ඉදිරිදර්ශන

හිරෝෂිමා සහ නාගසාකි නගර වලට පරමානු බෝම්බ හෙලීමෙන් වසර 80 ක්

[මෙය 80 years since the atomic bombing of Hiroshima and Nagasaki යන මැයෙන් 2025 අගෝස්තු 06 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

1945 නොවැම්බරයේ දී, ජපානයේ හිරෝෂිමා.


වසර අසූවකට පෙර, එක්සත් ජනපද ආන්ඩුව ලෝක අධිරාජ්‍යවාදයේ වඩාත් බිහිසුනුත ම යුද අපරාධවලින් එකක් සිදු කලේය: ඒ ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර වලට පරමානු බෝම්බ හෙලීම යි. 1945 අගෝස්තු 6 සහ 9 යන දිනවල සිදු වූ බෝම්බ හෙලීම්වලින් 250,000 ත් 300,000 ත් අතර සංඛ්‍යාවක් මිය ගිය අතර ක්ෂනිකව එම මොහොතේ ම පුද්ගලයින් 120,000 ක් මිය ගියහ.

ඊයේ (07), හිරෝෂිමා බෝම්බ ප්‍රහාරය පිලිබඳව ජාත්‍යන්තර සැමරුමක් නොපැවති තරම් වන අතර, සෙනසුරාදා (09) නාගසාකි බෝම්බ ප්‍රහාරය වෙනුවෙන් ඊට වැඩි යමක් සිදුවනු ඇති බවට කිසිදු ඇඟවුමක් නොමැත. එහෙත් අද (08), එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට සහ රුසියාවට න්‍යෂ්ටික අවිවලින් තර්ජනය කරමින්, න්‍යෂ්ටික සන්නද්ධ රාජ්‍යයන් අතර “ඉහල තීව්‍රතාවයකින් සිදුවීමට යන යුද්ධයකට” සූදානම් වන ලෙස යුරෝපය පුරා ආන්ඩුවලින් ඉල්ලා සිටින විට, මෙම යුද අපරාධය භයානක සමකාලීන වැදගත්කමක් දරයි. අතිශය බලවත්ම ධනේශ්වර ආන්ඩුවල ප්‍රතිපත්ති නතර නොකලහොත්, ඒවා මගින් අප රැගෙන යනු ඇත්තේ කොතැනට ද යන්න පිලිබඳව, එය ලොව පුරා කම්කරුවන්ට අනතුරු ඇඟවීමකි.

1945 අගෝස්තු 6 වන දින, 'එනෝලා ගේ' නම් වූ B-29 වර්ගයේ බෝම්බ හෙලන යානය, 'ලිට්ල් බෝයි' යන කේත නාමයෙන් යුත් පරමානු බෝම්බය හිරෝෂිමාවට හෙලීය. ටීඑන්ටී ටොන් 15,000 ක පමන බලයකින් පුපුරා ගිය එය මගින්, න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවන්ගෙන් වාෂ්ප කර දැමූ හෝ එය මුදා හරින ලද කම්පන තරංග සහ ගිනි කුනාටුවෙන් ක්ෂනිකව මරා දැමුනු සංඛ්‍යාව 80,000 කි; එය නගරය සමතලා කර දැමීය. දින තුනකට පසු, තවත් B-29, බොක්ස්කාර් යානයක්, නාගසාකි වෙත 'ෆැට් මෑන්' බෝම්බය හෙලූ අතර, එයින් තවත් මිනිසුන් 40,000 ක් ඝාතනය විය.

පිපිරීම අතරතුර නගරයේ උෂ්නත්වය සෙල්සියස් අංශක දහස් ගනනකට ලඟා වූ පසු, සිවිල් ජනතාව අත්විඳින ලද බිහිසුනු පිලිස්සුම් තුවාල පිලිබඳව, හිරෝෂිමා හි වෛද්‍යවරු සාක්ෂි දැරූහ. එක් වෛද්‍යවරයෙක් පැවසුවේ, “ගිනි නිවීම සඳහා වතුර ගන්නා ටැංකිවල පිරී ගිය මල සිරුරු, පනපිටින් තම්බා ඇති සෙයක් පෙනුනු” බව යි. තවත් වෛද්‍යවරයෙක් තමා දුටු ආකාරය විස්තර කලේ මෙසේ ය:

එහි මිනිසෙකුගේ ස්වරූපයක් තිබුනත්, එය සම්පූර්නයෙන්ම නිරුවත් ව, ලේ තැවරී, මඩෙන් වැසී තිබුනි. ශරීරය සම්පූර්නයෙන්ම ඉදිමී තිබුනි. නිරුවත් පියයුරුවල සහ ඉනෙහි රෙදි කැබලි එල්ලී තිබුනි. පියයුරු ඉදිරිපිට අල්ලාගෙන තිබූ දෑත්වල අත්ල පහලට හැරී ගොස් ය. රෙදි කඩවලින් වතුර බිංදු ගලා ගියේය. ඇත්ත වශයෙන්ම, මම රෙදි කඩ ලෙස දැක ඇත්තේ මිනිස් සමේ කැබලි ය; ජල බිංදු මිනිස් රුධිරයයි.... මම මා ඉදිරිපිට මාර්ගය දෙස බැලුවෙමි. සම ගැලවී ගිය, පිලිස්සුනු සහ ලේ තැවරුනු, ගැනිය නොහැකි තරම් දිවි ගලවා ගත් සංඛ්‍යාවක් මා ගිය මාවතේ සිටියහ.

සතියකට පසු, දිවි ගලවා ගත් බොහෝ අය, තවමත් හරිහැටි හොඳින් හඳුනා නොගත් රෝගයකින් ඇති වූ අධික උන සහ අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් මිය යාමට පටන් ගත් විට වෛද්‍යවරු කම්පනයට පත් විය: ඒ විකිරන විෂ වීම නිසා ය. බෝම්බ වලින් නිකුත් වූ ගැමා විකිරන මගින්, දිවි ගලවා ගත් අයගේ ඇටමිදුලු විනාශ වී ඇති බවත්, නව රුධිර සෛල නිෂ්පාදනය අවසන් වී ඇති බවත් විද්‍යාඥයින් විසින් පසුව සොයා ගන්නා ලදී—එම නිසා ඔවුන්ගේ රුධිරය භයානක ලෙස තනුක වී තිබුනු අතර ආසාදනවලට එරෙහිව සටන් කිරීමට නොහැකි විය. මිය නොගිය අය අතුරින්, තවත් බොහෝ දෙනෙක් පසුව පිලිකාවෙන් මිය යාමට නියමිත විය.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය බෝම්බ ප්‍රහාර යුද අපරාධයක් ලෙස හෙලා දුටුවේය. ස්ටැලින්වාදී ඒජන්ත රේමන් මර්කඩර් විසින් ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කිරීමෙන් වසර පහකට පසු, 1945 අගෝස්තු 22 වන දින නිව්යෝර්ක්හි පැවති අනුස්මරන උත්සවයක දී, සමාජවාදී කම්කරු පක්ෂයේ (සකප) නායක ජේම්ස් පී. කැනන් කතා කලේය. හිරෝෂිමා සහ නාගසාකි වැසියන් 'වෝල් වීදියේ අධිරාජ්‍යවාදීන් සහ ජපානයේ ඒ හා සමාන කල්ලියක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් එල්ල වූ ප්‍රහාර දෙකකින් මිය ගිය' බව ඔහු පැවසීය. ඔහු, 1945 දී මෙන් ම, අදටත් වලංගු අනතුරු ඇඟවීමක් නිකුත් කලේය:

බොහෝ කලකට පෙර විප්ලවවාදී මාක්ස්වාදීන් කියා සිටියේ, මානව වර්ගයා මුහුන දෙන විකල්පය නම්, සමාජවාදය හෝ නව ම්ලේච්ඡත්වය බව යි; ධනවාදය විනාශ මුඛයට ගමන් කරමින් සිටින අතර ශිෂ්ටාචාරය ඒ සමඟ ඇදගෙන යාමට තර්ජනය කරයි. නමුත් මෙම යුද්ධයේදී වර්ධනය කර ඇති සහ අනාගතය සඳහා ප්‍රක්ෂේපනය කර ඇති දේ හි ආලෝකයෙන්,... විකල්පය වඩාත් නිවැරදිව ඉදිරිපත් කල හැකිය: මානව වර්ගයා මුහුන දෙන විකල්පය සමාජවාදය හෝ සමූලඝාතනයයි! එය, ධනවාදයට පැවතීමට ඉඩ දෙනවා ද, නැතහොත් මානව වර්ගයා මෙම ග්‍රහලෝකය මත දිගටම ජීවත් වෙනවා ද යන්න පිලිබඳ ගැටලුවකි.

කැනන්ගේ ප්‍රකාශය, දෙවන ලෝක යුද්ධයේදී පමනක් නොව, නැගී එන සීතල යුද්ධයේදී ද කම්කරුවන් මුහුන දෙන ගැටලුවලට ආලෝකයක් විහිදුවයි. අධිරාජ්‍යවාදී සහ ස්ටැලින්වාදී යුද්ධයේ ප්‍රවර්ධකයින් ප්‍රකාශ කල පරිදි, දෙවන ලෝක යුද්ධය, ෆැසිස්ට්වාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා වූ යුද්ධයක් නොවීය. පලමු ලෝක යුද්ධයේදී කලාක් මෙන්, ප්‍රමුඛ ධනේශ්වර බලවතුන් ලෝකය තමන් අතර නැවත බෙදා ගැනීමට නිර්දය ලෙස සටන් කරමින් සිටියහ.

පරමානු බෝම්බ හෙලීම පිටුපස පැවති භූ දේශපාලනික අවශ්‍යතා: වොෂින්ටනය සෝවියට් සංගමයට “පහර දෙයි”

දශක ගනනාවක් තිස්සේ එක්සත් ජනපදයේ පාසල් දරුවන්ට ඉගැන්වූයේ, පරමානු බෝම්බ හෙලීමේ අරමුන 'ජීවිත බේරා ගැනීම' බවත්, ජපානයට යටත් වීමට බල කිරීමට ඇති එකම මාර්ගය එය බවත් ය. මෙම ප්‍රබන්ධයට අනුව, හිරෝෂිමා සහ නාගසාකි පුලුස්සා දැමීම මගින්, ඊටත් වඩා විශාල ලේ වැගිරීමක් සිදුවිය හැකිව තිබූ, ජපාන භූමිය තුලට එක්සත් ජනපදය ප්‍රමුඛ ආක්‍රමනයක් වලක්වා ගෙන තිබේ. යථාර්ථයේදී, මිත්‍ර පාක්ෂික නාවික හමුදා විසින්, අද ඉන්දුනීසියාව ලෙස හඳුන්වන ප්‍රදේශයේ තෙල් මූලාශ්‍රවලින් එහි හමුදාව ඉවත් කර හැරියා වූද, අනුකම්පා විරහිත ලෙස එහි නගරවලට ගිනි බෝම්බ හෙලීමකට ලක්වූද ජපානය, ඒ වන විට යටත් වීමට උත්සාහ කරමින් සිටියේය.

ජපානයේ 'දම් පැහැති කේතය' (“Purple Code”: ජපාන විදේශ කාර්යාලය විසින් ඔවුන්ගේ පණිවිඩ සංකේතනය කිරීමට භාවිතා කරන රාජ්‍ය තාන්ත්‍රික කේතාංක පද්ධතියකි) බිඳ දැමීමෙන් පසු, සෝවියට් සමාජවාදී සමූහාන්ඩුවේ ජපන් තානාපති සැටෝ නාඕටකේ, යටත් වීමේ කොන්දේසි පිලිබඳව දැනටමත් මොස්කව්හි සාකච්ඡා කරමින් සිටින බව එක්සත් ජනපද නිලධාරීහු දැන සිටියහ. 1945 ජුනි 30 වන දින, ජපාන අධිරාජ්‍යයා වන හිරෝහිතෝ යුද්ධය 'ඉක්මනින් අවසන් කිරීමට' අවශ්‍ය බවත්, එනමුත් 'එංගලන්තය සහ එක්සත් ජනපදය කොන්දේසි විරහිතව යටත් වීමට බල කරන තාක් කල්' එය කල නොහැකි බවත් ක්‍රෙම්ලිනයට දැනුම් දෙන ලෙස සැටෝට නියෝග ලැබී තිබුනි. යුද්ධයෙන් පසු තම රටේ විප්ලවය වැලැක්වීම සඳහා රාජකීය පවුල බලයේ රඳවා තබන බවට ජයග්‍රාහී මිත්‍ර පාක්ෂිකයින්ගෙන් සහතිකයක් ලබා ගැනීමට ටෝකියෝවට අවශ්‍ය විය.

නමුත් 1945 අගෝස්තු 2 වන දින, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ සෝවියට් සංගමය අතර ඇති කරගත් පොට්ස්ඩෑම් ගිවිසුම මගින්, ජපානය 'කොන්දේසි විරහිතව යටත් විය යුතු' බවට වන ඉල්ලීම දිගටම පවත්වා ගෙන ගියේය. චීනයේ මිලියන 20 ක ජනකායක් විනාශ කර දැමූ ජන සංහාරක යුද්ධයක් ඇතුලු ජපානයේ බිහිසුනු යුද අපරාධවලින් පසුව, ජපන් අධිරාජ්‍යයා බලයේ තබා ගැනීමට වොෂින්ටනය අකමැති නොවීය. ඇත්ත වශයෙන්ම, ජපානයේ පශ්චාත් යුධ සමයේ එක්සත් ජනපද වාඩිලා ගැනීමේ නිලධාරීන් අවසානයේ හිරෝහිතෝ බලයේ තැබීය. ඇත්ත වසයෙන්ම එක්සත් ජනපද නිලධාරීන් අරමුනු කලේ, අනුකම්පා විරහිතභාවය ප්‍රදර්ශනය කරමින් සෝවියට් සංගමය බිය ගැන්වීම සඳහා පරමානු බෝම්බය භාවිතා කිරීමයි.

ජූලි 17 - අගෝස්තු 2 පොට්ස්ඩෑම් සමුලුව සූදානම් කරන විට, එක්සත් ජනපද නිලධාරීන් මොස්කව් සමඟ වඩ වඩාත් කෝපයට පත් විය. එවකට ලෝකයේ ප්‍රමුඛ කාර්මික බලවතා වූ ඇමරිකානු ධනේශ්වරය, මැද පෙරදිග සහ නැගෙනහිර යුරෝපය මත ආධිපත්‍යය දැරීමටත්, චීනය අල්ලා ගැනීමට සහ ඉන්දියාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට තරඟ කරන යටත් විජිතයක් ලෙස එය භාවිතා කිරීමටත් ඉලක්ක කලේය. නැගෙනහිර යුරෝපය සහ ඉරානය තුල රතු හමුදාවේ යුධ කාලීන පැවැත්ම සහ චීනය තුල ජපන් හමුදාවන්ට එරෙහිව එය දියත් කිරීමට සිටි ප්‍රහාරය, එක්සත් ජනපද අවශ්‍යතාවලට බරපතල බාධාවක් විය.

1945 ජූලි 16 වන දින එක්සත් ජනපද පරමානු බෝම්බයේ සාර්ථක 'ත්‍රිත්ව' පරීක්ෂනයෙන් (Trinity test- පරමානු බෝම්බයේ නිර්මාතෘ ජේ.ඕපන්හයිමර් විසින් එම පරීක්ෂනයට යෙදූ නමකි) පසු එක්සත් ජනපද ජනාධිපති හෙන්‍රි ටෲමන් උද්‍යෝගයෙන් පිරී ගියේය. ඔහු පසුව පැවසූ පරිදි, 'ඒ කොලුවන්ට පහරක්' ගැසීමට එය ඔහුට අවස්ථාව ලබා දුන්නේය. මෙය පොට්ස්ඩෑම් සමුලුවට පෙර බොහෝ ඉහල පෙලේ එක්සත් ජනපද නිලධාරීන්ගේ මතය ප්‍රතිරාවය කලේය.

යුද ලේකම් හෙන්රි ස්ටිම්සන්, එවකට ටෲමන්ගේ මාන්ඩලික ප්‍රධානියා වූ ජෙනරාල් ජෝර්ජ් මාෂල් වෙත යවූ එවැනි එක් සංදේශයක 'රුසියානුවන් සමඟ කටයුතු කිරීමට' කාලය පැමින ඇති බව ලිවීය. 'අප ක්‍රියාත්මක කරන්නේ අද්විතීය ආයුධයක්' බැවින්, මෙය 'තරමක් රලු සහ යථාර්ථවාදී ආකාරයකින්' කල හැකි බව ස්ටිම්සන් තවදුරටත් පැවසීය‍.

ටෲමන්ගේ සාපරාධී පරමානු බෝම්බ හෙලීම එක්සත් ජනපදයේ ලෝක ආධිපත්‍යය ස්ථාපිත කිරීමට අසමත් විය. රතු හමුදාව විසින් පරාජිත ජපන් හමුදාවේ ආයුධ උතුරු චීනයේ චීන කොමියුනිස්ට් පක්ෂ හමුදාවන්ට භාර දුන් අතර, එය 1949 චීන විප්ලවයට ප්‍රධාන දායකත්වයක් ලබා දෙමින්, නැගෙනහිර යුරෝපය පුරා ස්ටැලින්වාදී පාලන තන්ත්‍ර පැන නැංවීය. සෝවියට් හමුදා ඉරානයෙන් පිටව ගියේය; වොෂින්ටනය එහි ෂා රජුගේ ලේවැකි ආඥාදායකත්වයට සහාය දුන් අතර, 1979 ඉරාන විප්ලවය මගින් එම පාලන තන්ත්‍රය පෙරලා දමන ලදී.

කෙසේ වෙතත්, ඩැමොක්ලස්ගේ අසිපත මෙන්, 1945 සිට න්‍යෂ්ටික සමූලඝාතනයක අනතුර මානව වර්ගයාගේ හිස මත ලඹ දෙයි. 1950-1953 කොරියානු යුද්ධයේදී, උතුරු කොරියානු සහ චීන හමුදාවන්ට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා කිරීම පිලිබඳව එක්සත් ජනපද නිලධාරීන් සාකච්ඡා කලහ. කිහිප වතාවක්ම, විශේෂයෙන් වඩාත් කුප්‍රකට ලෙස, 1962 කියුබානු මිසයිල අර්බුදය අතරතුර කියුබාවේ සෝවියට් මිසයිලවලට බෝම්බ හෙලීමට එක්සත් ජනපද නිලධාරීන් ඉල්ලා සිටි විට, ශිෂ්ටාචාරය අවසන් කර දමන න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමට ආසන්න විය.

නැග එන තුන්වන ලෝක යුද්ධයේ දී න්‍යෂ්ටික අවි

හිරෝෂිමා සහ නාගසාකි නගරවලට බෝම්බ හෙලීමෙන් වසර අසූවකට පසු, ලෝකය නැවතත් න්‍යෂ්ටික යුද්ධයේ අනතුරට සෘජුවම මුහුන දී සිටී. 1991 දී ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීම සීතල යුද්ධ යුගයේ භූ දේශපාලනික ගැටුම් විසඳුවේ නැත; ඒ වෙනුවට අවසානයේ එය උත්සන්න කලේය. ඉරාකය, ඇෆ්ගනිස්ථානය, යුගෝස්ලාවියාව, ලිබියාව සහ සිරියාව ඇතුලු රටවලට එරෙහිව 1991 සිට එක්සත් ජනපදය මෙහෙයවන ලද යුද්ධ, යුරේසියාව සහ ලෝකය ආධිපත්‍යය සඳහා නව ගෝලීය යුද්ධයකට ඒකාබද්ධ වී ඇත.

සැලකිය යුතු කරුනක් නම්, වර්තමානයේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සහ එහි යුරෝපීය සහචරයින්ගේ ප්‍රධාන ඉලක්ක බවට පත්ව ඇති රටවල්—රුසියාව, චීනය සහ ඉරානය—හිරෝෂිමා සහ නාගසාකි විනාශ කිරීමට ටෲමන් තීරනය කරන විට ඔහුගේ උත්සුකතා ලැයිස්තුවේ ඉහලින්ම සිටි රටවල් වීමයි.

කෙසේ වෙතත්, අද ලෝකයේ සියලුම න්‍යෂ්ටික බලවතුන් තම න්‍යෂ්ටික අවි ගබඩා වැඩිදියුනු කිරීම සඳහා බිලියන ගනනක් වියදම් කරමින් සිටින අතර ඒවා ජපානයට හෙලන ලද බෝම්බ අඟුටුමිටි කරයි. ඔවුන්ගේ අන්තර්-මහද්වීපික බැලස්ටික් මිසයිල (අයිසීබීඑම්), එකක් ටීඑන්ටී ටොන් ලක්ෂ ගනනක හෝ මිලියන ගනනක බලයකින් පුපුරා යා හැකි බහු යුධ ශීර්ෂ රඳවා තබා ගනී. නගරයක් මත හෙලනු ලැබුවහොත්, සෑම යුධ ශීර්ෂයක ම ආරම්භක පිපිරීමෙන් දස දහස් ගනනක් නොව මිලියන ගනනක් මිය යා හැකිය; එබැවින් විද්‍යාඥයින් දැන් යෝජනා කරන්නේ, බහු යුධ ශීර්ෂ සහිත තනි රුසියානු අයිසීබීඑම් මිසයිලයකට ප්‍රංශය ප්‍රමානයේ රටක් විනාශ කල හැකි බවයි.

දශක ගනනාවක් තිස්සේ, ජාතික රාජ්‍ය පද්ධතියේ අතාර්කිකත්වය සහ ප්‍රතිගාමී ස්වභාවය, එය අන්‍යෝන්‍ය වශයෙන් සහතික කල විනාශය (එම්ඒඩී) පිලිබඳ න්‍යාය මත රඳා පැවතීම මගින් නිරූපනය විය. මෙම එම්ඒඩී තර්කයට අනුව, කිසිදු ප්‍රධාන න්‍යෂ්ටික බලවතෙකු තවෙකෙකුට තර්ජනය නොකරනු ඇත; මන්ද, තර්ජනයට ලක්වූ අයෙකුට න්‍යෂ්ටික බෝම්බවලින් අනෙකා විනාශ කල හැකි බැවිනි. කෙසේ වෙතත්, න්‍යෂ්ටික සමූලඝාතනයක් පිලිබඳ බිය අධිරාජ්‍යවාදී බලවතුන්ට තවදුරටත් කිසිදු ආකාරයකින් සංසිඳවිය නොහැකි බව පැහැදිලිය.

පසුගිය සතියේ, රුසියාවට තර්ජනය කිරීම සඳහා න්‍යෂ්ටික සන්නද්ධ සබ්මැරීන දෙකක් යෙදවීම නිවේදනය කරමින්, ට්‍රම්ප්, නැටෝ-රුසියානු න්‍යෂ්ටික යුද්ධයක භව්‍යතාව ඉස්මතු කලේය. විමර්ශනාත්මක මාධ්‍යවේදී බොබ් වුඩ්වර්ඩ්ගේ වාර්තාවකට අනුව, යුක්‍රේනයේ රුසියාව සමඟ වසර තුනක යුද්ධයේ විවිධ අවස්ථා වල දී, රුසියාව න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ සම්භාවිතාව සියයට 50 ක් තරම් ඉහල අගයක් ගත් බව එක්සත් ජනපද-නැටෝ බුද්ධි නිලධාරීන් ගනනය කර ඇත. කෙසේ වෙතත්, එක්සත් ජනපදය සහ නැටෝව ඉදිරියට ගිය අතර, යුරෝපීය රටවල්, රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්‍රේන පාලන තන්ත්‍රයන්ට දිගු දුර මිසයිල ලබා දුන්නේය.

සාහසික ජන සංහාරක මනෝභාවයක් පවතින පාලක කතිපයාධිකාරය, එහි නියෝජිතයින් හිරෝෂිමා සහ නාගසාකිවලට බෝම්බ හෙලීම සාදරයෙන් සිහිපත් කරන්නේ, විසඳුමක් නොදුටු දේශපාලන හා සමාජීය ගැටලු විසඳීමට සමූහ මිනීමැරුම් භාවිතා කරන්නේ කෙසේද යන්න පිලිබඳ උදාහරනයක් ලෙස ය. ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරය මධ්‍යයේ, මෙම වසර මුලදී, ට්‍රම්ප් ඔහුගේ සුපුරුදු සැඟවුනු, මාෆියා විලාසයේ තර්ජන සමඟින්, ඉරානයේ න්‍යෂ්ටික ස්ථාපනයන්ට එක්සත් ජනපද-ඊශ්‍රායල බෝම්බ හෙලීම වෙනුවෙන් ප්‍රශංසා කලේ, ඒවා, ටෲමන් විසින් බෝම්බය භාවිතා කල ආකාරය සිහිපත් කල බව ප්‍රකාශ කරමිනි. ඔහු මෙසේ පැවසීය:

එය මිනිස්සුන්ට වෙනත් සිදුවීමක් මතක් කලා; දැන් ප්‍රවේශ ශාලාවේ, හැරී ටෲමන්ගේ පින්තූරය තබා තියෙන්නෙ, ඒක තියන්න සුදුසු ලස්සන ම තැනක. නමුත් එමගින් ගොඩක් රන්ඩුසරුවල් නැවතුනා, මෙය ගොඩක් රන්ඩු නැවැත්තුවා. එය සිද්ධ වුනාම, එය සම්පූර්නයෙන්ම වෙනස් බෝල ක්‍රීඩාවක් වුනා.

නමුත් ධනේශ්වර ආන්ඩු න්‍යෂ්ටික අවි සමඟ රුසියානු රූලට් සූදු ක්‍රීඩාව කරමින් සිටී. සමස්ත ධනේශ්වර ක්‍රමයේම මාරාන්තික අර්බුදයක් මධ්‍යයේ, න්‍යෂ්ටික අවි භාවිතා කිරීම ඇතුලු ඕනෑම අපරාධයකට යොමු වීමට ඔවුන් සූදානම්‍ය.

හිරෝෂිමා සහ නාගසාකි නගර මතට පරමානුක අවි හෙලීමෙන් වසර අසූවකට පසු, අධිරාජ්‍යවාදී යුද්ධය හරහා මානව ශිෂ්ටාචාරය සමූලඝාතනය වීමේ තර්ජනයට ලක්ව ඇත. ධනේශ්වර කතිපයාධිකාරය අතින් බලය ලබා ගැනීමට සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ මූල හේතුව වන ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමට, කම්කරු පන්තිය ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කරමින්, බහුජන, ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ.

Loading