ඩිමොක්‍රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමෙරිකා සාමාජික සොහ්රාන් මම්දානි, නිව් යෝක් නගරාධිපති ධුරය සඳහා පක්ෂ ප්‍රාථමික මැතිවරනය ජයගැනීමේ දේශපාලන ඇඟවුම්

ලෝක ධනවාදයේ මූල්‍ය මධ්‍යස්ථානය වන නිව් යෝර්ක්හි, ඩිමොක්‍රටික් නගරාධිපති අපේක්ෂකයා සඳහා ජූනි 25දා පැවැති ඩිමොක්‍රටික් ප්‍රථමික මැතිවරනයෙන්, ක්වීන්ස්හි ප්‍රාන්ත සභා මන්ත්‍රීවරයෙකු වන ඩිමොක්‍රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමෙරිකා (ඩීඑස්ඒ) ප්‍රමුඛ සාමාජික සොහ්රාන් මම්දානි ජය ගත්තේය.

ඔහු ජය ගත්තේ, ඇමෙරිකාවේ විශාලත ම නගරය මෙන් ම, බැංකු, දේපල වෙලඳාම් සමාගම් සහ මාධ්‍ය, සමූහ ව්‍යාපාර අතිමහත් බලයක් හිමි කරගෙන සිටින නිව්‍ යෝක්හිදී ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතය විසින් ඉදිරිපත් කර සිටි හිටපු ආන්ඩුකාරයෙකු වූ ඇන්ඩෲ කුඕමෝ අතිමහත් පරාජයකට ලක්කරමිනි. වෝල් වීදියේ සහ සංස්ථාපිත මාධ්‍යවල සහාය ලැබූ නමුත්, හිටපු නිව්‍ යෝර්ක් ආන්ඩුකාර ඡන්දදායකයින් විසින් තීරනාත්මක ලෙස ප්‍රතික්ෂේප කරන ලදි.

2025 අප්‍රේල් 23, නිව්‍ යෝර්ක්හි මෙඩ්ගාර් එවර්ස් විද්‍යාලයේ පැවති නිව්‍ යෝර්ක් නගරාධිපති අපේක්ෂක සංසදයේ දී ඇසූ ප්‍රශ්නයකට ප්‍රාන්ත සභා මන්ත්‍රී සොහ්රාන් මම්දානි පිලිතුරු දෙමින් [AP Photo/Frank Franklin II]

එලැඹෙන නිව්‍ යෝක් නගරාධිපති ධුරයට ඡන්ද විමසීමේ දී ඩීඑස්ඒ අපේක්ෂයා මම්දානිගේ ජයග්‍රහනය එක් පැත්තකින්, කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාරයකට ඉඳුරා ම සතුරු ව සිටින, ජැකොබින් සඟරාව ඇතුලු ව්‍යාජ වාම කන්ඩායම් හා පක්ෂවල උද්‍යෝගයට හේතු වී ඇත. අනෙක් පැත්තෙන්, එක්සත් ජනපද ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුලු රිපබ්ලිකන් පක්ෂ නායකයින්ගේ වර්ගවාදී තර්ජනවලට මම්දානි ලක් ව සිටියි. මේ කාරනා දෙක ම හේතුවෙන්, මම්දානිගේ මැතිවරන ජයග්‍රහනය, ලෝකය පුරා පන්ති සවිඤ්ඤානික කම්කරුවන්, තරුනයින් හා ශිෂ්‍යයින් විසින් අධ්‍යනය කලයුතු සංසිද්ධියක් ලෙස පවතී.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වන ඩිමොක්‍රටික් පක්ෂයේ අන්ඩක් වසයෙන් ක්‍රියාත්මක ව්‍යාජ වාම සංවිධානයක් වන, මම්දානිගේ ඩීඑස්ඒ සංවිධානයේ ප්‍රමුඛ රාජකාරිය වන්නේ, වාම අදහස් දරන කම්කරුවන් හා තරුනයින් ඩිමොක්‍රටික් පක්ෂයේ ග්‍රහනයට යටත් කරදීම යි. මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස්වල අවශ්‍යතා නියෝජන කරන ඩීඑස්ඒ, සියලු දෙනාට වෛද්‍ය පහසුකම්, රක්ෂනය යනාදී සුලු ප්‍රතිසංස්කරන සඳහා උද්ඝෝෂනය කරන අතර, ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමට හෝ කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගන්වන සමාජවාදී වැඩපිලිවෙලට ඉඳුරා ම සතුරු ය.

සිය මැතිවරන උද්ඝෝෂනයේ දී මම්දානි සීමිත සමාජ ප්‍රතිසංස්කරන මාලාවක් යෝජනා කලේ ය. මිලියන දෙකකට ආසන්න මහල් නිවාස සඳහා කුලිය වැඩි කිරීම අත්හිටුවීම, නොමිලේ බස් සේවාව සහ පොදු දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කිරීම ආදී ප්‍රතිසංස්කරන ඔහුගේ යෝජනා අතර විය. මේවා, ජනගහනයෙන් බහුතරයකට ජීවන වියදම් දරාගත නොහැකි මට්ටමක පවතින නගරයක මහජන සහාය ලබා ගැනීමේ දී තීරනාත්මක විය.

අනෙක් අතට, එක්සත් ජනපදයේ පූර්න පිටුබලය යටතේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ගෙනියන ලේවැකි සංහාරය සම්බන්ධයෙන් මම්දානිගේ සීමිත විවේචන, ඔහුගේ උද්ඝෝෂනය වෙත යුද විරෝධී මහජනයාගේ සහයෝගය ලැබීමට හේතු විය.

ජනාධිපති ජෝ බයිඩන්, 2024 අප්‍රේල් 22දා, නිව් යෝර්ක්හි නියෝජිත ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝටෙස් සහ සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් සමඟ [AP Photo/Manuel Balce Ceneta]


“වාම දෙඩවිලිකාර” ධනේශ්වර දේශපාලකයෙක් වන වර්මොන්ට් ඩිමොක්‍රටික් සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් හා ඩිමොක්‍රටික් පක්ෂයට “ප්‍රගතිශීලි” නැතහොත් “වාම” අයිසින් තැවරීමේ නිරත කාන්තා ඩිමොක්‍රටික් සභිකයෙකු වන ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් (ඒඕසී), මම්දානිගේ මැතිවරන උද්ඝෝෂනය අනුමත කලෝ ය. මේ රැවටිලිකාර දේශපාලකයන් දෙදෙනා, එක්සත් ජනපද ධනවාදය හා අධිරාජ්‍යවාදය මුලුමනින්ම ආරක්ෂ කිරීමට කැප ව සිටින අතරේ, සමාජ වෛරයෙන් දැවෙන ජනයා ඩිමොක්‍රටික් පක්ෂයේ, අත යටට ගාල් කිරීමේ ලා ප්‍රමුඛ කාර්යයක් ඉටු කරති.

ඔකාසියෝ-කෝර්ටෙස් සහ සෑන්ඩර්ස්, ධනේශ්වර කතිපයාධිකාරියට එරෙහි ව්‍යාජ විරුද්ධත්වයක් දක්වමින් ම, හිටපු ඩිමොක්‍රටික් ජනාධිපති “ජන සංහාරක ජෝ” බයිඩන් නගාසිටුවීමට ක්‍රියාකල අය අතර වූහ. ඔවුන් දෙදෙනා ම බයිඩන්ගේ ජන සංහාරයේ හවුල්කාරිය වූ කමලා හැරිස්ට (පසුගිය ජනාධිපතිවරනයේ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂිකාව) සහාය දක්වා තිබේ.

පසුගිය මාස කීපයේ දී ට්‍රම්ප් පරිපාලනය දියත් කල විෂකුරු ප්‍රහාරවලට එරෙහි ව නිව් යෝර්ක්හි පමනක් නොව, පොදුවේ රට පුරා ම වැඩෙමින් පවත්නා දැවැන්ත සමාජ කෝපය හා වෛරය මම්දානිගේ ජයග්‍රහනයෙන් පිලිබිඹු කෙරෙන බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) පෙන්වා දෙයි.

මම්දානිගේ මැතිවරන ප්‍රතිපලයෙන් ගම්‍ය වන විප්ලවවාදී ඇඟවුම් පෙන්වා දෙමින්, ලෝසවෙඅ කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත්, ජූනි 25දා සිය X ගිනුමේ මෙසේ ලීවේ ය:

“ඩිමොක්‍රටික් පක්ෂයේ රාමුව තුල ක්‍රියා කරන මම්දානිගේ බලපෑමක් නැති දුර්වල වැඩසටහන ඔවුන් බිය ගන්වන්නේ නැත. ඔහුගේ ජයග්‍රහනයෙන් හෙලි වන්නේ සමාජවාදය ඇමරිකානුවන්ට පිලිකුලක් නොවන බවත්, එය බොහෝ විට වඩාත් රැඩිකල් ස්වරූපයෙන් මහජන සහයෝගය ලබා ගැනීමට සමත් බවත් ය.”

ට්‍රම්ප්, “සියයට සියයක්ම කොමියුනිස්ට් උම්මතකයෙකු ලෙස” මම්දානිට ගර්හාත්මක ව චෝදනා කරමින් ප්‍රකාශයට පත් කරන්නේ පොදුවේ පාලක පන්තිය තුල, කොමියුනිස්ට් අවතාරය කෙරෙහි පවතින මාරක භීතිය යි. ඒ අතර ම, පාලක පන්තියේ කනස්සල්ල වැඩී ඇත්තේ, මම්දානිගේ ජයග්‍රහනයක් සමග ධනපති පාලනයට තර්ජනය කරමින් මහජනයා තුල ඇති විය හැකි අපේක්ෂාවන් හේතුවෙනි.

මෙම බියට සාධාරන හේතු තිබේ. එක්සත් ජනපදයේ අවශේෂ නගරවල මෙන්ම නිව්‍ යෝක් හි කම්කරු පන්තියේ ආර්ථික තත්වයන් පිරිහෙමින් පවතිනවා පමනක් නොව, මාස 20 ක් තිස්සේ ගාසා ජන සංහාරයට එරෙහි විරෝධතාවලින්, විශේෂයෙන් විශ්ව විද්‍යාල පරිශ්‍රයන්හි විරෝධතාවලින් නගරය පිරී ඉතිරී ගොස් ඇත. අනෙක් අතට, ට්‍රම්ප් පාලනය සංක්‍රමනික කම්කරුවන් එල්ල කරගෙන ආගමන හා රේගු බලාත්මක කිරීමේ (අයිසීඊ) නිලධාරීන් මෙහෙයවමින් සිදුකරන අනීතික පැහැරගැනීම්වලට එරෙහි දෛනික ව සියගනන් විරෝධතා දක්වමින් සිටිති. ජූනි 14දා ට්‍රම්ප්ගේ ඒකාධිපතිත්වයට එරෙහි ව රටපුරා පැවත්වුනු විරෝධතාවල කොටසක් ලෙස නිව්‍ යෝක්, මැන්හැටන්හි ලක්ෂ ගනනක් පෙලපාලි පැවත්වූහ.

මම්දානිගේ ජයග්‍රහනයෙන් පරල වූ ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පක්ෂයේ ෆැසිස්ට් නායකයින් ඔහුගේ “පුරවැසිභාවය අහෝසි කර” රටින් පිටුවහල් කරන බවට තර්ජනය කරමින් විෂකුරු වර්ගවාදී උද්ඝෝෂනයක් ඇරැඹුවෝ ය. 1991 දී උගන්ඩාවේදී උපත ලබා, වයස අවුරුදු හතේදී සිය දෙමාපියන් සමග නිව්‍ යෝක් නගරයට සංක්‍රමනය වූ මම්දානිට, 2018 වසරේ දී ඇමෙරිකානු පුරවැසිභාවය ලැබෙන විට, දශක දෙකක්ම ඇමෙරිකානු ආගමන ක්‍රියාවලියේ සැරිසැරීමට සිදු ව තිබිනි.

මම්දානිගේ මැතිවරන ජයග්‍රහනයට පසු දා ම (ජූනි 26), ට්‍රම්ප්ගේ නීතිපති පෑම් බොන්ඩි වෙත යවන ලද ලිපියක, ටෙනසිහි රිපබ්ලිකන් කොංග්‍රස් සභික ඇන්ඩි ඔගල්ස් අධිකරන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ “සොහ්රාන් ක්වාමේ මම්දානි ... හිතාමතා ම සාවද්‍ය තොරුතුරු ලබාදීමෙන් හෝ ත්‍රස්තවාදයට ද්‍රව්‍යමය සහයෝගය දී තිබීමේ කාරනය සඟවමින් එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගත්තා විය හැකිය යන පදනම් මත, ඔහු පුරවැසිභාවය අහෝසි කිරීමේ ක්‍රියාදාමයට යටත්ද නැත්ද යන්න ගැන විමර්ශනක් ආරම්භ කරන” ලෙසයි.

මම්දානිට එරෙහි මෙම විෂකුරු ප්‍රහාරවලට විරුද්ධ වෙනවා වෙනුවට, බොහෝ ඩිමොක්‍රටික් සභිකයෝ, මම්දානි ඉලක්ක කරගත් රිපබ්ලිකන් අවලාද ව්‍යාපාරයට උඩගෙඩි දෙමින් සිටිති. ඔහුගේ මැතිවරන ජයග්‍රහනයෙන් පසු, බ්‍රයන් ලෙහර් වැඩසටහනට සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, ඩිමොක්‍රටික් නිව් යෝර්ක් සෙනෙට් සභික කර්ස්ටන් ගිලිබ්‍රෑන්ඩ්, “ගෝලීය ඉන්ටිෆාඩා” (කැරැල්ල යන තේරුම දෙන අරාබි වචනය) යන යෙදුම හෙලා දැකීමට ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, මම්දානි “ගෝලීය ජිහාඩ්” (අරගලය) සඳහා සහාය දුන් බව ව්‍යාජ ලෙස ප්‍රකාශ කලා ය. යුදෙව්වන් ඝාතනය කිරීම උත්කර්ෂයට නංවන පුද්ගලයින් අපගේ ප්‍රජාවන් තුල භීතියක් ඇති කරන බැවින්, මෙය “ඉතා බරපතල කාරනයක්” බව ඇය තවදුරටත් පැවසුවා ය.

ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පක්ෂය සංක්‍රමනියකයන්ට එරෙහිව එල්ල කරන විෂකුරු ප්‍රහාර ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කාබාසිනියා කිරීම, දැවැන්ත කප්පාදු පියවරයන් සහ විදේශයන්හි යුද්ධ සඳහා කොන්දේසි විරහිත සහාය ලබා දෙන ඩිමොක්‍රටික් පක්ෂය, මම්දානිට එරෙහි ප්‍රහාරවල දී ඔහුගේ පැත්ත නොගැනීම පුදුමයක් ද නොවේ.

මේ අතර, මම්දානිගේ පරිපාලනයක ප්‍රධාන කාර්යය විය යුත්තේ, ඩිමොක්‍රටික් පක්ෂය ශක්තිමත් කරමින්, වෝල් වීදියට සහතික වීම සහ ධනේශ්වර රාජ්‍යය පරිපාලනය කිරීම යැයි ඩීඑස්ඒ සංවිධානයේ ජැකොබින් සඟරාව සහ අනෙකුත් ව්‍යාජ වාම සංවිධාන තර්ක කරති. ඔවුනතරින්, මේ කාරනය අන් සියල්ලන්ටමත් වඩා පැහැදිලි ව ප්‍රකාශ කරමින්, ඩීඑස්ඒ සංවිධානයේ හිටපු දීර්ඝකාලීන සාමාජිකයෙකු වන පීටර් ඩ්‍රයර්, “සොහ්රාන් මම්දානි නගරාධිපති ලෙස සාර්ථක වන්නේ කෙසේද” මැයෙන් ජැකොබින් සඟරාවට ජූනි 30දා ලියූ ලිපියක් කෙරෙහි ලෝසවෙඅ අවධානය යොමු කලේ ය.

“මැතිවරන දේශපාලනයේ විභවය කෙරෙහි තරුන ඡන්දදායකයින්ගේ විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීම” සහ “ඩිමොක්‍රටික් පක්ෂය සංගත හිතැති එකක සිට ... ජනතාවට මුල් තැන දෙන ප්‍රගතිශීලී පක්ෂයක් කරා ගෙනයාමට” උපකාර කිරීම මම්දානිගේ ශ්‍රේෂ්ඨත ම ජයග්‍රහනවලින් එකක් විය හැකි බව ඩ්‍රෙයර් ප්‍රකාශ කරන බව, ලෝසවෙඅ පෙන්වා දුන්නේ ය.

ධනේශ්වර කතිපයාධිකාරිය පිලිබඳ පුහු විවේචන යටින් ඇති මම්දානිගේ නියම ධනපති ගැති දේශපාලනය, මැතිවරයෙන් පසු ගෙවුනු සති කීපයක කෙටි කාලය තුල දැනටමත් පෙන්වා තිබේ. ලෝසවෙඅ ජූලි 19දා පල කල ලිපියකින් මම්දානි මෙම කාලය තුල, “බිලියනපතියන් ගැන වාචික විවේචකයෙකුගේ සිට, නිව්‍ යෝක් නගරයේ ව්‍යාපාරික ප්‍රභූව සහ ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයට ක්‍රියාශීලී ව ආලවට්ටකම් පෑම දක්වා මාරු වී තිබෙන” ආකාරය පෙන්වා දුන්නේ ය.

ලිපියට අනුව, ජූලි 15දා මම්දානි, ඌබර්, ෆයිසර්, රිලේටට් කෝස්., ලියෝව්ස් යනාදී මහා සංගතවලට අයත් විධායකයින් ද ඇතුලු මහාව්‍යාපාරවල නියෝජිතයන් සියයට වැඩි පිරිසක් සමග මහජනයාට වසන් වී සාකච්ඡාවක් පැවැත් වූවේ, ඔවුන්ට තම පක්ෂපාතිත්වය සපථ කිරීමට ය. එදින ම ඔහු, 200ක පමන තාක්ෂනික ක්ෂේත්‍රයේ ආයෝජකයින් සහ ව්‍යාපාර ප්‍රාග්ධන විධායකයින් සමඟ “සුහදශීලි” සාකච්ඡාවන්හි නිරත වී තිබේ. සමාජ ධනයෙන් ඉමහත් පංගුවක් සන්තක කරගනිමින්, අතිබහුතරයක් ජනයා දුප්පත්කමට හා කාලකන්නිභාවයට ඇද දැමීමේ මූලික ම කාර්යක් ඉටු කර ඇති මෙම මහා සංගතවලට ඔහුගේ සහතිකවීම, මම්දානි හා ඔහුගේ ඩීඑස්ඒ සංවිධානය සැබවින්ම සේවය කරන්නේ, බිලියනපතියන්ගේ අවශ්‍යතා සඳහාය යන්න මොනවට සනාථ කලේ ය.

එපමනක් නොව, මම්දානි විසින් පූර්වයෙන් තොරොම්බල් කල, “ගෝලීය ඉන්ටිෆාඩාවක්” පිලිබඳ සටන්පාඨය මින් මතු භාවිතා නොකිරීමට ද පොරොන්දු වෙමින්, ගාසා ජනසංහාරයට සහාය දෙන විවේචකයන් අස්වැසුවේ ය. තවද, ගාසා සංහාරයට එරෙහි විරෝධතා මර්දනය කිරීමේ දී සහ සංක්‍රමනික ප්‍රජාවන්ට එරෙහි ව මහා පරිමාන වැටලීම් සිදු කරන අයිසීඊ ෆැසිස්ට්වාදීන් ආරක්ෂා කිරීමේ දී මූලික කාර්යභාරයක් ඉටුකල, නිව් යෝක් සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ (එන්වයිපීඩී) මුදුනත තමන්ගේ විස්වාසවන්ත පුද්ගයෙකු තබා ගැනීම සඳහා, ජෙසිකා ටිෂ් එහි කොමසාරිස්වරිය ලෙස දිගට ම තබා ගැනීමට සලකා බලන බවට ද ඔහු පොරොන්දු විය.

ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතය මේ දක්වා ඔහුගේ අපේක්ෂකත්වය සම්පූර්නයෙන්ම වැලඳ ගැනීම ප්‍රතික්ෂේප කර ඇතත්, මම්දානි බදාදා උදෑසන ඔහුගේ ආයාචනය ඉදිරිපත් කිරීමට වොෂින්ටන් ඩීසී වෙත ගමන් කල අතර, ඔකාසියෝ කෝටෙස් සහ අනෙකුත් “ප්‍රගතිශීලී” ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් රැසක් සමඟ සංවිධානය කර තිබූ උදෑසන ආහාරයට සහභාගි විය. පසු ව ඔහු සිකුරාදා බෘක්ලින්හිදී මන්ත්‍රී මන්ඩල සුලුතර නායක හකීම් ජෙෆ්‍රිස් හමුවිය.

ලෝසවෙඅ පහත නිගමය ඉදිරිපත් කලේ ය: සැලකිය යුතු පීඩනයක් යෙදීම මගින් ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයට ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරනවල අතීත යුගයකට පෙරලා පැමිනෙන ලෙස බල කල හැකි යැයි මම්දානි සහ ඩීඑස්ඒ සංවිධානය සිදුකරන ප්‍රකාශ, ව්‍යසනය සඳහාවූ වට්ටෝරුවකි. පක්ෂ දෙකෙහිම ප්‍රතිපත්ති දැවැන්ත වෛෂයික අර්බුදයකින් මෙහෙයවනු ලබන අතර, දැවැන්ත නය බරක් හා ඕනෑම මොහොතක කඩාවැටිය හැකි කාඩ් කුට්ටමක් වැනි මූල්‍ය පද්ධතියක සිරවී තිබේ. පාලක පන්තිය හැරෙමින් ඇත්තේ සමාජ ප්‍රතිසංස්කරන කරා නොව, ෆැසිස්ට්වාදය සහ යුද්ධය දෙසට ය. ගාසා තීරයේ ජන සංහාරය නැවැත්වීමට දැරෙන පීඩනයට ඔවුන් දක්වන ප්‍රතිචාරයට වඩා වෙනස්වූ ප්‍රතිචාරයක්, සමානාත්මතාව සහ ජීවන වියදම දරාගැනීමේ තත්වයක් පවත්වා ගැනීම වෙනුවෙන් ලාභ කැප කරන්නැයි යෙදෙන පීඩනය සම්බන්ධයෙන් ධනපති පන්තිය නොදක්වනු ඇත .

“අසමානතාවයට සහ යුද්ධයට එරෙහිව වැඩෙන විරෝධය- මම්දානිට දෙන සහාය ලෙස විකෘති ආකාරයෙන් ප්‍රකාශයට පත්වූයේ මෙම විරෝධයයි- ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂයෙන් දේශපාලනිකව කැඩී වෙන්වීමක් බවටත්, දේශපාලන බලය තමන් වෙත ලබා ගැනීමට කම්කරු පන්තියේ සවිඥානික උත්සාහයක් බවටත් පරිවර්තනය කල යුතුය. මම්දානි සහ ඩීඑස්ඒ සංවිධානයේ කාර්යභාරය වන්නේ, මෙය සිදුවීමෙන් වැලැක්වීමයි.”

Loading