ව්‍යාජ වමේ “යූත් ෆෝ චේන්ජ්”: අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව කම්කරු පන්තිය මෙහෙය වීමට විරුද්ධ ව, ධනපති ක්‍රමය තුල සාමය යදියි

දෙ වැනි කොටස

කොටස් තුනකින් පල කෙරෙන මෙම ලිපියේ පලමු කොටස ජූලි 22 වැනි දින පල කෙරුනු අතර තෙ වැනි සහ අවසන් කොටස ජූලි 24 වැනි දින පල කෙරෙනු ඇත.

***

පලමුවන ලෝක යුද්ධයේ සහ ඔක්තෝබර් විප්ලවයේ දී කම්කරු පන්තියට ලැබුනු තීරනාත්මක මූලෝපායික අත්දැකීම්

1917 -1917 රුසියානු විප්ලවය සමයේ ජනකායක් අමතන ලෙනින්

වීරසේකර සිය දේශනය පැවැත්වූයේ  “අධිරාජ්‍යවාදී යුද්ධය සහ 21 වන සියවසේ ඉදිරි අභියෝග” ගැනයි. ඔහුගේ උත්සුකය වූයේ මොන යම් හෝ මූලෝපායික පාඩමක් ගැන තැකීමක් නොවේ. කෙසේ වෙතත්, පලමු ලෝක යුද්ධයේ සහ ඔක්තෝබර් විප්ලවයේ මූලෝපායික අත්දැකීම් උකහා නොගෙන, කම්කරු පන්තියට, වර්ධනය වන අධිරාජ්‍යවාදී යුද්ධයට සහ එය කම්කරු පන්තිය ඉදිරියේ මතු කරන අභියෝගවලට එරෙහි ව සටන් කල නොහැක.

ලෙනින්ගේ සහ අනෙකුත් ප්‍රමුඛ මාක්ස්වාදීන්ගේ මූලිකත්වයෙන්, සමාජවාදී ජාත්‍යන්තරය (දෙවන ජාත්‍යන්තරය) 1912 දී බැස්ල් හි දී රැස් වී, අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයක තර්ජනය සහ එස්පීඩීයේ ස්ථාවරයත්, කම්කරු පන්තිය බලමුලු ගැන්වීමත් පිලිබඳ ව අනතුරු ඇඟවීමේ ප්‍රකාශනයක් නිකුත් කලේ ය. මෙය, ඉදිරියේ දී සිදු වීමට නියමිත යුද්ධයට එරෙහි ව මාක්ස්වාදීන්ගේ සූදානම් වීමේ අරගලය විය.

බැස්ල්  ප්‍රකාශනය ලෝක කම්කරු පංතියට මෙසේ කැඳවුම් කලේය: 

යුද්ධය ආසන්නවේ නම්, ජාත්‍යන්තර සමාජවාදී බියුරෝවේ අධාරය ඇතිව, අදාල රටවල කම්කරු පන්තිය සහ ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයන් යුද්ධයක් පුපුරා එම වැලැක්වීම සඳහා--මේ අරමුන සඳහා, ස්වාභාවික ව ම පන්ති අතර අරගලයේ තීව්‍රතාව අනුව සහ පොදු දේශපාලන කොන්දේසිවලට අනුව වෙනස් වනු ඇති අතිශයින් ඵලදායි යයි ඔවුන්ට [කම්කරු පන්තියට සහ ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයන්ට] පෙනී යන මාධ්‍යයන් යොදා ගනිමින්--ඔවුන්ට කලහැකි සියල්ල කල යුතු වේ. 

“එය නොතකා, යුද්ධයක්  පැන නගින්නේ නම්, එහි ඉක්මන් අවසානයකට ගෙන ඒම සඳහා ද, ධනපති පන්තිවල අධිකාරය බිම හෙලීම ඉක්මන් කිරීම සඳහා මහ ජනතාවන්ගේ නැගිටීමක් අවුලුවා ගැනීමට ආර්ථික සහ දේශපාලන අර්බුදය උපයෝගී කරගනු වස් සිය සකල බලවේග යොදා ගැනීම සඳහා ද මැදිහත් වීමට ඔවුහු බැඳී සිටිති.”

1914 අගෝස්තු මාසයේ දී පලමු ලෝක යුද්ධය පුපුරා ගිය විට, ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය ඇතුලු බොහෝ රටවල නිල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ විසින් මෙම වැඩපිලිවල සහ මූලධර්ම පාවා දෙන ලදී. ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවික් පක්ෂය හා අනෙක් රටවල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල සිටි, ජර්මනියේ කාල් ලිබ්නෙක්ට් හා රෝසා ලක්සම්බර්ග් වැනි මාක්ස්වාදීන් පමනක් යුද්ධයට විරුද්ධ වූ අතර රුසියාවේ කම්කරු පන්තිය එයට එරෙහි ව බලමුලු ගැන්වීමට සටන් කලහ.

ලෙනින් අධිරාජ්‍යවාදී රටවල කම්කරු පන්තිය අමතමින් මෙසේ ප්‍රකාශ කලේ ය. 

“යුද්ධය සතුරාට එරෙහි ව අන්ධ කෝපයක් අවුස්සමින් සිටී; ධනේශ්වරය ජනතාවගේ කෝපය එවැනි මාර්ගවලට යොමු කිරීමට ද, ප්‍රධාන සතුරා වන ආන්ඩුව සහ ඔවුන්ගේ ම රටේ පාලක පන්ති වලින් ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට ද උපරිම උත්සාහය දරමින් සිටියි. ... විප්ලවවාදී සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු වර්තමානයේ දුෂ්කර විය හැකි මුත්, එය කල හැකි ය. එය ලොව පුරා ඉදිරියට යමින් පවතින අතර, ගැලවීම ඇත්තේ මේ තුල පමනි.” (යුද්ධය සම්බන්ධයෙන් අභියාචනයක්, 1915).

රුසියාව දෙසට හැරෙමින්, අභියාචනය මෙසේ සඳහන් කලේය: 

“රුසියාව සාපරාධී යුද්ධයකට ඇද දමා ඇති සහ ජනතාව පීඩාවට පත් කරන සාර්වාදී රාජාන්ඩුව බිම හෙලනු! කම්කරුවන්ගේ ලෝක සහෝදරත්වය සහ නිර්ධන පංතියේ ජාත්‍යන්තර විප්ලවය දිගු කල් දිනේවා!” 

ලෙනින් මාක්ස්වාදයෙන් පලාගිය බ්‍රෂ්ටයන්ට එරෙහිවත්, අනෙකුත් රටවල විප්ලවවාදීන් බලමුලු ගැන්වීමටත් සටන් කලේය. ට්‍රොට්ස්කි ද ඒ හා සමාන කාර්යභාරයක් ඉටු කරමින් සිටියේය.

යුද්ධයට එරෙහි මෙම පිලිවෙත් ඔස්සේ, ලෙනින් සහ ට්‍රොට්ස්කි රුසියාවේ කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් කලහ; සොල්දාදුවන් සහ ගොවීන් පෙලගස්වා ගත්හ. 1917 දෙසැම්බර් 5 වන දින නාවිකයින්ගේ සම්මේලනයක් අමතමින් ලෙනින් මෙසේ පැවසීය: 

“කොල්ලකාගත් දේ සඳහා කොල්ලකරුවන් අතර ඇති වූ ගැටුම නිසා ඇති වූ යුද්ධයට එරෙහිව අපි අධිෂ්ඨානශීලී අරගලයක් ආරම්භ කර ඇත්තෙමු. …”

1918 මාර්තු 3 වන දින බ්‍රෙස්ට්-ලිටොව්ස්ක් සාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු රුසියාව නිල වශයෙන් යුද්ධයෙන් ඉවත් විය. සාම ගිවිසුමට අනුව රුසියාවට භූමි ප්‍රදේශ අත්හැරීමට සිදු වූ අතර, රුසියානු විප්ලවයේ ආනුභාවය නිසා 1918 ජර්මානු විප්ලවය පුපුරා යාමත් සමග අධිරාජ්‍යවාදී ආන්ඩුවට තම හමුදා ඉවත් කර ගැනීමට සිදුවිය.

ඔක්තෝබර් විප්ලවය මගින්, ධනේශ්වර ක්‍රමය තුල ප්‍රධාන විප්ලවවාදී බලවේගය කම්කරු පන්තිය බවට මාක්ස් ඉදිරිපත් කල ගුනාංගීකරනය සහ සමාජවාදයේ ශක්‍යතාවය සනාථ විය.

සියල්ලටත් වඩා, යුද්ධයට එරෙහි අරගලයේ සහ රුසියානු විප්ලවයේ ප්‍රධාන පාඩම වනුයේ, ධනේශ්වරයේ සෑම කන්ඩායමකින් ම ස්වාධීන ව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සහ විප්ලවවාදී නායකත්වයක් සැපයීම කල හැක්කේ මාක්ස්වාදී පක්ෂයක් ස්ථාපිත කිරීමෙන් පමනක් ම බවයි.

පෙසප කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කරයි. එය 1917 රුසියානු විප්ලවය හුදෙක් අතීත සිදුවීමක් ලෙස පමනක් සලකයි. 2022 ජුනි 03 වන දින යූටියුබ් නාලිකාවක් වන “මී මැස්සෝ” සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ පෙසප ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම්ගෙන්, පෙසප 1917 රුසියාවේ සිදු වූවාක් මෙන් බලය ලබා ගැනීමට උත්සාහ කරන්නේ දැයි විමසන ලදී. 1917 සිට බොහෝ දේ වෙනස් වී ඇති බවත් තම පක්ෂය “අද දවසේ සමාජවාදය” අනුගමනය කරන බවත් ගුනරත්නම් පැවසී ය.

2022 ජූනි 3 වැනි දින මී මැස්සෝ යූටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවක දී 1917 රුසියානු විප්ලවය කල් ඉකුත් ව ඇතැයි ප්‍රතික්ෂේප කරන කුමාර් ගුනරත්නම්

“අද දවසේ සමාජවාදය” යනු කුමක්දැයි ඔහු විස්තර කලේ නැත. ඔහුගේ පක්ෂය, මාක්ස් සහ එංගල්ස් විසින් අනුගමනය කරන ලද සහ ලෙනින් තම අරගලය තුල ඉදිරියට ගෙන ගිය විද්‍යාත්මක සමාජවාදය අනුගමනය නොකරන බව පැහැදිලි ය. මෙම පක්ෂය ධනවාදයට අනුගත වෙමින් සිටින විවිධ ව්‍යාජ-වාම කන්ඩායම් මෙන් ම, වේල පිරිමහ ගන්නා තත්කාර්යවාදී න්‍යායන් මත පදනම් වේ. 

වාමාංශිකයින් යැයි කියා ගන්නා නමුදු, ධනේශ්වර ප්‍රභූන් සඳහා න්‍යායන් සම්පාදනය කරන නයෝමි ක්ලයින්, යානිස් වරූෆාකිස් වැන්නවුන්ට සහ ටෙරී ඊගල්ටන් වැනි ශාස්ත්‍රාලිකයන්ට, ඔවුහු ප්‍රශංසා කරති.

පෙසප සම්බන්ධයෙන් ගත් කල, මෙම සාරසංග්‍රහවාදය ජනතා විමුක්ති පෙරමුනෙන් උරුම වූ මාඕවාදී-ස්ටැලින්වාදීවාදය සමඟ මිශ්‍ර වී ඇති අතර, එය “විප්ලවයේ” අදියර දෙකක් ගැන සඳහන් කරයි.—එනම්, පලමු ව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන ඉටු කිරීම සහ අනාගතයේ දී සමාජවාදය සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කිරීම යි.

දෙ වන ලෝක යුද්ධය සහ හිට්ලර් බලයට පත්වීම

පලමු ලෝක යුද්ධයෙන් පසු ධනවාදයේ අර්බුදය සහ ඇමරිකා එක්සත් ජනපදය ආර්ථික වශයෙන් ඉදිරියට පැමිනීම පිලිබඳ ව වීරසේකර කෙටියෙන් කරුනු ඉදිරිපත් කලේ ය. 1929 දී එක්සත් ජනපද කොටස් වෙලඳපොල බිඳවැටීම සහ 1930 ගනන්වල මහා අවපාතය ඇතිවිය. ඉන්පසු ඔහු මෙසේ පැවසුවේ ය.

“කඩා වැටුනු ජර්මනිය, නැවත නගා සිටුවීම සඳහා, ඒ හිස්තැන පුරවන්න ආවෙ හිට්ලර්. ...  ආර්ථික අර්බුදයට අවසානෙ උත්තරේ ඇවිත් තියෙන්නෙ එහෙම. … ෆැසිස්ට්වාදයට ගිහිල්ල තමයි අවසානෙ නතර උනෙ.” ඉන්පසු එම අධිරාජ්‍යවාදී බලවතුන් අතර දෙවන ලෝක යුද්ධය ඇති විය. 

එසේ කියාගෙන ගිය යූත් ෆෝ චේන්ජ් නායකයා, අධිරාජ්‍යවාදී බලවතුන්ට ලෝකය යලිත් වරක් බිහිසුනු මිනිස් සංහාරයකට හා දුක්ඛිත තත්ත්වයකට ඇද දැමීමට හැකි වූයේ කෙසේද සහ ව්‍යසනය වැලැක්වීමට කිසියම් හැකියාවක් තිබුනේ ද යන ප්‍රශ්නය පවා මතු කලේ නැත.

ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙලක් සහිත මධ්‍යස්ථානයකින් කොමියුනිස්ට් පක්ෂ මෙහෙයවමින් අදාල රටවල කොමියුනිස්ට් පක්ෂ සඳහා මූලෝපායන් සහ උපායන් වර්ධනය කිරීම සඳහා ලෙනින් සහ ට්‍රොට්ස්කි 1919 දී තුන්වන කොමියුනිස්ට් ජාත්‍යන්තරය පිහිටුවීම ගැන කතිකයා කිසිදු අවධානයක් දැක්වූයේ නැත.

සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදී නිලධරයේ මතුවීම හා පරිහානිය, රට හුදකලා වීමේ සන්දර්භය තුල “තනි රටක සමාජවාදය” පිලිබඳ ප්‍රතිගාමී න්‍යාය අනුගමනය කිරීම සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයට සහ එහි ශාඛාවන්වලට එහි බලපෑම පිලිබඳව පෙසප/යූත් ෆෝ චේන්ජ් කථිකයාට කිසිදු අදහසක් නොතිබුනි.

ස්ටැලින්, ලෝක ධනවාදයට අනුගත වීමේ සහ අනුග්‍රහය දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස, කොමියුනිස්ට් ජාත්‍යන්තරය සහ කොමියුනිස්ට් පක්ෂ මොස්කව් විදේශ ප්‍රතිපත්තියේ මෙවලම් ලෙස යොදා ගනිමින්, අදාල රටවල පාලන තන්ත්‍රයන්ට කම්කරුවන් යටත් කෙරුනි.

කොමියුනිස්ට් පක්ෂයේ සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (එස්ඩීපී) පාවා දීම් හේතුවෙන් හිට්ලර්ට බලයට පත් වීමට හැකි විය. චෝදනාව මුලික ව එල්ල විය යුතු වූයේ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාවාදීම්වලට එරෙහි ව සටන්කර, එහි ග්‍රහනයේ සිටි කම්කරුවන් දිනාගැනීමට පිහිටුවන ලද කොමියුනිස්ට් පක්ෂයටයි. විප්ලවවාදී ප්‍රතිපත්තියේ කොටසක් ලෙස, නාසීන්ට එරෙහි ව සටන් කරනු වස් කම්කරුවන් එක්සත් කිරීමේ උපායක් ලෙස එස්ඩීපීය සමඟ එක්සත් පෙරමුනක් ගොඩනැගීම, මොස්කව් හි සිට මෙහෙයවන ලද ජර්මානු කොමියුනිස්ට් පක්ෂය ප්‍රතික්ෂේප කලේ ය.  

හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමනය කිරීම, යුද වැදී සිටි අනෙකුත් බලවතුන්ට, එනම් එක්සත් රාජධානිය සහ ප්‍රංශයට වහා ම යුද්ධයට අවතීර්න වීමට මග පෑදී ය. මොස්කව්හි නිලධරයට නායකත්වය දුන් ස්ටැලින්, රුසියාවට විරුද්ධ ව හිට්ලර් යොමු වීම වැලැක්වීම සඳහා ගනන් බලමින් ඔහු සමග “සටන් නොකිරීමේ ගිවිසුමක්” ඇතිකර ගත්තේ ය. එය බිඳ දමා, ජර්මනියේ මූලික ඉලක්කය වූ සෝවියට් සංගමය ආක්‍රමනය කිරීමත් සමග, 1941 ජුනි මාසයේ මොස්කව් නිලධරය යුද්ධයට අවතීර්න වූයේ අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන් “ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර” ලෙස නම් කරමින් ඔවුන් සමග එක්වමිනි.

මෙම ස්ටැලින්වාදී සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාවා දීම්වලට එරෙහි ව, ලෝක සමාජවාදී විප්ලවයේ සහ විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමේ වැඩපිලිවෙල ඉදිරිපත් කරමින්, වාම විපාර්ශ්වය හරහා සහ පසු ව හතර වන ජාත්‍යන්තරය (හජා) පිහිටුවමින් සටනට නායකත්වය දුන්නේ ලියොන් ට්‍රොට්ස්කි විසිනි. එහි කොටසක් ලෙස, ට්‍රොට්ස්කි සහ හතරවන ජාත්‍යන්තරය, 1917 විප්ලවයේ ජයග්‍රහන ආරක්ෂා කිරීම සඳහා සෝවියට් සංගමය තුල දේශපාලන විප්ලවයක් ඉල්ලා සිටියේ ය.

ලියොන් ට්‍රොට්ස්කි රුසියානු විප්ලවයෙන් පසු සිවිල් යුද්ධයේදී රතු හමුදාවට නායකත්වය දුන්නේය

හජා එතෙකුදු ආරම්භක අවධියේ සිටි බැවින් සහ එය සතු ව මහජන විප්ලවවාදී පක්ෂ නොමැති වූ බැවින්, මතු වූ ලෝක අර්බුදය තුල සමාජවාදී විප්ලවය සඳහා සටන් කිරීමට එයට වෛෂයික ව අවස්තාවක් නොලැබුනි. නමුත් ලෝක සමාජවාදී විප්ලවය සඳහා වූ වැඩපිලිවෙල සඳහා එහි න්‍යායික හා දේශපාලන අරගලය මාක්ස්වාදයේ අඛන්ඩතාව ආරක්ෂා කලේය.

මාක්ස්වාදය, එනම් ට්‍රොට්ස්කිවාදය සඳහා වූ මෙම අරගලයේ අඛන්ඩතාව, 1953 දී පිහිටුවන ලද හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් ගෙනයන ලදී. හජාජාක පිහිටුවනු ලැබුවේ, හජා තුල මතු වූ, මයිකල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩෙල් විසින් නායකත්වය දුන් සංශෝධනවාදී ප්‍රවනතාවයෙන් වෙන් වීමෙන් පසු ව යි.

දෙවන ලෝක යුද්ධයේ සුන්බුන් මත, ස්ටැලින් සහ ඔහුගේ නිලධාරී තන්ත්‍රයේ සහාය ඇති ව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට එහි සාපේක්ෂ වසයෙන් ඉහල ආර්ථික බලය භාවිතා කරමින්, පශ්චාත් යුධ සමථයක් ස්ථාපිත කිරීමට හැකි වූ අතර, දශක අටක් තුල බිඳ වැටෙමින් ගිය එය, දැන් සුන්බුන් බවට පත් ව ඇත.

ධනවාදයට එහි ආවේනික ප්‍රතිවිරෝධතා ජය ගැනීමට නොහැකි විය. යලිත් වරක්, දශක ගනනාවක් පුරා වැඩුනු පද්ධතිමය අර්බුදය ඔඩු දුවා ඇත. පහත වැටෙන ලාභ අනුපාතය ආරක්ෂා කිරීමට ගත් නිර්දය හැරීම මධ්‍යයේ, ලෝක ධනවාදය, තාක්ෂනික විප්ලවය සහ නිෂ්පාදනයේ ගෝලීයකරනය ඇතුලු දැවැන්ත වෙනස්කම් වලට භාජනය විය.

තනි රටක සමාජවාදය යටතේ පිරිහුනු ස්ටැලින්වාදී නිලධාරිවාදී පාලනය, සිය පාවාදීම කූටප්‍රාප්තියට පත් කරමින්, 1991 දෙසැම්බර් මාසයේ දී සෝවියට් සංගමය විසුරුවා හැරියේ ය. එම වසරට පෙර සහ පසු ව අනෙකුත් ස්ටැලින්වාදීන් විසින් පාලනය කරන ලද රටවල බිඳ වැටීම සිදු විය. එහි මූලයේ වුයේ නිෂ්පාදනයේ ගෝලීයකරනය ඉදිරියේ ජාතිකවාදී වැඩපිලිවෙලවල් හි බිඳවැටීමයි. 

කලින් පැහැදිලි කල පරිදි, රුසියාවට එරෙහිව යුක්‍රේනය මගින් නේටෝ ව ගෙනයන යුද්ධය, ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරක ව්‍යාපාරයට වොෂින්ටනය සහාය දීම සහ ඉරානයට එරෙහි මෑත කාලීන ආක්‍රමනය නැගී එන ගෝලීය යුද්ධයේ අංගයන් වේ. එක්සත් ජනපදය සහ අනෙකුත් බලවතුන්ගේ ප්‍රධාන ඉලක්කය රුසියාව සහ චීනය යි. 

ධනවාදයේ මූලික ප්‍රතිවිරෝධතා තීව්‍ර වී ඇත. යුරෝපීය බලවතුන්, ප්‍රධාන වශයෙන් ජර්මනිය, යලි සන්නද්ධ කිරීම උත්සන්න කරමින් පවතී. ධනවාදයේ කේන්ද්‍රය වන ඇමරිකා එක්සත් ජනපදය පුපුරා යමින් පවතී. 1928 දී ට්‍රොට්ස්කි පැවසූ පරිදි: “අර්බුදකාරී කාල පරිච්ඡේදයේදී එක්සත් ජනපදයේ ආධිපත්‍යය උත්පාත කාල පරිච්ඡේදයට වඩා පරිපුර්නව, වඩාත් විවෘතව සහ වඩාත් නිර්දය ලෙස ක්‍රියාත්මක වනු ඇත.”

න්‍යෂ්ටික ව සන්නද්ධ අධිරාජ්‍යවාදී රටවල් සහ ප්‍රධාන බලවතුන් වන චීනය සහ රුසියාව අතර යුද්ධය ගෝලීය වහ්නිජාලාවක් බවට පත්වෙමින් මානව වර්ගයාට විනාශය ගෙන එනු ඇත.

Loading