බංග්ලාදේශ ඇඟලුම් කම්හලේ ගින්නට ගොදුරු වූවන් අතර යාබද පැල්පත් නිවාසවල නව යොවුන් කම්කරුවෝ වෙති

[මෙය Victims of Bangladesh garment factory fire included teenage workers from nearby slum, මැයෙන් 2025 ඔක්තෝබර් 20 දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]

2025 ඔක්තෝබර් 14 වන අඟහරුවාදා, බංග්ලාදේශයේ ඩකා හි මිර්පූර් හි ඇඟලුම් කම්හලක සහ රසායනික ගබඩාවක ගින්නක් ඇති වූ භූමිය අසල පවුලක සාමාජිකයෙකු ක්ලාන්ත වී ඇති අයුරු [AP Photo/Mahmud Hossain Opu]

ඔක්තෝබර් 14 වන දා අවම වශයෙන් කම්කරුවන් 16 දෙනෙකුට මරු කැඳවමින් බංග්ලාදේශයේ ඩකා හි අන්වර් ෆැෂන් ඇඟලුම් කම්හලේ ඇති වූ ගින්නෙන් සතියකට ආසන්න කාලයක් ගත වී ඇතත්, කම්පාවට පත් පවුල් තවමත් අතුරුදහන් වූ කම්කරුවන් 11 දෙනෙකු සොයමින් සිටිති. මරනයට ගොදුරු වූවන් බොහෝ දෙනෙක් වයස අවුරුදු 14 ක් හෝ ඊට අඩු අය වූහ.

බොහෝ දෙනෙක් ජීවත් වූයේ බංග්ලාදේශ අගනුවරේ නිවහන් ප්‍රදේශයක් වන මිර්පූර් හි රසායනික ගබඩා, ඇඟලුම් කම්හල් සහ අනෙකුත් කාර්මික මර උගුල් සහිත තදබදයක් පවතින මුඩුක්කුවක ය.

ඛේදවාචකය ආරම්භ වූයේ අන්වර් ෆැෂන් අසල පිහිටි රසායනික ගබඩාවක ගින්නක් ඇති වීමත් සමඟ ය. ඇඟලුම් කම්හලේ වහලයට පිවිසීමට හැකි ව තිබුනු දොර, අගුල් දෙකකින් වසා දමා තිබූ බැවින්, ගින්නට ගොදුරුවූවන්ට පැන යාමට නොහැකි වූ බව ඔක්තෝබර් 19 වන දින නිව් ඒජ් පුවත්පත ලිවී ය. 

“බොහෝ දෙනෙක් මිය ගියේ පිලිස්සුම් තුවාල නිසා නොව, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ බ්ලීචිං කුඩු වැනි රසායනික ද්‍රව්‍ය පුපුරා යාමෙන් [කම්හල තුල] නිකුත් වූ ඝන, විෂ දුම ආශ්වාස කිරීමෙනි” යනුවෙන් නිව් ඒජ් වාර්තා කලේ ය.

අතිශයින් දුගී මෙම කම්කරුවන්ගේ මාසික වැටුප වන්නේ ටකා 7,000-7,500 (ඇමරිකානු ඩොලර් 57.00-61.50) කි. කම්හලේ පවතින වහල් ශ්‍රම කොන්දේසි ගැන අවධාරනය කරමින්, මරනයට ගොදුරු වූ එක් කාන්තා කම්කරුවෙකගේ 14 හැවිරිදි සහෝදරිය ද ස්ටාර් පුවත්පතට මෙසේ පැවසුවා ය: “ඊට පෙර දින ඇය කිව්වා, ‘මම මේ කර්මාන්ත ශාලාවෙන් අස් වෙනවා කියල. මෙහි කිසිදා නිවාඩු දිනයක් නැහැ’ කියලා.”

තම 14 හැවිරිදි පුත් අබ්දුල් අලිම් පසුගිය මාසයේ කර්මාන්ත ශාලාවේ සේවය කල නමුත් ඔහුට වැටුප් ලැබී නොමැති බව මව තාරා බෙගම් පැවසුවා ය. ඔහුගේ වැටුප ලබා ගැනීම සඳහා ඔක්තෝබර් 14 වන දින කර්මාන්ත ශාලාවට පැමිනෙන ලෙස ඔහුට උපදෙස් දෙන ලදී. “ඩීඑම්සීඑච් (ඩකා වෛද්‍ය විද්‍යාල රෝහලේ) මෘත ශරීරාගාරයේ ඇති කිසිම මල සිරුරක් මගේ පුතාට සමාන නැහැ,” යනුවෙන් බෙගම් පැවසුවේ තම පුතාගේ සිරුර තවමත් විනාශ වූ කර්මාන්ත ශාලාවේ නටබුන් තුල ඇති බව ඇය විශ්වාස කරන බව සඳහන් කරමිනි.

තම ආදරනීයයන් හඳුනා ගැනීම සඳහා පවුල් එක් රැස් වී සිටි ඩකා වෛද්‍ය විද්‍යාල රෝහලේ මෘත ශරීරාගාරයේ ඛේදජනක දර්ශන දිගහැරුනු, බව ද ස්ටාර් වාර්තා කලේ ය. මිය ගිය වූවන් අතර මෑතක දී විවාහ වූ 22 හැවිරිදි මොහොමඩ් ජෝයි සහ 18 හැවිරිදි මර්සියා සුල්තානා අලෝ ද වූහ. අලෝ ගේ මාමා පැවසුවේ ජෝයි තම පිලිස්සුනු ජීන්ස් කලිසම යටින් ඇඳ සිටි කොට කලිසමෙන් පවුලේ අය ඔහු හඳුනා ගැනීමට සමත් වූ බවයි. පිලිස්සුනු ඇඳුම්වල ඉතිරි කොටස් හරහා අලෝ හඳුනා ගන්නා ලදී.  

ගින්න පැය 27ක් පුරා ඇවිලී ගිය අතර පසු ව ගිනි නිවන භටයෝ එය නිවා දැමීමට සමත් වූහ. පරිසරයට ඇති වූ බලපෑම කෙතරම් දරුනුද යත්, ප්‍රදේශයේ විෂ දුමාරයක් පැවතීම හේතුවෙන් යාබද මාර්ගවල බොහෝ කර්මාන්තශාලා සහ ව්‍යාපාර වසා දමා තිබුනි.

තවත් කාර්මික ව්‍යසනයක් හේතුවෙන් උද්ගත විය හැකි මහජන කෝපයට බිය වූ, කම්කරු හා රැකියා අමාත්‍යාංශය සිද්ධිය විමර්ශනය කිරීම සඳහා හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පිහිටුවන බව නිවේදනය කලේ ය. මියගිය සෑම කම්කරුවෙකුගේ ම පවුලකට ටකා 200,000 (ඇමරිකානු ඩොලර් 1,641) ක වන්දියක් සහ තුවාල ලැබූ සෑම කම්කරුවෙකුට ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ටකා 50,000 (ඇමරිකානු ඩොලර් 410.55) ක් ගෙවන බව අමාත්‍යාංශය පැවසී ය. 

ඔක්තෝබර් 18 වන දින නිව් ඒජ් පුවත්පතේ කතුවැකියට අනුව, අන්වර් ෆැෂන් කම්හලෙහි ගිනි නිවන දොරටු, අනතුරු ඇඟවීම් හෝ ආරක්ෂක පද්ධති නොතිබූ අතර කම්හල කිසිදු වෙලඳ හෝ රජයේ ආයතනයක ලියාපදිංචි කර නොතිබුනි.

නීති සහ මූලික ආරක්ෂක ප්‍රමිතීන්ට පටහැනි ව වසර ගනනාවක් තිස්සේ ක්‍රියාත්මක වන නීති විරෝධී රසායනික ගබඩා සහ කුඩා කර්මාන්තශාලා මිර්පූර් හි වේගයෙන් ව්‍යාප්ත වීම ද ස්ටාර්  පෙන්වා දුන්නේ ය.

නිවස්නා ප්‍රදේශවල රසායනික ද්‍රව්‍ය සහ අනෙකුත් අන්තරායකර කර්මාන්ත ස්ථානගත කිරීම සේවායෝජකයින්ට තහනම් කරන 2003 ගිනි වැලැක්වීමේ සහ පාලන පනත, 1997 පරිසර සංරක්ෂන නීති සහ අනෙකුත් රෙගුලාසි, අවලංගු ලෙස සලකනු ලැබේ. මූලික ආරක්ෂක ක්‍රියා පටිපාටි ප්‍රසිද්ධියේ නොසලකා හරින එවැනි කර්මාන්ත ක්‍රියාත්මක වීම කෙරෙහි බලධාරීහු ඇස් පියාගෙන සිටිති. 

මෙයින් පැහැදිලි වන්නේ මියගිය සහ තුවාල ලැබූ කම්කරුවන් “හදිසි අනතුරකට” ගොදුරුවූවන් නොව, සමාජ ඝාතනයකට ගොදුරුවූවන් බවයි. ඔවුනගේ ජීවිත, සමාගම්වල ලාභය සඳහා කැප කෙරී ඇත.

මිර්පූර් සිද්ධියෙන් දින දෙකකට පසු, ඩකා නගරයට බටහිරින් කිලෝමීටර් 293 (සැතපුම් 182) ක් දුරින් පිහිටි චැටෝග්‍රෑම් (චිතගොං) අපනයන සැකසුම් කලාපයේ (අසැක) මහල් හතකින් සමන්විත තුවා නිපදවන කම්හලක තවත් දැවැන්ත ගින්නක් ඇති විය. ඇඩම්ස් කැප්ස් සහ ටෙක්ස්ටයිල්ස් ලිමිටඩ් කම්හලෙන් අවම වශයෙන් සේවකයින් 20-25 දෙනෙකු බේරා ගත් අතර, ගින්න පාලනය කිරීමට පැය 17 ක් ගත වූ බව ඔක්තෝබර් 18 වන දින ඩේලි ස්ටාර් වාර්තා කලේ ය.

දින දෙකකට පසු, “ඩකා හි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ භාන්ඩ ගබඩා කරන කලාපය හරහා ඇති වූ දැවැන්ත ගින්නක් මගින් එම කලාපයේ ගබඩා කර තිබූ භාන්ඩ පිලිස්සුනු අතර, ගුවන් ගමන් අඩාල වීමත්, දිගු ප්‍රමාදයන් ඇති වීමත් සහ ගුවන් යානා හරවා යැවීමත් සිදු විය” යනුවෙන් ද ස්ටාර් වාර්තා කලේ ය.

2019 සිට 2023 දක්වා කාලය තුල බංග්ලාදේශය පුරා ගිනි ගැනීම් 100,000 කට වඩා වාර්තා වී ඇති අතර, ඉන් බොහෝ සංඛ්‍යාවක් රසායනික ද්‍රව්‍ය හා සම්බන්ධිත වේ. 2022 දී පමනක්, සිදු වූ ගිනි ගැනීම් 24,102 හේතුවෙන් 85 දෙනෙකු මිය ගොස් 400 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත. “ප්‍රතිපත්ති සංවාද මධ්‍යස්ථානයට” අනුව අවම වශයෙන් කර්මාන්තශාලා 856 ක් කිසිදු අධිකාරියක අධීක්ෂනයකින් තොර ව ක්‍රියාත්මක වේ.

මෑත කාලීන ව්‍යසනයන්ට මේවා ඇතුලත් වේ:

  • 2010 දී, නිම්ටෝලි හි රසායනික ද්‍රව්‍ය ගබඩාවක ඇති වූ ගින්නකින් 124 දෙනෙක් මිය ගියහ. නිම්ටෝලි යනු පැරනි ඩකාහි ජනාකීර්න නිවාස සහ සාප්පු, කුඩා ගබඩා සහ ව්‍යාපාර සහිත නිවහන් ප්‍රදේශයකි.
  • 2013 අප්‍රේල් මාසයේ දී, ඩකා නගරයට ආසන්නයේ පිහිටි සවාර් උප-දිස්ත්‍රික්කයේ ඉදි කර තිබුනු ඇඟලුම් කම්හල් කිහිපයක් ක්‍රියාත්මක වූ අට මහල් රානා ප්ලාසා ගොඩනැගිල්ලේ හට ගැනුනු ව්‍යූහාත්මක [බාල්ක, කනු, බිත්ති ඇතුලු ගොඩනැගිලි පද්ධතියේ] දෝෂයක් හේතුවෙන්, එය කඩා වැටුනු අතර, එහි සේවකයින් 1,134 දෙනෙක් මිය ගියහ.
  • 2019 දී, චව්ක්බසාර් හි රසායනික ද්‍රව්‍ය සහ දැවෙන ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගොඩනැගිල්ලක ඇති වූ දැවැන්ත ගින්නක් සහ පිපිරීම් මගින් 71 දෙනෙක් මිය ගියහ. 
  • 2022 ජූනි මාසයේ දී, චිතගොං හි සිටකුන්ඩා උප දිස්ත්‍රික්කයේ බහාලුම් ගබඩාවක ඇති වූ ගින්නකින් සහ පිපිරීම් වලින් අවම වශයෙන් පුද්ගලයින් 47 දෙනෙක් මිය ගියහ.

අඛන්ඩ ව කාර්මික ඝාතනය පැවතිය ද, කම්කරු පන්තිය දරුනු සූරා කෑමට ගොදුරු කිරීම මගින් දැවැන්ත ලාභ කඳු ගසා ගන්නා බංග්ලාදේශ ධනපති පන්තිය සහ විදේශීය ආයෝජකයින් තම ප්‍රතිපත්ති වෙනස් කර නැත.

ප්‍රතිචාරය එකම ය: ව්‍යසනයක් සිදු වේ; රජයේ ඇමතිවරු පැමින වින්දිතයින්ගේ පවුල් සඳහා ශෝකය ප්‍රකාශ කරමින්  සොච්චම් වන්දි පොරොන්දු වෙති; සහ විමර්ශන කමිටුවක් පත් කරනු ලැබේ. කෙසේ වෙතත්, අවසානයේ, වගකිවයුත්තන්ට කිසි විටෙකත් දඬුවම් නියම නොකෙරේ, ජනමාධ්‍ය සිද්ධිය යටපත් කරයි. බංග්ලාදේශය ලාභ ශ්‍රම තෝතැන්නක් ලෙස ජාත්‍යන්තර ආයෝජකයින්ට අලෙවි කරමින් පවතී, අවසානයේ වින්දිත පවුල් සදහට ම පාඩු විඳිති.

කර්මාන්තශාලා පරීක්ෂා කිරීම් සහ ගිනි නිවීම් සඳහා වගකිව යුතු ප්‍රධාන රාජ්‍ය ආයතනවල මිනිස් බලය සහ මූල්‍ය යන දෙකම එකදිගටම සම්පත් ඌනතාවයෙන් පෙලෙන බව ඩේලි සන් පුවත්පත වාර්තා කලේය. 

“අධික වැඩ භාරය, පිරිස් බලය නොමැතිකම සහ පරිපාලනමය සීමාවන් හේතුවෙන්, කර්මාන්තශාලා සහ ආයතන පරීක්ෂන අධ්‍යක්ෂ මන්ඩලය (කආපඅම) හා ගිනි නිවන සේවය යන ආයතන දෙක ම අසීරුතාවයට ලක් ව ඇති අතර, තව ද මේවාහි පවතින දූෂනය සහ පරිපාලනමය හිඩැස් හේතුවෙන්, බොහෝ අක්‍රමවත් කර්මාන්තශාලා බියෙන් තොරව ක්‍රියාත්මක වේ.”

බංග්ලාදේශයේ කම්කරුවෝ, හුදෙක් අධි-සූරාකෑමට ගොදුරු වූවන් පමනක් නොවෙති. ඔවුහු, වෘත්තීය සමිති නිලධරය විසින් පිලිගනු ලබන කාර්මික වහල්භාවයට එරෙහිව සටන් කිරීමට ඇති තමන්ගේ අධිෂ්ඨානය නැවත නැවතත් පෙන්නුම් කර ඇත. 

ඔක්තෝබර් 17 වන දින ඩේලි ස්ටාර් පුවත්පත මෙසේ වාර්තා කලේ ය.

දින තුනක කම්කරුවන්ගේ නොසන්සුන්තාව සහ ප්‍රචන්ඩ ගැටුම් හේතුවෙන් ප්‍රමුඛ ඩෙනිම් අපනයනකරුවෙකු වන පැසිෆික් ජීන්ස් සමූහය, චැටෝග්‍රෑම් අපනයන සැකසුම් කලාපය (නිදහස් වෙලඳ කලාපය) තුල ඇති තම කර්මාන්තශාලා අට ම දින නියමයක් නොමැති ව වසා දමන බව නිවේදනය කර තිබේ. ... 

ඔක්තෝබර් 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරනය ගනු ලැබුවේ, පැසිෆික් ජීන්ස් ලිමිටඩ් හි කම්කරුවන් පිරිසක් ඔක්තෝබර් 14 වන දින වැඩ නතර කර, අවුල් සහගත තත්ත්වයක් ඇති කර, විදුලි සම්බන්ධතා විසන්ධි කිරීමෙන් පසුව බව [පාලකයින් විසින්] කියාපාන ලදී. ඔවූහු අනෙක් අයට වැඩ වර්ජනයකට එක්වන ලෙස බල කල බවත්, පසු ව අනෙකුත් කම්හල්වලට පහර දුන් බවත් වාර්තා වන අතර, එමඟින් මෙම ජීන්ස් කම්හල් සමූහයේ මෙහෙයුම් නතර කිරීමට සිදු විය.

නිදහස් වෙලඳ කලාපය පුරා නොසන්සුන්තාව පැතිරී නිමි ඇඳුම් අපනයනයට බාධා ඇති වේ යැයි බියෙන් වසා දැමූ ජීන්ස් කම්හල් සමූහයේ කර්මාන්තශාලා හතේ කම්කරුවන් 35,000 කට අධික සංඛ්‍යාවක් සේවයේ යොදවනු ලැබ ඇත. 2024-25 මූල්‍ය වර්ෂයේ දී රටේ මුලු අපනයනයෙන් ආසන්න වශයෙන් සියයට 81.49 ක් නිමි ඇඳුම් සඳහා වූ අතර එමඟින් ඩොලර් බිලියන 38.48 ක් උපයා ඇත.

මිර්පූර් ගිනි ගැනීම් සිද්ධිය තවත් සිද්ධීන් මාලාවක කොටසක් වනු ඇති අතර, මෙම සිද්ධිය වටා මතුවන කරුනුවලින් පෙනී යන්නේ අර්බුදයෙන් ඇලලුනු බංග්ලාදේශ පාලක පන්තියට කම්කරුවන් ආරක්ෂා කිරීමට කිසිදු වැඩපිලිවෙලක් නොමැති බවයි.

චීනයට පසු ව ලෝකයේ දෙවන විශාලත ම ඇඟලුම් අපනයනකරුවා වන බංග්ලාදේශ ඇඟලුම් කර්මාන්තය, මිලියන හතරකට අධික සේවක පිරිසක් කුරිරු තත්වයන් යටතේ සේවයේ යොදවනු ලබන අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවෝ වෙති.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇඟලුම් ආනයනය සඳහා සියයට 20 ක තීරු බදු පැනවීම සහ බහුජාතික යෝධ සංගතවලින් එල්ල වන පීඩනය වැඩි වීම හේතුවෙන්, බංග්ලාදේශ ඇඟලුම් කර්මාන්තය කම්කරුවන් සූරාකෑම තීව්‍ර කරමින් සිටී. ආකර්ශනීය ලෙස අධික ලාභ මිරිකා දීම සඳහා පිරිවැය හැකිතාක් අඩු කිරීම ඉලක්ක කරගෙන [ඇඟලුම් කර්මාන්තකරුවන්] අනාරක්ෂිත ව ශ්‍රමය සූරා කෑමේ කොන්දේසි පවත්වා ගෙන යයි. 

මේ අනුව, ක්‍රියාකාරී කමිටු පිහිටුවීම හරහා සාමූහික ව ප්‍රතිරෝධය දැක්වීමේ මාධ්‍යයන් කම්කරුවන් වර්ධනය නොකලහොත් තවදුරටත් අනතුරු නොවැලැක්විය හැකි ය. මෙම ක්‍රියාකාරී කමිටු බංග්ලාදේශයේ, දකුනු ආසියාවේ සහ ලොව පුරා කම්කරුවන් ධනේශ්වර සූරාකෑමට එරෙහි ව එක්සත් කිරීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයට අනුබද්ධ විය යුතු ය.

Loading