[මෙය Mamdani announces “partnership” with hated would-be dictator Trump යන මැයෙන් 2025 ඔක්තෝබර් 29 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
නිව් යෝර්ක් නගරයේ නගරාධිපති ලෙස තේරී පත් වූ සොහ්රාන් මම්දානි, සිකුරාදා (21) පස්වරුවේ, ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වී, ඕවල් කාර්යාලයේ දී මිනිත්තු 30 ක මාධ්‍ය හමුවක් පැවැත්වීය. විකාරරූපී මංගල්‍යයක් බඳු වූ මෙම සිද්ධිය අතරතුර, ෆැසිස්ට්වාදී ට්‍රම්ප් සමග “හවුල්කාරිත්වයක්” ප්‍රකාශයට පක් කල, ඇමරිකාවේ ඩිමොක්‍රටික් සමාජවාදී (ඩීඑස්ඒ) පක්ෂ සාමාජික මම්දානි, ඔහු හා “එකමුතුව වැඩ කිරීමට” ප්‍රතිඥා දුන්නේ ය.
දේශපාලනික ව රැඩිකලීකරනය වෙමින් සිටින කම්කරුවන්ට සහ තරුනයින්ට මේවා සැබෑ තතු හෙලි කරන අත්දැකීම් විය යුතු බැවින්, සිදු වූ අදහස් හුවමාරුව මතකයේ රඳවා තැබීම අත්‍යවශ්‍ය ය.
මම්දානිගේ මැතිවරන ජයග්‍රහනය වෙනුවෙන් ඔහුට සුබ පතමින් කතාව ආරම්භ කල ට්‍රම්ප්, “ඔහු වඩාත් හොඳින් එය කරන තරමට මම සතුටු වෙමි” යනුවෙන් ද, “පක්ෂවල වෙනසක් නැත” යනුවෙන් ද ප්‍රකාශ කලේ ය. “සියලු දෙනාගේම සිහිනය සැබෑ කිරීමට අපි [මම්දානිට] උදව් කරන්නෙමු,” ඔහු තවදුරටත් කියා සිටියේ ය. එම හමුව, “ඵලදායි” එකක් බවත්, “ප්‍රශංසාවේ සහ ආදරයේ පොදු නිවහන වන නිව් යෝර්ක් නගරය කෙරෙහි අවධානය යොමු කල” බවත් පවසමින් මම්දානි ඒ අයුරින්ම ප්‍රතිචාර දැක්වීය.
මාධ්‍ය සාකච්ඡාවට පෙර ඔවුන්ගේ හමුව, ජීවන වියදම “දැරීමේ හැකියාව” කෙරෙහි අවධානය යොමු කල බව දෙදෙනා ම පැවසූ අතර, ජීවන වියදම් අර්බුදය විසඳීම සඳහා ට්‍රම්ප් සමඟ එක්ව කටයුතු කරන බව මම්දානි ප්‍රකාශ කලේ ය. “ජනාධිපතිවරයා සමඟ හවුල්කාරිත්වයේ වාසි නිව් යෝර්ක් වැසියන්ට ලබා දීමට මම බලාපොරොත්තු වෙමි” යි මම්දානි පැවසී ය. පසු ව, ඔහු ඉදිරි හවුල්කාරිත්වය එෆ්ඩීආර් (ජනාධිපති ෆ්‍රැන්ක්ලීන් ඩී රුස්වෙල්ට්) සහ ඔහුගේ නිව් ඩීල් (ප්‍රතිසංස්කරන වැඩපිලිවෙල) සමඟ සංසන්දනය කලේ ය.
එසේ කලේ, කම්කරු පන්තියට එරෙහිව අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින් සිටින, ආහාර මුද්දර කපා හරින, සමාජ ආරක්ෂනය සහ වෛද්‍ය සේවාවලට තර්ජනය කරන, මහජන අධ්‍යාපනය විනාශ කරන, මහජන සෞඛ්‍යයට එරෙහිව යුද්ධයක් ගෙන යන සහ කම්කරු පන්තියේ සිට කතිපයාධිකාරය කරා, ඇමරිකානු ඉතිහාසයේ විශාලතම ධන හුවමාරුව සංවිධානය කරන පරිපාලනයකි.
ට්‍රම්ප්, රට පුරා කෙරෙන තම ප්‍රචන්ඩ වටලෑම්වල දී කම්කරුවන් අත්අඩංගුවට ගැනීම යුන්තියුක්ත කරද්දී, සංක්‍රමනිකයින්ට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් මම්දානි නිහඬව සිටියේ ය. මම්දානිට අවශ්‍ය වන්නේ ද එයම බව ට්‍රම්ප් පැවසී ය. “ඔහුට සුරක්ෂිත නිව් යෝර්ක් නගරයක් අවශ්‍යයි. ... භයානක මිනිසුන් සිටී නම්, අප ඔවුන් එලියට ඇද දැමිය යුතුයි. ... ඔවුන් ව එලියට ඇද දැමීම මට වඩා අවශ්‍ය ඔහුටයි,” ට්‍රම්ප් පැවසී ය.
මම්දානි, සංක්‍රමනිකයන් “භයංකර මිනිසුන්” බවට වන ෆැසිස්ට්වාදී ප්‍රකාශයට විරුද්ධ වූයේ හෝ චාලට් සහ තවත් නගරවල නීති විරෝධී දේශසීමා මුර සංචාර යෙදවීමට අභියෝග කලේ නැත. අයිසීඊ ය (එක්සත් ජනපදයේ ආගමන-විගමන අධිකාරිය) “හොර ඒජන්සියක්” බවට වූ ඔහුගේ අතීත විවේචන ගැන විමසූ විට, මම්දානි, “නිව් යෝර්ක් නගර ආන්ඩුවට ෆෙඩරල් ආන්ඩුව සමඟ වැඩ කිරීමට ඉඩ දීම” ගැන යමක් මුමුනමින්, ට්‍රම්ප් සහ ඔහු “අයිසීඊ ය සහ එන්වයිසී (නිව් යෝර්ක් නගරය) ගැන සාකච්ඡා කල” බව පැවසීය.
පොලිසිය ගැන කතා කල ට්‍රම්ප්, “ශ්‍රේෂ්ඨ පොලිස් කොමසාරිස්වරයෙකු රඳවා තබා ගැනීම” ගැන මම්දානිට ප්‍රශංසා කලේය—එය, ට්‍රම්ප්ගේ පවුල සමග සමීප සබඳතා ඇති බිලියනපති ටිෂ් පවුලේ උරුමක්කාරයා වන ජෙසිකා ටිෂ් ගැන කල සඳහනකි. දැවැන්ත නිරීක්ෂන තන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙනුත්, ගාසා තීරයේ යුද්ධය පිලිබඳ ඕනෑම විවේචනයක් යුදෙව් විරෝධී වන බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙනුත්, ටිෂ් කුප්‍රකට ය. ප්‍රමානවත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් පවත්වා ගැනීමට සහ “පොලිසියට තමන්ගේ වැඩ කෙරෙහි අවධානය යොමු කිරීම පහසු කිරීමට” පොරොන්දු වූ විට මම්දානි එකඟතාවයෙන් හිස වැනී ය.
මැතිවරනයේ දී ඔහුගේ සහයෝගයට බලපෑ ප්‍රධාන සාධකයක් වූ ජන සංහාරය සම්බන්ධයෙන්මත් ගත්කල, වංචනික සටන් විරාම රාමුවක් යටතේ ඊශ්‍රායල ආක්‍රමනය සහ ගාසා තීරය ඈඳා ගැනීම සඳහා ට්‍රම්ප් පරිපාලනය ගත් පියවරයන්ට මම්දානි සහාය දැක්වීය: “නිව් යෝර්ක් වැසියන්ගේ උත්සුකය වන්නේ, අපගේ බදු මුදල් නිව් යෝර්ක් වැසියන්ට ලැබිය යුතුය යන්න යි,” මම්දානි පැවසුවේ, “සාමය සඳහා දරන සියලු උත්සාහයන් අගය කරන” බව ද ඊට එකතු කරමිනි. මාධ්‍ය හමුව අවසානයේ, මම්දානි, “යුදෙව් විරෝධය මුලිනුපුටා දැමීමේ” තම අධිෂ්ඨානය ප්‍රකාශ කලේ ය—එය, ජන සංහාරයට එරෙහි විරෝධය යුදෙව් විරෝධයක් බවට වන බොරුව නීත්‍යානුකූල කරයි.
ට්‍රම්ප් පිලිබඳ මෘදු හෝ විවේචනයක් වලක්වා ගැනීමට මම්දානි පරිස්සම් සහගත විය. ට්‍රම්ප් ඒකාධිපතියෙකු ලෙස හැඳින් වූ අතීත ප්‍රකාශ ගැන විමසූ විට, මම්දානි කර ඇරියේ ය. “අපගේ ස්ථාවරයන් සහ අදහස් උදහස් පිලිබඳව අපට ඉතා පැහැදිලියි. ... ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මම සැබවින්ම අගය කරන දෙය නම්, අපේ හමුව, එකඟ නොවීම් පිලිබඳ ගැටලු කෙරෙහි නොව, අපට ඇති පොදු අරමුන කෙරෙහි අවධානය යොමු කර තිබීමයි.”
එක් අවස්ථාවක දී, වාර්තාකරුවෙකු, ට්‍රම්ප් ෆැසිස්ට්වාදියෙකු බවට ඔහුගේ පූර්ව ප්‍රකාශ ගැන මම්දානිගෙන් කෙලින්ම විමසී ය. පිලිතුරක් සොය සොයා මුමුනන්නට ගත් මම්දානි, ට්‍රම්ප්ට ඔහු වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට ඉඩ හලේය: “ඒක හරි, ඔබට ඇත්තටම එහෙම කියන්න පුලුවන්. එහෙම කියන එක, ඒ ගැන පැහැදිලි කිරීමට වඩා පහසුයි. ඒකට කාරි නැහැ.” ඉන්පසු ට්‍රම්ප් ඔහුගේ අතට තට්ටු කල විට, මම්දානි සිනාසුනේය. මේ අනුව, ට්‍රම්ප් ෆැසිස්ට්වාදියෙකු බව දෙදෙනා ම පිලිගත්හ; එසේ වුවුද, මෙය ඔවුන්ගේ මල් පල දරන “හවුල්කාරිත්වයට” බාධාවක් නොවනු ඇත.
ට්‍රම්ප් හමුවීමට පැය කිහිපයකට පෙර, හකීම් ජෙෆ්‍රිස් සහ අනෙකුත් ඩිමොක්‍රටික් පක්ෂ නායකත්වයේ කැමැත්ත ද සහිතව, ද්විපාර්ශ්වික සහයෝගය මත සම්මත කරගන්නා ලද, සමාජවාදය හෙලා දැකීමේ මන්ත්‍රී මන්ඩල යෝජනාව ගැන විමසූ විට, මම්දානි එය එතරම් ගනන් ගත යුතු දෙයක් නොවන බව පෙන්වන ආකාරයේ ප්‍රතිචාරයක් දැක්වීය. “මම ඒ යෝජනා කෙරෙහි අවධානය යොමු කරන්නේ ඉතා අල්ප වශයෙන්,” ඔහු පැවසීය. “මම ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙක්” යැයි අවධාරනය කල ඔහු, “මතවාදී වෙනස්කම් තිබිය හැකි වුව ද. ... නිව් යෝර්ක් නගරයේ ජීවන තත්වය පහසු කිරීමේ කාර්යය වෙනුවෙන් අප පැමිනිය යුතු ස්ථානය විය යුත්තේ එකඟතාවය” බව එයට ඉක්මනින් එකතු කලේ ය.
මම්දානි-ට්‍රම්ප් හමුව සිදු වූයේ, ට්‍රම්ප් පරිපාලනය මුහුන දෙමින් සිටින, තීව්‍ර වන දේශපාලන අර්බුදයක් මධ්‍යයේ ය; එප්ස්ටයින් සෝලියට ට්‍රම්ප්ගේ පෞද්ගලික මැදිහත්වීම සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂය තුල සිදු වූ ගැඹුරු බෙදීම් ද ඊට ඇතුලත් ය. එසේම, ට්‍රම්ප්, වර්ධනය වන මහජන විරෝධයකට ද මුහුන දෙයි. උතුරු කැරොලිනාවේ, සංක්‍රමනික පවුල් ආරක්ෂා කිරීම සඳහා දස දහස් ගනන් සිසුන් වැඩ නැවැත්වීම් සහ අසනීප නිවාඩු විරෝධතාවලට සහභාගී වී ඇත. යන්තම් මීට මාසයකට පෙර, ආඥාදායකත්වයට සහ ෆැසිස්ට්වාදයට එරෙහි “රජුන් එපා” විරෝධතාවලට මිලියන ගනනින් සහභාගී වූහ.
ට්‍රම්ප් ගේ තර්ජනයන්ට ඉලක්ක කෙරුනු අය අතර, හිටපු හමුදා සහ බුද්ධි අංශ නිලධාරීහු ද වෙති—එය, එක්සත් ජනපදය පුරා හමුදාව යෙදවීම ඇතුලු සාපරාධී ක්‍රියා සඳහා ට්‍රම්ප්ගේ සැලසුම් පිලිබඳව මෙම ස්ථර තුල දැනුවත්භාවයක් ඇති බවට ඇඟවුමකි. මම්දානි මෙම තර්ජන හෙලා දකිනවා තබා, ඒවා ගැන සඳහන් කලේවත් නැත.
ගැඹුරින් ම අපකීර්තියට පත්ව සහ වටලෑමට ලක්ව තිබෙන ඔහුගේ පරිපාලනයට නීත්‍යානුකූලභාවය ලබා දෙන මෙම හමුව, ට්‍රම්ප්ට පමනක් ම වාසිදායක විය හැකි ය. එය, ට්‍රම්ප්ගේ කොන්දේසි මත ආන්ඩුව වසා දැමීම අවසන් කිරීමටත්, ඔහුගේ පරිපාලනයට ඇප දීමටත් ඩිමොක්‍රටික් පක්ෂය සති දෙකකට පෙර ගත් තීරනයේ සන්දර්භය තුල තබා දැකිය යුතු ය.
කෙතරම් නින්දා සහගත වුව ද, පන්ති අවශ්‍යතා සහ නිමක් නැති තත්කාර්යවාදය විසින් මෙහෙයවනු ලබන ඩීඑස්ඒ සහ සමස්ත ව්‍යාජ-වම, තමන් සාධාරනීකරනය කර නොගන්නා ක්‍රියාවක් නොමැත. රැස්වීම “සමාජවාදය සමඟ අභිඝට්ටනයක්” බවට ෆොක්ස් නිවුස් කල ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්, ඩීඑස්ඒ සිකුරාදා (21) සවස “සමාජවාදය ජයග්‍රහනය කලේ ය!” යනුවෙන් ලිවී ය. අභිලාෂකාමී ආඥාදායකයා ගැන මම්දානිගේ ප්‍රශංසාව, සමාජ ප්‍රතිසංස්කරන ප්‍රතිපත්තියක් සඳහා ට්‍රම්ප්ව දිනා ගන්නා, යම් ආකාරයක දක්ෂ උපායික මෙහෙයුමක් ලෙස ඉදිරිපත් කෙරේ.
මොන තරම් රැවටිල්ලක් ද! මම්දානි ට්‍රම්ප් ඉදිරියේ වැඳ වැටීම, ඔහුගේ ආධාරකරුවන් ව්‍යාකූල කිරීමටත්, ඔහුව බලයට ඔසවා තැබූ රැඩිකල්වාදය ම යටපත් කර දැමීමටත් උපකාරී වනු ඇත. මම්දානි සම්බන්ධයෙන් ගත් කල, දැනට “අවංක ට්‍රම්ප්” ගේ ප්‍රශංසාවෙන් බැබලෙමින් සිටින ඔහුට, ට්‍රම්ප් කැමති ආකාරයට නොහැසිරෙන්නේ නම්, නැවත වාරයක්, දරුනු හෙලාදැකීම් සහ ප්‍රචන්ඩත්වයේ තර්ජනවලට මුහුන දීමට සිදුවනු ඇත.
මේ සියල්ල කෙතරම් කුනු වී තිබුන ද, ඒ ගැන පුදුම වීමට තරම් දෙයක් නැත. මැතිවරනයට පෙර ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ලිවී ය: “මම්දානි ජයග්‍රහනය කල ද, ඔහු විසින්ම නායකත්වය දරන නගරාධිපති ධුරයක් හෝ කුඕමෝ විසින් නායකත්වය දරන නගරාධිපති ධුරයක් අතර ඇත්තේ ඉතා සුලු වෙනසක් පමනක් බව, දැනටමත් ඔහුගේ මැතිවරන ව්‍යාපාරය තුල පෙන්නුම් කෙරී තිබේ.” මාසයකටත් අඩු කාලයක් තුල, මෙය අවතක්සේරුවක් බව මම්දානි ඔප්පු කර තිබේ.
කෙසේ වෙතත්, එය හුදෙක් මම්දානි නම් පුද්ගලයා පිලිබඳ ප්‍රශ්නයක් නොව, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව, ඩීඑස්ඒ, ජැකොබින් සඟරාව සහ සමස්තයක් ලෙස ව්‍යාජ-වම විසින් ප්‍රවර්ධනය කරන නිශ්චිත දේශපාලන ඉදිරිදර්ශනයක් පිලිබඳ, එනම්, රාජ්‍ය ආයතන තුල වෙනසක් ඇති කිරීමේ ඉදිරිදර්ශනයක් පිලිබඳ ප්‍රශ්නයකි. මෙම අත්දැකීම කොපමන වාරයක් පුනර්කරනය කල යුතුද? ග්‍රීසියේ සිරිසා, ස්පාඤ්ඤයේ පොඩෙමොස්, ප්‍රංශයේ මෙලෙන්චොන්, එක්සත් ජනපදයේ බර්නි සෑන්ඩර්ස් සහ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස්; සහ දැන් මම්දානි.
පන්ති අර්ථයෙන් ගත් කල, ට්‍රම්ප් සමඟ “හවුල් අරමුනක්” පිලිබඳ මම්දානිගේ ප්‍රකාශය, ට්‍රම්ප් පාලනය කරන කතිපයාධිකාරය සමඟ පෙල ගැසීමට ඩීඑස්ඒ ආමන්ත්‍රනය කරන ඉහල මධ්‍යම පන්තිය නියෝජනය කරයි. ෆැසිස්ට්වාදයට වඩා සමාජ විප්ලවයට බිය වන මෙම බලවේග, කම්කරු පන්තිය අධෛර්යමත් කිරීමටත්, අවමංගත කිරීමටත් පමනක් සේවය කරන අතර ධනේශ්වර පාලනයේ වඩ වඩාත් විවේචනාත්මක ආධාරකයක් ලෙස ක්‍රියා කරයි.
මම්දානිට සහාය දුන් සහ ගාසා සංහාරයට, සංක්‍රමනිකයින්ට එරෙහි ප්‍රහාරවලට සහ කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයට විරුද්ධ වන සෑම කෙනෙකුම, මෙම වර්ධනයන් සම්බන්ධයෙන් බැරෑරුම් හා මනා සිහි නුවනින් යුතු විය යුතු ය. සමාජවාදය සඳහා සටන සහ කතිපයාධිකාරයට එරෙහි විරෝධය පැමිනෙනු ඇත්තේ, එවැනි බලවේග හරහා නොව, ඔවුන්ට එරෙහිව කෙරෙන නිර්දය අරගලයක් හරහා ය.
සමාජවාදය බැරෑරුම් ලෙස සලකන, ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කිරීමට සහ කම්කරු පන්තියේ අවශ්‍යතා සහ මානව වර්ගයාගේ පැවැත්ම සඳහා කැප වී සිටින සියලු දෙනා විසින් එලඹගත යුතු නිගමනය නම්, නිර්ව්‍යාජ විප්ලවවාදී ව්‍යාපාරයක්, එනම්, සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීමේ අවශ්‍යතාවයයි.
