ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයේ රැස්වීමට සම්බන්ධ වන ලෙස කෙරුනු නිල ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සසප ප්‍රධාන ලේකම් විසින් යවන ලද ලිපිය

2025-07-21

සහකාර අධ්‍යක්ෂිකා (පරිපාලන) (කමිටු)

චින්තා බුලත්සිංහල මහත්මිය හරහා,

සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය,

සභාපති,

කාන්තා පාර්ලිමේන්තු සංසදය.

ප්‍රිය මහත්මියනි,

2025-07-25 වන දින පැවැත්වීමට නියමිත කාන්තා පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට සමාජවාදී සමානතා පක්ෂයට (සසප) ආරාධනා කරමින් 2025-07-02 දින එවන ලද ලිපියට ස්තූතිවන්ත වෙමු.

කෙසේ වෙතත්, සසප ඔබගේ ආරාධනය ප්‍රතික්ෂේප කිරීමට සිදුවන අතර, අපගේ පක්ෂය එම රැස්වීමට කිසිදු නියෝජිතයෙකු නොඑවනු ඇත. ඒ මන්දැයි මම කෙටියෙන් පැහැදිලි කරමි.

ඔබගේ ලිපියට අනුව, මෙම සංසදයේ අරමුන “දේශපාලන, ආර්ථික හා සමාජ ක්ෂේත්‍රයන්හි කාන්තාවන් බලගැන්වීම සඳහා එකට වැඩ කිරීම සහ පලාත්සභා සහ ජාතික මට්ටමේ දේශපාලනයේදී කාන්තා නියෝජනය සහතික කිරීම” යි. තවද ජූලි 25දා රැස්වීම, ' රජයේ සියලු මට්ටම්වලදී කාන්තා නියෝජනය හා ඔවුන් තෝරාපත් කර ගැනීම ඉහල දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට එසේ කරන ලෙස ඉල්ලා සිටීමට සහ තීන්දු ගැනීමේ මන්ඩලවල    කාන්තා නියෝජනය වැඩිකිරීමේ අවස්ථාව ගැන සොයා බැලීමට” බලාපොරොත්තු වේ..

කාන්තාවන්, විශේෂයෙන් කම්කරු පන්තික සහ පීඩිත කාන්තාවන් මුහුන දෙන අතිමහත් ගැටලුවල සහ ඔවුන්ට එරෙහි වෙනස්කම් කිරීම්වල මූලයන් ඇත්තේ, අතලොස්සක් වන ධනේශ්වර ප්‍රභූ පැලැන්තිය, සියලු දේශපාලන හා ආර්ථික බලය සියතට ගනිමින්, ජනගහනයෙන් අතිමහත් බහුතරයක්–කම්කරුවන් සහ අනෙකුත් පීඩිත කොටස්–මර්දනය කරන ධනේශ්වර ලාභ ක්‍රමය තුල ය.

මෙම සංසදය, ධනේශ්වර පාර්ලිමේන්තුවේ කොටසක් ලෙස, ධනේශ්වර පාලනය පවත්වා ගැනීමට කටයුතු කරයි. අපගේ දැඩි මතය නම්, කාන්තාවන් මුහුන දෙන එම ගැටලු, ධනේශ්වර ක්‍රමය තුල විසඳිය නොහැකි බවයි, එනම් ධනේශ්වර පාලනය පවත්වා ගැනීම සඳහා කටයුතු කරන මෙවැනි පාර්ලිමේන්තු සංසදයක් හරහා ඒවා විසඳිය නොහැකි බවයි.

අප එය තවත් සංයුක්තව කිවහොත්, “ආන්ඩුවේ සියලුම මට්ටම්වල කාන්තා නියෝජනය සහ පත්කිරීම් වැඩි දියුනු කිරීම” සහ “තීරන ගැනීමේ ආයතනවල (එනම් පවතින ධනේශ්වර පාර්ලිමේන්තුවේ, පලාත් සභාවල හෝ පලාත් පාලන ආයතනවල) කාන්තා නියෝජනය වැඩි කිරීම”, වහල් ශ්‍රම කොන්දේසි යටතේ නිදහස් වෙලඳ කලාපවල වැඩ කරන කාන්තාවන් ඇතුලු කම්කරු පන්තියේ කාන්තාවන් මුහුන දෙන කිසිදු දැවෙන ගැටලුවක් විසඳන්නේ නැත.

එබැවින්, අපට මෙම පාර්ලිමේන්තු සංසදයේ කිසිදු රැස්වීමකට සහභාගී විය නොහැක.

තවද, එවැනි සංසද සංවිධානය කිරීම, ධනේශ්වර ක්‍රමය පවත්වාගෙන යන මෙම පාර්ලිමේන්තුවට ප්‍රජාතන්ත්‍රවාදී ආවරනයක් ලබා දීමේ උත්සාහයක් බව අපි විශ්වාස කරමු. මෙම සංසදයේ රැස්වීමට සහභාගී වීමෙන් එම වංචනික ව්‍යායාමයේ කොටස්කරුවන් වීමට අප සූදානම් නැත.

ඔබට ස්තුතියි.

මීට,

විශ්වාසී,

දීපාල් ජයසේකර,

ප්‍රධාන ලේකම්,

සමාජවාදී සමානතා පක්ෂය

Loading