ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවයේ, ඖෂධ සහ උපකරන හිඟය හේතු කොට ගෙන ආන්ඩුවට එරෙහි ව වැඩෙන මහජන විරෝධය මධ්‍යයේ, ජූලි 16දා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක අසේල ගුනවර්ධන අත්‍යසාමාන්‍ය චක්‍රලේඛයක් නිකුත් කලේ ය.
එය, “ඖෂධ සහ ශල්‍ය උපකරන පිටතින් මිලදී ගැනීම සහ රසායනාගාර පරීක්ෂන පිටතින් කර ගැනීම පිලිබඳ ව, ආයතන ප්‍රධානීන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන්/දන්ත වෛද්‍යවරුන් සඳහා මාර්ගෝපදේශ” දැක්වීමකි. ඒ අනුව, යම් ප්‍රතිකාරයක් සඳහා අවශ්‍ය ඖෂධ, උපකරන හෝ රසායනාගාර පහසුකම්, කිසියම් රෝහලක හෝ වෛද්‍ය ආයතනයක නොමැති බව සහතික වන අවස්ථාවන්හි දී, අදාල නිලධාරීන්ට පිටස්තර තැනකින් ඒවා මිල දී ගැනීමේ හෝ මුදල් ගෙවා ඉටු කර ගැනීමේ නිර්දේශ රෝගීන්ට ලබාදිය හැකි ය.
එම මාර්ගෝපදේශයේ දැක්වෙන තවත් වගන්තියකට අනුව, අවශ්‍ය වෛද්‍ය පරීක්ෂනයක් සඳහා පහසුකම්, “ආයතනය තුල නොමැති නම් සහ අභ්‍යන්තර සැකසුම් සහ සායනවල රෝග විනිශ්චය හෝ අඛන්ඩ සත්කාර සඳහා” එය “අත්‍යවශ්‍ය” නම්, “රෝගියා හෝ ලඟම ඥාතීන් පිරිවැය දැරීමට කැමති නම්, ආයතන ප්‍රධානියාගේ අවසරයට යටත්ව එය බාහිරව සිදු කල හැකිය.”
ආන්ඩුව ක්‍රියාවට නංවා ඇති නව පටිපාටිය, රෝගීන් සහ සෞඛ්‍ය කාර්ය මන්ඩලය යන දෙපාර්ශ්වය ම ඉමහත් වෙහෙසකට සහ අධෛර්යයට පත් කරන ක්‍රියාවලියකි. එයට අනුව, රෝගියාගේ නමින් අවශ්‍ය අයිතමය මිල දී ගැනීම සඳහා, “රෝගියාගේ කැමැත්ත ලිඛිත පෝරමයකින් ලබා ගත යුතුය”. එකී පෝරමය විශේෂඥ වෛද්‍යවරයා, ප්‍රධාන ඖෂධවේදියා හා රෝහල් අධ්‍යක්ෂවරයා අත්සන් කර සහතික කල යුතු ය.
මෙම චක්‍රලේඛය, හුදෙක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහල නිලධාරියෙක් ඉදිරිපත් කල “මාර්ගෝපදේශයක්” නොවේ. මහජන සෞඛ්‍ය සේවය අතු ගා දැමීම සදහා පසුගිය ආන්ඩු ගෙන ගිය වැඩපිලිවෙල, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානයකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් කෙලවරට ගෙන යමින් සිටින බවට කම්කරු පන්තියට අපි අනතුරු අඟවමු.
පිටතින් බෙහෙත් හා ප්‍රතිකාර සඳහා අවශ්‍ය දෑ ගැනීම සඳහා, රෝගීන්ට නිර්දේශ කිරීමට තමන්ට බලකෙරී ඇති තත්වයක කුමක් කල යුතු දැයි නිර්දේශ කරන ලෙස, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (ඒඑම්එස්) ඉල්ලා සිටි අවස්ථාවේ, සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සගේ පිලිතුර වූයේ, “ඔවුන් (විශේෂඥයින්) ඉල්ලා සිටින සියලු ම ඖෂධ අපට [ආන්ඩුවට] ලබාදීමට බැහැ. රෝගීන්ට ඒවා ලාභ ම ස්ථානවලින් මිලදී ගත හැකි ය,” යන්නයි. උක්ත චක්‍රලේඛය, එම පිලිවෙත විධිමත් ව ප්‍රකාශයට පත් කිරීමකි.
රජයේ රෝහල්වල බෙහෙත් හිඟය, රසායනාගාර පර්යේෂන කල නොහැකි වීම ඇතුලු අර්බුද මාස ගනනාවක් එක දිගට උග්‍ර වෙමින් පවතින බවට වාර්තාවන තත්වයේ දී, මහජන සෞඛ්‍ය ගැන තකන ආන්ඩුවක් කල යුතු ව ඇත්තේ ඊට වහා පිලියම් යෙදීමයි. එහෙත්, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ පිලිවෙත වී ඇත්තේ, මේ සා දැවෙන ප්‍රශ්නයක් වන ඖෂධ හිඟය වහා විසඳීම නොව, මුදල් ගෙවා ඖෂධ ලබාගත හැකි අය ජීවත් වෙනු! එසේ නොහැකි අය මිය යනු! යන්නයි. මේ වනාහි, ජීවත් වීමේ අයිතිය උදුරා ගැනීමකට සමාන ය. ඇතැම් අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග, රසායනාගාර පරීක්ෂන නොමැති විට අසාධ්‍ය රෝගීන් මියෑදෙන බව කිව යුතු ද?
මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ට මෙසේ කීවේය: “අලුත් චක්‍රලේඛයට අනුව, ප්‍රධාන ඖෂධවේදියාට හා අධ්‍යක්ෂවරයාට පෝරම අත්සන් කිරීම හැර වෙන වැඩක් කරන්න වෙන එකක් නෑ. අනෙක් අතට, දැනටමත් පෝලින් කිහිපයක ඉඳලා හෙම්බත් වෙලා ගෙදර යන රෝගියාට, මෙම පෝරමය අත්සන් කර ගැනීමට තවත් පෝලිම් තුනක පමන කාලය ගත කරන්න සිද්ධ වෙනවා.” බහුතරයක් රෝගීන්ට පිටතින් ඖෂධ ලබා ගැනීමට නිර්දේශ කිරීමට සිදුවන බව කී ඔහු, එවන් අවස්ථාවන්හි දී රෝගීන් දක්වන “අසරනභාවයේ” සම්බන්ධයෙන් ඔහු විස්තර කලේය: “බොහෝදෙනා කියන්නේ, ඒ සඳහා මුදල් නැති බවයි. සමහරු මුකුත් නොකියාම තුන්ඩුව අරන් සුසුම්ලමින් පිටවෙලා යනවා.”
කොලඹ ජාතික රෝහලෙන් දියවැඩියාව සඳහා ප්‍රතිකාර ලබා ගන්නා වයෝවෘද්ධ රෝගියෙකු නව පටිපාටිය සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පලකල අදහස මෙසේ ය: “රෝහල්වල බෙහෙත් නැති ව බැට කන වයසක අපි වරු ගනනක් රස්තියාදු කරන වැඩපිලිවෙලක් මේක. ආන්ඩුව අපිව ඉක්මනට ම මරනෙට දක්කනව.”
ඖෂධ සහ උපකරන හිඟය “බරපතල නොමැති” බව සෞඛ්‍ය ඇමතිවරයා සහ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයා දිගින් දිගට ම කියා සිටිය ද, තත්වය ඉතා බරපතල ය. අලුත් ම වාර්තා මෙසේය:
- මධ්‍යම ඖෂධ ගබඩාවේ අත්‍යවශ්‍ය ඖෂධ 180 ක තොග නොමැති බව, ජුනි 14දා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම්ඕඒ) මාධ්‍යයට අනාවරනය කලේ ය. මේවාට වේදනා නාශක, ප්‍රතිජීවක සහ දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ වකුගඩු රෝග සඳහා වන ඖෂධ ඇතුලත් වේ. මෙම ඖෂධවලින් 50 කට වඩා රෝහල්වල නොමැත.
- ජුනි 18දා ඩේලි මිරර් පුවත්පත මෙසේ සඳහන් කලේය: “පිලිකා, දියවැඩියාව, මානසික ආබාධ, අපස්මාරය සහ ආසාදන සඳහා ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඒවා ද ඇතුලුව පුලුල් පරාසයක තීරනාත්මක ඖෂධ ලබා ගත නොහැක, නැතහොත් භයානක ලෙස සීමිත සැපයුමක පවතී.”
- සිලෝන් වයර් නිවුස් වෙබ් අඩවියට අනුව, රජයේ රෝහල්වල වකුගඩු සහ අක්මා බද්ධ කිරීමේ රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ටැක්‍රොලිමස් මට්ටමේ පරීක්ෂනවල අවිනිශ්චිත ප්‍රමාදයන් පවතී.
- කොලඹ ලේඩි රිජ්වේ ලමා රෝහලේ සහ පේරාදෙනියේ සිරිමාවෝ බන්ඩාරනායක විශේෂිත ලමා රෝහලේ හෘද ආශ්‍රිත ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය උපකරන නොමැත.
මුදල් ඇති අයට අවශ්‍ය ප්‍රතිකාර රජයේ රෝහල්වලින් ගත හැකි ය; නැතහොත්, පුද්ගලික රෝහලකට හෝ රසායනාගාරයකට යා හැකිය. තම ආදරනීයයන් ඔත්පල වී අකර්මනය වීමට හෝ මරනයට ගොදුරු කිරීමට අකමැති මිනිසුන්, ලෝකෙට ම නය වී හෝ රෝගියා ගොඩ දා ගැනීමට ක්‍රියාකරනු ඇත්තේ, තම ජීවන තත්වයන් තවත් අගාධයට හෙලා ගැනීමෙනි. ධනපති ක්‍රමය තුල අවශ්‍ය සෞඛ්‍ය සේවයක් ලබා ගැනීම දැන් ප්‍රකට ලෙස ම පන්ති ප්‍රශ්නයක් වී ඇත.
ලංකාවේ නිදහස් මහජන සෞඛ්‍ය සේවය පසුගිය දශක ගනනාවක් තිස්සේ, ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතා මත සිදුකෙරන කප්පාදුවකට ලක්වී තිබේ. එල්ලය, සෞඛ්‍ය සේවය ලාභ ගරන කර්මාන්තයක් බවට පත්කිරීම යි. 1980 ගනන් පටන් පුද්ගලික රෝහල්, රසායනාගාර, හා බෙහෙත් හා ප්‍රතිකාර සඳහා අවශ්‍යවන උපකරන ඇතුලු දෑ විකුනන සමාගම් හතු පිපෙන්නාක් මෙන් පැතිරී ඇත.
පෞද්ගලික අංශය තර කරමින් ලංකාවේ ආන්ඩු ගෙනියන මෙම වැඩපිලිවෙල හසුරුවනු ලබන්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (අයිඑම්එෆ්) විසිනි. 2022 ප්‍රකට වූ පෙර නුවූ විරූ ආර්ථික බිඳ වැටීම තුල, විදේශ නය ගෙවීම පැහැර හැරීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, අයිඑම්එෆ් ලංකාවේ ආර්ථිකය අත්අඩංගුවට ගෙන ඇත. මන්ද යත්, විදේශ නය නොගෙවීම ජාත්‍යන්තර බැංකු හා ආයෝජකයන්ට තර්ජනයක් වන හෙයිනි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන් ම, ඔහුගෙන් පසු බලයට පත් ව සිටින දිසානායක, අයිඑම්එෆ්හි රුදුරු කොන්දේසි වේගවත් කරමින් සිටියි. දිසානායක ආන්ඩුව, නිදහස් සෞඛ්‍ය සේවයේ ඉතිරිය දංගෙඩියේ තබා ඇත.
මහජන විරෝධය හා විවේචන ආන්ඩුව වෙත එල්ලවන තත්වයේ දී ජනාධිපති දිසානායක, ජූලි 22 දා, සෞඛ්‍ය ඇමති හා අමාත්‍යංශ නිලධාරීන්ගේ හදිසි රැස්වීමක් කැඳවා, කිසිදු ප්‍රමාදයකින් හෝ හිඟයකින් තොරව සහ අඛන්ඩව, රජයේ රෝහල් වලට ඖෂධ සහ උපකරන සම්පාදනය කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන් බව, ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මෙය, සත්‍යය ආවරනය කිරීමේ සංදර්ශනයකි.
2024 දී රුපියල් බිලියන 410 ක් වූ රාජ්‍ය සෞඛ්‍ය වියදම, 2025 දී රුපියල් බිලියන 383 දක්වා කපා දැමීම, මුදල් ඇමති ලෙස දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල අමාත්‍යංශ වියදම් වෙන් කිරීමේ ලේඛනයේ දැක්විනි. අයවැය කතාවේ දී, සෞඛ්‍ය වියදම් රුපියල් බිලියන 604 දක්වා “සැලකිය යුතු ලෙස වැඩි කරනු ඇතැයි” ද ඉන් ඖෂධ සැපයීම සඳහා රුපියල් බිලියන 185 ක් වෙන් කරනු ඇතැයි ද ජනාධිපති කියා සිටියේ ය. දැන් ඇත්තෙන් ම වියදම් කෙරෙන්නේ, කප්පාදු කල මුදල හෝ ඊටත් අඩුවෙනි.
අයිඑම්එෆ් නියෝග මත ආන්ඩුව, වඩා පුලුල් ප්‍රහාර මාලාවක් සූදානම් කරමින් සිටී. නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීම, රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය හා රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව අඩු කිරීම ඒ අතර වේ. ආන්ඩුව සෞඛ්‍ය සේවය මිරිකා දැමීම, මේ පලල් ප්‍රහාරවල කොටසකි.
ගෝලීය ධනවාදය මුහුන දී සිටින ගැඹුරු අර්බුදය හමුවේ, ඇමරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාව දක්වා වන සියලු රටවල පාලක පංතීහු, තම අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පටවමින්, අතීතයේ කම්කරුවන් සටන් කොට දිනාගත්, නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය ඇතුලු සේවා හා අනෙකුත් සමාජ අයිතීන් විනාශ කරමින් සිටිති.
පසුගිය සතිවල ජීඑම්ඕඒ, ඒඑම්එස් ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන්ගේ සංගම්, ආන්ඩුවේ චක්‍රලේඛය හා රජයේ රෝහල්වලට අර්බුදයට දක්වන ප්‍රතිචාර, නිදහස් මහජන සෞඛ්‍ය සේවය අහෝසි කිරීමක් බව පිලිගෙන තිබුනි. ප්‍රධාන ජන මාධ්‍ය වාර්තා, විමර්ශන ලිපි හා කතුවැකි පවා පලකරමින් සෞඛ්‍ය සේවයේ බිඳවැටීම ගැන ලියා ඇත.
කෙසේ වෙතත්, ජන මාධ්‍යය හා වෘත්තීය සමිති නිලධරය හිතාමතාම වසන් කෙරෙන සත්‍යය නම්, මහජන සෞඛ්‍ය සේවය අලලා මහා කප්පාදුවක් සිදුකෙරෙමින් පවතින බව සහ අයිඑම්එෆ් නියෝග අනුව, ආන්ඩුව එය ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
නිදහස් මහජන සෞඛ්‍ය සේවය රැකගැනීම හා එය වර්ධනය කිරීමට පෙරමුන ගැනීම, හුදෙක් සෞඛ්‍ය සේවකයන්ගේ වගකීමක් පමනක් නොවේ. එය දිනාගැනීමට අතීතයේ දී සටන් කලා සේ, එය රැක ගැනීමට වත්මනේ සටන් කිරීම කම්කරු පන්තියේ වගකීමකි. පලමුවෙන් ම සහ අවශ්‍යයෙන් ම අවබෝධ කර ගත යුතු වන්නේ, නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය යන අත්‍යවශ්‍ය නිදහස් මහජන සේවාවන් තවදුරටත් ධනපති ක්‍රමය තුල ආරක්ෂා කරගත නොහැකි බවයි. නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය මත ධනපති ක්‍රමය දුවන්නේ, ලාභය තරකරගැනීම සඳහා මිස, කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ යහපත සඳහා නොවේ.
මෙම ක්‍රමය වෙනස් කල යුතුය. එය සිදුකල හැකිවන්නේ, නිෂ්පාදන බලවේගයන්ගේ අයිතිය කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගැනීමෙනි; බැංකු, මහා සමාගම් හා විශාල වතු ඇතුලු නිෂ්පාදනයේ මර්මස්ථාන ධනපති පන්තිය අතින් උදුරාගෙන, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට නතු කෙරෙන සහ ලාභය වෙනුවට මහජන අවශ්‍යතා වෙනුවෙන් නිෂ්පාදනය සිදු කෙරෙන සමාජවාදී නිෂ්පාදන-ආර්ථික ක්‍රමයක් යටතේ පමනි. විදේශ නය ගෙවීම ප්‍රතිෂේප කිරීම හා ධනවතුන් ගොඩගසාගෙන ඇති ධනය, කම්කරු පාලනයක් යටතේ අත්පත් කරගැනීම තුලින්, මෙම ධනය මහජන සේවාවන් වැඩිදියුනු කිරීම සදහා යොදා ගැනීම අවශ්‍ය වේ.
මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කල හැකිවන්නේ, ධනපති ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහ ගෝලීය ධනවාදයට එරෙහිව දියත් කෙරෙන, කම්කරු පංතියේ ජාත්‍යන්තරවාදී සහ සමාජවාදී දේශපාලන සටනකින් පමනි. එබැවින්, රෝහල් ඇතුලු සෑම වැඩපොලකම, වෘත්තීය සමිතිවලින් ස්වාධීනවූ කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගමින්, කම්කරුවන්, එම සටන තම අතට ගැනීමට ද අරගලය සංවිධානය කිරීමට ඔවුන්ගේ නියෝජිතයන් පදනම් කරගත් මධ්‍යස්ථානයක් ලෙස කම්කරුවන්ගේ සහ ගම්බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට ද සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කරයි.
වැඩිදුර කියවන්න
- ශ්‍රී ලංකා ආන්ඩුවේ ප්‍රහාර සෞඛ්‍ය සේවාව බිඳ වැටීමේ අද්දරට තල්ලු කරයි
- ආන්ඩුවෙහි තර්ජන මධ්‍යයේ සෞඛ්‍ය කම්කරුවෝ අයවැය කප්පාදුවලට විරෝධය පලකරති
- සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව, මහජන සෞඛ්‍ය කප්පාදුවලට එරෙහිව සටන් කිරීමේ වැඩපිලිවෙල ගැන සාකච්ඡා කරයි
- ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය තවදුරටත් දිග්ගැසෙයි
- මහජන සෞඛ්‍යයේ අඛන්ඩ කප්පාදුව හේතුවෙන් ලංකාව තුල ඩෙංගු රෝගය යලි පැතිරෙයි
- මහනුවර ජාතික රෝහලේ උග්රවන අර්බුදය සමස්ත සෞඛ්‍ය සේවය බිඳවැටීමේ තියුනු පැතිකඩක්