නිදහස් අධ්‍යාපන අයිතිය මත තීරනාත්මක ප්‍රහාරයක්: ජවිපෙ/ජාජබ ආන්ඩුව කුඩා පාසල් වසා දැමීමට සැරසෙයි

බලයට පත් වන ආන්ඩු, නිදහස් අධ්‍යාපන අයිතියට අඛන්ඩ ව එල්ල කරමින් පවත්නා ප්‍රහාරයේ තීරනාත්මක සන්ධිස්ථානයක්  සලකුනු කරමින්, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, “සිසුන් සංඛ්‍යාව 50ට අඩු පාසල්” වසා දැමීම නිර්දේශ කෙරුනු චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.   

2022 සිට වසාදමා ඇති බ/පුස්සැල කනිෂ්ඨ විද්‍යාලය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කල අංක 13/2025 දරන ‘පාසල් ව්‍යූහ කටයුතු’ පිලිබඳ චක්‍රලේඛය මගින් මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 50 ට අඩු පාසල් “තාවකාලිකව” වසා දැමීම සඳහා නිර්නායක ප්‍රකාශයට පත් කර ඇත. චක්‍රලේඛය නිකුත් කර තිබෙන්නේ 2025 අප්‍රේල් 21 දින වුවත් එය ප්‍රසිද්ධියට පත් වූයේ පසුගිය සතිය තුලයි. 

චක්‍රලේඛයේ 8‍‘පාසල් විචාරවත් කිරීම’ යටතේ පාසල් වසා දැමීමට හේතුව ලෙස දක්වා තිබෙන්නේ පාසලක ශිෂ්‍ය සංඛ්‍යාව අවම වීම හේතුවෙන් ‘ඒක ශිෂ්‍ය පිරිවැය ඉතාමත් ඉහල අගයක්’ ගැනීම යන්නයි. පාසල් වසා දැමීම, ජවිපෙ/ජාජබ ආන්ඩුව ක්‍රියාවට දමමින් තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු වැඩපිලිවෙලේ ‍කොටසකි. 

පාසල් වසා දැමීම මගින් ගුරුවරුන් සහ අනධ්‍යයන සේවකයන් සඳහා වැය වන පුනරාවර්තන වියදම් හා සීමිත ව සිදු කෙරෙන ප්‍රාග්ධන වියදම් හකුලා දැමීම ආන්ඩුවේ එල්ලයයි.  

පාසල් වසා දෑමීම සඳහා නිර්නායක 2 ක් චක්‍රලේඛයේ දක්වා තිබේ. 

•ශ්‍රේනියක ශිෂ්‍ය සංඛ්‍යාව 10 හෝ 10 ට අඩු වීම හා පාසලේ මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 50 ට අඩු පාසලක් වීම. 

•අදාල පාසල පිහිටි ස්ථානයේ සිට කි.මී. 5 ක අරයකින් යුත් ප්‍රදේශය තුල වසා දැමීමට සලකා බලනු ලබන පාසල් වර්ගයට සමාන හෝ උසස් හෝ පාසලක් පිහිටා තිබීම. 

ඉහත කරුනු තෘප්ත වන්නේ නම් ඒ සඳහා පියවර ගැනීම සඳහා, පලාත් ව්‍යූහ කමිටුවට හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ව්‍යූහ කමිටුව වශයෙන් කමිටු දෙකක් පත් කර තිබේ.  

උක්ත නිර්නායකවලින් පැහැදිලි වන්නේ කි.මී. 5 ක අරයකින් යුත් ප්‍ර‍දේශයක ඒ හා සමාන තවත් පාසලක් හෝ ඊට වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පාසල් පවතින්නේ නම් සිසුන් 50 ට අඩු පාසලක් අනිවාර්යෙන් වසා දමන බවයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ලංකාවේ සිසුන් 50 ට අඩු පාසල් සංඛ්‍යාව 1506 කි. රටේ සමස්ත පාසල් සංඛ්‍යාව වන 10096 න් සියයට 14.9 ක ප්‍රතිශතයක් වන එම පාසල්වල ඉගෙනුම ලබන මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 44866 ක් වේ. 

එල්ල කිරීමට යන ප්‍රහාරයේ පරිමාව යට ගැසීමේ එල්ලයෙන්, පාසල් වසා දමන්නේ “තාවකාලිකව” බවත්, සිසුන්ගේ පදිංචියට ආසන්නයේ ‘පහසුකම් සහිතව ගුනාත්මක අධ්‍යාපනයක් ලබා දීම පාසල් විචාරවත් කිරීමේ’ වැඩපිලිවෙලේ අරමුන බවත් චක්‍රලේඛය තුල නැවත නැවතත් සඳහන් කර තිබේ. 

තම නිවසට ආසන්නයේ පාසලක් පැවතීමෙන්, කම්කරු පන්තික, දිලිඳු ගොවි, ධීවර දෙමාපියන්ට ආර්ථික දුෂ්කරතා මැද වුව ද තම දරුවන් පාසලක් වෙත යොමු කිරීමට ඉඩ සැලසුනු අතර, එමගින් එම දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා හිමි කර ගැනීමේ යම් අවස්ථාක් හිමි ව පැවතුනි.  

නව ප්‍රහාර එල්ල වන්නේ, ලංකාවේ දැනටමත් 20000 ක් පමන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් වාර්ෂික ව පාසල් අතහැර යන තත්වයක් තුල හා තවත් 80000 ක් පමන පිරිසක් නිති පතා පාසල් නොයන, නැතහොත් පාසල් හැර යෑමට ආසන්නයේ සිටින තත්වයක් තුලයි. පලමු වසරට ඇතුල් වන ශිෂ්‍යන්ගෙන් සියයට 11 ක් තරම් ඉහල ප්‍රතිශතයක් සාමාන්‍ය පෙල විභාගය සඳහා පෙනී නොසිටී.  

වැට් බදු පැනවීමෙන් පාසල් පොත්, බෑග්, සපත්තු ඇතුලු පාසල් උපකරනවල මිල ගනන් ඉහල යෑම හා ආහාර පාන, ප්‍රවාහන ගාස්තු, විදුලිය බිල් පසුගිය වසර කිහිපය තුල දැවැන්ත පරිමානයෙන් ඉහල යෑම මේ සඳහා බලපා තිබේ. පාසල් වසා දැමීම මගින් දරුවන් පාසල් හැර යෑම තවදුරටත් වේගවත් කරනු ඇත.

රටේ පාසල් විශාල සංඛ්‍යාවකට, අත්‍යවශ්‍ය භෞතික හා මානව සම්පත් නොමැති බැවින්, දෙමාපියන්, පවුලේ අනෙකුත් අවශ්‍යතා කපා දමමින් තම දරුවන් නගරයේ පිහිටි “ජනප්‍රිය පාසල්” වෙත යොමු කිරීමට උත්සාහ ගනී. සැබැවින් ම, මෙම කුඩා පාසල්වල තවදුරටත් රැඳී සිටිනුයේ, එසේ හෝ කල නොහැකි දරුවන් ය.

අනෙක් අතට, එම “ජනප්‍රිය” පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව විශාල ලෙස ඉහල යෑමෙන් දරුවන්ට නිසි පරිදි අධ්‍යාපනය ලැබිය නො හැකි තත්වයක් උද්ගත වී තිබේ. එවන් “ජනප්‍රිය” පාසල්වල එක් පන්ති කාමරයක සිසුන් සංඛ්‍යාව 45 – 60 දක්වා ඉහල ගොස් ඇති අතර, පාසල් බහුතරයක පන්ති කාමර එකිනෙකින් වෙන්ව නැත. ජල හා වැසිකිලි පහසුකම් පවතින්නේ අතිශය ඛේදජනයක තත්වයක ය.  

ගොඩනැගිලි, ඩෙස්ක් බංකු, අලුත්වැඩියාව ඇතුලු පාසල්වල නඩත්තුව මුලුමනින්ම පාහේ පාසල් සංවර්ධන සමිති හරහා දෙමාපියන් මත පටවා ඇත. නාගරික පාසලක වාර්ෂික සංවර්ධන හා පහසුකම් ගාස්තු රුපියල් 3,000 ඉක්මවා තිබේ. එසේම විදුලිය, ජල, දුරකථන හා අන්තර්ජාල බිල්පත් ගෙවීම සඳහා පාසල් තුල ම දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පොලවල්, සංගීත සංදර්ශන වැනි දෑ පැවැත්වීම දැන් සාමාන්‍ය කටයුත්තක් බවට පත් ව තිබේ. 

නාගරික පාසල්වල ශිෂ්‍ය තදබදය වැඩි වීමට බලපා ඇති තවත් හේතුවක් වන්නේ රැකියා අවස්ථා සඳහා ගම්බද දිලිදු ජනයා නගර වෙත සංක්‍රමනය වීමයි. ධනේෂ්වර වර්ධනයක් කල්පසු වූ ලංකාව වැනි පසුගාමි රටවල් තුල කර්මාන්ත ශාලා ඇතුලු වෙනත් රැකියා අවස්ථා වරාය හා ගුවන් තොටුපල පිහිටි ප්‍රධාන නගරවලට පමනක් සීමා වී තිබේ.  

මේ තත්වය තුල, සමස්ත පාසල් ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 66.1 ක් තරම් විශාල සංඛ්‍යාවකට, සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සියයට 21 ක් තරම් වූ කුඩා ප්‍රමානයක ඉගෙනුම ලැබීමට බල කෙරී තිබේ.

ජාමූඅ, යුනෙස්කෝව සහ ලෝක බැංකුවේ 1990-2024 සංඛ්‍යා දත්ත මත පදනම් ව, හියුමන් රයිට් වොච් සංවිධානය පලකල අනාවරනයක් මත ඔක්තෝබර් 18 දා ඩේලිඑෆ්ටී වාර්තා කලේ, දල දේශීය නිෂ්පාදිතයේ (දදේනි) ප්‍රතිශතයක් ලෙස අධ්‍යාපනයට ‌වැය කරන මුදල් ප්‍රමානය සැලකූ විට, පහල හා මධ්‍ය ආදායම් ලබන ලෝකයේ රටවල් අතර, ලංකාව පහල ම මට්ටමේ පවතින බවයි. ලංකාවේ එම අගය සියයට 2 ට අඩු මට්ටමේ පවති.  

ධනේෂ්වර ක්‍රමයේ ගැඹුරු වන අර්බුදය යටතේ ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය ඇතුලු දියුනු ධනපති රටවල සිට පහලට ලොව පුරා පාලක පන්තීන්, බිලියනපතියන්ගේ මහ බැංකුවලට ඇප දීමට සහ යුද්ධය සඳහා බිලියන ගනන් මහජන මුදල් වැය කරන අතර, මහජන අධ්‍යාපනය සහ සෞඛ්‍යය මත දරුනු ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් එර‍ට අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දැමීමට තීන්දු කර ඇත. අධ්‍යාපන වියදම් කප්පාදුවට සහ රැකියා කප්පාදුවට  එරෙහි ව, ජර්මනිය, බ්‍රිතාන්‍ය හා ප්‍රංශයේ මේ වසරේ පාසල් ගුරුවරුන්ගේ සහ ශිෂ්‍යයන්ගේ බරපතල විරෝධතා වර්ධනය විය. 

2026 සිට ජවිපෙ/ජාජබ ආන්ඩුව ක්‍රියාත්මක කිරීමට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරන මෙම කප්පාදුව තවත් පැත්තකින් ඉදිරියට ගැනීමකි. එහි එල්ලය, අධ්‍යාපනයේ පෞද්ගලීකරනය වේගවත් කිරීම මෙන්ම ශ්‍රම වෙලඳපල අවශ්‍යතා සඳහා පාසල් වෘත්තීය පුහුනු ආයතන බවට පත් කිරීමයි. 

මේ වසරේ ජුලි 24 දින අධ්‍යාපන ප්‍රතිසංස්කරන පිලිබඳව පාර්ලිමේන්තුවේ දී කල කතාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ සිසුන් කුඩා සංඛ්‍යාවක් සිටින පාසල් වසා දැමීම හා ඒකාබද්ධ කිරීම “වඩා ලාභදායි” බවයි. එවැනි තත්වයක් තුල “මහජනතාව ප්‍රකෝප නොකරන” ලෙස ඔහු විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය. 

දිසානායක මහජනතාව ප්‍රකෝප නොකරන ලෙස සිදු කරන ප්‍රකාශය මහජනතාවට ම එරෙහි තර්ජනයකි. විපක්ෂයේ ධනපති පක්ෂ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල හා අධ්‍යාපන ප්‍රතිසංස්කරන මුලුමනින් ම අනුමත කරති. 

විපක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන, එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය මහජනයා අතර බරපතල අප්‍රසාදයට ලක් කෙරුනු තත්වය තුල පසුගිය මැතිවරනවල දී, ගුරු-විදුහල්පති වෘත්තීය සමිති, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය, පෙරටුගාමි සමාජවාදී පක්ෂය, එහි අන්ඩක් වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) වැනි කොටස් ජවිපෙ/ජාජබ බලයට ගෙන ඒමට ඍජු ව හා වක්‍ර ව කරබදු විය. 

ජාමූඅ නියෝජිතයන් හමුවේ එහි නියෝග ක්‍රියාවට දමන බවටත්, මහ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ඉටු කරන බවටත් මැතිවරනවලට පෙර සිට ම ජවිපෙ නායකයන් දුන් පොරොන්දු, මහජනයාගෙන් වසන් කිරීමට මෙම සංවිධාන හිතාමතා ම කටයුතු කලේ ය. 

දැන් එම සංවිධාන කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන්ගේ විරෝධය ධනපති ක්‍රමය තුල ම වාෂ්ප කර දැමීම සඳහා සහන ඉල්ලා ආන්ඩුවට බල කිරීමේ සීමිත විරෝධතා, ආයාචනා සහ මාධ්‍ය හමුවල නිරත වී සිටිති.  

පසුගිය සතියේ මාධ්‍ය හමුවක් පැවැත් වූ ලංකා ගුරු සංගමයේ (ලංගුස) ලේකම් ජෝසප් ස්ටාලින්, ජවිපෙ ට අයත් ලංකා ගුරු සේවා සංගමය මේ මස 17 දා පැවැත්වූ සම්මේලනය හා එහි දී ජනාධිපති දිසානායක කල කතාව ගුරු වැටුප් වැඩි කිරීම ඇතුලු අධ්‍යාපනය සම්බන්ධ බලාපොරොත්තු සුන් කල එකක් බව කියා සිටියේ ය. “ජාජබ මැතිවරන ප්‍රකාශයේ තියෙන්නේ කිලෝ මීටර් 3 ක් දුරින් පාසල් හදනවා කියලා. නමුත් චක්‍රලේඛයේ කිලෝ මීටර් 5 ක් දුරින් පාසල් වහන්න යනවා” යයි කියා සිටි ස්ටැලින් “විචාරවත් වන්න” යැයි ආන්ඩුවට උපදෙස් දුන්නේ ය.  

ආන්ඩුවේ චක්‍රලේඛයේ සඳහන්වන ආකාරයේ සහ ලංගුස නායකයා ඉල්ලා සිටින ආකාරයේ, “විචාරවත්”, නැතහොත් තාර්කික ප්‍රතිසංවිධානයක්, අධ්‍යාපනය තුල හෝ වෙනත් කිසියම් ක්ෂේත්‍රයක් තුල, ධනපති ක්‍රමය යටතේ සිදු කල නොහැක. නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය, තාර්කික ආකාරයෙන් සමාජය ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන් ඓතිහාසික ව අශක්‍ය ය.

අධ්‍යාපනය සම්බන්ධයෙන් පමනක් සැලකුව ද, සමාජ-ආර්ථික වශයෙන් ද, ගම සහ නගරය වශයෙන් ද පාසල් වශයෙන් ද දැවැන්ත අසමානතාවක් පැවතිය දී, ජනාධිපති දිසානායක පවසන පරිදි “වඩාත් ලාභදායී” විසඳුමක් ලෙස, ලමුන් අඩු පාසල් වසා දැමීමෙන්, දහස් සංඛ්‍යාත දරුවන්ට අධ්‍යාපනය අහිමිවනු ඇත. ලාභය මත පාදක වූ ධනපති ක්‍රමයේ “විචාරවත්භාවය”, නැතහොත්, තාර්කිකභාවය එබඳු ය.

එසේ තිබිය දී, අර්බුද-ග්‍රස්ත ධනපති ක්‍රමය තුල ම විසඳුම් ඉල්ලා අවිශිබම නායකයෝ අමාත්‍යාංශවලට යලි යලිත් බඩගාති.

2026 අය-වැයෙන් අධ්‍යාපනයට දදේනි න් සියයට 3 ක් වෙන් කිරීම, අඩු පහසුකම් සහිත පාසල් සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම, පාසල් උපකරනවලින් වැට් බදු ඉවත් කිරීම, විශ්වවිද්‍යාල මාසික ශිෂ්‍යාධාරය රුපියල් 10000 ක් දක්වා වැඩි කිරීම සහ විශ්වවිද්‍යාල නේවාසිකාගාර සහ ආචාර්යවරුන්ගේ හිඟය විසඳීම ඇතුලු ඉල්ලීම් 08 කින් යුතු ලිපියක්, අවිශිබමය, සැප්තැම්බර් මාසයේ දී මුදල් හා අධ්‍යාපන අමාත්‍යාංශවලට යොමු කලේ ය. මේ මස 09 දා කොලඹ දී ඒ සම්බන්ධ ව ප්‍රසිද්ධ රැස්වීමක් ද පැවැත් වූ අවිශිබම වගාදිගා කරන්නේ ද මැතිවරනවල දී නිදහස් අධ්‍යාපනය නගා සිටුවන බවට ජවිපෙ/ජාජබ දුන් පොරොන්දු ඔවුනගේ ආන්ඩුවට බලපෑම් යෙදීමෙන් ඉෂ්ඨ කර ගත හැකිය යන මිත්‍යාවයි.  

ජවිපෙ/ජාජබ ආන්ඩුව දෙස් විදෙස් මහ ධනපතියන්ගේ ලාභ තර කිරීමට, විදේශ නය ගෙවීමට කැප වී සිටින දක්ශිනාංෂික, අධිරාජ්‍ය ගැති ආන්ඩුවකි. තැපැල් සේවක වර්ජනය බිඳීමට මිලිටරිය යෙදවීමෙන් හා විදුලිබල සේවක අරගලය මැඩීමට රුදුරු අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීමෙන් ආන්ඩුව පෙන්වා ඇත්තේ එම වැඩපිලිවෙල බාධා කරන කවර විරෝධයක් හෝ නො ඉවසන බවයි. 

ධනපති පංති පාලනයේ අවශ්‍යතා සඳහා ලබාගත් බිලියන සංඛ්‍යාත විදේශ නය ගෙවා දැමීම සඳහා මහ භාන්ඩාගාරය වෙත මුදල් එකතු කර ගැනීමට කෙරෙන කප්පාදු යටතේ පාසල් වසා දැමීමට තීන්දු කර ඇති ආන්ඩුවකින් තවත් බලාපොරොත්තු විය හැක්කේ කුමක් ද ? 

පන්ති කාමරයක ගුරු සිසු අනුපාතය 1:20 ක මට්ටමට සහ පාසලක ශිෂ්‍ය සංඛ්‍යාව උපරිමය දහසක මට්ටමට ගෙන ඒම සියලූම ශිෂ්‍යයන් හට ගුනාත්මක අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය මූලික සාධකයකි. ඒ සඳහා ගොඩනැගිලි සංකීර්න, විද්‍යාගාර, පුස්තකාල, ක්‍රීඩාගාර විශාල පරිමානයෙන් ඉදිකිරීමටත් නව ගුරුවරුන් හා අනධ්‍යයන සේවකයින් දහස් ගනනින් බඳවා ගැනීමටත් බිලියන සංඛ්‍යාත මුදල් වෙන් කල යුතු අතර එයට අවශ්‍ය තරම් ධනය හා මානව සම්පත් පවතී.  

ඒ සඳහා, මහා පරිමාන බැංකු, සුවිසල් කම්හල් සහ දැවැන්ත වතුයායන්, සමාජයේ සැබෑ නිෂ්පාදකයා වන කම්කරු පන්තිය විසින් අත්පත් කරගෙන තම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට නතු කල යුතු වේ. ධනපතියන් විසින් බැංකුවල කඳු ගසා ගෙන ඇති බිලියන සංඛ්‍යාත ධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ රැකියා උත්පාදන ව්‍යාපෘති ඇතුලු මානව අවශ්‍යතා සඳහා යොදාගත හැකි ය. 

එය කල හැක්කේ, විදේශ නය ආපසු ගෙවීම මුලුමනින් ම ප්‍රතික්ෂේප කරන, ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය මත පාදක වූ කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි. ඒ සඳහා සටන් වැදීමට වෘත්තීය සමිතිවලින් හා ධනපති පක්ෂවලින් ස්වාධීන ව සෑම පාසලක ම වැඩබිමක ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු ය.  

Loading