ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ දැවැන්ත ගංවතුර හේතුවෙන් ඇති වූ මානව ව්‍යසනය: එය සිදු වූයේ කෙසේ ද?

[මෙය The human catastrophe caused by massive flooding in Sri Lanka and Asia: How did it happen? මැයෙන් 2025 දෙසැම්බර් 8 වැනි දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]

දිට්වා සුලි කුනාටුවෙන් දින පහකට පසුවත්,  2025 දෙසැම්බර් 2දා වන විටත් ජලයෙන් යට වී පවතින කොලඹ -අවිස්සාවේල්ල මාර්ගය වැල්ලම්පිටියේ දී [Photo: WSWS]

නොවැම්බර් 26 වන දින දිවයිනේ ගිනිකොන දෙසින් ගොඩබිමට ඇතුලු වී නැගෙනහිර වෙරල තීරය ඔස්සේ උතුරු දෙසට ගමන් කල දිට්වා සුලි කුනාටුවෙන් ශ්‍රී ලංකාව දැවැන්ත විනාශයකට මුහුන දී තිබේ. නිල සංඛ්‍යාලේඛනවලට අනුව, සුලි කුනාටුව සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් පුද්ගලයින් 627 දෙනෙකු මිය ගොස් ඇති අතර, 190 දෙනෙකු මෙතෙකුදු අතුරුදහන් වී ඇත.

නිවාස 4,500 කට වැඩි ප්‍රමානයක් සම්පූර්නයෙන්ම විනාශ වී ඇති අතර 76,000 කට වැඩි ප්‍රමානයකට අර්ධ වශයෙන් හානි සිදු වී ඇත. කිලෝමීටර් 247 ක මාර්ග බලපෑමට ලක් වූ අතර පාලම් 40 ක් ගසා ගෙන ගොස් ඇත. මධ්‍යම කඳුකරය හරහා දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොටස් කිහිපයක් විනාශ වී ඇති අතර, මෙම තීරනාත්මක මාර්ගයේ ප්‍රවාහනය දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇත.

සුලි කුනාටුවෙන් ඇති වූ විනාශය ශ්‍රී ලංකාවට පමනක් සීමා වූ හුදකලා සංසිද්ධියක් නොවේ. නොවැම්බර් මාසයේ අවසාන සතියේ අග්නිදිග ආසියාව පුරා ධාරානිපාත වර්ෂාව ඇද හැලුනු අතර, ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල දැවැන්ත ගංවතුර සහ නාය යෑම් ඇති විය. දහසකට වැඩි පිරිසක් මිය ගිය අතර, මිලියන ගනනක් අවතැන් වූහ. නිවාස දස දහස් ගනනක් සම්පූර්නයෙන්ම හෝ අර්ධ වශයෙන් විනාශ විය. දේපල හානියේ සම්පූර්න පරිමානය තවමත් තක්සේරු කර නොමැත.

[AP Photo/Eranga Jayawardena]

ව්‍යසනයට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සතියේ ප්‍රකාශ කලේ, “අපි අපේ ඉතිහාසයේ විශාලතම හා වඩාත්ම අභියෝගාත්මක ස්වාභාවික ව්‍යසනයට මුහුන දෙමින් සිටිමු” යනුවෙනි. විනාශයේ පරිමානය සැබවින්ම අතිමහත් වුව ද, ව්‍යසනය තනිකරම “ස්වාභාවික” සිදුවීමක් බව ප්‍රකාශ කිරීම එයට යටින් පවතින ගැඹුරු සමාජ හා විද්‍යාත්මක යථාර්ථයන් වසන් කරයි.

බොහෝ අය සරල හා හදිසි ප්‍රශ්නයක් අසති: මෙම ව්‍යසනය සිදු වූයේ කෙසේද?

පිලිතුර ඇත්තේ ඉරනම හෝ සොබාදහම තුල නොව, ප්‍රධාන වශයෙන් ගෝලීය උනුසුම මගින් මෙහෙයවනු ලබන දේශගුනික විපර්යාසවල ඒකාබද්ධ බලපෑම සහ අනුප්‍රාප්තික ආන්ඩු විසින් විද්‍යාත්මක හා ආපදා වැලැක්වීමේ යටිතල පහසුකම් ක්‍රමානුකූලව විසුරුවා හැරීම තුල ය.

දශක ගනනාවක පර්යේෂනවලින් පෙන්වා දී ඇත්තේ ගෝලීය උනුසුම ඉන්දියානු සාගරයේ දේශගුන රටා නැවත සකස් කරමින් සිටින බවත්, මුහුදු මතුපිට උෂ්නත්වය ඉහල යාම, සුලි සුලං ඇතිවීම තීව්‍ර කිරීම, වායුගෝලීය තෙතමනය මට්ටම් ඉහල නැංවීම, අධික වර්ෂාපතනයක් ඇති කිරීම සහ කෙටි කාලයක් තුල දැවැන්ත ජල පරිමාවක් මුදා හරින කුනාටු ඇතිවීමේ සම්භාවිතාව ඉහල නංවන බවත් ය.

නොවැම්බර් 28 වන දින ශ්‍රී ලංකාවට අත්විඳින්නට ලැබුනු පෙර නොවූ විරූ වර්ෂාපතනය මෙම දේශගුනික විපර්යාසයේ පැහැදිලි ප්‍රකාශනයකි. The Diplomat හි වාර්තා වූ පරිදි, “නොවැම්බර් 28 වන දින පැය 24 ක් තුල ශ්‍රී ලංකාවට ඝන මීටර් බිලියන 13 කට ආසන්න ජලය පතිත වූ අතර, මෙය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයෙන් සියයට 10 කට සමාන වේ. තත්පරයට ඝන මීටර් 150,000 ක් පමන  වූ ජල විසර්ජනය, ඇමසන් ගංගාවේ උපරිම ජල විසර්ජන අනුපාතයට ආසන්න විය.”

මෙම සංඛ්‍යා විශ්ලේෂනය කරමින්, ජල විද්‍යාඥ මහාචාර්ය ලක්ෂ්මන් ගලගෙදර මෙසේ පැහැදිලි කලේය: “පෙර වැසි හේතුවෙන් පස දැනටමත් සංතෘප්ත වී තිබූ නිසා මෙම ජලයෙන් බොහොමයක් පාහේ ගලා යාමට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ රට මීට පෙර කිසිදා අත්විඳ නොතිබූ ගංවතුර සහ නායයෑම් ය.”

ලොව පුරා දේශගුනික රටා වේගයෙන් වෙනස් කරන ගෝලීය උනුසුම, පෞද්ගලික ලාභය මත පදනම් වූ ධනේශ්වර ක්‍රමය තුල පාලනය කර ආපසු හැරවිය නොහැක. පසුගිය මාසයේ බ්‍රසීලයේ පැවති COP-30 දේශගුනික සමුලුව මෙම යථාර්ථය යලිත් තහවුරු කලේ ය.

සමුලුවේ ආධිපත්‍යය දැරුවේ පොසිල ඉන්ධන අවශ්‍යතාවන් වන අතර, එක්සත් ජනපදය, චීනය, රුසියාව, ජපානය සහ ඉන්දියාව ඇතුලු ඉහල ම හරිතාගාර වායු විමෝචන රටවල ප්‍රධාන ලෝක නායකයෝ පවා එයට සහභාගී නොවූහ. පූර්ව කාර්මික යුගයේ සිට ගෝලීය සාමාන්‍ය උෂ්නත්වය ඉහල යාම 1.5°C ට සීමා කිරීමේ ඉලක්කය සපුරා ගැනීමේ මවා පෑම පවා ආන්ඩු සහ සංගත අතහැර දමා ඇත. නව පොසිල ඉන්ධන නිස්සාරන ව්‍යාපෘති ග්‍රහලෝකයට දරාගත හැකි ප්‍රමානයට වඩා බොහෝ පරිමානයකින් අනුමත වෙමින් පවතී.

විද්‍යාත්මක වාර්තා දැන් සනාථ කරන්නේ මානව වර්ගයා මෙම සියවස අවසානයේදී අවම වශයෙන් 2.6°C උෂ්නත්වය ඉහල යාමකට යන බවයි. මෙය ලෝකයේ දුප්පත්ම ජනගහනයට දැඩි ලෙස බලපාන විනාශකාරී තාප තරංග, නියඟ, ගංවතුර, රෝග පැතිරීම්, ආහාර හිඟයන් සහ බලහත්කාරයෙන් අවතැන් වීමේ යුගයක් සහතික කරයි. ඒ සමඟම, පරිසර දූෂනය, වන විනාශය, ක්ෂුද්‍ර ප්ලාස්ටික් සහ විෂ සහිත රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හේතුවෙන් පුලුල් පාරිසරික බිඳවැටීමක් දිගටම සිදු කර ගෙන යයි.

මෙම ව්‍යසනය පුද්ගල නොදැනුවත්කමේ ප්‍රතිඵලයක් නොව, පුද්ගලික ලාභය සහ පුද්ගලික ධනය මිනිස් ජීවිතයට වඩා ඉහලින් තබන ගෝලීය ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිඵලයකි. ඩොලර් ට්‍රිලියන ගනනක් පොසිල ඉන්ධන සඳහා ආයෝජනය කරනු ලැබේ. බිලියනපතියන් විසින් අතිශය ගැඹුරු සමාජ අසමානතාවයක් පවත්වා ගෙන යනු ලැබේ. මිලිටරි වියදම් ඉහල යමින් පවතී. දේශගුනික ආරක්ෂාව සඳහා පාලක පන්තිය තම ලාභ කැප නොකරනු ඇත; ඊට පටහැනිව, යුද්ධය සහ අන්තර් අධිරාජ්‍යවාදී ගැටුම්, ගෝලීය උනුසුමට තුඩු දෙන වායු විමෝචනය තීව්‍ර කරමින් සම්පත් කොල්ලකමින් සිටී. තිරසාර තාක්ෂනයන් පවතින නමුත්, නිෂ්පාදනයේ පුද්ගලික අයිතිය සහ ජාතික රාජ්‍ය එදිරිවාදිකම් මත මුල් බැසගත් ගෝලීය පද්ධතියක් යටතේ ඒවා ක්‍රියාත්මක කල නොහැක.

වර්ෂාවට පෙර කාලෝචිත අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට හෝ අධි අවදානම් ප්‍රදේශවලින් මහජනතාව ඉවත් කිරීමට අපොහොසත් වීම මෙම ව්‍යසනය තවත් සංකීර්න කලේ ය.

මෙම අසාර්ථකත්වය පිටුපස ඇති ප්‍රධාන හේතුවක් වූයේ බලපෑමට ලක් වූ රටවල කාලගුන විද්‍යා ආයතනවල නවීන තාක්ෂනය සහ ප්‍රමානවත් සම්පත් නොමැතිකමයි.

නිදසුනක් ලෙස, ශ්‍රී ලංකාවේ කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ ක්‍රියාත්මක මට්ටමේ නොපවතින රේඩාර් ජාලයක්, සිරස් වායුගෝලීය දත්ත රැස් කිරීම සඳහා ප්‍රමානවත් නොවන රේඩියෝසොන්ඩ් පද්ධති, මුලු දිස්ත්‍රික්ක පුරා ප්‍රමානවත් නොවන ස්වයංක්‍රීය කාලගුන මධ්‍යස්ථාන, පුරෝකථන ආකෘති සඳහා ඉහල කාර්යසාධනයක් සහිත පරිගනක සඳහා ප්‍රවේශයක් නොමැතිකම සහ යල් පැන ගිය චන්ද්‍රිකා උපකරන සමඟ ය. මෙය අහම්බයක් නොවේ. එය වත්මන් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය පරිපාලනය ඇතුලු අනුප්‍රාප්තික ආන්ඩු විසින් පනවන ලද කප්පාදු අයවැයවල ප්‍රතිඵලයකි.

බලපෑමට ලක් වූ සෑම රටකම පාහේ, නායයෑම්වලට ප්‍රධාන හේතුවක් වූයේ වානිජ අරමුනු සඳහා කඳුකර ප්‍රදේශවල වනාන්තර ආවරනය ඉවත් කිරීමයි.

2025 දෙසැම්බර් 4 වන දින, ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ අචේ ටමියැන්ග් හි හදිසි ගංවතුරෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයකදී දිවි ගලවා ගත් අයෙකු නාසය වසා ගනී. [AP Photo/Binsar Bakkara]

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පරිපාලනය, තේ සහ අනෙකුත් භෝග වගා කිරීම සඳහා කඳුකරයේ විශාල කොටස් එලි පෙහෙලි කලේ ය. වනාන්තර ආවරනය ඉවත් කරන ලදී, ස්වාභාවික ජල ප්‍රවාහ රටා කඩාකප්පල් කරන ලදී, සහ එනයින් නායයෑම් අවදානම් තත්වයන් නිර්මානය විය. 1880 සහ 1950 අතර, වතු ආර්ථිකයේ ව්‍යාප්තිය ශ්‍රී ලංකාවේ වනාන්තර ආවරනයෙන් සියයට 40 ක් පමන විනාශ කලේය. 1930 වන විට, ඉහල ගංගා ද්‍රෝනි ප්‍රදේශවලින් අඩකට වඩා තේ වගාව සඳහා එලි පෙහෙලි කර තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව ටොන් 500,000 සිට 800,000 දක්වා පස ඛාදනය විය. අවතැන් වූ ගම්වැසියන් ආපදා අවදානම් කලාපවලට තල්ලු කරන ලදී.

වෙනත් රටවල ද සමාන තත්වයන් පවතී. 2025 දෙසැම්බර් 4 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල වූ ලිපියක පැහැදිලි කල පරිදි, “රටේ ප්‍රධාන අපනයනවලින් එකක් වන පාම් තෙල් නිෂ්පාදනය සඳහා පාම් වගාවන් සඳහා ඉඩ සැලසීම සඳහා ඉන්දුනීසියාවේ බොහෝ වනාන්තර එලි පෙහෙලි කර ඇත. ග්ලෝබල් ෆොරස්ට් වොච්ට අනුව, 2001 සහ 2024 අතර කාලය තුල උතුරු සුමාත්‍රාහි පමනක් එහි ගස් වලින් වැසුනු ප්‍රදේශයෙන් සියයට 28 ක් - හෙක්ටයාර මිලියන 1.6 ක් - අහිමි විය.”

ශ්‍රී ලංකාවේ ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති පිලිබඳ උපදේශකයෙකු ලෙස සේවය කර ඇති වාරිමාර්ග ඉංජිනේරුවෙකු වන පාලිත දේශප්‍රිය, දුර්ලභ අධික වර්ෂාපතන සිදුවීම් වලට ඔරොත්තු දීම සඳහා විශාල ජලාශ ඉදිකර ඇති බව ලෝසවෙඅ ට පැහැදිලි කලේය. නමුත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවට - දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් - එම ජලාශයන්හි වාන් මාර්ග දෙපස ජීවත් වීමට බල කෙරී ඇති තතු තුල, නිසි ලෙස ක්‍රියාත්මක වන වාන් මාර්ග පවා මාරාන්තික වේ.

කොලඹ අසලින් ගලා බසින “කැලනි ගඟ දෙපස ඇති පහත් බිම් ප්‍රදේශවල පවා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අනාරක්ෂිත තත්වයන් යටතේ ජීවත්වන බව දේශප්‍රිය පැවසීය. “මෙම ජනතාවගෙන් අතිමහත් බහුතරයක් ආරක්ෂිත ස්ථානවල ඉඩම් මිල දී ගැනීමට නොහැකි තරම් දුප්පත් ය.” මෙම ප්‍රජාවන් නිතිපතා ගංවතුරෙන් පීඩාවට ලක්වන අතර, ඔවුන්ගේ මූලික ඉල්ලීම වන්නේ ජලයෙන් යට නොවන ආරක්ෂිත නිවාස ලබා දෙනු යන්නයි.

ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් විනාශ වූ පාලම් ගැන ඔහු මෙසේ පැවසීය: “පිරිවැය අඩු කරනුවස්, වාන් මාර්ගවල අපේක්ෂිත උපරිම ජල ප්‍රතිදානය නොසලකා හරිමින්, ඉතා කෙටි දිගකින් හා ඉතා අඩු උසකින් පාලම් සහ බැමි ඉදිකර ඇත. මෙය, ගංවතුරේ බලපෑම විශාල කරන, මාර්ග සෝදා හැරීමට සහ මරනවලට හේතු වන අන්තරායකාරී ස්ථාන නිර්මානය කලේ ය.” 

කාර්මිකකරනය අඩු මට්ටමක පැවතීම සහ සේවා අංශයේ ඌන සංවර්ධනය හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් තවමත් දුරස්ථ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන බව කොලඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිරිමල් අබේරත්න අවධාරනය කලේය - මෙවන් ගම්බද ප්‍රදේශ බොහොමයක් ව්‍යසනයට ලක්විය.

“නාගරික ප්‍රදේශවල ජනගහනය සංකේන්ද්‍රනය වී ඇති දියුනු රටවල මෙන් නොව, ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධනය දිවයින පුරා ව්‍යාප්ත වී ඇත්තේ ඉතා සුලු වශයෙන්” යැයි මහාචාර්ය අබේරත්න පැවසීය. “2024 සංගනන දත්ත මගින් තහවුරු වන්නේ ජනගහනයෙන් හතරෙන් තුනකට වඩා වැඩි ප්‍රමානයක් තවමත් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන බවයි.”

දේශගුනික විපර්යාස සහ ආපදා වැලැක්වීම තනි රටක දේශසීමා තුල විසඳා ගත හැකි යැයි සිතමින්, විවිධ බුද්ධිමතුන් හුදකලා “ජාතික විසඳුම්” යෝජනා කර ඇත. මෙය භයානක මායාවකි. ගෝලීය වශයෙන් සම්බන්ධීකරන ප්‍රයත්නයක කොටසක් නොවී කිසිදු ජාතිකවාදී වැඩසටහනකට දේශගුනය ස්ථාවර කිරීමට, නවීන පුරෝකථන පද්ධති ගොඩනැගීමට හෝ ජීවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීමට නොහැකිය.

ලෝසවෙඅ නැවත නැවතත් අවධාරනය කර ඇත්තේ දේශගුනික විපර්යාස යනු ගෝලීය විසඳුමක් ඉල්ලා සිටින ගෝලීය අර්බුදයක් බවයි. එයට සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීම අවශ්‍ය වේ. ඒවා අතර පහත සඳහන් දේ වෙයි:

  • පොසිල ඉන්ධන මත යැපීම තුරන් කිරීම සඳහා ගෝලීය නිෂ්පාදනය ප්‍රතිසංවිධානය කිරීම
  • දේශගුනික ආකෘති නිර්මානය, පුරෝකථනය සහ අනුවර්තනය දෙසට විද්‍යාත්මක සම්පත් හරවා යැවීම
  • ගංවතුර සහ නායයෑම් වලට ඔරොත්තු දෙන නිවාස, සමාජ අයිතියක් ලෙස සමිපාදනය කිරීම
  • බලශක්තිය, ප්‍රවාහනය සහ කර්මාන්තය කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ තැබීම
  • තරඟකාරී ජාතික ප්‍රතිපත්ති නොව ජාත්‍යන්තර විද්‍යාත්මක සැලසුම් සම්බන්ධීකරනය කිරීම

ගෝලීය උනුසුම ජයගැනීමට සහ මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය තාක්ෂනික, විද්‍යාත්මක සහ ද්‍රව්‍යමය සම්පත් ඒකාග්‍ර කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී සමාජයක් ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනි. සමාජයේ සෑම අංශයක්ම පෞද්ගලික ලාභයට යටත් කරන සහ ජාතික හා වාර්ගික බෙදීම අවුලුවාලන ධනවාදය යටතේ මෙය සිදුවිය නොහැක. ජාතික දේශසීමා වලට බැඳී නොසිටින ජාත්‍යන්තර කම්කරු පන්තියට පමනක් ගෝලීය පරිමානයෙන් සමාජවාදය සඳහා අරගලයට නායකත්වය දිය හැකිය.

ආසියාවේ දැන් දිග හැරෙන ව්‍යසනය අස්ථාවර ග්‍රහලෝකයකින් ලැබෙන අනතුරු ඇඟවීමකි - මිනිස් ජීවිතය මත ධනේශ්වර ලාභයේ අඛන්ඩ ආධිපත්‍යය මිලියන ගනනකගේ පැවැත්මට නොගැලපෙන බවට අනතුරු ඇඟවීමකි. ජාත්‍යන්තර කම්කරු පන්තිය ධනේශ්වර ක්‍රමය පෙරලා දමා සමාජවාදී අනාගතයක් ගොඩනැගීමේ සටන භාර ගත යුතු ය.

Loading