මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා 'ජාතික මෙහෙයුම් කවුන්සිලයක්' පිහිටුවීමට, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව, ඔක්තෝබර් 13 වන දා අනුමත වූ බව, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස, ඔක්තෝබර් 14 දා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ වැඩිවීම හේතුවෙන් ඇතිව තිබෙන 'බරපතල ජාතික අර්බුදයට' විසඳුම් සෙවීම සඳහා ජනාධිපති දිසානායක මෙම යෝජනාව ඉදිරිපත්කල බවත්, ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, උක්ත කවුන්සිලය හරහා, “රටම එකට ජාතික මෙහෙයුම” නමින් මත්ද්‍රව්‍ය ය තුරන් කිරීමේ ජාතික පරිමාන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවත්, ජයතිස්ස කියා සිටියේ ය.
“මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල බිඳ දැමීම, පුනරුත්ථාපන සේවා වැඩිදියුනු කිරීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලැකීම දිරිමත් කෙරෙන දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම” එහි මූලික කාර්යභාරය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයා පැවසීය.
අනෙකුත් රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද මත්ද්‍රව්‍ය ව්‍යාපාරය බරපතල ප්‍රශ්නයක් බවට ද, එය වහා විසඳියයුතු බවට ද කිසිදු සැකයක් නැත. කෙසේ වෙතත්, ආන්ඩුව දියත් කරන මෙම මෙහෙයුමේ සැබෑ අරමුන එය නොවේ.
ජවිපෙ/ජාජබ ආන්ඩුව තමාට එරෙහිව වැඩෙන මහජන විරෝධයකට මුහුන දී සිටී. 2025 මැයි මස පැවති පලාත් පාලන මැතිවරනයේදී ජවිපෙ/ජාජබ ට ලැබුනු ඡන්ද සංඛ්‍යාව, පසුගිය වසරේ මහ මැතිවරනයට සාපේක්ෂව මිලියන 2.3 කට වඩා අඩුවීමෙන් එය පෙන්නුම් කෙරුනි.
නොනැවතී ඉහල යන ජීවන වියදම, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුලු මහජන සේවාවන්හි අඛන්ඩ ඛාදනය, වැඩෙන දරිද්‍රතාව, විරැකියාව සහ මන්දපෝෂනය ආදී ඉසිලිය නොහැකි කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාර, මෙම මහජන විරෝධයේ නැග්ම වඩාත් වේගවත්කොට ඇත.
දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ බලයට පැමිනි වහාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) සමග සාකච්ඡාකොට එහි කප්පාදු ලිහිල් කරන බවට මැතිවරන වේදිකා තුල දුන් පොරොන්දු මුලුමනින්ම කඩකරමින්, අද එම කප්පාදු අකුරටම ක්‍රියාත්මක කරන්නා බවට පත්ව ඇත. අනෙකුත් සහන පොරොන්දු සියල්ලම ද කුනු කූඩයට දමා තිබේ.
ඔවුන්ගේ 2026 අයවැය සැලසුම්, ජාමූඅ හි ඉල්ලීම් සමඟ සම්පූර්නයෙන්ම සමපාත වන අතර කම්කරු පන්තියට එරෙහිව වඩාත් දැඩි සමාජ කප්පාදු අරමුනු කරයි. සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදම් කපා හැරීම සහ ලක්ෂ සංඛ්‍යාත රැකියා අහිමිවීමේ අවදානම සහිතව රාජ්‍ය ව්‍යවසායන් 400 කට අධික සංඛ්‍යාවක් ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කෙරෙනු ඇත.
මෙම තතු තුල, 2022 දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු ආන්ඩුව පලවා හරින ලද මහජන නැගිටීම වැන්නක් යලි සිදුවියහැකි වෙතැයි ගනන් බලන ආන්ඩුව, වැඩෙන මහජන කෝපය හරවා යැවීමේ විවිධ උපායයන් ක්‍රියාවට දමමින් සිටී.
“ක්ලීන් ශ්‍රී ලංකා” නමින් ගෙනයන “වංචාව සහ දූෂනයට එරෙහි යුද්ධය” ඉන් එකකි. හිටපු ජනාධිපතිවරුන්ගේ “වරප්‍රසාද අහිමි කිරීමේ” සහ “නාස්තිය වැලැක්වීමේ” උද්ඝෝෂනය තවත් එකකි. “රටම එකට ජාතික මෙහෙයුම” මෙහි නවතම උපාය මාර්ගය යි.
අනෙක් අතට, ජාමූඅ කප්පාදු ප්‍රහාරවලට එරෙහිව නොකඩවා වැඩෙන පන්ති අරගල මාලාවකට ආන්ඩුව මුහුන දී සිටී. පුද්ගලීකරනයට එරෙහිව මෑතදී පැනනැගුනු තැපැල් සහ විදුලිබල කම්කරුවන්ගේ අරගල සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ විරෝධතා උද්ඝෝෂන මැඩීමට, ආන්ඩුව, පොලීසිය සහ මිලිටරියට අමතරව රුදුරු “අත්‍යවශ්‍ය සේවා” නියෝග යොදා ගත්තේ ය.
කම්කරු-පීඩිත මහජනතාව බියවද්දා තබා ගැනීමටත්, සටන්කාමී කම්කරුවන් සහ දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමටත්, ඒ සඳහා සිවිල් වැසියන් ද සම්බන්ධ කරගත් ඔත්තු ජාලයක් වර්ධනය කර ගැනීමටත්, “රටම එකට ජාතික මෙහෙයුම” යොදාගනු ඇත.
ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල ආන්ඩු ක්‍රියාවට නැංවූ මෙවැනි මෙහෙයුම්වල කටුක අත්දැකීම් එය සනාථ කරයි;
* ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ, 2010 නොවැම්බර් මාසයේදී, රට පුරා “මත්ද්‍රව්‍ය මාෆියාවට එරෙහි යුද්ධයක්” යන මුවාවෙන් පොලිසිය විසින් පුලුල් සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදු කරන ලදි. නාගරික දුප්පතුන් අපරාධකරුවන් ලෙස හංවඩු ගසමින් ගෙනගිය මෙම මෙහෙයුම, කොලඹ පැල්පත්වාසී පවුල් 66,000 ක් ඉවත් කිරීමේ රජයේ සැලසුම් සමඟ සමපාත විය.
* 2016 ජුනි සිට 2022 ජුනි දක්වා, ජනාධිපති ඩුටර්ටේගේ පරිපාලනය යටතේ පිලිපීනයේ දියත් කෙරුනු මත්ද්‍රව්‍යවලට එරෙහි ඊනියා යුද්ධය තුල දුප්පතුන් ඉලක්ක කරගත් නීති විරෝධී ඝාතන දහස් ගනනක් සිදුවිය. නිල සංඛ්‍යාලේඛන වලටඅනුව මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වලදී සැකකරුවන් 6,248 ක් පමන මිය ගිය නමුත් මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇස්තමේන්තු කරන්නේ සැබෑ මරන සංඛ්‍යාව 12,000 ත් 30,000 ත් අතර වන බව සහ ඝාතනයට ලක්වූවන් බොහෝ දුරට දුප්පතුන් බව යි. මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මරන දඬුවම නැවත ක්‍රියාත්මක කිරීම, දේශපාලන සහ සමාජ විරෝධතාවන් තලා දැමීමේ අරමුනින් සිදු කරන ලද කුරිරු මර්දනයක් සනිටුහන් කරයි.
2019 ජනවාරියේ දී මැනිලා හි මැලකනැන්ග් මාලිගයේ පැවති රාජ්‍ය භෝජන සංග්‍රහයකට සහභාගී වෙමින් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේගේ ඊනියා මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධය “මුලු ලෝකයටම ආදර්ශයක්” ලෙස වර්නනා කලේ ය.
* ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ, “මත්ද්‍රව්‍ය සහ අපරාධ තුරන් කිරීමේ” කඩතුරාව යටතේ “යුක්තිය” නමින් ක්‍රියාත්මක කල මෙහෙයුම තුල, ඉවබව නොමැතිව කෙරුනු වැටලීම් හරහා අත්අඩංගුවට ගැනුනු දුගී තරුනයන් දහස් ගනනක්, විවිධ පොලිස් අඩන්තේට්ටම් වලට ගොදුරුවූහ. ඔවුන් අතරින් අතිමහත් බහුතරයක්, නිදොස්කොට නිදහස් කිරීමට පසුව අධිකරනයට සිදුවිය.
“ආන්ඩුවේ ඊනියා 'යුක්තිය' මෙහෙයුම: පොලිස් රාජ්‍ය පියවර සඳහා පෙරහුරුවක්” යන මැයෙන්, 2024 ජනවාරි 01 දා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) පලකල ලිපියක අපි මෙසේ ලීවෙමු:
“දුගීභාවය සාපරාධීකරනය මෙම මෙහෙයුමේ ප්‍රධානතම අංග ලක්ෂනයකි. අත් අඩංගුවට ගත් අයගෙන් සැලකිය යුතු පිරිසක් සමාජයේ දූගීම ජන කොට්ඨාසයන්ට අයත් ය. දුප්පත්කම, විරැකියාව ආදී කොන්දේසි හේතු කොටගෙන ඔවුන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමට සහ ඇතැම් විට මත්ද්‍රව්‍ය විකිනීමට පවා යොමු වීම ධනපති ක්‍රමය විසින්ම නිර්මිත සමාජ ඛේදවාචකයකි. දේශපාලනඥයන්ගේ, ඉහලම පෙලේ ධනපති ව්‍යාපාරිකයින්ගේ සහ ඇතැම් විට පොලීසියේ සහාය පවා නොමැතිව මෙවන් මත්ද්‍රව්‍ය සහ අපරාධ ජාලයක් පැවතිය නොහැක.”
කෙසේ නමුත්, ධනපති පාලක පන්තිය සහ ඔවුනගේ මාධ්‍යයන්, මත්ද්‍රව්‍ය උවදුර, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමයේ නිර්මිතයක් බව දැනුවත්ව වසන් කරති.
ඔක්තෝබර් 12 වන දා බන්ඩාරවෙල දී, දෙමල කතා කරන වතු කම්කරුවන්ගේ රැස්වීමක් අමතමින් දිසානායක කියා සිටියේ, “මත් ද්‍රව්‍ය හා දේශපාලනඥයා අතර විශාල ඥාතීත්වයක් තිබෙන” බව සහ එම ව්‍යාපාරය තුල “විශාල මුදල් සංසරනය වෙමින් පවතින” බවයි. ඔහුට අනුව, “රටම එකට” මෙහෙයුම හරහා මත් ද්‍රව්‍ය සහ දේශපාලනඥයා අතර පවත්නා “විශාල ඥාතීත්වය” ද, මත් ද්‍රව්‍ය ව්‍යසනය ද තුරන් කල හැක.
මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙන්ම, ඒවා සමග දේශපාලනඥයාට ඇති “ඥාතීත්වය” ධනපති ක්‍රමයේ නිර්මිතයක් වන බැවින්, ධනවාදය පැවතිය දී ඒවාට තිත තැබීමට දිසානායක කරන සපථයන් මුලුමනින්ම ව්‍යාජ ය.
මේ අතර, රාජ්‍ය මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමේ තවත් කොටසක් ලෙස, වයස අවුරුදු 45 ට අඩු, විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් 10,000 ක් පස් අවුරුදු සහායක පොලිස් බලකායකට බඳවා ගැනීමට ආන්ඩුව සැලසුම් කරයි. පහල තනතුරු හිඟයන් පිරවීම සහ විවිධ මට්ටම්වල නිලධාරීන් උසස් කිරීම සඳහා නව නිලධාරීන් 5,000 ක් ස්ථිරවම බඳවා ගැනීමට ද එය අදහස් කරයි. පොලිස් බලකාය දැනටමත් සාමාජිකයින් 90,000 ඉක්මවා ඇත.
සියලුම ග්‍රාම සේවා වසම් හරහා මහජන ආරක්ෂක කමිටු 14,000 කට අධික සංඛ්‍යාවක් නිර්මානය කරන බව ද ආන්ඩුව නිවේදනය කර ඇත. සෑම කමිටුවකටම නම් කරන ලද පොලිස් නිලධාරියෙකු සහ විශ්‍රාමික රාජ්‍ය සේවකයින්, හිටපු පොලිස් සහ හමුදා නිලධාරීන් සහ “තරුන නායකයින්” වැනි සිවිල් සාමාජිකයින් ඇතුලත් වේ. මෙම සාමාජිකයින් වසර තුනක කාලයක් සේවය කරනු ඇති අතර, ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් මාසික ප්‍රගති සමාලෝචන පවත්වයි.
රාජ්‍ය මර්දනය රුදුරු මට්ටම් වලට නැංවීම ජාත්‍යන්තර ප්‍රපංචයක් වන අතර අනෙකුත් ආසියානු රටවල මෙන්ම යුරෝපය තුල ද සිදුවෙමින් පවතී. එක්සත් ජනපදය තුල, ට්‍රම්ප් පරිපාලනය ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීම, සමූහ අත්අඩංගුවට ගැනීම් සැලසුම් කිරීම, විරුද්ධ මත මර්දනය කිරීම සහ දේශීය වශයෙන් හමුදාව යෙදවීම කරා ගමන් කරමින් සිටී. මෙම ධාවනය සමාජ අයිතිවාසිකම් තලා දැමීම, යුද්ධ තීව්‍ර කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් බිඳ දැමීම සහ ඒකාධිපති පාලනය සක්‍රීය කිරීම සඳහා ෆැසිස්ට් බලවේග බලමුලු ගැන්වීම යන පාලක කතිපයාධිකාරයේ ඉලක්කයට සේවය කරයි.
ජාත්‍යන්තරව ෆැසිස්ට් ආඥාදායකත්වයන් වර්ධනය වෙමින් පැවති 1930 ගනන්වල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය අහෝසිවීම සම්බන්ධයෙන් ලියොන් ට්‍රොට්ස්කි මෙසේ ලීවේය: “මානව ඉතිහාසයේ අපගේ කාලය තරම් ප්‍රතිවිරෝධතාවලින් පිරුනු කාල පරිච්ඡේදයක් කිසිදා නොතිබුනි... තියුනු පන්ති සහ ජාත්‍යන්තර ප්‍රතිවිරෝධතාවල බලපෑම යටතේ, ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂක යතුරු දැවී හෝ පුපුරා යයි. ඒකාධිපතිත්වයේ ලුහුවත්වීම යනු හරියටම මෙයයි.”
මෙය අදට, එදිනටත් වඩා වලංගු වේ. ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කල හැක්කේත්, මත් උවදුර තුරන්කල හැක්කේත්, ධනේශ්වර ලාභ ක්‍රමය අහෝසිකොට ජාත්‍යන්තර සමාජවාදය ස්ථාපිත කිරීමෙන් පමනකි.
වැඩිදුර කියවන්න
- ගාසා ජන සංහාරයට එරෙහි බව පෙන්වන ව්‍යාජ උත්සවයක් ජවිපෙ තරුන සංවිධානය පවත්වයි
- ආන්ඩුව වසා දැමීමෙන් මතු කෙරෙන සැබෑ කාරනය: ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගන්වනු!
- මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විමර්ශනයට ශ්‍රී ලංකාවේ විදේශ ඇමති විරුද්ධ වෙයි
- ශ්‍රී ලංකාවේ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධාන අනුව ඊලඟ අයවැය සකස් කරයි
