සසප සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව, දඩයමට ලක් වූ ඕල්ටන් කම්කරුවන් ආරක්ෂා කිරීමේ උද්ඝෝෂනය තීව්‍ර කරයි

[මෙය Sri Lankan SEP and estate workers action committee intensifies defence of victimised Alton workers යන මැයෙන් 2025 අගෝස්තු 01 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ඕල්ටන් වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව, මධ්‍යම වතුකරයේ, මස්කෙලිය ප්‍රදේශයේ, ඕල්ටන් වතුයායේ දඩයමකට ලක් ව සිටින කම්කරුවන් 26 දෙනා ආරක්ෂා කිරීමට අරඹා ඇති උද්ඝෝෂනය ඉහල නංවමින් සිටිති. පොලිසිය මැයි 28 වන දින මෙම කම්කරුවන්ට එරෙහි ව අපරාධ චෝදනා ගොනු කලේය.

ඕල්ටන් වතු කම්කරු ක්‍රියාකාරී කමිටු රැස්වීමට සහභාගී වූ දඩයමට ලක් වූ කම්කරුවන් කිහිප දෙනෙක් [Photo: WSWS]

ඕල්ටන් කම්කරුවෝ, 2021 පෙබරවාරි 5 වන දා, වැඩි වැටුප් ඉල්ලා වතුකරය පුරා පැතිරුනු වැඩ වර්ජනයකට සහභාගි වූහ. වතු කලමනාකරු විසින් දිගින් දිගට ම කරන ලද හිරිහැරවලට විරෝධය දැක්වීම සඳහා ඔවුන් ඕල්ටන් වතුයාය තුල තම වර්ජනය දිගට ම ගෙන ගියහ. 2021 පෙබරවාරි 17 වන දින කලමනාකරුගේ නිවස අසල පැවති විරෝධතාවයකින් පසු ව, සේවකයින් විසින් තමන්ට ශාරීරික ව හිංසා කල බව පවසමින්, කලමනාකරු සහ සහකාර කලමනාකරු පොලිසියට පැමිනිලි කලහ.

පොලිසිය දුසිම් ගනනක් කම්කරුවන් අත්අඩංගුවට ගත් අතර, හොරන වැවිලි සමාගම (හොවැස) එම බොරු චෝදනා මත 38 දෙනෙකු වහා ම සේවයෙන් පහ කලේ ය. ප්‍රධාන වතු සංගමය වන ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) ප්‍රාදේශීය නායකයෝ මෙම දඩයමට හවුල් වූහ.

කම්කරුවන්ට එරෙහි ව හැටන් මහේස්ත්‍රාත් අධිකරනයේ පවරා තිබූ නඩුව වසර හතරක් තිස්සේ නැවත නැවතත් කල්දැමීමෙන් පසු ව පොලිසිය කම්කරුවන් 26 දෙනාට එරෙහි ව චෝදනා ගොනු කලේ මේ වසරේ මැයි මාසයේ දී ය.

වතු කලමනාකරු සත්‍යමූර්ති සුභාෂ් නාරායනන් සහ සහකාර කලමනාකරු අනුෂාන් තිරුචෙල්වම් යන අයට පහර දීමේ අරමුනින් නීති විරෝධී රංචු ගැසීමක සාමාජිකයන් වීම; මෙම පුද්ගලයින්ට බරපතල තුවාල සිදු කිරීම සහ වතු කලමනාකරුගේ නිවසට හානි කිරීම යන චෝදනා කම්කරුවන්ට එරෙහි ව එල්ල වී ඇති චෝදනා අතර වේ.

කම්කරුවෝ චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරති.  ඔවුන්ට එරෙහි අපරාධ නඩු විභාගය සැප්තැම්බර් 10 වන දින ආරම්භ වේ. නඩු විභාගයෙන් පසු ඔවුන් වරදකරුවන් කලහොත්, කම්කරුවන්ට වසර හතක සිර දඬුවමක් නියම විය හැකි ය.

සසප සහ ඕල්ටන් වතු ක්‍රියාකාරී කමිටු සාමාජිකයින්, 2025 ජුනි මාසයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරන ලද “ශ්‍රී ලංකා පොලිසිය ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි ව අපරාධ චෝදනා ගොනු කරයි” යන මැයෙන් වූ ලිපියක පිටපත් සිය ගනනක් බෙදා හැර ඇති අතර, එය, වතු කම්කරුවන්ට සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වලට මෙම පන්ති යුද්ධයේ වින්දිතයින් ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ ශක්තිය බලමුලු ගන්වන ලෙස ඉල්ලා සිටී.

“චෝදනා එල්ල වී ඇති අයට වසර හතක සිර දඬුවමක් ලැබෙන බවට ඔබ [සසප] බොරු කියන බව, වත්තේ ජවිපෙ [ජනතා විමුක්ති පෙරමුනු] වෘත්තීය සමිතියේ අය කම්කරුවන්ට පවසනවා” යැයි විශ්‍රාමික කම්කරුවෙකු තමාට පැවසූ බව, මෑතකදී පැවති ඕවකක්‍රික රැස්වීමකදී එහි සාමාජිකයෙක් පැවසීය.

ඔහුගේ ප්‍රකාශයට එරෙහි වූ එම කම්කරුවා මෙසේ පිලිතුරු දී ඇත. 'ඒ ගොල්ලෝ [සසප] නඩුව ගැන හොඳට දන්නවා. ඔවුන් ආරම්භයේ සිට ම සහ  වසර හතරක් මෙහි පැමින වින්දිතයන් ආරක්ෂා කිරීමට සටන් කල අය. වෘත්තීය සමිති නායකයන් කිසි විටෙකත් මෙහි පැමිනියේ නැහැ, ඔවුන් හැම වෙලාවෙ ම කලේ කලමනාකරනයට සහාය දක්වන එකයි.' 

ඕල්ටන් වතු ක්‍රියාකාරී කමිටු සාමාජිකයින් පසුව සොයා ගත්තේ, සසපට එරෙහිව චෝදනා එල්ල කර ඇත්තේ ජවිපෙ ආධාරකරුවෙකු වන බාල කුමාර් බවයි. වතු කම්කරුවන් ඉන්දියාවේ සහ ඉන්දියානු ව්‍යාප්තවාදයේ “ඒජන්තයින්” ලෙසට හංවඩු ගසමින් දිගු කලක් තිස්සේ ප්‍රකෝපකාරී ලෙස හෙලා දකිමින් ගෙන ගිය ප්‍රචාරය නිසා ජවිපෙ දෙමල වතු කම්කරුවන් අතර පිලිකුලට ලක් ව තිබෙන සංවිධානයකි.

කුමාර් ඕල්ටන් වත්තේ සේවකයෙකු නොවේ. ඔහු පසුගිය වසරේ ජනාධිපතිවරන සහ පාර්ලිමේන්තු මැතිවරනවල දී මස්කෙලිය ප්‍රදේශයේ ජවිපෙ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) සඳහා උද්ඝෝෂන සංවිධානය කිරීමේ දී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කලේ ය. ඔහු මෑතක දී සීඩබ්ලිව්සී හි හිටපු සාමාජිකයින් සමඟ ඕල්ටන් වත්තේ, ජවිපෙ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ (ඒසීඊඩබ්ලිව්යූ) ශාඛාවක් ආරම්භ කලේ ය.

පසුගිය වසර හතර පුරා, වින්දිත ඕල්ටන් වතු කම්කරුවන්ට දිගින් දිගට ම සිදුවන හිරිහැර සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුන සහ එහි ඒසීඊඩබ්ලිව්යූ නායකයෝ නිහඬ ව සිටිති. ඕල්ටන් හි ශාඛාවක් ඇති සීඩබ්ලිව්සී නායකයන් කම්කරුවන් දඩයම් කිරීමට හවුල් වී ඇත.

මෙම දුගී වතු කම්කරුවන්ට එරෙහි අඛන්ඩ මර්දනය සුප්‍රසිද්ධ කරුනකි.  ඉංග්‍රීසි, දෙමල සහ සිංහල භාෂාවලින් ලෝසවෙඅ ලිපි දුසිම් ගනනක් පලකරමින් එය පුලුල් ලෙස ප්‍රචාරය කර ඇත. ඕල්ටන් වත්තේ ක්‍රියාකාරී කමිටුව සහ සසප ඒකාබද්ධ ව, මස්කෙලිය සහ හැටන් හි රැස්වීම් පවත්වා ඇති අතර ඕල්ටන් වතු කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර උද්ඝෝෂනයක් දියත් කර තිබේ.

සසපට සහ  ඕල්ටන් වතු ක්‍රියාකාරී කමිටුවට එරෙහි ව්‍යාජ චෝදනා, ඕල්ටන් කම්කරුවන් ආරක්ෂා කිරීමේ උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමට ජවිපෙ පාලනය කරන වෘත්තීය සමිතිය විසින් දරන අසික්කිත උත්සාහයකි. මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙසත්, වැටුප්, රැකියා සහ සේවා කොන්දේසි වැඩිදියුනු කිරීම සඳහා සංවිධානය වීමට සහ සටන් කිරීමට කම්කරුවන්ට ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එල්ල වන මෙම ප්‍රහාරය පරාජය කිරීම සඳහා අරගලය ඉහල නංවන ලෙසත් අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

වතුකරය තුල සුලු සහයෝගයක් ඇති ඒසීඊඩබ්ලිව්යූ ව, සීඩබ්ලිව්සී, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය, කඳුරට ජනතා පෙරමුන, ජාතික කම්කරු සංගමය සහ තවත් වෘත්තීය සමිති රැසක පුලුල් ලෙස අපකීර්තියට පත් ව සිටින වෘත්තීය සමිති නිලධාරීන්ගේ දේශපාලන අන්ඩක් ලෙස ක්‍රියා කරයි. ජනතා විමුක්ති පෙරමුනු/සීඩබ්ලිව්සී වෘත්තීය සමිති නායකත්වයේ අරමුන වන්නේ වින්දිත ඕල්ටන් වතු කම්කරුවන් මුහුන දෙන දේශපාලන අන්තරායන් සැඟවීම සහ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා වන අරගලය පීලි පැන්නවීමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගම් සමූහයක් සහ ඉහලම ලාභ උපයන්නන් වන හේලීස් සමූහයේ හවුල්කරුවෙකු වන හොරන වැවිලි සමාගම, වින්දිත සේවකයින් 26 දෙනා සිරගත කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටී. එය, 2021 පෙබරවාරි 17 වන දින විරෝධතාවයෙන් පසුව, කිසිදු විමර්ශනයකින් තොරව සේවකයින් 38 දෙනෙකු වහාම සේවයෙන් පහ කලේ ය.

අපරාධ නඩුව සඳහා මෙන්ම, නැවත සේවයේ පිහිටුවීම සහ හිඟ වැටුප් ගෙවීම ඉල්ලා සිටිමින්, සේවයෙන් පහ කරන ලද සේවකයින් විසින් ගොනු කරන ලද කම්කරු විනිශ්චය සභා නඩු සඳහාද මෙම වතුසමාගම තමන්ගේම නීතිඥයින් ඉදිරිපත් කරයි.

හැටන් කම්කරු විනිශ්චය සභාවේ දැනටමත් විභාග කර ඇති නඩු දෙකක දී සමාගමට වාසිවන තීන්දු දෙමින්, එයට සිදුවූ නීතිමය වියදම් වෙනුවෙන් කම්කරුවන් 13 දෙනෙකුට රුපියල් 7,500 ක් බැගින් ගෙවන ලෙසත්, තවත් කම්කරුවන් 17 දෙනෙකුට රුපියල් 7,000 ක් බැගින් ගෙවන ලෙසත් නියෝග කෙරුනි.

2021 මාර්තු මාසයේ සිට, කම්කරු විනිශ්චය සභාවේ සහ මහේස්ත්‍රාත් අධිකරනයේ නඩු වසර හතරකට වැඩි කාලයක් තිස්සේ ඇදී ගියේ ය. මෙම කාලය තුල, කම්කරුවන්ට අවම වශයෙන් සෑම මාස තුනකට ම, දෙවරක්වත් හැටන් නගරයට යාමට සිදු වී ඇත. ගමන් වියදම් සඳහා මුදල් වියදම් කරමින්, මෙම දින සඳහා වැටුප් අහිමි කර ගනිමින්, නීතිඥයින්ට තම සාක්කුවෙන් මුදල් ගෙවීමට ඔවුන්ට සිදු විය. දොට්ට දැමුනු සමහර සේවකයන් දුර වතුවල අනියම් රැකියා හෝ අඩු වැටුප් සහිත දෛනික රැකියා සොයා ගෙන ඇත.

කම්කරු විනිශ්චය සභාව විසින් දඬුවම් කරන ලද සේවකයින් දහතුන් දෙනෙකු, එහි තීන්දුව ආපසු හැරවීමට ඉල්ලා, සාමූහික ව, නුවරඑලිය මහාධිකරනයට අභියාචනයක් ගොනු කර ඇත.

සසප සහ  ඕල්ටන් වතු ක්‍රියාකාරී කමිටුව, ජුනි 25 වන දින ලෝසවෙඅහි පලකල ලිපියෙන් පැහැදිලි කරන පරිදි, ඕල්ටන් වතු කම්කරු දඩයම සියලු ම වතු කම්කරුවන්ට එරෙහි තීව්‍ර වන ප්‍රහාරයක කොටසකි. මෙයට, “සාම්ප්‍රදායික වැටුප් ක්‍රමය ද, විශ්‍රාම වැටුප් සහ අනෙකුත් මූලික අයිතිවාසිකම් අහෝසි කිරීම සහ කම්කරුවන් වත්මන් අඳ ගොවීන් බවට පරිවර්තනය කිරීම අරමුනු කරගත් දැඩි සූරාකෑමේ ක්‍රමයක් වන “ආදායම් බෙදා ගැනීමේ යෝජනා ක්‍රම” හඳුන්වාදීම ඇතුලත් වේ.  ලාභ නොලබන වතු කෘෂිකාර්මික හා මල් වැවීමේ ව්‍යාපෘති බවට පරිවර්තනය කිරීම ද මෙම ප්‍රතිව්‍යුහගතකරනයට ඇතුලත් වේ.

“ආන්ඩුවේ සහ වතු වෘත්තීය සමිතිවල සහාය ඇති ව ඕල්ටන් වතු කම්කරුවන් 26 දෙනා සිරගත කිරීමට හොවැස දරන උත්සාහය, වතු කම්කරුවන්ට පමනක් නො ව සමස්ත කම්කරු පන්තියට ම එල්ල කරන බරපතල ප්‍රහාරයකි. එය පරාජය කල යුතු ය.”

වින්දිත ඕල්ටන් වතු කම්කරුවන් ආරක්ෂා කරන ලෙසත්, සම්පූර්න වැටුප් සහිත ව ඔවුන් වහා ම සහ කොන්දේසි විරහිත ව නැවත සේවයේ පිහිටුවීම සඳහා වන සටනට සහාය දෙන ලෙසත්. ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරුවන්ගෙන් සසප සහ ඕල්ටන් වත්තේ ක්‍රියාකාරී කමිටුව ඉල්ලා සිටී.  

කම්කරුවන්ට තම සමාජීය හා ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සඳහා සටන් කල හැක්කේ, ධනපති ක්‍රමයට එරෙහි ව,  ප්‍රධාන කර්මාන්ත, බැංකු සහ වතු ජනසතු කර කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා කම්කරු පන්තියේ ඒකාබද්ධ දේශපාලන අරගලයක කොටසක් ලෙස පමනි.

අප හා සම්බන්ධ වී ඔබේ සහයෝගය ප්‍රකාශ කරන ලෙසත්, මෙම තීරනාත්මක උද්ඝෝෂනයට ඔබට දායක විය හැකි ආකාරය සාකච්ඡා කරන ලෙසත් මෙම අරගලයට සහාය දක්වන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටින්නෙමු.

දුරකථන: +94773562327

ඊමේල්:  wswscmb@sltnet.lk

Loading