[මෙය Muslim youth detained for nine months in Sri Lanka under draconian anti-terror law යන මැයෙන් 2025 ජූලි 17 පල කෙරුනු ලිපියේ පරිවර්තනය යි.]
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ මාස නවයක් අත්තනෝමතික ලෙස රඳවා ගෙන සිටි මුස්ලිම් තරුනයෙකු වන මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහයිල්ට, අවසානයේ දී, අඟහරුවාදා මහේස්ත්‍රාත් අධිකරනයක් විසින් ඇප ලබා දෙන ලදි. ඔහුගේ නඩුව පැහැදිලි ව ම හෙලිදරව් කරන්නේ, ලංකාවේ පිලිවෙලින් බලයට පත් ආන්ඩු සහ පොලිසිය විසින් දිගු කලක් තිස්සේ භාවිතා කරන ලද මර්දනකාරී ක්‍රමවේදයන් ය.
මාවනැල්ලේ පදිංචිකරුවෙකු වන, 21 හැවිරිදි සුහයිල් පසුගිය වසරේ දී අත්අඩංගුවට ගෙන තිබුනේ, ඊශ්‍රායල ධජයක් පාගා දමන ආකාරය දැක්වෙන ඉන්ස්ටග්‍රෑම් ඡායාරූපයක් පල කලේය යන චෝදනාව මතය.
කොලඹ සිට කිලෝමීටර් 100 ක් දුරින් පිහිටි මාවනැල්ලේ පදිංචි, ගුවන් සේවා පැදවීම හදාරන ශිෂ්‍යයෙකු වන 21 හැවිරිදි සුහයිල්, පසුගිය වසරේ ඔක්තෝබර් 23දා දෙහිවල දී මුලින්ම අත්අඩංගුවට ගෙන තිබුනි. ඔහු ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල බිත්තියක ඊශ්‍රායල විරෝධී ස්ටිකරයක් ඇලවූ බවත්, ජාතික හැඳුනුම්පත රැගෙන නොයෑම හේතුවෙන් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසා තිබේ.
ඔහුගේ පියා හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු සුහයිල් නිදහස් කල ද, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මාවනැල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී තරුනයා නැවත අත්අඩංගුවට ගැනුනි. පොලිසිය ඔහුට චෝදනා කලේ, ඊශ්‍රායල ධජය පාගා දමන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පල කල බවට යි.
ජූලි 9 වැනි දා, දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරනයට දැනුම් දුන්නේ, සුහයිල්ට එරෙහිව “කිසිදු සාක්ෂියක් හමු නොවූ” බවත් ඔහුට ඇප ලබා දීමට “විරුද්ධත්වයක් නොමැති” බවත් ය. සාක්ෂි නොමැති වුව ද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සුහයිල් මෙතරම් කාලයක් රඳවා ගෙන සිටියේ මන්දැයි මහේස්ත්‍රාත් හේමාලි හල්පන්දෙනිය ප්‍රශ්න කලා ය. පොලිසියට පිලිතුරක් තිබුනේ නැත.
කෙසේ වෙතත්, නීතිපතිවරයාගේ (ඒජී) අනුමැතියකින් තොර ව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලයක් නොමැති බව හාල්පන්දෙනිය පැහැදිලි කලා ය. පොලිසිය කියා සිටියේ, මැයි 27දා නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා සිටි නමුත් ප්‍රතිචාරයක් නොලැබුනු බවයි. පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා නීතිය ක්‍රියාත්මක කරන්නන් විසින් දක්වන තුච්ඡ නොසලකා හැරීම මෙයින් අවධාරනය කෙරෙයි.
අඟහරුවාදා සුහයිල් අධිකරනයේ පෙනී සිටි විට, ඔහු නිදහස් කෙරුනේ, රුපියල් 500,000ක පුද්ගලික ඇපයක් මත ය. පොලිසිය කිසිදු සාක්ෂියක් සොයා නොගත් බව පිලිගත්ත ද, සුහයිල්ට දිගට ම හිරිහැර හා බිය ගැන්වීම්වලට මුහුන දීමට සිදු වනු ඇති බවට උත්සුකතාවන් මතු කරමින්, නඩුව සැප්තැම්බර් 16දාට කල් තැබිනි.
මෙය, මාර්තු 22දා කොලඹදී ත්‍රස්ත මර්දන හා විමර්ශන අංශය (සීටීඅයිඩී) විසින් තවත් මුස්ලිම් තරුනයෙකු වන මොහොමඩ් රුස්ඩි අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදු වූ, ඒ සමාන දෙවන සිදු වීමයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රුස්ඩි අත්අඩංගුවට ගෙන රඳවා ගනු ලැබුවේ ද ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හෙලා දකින ස්ටිකර් ඇලවීමේ චෝදනාව මත ය. “ගාසා තීරයේ අහිංසක පලස්තීන සිවිල් වැසියන්ට ඊශ්‍රායලය විසින් සිදු කරන ලද ම්ලේච්ඡ ක්‍රියාවලට එරෙහි ව” සහ “වින්දිතයින්ගෙන් බහුතරය කාන්තාවන් සහ ලමුන් ය,” යනාදි වැකි ස්ටිකර්වල සඳහන් වූ බව වාර්තා විය.
අප්‍රේල් 7දා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරනය විසින් රුස්ඩිට ඇප ලබා දෙන දෙන විට, ඔහු සති දෙකක රැඳවුම් භාරයේ රඳවා ගෙන සිට තිබේ. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් සංවිධානවල පුලුල් හෙලා දැකීම්වලින් පසු ව ඔහු නිදහස් කිරීමට සිදු විය. ඔහුට එරෙහි චෝදනාවලට පැහැදිලි සාක්ෂි නැතත්, රුස්ඩි දැඩි ඇප කොන්දේසි යටතේ තබා ඇති අතර, සතිපතා සීටීඅයිඩී වෙත වාර්තා කිරීම, ඕනෑ ම පදිංචිය වෙනස් කිරීමක් පිලිබඳ අනිවාර්ය දැනුම් දීම සහ ආගමික හෝ ජාත්‍යන්තර සංචාර සඳහා පූර්ව අනුමැතිය ලබා ගැනීම යනාදිය මෙම කොන්දේසිවලට ඇතුලත් වේ.
ජූනි 12දා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (එච්ආර්සීඑස්එල්) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, රුස්ඩි රඳවා තබා ගැනීම, නීතිය ඉදිරියේ සමානාත්මතාවය, ජාතිය හෝ ආගම මත පදනම් වූ වෙනස්කම් කිරීම්වලින් නිදහස් වීම සහ නිර්දෝෂීභාවය පිලිබඳ පූර්ව නිගමනය ඇතුලු ඔහුගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවයි. එච්ආර්සීඑස්එල්, ඔහුගේ නඩුවට අදාල ව වාර්ගික වෙනස්කම් කිරීම් පිලිබඳ ව අවධාරනය කරමින් , “සීටීඅයිඩී විසින් 22 හැවිරිදි මුස්ලිම් පුරවැසියෙකු වන රුස්ඩි වාර්ගික වෙනස්කම්කිරීම්වලට යටත් කර ඇති” බව ප්‍රකාශ කලේය.
රුස්ඩි “රැඩිකල්කරනය” වී ඇති බවට ඉදිරිපත් කරන සාධක—ඔහු තම දෙමව්පියන්ගෙන් ඈත් ව සිටීම, පුද්ගලික අරගල අත්විඳීම සහ ගෝලීය සිදුවීම් කෙරෙහි කෝපය ප්‍රකාශ කිරීම වැනි දෑ—ඔහු මුස්ලිම් ජාතිකයෙකු නොවුනේ නම් ගැටලු සහගත ඒවා ලෙස නොසලකනු ඇතයි” එය තවදුරටත් සඳහන් කලේ ය.
ජූලි 15දා වන විට රුස්ඩිට රුපියල් 200,000 ක වන්දියක්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ගෙවිය යුතු බවට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිර්දේශ කලේ ය. පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ නිර්දේශ නවයක් ක්‍රියාත්මක කරන ලෙසත්, එම දිනය වන විට මෙම ක්‍රියාත්මක කිරීම්වල ප්‍රගතිය පිලිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් එය ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.
රුස්ඩිට වන්දි ලබා දෙන්නේ ද යන්න තහවුරු කිරීමට හෝ මානව හිමිකම් කොමිසමට නිල ප්‍රතිචාරයක් නිකුත් කිරීමට, ආන්ඩුව තවමත් කටයුතු කර නොමැත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ස්වාධීන එකක් ලෙස සලකනු ලැබුව ද, එහි සභාපති පත් කරනු ලබන්නේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථා මන්ඩලයේ නිර්දේශය මත, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසිනි. කොමිසමට එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නීතිමය බලයක් ඇත්තේ නැත.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අත්සන් කරන ලද රුස්ඩිගේ රැඳවුම් නියෝගය මාධ්‍ය වෙත කාන්දු වී අන්තර්ජාලය හරහා ප්‍රචාරය විය.
ජනාධිපති දිසානායක, පසු ව, නැගෙනහිර පලාතේ මුස්ලිම් බහුතරයක් වෙසෙන සමන්තුරෙයි හි පැවති ප්‍රාදේශීය මැතිවරන රැලියක් අතරතුර, රඳවා තබා ගැනීම සාධාරනීකරනය කලේය. යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා “විවිධ අන්තවාදී සංවිධානවල ප්‍රචාර” පතුරුවා හරින බවත්, “අපේ දරුවන් ඒවාට හසු වී ඇති” බවත්, “ස්වයං අභිප්‍රේරනය” වී ඇති බවත් ඔහු පැවසී ය. එසේම, තමා රුස්ඩිගේ දෙමාපියන් හමු වූ බව සහ ඔවුන්ගේ දරුවා “එම විනාශයෙන්” බේරා ගැනීම ගැන ඔවුන් “ස්තුතිතිවන්ත වූ” බව ද ඔහු පැවසී ය. ඇත්තට සිදුවූයේ, රුස්ඩිගේ දෙමාපියන් මානව හිමිකම් කොමිසමට පැමිනිල්ලක් ගොනු කිරීම යි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, ආරක්ෂක අමාත්‍යවරයා—දැන් එම ධූරය දරන ජනාධිපති දිසානායක—රඳවා ගැනීමේ නියෝග සඳහා පෞද්ගලික ව අවසර දිය යුතු ය.
මෙම ක්‍රියා මගින් අවධාරනය කෙරෙන්නේ, දිසානායක ආන්ඩුව එක්සත් ජනපදය සමඟ පෙලගැස්ම සහ ඊශ්‍රායලය සමඟ මිත්‍රශීලී සබඳතා පවත්වා ගැනීමට ඇති අභිප්‍රායයි. ශ්‍රී ලංකාව එක්සත් ජනපදය සමඟ සිය මිලිටරි සහයෝගීතාව දිගට ම ගෙන යන අතර, ඊශ්‍රායලය, මිලිටරි දෘඪාංගවල ප්‍රධාන සැපයුම්කරුවෙකු සහ ශ්‍රී ලාංකික සංක්‍රමනික කම්කරුවන් සඳහා ගමනාන්තයක් ලෙස පවතී.
පසුගිය මාසයේ ඊශ්‍රායලය ඉරානයට මිලිටරි ප්‍රහාරයක් දියත් කල අවස්ථාවේදීත්, එක්සත් ජනපදය ඉරාන සිවිල් න්‍යෂ්ටික ස්ථානවලට බෝම්බ හෙලූවිටත්, විදේශ අමාත්‍ය විජිත හේරත් රටක නමක්වත් සඳහන් නොකර, හුදෙක් “මැද පෙරදිග තත්වය සමනය කිරීම” සඳහා කැඳවුම් කරමින්, බෙලහීන, වාක්‍ය තුනක ප්‍රකාශයක් නිකුත් කලේ ය.
පසුගිය වසරේ මැතිවරන සමයේ දී, දිසානායක සහ ඔහුගේ පක්ෂය—ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ)—ප්‍රජාතන්ත්‍රවාදයේ කප්පිත්තන් ලෙස පෙනී සිටිමින්, සියලු ප්‍රජාවන්ට සමාන ලෙස සලකන බවට ද, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බවට ද පොරොන්දු විය. බලයට පත් වීමෙන් පසු එම පොරොන්දු අත්හැර දමන ලද අතර, ආන්ඩුව දැන් ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කරගත් “ඉස්ලාමීය ත්‍රස්තවාදය” පිලිබඳ ව සුපරීක්ෂාකාරී වන ලෙස පොලිසියට උපදෙස් දී තිබේ. මේ අතර, සිය ගනන් ඊශ්‍රායල සංචාරකයින් ශ්‍රී ලංකාවට දිගට ම පැමිනේ.
රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් අධිකරන අමාත්‍ය හර්ෂන නානායක්කාර ජුනි මාසයේ දී ප්‍රකාශ කලේ, “ප්‍රති-ත්‍රස්ත නීතියක් අත්‍යවශ්‍ය” බවත්, “ගෝලීය ත්‍රස්තවාදී අභියෝගවලට” මුහුන දීම සඳහා එය අවශ්‍ය බවත් ය. ආන්ඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවලංගු කිරීමට අදහස් කරන නමුත්, එය නව, පුලුල් ප්‍රති-ත්‍රස්ත නීති මගින් පුනස්ථාපනය කිරීමට අදහස් කරන බව ඔහු තවදුරටත් පැවසී ය.
අයිඑම්එෆ් විසින් පනවන ලද කප්පාදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වැඩෙන මහජන කෝපය මධ්‍යයේ, ආන්ඩුව පීටීඒ අවලංගු කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් නොනැවතී, පොලිස් බලතල පුලුල් කිරීමේ ද නිරත ව සිටී. පොලිස් නිලධාරීන් සංඛ්‍යාව වැඩි කරමින් පවතින අතර, හමුදාවන් වඩාත් දියුනු ආයුධවලින් සන්නද්ධ කරමින් පවතී. වඩ වඩාත් ඒකාධිපති පාලනයක් දෙසට එහි මාරු වීමට අනුකූල ව, දිසානායක ආන්ඩුව, කම්කරුවන්ට සහ සිසුන්ට හිරිහැර කිරීමට, බිය ගැන්වීමට සහ ශාරීරික ව පහර දීමට පොලිස් බලකායන් රැලිකර තිබේ.