කාන්තා අයිතීන් පිලිබඳ ධනේශ්වර පාර්ලිමේන්තු ප්‍රෝඩාවට එරෙහි ව සමාජවාදී වැඩපිලිවෙල

අද (ජූලි 25) පැවැත්වෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයේ (පාමකාසං) රැස්වීමට සම්බන්ධ වන ලෙස කෙරුනු නිල ඉල්ලීම, සමාජවාදී මූලධර්ම උඩ මත පදනම් ව සමාජවාදී සමානතා පක්ෂය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

මෙම රැස්වීමට ආරාධනා කරමින්, පාමකාසං වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) (කමිටු), සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර වෙත එවන ලද ලිපියේ, පාමකාසංහි අරමුන ලෙස  සඳහන් කර තිබුනේ,  “දේශපාලන, ආර්ථික හා සමාජ ක්ෂේත්‍රයන්හි කාන්තාවන් බලගැන්වීම සඳහා එකට වැඩ කිරීම සහ පලාත් සභා සහ ජාතික මට්ටමේ දේශපාලනයේ දී කාන්තා නියෝජනය සහතික කිරීම” යි. තවද, ජුලි 25 දා පිලිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමග පාමකාසංහි රැස්වීම කැදවා ඇත්තේ, “රජයේ සියලු මට්ටම්වල දී කාන්තා නියෝජනය හා ඔවුන් තෝරාපත් කර ගැනීම ඉහල දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට එසේ කරන ලෙස ඉල්ලා සිටීම සහ තීන්දු ගැනීමේ මන්ඩලවල කාන්තා නියෝජනය වැඩි කිරීමේ අවස්ථාව ගැන සොයා බැලීම” පිනිස බව ද එම ලිපිය සදහන් කරයි.

පාමකාසං පිහිටුවනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පලමු ධුර කාලයේ දී 2006 අප්‍රේල් 6දා ය. පාර්ලිමේන්තු වෙබ් අඩවියට අනුව,   “දේශපාලන, ආර්ථික හා සමාජ කේෂත්‍රයන්හි කාන්තාවන් සවිබල ගැන්වීම සහ මේ රටේ ඔවුන්ට එරෙහි ව සියලු ආකාරයේ හිංසනයන් සහ හිරිහැරයන් තුරන් කිරීම මෙහි අරමුන” යි.

අද දින රැස්වීමට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කරමින්, පාමකාසං වෙත යැවූ ලිපිය තුල, සසප ප්‍රධාන ලේකම්, “කාන්තා ප්‍රශ්න” සම්බන්ධයෙන් සමාජවාදීන් ගේ ආස්ථානය පැහැදිලි කරමින්, කාන්තාවන්, විශේෂයෙන් කම්කරු පන්තික සහ පීඩිත කාන්තාවන් මුහුන දෙන අතිමහත් ගැටලුවල සහ වෙනස්කම් කිරීම්වල මූලයන් ඇත්තේ ධනේශ්වර ලාභ ක්‍රමය තුල බව සඳහන් කර ඇත. පාමකාසංහි අරමුන වන්නේ ද එම ධනේශ්වර ක්‍රමය ඉදිරියට පවත්වා ගැනීම බවත්, ඒ අනුව ධනේශ්වර ආයතනයක් වන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම මගින් ධනේශ්වර ක්‍රමයෙන් බැටකන කම්කරු පාන්තික කාන්තාවන්ට ලැබෙන විමුක්තියක් නැති බවත් ඔහු අවධාරනය කලේ ය. 

2024 දෙසැම්බර් 4, (වමේ සිට) පාර්ලිමේන්තු මංත්‍රී කාන්තා සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරියන් තේරී පත්වූ දෙනෙනාගෙන් අයෙක් වන පාර්ලිමේන්තුබ මන්ත්‍රීනි චමින්ද්‍රානි බන්ඩාර කිරිඇල්ල, පාමකාසංහි නව සභාපති ලෙස තේරීපත් කාන්තා හා ලමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්‍රාජ්, අගමැති හරිනි අමරසූරිය ඇතුලු තවත් පාමකාසං නියෝජිත මන්ත්‍රීවරියන් [Photo by https://www.parliament.lk]

2025 මාර්තු 8දා ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කාන්තා සංසදය පවත්වන සතියක වැඩසටහනක් ගැන නිවේදනය කල,  පක්ෂ-විපක්ෂ කාන්තා පාර්ලිමේන්තු මැති-ඇමැතිවරියන් එක්ව පැවත්වූ පුවත්පත් සාකච්ඡාවක දී, අධ්‍යාපන ඇමතිනිය ද වන, අගමැතිනි හරිනි අමසූරිය පලකල අදහස් මගින් මෙය තවත් පැහැදිලි කෙරුනි. පසුගිය මැතිවරනයේ දී පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියන් 22ක් (ඉන් 19ක්ම ජවිපෙ/ජාජබ නියෝජිතයන්ය) පත් කරගනිමින්, ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය “ ඉබේ සිදුවූවක් නොව මේ රටේ ගැහනුන් කල ඓතිහාසික අරගලයක ප්‍රතිපලයක්” බව ඇය කීවා ය. “සමාජයක තියෙන ව්‍යුහාත්මක අසමානතාවට එරෙහි වෙමින් එය නිවැරැදි කරන්න අපි පෙනී ඉන්නේ” යයි ද “ලබාගත් ජයග්‍රහන ආපසු හැරවීමට ඉඩ නොදිය යුතු බව” ද ය ඇය සඳහන් කලා ය.  

කවුරු “ලබාගත් ජයග්‍රනයක්” ද? ජයග්‍රහනය ලෙස මෙහි සඳහන් කර ඇත්තේ, මන්ත්‍රීවරියන් 22ක් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වීමයි. එය වනාහි මෙම ධනපති පක්ෂවල කාන්තා අපේක්ෂිකාවන්ගේ ජයග්‍රහනයකි. ඔවුන් නියත වශයෙන් ම එම පක්ෂවල, හරයෙන් සමාන, මතුපිටින් උපක්‍රමික වෙනස්කම් පෙන්නුම් කරන ධනපති ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිනු ඇත. මෙහි “සමාජයක පවතින ව්‍යුහාත්මක වෙනස්කම්” ගැන කතා කර තිබේ. මේ කතා කරන්නේ ධනපති සමාජයේ පවතින කාන්තාවන් විඳින අසමානකම් විය යුතු ය. 

පාර්ලිමේන්තුවේ, පලාත්සභාවල, පලාත් පාලන ආයතනවල හා තීන්දු ගන්නා තවත් මන්ඩලවල කාන්තා නියෝජනය වැඩි කිරීමෙන් කාන්තාවන්ට සිදුවන වෙනස්කම් අහෝසි කිරීමට හැකි වේ යැයි අපි විශ්වාස නොකරමු. ධනපති පක්ෂ සම්බන්ධයෙන් ගත් කල, එම පක්ෂවලින් පාර්ලිමේන්තුවට, පලාත් සභාවලට සහ පලාත් පාලන ආයතනවලට පත්වන ධනපති හා ඉහල මධ්‍යම පන්තික නියෝජිතයන්, ඔවුන් පුරුෂයන් හෝ කාන්තාවන් වේවා, එම පක්ෂවල ධනපති වැඩපිලිවෙල වෙනුවෙන් ක්‍රියාකරන අතර ම, කාන්තා හිංසනය ඇතුලු ප්‍රශ්න ගැන ද ඉඳහිට කතා කිරීමට අමතක නොකරනු ඇත. සමහරවිට ඒවා විසඳීමේ නමින් ආටෝපකාරි යෝජනා ද ගෙන එනු ඇත. 

අප පක්ෂයේ නියෝජිතයෙක් හෝ නියෝජිතවරියක් තීන්දු ගන්නා ආයතනයකට පත්වුවහොත්, වෙනසක් නැතිවම, කාන්තාවන්ට ධනපති සමාජය තුල අත්විඳින්නට සිදුවන වෙනස්කම් පෙන්වා දීමට ද ඒවා ඇතුලු ධනපතික්‍රමය තුල පවතින සකලාකාර වෙනස්කම්වල මූලයන් පෙන්වා දීමට ද ක්‍රියාකරනු ඇති අතර ඒවා පෙරලා දැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ගය සඳහා සටනේ පෙරමුන ද ගනු ඇත. 

පාර්ලිමේන්තුව නියෝජන කරන සමගි ජනබලවේගය ඇතුලු විපාර්ශ්වයේ පක්ෂ මෙන්ම අමරසූරියගේ ජවිපෙ/ජාජබ ද පෙනී සිටින්නේ ද ඔවුන් නියෝජනය කරන ස්ත්‍රීන් ඇතුලු නියෝජිතයන් ක්‍රියාකරමින් සිටින්නේ ද ධනපති පන්තියේ සහ ඉහල මධ්‍යම පන්තියේ කොටස්වල වරප්‍රසාද ආරක්ෂා කිරීමට හා ඉහල දමාගැනීමට විනා, කම්කරු පීඩිත කාන්තාවන් ද ඇතුලු කම්කරු පන්තියේ දැවෙන සමාජ, ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් නොවේ. 

අමරසූරිය කාන්තාවන්ට එරෙහි වනවා යැයි කියන “ව්‍යුහාත්මක අසමානතාව” ගැන වැඩි විස්තරයක් සම්පාදනය කර නැත. එහෙත් ස්ත්‍රීවාදය ඇතුලු ප්‍රතිගාමී අනන්‍යතා දේශපාලනයට අනුබල දෙමින් ලියන කියන ඉතිහාසයක් ඇති අගමැතිනිය සහ ඇගේ සගයෝ,  ස්ත්‍රී පීඩනය පන්ති ප්‍රශ්නයක් ලෙස සලකන මාක්ස්වාදයට සපුරා ම විරුද්ධ ය.  

ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී නායිකාවක වන රෝසා ලක්සම්බර්ග්, අමරසූරිය වැනි වරප්‍රසාදිත ගැහැනුන් හා ස්ත්‍රීවාදීන් කාන්තා විමුක්තිය ගැන මහපොලොවෙන් වියෝ වී සිදුකරන කතා සම්බන්ධයෙන් පහත සිත්කාවදින නිරීක්ෂනය සිදු කලාය: “දේපල හිමි පන්තියේ කාන්තාවෝ, සමාජීය වශයෙන් නිෂ්ඵල වූ තම පැවැත්ම සඳහා අවශ්‍ය මාධ්‍යයන් තමන්ට වක්‍ර ව ලබා දෙන වැඩ කරන ජනතාව සූරා කෑම සහ ඔවුන්ගේ වහල්භාවය  සෑම විට ම උමතුවෙන් ආරක්ෂා කරනු ඇත.” (1912 දී ලියන ලද “කාන්තා සර්වජන ඡන්ද බලය සහ පන්ති අරගලය” නමැති ලේඛනය. )

දැනටමත්, පාමකාසං සභාපති, කාන්තා කටයුතු ඇමති සාවිත්‍රි පෝල් රාජ් සහ අගමැති අමරසූරිය ඇතුලු කන්ඩායම ස්ත්‍රී පීඩනය පිලිබඳ පල කරන මෙම ව්‍යාජ විරුද්ධත්වයේ පල්ල ගොස් තිබේ. පාර්ලිමේන්තුව තුල කාන්තා නියෝජනය වැඩිවූවා කියා, කාන්තාවන් මුහුන දෙන එකදු මූලික ප්‍රශ්නයක්වත් විසඳී නැතුවා පමනක් නොව, මෙම මන්ත්‍රීවරියන්ගේ ද පූර්න එකඟතාවෙන් යුතු ව ක්‍රියාවට දැමූ රුදුරු අයිඑම්එෆ් වැඩපිලිවෙල මගින් දස ලක්ෂ සංඛ්‍යාත කම්කරු කාන්තාවන් ද ඇතුලු කම්කරු පන්තියේ සහ ගම්බද ජනතාවගේ ජීවන කොන්දේසි තවත් වලපල්ලට යවා තිබේ. 

අයිඑම්එෆ් නය කොන්දේසි ප්‍රකාර ව, රාජ්‍ය ආයතන 400ක් පමන පුද්ගලීකරනය කිරීමට හෝ අර්ධ වසයෙන් පුද්ගලීකරන කිරීමට නියමිත අතර ඒ හේතුවෙන් රැකියා ලක්ෂ පහක් පමන අතුගා දැමෙනු ඇති බව ආන්ඩුවේ උපදේශකයින් විසින් දැනටමත් සනාථ කර ඇත. කම්කරු කුටුම්භයක රැකියාවක් අහිමි වීම යනු ජීවිතය හා මරනය අතර ප්‍රශ්නයක් වන අතර එයින් වැඩියෙන්ම පීඩාවට පත් වන්නේ කාන්තාවන් සහ ලමුන් ය.

මධ්‍යම කඳුකරයේ වහල් ශ්‍රම කොන්දේසි යටතේ වැඩකරමින්, සොච්චම් රු.1350ක දෛනික වැටුපකට ශ්‍රමය දියකරන 115,000 ක වතු කම්කරුවන්ගෙන් අතිබහුතරය කාන්තා කම්කරුවෝ වෙති. 

2022 සැප්තැම්බර් 12දා වැඩි වැටුප් සහ දෛනික වැඩ ඉලක්ක අඩුකරන ලෙස ඉල්ලා විරෝධතාවේ නිරත වන ග්ලෙනුගි වතු කම්කරුවෝ [Photo: WSWS]

රැකියා සුරක්ෂිතභාවයක් නැති, රුදුරු සූරාකෑමේ ශ්‍රම කොන්දේසි පවත්වා ගෙන යන නිදහස් වෙලඳ කලාපයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවයේ නියුතු 470,000න් සියයට 70ක්ම කාන්තාවන් බව, 2020 සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකා සමීක්ෂනය හෙලිදරව් කලේය. එක්සත් ජනපදයේ ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  මෑතකදී මෙරට ඇඟලුම් ඇතුලු අනෙකුත් අපනයන මත පැටවූ සියයට 30ක දැවැන්ත තීරු බදු මගින් මෙම කම්කරුවන් දසදහස් ගනනකට රැකියා අහිමි වීමට නියමිත බව අනතුරු සංඥා නිකුත් ව තිබේ. 

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2020 වනවිට ශ්‍රී ලංකාවේ කම්කරුවන් මිලියන 1.96ක් විදේශවල සේවය කරන අතර මෙයින් 1,568,000ක් හෙවත් 80කට ආසන්න ප්‍රමානයක් සේවය කරන්නේ සවුදි අරාබිය, කුවේට්, කටාර් ඇතුලු මැදපෙරදිග රටවල ය. මෙයිනුත් බහුතරය වන්නේ, ගෘහ සේවිකාවන් ලෙස වහල් කොන්දේසි යටතේ සේවය කිරීමට බලකෙරී ඇති කාන්තාවන් ය. හියුමන් රයිට්ස් වොච් (එච්ආර්ඩබ්ලියු) ඇතුලු මානව හිමිකම් සංවිධාන විස්තර කර ඇති පරිදි, මෙම කාන්තාවන් අත්විඳින ගැහට අතර ලිංගික අඩත්තේට්ටම්, වැටුම් නොගෙවීම්, සිරකර තැබීම, ගමන් බලපත්‍රය බලාත්කාරයෙන් රඳවා ගැනීම (සියයට 90ක පමන ගෘහ සේවිකාවන්ගේ ගමන් බලපත්‍ර මෙලෙස හාම්පුතුන් විසින් රඳවා තබා ගැනේ), ආහාර නොදී සිටීම සහ බලාත්කාරයෙන් වැඩ ගැනීම ආදිය පවතින අතර එමෙන්ම මෙකී නොකී ගැහට විඳ ගැනීමට නොහැකි ව සිදුවන දිවිනසා ගැනීම් ද වාර්තා වේ. 

ඉහත කී ශ්‍රම බලකා සමීක්ෂනය අනුව, 2024 වසරේ 4වන කාර්තුවේ දී රැකියා විරහිත කාන්තාවන් සංඛ්‍යාව සියයට 6.9ක් හෙවත් 191,000ක් වූ අතර එය රැකියා විරහිත පිරිමින්ගේ ප්‍රතිශතය වන 2.8ට වඩා බෙහෙවින් වැඩි සංඛ්‍යාවකි. 

ඊනියා කාන්තා සංසදය පිලිබඳ ව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇති සටහන සඳහන් කරන්නේ පසුගිය අවුරුදු 14 පුරාවට විවිධ වැඩමුලු හරහා “රටතුල සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට (එය) සමත් වූ” බවයි. ඒ ගැන වැඩි විස්තර නැතත්, ඒ “බලපෑම” වැඩකරන කාන්තාවන්ගේ ජීවන තත්වය ඉහල නැංවීමට හෝ යහපත් අතට වෙනස් කිරීමට නොවන බව  පැහැදිලි ය. 

දෙමල ජනයාට එරෙහි වර්ගවාදී යුද්ධයේ අවසන් වසරවූ  2009, ඉහත සඳහන් කල වසර 14 ඇතුලත පවතින එකක් වන අතර යුද්ධයෙන් වැන්දඹු වූ කාන්තාවන් ලක්ෂයකට කිට්ටු ය. මෙයින් සෘජුව ම පීඩාවට පත් වූයේ කාන්තාවන් සහ ලමුන් ය. 

2023 ජනවාරි 15 වන දින ජනාධිපති වික්‍රමසිංහගේ යාපනයේ සංචාරය අතරතුර විරෝධතා දැක්වීමට සූදානම් වන “අතුරුදහන් කරනු ලැබූවන්ගේ” ඥාතීන් [Photo by Mayurapriyan]

මෙම වසරේ ජනවාරි මස ඩේලිමිරර් පුවත්පතට කතා කරමින් ජාතික කාන්තා එකමුතුව නම් රාජ්‍ය නොවන සංවිධානයක් සඳහන් කලේ, 2022 වසරේ සිට ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ගෘහනියන් 40,000කට ආසන්න පිරිසක් අන්තර්ජාල ගනිකා වෘත්තියට යොමුවී ඇති බවයි. එහි සභාපතිනි හන්සි සිල්වා සඳහන් කලේ, රැකියා අවස්ථා නැතිකම නිසා බොහෝ කාන්තාවන්ගේ අවසන් විසඳුම අන්තර්ජාල වෛශ්‍යා වෘත්තිය බවයි. 

වැඩකරන ජනතාව මුහුන දෙන ප්‍රශ්න නිසා දුක්විඳින පවුල්වල කාන්තාවන්ට ගිනි පොලියට නය දෙන ක්ෂද්‍රමූල්‍ය සමාගම්වල සරන යාමට සිදු ව තිබෙන අතර නය ගෙවා ගත නොහැකි වූ විට ඒවායේ නිලධාරීන්ගේ ලිංගික ගොදුරු බවට පත්වීමටත් සමහර අවස්ථාවල දිවිනසා ගැනීමටත් ඔවුන්ට සිදු ව තිබේ. සිල්වාට අනුව, මෙම ආයතනවලින් නයට ගත් මිලියන 2.8න් මිලියන 2.4ක් හෙවත් සියයට 85.71ක්ම ස්ත්‍රීහු ය. 

ඉහත දැක්වූයේ, මෙම කුනු වූ ධනේශ්වර ක්‍රමය තුල කාන්තාවන් විඳින ගැහටවලින් බිංදු මාත්‍රයකි. එය කම්කරු පන්තිය හා ගම්බද දුගී ජනතාව මුහුන දෙන ප්‍රශ්නවල නොවෙන් කල හැකි කොටසකි. 

සසප ප්‍රධාන ලේකම්ගේ ලිපිය අවධාරනය කල ආකාරයට, ධනපති ක්‍රමය තුල මොන ම විමුක්තියක්වත් කාන්තාවන්ට, විශේෂයෙන්ම කම්කරු පන්තික කාන්තාවන්ට ඇත්තේ නැති බව මෙම උදාහරන පෙන්වා දෙයි. ධනේශ්වර පෞද්ගලික දේපල ක්‍රමය, පොදු දේපල ක්‍රමයක් මත පදනම් වූ සමාජවාදී අර්ථ ක්‍රමයට පරිවර්තනය කරන තෙක්, “කාන්තා විමුක්තිය” යනු හුදු ඇස්බැන්දුමක් පමනි. ලෝකයේ කාන්තාවන්ට සමාන ව සලකන සමාජ ක්‍රමයක් නිර්මානය කරන ලද ප්‍රථම හා එකම අවස්ථාව වන්නේ, ලෝකයේ ප්‍රථම සමාජවාදී කම්කරු රාජ්‍යය ස්ථාපිත කල 1917 ඔක්තෝබර් රුසියානු විප්ලවය යි. 

ස්ත්‍රීන්ට ඡන්ද අයිතිය ඉල්ලා 1914 මාර්තු 8 වන දින කාන්තා දිනය වෙනුවෙන් පල කරන ලද පෝස්ටරයක්

ව්ලැදිමීර් ලෙනින් හා ලියොන් ට්‍රොටස්කි සම නායකත්වය දුන් බොල්ෂෙවික් පක්ෂය විසින් මෙහෙවන ලද මිලියන සංඛ්‍යාත රුසියානු කම්කරුවන් රුදුරු වැඩවසම්වාදී සාර් රාජ්‍ය තන්ත්‍රය හා ධනවාදය පෙරලා දමා පිහිටුවනු ලැබූ සෝවියට් සමාජවාදී පාලනයේ පලමු කර්තව්‍යයන්ගෙන් එකක් වූයේ, කාන්තාවන් සහ පවුල සම්බන්ධ සාර්වාදී නීති පද්ධතිය අහෝසි කිරීමයි. කාන්තාවෝ, සමාජවාදී විප්ලවයේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඒ වන විටත් ඉටුකර තිබුනහ. එලෙස පිහිට වූ සමාජවාදී රාජ්‍යය, විවාහය, උරුමය, අධ්‍යාපනය සහ රැකියාවන් යනාදි සියලු ක්ෂේත්‍රවලදී පිරිමින්ට මෙන්ම කාන්තාවන්ට ද නෛතික සමඅයිතිය පිරිනැමී ය. තව ද,  විවාහය සම්බන්ධයෙන් තීන්දු කෙරෙහි පල්ලියේ පාලනය අහෝසි කරමින්, විවාහය රාජ්‍ය නීතිය යටතේ සිවිල් ගිවිසුමක් බවටත් ලෞකික කාරනයක් බවටත් පත් කලේ ය. අඹු-සැමි දෙදෙනාගෙන් කවර අයෙකුගේ හෝ ඉල්ලීම අනුව දික්කසාදය පිලිගත් එකක් බවට පත් කලේ ය. 

සැබෑ විමුක්තිය සඳහා ආර්ථික ස්වාධීනත්වය අවශ්‍ය බව සැලකු බොල්ෂෙවිකයෝ, සියලුම කර්මාන්තවල වැඩ කිරීමට ස්ත්‍රීන් දිරිගැන් වූ අතර ඒ සඳහා නෛතික හිමිකම තහවුරු කලෝ ය. මාතෘ නිවාඩු, ලමා රැකවරනය යනාදී ආරක්ෂිත නීති මගින් කාන්තා සේවිකාවන් සඳහ සේවා කොන්දේසි වැඩි දියුනු කෙරුනි. ලෝකයේ ප්‍රථම වතාවට සමාන වැඩ සඳහා සමාන වැටුපක් අනිවාර්ය කරනු ලැබුවේ බෝල්ෂෙවිකයන් විසිනි. කාන්තාවන්ගේ අයිතීන් සම්බන්ධයෙන් ලෙනින් හා ඉතා සමීප ව වැඩකල, ඇලෙස්සැන්ඩ්‍රා කොලොන්තායි ඇතුලු අනෙකුත් බොල්ෂෙවික් නායකයින් ගෘහ සේවය මගින් කාන්තාවන් වහල්භාවයට පත් නොකල යුතු ය යන අදහසට සහාය දැක්වූහ. කාන්තාවන් නොගෙ වූ ගෘහස්ථ කටයුතුවල වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් නිදහස් කිරීම සඳහා, රජය පොදු රෙදි සෝදන මධ්‍යස්ථාන, පොදු කුස්සි, පොදු භෝජන ශාලා සහ ලමාරක්ෂක මධ්‍යස්ථාන ඉදිකිරීම සහ විශේෂයෙන් ම වැඩකරන කාන්තාවන් උදෙසා මාතෘ නිවාස සහ ලමා නිවාස ආරම්භ කලේ මෙහි ප්‍රතිපලයක් ලෙසිනි. 

කාන්තාවන්ට තමන්ගේ ප්‍රජනනය පාලනය කර ගැනීමේ අයිතිය ලබා දෙමින්, 1920දී ගබ්සාව නීතිගත කිරීම මගින් එසේ කල පලමු රට බවට ලදරු සෝවියට් කම්කරු රාජ්‍ය පත් විය. 

පෙට්‍රොග්‍රෑඩ් හි පැවති, 1917 ජාත්‍යන්තර කාන්තා දින පාගමන

එ පමනක් ද නොවේ. 1918 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පලමුවරට ප්‍රායෝගික වසයෙන්ම පූර්න දේශපාලන අයිතිවාසිකම් තහවුරු කරමින් කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේත් සෝවියට් සභා ඇතුලු පාලන ආයතනවලට තේරී පත්වීමේත් අයිතිය තහවුරු කලේ ද සෝවියට් සමාජවාදී සංගමය විසිනි. කාන්තාවන් බලමුලු ගැන්වීම, සාක්ෂරතාවය ව්‍යාප්ත කිරීම, කුසලතා පිලිබඳ ව කාන්තාවන් පුහුනු කිරීම සහ පීතෘමූලික ආකල්පවලට එරෙහි ව සටන් කිරීම සඳහා ෂෙනොට්ඩෙල් (කොමියුනිස්ට් පක්ෂයේ කාන්තා දෙපාර්තමේන්තුව) 1919 දී පිහිටුවන ලදී.

මේ සියල්ල ගැඹුරින් ම මුල් බැස තිබුනේ, සමාජවාදී මූලධර්මයක් වන,  ස්ත්‍රී පීඩනය ජය ගත හැක්කේ පුද්ගලික දේපල අහෝසි කිරීමෙන්, කාන්තාවන් සමාජ නිෂ්පාදනයට ඒකාබද්ධ කිරීමෙන් සහ ගෘහ සේවය පෞද්ගලික නිවසින් පොදු ක්ෂේත්‍රයට මාරු කිරීමෙන් පමනි යන්න මත ය. 

මාක්ස්වාදී මූලධර්මවලට අනුව, කාන්තාවන් සමාජ නිෂ්පාදනයට ඒකාබද්ධ කිරීම යන්නෙන් ඇය ධනේශ්වර සූරාකෑමේ උපකරනයක් බවට පත් කිරීම කිසිසේත්ම අදහස් වන්නේ නැත, ඊට ප්‍රතිවිරුධය යි. පක්ෂයේ නොවන වැඩකරන කාන්තාවන්ගේ සිව්වන මොස්කව් සමුලුවේ දී (1919) කතා කරමින් ලෙනින් මේ කාරනය පැහැදිලි කලේ,  “නිවස තුල ඇගේ වැඩ කටයුතු හේතු කොට ගෙන, කාන්තාව තවමත් අසීරු අවස්ථාවක සිටී. ඇයගේ පරිපූර්න විමුක්තිය සාක්ෂාත් කරගැනීම සහ පිරිමියා සමග ඇය සම තත්වයකට ගෙන ඒම පිනිස ජාතික ආර්ථිකය සමාජීයකරනයට ලක් කිරීම හා කාන්තාව පොදු ඵලදායි ශ්‍රමය සදහා සහභාගි වීම අවශ්‍ය ය. එවිට කාන්තාව පිරිමියා සමග එකම තත්වයක් ලබා ගනු ඇත.” මෙය, කාන්තා විමුක්තිය ගැන වාචික ව දොඩවනවාට වඩා බෙහෙවින් වෙනස් කාරනාවකි.

සෝවියට් සංගමය තුල 1920 ගනන් සිට ක්‍රමයෙන් වර්ධනය වූ ජෝශප් ස්ටැලින් ප්‍රමුඛ නිලධාරයේ පාලනය යටතේ සමාජ සහ ප්‍රජාතන්‍රවාදී අයිතීන් කප්පාදු කිරීම ඇරඹුනි. 1930 ගනන්වල දී “සාම්ප්‍රදායික” පවුල් සංස්ථාව ප්‍රවර්ධනය සදහා කොන්දේසි සකස් කරන ලද අතර 1930 දී ෂෙනොට්ඩෙල් වසා දැමුනි. 1936 දී ගබ්සාව තහනම් කරන ලද අතර, පීතෘ මූලිකත්වය නැවත තහවුරු කෙරුනි. ස්ටැලින්වාදී පරිහානියට ගොදුරු වුව ද, සමාජවාදී විප්ලවයෙන් පසු මුල් දශකයේ දී කාන්තා අයිතීන් තහවුරු කරමින් ගන්නා ලද විප්ලවාවාදී වෙනස්කම්වල ඓතිහාසික වලංගුභාවය ද ඒවා තහවුරු කෙරුනු සමාජවාදී පාලන ක්‍රමයේ අවශ්‍යතාව ද නොනැසී පවතී. 

ගෝලීය ව ගැඹුරු වන ධනවාදයේ අර්බුදය, ලෝකය මත ආධිපත්‍යය පිහිටුවා ගැනීම සඳහා එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී රටවල් අරඹා ඇති යුද ධාවනය සහ ප්‍රපාතාකාර සමාජ අසමානතාව වත්මනේ කාන්තාව මුහුන දෙන ප්‍රශ්න තවත් උග්‍ර කරමින් තිබේ. ඒවා මුලුමහත් කම්කරු පන්තිය මුහුන දෙන ප්‍රශ්නවල කොටසකි. ඒවා විසඳීම් ජාත්‍යන්තර කම්කරු පන්තිය ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසකි. 

වැඩිදුර කියවන්න

Loading