මෙය කොටස් තුනකින් පල කෙරෙන විශ්ලේෂනාත්මක ලිපියක පලමු කොටසයි. මෙහි දෙ වැනි සහ තෙ වැනි කොටස් ජූලි 23 සහ 24 වැනි දිනවල දී පල කෙරෙනු ඇත.
***
පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නායකත්වය දෙන ‘යූත් ෆෝ චේන්ජ්’ (වයිසී) සංවිධානය, ජුනි 18 වන දින, කොලඹ දී, “අධිරාජ්‍යවාදී යුද්ධය සහ 21 වන සියවසේ ඉදිරි අභියෝග” යන මැයෙන් සම්මන්ත්‍රනයක් පැවැත්වී ය. එහි දී පවත්වන ලද දේශනය දැන් යූටියුබ්හි පල කර ඇත.
දේශනය පවත්වන ලද්දේ යූත් ෆෝ චේන්ජ් සංවිධායක ලේකම් ලහිරු වීරසේකර විසිනි. වීරසේකර යනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රමුඛ නායකයෙකි. ව්‍යාජ-වාම පෙසපයේ දේශපාලන පිලිවෙත මත පදනම් වූ පැය දෙක හමාරකට ආසන්න දේශනය, වර්ධනය වන අධිරාජ්‍යවාදී යුද්ධයට විසඳුම ලෝක ධනේශ්වර ක්‍රමය තුල ම අපේක්ෂා කලේ ය. යුද්ධය වැලැක් වීමේ කාර්යය, “වර්ධනය වන යුද තත්ත්වය පිලිබඳව ජනතාව දැනුවත් කිරීම” සහ අනෙකුත් රටවල පීඩිතයන් සමඟ එක් ව අධිරාජ්‍යවාදීන්ට බලපෑම් කිරීම දක්වා පිරිහෙලන ලදී.
රැස්වීමේ මුලසුන දැරූ යූත් ෆෝ චේන්ජ් නායකයෙකු වන යසිත් චන්දිම, සියවසකට පෙර, ව්ලදිමීර් ලෙනින් ඔහුගේ “අධිරාජ්‍යවාදය - ධනවාදයේ ඉහල ම අවධිය” නම් ග්‍රන්ථයේ, ලෝකය බෙදා වෙන් කරගත් රටවල්, එය නැවත-බෙදාගැනීම සඳහා යුද්ධයකට අවතීර්න වී ඇති සැටි පැහැදිලි කල බව පැවසී ය. “දැන් අපි කුරිරු අධිරාජ්‍යවාදී යුද්ධයක් ඉදිරියේ සිටින්නෙමු,” යැයි ඔහු තවදුරටත් පැවසී ය.
චන්දිම, ලෙනින්ගේ මහාර්ඝ කෘතිය ගැන සඳහන් කල ද, පෙසපට හෝ යූත් ෆෝ චේන්ජ්ට, මාක්ස්වාදය සමඟ මොන ම ආකාරයක හෝ සම්බන්ධයක් නොමැත. ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙහි මූලාරම්භය පවත්නේ, මාඕවාදී සහ කැස්ත්‍රෝවාදී ගොවි ගරිල්ලාවාදයේ සහ සිංහල දේශප්‍රේමයේ විසකුරු මිශ්‍රනයක් මත පදනම් ව තම දේශපාලනය ආරම්භ කල ජනතා විමුක්ති පෙරමුන තුල ය. 2011 දී ජනතා විමුක්ති පෙරමුනෙන් බිඳී, 2012 දී පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුවා ගත් සාමාජිකයින් පිරිසක්, මව් පක්ෂයේ ධනේශ්වර ගැති සහ වාර්ගික දේශපාලනයේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන එම රැඩිකල් වාම වාක්‍ය ඛන්ඩවලින් ම සැරසී, එම දේශපාලනය ම දිගට ම කර ගෙන යති.
සම්මන්ත්‍රනය පැවැත්වුනේ, වොෂින්ටනයේ ආධාර අනුබලය ඇති ව, ඉරානයට එරෙහි ව ඊශ්‍රායලය සිදු කල ආක්‍රමනයේ සිට පස්වන දිනයේ දී ය. එක්සත් ජනපදය සෘජු ව ම යුද්ධයට සම්බන්ධ වී, එහි සිවිල් න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙලීමේ ආසන්න තර්ජනයකට ඉරානය මුහුන දී සිටියේ ය. මෙම ආක්‍රමනය, තෙල්වලින් පොහොසත් මැද පෙරදිග ආධිපත්‍යය සඳහා එක්සත් ජනපද ධාවනයේ කොටසක් වූ අතර, එය නැගී එන ලෝක යුද්ධයක් ඇඟවුම් කලේ ය.
ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වූ “ගැටුම” න්‍යෂ්ටික යුද්ධයකට තර්ජනය කරන බව වීරසේකර පැවසී ය. එය “ගැටුමක්…” යැයි පැවසීම අමූලික බොරුවකි. ඉරානයට පහරදීම ඇරඹුවේ ම ඊශ්‍රායලයයි. ඉරානය ඓතිහාසික වශයෙන් අර්ධ-යටත් විජිත රටකි. ඊශ්‍රායලය, වොෂින්ටනයේ මැද පෙරදිග නියෝජිතයා වේ. ඉරානයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලනයට කිසිදු සහයෝගයක් ලබා නොදෙන අතර ම, අධිරාජ්‍යවාදී ආක්‍රමනයෙන් ආරක්ෂා වීමට එරට සතු අයිතියට අපි සහාය දෙමු.
“පලමු හා දෙවන ලෝක යුද්ධවලට මුහුන දුන් ජනතාවට, දැන් තවත් ලෝක යුද්ධයක තර්ජනයක් පවතින” බව වීරසේකර පැවසී ය. “අපි ධනවාදී ලෝකයක” ජීවත් වන බව තමාට ම සහතික කර ගනිමින්, පලමු වන ලෝක යුද්ධය දෙසට ඇති වර්ධනයන් පැහැදිලි කිරීම දක්වා ඔහු ඉදිරියට ගියේය. “ධනවාදය ආරම්භ වුනේ පූර්න තරඟයක් ලෙස යි [ලිබරල් ධනවාදය], ... එය ඒකාධිකාරී ධනවාදයට මඟ පෑදුවා; එය මූල්‍ය ධනවාදයේ කතිපයාධිකාරයේ ආධිපත්‍යයට මඟ පෑදුවා. මෙය තමයි අධිරාජ්‍යවාදයේ පදනම.”
ඔහු තවදුරටත් මෙසේ පැවසී ය: “යම් රටක් ලෝක බලවතෙකු වීමට සිතන්නේ නම්, එය ලෝකය බෙදා ගැනීමේ යුද්ධයකට යා යුතුයි.” 1914-1918 පලමු ලෝක යුද්ධය පුපුරා යාම සිදු වුනේ කන්ඩායම් දෙකක් අතර ය—එකක් එක්සත් රාජධානිය සහ ප්‍රංශය විසින් මෙහෙයවන ලද අතර අනෙක ජර්මනිය විසින් මෙහෙයවන ලදී. යුද්ධය අතරතුර රුසියානු විප්ලවය සිදු විය. යුද්ධයෙන් පරාජයට පත් වූ ජර්මනියට යුද වන්දි ගෙවීමට සිදු විය, යයි ඔහු කියාගෙන ගියේ ය.
වීරසේකර අධිරාජ්‍යවාදයේ ඇතැම් අංග පැහැදිලි කල ද, ඔහුට, පලමු ලෝක යුද්ධය සරල සිදුවීමක් වූ අතර 1917 රුසියානු විප්ලවය යුද්ධය අතරතුර වූ සිද්ධියකි. යුද්ධයට මූලික හේතුව කුමක්දැයි පැහැදිලි කිරීමක් නොමැත. [පලමු ලෝක යුද්ධයෙන් පසු ව ඇති වූ අර්බුදය, දෙවන ලෝක යුද්ධය පුපුරා යාම, දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලපරිච්ඡේදය සහ ඉන් පසු ව ඇති වූ වර්ධනයන් කෙරෙහි ඔහුගේ ප්‍රවේශය ද එසේ ම විය. වීරසේකරගේ මෙම ස්ථාවරයන් අපි පසුව සලකා බලමු.]
වීරසේකරට අනුව, අධිරාජ්‍යවාදයේ මූලාරම්භය, ධනේශ්වර අර්බුදය සහ යුද්ධ සහ විප්ලව, පරිනාමීය වර්ධනයන්හි කොටසකි. අවසානයේ, කෙසේ වෙතත්, ධනවාදය ඉදිරියට ම යයි. මෙම ප්‍රවේශය පෙසප හි මාක්ස්වාද-විරෝධී විධික්‍රමය සහ ඓතිහාසික භෞතිකවාදය ප්‍රතික්ෂේප කිරීම වෙත යොමු වේ.
ඓතිහාසික භෞතිකවාදී ප්‍රවේශයකින් තොර ව, 20 වන සියවසේ දෙවන දශකය තුල කුරිරු ලෝක යුද්ධයක් ඇති වූයේ මන්ද, දශක තුනකට පමන පසු තවත් භයානක ලෝක යුද්ධයක් ඇති වූයේ මන්ද යන්න කෙනෙකුට සැබවින්ම තේරුම් ගත නොහැක. මාක්ස්වාදීන් අවධානය යොමු කරන්නේ මෙවැනි කරුනු කෙරෙහි ය: එවැනි විනාශකාරී ලෝක යුද්ධ වැලැක්වීම සඳහා කිසියම් අරගලයක් පැවතුනි ද? එසේ නම්, සිදු වූයේ කුමක් ද? රුසියාවේ ඔක්තෝබර් සමාජවාදී විප්ලවය ස්වයංසිද්ධ ව ජයග්‍රහනය කලා ද, නැතහොත් එහි ජයග්‍රහනය සූදානම් කල එකක් ද? මෙම ගැටලු පෙසප ට හෝ එහි තරුන අංශයට අදාල නොවේ.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ එහි සමාජවාදී සමානතා පක්ෂ (සසප) ශාඛාවන් තුල සංවිධානය වී සිටින අපි, මාක්ස්වාදය, එනම්, කම්කරු පන්තියට ඓතිහාසික ඉදිරිදර්ශනයක් සැපයිය හැකි එක ම දේශපාලන ප්‍රවාහය වන ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ අඛන්ඩතාව නියෝජනය කරමු.
ව්ලදිමීර් ලෙනින්ගේ ශ්‍රේෂ්ඨත ම මාක්ස්වාදී කෘතිවලින් එකක් වන,1916 ජනවාරි-ජූනි මාසවල දී රචනා කරන ලද ‘අධිරාජ්‍යවාදය: ධනවාදයේ ඉහලම අවධිය’ ග්‍රන්ථය, අධිරාජ්‍යවාදය යනු කුමක්ද යන්න පිලිබඳ හුදු විශ්ලේෂනාත්මක විවරනයක් නොවේ. එය ලියා ඇත්තේ, ලෝක යුද්ධය පුපුරා යාමෙන් වසර දෙකකට පසු ව සහ දෙවන ජාත්‍යන්තරයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල (එස්පීඩී) අවස්ථාවාදී ශාඛාවල අධිරාජ්‍යවාදයට අනුවර්තනය වීමට එරෙහි ව ගෙන ගිය ගිනියම් අරගලයක් තුල දී ය. ලෙනින් අධිරාජ්‍යවාදය පිලිබඳ මාක්ස්වාදී ආස්ථානයන් වර්ධනය කලේ, මූලික ව ම, දෙවන ජාත්‍යන්තරයේ ප්‍රධාන න්‍යායාචාර්යයෙකු ලෙස සැලකූ කාල් කෞට්ස්කි වැනි, මාක්ස්වාදයේ භ්‍රෂ්ටයින්ගේ ආස්ථානයන් කීතු කර දමමිනි.
ලෙනින්ගේ අරගලය, ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල ආරක්ෂා කිරීමේ අවියෝජනීය අංගයක් විය. තවද, එය 1917 දී රුසියානු විප්ලවය පුපුරා යාම සහ ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ජයග්‍රාහී කූටප්‍රාප්තිය සඳහා සූදානම් වීමක් ද විය.
ලෙනින්, අධිරාජ්‍යවාදය යනු “ධනවාදයේ ඉහලම අවධිය” ලෙස අර්ථ දැක්වීමෙන්, මාක්ස් ඔහුගේ ‘දේශපාලන ආර්ථික විද්‍යාවේ විචාරයට ප්‍රතිපදානයක්’ සහ ‘ප්‍රාග්ධනය’ යන කෘතිවල දී අනාවරනය කල නොයෙකුත් ප්‍රවනතා පිලිබඳ පැහැදිලි කිරීම්, ධනවාදයේ නව වර්ධනයන් තුල නිගමනයන් කරා ගෙන ගියේ ය.
මාක්ස් ඔහුගේ විචාරය තුල, ඓතිහාසික භෞතිකවාදී ප්‍රවිෂ්ටය හකුලුවා දක්වමින් මෙසේ පැවසීය:
“සංවර්ධනයේ යම් අවධියක දී, සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග, පවත්නා නිෂ්පාදන සබඳතා සමඟ... ඒවා මෙතෙක් ක්‍රියාත්මක වූ රාමුව තුල ඇති දේපල සම්බන්ධතා සමඟ ගැටුමකට එලැඹේ. මෙම සබඳතා, නිෂ්පාදන බලවේගවල සංවර්ධනයේ ආකාරයන්හි සිට ඒවායේ විලංගු බවට පත්වේ. ඉක්බිති ව ඇරඹෙන්නේ සමාජ විප්ලවයේ යුගය යි.”
ලෙනින් ඔහුගේ “අධිරාජ්‍යවාදය” කෘතිය තුල මෙම ප්‍රශ්නය මතු කලේ ය:
“ප්‍රශ්නය නම්: එක් පැත්තකින් නිෂ්පාදන බලවේග සංවර්ධනය කිරීම සහ ප්‍රාග්ධන සමුච්චය කිරීමත්, අනෙක් පැත්තෙන් යටත් විජිත සහ මූල්‍ය ප්‍රාග්ධනය සඳහා බලපෑම් ක්ෂේත්‍ර බෙදා ගැනීමත් අතර විෂමතාවය ජය ගැනීමට ධනවාදය යටතේ යුද්ධය හැර වෙනත් මාර්ගයක් තිබේ ද?”
ඔක්තෝබර් විප්ලවයේ දී ලෙනින්ගේ සම-නායකයා වූ ලියොන් ට්‍රොට්ස්කි, 1914 දී, ඔහුගේ යුද්ධය සහ ජාත්‍යන්තරය නම් කෘතියේ මෙසේ ලිවී ය:
“වර්තමාන යුද්ධය, පතුලින් ම, ජාතියේ සහ රාජ්‍යයේ දේශපාලන ස්වරූපයට එරෙහි ව නිෂ්පාදන බලවේගවල කැරැල්ලකි. එහි අර්ථය, ස්වාධීන ආර්ථික ඒකකයක් ලෙස ජාතික රාජ්‍යයේ බිඳවැටීමයි.” (පෙරවදන)
ඔහු මෙසේ ප්‍රකාශ කලේ ය:
“යුද්ධය යනු, ධනවාදය, එහි වර්ධනයේ උච්ඡස්ථානය් දී, සිය නොවිසඳිය හැකි ප්‍රතිඝතිතතා විසඳා ගැනීමට යොදා ගන්නා විධික්‍රමයයි. මීට එරෙහි ව, නිර්ධන පන්තිය තමන්ගේ විධික්‍රමය වන සමාජවාදී විප්ලවයේ විධික්‍රමය පිහිටුවිය යුත්තේය.” (එම)
පලමු ලෝක යුද්ධයේ වර්ධනයට ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන් ප්‍රවේශ වූයේත්, කම්කරු පන්තියේ නොවැලැක්විය හැකි විප්ලවවාදී නැගිටීමකට සූදානම් වූයේත් මේ ආකාරයටයි. පෙසප සහ එහි සංවිධාන ඓතිහාසික භෞතිකවාදය පිලිබඳ මාක්ස්වාදී සංකල්පය ප්‍රතික්ෂේප කරයි.
ලෝක ධනේශ්වර ක්‍රමයේ මූලික ප්‍රතිවිරෝධතා තේරුම් නොගෙන, යුද්ධය දෙසට වන වර්තමාන වර්ධනයන් තේරුම් ගත නොහැක. ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ ආක්‍රමනය හුදකලා වර්ධනයක් නොවේ. එය කම්කරු පන්තියේ සමාජ අයිතීන් විනාශ කරන අතරම, සුපිරි මිලිටරි බලය භාවිතා කරමින් තම ගෝලීය ආධිපත්‍යය යලි-තහවුරු කර ගැනීම සඳහා වූ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද ධාවනයේ කොටසකි. යුරෝපීය ධනවාදය තුල ද ඒ හා සමාන ප්‍රවනතා ක්‍රියාත්මක වේ.
“ඉරානයට එරෙහි යුද්ධය නතර කරනු!
” යන මැයෙන් වූ තම ප්‍රකාශය තුල ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ), එම රටට එරෙහි ආක්‍රමනයේ පතුලේ ම ඇති දේ පැහැදිලි කලේ ය.
“පලමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය මෙන් මෙම යුද්ධය ද පැන නගින්නේ ධනවාදයේ මූලික ප්‍රතිවිරෝධතාවලිනි: ගෝලීය වශයෙන් ඒකාබද්ධ ආර්ථිකයක් සහ යල් පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතිය අතරත්, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ නූතන ආර්ථික ජීවිතයේ සමාජ ස්වභාවය අතරත් ප්‍රතිවිරෝධතාවලිනි.”