කොටස් තුනකින් පල කෙරෙන මෙම ලිපියේ පලමු සහ දෙ වැනි කොටස් ජූලි 22 සහ 23 වැනි දිනවල දී පල කෙරුනි.
***
පෙසප සහ යූත් ෆෝ චේන්ජ් යුද්ධයක් වලක්වා ගැනීමට යෝජනා කරන පියවර මොනවා ද?
ධනේශ්වර ක්‍රමය තුල ම ගැටුම් වැලැක්වීම සඳහා පෙසප සහ යූත් ෆෝ චේන්ජ් ක්‍රම දෙකක් යෝජනා කරයි. අනෙකුත් ව්‍යාජ වාම කන්ඩායම් මෙන්, චීනය, රුසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ඊනියා නොබැඳි රටවල් වැනි අනෙකුත් බලවේගවලට, යුද වැද සිටින පාර්ශ්වයන්ට බලපෑම් කිරීම හෝ සංහිඳියාවකට ගෙන ඒමෙන් යුද්ධයක් වලක්වා ගැනීම සඳහා හැකිවනු ඇතැයි පෙසප අපේක්ශා කරයි.
- එවැනි එක් බලාපොරොත්තුවක් වන්නේ ඊනියා බහු-ධ්‍රැවීය ලෝකයක “පැවැත්මයි”. වීරසේකරට අනුව, සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීමෙන් පසු, “එක්සත් ජනපද-සෝවියට් ද්වි-ධ්‍රැවීය ලෝකය නිමා වී, බහු-ධ්‍රැවීය ලෝකයක්” නිර්මානය වී ඇත. ඔහු එය විස්තාරනය නොකල ද ජාත්‍යන්තර ව්‍යාජ වම්මුන් සහ ධනපති ජාතිකවාදීන්, මෙම සංකල්පයෙන් කියා සිටින්නේ, චීනය සහ රුසියාව වැනි රටවල් එක්සත් ජනපදයට ප්රතිභාරයක් ලෙස ක්‍රියාත්මක වී, එක්සත් ජනපදය ලෝක ආධිපත්‍යය සඳහා යන ගමන වලකාලනු ඇති බවයි.
ජූනි 24 දා, සිරස රූපවාහිනියේ “පැතිකඩ” වැඩසටහනට සහභාගි වූ පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩගෙන්, මැද-පෙරදිග වැඩෙන යුද්ධයේ දී රුසියාව සහ චීනය මැදිහත් නොවීම ගැන විමසූ විට ඔහු මෙසේ පිලිතුරු දුන්නේ ය:
“… මෙච්චර දෙයක් වෙද්දි ඒ ගොල්ලො ලොකු මැදහත්වීමක් කරන්න ඕන නෙ......ඉරානෙ විදේශ ඇමතිවරය රුසියාවට ගිහිල්ල කරපු කතාබහත් එක්ක රුසියාව යම් මැදිහත් වීමක් කරන්න ඉඩ තියෙනව.”
යුද්ධයක් වලක්වා ගැනීම සඳහා රුසියාව, චීනය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් නොවීම පිලිබඳ ව ජයගොඩ සිය කනස්සල්ල පල කලේ ය. ඔවුන් සඳහන් කරන ඊනියා “බහු ධ්‍රැවීය” බලයන්ගේ ක්‍රියාකාරිත්වය බලාපොරොත්තුවට අනුව එය සිදු විය යුතු ව තිබුනි!
එවැනි බලාපොරොත්තු මායාවකි. ඇයි? අධිරාජ්‍යවාදී බලවතුන් විසින් සම්පත් සහ ධනය සාමකාමී ව බෙදා ගැනීමේ බලාපොරොත්තුව සාක්ෂාත් කල නොහැකි දෙයකි. එය ලෝක ධනේශ්වර පද්ධතියට ආවේනික වූ ප්රතිවිරෝධතා විසඳීම සඳහා වන බලාපොරොත්තුවකි. ලෙනින්ගේ කාලයේ දී, කෞට්ස්කි එවැනි බලාපොරොත්තු දේශනා කල අතර ඒවායේ ද්‍රෝහීත්වය ලෙනින් විසින් ඔහුගේ අධිරාජ්‍යවාදය සහ අනෙකුත් කෘති මගින් එලිදරවු කරන ලදී. දශක දෙකකට පසුව අධිරාජ්‍යවාදී බලවතුන් වඩාත් දරුනු යුද්ධයකට අවතීර්න වීමෙන් එය වෛෂයික ව ඔප්පු විය.
වර්තමානයේ එවැනි බලාපොරොත්තු වල නිෂ්ඵලභාවය පැහැදිලි කරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් සිය 2023 ජාත්‍යන්තර මැයි දින කතාවේදී මෙසේ පැවසීය:
“ඕනෑම අවස්ථාවක, ‘බහු-ධ්‍රැවීය’ ලෝකයක් සාක්ෂාත් කර ගැනීම සඳහා, එහි වැරදි න්‍යායික පදනම් පසෙකලා බැලුවත්, අද ප්රමුඛ අධිරාජ්‍යවාදී බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය විසින් එය සාමකාමී ව පිලිගැනීම අවශ්‍ය වේ. මෙය යථාර්ථවාදී අපේක්ෂාවක් නොවේ. ‘ඒක ධ්‍රැවීය’ ආධිපත්‍යය සඳහා වන එහි ධාවනය අවහිර කිරීමට එරෙහි ව, එක්සත් ජනපදය සියලු උපක්‍රම යොදා ගනිමින් විරුද්ධ වනු ඇත. මේ අනුව, ‘ඒක ධ්‍රැවීය’ ලෝකයක් ‘බහු-ධ්‍රැවීය’ ලෝකයකින් ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කරන මනෝරාජිකයා, තමන්ගේම විකෘති තර්කනය මගින් තුන්වන ලෝක යුද්ධයට සහ ග්‍රහලෝකයේ විනාශයට මඟ පාදයි.”
- දෙවනුව, අධිරාජ්‍යවාදී බලවතුන්ට බලපෑම් කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය යෝජනා කරයි. වීරසේකර සිය කතාව අවසානයේ මෙසේ පැවසීය:
“රටක් විදියට බලනවනම් ඉන්දු-ලංකා ගිවිසුම් වලට එරෙහි ව සටන් වැදිය යුතුයි...... ජාත්‍යන්තර ව බලනව නම්, අපි අධිරාජ්‍යවාදී යුද්ධයෙන් පීඩා විඳින අනෙක් රටවල ජනතාව සමග එක්විය යුතුයි...”
පෙසප ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම්ගේ ස්ථාවරය ද එය ම ය. ඔහු ජුනි 26 වන දින මාධ්‍ය වෙත මෙසේ පැවසී ය: “යුද්ධ තර්ජනයක් වැලැක්වීම සඳහා අපි නොබැඳි පිලිවෙතක සිටිමින් ප්රගතිශීලී, අධිරාජ්‍ය විරෝධී ජනතාවට නායකත්වය දීම අපගේ ස්ථාවරයයි.”
1960 ගනන්වල වියට්නාමයේ ඇමරිකානු යුද්ධයට එරෙහි ව එවැනි මහජන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ බව වීරසේකර පැවසී ය. ඩිමොක්රටික් පක්ෂයට සම්බන්ධ මධ්‍යම පන්තික කන්ඩායම් විසින් මෙහෙයවන ලද මෙම විරෝධතා ව්‍යාපාරය, 1973 දී ජනාධිපති රිචඩ් නික්සන්ගේ ඇමරිකානු ආන්ඩුව විසින් යුද්ධයට තරුනයින් බඳවා ගැනීම අවසන් කිරීමත් සමග ම, නිමාවට පත් කෙරුනි. පසුකාලීන ව්‍යාජ වාම කන්ඩායම් බොහොමයක් පැන නැගුනේ මෙම මධ්‍යම පංතික කන්ඩායම් තුලිනි. අද පෙසප එවැනි කන්ඩායම්වල ස්ථාවරයන් අනුගමනය කරයි.
වීරසේකර, තම පක්ෂය නායකත්වය දෙන ව්‍යාජ වාම කන්ඩායම් විසින් ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට යුද්ධයට එරෙහි ව විරෝධතා පැවැත්වීම “යුද තර්ජනය පිලිබඳව ජනතාව දැනුවත් කිරීමේ” කොටසක් යයි සාධාරනීකරනය කලේය. අවම වශයෙන් කිවහොත්, එවැනි යැදීම් මගින් සිදුවන්නේ ජනතාවගේ “විඥානය” වර්ධනය කිරීම නොව, එය මොට්ට කිරීම සහ අධිරාජ්‍යවාදී බලවතුන්ට බලපෑම් කිරීම, යුද්ධය නැවැත්වීමට ඔවුන්ට ඒත්තු ගැන්වීමේ මාර්ගය ලෙස මාරාන්තික මිත්‍යාව වැපිරීමයි.
පසුගිය වසරේ සහ මෙම වසරේ මුල් භාගයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපීය රටවල ගාසා ජන සංහාරයට එරෙහි ව සිසුන් සහ කම්කරුවන් ඇතුලු අනෙකුත් කොටස් සහභාගී වූ දැවැන්ත ව්‍යාපාරයෙන් ලැබෙන පාඩම කුමක් ද? මෙම විරෝධතා කම්කරු පන්තියේ වඩාත් පුලුල් යුද විරෝධී ව්‍යාපාරයක් සහ විප්ලවවාදී අරගලයක් කරා පියවරක් විය. එක්සත් ජනපදයේ අපගේ සහෝදර පක්ෂය වන සසප අනතුරු ඇඟවූ පරිදි, මෙම ව්‍යාපාරය ඩිමොක්රටික් පක්ෂයෙන් බිඳී කම්කරු පන්තිය තුල මුල් බැස ගතයුතු විය. කුමන බලපෑම් දැමීමකින් වුවද අධිරාජ්‍යවාදීන්ට ඒත්තු ගැන්විය නොහැක.
මෙම ව්‍යාජ වාම කන්ඩායමේ දෘෂ්ටි ආස්ථානය තරයේ ම ජාතිකවාදී එකකි. එහි සිංහල වර්ගවාදය කැවී ඇත. මෙම සංවිධාන, ලෝක ධනවාදයට අවියෝජනීය ලෙස බැඳී ඇති ශ්‍රී ලංකාවේ ධනපති ක්‍රමය තුල පැන නගින සියලු ප්‍රශ්නවලට ජාතිකවාදී ‘විසඳුම්’ ඉදිරිපත් කරයි. ජාතිකවාදයේ පදනම මත පෙසප/යූත් ෆෝ චේන්ජ් ලෝක යුද්ධයට ග්‍රාම්‍ය ජාතිකවාදී විසඳුම් ඉදිරිපත් කරයි!
ව්‍යසනකාරී ලෝක යුද්ධයක් වැලැක්විය හැක්කේ, මේ යුගයේ මහා විප්ලවවාදී බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තියටයි. ව්‍යසනකාරී ලෝක යුද්ධයක් වැලැක්වීම සඳහා සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ සැබෑ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු යයි අප අවධාරනය කරන්නේ මේ නිසා ය. සෑම රටක ම සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට එල්ල වන ප්රහාරයන්ට එරෙහි ව කම්කරුවන්ගේ අරගලය ජාත්‍යන්තර යුද විරෝධි ව්‍යාපාරය ගොඩනැගීමේ මෙම අරගලය සමඟ ඒකාබද්ධ කල යුතු ය.
කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කරන පෙසප එවැනි ව්‍යාපාරයක් ගොඩනැගීමට විරුද්ධ ය. යුද්ධය පුපුරා යාමට වෛෂයික හේතුව ධනේශ්වර ක්‍රමය තුල ඇති ප්රතිවිරෝධතා තියුනු වීම බව මෙම ව්‍යාජ වාම කන්ඩායම ප්‍රතික්ෂේප කරයි. ඔවුන්ගේ ධනපති ගැති අපේක්ෂා කවරෙක් වුවත්, ධනේශ්වර ක්‍රමය තුල ඇති එම වෛෂයික ප්රතිවිරෝධතා ම, පලමු හා දෙවන ලෝක යුද්ධවලින් පසු අත්විඳින ලද අයුරින් කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල සඳහා කොන්දේසි නිර්මානය කරමින් පවතී.
මාක්ස්වාදීන් පදනම් වී ඇත්තේ ලොව පුරා දැන් දිග හැරෙමින් පවතින මෙම අනිවාර්ය වෛෂයික වර්ධනය මත ය. සමාජවාදී පිලිවෙත් මත පාදක වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර කමිටුව සහ එහි සසප ශාඛාවන් කැඳවුම් කරන්නේ මෙම පදනම මත ය. මෙය අරබයා 2016 දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව නිකුත් කල “යුද්ධයට එරෙහි ව සමාජවාදය සඳහා සටන” නම් වූ ඓතිහාසික ප්රකාශනය කියවන ලෙස අපි ඉල්ලමු.
වැඩෙන යුද විරෝධය, ඉන්දියානු-විරෝධී ජාතිකවාදී උද්ඝෝෂනය තුලට හැරවීමේ පෙසප වෑයම
වීරසේකර ශ්‍රී ලංකාවේ කම්කරුවන් සහ තරුනයන් අතර වැඩෙන යුද විරෝධය, පෙසප හි ඉන්දියානු-විරෝධී ස්වෝත්තමවාදී උද්ඝෝෂනය තුලට හැරවීමට වෑයම් කලේ ය. ඔහු පාලක ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව ඉන්දියාව සමග ආරක්ෂක සහ ආර්ථික ගිවිසුම්වලට එලඹීම යුද අන්තරාය තුලට ලංකාව ඇද දමා ඇති බවට චෝදනා කලේ ය.
පෙසප ජවිපෙට චෝදනා කරන්නේ එය ආරම්භයේ පටන් “ඉන්දියානු ව්‍යාප්තවාදයට” එරෙහි ව ගෙන ගිය සටන අත්හැර දැමීම “රට පාවා දීමක්” ලෙස ය. මෙම පක්ෂය, ජවිපෙ “ඉන්දියානු ව්‍යාප්තවාදයට” එරෙහි ව යයි ගෙනගිය ප්රතිගාමී උද්ඝෝෂනය අත්නොහරින බවට කරන ප්‍රකාශ ප්රතිගාමී ඒකීය ධනපති රාජ්‍යය රකින බවට දෙන සහතිකයකි.
ජවිපෙ/ජාජප ආන්ඩුව, චීනයට එරෙහි එක්සත් ජනපද මූලෝපායට ගැඹුරින් ම ඒකාග්ර වී සිටී. එක්සත් ජනපදයේ කලාපීය සහකරු වන ඉන්දියාව සමග ශ්‍රී ලංකාව එලැඹ සිටින ගිවිසුම් එකී මූලෝපායට සමිබන්ධිත ය. ට්‍රොට්ස්කි “නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය” මගින් පැහැදිලි කල පරිදි ධනේශ්වර වර්ධනය කල් පමා වූ ශ්‍රී ලංකාව වැනි රටවල පාලක පංතීන්ට ඒ හෝ මේ අධිරාජ්‍යවාදීන් පසුපස පෙල ගැසීම හැර, කවර හෝ ස්වාධීන ක්‍රියා කලාපයක් ඉටු කිරීමේ ලා ඓතිහාසික ව ශක්‍යතාවක් නොමැත.
පෙසප සහ යූත් ෆෝ චේන්ජ්, ජාමූඅ පිලිවෙත් වලට සහ ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයට කැප වී සිටින ජවිපෙ ප්රමුඛ ආන්ඩුව ආරක්ෂා කරති. පාලන තන්ත්රය, සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට අනුකම්පා විරහිත ව පහර දෙන තතු තුල, ඔවුන්ගේ කාර්යභාරය ආන්ඩුව “නිවැරදි මාවතකට” ගෙන යාම බව ඔවුහු පවසති. පාර්ලිමේන්තුවෙන් “පිටත බලය” සඳහා ඔවුන්ගේ ඝෝෂාකාරී ඉල්ලීම මෙම දේශපාලනයේ කොටසකි.
යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම කෙරෙහි මෙම කන්ඩායම් දක්වන විරෝධය, සමාජවාදී පිලිවෙත් මත කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන එනු වස්, ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි ව කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමට එරෙහි වන ඉහත පිලිවෙත්වල කොටසකි.
ශ්‍රී ලංකාවේ තරුන තරුනියන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ, යූත් ෆෝ චේන්ජ් සහ පෙසප ධනේශ්වර ගැති සහ වාර්ගික දේශපාලනය ප්‍රතික්ෂේප කරන ලෙසයි. එය, තරුනයින් සහ කම්කරුවන් දේශපාලනික ව නිරායුධ කර, ධනේශ්වර පාලනය සහ විනාශකාරී න්‍යෂ්ටික යුද්ධයක අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ කාර්යභාරය ඉටු කරයි.
තරුනයින් පෙල ගැසිය යුත්තේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන සටන වටා ය. ඔවුන්ගේ දෘෂ්ටිවාදය, ධනේශ්වර ගැති ව්‍යාජ වාමාංශිකවාදය නොව අද මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදය යි. කම්කරු පන්තිය දෙසට හැරී සමාජවාදය සඳහා සටන් කිරීමට “සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ” සංවිධානය සමඟ එක්වන්න.