යාපනයේ චෙම්මනි සමූහ මිනීවලවල්වල වැලලූ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා විරෝධතාවක්, පසුගිය බ්‍රහස්පතින්දා කොලඹ කොටුව දුම්‍රිය ස්ථානය ඉදිරිපිට පැවැත්විනි. දකුනේ හඳුනාගත් සමූහ මිනී වලවල් පිලිබඳව පරීක්ෂනයක් පවත්වන ලෙස ද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
“යුක්තිය සඳහා ජනතා බලය” නම් සංවිධානයක් විසින් කැඳවන ලද මෙම විරෝධතාවට, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, කතෝලික පූජකවරුන්, පලස්තීන ආධාරකරුවන්, මාධ්‍යවේදීන්, යූටියුබ්කරුවන් සහ තවත් බොහෝ දෙනෙක් සහභාගී වූවෝ ය. ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), ශ්‍රී ලංකා ගුරු සංගමය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුන සහ එහි බිඳුනු කන්ඩායම්වල සාමාජිකයින් ඇතුලු 90 ක් පමන විරෝධතාවයට සහභාගී වූහ.
“චෙම්මනි සංහාරයන්ට එරෙහිව හඬ නඟමු!”, “චෙම්මනි සහ බටලන්ද කුරිරු මිනීමරුවන්ට දඬුවම් කරනු!”, “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවලංගු කරනු!”, “දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!”, ආදී සටන්පාඨ හඬනැගූ විරෝධතාකරුවෝ, “UNHRC [එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය] සුපිරි බලවතුන්ගේ ඉත්තෙක්ද? (යුද්ධය අවසානයේ) යටත් වූ ඥාතීන් කොහෙද?” යනාදී පාඨ සහිත බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කලහ.
පෙබරවාරි 20දා චෙම්මනි සින්දුපති හින්දු සුසාන භූමියේ පලමු අදියරේ කැනීම්වලින් මිනිස් ඇටසැකිලි 65 ක් සොයාගෙන ඇත. සඳුදා ආරම්භ වූ දෙවන අදියරේ කැනීම් වලින් සොයාගත් කොටස් සංඛ්‍යාව 15 කි. අඟහරුවාදා කැනීම්වලදී සොයාගත් ඇටසැකිලි වලින් හයක් හෝ හතක්, කුඩා ලමුන්ගේ ගේ හෝ ලදරුවන්ගේ බවට සැක කෙරේ.
චෙම්මනිහි හඳුනාගත් දෙවන සමූහ මිනීවල මෙයයි. මීට පෙර, 1999 දී, හමුදා සොල්දාදුවෙකුගේ පාපොච්චාරනයකින් හෙලි වූයේ, මෙහි තවත් සමූහ මිනීවලක දෙමල ජාතිකයන් සිය ගනනක් වලලනු ලැබූ බවයි.
බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ)ට එරෙහිව අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් දියත් කරන ලද කුරිරු වාර්ගික යුද්ධයේදී, “එල්ටීටීඊ සැකකරුවන්” ලෙස හමුදාව විසින් අත්අඩංගුවට ගෙන හෝ පැහැරගෙන ගොස් වධහිංසා පමුනුවා වල දැමූ බවට සැක කෙරෙන සමූහ මිනීවලවල් කිහිපයක් අතරට, මෙම සමුහ මිනීවලද එක්ව තිබේ.
ඒ හා සමානව, දකුනේ සමූහ මිනීවලවල් කිහිපයක් සොයාගෙන ඇත. මේවා, 1988-90 ජනතා විමුක්ති පෙරමුන (ජේවීපී) විසින් දියත් කරන ලද ෆැසිස්ට් කැරැල්ල මැඩීමට මුදාහරින ලද මිලිටරිය, පොලිසිය හා ඝාතක කල්ලි විසින් සංහාරය කල සිංහල ගැමි තරුන-තරුනියන්ගේ දේහයන් වැලලූ තැන් යැයි විශ්වාස කෙරේ.
2009 මැයි මැද භාගයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව යුද්ධය කුරිරු ලෙස අවසන් කල විට, යුද්ධයේදී සහ හමුදාවට යටත් වීමෙන් පසු අතුරුදහන් වූවන්ගේ ඥාතීහු තම ආදරනීයයන්ගේ ඉරනම සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා විටින්විට විරෝධතා පැවැත්වූහ.
වීරෝධතාවය අතරතුර යුක්තිය සඳහා ජනතා බලය විසින් බෙදා හරින ලද පත්‍රිකාවේ, දෙමල සුලුතරයට එරෙහි වාර්ගික යුද්ධය යන යෙදුම තබා, පාලක පන්තියේ කිසිදු පක්ෂයක් හෝ කන්ඩායමක් ගැන විවේචනයකුදු නොවීය. උතුරේ සහ දකුනේ සමූහ ඝාතන පිලිබඳව හමුදා නිලධාරීන්ට පමනක් දොස් පවරා තිබු එම ප්‍රකාශය බලයේ සිටි යුද්ධය දියත් කිරීම සම්බබ්න්ධයෙන් වගකිවයුතු දේශපාලන නායකයන් කොක්කෙන් ගලවා යවා තිබුනි. මෙය අහම්බයක් නොවේ, කොලඹ ආන්ඩුව සමග තමන්ට වාසිසහගත ගනුදෙනුවකට යාමට අවකාශ සැලසෙන පරිදි වර්ගවාදී යුද්ධය සම්බන්ධයෙන් අවධාරනය නොකිරීමට සංවිධායකයන් පරෙස්සම්වී තිබේ .
පාලකයන් කෙරෙහි විශ්වාසයක් නොමැති බව උඩින් මත්තෙන් සඳහන් කල පත්‍රිකාව, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් කැනීමක් සිදුකිරීමට පමනක් නොව, යුක්තිය සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ද ඉල්ලා සිටි අතර අපරාධකරුවන් නීතිය හමුවට ලෙස බලවත් ලෙස කියා සිටින බව ද අවධාරනය කර ඇත.
විරෝධතාකරුවන් පෙලපාලියකින් යාමට උත්සාහ කල විට, ඔවුන් නැවැත්වීමට දුසිම් ගනනක් පොලිස් භටයන් යවමින් ආන්ඩුවට සිය මර්දනකාරී ප්‍රතිචාරය දැක්වුයේය. පස් දෙනෙකු පමන කැඳවා ගෙන අවසන් මොහොතේ එහි පැමිනි විපක්ෂ මන්ත්‍රීවරයෙකු සහ ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුනේ නායක මනෝ ගනේශන් පොලිසිය තල්ලු කර පෙලපාලිය ඉදිරියට ගෙන යාමේ රංගනයක නිරත විය. පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමකට තුඩු දුන් කැරලි මර්දන භටයින් ගෙන්වා ගැනීමට පොලිසියට අවකාශ සලසා දුන්නේ ය.
මනෝ ගනේශන් අවසන් මොහොතේ පැමිනියේ මාධ්‍යයට තම මුහුන පෙන්වීමට පැමිනි බවට දෙස් තියමින්, බොහෝ දෙනෙක් ඔහුගේ ආධාරකරුවන් සමග වාදවල පැටලුනෝ ය.
විරෝධතාවය අමතමින් “යුක්තිය සඳහා ජනතා බලයේ” ලේකම් සක්තිවේල් දෙමල ධනපති ප්‍රභූවේ ඉල්ලීම් ප්‍රතිරාවය කලේය. “උතුරු නැගෙනහිර සිදු වූ දේ ජන සංහාරයක් බව පිලිගන්න කියලා, අපි ජාත්‍යන්තර ප්‍රජාවට කියනවා. ඔවුන් මරා දැමුවේ ඔවුන් දෙමල වීම නිසයි. අපට දෙමල ජනතාවට යුක්තිය ඉටු කර ගැනීමට අවශ්‍ය නම්, අපි මුලින්ම ස්වයං නිර්න අයිතිය පිලිගත යුතුයි. ඒ වගේම, එම ස්වයං නිර්න අයිතිය සමඟින්, උතුරු නැගෙනහිර ජනතාවට තමන්ව පාලනය කර ගැනීමේ දේශපාලන බලය ලබා දිය යුතුයි. සාධාරන දේශපාලන විසඳුමක් ලබා දෙන ලෙසත්, මේ සදහා ජාත්‍යන්තර ප්‍රජාවට මැදිහත් වන ලෙසත් අපි ඉල්ලා සිටිමු.”
දෙමල ප්‍රභුව සමග සමීපව කාටයුතු කරන ශක්තිවෙල්, එම ධනපතියන් මෙන් ම “ජාත්‍යන්තර ප්‍රජාව” හා “ජාත්‍යන්තරය” ලෙස හඳුන්වන්නේ එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් ය.
ගාසා තීරයේ ඊශ්‍රායලය ගෙනියන ජන සංහාරය සමඟ එක්සත් ජනපදය හා අධිරාජ්‍යවාදී රටවල් සහයෝගය දෙනවා නොවේදැයි, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෙකු ශක්තිවෙල් ගෙන් ප්‍රශ්න කලේය.
මෙහිදී මුහුන බේරාගැනීමේ කපටි වෑයමක නිරත වෙමින්, “ජාත්‍යන්තර ප්‍රජාව” කියා අදහස් කරන්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම යැයි ශක්තිවේල් කීවේය. එය 'සුපිරි බලවතුන්ගේ ඉත්තෙකු බව තමන් දන්නා” බවත්, “ලෝකය පුරා සියලු පීඩිත බලවේග එකට එකතු වුවහොත් පමනක් විමුක්තිය සාක්ෂාත් කරගත හැකිය” යි ප්‍රකාශ කලේය. ප්‍රගතිශීලි බවක් මවාපෑමට මෙවන් ප්‍රකාශ සිදුකලත්, නිකුත්කල පත්‍රිකාවේ හෝ ශක්තිවේල්ගේ කතාවේ, ගසා තීරයේ පලස්තීනුවන් ඝාතනය කරමින් එක්සත් ජනපදයේ පිටුබලය ලබා ඊස්‍රායලය ගෙනයන ජනසංහාරක යුද්ධය ගැන කිසිදු සඳහන් නොවිය.
ශක්තිවේල් ඉල්ලා සිටින ස්වයං නිර්න අයිතිය, දෙමල වැඩ කරන ජනතාවට නොව, දෙමල ධනේශ්වර පන්තීන්ට වරප්‍රසාද ලබා දෙන බලය විමධ්‍යගත කිරීමකි. මේ සඳහා, ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන දෙමල ජාතිකවාදී පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන, කොලඹ ආන්ඩුවට පීඩනය යොදැන්නැයි අධිරාජ්‍යවාදී බලවතුන්ට සහ ඉන්දියාවට ආයාචනා කිරීම සඳහා හමුදාවේ යුද අපරාධ කෙරෙහි දෙමල ජනයාගේ කෝපය ගසාකෑමට කිඹුල් කඳුලු හෙලයි.
චීනයට එරෙහි යුද සූදානමට ශ්‍රී ලංකාව සම්පූර්නයෙන්ම ඒකාබද්ධ කර ගැනීම සඳහා බලපෑම් දැමීමට, වොෂින්ටනය කලින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ යෝජනා ඉදිරිපත් කලේය. දෙමල ජාතිකවාදී පක්ෂ මෙම යෝජනා වලට මුලුමනින්ම සහාය දුන් අතර, දැනට ද චීනයට එරෙහි මෙම යුද සූදානමට සහාය ඇඟවුම් කරති.
සිරිසේන-වික්‍රමසිංහ පාලන සමයේ හිටපු අමාත්‍යවරයෙකු වූ මනෝ ගනේශන්, එවක පිහිටුවන ලද අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ නිලධාරීන් චෙම්මනි වෙත යවන අතර, දකුනේ හඳුනාගත් සමූහ මිනීවලවල් විමර්ශනය කිරීමක් ද ඉල්ලා සිටියේය. මෙය ආන්ඩුවට “අග්නි පරීක්ෂනයක්” වනු ඇති බවත්, රජයට එය කල නොහැකි නම්, “එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ වෙනත් රටකට හෝ ජාත්‍යන්තර ප්‍රජාවට විමර්ශනය කිරීමට ඉඩ දෙන ලෙසත්” ගනේශන් කියා සිටියේය. ඔහු ආන්ඩුවට උපදෙස් දුන්නේ, “මේ හරහා පමනක් අපට දෙමල ජනතාවගේ හදවත් දිනා ගත හැකි” බවයි.
ආන්ඩුවට පන්දම් අල්ලමින් ඔහු අවසානයේ මෙසේ සඳහන් කලේය: “(ජනාධිපති) අනුර සහෝදරයා, මගේ මිතුරා, මෙය ශ්‍රී ලාංකික රටක් ලෙස ගොඩනඟන්න.”
මනෝ ගනේශන් සහ ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුන, දෙමල විරෝධී වාර්ගික යුද්ධය උසිගන්වා ක්‍රියාත්මක කරමින් සිටි එක්සත් ජාතික පක්ෂය සමග ක්‍රියාකල අතර, දැන් එහි බිඳී ගිය කන්ඩායම වන සමගි ජන බලවේගයේ හවුල්කරුවෙකි. ගනේශන්ගේ “අනුර සහෝදරයා” සහ ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන, උතුරු-නැගෙනහිර වර්ගවාදී යුද්ධයේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස ක්‍රියාකල අතර, ඔහුගේ වත්මන් ආන්ඩුව, මිලිටරිය යුද අපරාධ කලබවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ආන්ඩුවට සහ අධිරාජ්‍යවාදී බලවතුන්ට කනිපින්දන් ගසන කිසිදු විරෝධතාවක් අත්නොහරින පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සිය සාමාජිකයන් මේ අවස්ථාවට ද සම්බන්ධ කලේය. මෙම පක්ෂය ධනපති ව්‍යාපාර පිම්බීමේ කටයුත්තේ යෙදෙන්නේ, කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීනව බලමුලු ගැන්වීමට එරෙහි ප්‍රතිගාමි බලයන් සුදානම් කිරීම සඳහා ය.
දෙමල සුලුතරයට සහ අනෙකුත් පීඩිත ජනතාවට එරෙහිව සිදු කරන ලද අපරාධ හෙලිදරව් කර යුක්තිය ඉටුකිරීම, ධනපති පාලක පන්තිය ගෙනගිය වර්ගවාදී භේදකරනයේ දේශපාලනය පරාජය කිරීම සමග බැඳී ඇත. මන්දයත්, වාර්ගික භේදකරනය ලංකාවේ ධනපති පන්තිය විසින් කුලුගන්වන ලදුව යුද්ධයක් ඇවිලවීම දක්වා යාම හා දිගටම සිදුකෙරෙන වාර්ගික ප්‍රකෝප කිරීම්වල එල්ලය, කම්කරු පන්තිය භේදකොට ධනපති පංති පාලනය ආරක්ෂාකර ගැනීම වන බැවිනි.
ධනපති පන්ති පාලනය පෙරලා දැමීමට, සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් එක්සත්ව, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කම්කරු හා ගොවි ආන්ඩුවක් ස්ථාපිත කිරීමේ ක්‍රියාමාර්ගයට සටන් කලයුතු යැයි, සමාජවාදී සමානතා පක්ෂය විසින් යෝජනා කරන්නේ එහෙයිනි. යුක්තිය සොයන දෙමල, සිංහල, මුස්ලිම් කම්කරුවන්, පීඩිතයන් හා තරුනයන් හැරිය යුත්තේ, යුද අපරාධකරුවන් වන අධිරාජ්‍යවාදීන් හා ඔවුන්ගේ ගැත්තන් වෙත නොව, ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙතය.