[මෙය Sri Lankan president promises meagre wage rises for estate workers amid growing unrest යන මැයෙන් 2025 ඔක්තෝබර් 22 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ඔක්තෝබර් 12 වන දින—ශ්‍රී ලංකාවේ ප්‍රධාන වතු දිස්ත්‍රික්කවලින් එකක් වන—බන්ඩාරවෙල පැවති මහජන රැලියක දී, ජනාධිපති අනුර කුමාර දිසානායක, 2025 අවසන් වීමට පෙර වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,750 දක්වා වැඩි කරන බවට පොරොන්දු විය. දැනට කම්කරුවන් උපයන මුදල රුපියල් 1,350 කි.
මෙම රැලියට වතු කම්කරුවන් දහස් ගනනක් රැගෙන ආ අතර, දිස්ත්‍රික්ක ගනනාවක පවුල් 2,000 කට පර්චස් 10 ක (වර්ග මීටර් 250 ක) ඉඩමක නව නිවාස ඉදිකර දෙන බවට පොරොන්දු වෙමින් සංකේතාත්මක ලිපි බෙදා දෙන ලදී. එම ලිපි මගින්, ව්‍යාපෘතිය අවසන් වූ පසු හිමිකම් ඔප්පු ලබා දෙන බවට සහතික කෙරේ.
මෙම ලිපි නිකුත් කරනු ලැබුවේ, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ, “සමෘද්ධිමත් ජාතියක්, ලස්සන ජීවිතයක්” යන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොටසක් ලෙස ය. ඇත්ත වශයෙන් ම, නිවාස ව්‍යාපෘතිය සිදු කෙරෙනුයේ, 2017 දී අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ආරම්භ කරන ලද ඉන්දීය ආන්ඩුවේ ප්‍රදානයකිනි. බන්ඩාරවෙල දී මෙම ලිපි බෙදා දීම දියත් කෙරුනේ, කම්කරු අයිතීන් මර්දනය කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට අපකීර්තිමත් වතු වෘත්තීය සමිති නායකයෙකු වන පලනි දිගම්බරම් සහභාගි කර ගනිමිනි.
වැටුප් හා නරක අතට හැරෙන තත්වයන් සම්බන්ධයෙන් වතු කම්කරුවන් අතර වැඩෙන කෝපය ගැන දැනුවත් දිසානායක ප්‍රේක්ෂකයින්ට මෙසේ පැවසී ය: “මලයහම් හි [ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ] ජනතාවට යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා සාධාරන වැටුපක් ලබා දිය යුතුයි.” තම ආන්ඩුව රුපියල් 1,750 ක දෛනික වැටුපක් සඳහා වන ඉල්ලීම “මේ වසර තුල කුමන ආකාරයකින්” හෝ සපුරාලන බව ඔහු කියා සිටියේ ය.
මෙම පොරොන්දුව පුස්සක් බව පැහැදිලි ය. ජීවන වියදමේ තියුනු වැඩිවීම—විශේෂයෙන් 2020 කෝවිඩ්-19 අර්බුදය සහ 2022 ආර්ථික බිඳවැටීමෙන් පසු—සැලකිල්ලට ගත් කල, රුපියල් 400 ක වැඩිවීමක් අවම කුටුම්බ අවශ්‍යතා පවා සපුරාලීමට අපොහොසත් වේ.
ජවිපෙ හි සමස්ත ලංකා වතු කම්කරු සංගමය (ඒසීඊඩබ්ලිව්යූ) පසුගිය මැතිවරනයට පෙර රුපියල් 2,000 ක දෛනික වැටුපක් ඉල්ලා උද්ඝෝෂනය කල නමුත්, මැතිවරන ජයග්‍රහනයෙන් පසු අනෙකුත් පොරොන්දු මෙන් එම ඉල්ලීම ද අතහැර දැමී ය.
2023 ආන්ඩුවේ දත්ත වලට අනුව, දරුවන් දෙදෙනෙකු සිටින, හතර දෙනෙකුගෙන් යුත් පවුලකට යන්තම් දිවි සරිකර ගැනීම සඳහා මසකට රුපියල් 92,000–100,000 ක් අවශ්‍ය වේ. නීති ප්‍රකාර ව වැඩ කල යුතු දින 24 සඳහා ම රුපියල් 1,750 ක් උපයන වතු කම්කරුවෙකුට මාසික ව ඉපැයීමට හැකි වන්නේ රුපියල් 42,000 ක් පමනි. කලත්‍රයින් දෙදෙනාම වැඩ කලත්, ඔවුන් උපයන්නේ රුපියල් 84,000 ක් පමනි—එය තවමත් පවතින්නේ, දරිද්‍රතා සීමාවට පහලිනි.
ඔක්තෝබර් 15 වන දින, වතු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් හමු වූ දිසානායක, වැටුප් වැඩිවීම පිලිබඳව සාකච්ඡා කලේ ය. ඔහුගේ මාධ්‍ය කාර්යාලය කියා සිටියේ වැඩිවීම ක්‍රියාත්මක කිරීමේ දී මුහුන දීමට සිදුවන “අභියෝග”, සමාගම් විසින් ගෙන හැර දැක්වූ බව යි. මෙය සැලැස්ම ප්‍රතික්ෂේප කිරීමකි. ඔක්තෝබර් 18 වන දින වතු සමාගම්, වෘත්තීය සමිති සහ කම්කරු දෙපාර්තමේන්තුව සමඟ පැවති රැස්වීමට කිසිදු සමාගමක් සහභාගී වී නොතිබුනි.
රැලියේ සංවිධායකයින් තුල හැරුනු විට, ඔක්තෝබර් 12 වන දින සිදුවීම එතරම් උද්‍යෝගයක් ජනිත කලේ නැත. ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) සහ කඳුරට ජනතා පෙරමුනේ (යූපීඑෆ්) සිට ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) සහ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී) දක්වා, දශක ගනනාවක් තිස්සේ පැවති සෑම වෘත්තීය සමිතියකින් ම සහ ආන්ඩුවකින් ම, වතු කම්කරුවන්ට ලැබී ඇත්තේ මීට සමාන පොරොන්දු ය.
ජවිපෙ හි ඒසීඊඩබ්ලිව්යූ ව දිගු කලක් තිස්සේ ක්‍රියාත්මක වී ඇත්තේ, ජීවත් වීමට සරිලන වැටුපක් සඳහා වතු කම්කරුවන්ගේ දශක ගනනාවක් පුරා පැවති අරගලය නැවත නැවතත් පාවා දී ඇති මෙම නිලධාරි තන්ත්‍රයන්ගේ දිගුවක් ලෙස ය.
නිවාස 10,000 ක් පිරිනමන ඉන්දියාවේ නිවාස ව්‍යාපෘතිය, යන්තම් නිවාස අර්බුදයේ මතුපිට ස්පර්ෂ කරනවා පමනි. බොහෝ වතු පවුල් තවමත් ජීවත් වන්නේ, යටත් විජිත යුගයේ අඩි 10 x 12 (මීටර් 3 x 3.7) බැරැක්කවල ය.
නිදහසින් පසු, 1948 දී, එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව, කම්කරු පන්තිය බෙදීම සඳහා ශ්‍රී ලාංකික දේශපාලන ප්‍රභූව විසින් දියත් කරන ලද පුලුල් මූලෝපායක කොටසක් ලෙස, ඔවුන්ගේ ඉන්දියානු සම්භවය ගැන සඳහන් කරමින්, දෙමල කතා කරන වතු කම්කරුවන්ගේ පුරවැසිභාවය සහ ඡන්ද අයිතිය අහිමි කලේ ය.
බොහෝ පවුල්වලට ඉන්දියාවට යාමට බල කිරීමෙන් පසුව, අවසානයේ මෙම අයිතිවාසිකම් යලි ස්ථාපිත කෙරුනු නමුත්, එම ප්‍රජාව තවමත් දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සලකනු ලැබේ. දෙමල වතු කම්කරුවන් කෙරෙහි සතුරු වාර්තාවක් සහිත සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන, ජනතාව රැවටීමේ පැහැදිලි උත්සාහයක් ලෙස, 1948 අසාධාරනය ගැන දැන් සඳහන් කරයි.
ඉන්දියානු අරමුදල් වලින් ඉදිවන සෑම නිවසක්ම වර්ග අඩි 550 (වර්ග මීටර් 51) ක භූමි ප්‍රමානයකින් යුක්ත වන අතර එයට නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුලුතැන්ගෙයක් සහ වැසිකිලියක් ඇත. අධික සූරා කෑමට ලක්වන දෛනික කම්කරුවන් මත දැඩි පීඩනයක් ඇති කරමින්, වියදම් අඩු කිරීම සඳහා ශ්‍රමයෙන් සහ ද්‍රව්‍යමය වශයෙන් නිවාසලාභී පවුල් දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එක් ඇස්තමේන්තුවකට අනුව, පවුල් 261,000 ක් පමන වතුවල ජීවත් වන අතර එයින් අදහස් වන්නේ නිවාස ලක්ෂ ගනනක් අවශ්‍ය බවයි. අනුප්‍රාප්තික ආන්ඩුවල සහාය ලබන වතු සමාගම්, මෙම කම්කරුවන් සූරාකෑමෙන් ඉහල ලාභ උපයා ගන්නා අතර නිවාස ගැටලු සම්පූර්නයෙන්ම නොසලකා හැර තිබේ.
වතු කම්කරුවන් වසර 200 කට වැඩි කාලයක් ‘එකාවන්ව පොලව සමඟ පොර බැදූ” බවට දිසානායක කල ප්‍රකාශය තිබිය දී, ඔවුන්ගේ තත්වයන් දරුනු හා නරක අතට හැරෙමින් තිබේ. ඔවුන්ගේ “ආර්ථික” සහ “සමාජ” තත්වයන් වැඩිදියුනු කිරීමට ඔහු පොරොන්දු වූ අතර අධ්‍යාපනය, සෞඛ්‍යය, ආදායම සහ මානසික සාමය “මූලික අයිතිවාසිකම්” බව ප්‍රකාශ කලේ ය.
කෙසේ වෙතත්, තම මැතිවරන ව්‍යාපාරය තුල ජාමූඅ කප්පාදු වැඩපිලිවල නැවත සාකච්ඡා කරන බවට පොරොන්දු වූ දිසානායක, බලයට පත් වීමෙන් පසු එම ප්‍රතිපත්ති වඩාත් ගැඹුරු කර ඇත. වතු කම්කරුවෝ ඉන් වඩාත්ම පීඩාවට පත් වූවන් අතර සිටිති.
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය විසින් අලුතින් හඳුන්වා දුන් “අධ්‍යාපන ප්‍රතිසංස්කරන” මඟින් සිසුන් 50 ට අඩු පාසල් වසා දැමීමට නියෝග කෙරේ—එය විස්තර කෙරෙන්නේ, (අධ්‍යාපන) ක්‍රමය “තාර්කිකකරනය” කිරීමක් ලෙස ය. බොහෝ වතු පාසල් මෙම කාන්ඩයට වැටෙන අතර එයින් අදහස් කරන්නේ, වසා දැමීම් සහ අධ්‍යාපනය හැර යාමේ අනුපාතය ඉහල යාමයි. “ප්‍රතිසංස්කරනය” යනු සඟවා ඉදිරිපත් කෙරුනු අයවැය කප්පාදුවකි.
2025 මැයි මාසයේ පැවති පලාත් පාලන මැතිවරනයෙන් පසු වතුකරය තුල ජනාධිපතිගේ වඩාත්ම වැදගත් පෙනී සිටීම බන්ඩාරවෙල සිදුවීම විය. 2024 ජනාධිපතිවරන සහ පාර්ලිමේන්තු මැතිවරන තුල, ජනතා ජවිපෙ/ජාජබ, සාම්ප්‍රදායික වතු වෘත්තීය සමිති සහ පක්ෂ වන සීඩබ්ලිව්සී, එන්යූඩබ්ලිව්, යූපීඑෆ් සහ ඩීඩබ්ලිව්සී කෙරෙහි ඇති අතෘප්තිය ගසා කෑවේය. එහි ප්‍රතිඵලය වූයේ සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ කෙරෙහි වූ සහයෝගය නාටකාකාර ලෙස බිඳ වැටීමයි. ජනාධිපතිවරනයේ දී සියයට 42.3 ක් වූ ජවිපෙ/ජාජබ සමස්ත ඡන්ද ප්‍රතිශතය පාර්ලිමේන්තු මැතිවරනයේ දී සියයට 61.6 දක්වා ඉහල ගිය අතර, එය තුනෙන් දෙකක බහුතරයක් සහිත ව දිසානායකගේ ජනාධිපති ධුරය සුරක්ෂිත කලේ ය.
නමුත් මාස නවයකටත් අඩු කාලයකට පසු, දිසානායක පරිපාලනයට එරෙහි විරෝධය ඉහල යමින් පවතින අතර, එය පාර්ලිමේන්තු ඡන්දයට සාපේක්ෂ ව පලාත් පාලන මැතිවරනයේ දී ජවිපෙ/ජාජබ ට ලැබුනු ඡන්ද ප්‍රතිශතයේ සියයට 18.3 ක පහත වැටීමෙන් පිලිබිඹු විය.
ප්‍රධාන වතුකර දිස්ත්‍රික්ක වන නුවරඑලිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය පිලිවෙලින් සියයට 13 කින් සහ සියයට 16 කින් පහත වැටුනි. බහුතර බලය අහිමි වූ තැන, ජවිපෙ/ජාජබ පලාත් පාලන ආයතන පිහිටුවීම සඳහා සීඩබ්ලිව්සීයේ සහාය පැතූ අතර, වෙනත් තැන්වල ද එයම කිරීමට සීඩබ්ලිව්සීයට උදව් කලේ ය.
පලාත් සභා මැතිවරන ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් විවේචන එල්ල වන අතර, කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කරන්නන් ලෙස පෙනී සිටිමින් වතුකරයේ සිය අඩු වෙමින් පවතින ඡන්ද පදනම පවත්වා ගැනීමට උත්සාහ කරන ජවිපෙ/ජාජබ ආන්ඩුව දැන් කියා සිටින්නේ, ලබන වසරේ මුල් භාගයේ දී මැතිවරන පවත්වන බව ය. අන් සෑම තැනකම මෙන්, ආන්ඩුවේ ප්‍රධාන දේශපාලන ආධාරකය වන්නේ වෘත්තීය සමිති නිලධරය සහ එහි කම්කරු අරගල මර්දනය යි.
වතුකරයේ ජනතාවගේ අනන්‍යතාවය ගැන කතා කරන විට දිසානායකගේ කතාව විශේෂයෙන් ම කුහක විය. “ඔබේ මුතුන් මිත්තන් ශ්‍රී ලංකාවට පැමිනියේ වසර 202 කට පෙර යි.... ඔබ පිටස්තරයන් විය හැක්කේ කෙසේද? මේ රටේ අද්විතීය අනන්‍යතාවයක් ඇති ප්‍රජාවක් ලෙස අප ඔබ හඳුනා ගත යුතුයි,” ඔහු පැවසී ය.
ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන ඉතිහාසය ගැන හුරුපුරුදු ඕනෑ ම අයෙකුට මෙම ප්‍රකාශයේ ඇති වංචනික බව හඳුනා ගත හැකි ය.
1960 දශකයේ අගභාගයේ දී, ජවිපෙ මුල් කේඩර පුහුනුවේ කොටසක් ලෙස, එහි කුප්‍රකට “පන්ති පහෙන්” එකක—අර්ධ යටත් විජිත රටක් වන—ඉන්දියාව අධිරාජ්‍යවාදී තර්ජනයක් ලෙස නම් කල අතර වතු කම්කරුවන් “ඉන්දියානු ව්‍යාප්තිවාදයේ පස්වන කොලමේ මෙවලමක්” ලෙස හංවඩු ගැසී ය.
අද දිසානායක ප්‍රවර්ධනය කරන්නේ, දේශපාලන පක්ෂ ලෙස කටයුතු කරන වතු වෘත්තීය සමිති සහ උතුරු නැගෙනහිර දෙමල ජාතිකවාදී පක්ෂ විසින් පෙරට දමන ලද අනන්‍යතා දේශපාලනයම ය. ඔහු නැවත නැවතත්, කම්කරුවන් “මලයහම් ජනතාවක්” ලෙස හඳුන්වමින්, ඔවුන් “අද්විතීය අනන්‍යතාවයක් සහිත ප්‍රජාවක්” ලෙස පිලිගැනීමට ඉල්ලා සිටී.
ජවිපෙ/ජාජබ දේශපාලනඥයින් සහ වෘත්තීය සමිති නිලධාරීන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන මෙම අනන්‍යතා දේශපාලනය, කම්කරු පන්තිය වාර්ගික හා ආගමික රේඛා ඔස්සේ බෙදීමට සේවය කරයි. ව්‍යාපාරික අවශ්‍යතා ඇති වෘත්තීය සමිති නායකයෝ, වතු ප්‍රදේශවල නැගී එන මධ්‍යම පන්තික කොටස් සමඟ එක් ව, තමන්ගේම පන්ති න්‍යාය පත්‍රවලට සේවය කිරීම සඳහා වෙන ම පරිපාලන දිස්ත්‍රික්කයක් සඳහා බලපෑම් කරමින් සිටිති.
දැවැන්ත සමාජ හා ආර්ථික අර්බුදයක් මධ්‍යයේ පාලක පන්තියට එරෙහි ව, ජනවාර්ගික රේඛා කපාගෙන කම්කරුවන් අරගලයට එක් වූ, 2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීමෙන් ජවිපෙ/ජාජබ ඇතුලු සියලු ම පාලක පක්ෂ භීතියට පත් ව සිටී. එම ව්‍යාපාරය සමස්ත ධනේශ්වර ක්‍රමයට එරෙහි ව පන්ති එකමුතුව සඳහා ඇති විභවය හෙලි කලේ ය.
වතු කම්කරුවන් මෙම භේදකාරී අනන්‍යතා දේශපාලනය ප්‍රතික්ෂේප කල යුතු ය. එවකට ට්‍රොට්ස්කිවාදී නායකයෙකු වූ ඉන්දියානු බොල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයි) කොල්වින් ආර්. ද සිල්වා, 1948 දී ප්‍රතිගාමී පුරවැසි නීතිවලට විරුද්ධ වෙමින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කල පරිදි:
“මේ ආන්ඩුව මෙම ප්‍රශ්නයට ධනේශ්වර පන්තියේ දෘෂ්ඨිකෝනයෙන් ප්‍රවේශ වන්නේ නම්, අපගේ පක්ෂය—හතරවන ජාත්‍යන්තරය වන අප—මෙම ප්‍රශ්නයට එලඹෙන්නේ නිර්ධන පන්තික—එනම්, කම්කරු පන්තියේ දෘෂ්ඨිකෝනයෙනි. එනම්, අපි වාර්ගික ප්‍රශ්නවලින් ස්වාධීන ව සහ වාර්ගික ප්‍රශ්නවලට ඉහලින්, පන්ති දෘෂ්ඨිකෝනයකින් එයට ප්‍රවේශ වෙමු. මේ රටේ වැඩ කරන ජනතාව මෙන් ම අප ද, ඔහුගේ වාර්ගික සම්භවය මත, මිනිසා සහ මිනිසා අතර වෙනසක් හඳුනා ගැනීමට සූදානම් නැත. අප කියන්නේ, කම්කරුවෙකු යනු ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් කම්කරුවෙකු බවයි.”
දෙමල කතා කරන වතු කම්කරුවන්ට ජීවත්වීමට සරිලන වැටුපක්, යහපත් නිවාස, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ලබා ගත හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම්ව, ජාමූඅ කප්පාදු වැඩසටහනට සහ එය ක්‍රියාත්මක කරන ධනේශ්වර ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහිව, වාර්ගික හා ජාතික රේඛා කපා දමමින් සිදු කරන කම්කරු පන්තියේ එක්සත් අරගලයක් හරහා පමනි.
