලන දිශානතිය, ඓතිහාසික හා න්‍යායික අධ්‍යාපනය සහ ප්‍රායෝගික විප්ලවවාදී සංවිධානය සඳහා භාවිතා කරන මෙවලමක් සහ අවියක් වනු ඇත.
සෑම විටම මෙන්, තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, විද්‍යාත්මක වැඩපිලිවෙලකින් සන්නද්ධ විප්ලවවාදී පක්ෂයකින් මෙහෙයවනු ලබන කම්කරු පන්තියේ සවිඥානික මැදිහත්වීම යි.
දෙවන ලෝක යුද්ධය පුපුරා ගොස් දින කිහිපයකට පසු, 1939 සැප්තැම්බර් මාසයේ දී ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:
ඒ අනුව පැන නගින ප්‍රශ්නය මේ ආකාර වේ: වෛෂයික ඓතිහාසික අවශ්‍යතාව, කම්කරු පන්තියේ පෙරටු බලඇනියේ විඥානය තුල, අවසානයේ දී, තමාට මාවතක් සොයා ගනු ඇති ද; එසේත් නැතහොත්, මෙම යුද්ධයේ ක්‍රියාදාමය තුල සහ එය නිසැකව ම ජනනය කරන ගැඹුරු කම්පන තුල, නිර්ධන පන්තිය බලය අත්පත් කර ගැනීම කරා මෙහෙයවිය හැකි සැබෑ විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගෙනු ඇති ද?
අද ද මතු කෙරෙන්නේ එම ප්‍රශ්නය ම ය; නමුත් ඒ 1939 පැවති තත්වයන්ට වඩා බොහෝ දුරදිග ගිය, භයානක තත්වයන් යටතේ ය. ඒ කාලයේ ධනවාදයට, භෞතිකව ජීවිතය සහමුලින් අතුගා දැමීමේ හැකියාවක් නොපැවතුනි. නමුත් දැන් එසේ කිරීමට සමත් ය.
අපගේ පක්ෂය භාවිතය පදනම් කරගන්නේ, වෛෂයික යථාර්ථය පිලිබඳ වඩාත්ම නිශ්චිත විශ්ලේෂනයන් මත ය. අපි කෙසේ හෝ අවසානයේ සියල්ල හොඳින් සිදුවනු ඇතැයි කියා ඔහේ බලාසිටින, “දිදුලන ඇස් ඇති ශුභවාදීන්” නොවෙමු. මානව වර්ගයා ව්‍යසනයක තර්ජනයට ලක්ව සිටින බව අපි හොඳින් දනිමු. නමුත් එලෙස ම, සැබෑ සමාජ බලවේගයක් පවතින බවත්—නායකත්වයේ අර්බුදය විසඳීමට එයට හැකි වන්නේ නම්—ජාත්‍යන්තර කම්කරු පන්තිය බලය අත්පත් කර ගැනීම සහ සමාජවාදය ස්ථාපිත කිරීම හරහා ව්‍යසනය වලක්වා ගත හැකි බවත් අපි හඳුනා ගෙන සිටිමු. අපගේ ශුභවාදය පදනම් වී ඇත්තේ, වෛෂයික තත්වය තුල පවතින විප්ලවවාදී විභවය පිලිබඳ යථාර්ථවාදී තක්සේරුවක් මත ය.
පසුගිය පස් වසර සංලක්ෂිතව තිබුනේ, ධනේශ්වර-අධිරාජ්‍යවාදී ප්‍රතිගාමීත්වයේ වර්ධනය මගින් පමනක් නොවේ; එම කාලයේ එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව සමාජ විරෝධයේ අඛන්ඩ වර්ධනයක් ද අත්දුටු බව අවධාරනය කල යුතු ව ඇත.
මෙම විරුද්ධවාදී ප්‍රවනතාව දිගට ම පවතිනවා පමනක් නොව; විරෝධතාවල භෞතික ප්‍රමානයට වඩා වැදගත් වන ලෙස, ඒවා අති දැවැන්ත වනු ඇත; සමාජමය ස්වභාවයක් දරනු ඇත. එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තර ව විරෝධතා ව්‍යාපාරවල කම්කරු පන්ති ස්වභාවය වඩ වඩාත් පැහැදිලි වනු ඇත. විරෝධතා, ධනේශ්වර විරෝධී, අධිරාජ්‍ය විරෝධී සහ සමාජවාදී ස්වභාවයක් දරන සමාජීය සහ දේශපාලනික ඉල්ලීම් වඩාත් පැහැදිලි ලෙස ප්‍රකාශයට පත් කරනු ඇත.
නිව්යෝර්ක් නගරාධිපති ධුරයට පත් වූ මම්දානිගේ න්‍යාය පත්‍රයේ කේන්ද්‍රීය අංගය බවට පත්ව තිබූ, බස් ගාස්තු අඩු කිරීමක් සඳහා වන ඉල්ලීම්වලට පමනක් ඒවා සීමා නොවනු ඇත. මම්දානි නම් ඇස්බැන්දුම්කාරයා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහාය ඇතිව සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන, පියවරෙන් පියවරට ඉදිරියට යන ධනවාදයේ සුලු සුලු ප්‍රතිසංස්කරනවලින් කම්කරු පන්තිය සෑහීමකට පත් නොවනු ඇත. ඔවුන් ධනේශ්වර පන්තියේ අස්වාමික කිරීම ඉල්ලා සිටිනු ඇත.
මෙය ඉබේ සිදුවිය හැකි දෙයක් නොවේ. අපගේ විප්ලවීය ශුභවාදය පදනම් ව ඇත්තේ, අපගේ කාර්යසාධනය විභවය තථ්‍ය බවටත්, විය හැකි බව යතාර්ථය බවටත් පරිවර්තනය කිරීමේදී තීරනාත්මක සාධකයක් වන බවට අප තුල ඇති අවබෝධය මත ය.
කම්කරු පන්තියේ ව්‍යාපාරය සමාජවාදී විඥානයෙන් සංතෘප්ත කල යුතුය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 2025 දෙසැම්බර් 12 වන දින සෝෂලිස්ම් ඒඅයි දියත් කරන්නේ මේ සඳහා ය.
ලබන සිකුරාදා (12), ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සෝෂලිස්ම් ඒඅයි වෙත පිවිසෙන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. කම්කරු බලය, සමාජවාදය සහ මනුෂ්‍යත්වයේ විමුක්තිය සඳහා වන අරගලයේදී, මෙම බලගතු නව අවිය භාවිතා කරන පුරෝගාමීන් අතර පලමුවැන්නා වන්න.
