“ජීවිත කාලයක් හම්බ කරපු දේවල් එක දවසින් විනාශ වුනා”: ගංවතුරෙන් විපතට පත් පුත්තලමේ දුගී ගොවියෙක්

දිට්වා සුලි කුනාටුවෙන් රටපුරා දිස්ත්‍රික්ක 25ට බලපෑ ගංවතුර හා නායයෑම් හේතුවෙන් බෝග වගාවේ හා සත්ව පාලනයේ නිරත සුලු ගොවියන්, කුඩා ව්‍යාපාරිකයන් දහස් ගනනකගේ ජිවිකාව මත දරුනු ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පසුගිය සතියේ ඇති වූ ව්‍යසනයේ බලපෑම අතිවිශාල වන අතරම මෙම ජනයා සෑම වසරකම වර්ෂා කාලයේ දී තම වගා පාලුවට මුහුන දෙති. පොහොර, කෘෂි උපකරන, රසායන ද්‍රව්‍ය, සත්ව ආහාර හා ඖෂධ වල ඉහල මිල ගනන් හේතුවෙන් හා තම නිෂ්පාදිතයන් සඳහා නිසි මිලක් නොමැතිවීම හේතුවෙන් ඔවුහු දැනටමත් නය බරින් පීඩා විඳිති.

ආපදාවට ලක් වූ වී කුඹුරු හෙක්ටයාර් එකක් සඳහා ද, බඩඉරිඟු සහ අනෙකුත් ක්ෂේත්‍ර බෝග සඳහා ද රජයෙන් රුපියල් 150,000 ක්, සහ එලවලු ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 20,0000 ක මුදලක් ලබා දෙන බවට ජනතා විමුක්ති පෙරමුනු (ජවිපෙ)/ ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුව පො‍රොන්දු දී තිබේ.

සත්ව පාලන සඳහා ගෙවීම් කරන්නේ රජයේ ලියාපදිංචි වූ සත්ව ගොවිපලවල් සඳහා පමනි. ඒ තත්වය තුල නිවෙස්වල සුලු ප්‍රමානයෙන් මරනයට පත් වූ හරකුන්, එලුවන් සහ කුකුලන් සඳහා වන්දි හිමි නොවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙල අකුරට ම ක්‍රියාවට දමමින් ලබාදුන් මැතිවරන පොරොන්දු කුනු කූඩයට දමා ඇති ජවිපෙ/ජාජබ 2024 වසරේ ගංවතුරෙන් විනාශයට පත් වූ වී ගොවීන්ට පොරොන්දු වූ ලක්ෂයක වන්දිය සියලු ගොවීන්ට ලබා දී නැති අතරම “තක්සේකරු කිරීම්” යටතේ ලබා දී ඇත්තේ ඉතා සොච්චමකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ පුත්තලම දිස්ත්‍රික්කයේ දැදුරුඔය බටහිර බෑවුමේ පිහිටි මානුවන්ගම ගම්ම‍ානයේ පලා වගා කරන ගොවීන් සමගත් පුත්තලම දිස්ත්‍රික්කයේ දකුනු මායිමට වන්නට පිහිටි නාත්තන්ඩිය, කොට්ට්රාමුල්ලේ ගොවීන්, සුලු වෙලදාමේ යෙදෙන පීඩිත ජන කොටස් සමගත් සිදු වී ඇති විනාශය පිලිබඳ සාකච්ඡා කලහ. ජීවිත කාලයක් හම්බ කරපු දේවල් එක දිනයකින් විනාශ වූ බවත්, ජීවන වෘත්තීන් යලි මුල සිට ආරම්භ කිරීම පහසු නොවන බවත් ඔවුහු පෙන්වා දුන්හ.

කෘෂි බෝගවලට වන්දි පමනක් නොව, නිවාස පිරිසිදු කර ගැනීමට හා ගෘහ උපකරන මිලදී ගැනීමට අදාල අයදුම්පත් ග්‍රාම නිලධාරීවරයාට භාරදී ඇතත් ඒ සඳහා පොරොන්දු වූ, පිලිවෙලින් රුපියල් 25000 හා 50000ක මුදල් මෙතෙක් මෙම ජන කොටස්වලට ලැබී නැත.

නාත්තන්ඩිය නගරයේ සිට කිලෝ මීටර් 10 ක් පමන ගිනිකොන දෙසින් පිහිටි කොට්ට්රාමුල්ල මුස්ලිම් ජනතාව බහුල ගමකි. කොට්ට්රාමුල්ල ගම්මානයට හා ඒ අවට ප්‍රදේශවලට එකවර පැමිනි ගංවතුරට ගොදුරු වීමෙන්, වයෝවෘද්ධ පුද්ගලයන් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ව්‍යසනයෙන් මේ වන විට රට පුරා පුද්ගලයින් 638 මරනයට පත්ව පුද්ගලයන් 191 ක් අතුරුදහන් වී තිබේ. පුත්තලම දිස්ත්‍රික්කයේ මරනයට පත් වූ සංඛ්‍යාව 37 කි.

තරුන අඳ ගොවියන් තිදෙනෙකු වන සෆ්‍රාන්, හිජාස් සහ සෆ්ලාල් ඒකාබද්ධව කුඹුරු අක්කර 16 ක පමන නාඩු වී වගා කර තිබූ අතර පීදෙන්නට ආසන්නයේ පැවති ගොයම් ගංවතුරට යට වීමෙන් විනාශ වී තිබේ.

හිජාස් ගං වතුරෙන් ආපදාවට පත් තම නිවස ඉදිරිපිට, ජල ගැල්මෙන් විනාශයට පත් බව බෝග සහ උපකරන පසෙකින් ගොඩ ගසා ඇත.

“අපි බන්ඩි පෝරත් එක්ක පෝර මුර තුනම ගහලා තියෙද්දි තමයි ගංවතුර ආවේ. පනුවෙක් ඇවිල්ලා තෙල් ගැහුවා ඊට දවසකට ‍කලින්. පැල පොඩි කාලේදී නම් වතුරට යට වුනත් ටිකක් බේර ගන්න තිබුනා. නමුත් දැන් කුනු වෙනවා. අක්කරයකට රුපියල් 125,000 ක් විතර වැය වුනා. ඔයිල් ලිටර් 40 ක් ඕනා ටුැක්ටරයකින් වැඩ කරන්න. ඔයිල් ලීටරයක් රුපියල් 1400 යි. පෝර මිටියක් රැපියල් 9000 ක් වෙනවා. ආන්ඩුවෙන් පෝර සහනාධාරය විදිහට අක්කරයට 10000ක් දෙනවා. නමුත් ඒකෙන් තවම ලැබුනේ භාගයයි” සෆ්‍රාන් සහ සෆ්ලාල් කියා සිටියේ ය.

ආන්ඩුවෙන් ලබාදෙන වන්දි මුදල් ලැබෙන්නේ ඉඩම්වල අයිතිකරුවන්ට බව සෆ්‍රාන් කියා සිටියේ ය. “පාඩුව දරා ගන්න වෙන්නේ අපිට. අස්වැන්නෙන් හතරෙන් එකක් අයිතිකරුට දෙන විදිහට තමයි පොරොන්දු වෙලා තියෙන්නේ. අපිට කිසිම වන්දියක් නෑ. අපි කියන්නේ ඒ වන්දි මුදල් වියදම් කරපු ගොවීන්ට ලබා දෙන්න කියලා. අපි රත්තරන් බඩු උගස් කර කර තමයි මේ ගොවිතැන කෙරුවේ. ආයේ පටන් ගන්න සල්ලි නෑ අපිට.”

සෆ්‍රාන්ගේ ගවයන් දෙදෙනෙකු ගංවතුරින් මරනයට පත් වී ඇතත් ඒ සඳහා වන්දි හිමි නොවේ. ගොවිතැනින් ලැබෙන ආදායම ගෙදර වියදම් සඳහා ප්‍රමානවත් නොවන නිසා මෙම තරුනයන් තිදෙනා, මෝටර් කාර්මික වැඩ, පරන යකඩ එකතු කිරීම වැනි රැකියාවල ද නිරත වී සිටිති.

“ගිය කන්නේ නාඩු වී කිලෝවක් මුලින්ම වෙලෙන්දෝ ගත්තේ රුපියල් 95 ට. පහු වෙනකොට තවත් අඩු කලා. මට සුලු ලාභයක් තිබිලා ගෙදරට ශිතකරනයක් ගත්තා. ඒකත් ගංවතුරට විනාශ වෙලා” යයි සෆ්‍රාන් කියා සිටියේ ය.

හිජාස්ගේ පියා කොලඹ පිටකොටුවේ සුලු වෙලෙන්දෙකි. නමුත් අසනීප තත්වය හේතුවෙන් පසුගිය මාසයක පමන කාලයක් වෙලදාමේ ගොස් නැත. තම බිරිඳ සමග අනාරක්ෂිත කුඩා නිවසක දිවි ගෙවන ඔහු ගංවතුරින් දිවි ගලවා ගෙන ඇත්තේ අනු නවයෙනි.

හිජාස්ගේ සහෝදරිය පාතිමා රුස්දාගේ ස්වාමියා හෘදයාබාධයකින් මිය ගොස් ඇත. සිවුදරු මවක වන ඇයගේ නිවසේ බිත්ති පුපුරා ගොස් තිබේ. ඇය හා ඇගේ දරුවන් යැපෙන්නේ පියාගේ හා අනෙකුත් සහෝදරයන් දෙන මූල්‍යාධාරයෙනි. ඇය අදහස් දක්වමින් මෙසේ කියා සිටියා ය.

පාතිමා රුස්දා සහ ඇගේ දරුවන්

“මට අස්වැසුම (සහනාධාරය) ලැබෙන්නේ රුපියල් 5000 යි. ඒකෙන් මොකුත් කරන්න බෑ. මගේ ස්වාමියා ඉන්න කොට මාලු කෑවා. දැන් කන්නේ සෝයාමීට් තමයි වැඩිපුර. දැන් මාලු ගෑම් 500 ක් රුපියල් 500ක් වෙනවා. දවල් කෑමට විතරක් රුපියල් 1500ක් විතර යනවා. අපි කොහොමද කන්නේ. රට ගොඩනගනවා කිව්වාට අපිට කන්නත් නෑ?” යැයි ඇය කියා සිටියා ය.

පියාගේ අසනීප තත්වය හා මහන මැෂිම ගංවතුරට හසු වීමෙන් යලි අලුත්වැඩියා කරගත නොහැකිවේ ද යන්න පිලිබඳව ඇය දැඩි කනගාටුවෙන් පසුවෙයි.

ධනපති ක්‍රමයට යටතේ, මහ බැංකු, පොහොර නිපදවන සමාගම් මෙන්ම දැවැන්ත සහල් කම්හල් පෞද්ගලික හිමිකරුවන් ස්වල්ප දෙනෙක් අත පැවතීම සහ ඔවුනගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවීම මෙම ප්‍රශ්න වලට හේතුව බවත්, ලෝසවෙඅ වාර්තාකරුවෝ මෙම ජනතාවට පැහැදිලි කලහ.

සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් යටතේ එම දේපල ජනසතු කර, පුද්ගලික ලාභය වෙනුවට මිනිස් අවශ්‍යතා මත කෘෂිකර්මාන්තය ඇතුලු සමස්ත නිෂ්පාදන සහ බෙදා හැරීමේ ක්‍රියාවලිය සංවිධානය කර ගැනීමෙන් මෙම ප්‍රශ්න ජය ගත හැකි හැකි බවත්, ඒ සඳහා සටන් කරනු වස් නිවහන් ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු බවත් සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ.

පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත සිට උතුරු දෙසින් කිලෝ මීටර් 10 ක් පමන දුරින්, දැදුරු ඔයට බටහිර මායිමේ පිහිටි තිසෝගම, ආරියගම, නරියගම, මානුවංගම, මුකුනුඅටවන ආදි ගම්මාන විශාල ප්‍රමානයක ජනයාගේ නිවාස, ගෘහ උපකරන වගා බිම් හා සත්ව පාලන ගංවතුරින් විනාශ කෙරී තිබේ. මෙම ප්‍රදේශ රටේ විශාල ප්‍රදේශයකට අවශ්‍ය පලා වර්ග වගා කරයි. ව්‍යසනයෙන් ගම්මානයේ කුඩා මර්ග කැඩිබිදි ගොස් තිබේ.

මෙම ගම්මාන සෑම වසරක දී ම ගංවතුර තර්ජනයට මුහුන දුන්න ද මෙවර බලාපොරොත්තු නොවූ විශාල ජල කඳක් එකවරම තම නිවාස යට කරගත් ආකාරය ගම්වැසියෝ විස්තර කලහ. මානුවංගම වයස අවුරුදු 56 ක් වියැති ඇන්ටනි සැඩ පහරට හසු වී මරනයට පත් වූ අතර, ඇදුම වැනි රෝගී තත්වයන්ගෙන් පසු වූ අවට ප්‍රදේශවල කිහිප දෙනෙක් කුනාටුව පැවති දිනවල ජල ගැලීම් හා සීතල ඔරොත්තු නොදීමෙන් මිය ගොස් තිබේ.

මිය ගිය ඇන්ටනිගේ සහෝදරියක් වන වයලට් සිද්ධිය මෙසේ විස්තර කලා ය: “අයියත් අපේ වයසක අම්මවත් අරන් ආරක්ෂිත ස්ථානයකට ගියා. එත‍කොට අපේ පපුව ගානට වතුර තිබුනා. නමුත් එතනදී එලියට යන්න ගිය අවස්ථාවකදී තමයි අයියව වතුරට ගහගෙන ගියේ. එයා අසනීප තත්වයෙන් ගිටියේ. ඔහුට දරුවෝ හතර දෙනෙක් හිටියා. ආධාරයක් ලැබෙන්නවා නම් හොඳයි.”

“අපිට කලින් තිබුනු තත්වයට යන්න බෑ. ඒ තරම් විනාශයක් වෙලා” යයි ඇන්ටනිගේ දෙවැනි දුව සිය කුඩා දරුවාත් අතැතිව සිටිය දී කියා සිටියේ ය. නිවස පිරිසිදු කිරීමට ලබා දෙන රුපියල් 25,000ක මුදල, ගෘහ භාන්ඩ සඳහා දෙන රුපියල් 50000 හා ඇන්ටනි වෙනුවෙන් ලබාදිය යුතු රුපියල් මිලියනක මුදල් කිසිවක් ඔවුන්ට ලැබී නැත.

ඇන්ටනිගේ දෙවැනි දුව සිය කුඩා දරුවාත් අතැතිව

ඇන්ටනිගේ නිවසට යාබද නිවසේ සිටි තවත් කාන්තාවක් කියා සිටියේ නිවසේ තිබූ සියලු වටිනා බඩුබාහිරාදිය අතහැර ජීවිතය බේර ගැනීමට සිදු බවයි. ඇය ආරක්ෂාව පතා හලාවත නගරයටම ගංවතුර මැදින් ගමන් කර නැවත නිවසට පැමින තිබෙන්නේ දින 3කට පසුවයි.

“ගෙදරින් පිටවුනේ අපේ පපුව හරියට වතුර ආවායින් පස්සේ, සැඩ පහර වැඩියි. පුතාව ගහගෙන යන්න ගිහින් කට්ටිය බේර ගත්තා. තැන තැන නතර වුනා නමුත් ඒ තැන්වලිනුත් යන්න වුනා. හලාවතටම ගියා. ස්ටේෂන් එක (දුම්රිය ස්ථානය) ලඟ 30 ක් විතර හිටියා ඒ සියලු දෙනා අඹ ගැට තමයි කලා තියෙන්නේ” ඇය විස්තර කලා ය.

දැදුරු ඔයේ වාන් දොරටු සියල්ල එකවර විවෘත කිරීම හදිසියේ මහා ජල කඳක් ගලා ඒමට හේතු වූ අතර කොත්මලේ ඇතුලු රටපුරා පිහිටි විශාල ජලාශ එකවර විවෘත කිරීම සිදු වූ විනාශය තීව්‍ර කිරීමට හේතු වී තිබේ.‍ බොහෝ ප්‍රදේශවල ඒ සම්බන්ධව පූර්ව දැනුම් දීමක් සිදු කෙරුනේ නැති තරම් ය.

“අපිට දැනුම් දුන්නා. අපි කොහොමද බඩු මුට්ටු ඉවත් කරගෙන එකවර ඉවත් වෙන්නේ. අපි රෙදිපිලි, වටිනා ලියකියවිලි අරගෙන යනකොට වෙන්න තියෙන ඒවා වෙලා ඉවරයි. අපේ ජීවිත කාලේම හම්බ කරපුවා එක දවසින් විනාශ වුනා. අපි කංකුං, මුකුනුවැන්න, ගොටුකොල තමයි වගා කරන්නේ. අපිට නැවත වගා කරලා ආදායමක් ගන්න අවුරුද්දක්වත් යයි. දැන් මුලක්වත් නෑ. තැම්බිලා ගිහිල්ලා”.

Loading