ඉදිරිදර්ශන

ප්‍රජාශක්ති, ජවිපෙ/ජාජබ ආන්ඩුව ගැමි දුගී බව තුරන් කිරීමේ නමින් ගෙනෙන ඇස් බැන්දුමක්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහ අගමැතිනි හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ  “ප්‍රජාශක්ති” ව්‍යාපෘතිය ජූලි 4දා උත්සවාකාරයෙන් ආරම්භ කෙරුනි. එහි අරමුන, “ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උදාකර දීම” සහ ඔවුන් “ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කිරීම” මගින් “ග්‍රාමීය ජනතාවගේ දුගී බව තුරන් කිරීම” බව ජනාධිපති දිසානායක එහි දී පැවසී ය.

එහෙත්, එහි සැබෑ අරමුනක් වන්නේ, ඩොලර් බිලයන 3 ක ඇපකර නයක් ශ්‍රී ලංකාවට ලබාදීමේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (අයිඑම්එෆ්) විසින් නියමකර ඇති කප්පාදු වැඩපිලිවෙලේ කොටසක් ලෙස, ගම්බද ජනයා “අස්වැසුම” සහනාධාර ක්‍රමය යටතේ දැනට භුක්ති විදින සොච්චම් මුල්‍ය සහනය ද ක්‍රමානුකූල ව අතුගා දැමීම යි.

කලින් පැවති “සමෘද්ධි” සහනාධාරය  වෙනුවට, රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් 2023 මැයි මාසයේ දී “අස්වැසුම” හඳුන්වා දීමෙන් පසු, එම වසරේ ජූලි මාසයේ දී ඒ සඳහා  අයදුම් කල බහුතරයකට එය අහිමි විය. එම වසරේ මිලියන 3.3 අස්වැසුම සහනාධාරය අයදුම් කර තිබුන නමුත්, එය ලබාදීමට නිර්දේශ  කෙරුනේ මිලියන 1.2කට පමනි. ඊට එරෙහි ව දිවයින පුරා දසහස් ගනන් දුගී ජනයා  විරෝධතාව වල නිරත වූ තතු තුල, යලි අභියාචනා කැඳවා තවත් කීප දහසකට අස්වැසුම දීමට වික්‍රමසිංහ ආන්ඩුවට සිදු විය.  

2023 ජුනි 26 වැනි දින නුවරඑලියේ දී, අස්වැසුම සහනාධාර ගෙවීම් ඉල්ලා සිටිමින් විරෝධතා දක්වන කාන්තාවෝ [ඡායාරූපය: ෆේස්බුක්] [Photo by Facebook]

දරිද්‍රතාවේ වර්ධනය හේතුවෙන්, 2025 ජනවාරි වන විට අස්වැසුම ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ විසිහතරක් විය. ඔවුන් අතර දිලිඳු සහ අන්ත දිලිඳු  පවුල් සංඛ්‍යාව පිලිවෙලින් 960,000 සහ 480,000 ක් ද (දරිද්‍රතාවට වැටෙමින්) සංක්‍රාන්ති සහ අවදානම් අවධියේ පසුවන පවුල් සංඛ්‍යාව 480,000 ද වේ යැයි ආන්ඩුවේ සංඛ්‍යා ලේඛනවලින් ප්‍රකාශ වේ. 

ජවිපෙ/ජාජබ ආන්ඩුව අස්වැසුම සඳහා 2025 දී වෙන් කල මුදල, රුපියල් බිලියන 230 කි. පසුගිය මැතිවරනවල දී ඡන්දය ගසා කෑම අරමුනු කර ගෙන, දිලිඳු හා ආන්තික  දිලිඳු පවුල්වලට ගෙවූ මාසික දීමනාව, රුපියල් 8,500 සහ රුපියල් 15,000 සිට පිලිවෙලින් රුපියල් 10,000 සහ 17,000ක් ලෙස, 2025 ජනවාරි සිට ජූනි දක්වා ලබාදෙන බව නිවේදනය කෙරුනි. එහෙත් අවදානම් සහ සංක්‍රාන්ති පවුල් සඳහා රුපියල් 5,000ක මාසික අස්වැසුම දීමනාවන් වැඩිකලේ නැත. 

ජාමූඅ අවධාරනය වූයේ, “නොනිසි” අයට ද සහනාධාරය ලැබෙන නිසා “ඉලක්ක ගත” දරිද්‍ර කොටසට පමනක් එය ලැබෙන සේ සකස් කල යුතු බවයි.  ජාමූඅ වැඩපිලිවෙල අනුව ජවිපෙ/ජාජබ ආන්ඩුව සමාජ වියදම් තියුනු ලෙස කප්පාදු කිරීමට අවශ්‍ය තවත් ක්‍රම හා විධි සොයමින් සිටි. ජාමූඅ වචන ම යොදා ගනිමින් ජාජබ ආන්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ, “ඉලක්ක ගත ජන ප්‍රජාවකට සහානාධාර ලබා දීම” බව දිසානායක කීවේ ය. මෙහි සරල තේරුම, ආධාර අවශ්‍ය නොවේ යැයි ආන්ඩුව විසින් තීන්දු කෙරෙන කන්ඩායමක් ලැයිස්තුවෙන් කපා හැරෙන බවයි. 

දිසානායක මහජනයා කෙරෙහි අවඥා මුඛයෙන් සිය කතාවේ දී මෙසේ ද සඳහන් කලේ ය: “රජයෙන් යමක් ලබා දෙනවා නම් ලැබෙන සෑම දේම තමන්ටත් ලැබිය යුතුයි කියන මතය අපේ සමාජයේ තිබෙනවා. … කුමක් හෝ දෙනවා නම් ලබා ගැනීම සඳහා පොර බැදීමක් තිබෙනවා.” තමන්ට හිමිකමක් තිබෙනවා ද යන්නවත් සොයා නොබලා ක්‍රියා කරන බවට දුගීන්ට චෝදනා කල ඔහු, “ඉතාමත් ශක්තිමත් දත්ත පද්ධතියක් නිර්මානය කොට” නිසි අයුරු ක්‍රියාකරන බව කීවේ ය. 

 2022 දී ආර්ථික කඩාවැටීම නිසා විදේශ නය ගෙවීම නතර කෙරුනු නමුත්, ජවිපෙ/ජාජබ ආන්ඩුව 2028 සිට එම නය ආපසු ගෙවීම ඇරඹිය යුතු ය. සහනාධාර කප්පාදුව ක්‍රියාවට දැමෙන්නේ, ඒ සඳහා රාජ්‍ය වියදම් අවම කර භාන්ඩාගාරයට මුදල් පොම්ප කර ගැනීමේ එක් පියවරක් ලෙසයි. 2026 රාජ්‍ය අයවැය තුලින්, ආන්ඩුව අයිඑම්එෆ් අධීක්ෂනය යටතේ, මෙම කප්පාදු පියවරයන් තවත් ඉදිරියට ගෙන යාමට නියමිත ය.  

පසුගිය දසක හතර තුල අනුප්‍රාප්තික ධනපති ආන්ඩු, “ගැමි ජනයාගේ දුගීබව තුරන් කිරීම” සඳහා යැයි කියමින් විවිධ නම්වලින් සහනාධාර ක්‍රම කිහිපයක් 1989 සිට ක්‍රියාවට දැමුවේ ය. මෙම ආරම්භය සුවිශේෂී විය.

දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) මැඬීම සඳහා, 1983 පටන් දෙමල ජනයාට එරෙහි ව ඇරඹු යුද්ධයෙන් ජයවර්ධන ආන්ඩුව අර්බුදයට යාමත්, යුද්ධයේ බලපෑම නිසා දකුනු ඉන්දියාවේ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මානය වීමත් සමග, නව දිල්ලියේ ආන්ඩුව, 1987 ජුලි මාසයේ ඉන්දු-ලංකා ගිවිසුම මගින් ලංකාවේ උතුරු නැගෙනහිර පලාත්වලට හමුදා එවමින් මැදිහත් විය. එහි අරමුන වූයේ, දෙමල ප්‍රභුවට සීමිත බලය බෙදීමක් ලබාදෙන අතර, එල්ටීටීඊය නිරායුධ කිරීම යි. 

සිංහල වර්ගවාදය සිය දේශපාලන මතවාදයේ කොටසක් බවට පත් කර ගෙන සිටින ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), කොලඹ පාලන තන්ත්‍රය ඉන්දියාවට ශ්‍රී ලංකාව පාවා දී ඇතැයි මොර දෙමින් ෆැසිස්ට් කැරලි අරඹා, දේශපාලන විරුද්ධවාදීන්, කම්කරුවන් හා වෘත්තීය සමිති නායකයන් දහස් ගනනක් මරා දැමුවේ ය. ජනාධිපති ජේ.ආර් ජයවර්ධනගෙන් පසු, 1989 මුල දී එම පදවියට පත් ආර්. ප්‍රේමදාස, මාස කිහිපයකට පෙර සිට ජවිපෙ සමග රහසින් අරඹා තිබූ සබඳතා බිඳ දැමුවේ ය. 

ඊට හේතුව, ගම්බද තරුන නොසන්සුන්තාව තම දේශපාලනය සඳහා ජවිපෙ විසින් ගසා කා තිබූ තත්වය යටතේ, එය පාලනය කිරීමට ජවිපෙ නායකයන් අසමත් වීමයි. ආපසු හැරුනු ප්‍රේමදාස පාලනය, ජවිපෙට එරෙහි ව, විශේෂයෙන් එහි ගම්බද පදනම තලා දැමීමට උත්සන්න කරමින් මුදා හල, මිලිටරි-පොලිස්-මැර භීෂනයෙන් 60,000ක් පමන තරුන ජනයා ඝාතනය කලේ ය. 

ගම්බද තරුන කැරලිකාරිත්වය ගැන පාලක පන්තියේ කොටස් තැති ගෙන සිටියේ ය. ප්‍රේමදාස ආන්ඩුව, 1989 ඔක්තෝබරයේ ගැමි දුගීබව තුරන් කිරීමේ නමින් සුබසාධන වැඩපිලිවෙලක් ලෙස  “ජන සවිය” සහනාධාර වැඩපිලිවෙල දියත් කලේ එම තත්වය තුලයි. 

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග එම වැඩපිලිවෙල “සමෘද්ධි ව්‍යාපාරය” නමින් ඉදිරියට ගෙන ගිය අතර, 2015දී බලයට පත් මෛත්‍රිපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ ආන්ඩුව එය, “ග්‍රාම ශක්ති” නමින් පලිප්පු දමා, 2017 පටන් පුද්ගලික අංශයේ සමාගම් ගම්බදට මැදිහත් කිරීමේ වැඩපිලිවෙලක් ඉදිරිපත් කලේ ය.  දැන් “පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ, ජවිපෙ/ජාජබ ආන්ඩුව “ප්‍රජාශක්ති” නමින් අරඹන්නේ පසුගිය ආන්ඩු ගෙන ගිය වැඩපිලිවෙලේ ම දිගුවකි. 

තමන්ගේ වැඩපිලිවෙල අතීත ක්‍රියා මාර්ගවලට වෙනස් බව කියමින් ජනාධිපති දිසානායක, “ග්‍රාමීය ජනතාව මේ මොහොතේ නියැලෙන ක්ෂේත්‍රයන්හි ඵලදායිතාව ඉහල නංවා ලාභ ව්‍යාපාර බවට පත් කල යුතුයි” සඳහන් කලේ ය.

ප්‍රජාශක්ති ව්‍යාපෘතියේ මෙහෙයුම්කරු වන ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබල ගැන්වීම සහ සමාජ ආරක්ෂන ඇමති ආචාර්ය උපාලි පන්නිලගේ වෙනත් අවස්ථාවක දී වැඩේ සිදුවන්නේ කෙසේදැයි උදාහරන දෙමින් කතා කලේ ය. ලංකාවේ වර්ධනය වන සංචාරක කර්මාන්තයට ගම සම්බන්ධ කිරීම, ප්‍රදේශයේ කර්මාන්ත සහ ගමේ වැඩකටයුතුවල සම්බන්ධය ආදී ප්‍රශ්න සැලකිල්ලට යොමු කෙරෙන බව එහි දී පන්නිලගේ සඳහන් කලේ ය. එහි තේරුම, ධනපති ව්‍යාපාර සමග ගැමි ජනයා ගැට ගැසීම තවත් ව්‍යාප්ත කිරීමයි.  

පසුගිය දශක හතරේ ක්‍රියාවට දැමූ ගැමි දුගී බව තුරන් කිරීමේ වැඩපිලිවෙලේ අත්දැකීම කුමක් ද? ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදය තුල මෙම සොච්චම් මූල්‍ය සහනාධාර තුලින්, ගම්බද දුගී  ජනයාගේ දරිද්‍රතාව තුරන් කිරීමට ධනපති ආන්ඩු අසමත් ව ඇතිවා පමනක් නොව, එය වඩාත් ව්‍යසනකාරී පරිමාවකට පෘතුල වීමයි, සිදු ව ඇත්තේ. 2025 අප්‍රේල් ලෝක බැංකු වාර්තාවකට අනුව ලංකාවේ දරිද්‍රතාව, 2019 දී සියයට 11 සිට 2025 සියයට 25 දක්වා ඉහල නැගුනි. ශ්‍රී ලංකාවේ කුටුම්භවලින් ආසන්න වශයෙන් සියයට 60ක පමන ආදායම් අඩු වී ඇති අතර, බොහෝ දෙනෙක් ආහාර අනාරක්ෂිතභාවයට, මන්දපෝෂනයට සහ වර්ධනය අඩාල වීමට මුහුන දී සිටිති. 

ශ්‍රී ලංකාවේ කොලඹ පිහිටි තම පැල්පත් නිවාසය තුල පියෙකු සහ පුතෙකු ආහාර බුදිමින් [ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන] [AP Photo/Eranga Jayawardena]

ලංකාවේ ධනපති පංතිය බ්‍රිතාන්‍ය විජිතවාදී සූරා කෑමෙන් පසු, 1948 තමන් අතට බලය මාරු කර ගත් නමුත්, කිසිදු ආකාරයකින් කම්කරු පංතියේ හෝ පීඩිත ජනයාගේ එකදු ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජ ප්‍රශ්නයක්වත් විසඳීමට අසමත් විය. ලාභය සඳහා නිෂ්පාදනය පවත්වා ගෙන යන ධනපති ක්‍රමය තුල දරිද්‍රතාවට කිසිදු විසඳුමක් නැත. 

කොවිඩ් වසංගතය සහ අධිරාජ්‍යවාදී යුද්ධය විසින් තව තවත් ගැඹුරු කෙරෙන ලෝක ධනවාදයේ අර්බුදයේ බර, ධනපති පාලක පන්තීන් විසින් කම්කරු පන්තිය සහ පීඩිත ජනයා මතට පැටවීමේ ඍජු ප්‍රතිවිපාකයක් ලෙස, පැරනි යටත් විජිත ලෙස පැවති ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාව මෙන් ම, අධිරාජ්‍යවාදී රටවල් ද වෙලා ගත් ගෝලීය ව්‍යසනයක් බවට පත් ව තිබේ.

ලාභය සඳහා නිෂ්පාදනය ගෙනි යන ධනවාදය තුල දරිද්‍රතාවය සහ සමාජ අසමානතාව නෛසර්ගික ප්‍රවනතාවකි. පෘථිවි ගෝලයේ සකල සියලු සම්පත් මත ආධිපත්‍යය පවත්වා ගෙන යන ධනවාදය තුල, සමාජ අසමානතාවට විසඳුමක් නැත්තේ එබැවිනි. ධනවාදය කල් පසු වී වර්ධනය වූ ලංකාව බඳු රටවල ගොවි ජනතාව, ගෝලීය ව අධිකාරය දරන සංගතවල ගොදුරු බවට පත් ව ඇත. ගැමි ජනතාව සම්බන්ධයෙන් ගත් කල  බැංකු, කෘෂි හා ධීවර නිෂ්පාදනය සඳහා අවශ්‍යය යන්ත්‍ර සුත්‍ර සහ ආම්පන්න මෙන් ම, පොහොර හා රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන මහා සංගත තුලින් ධනපති ලාභය උරා බොමින් ග්‍රහනය තද කර ගෙන සිටී.    

ගම්බද දිලිඳුකම තුරන් කිරීම මෙම ග්‍රහනය බිඳීම සමග බැඳී ඇත. ලංකාවේ ගම්බද ජනයා වෙලා ගෙන තිබෙන, වඩ වඩාත් උග්‍ර වන නයගැතිකම, ධනපති සමාගම්, බැංකු සහ අතරමැදියන් විසින් සිදු කරන පෑගීම, විරැකියාව, ඉඩම් හිඟය, පසුගාමී තාක්ෂනය හා යටිතල පහසුකම් නැතිකම ආදී දහසකුත් එකක් ගැහැටවලින් සිදු ව ඇති පරිපීඩනය ධනවාදය තුල විසඳිය නොහැක. 

අර්බුදයක ගිලී පවතින ගෝලීය ධනපති ක්‍රමයට ලබාදිය හැකිවන්නේ, යුද්ධය සමාජ අසමානතාව, සමාජ හා ප්‍රජාතන්තවාදී අයිතීන් මඩිමින් ඒකාධිපති හා ෆැසිස්ට් පාලන ක්‍රමයන් පමනකි. 

ගොවින් හා ධීවරයන්ට ගෙවා ගත නොහැකි ලෙස ගොඩගැසී ඇති නය කපාහැරීම, නය පහසුකම් සැපයීම, අලෙවි පහසුකම්, ගොවිතැනට හා ධීවර කර්මාන්තය ඇතුලු ව්‍යවසායන් සඳහා බීජ, ආම්පන්න හා අනෙකුත් පහසුකම් සැපයීම්, යටිතල පහසුකම් පිරිවැඩියාව හා අවශ්‍ය සුබසාධන දීමනා ඇතුලු ඉල්ලීම ගම්බද දුගීන්ට තිබේ. 

ඒවා දිනා ගැනීමට කරන අරගලය, ධනපති ක්‍රමයට හා එය පවත්වාගෙන යන ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ඒජන්ත ආන්ඩුවට එරෙහි අරගලයකි. මෙම අරගලය, කම්කරු පංතිය තම අයිතීන් රැක ගැනීමට මෙම බලවේගවලට එරෙහි ව ගෙන යන අරගලය සමග බැඳී ඇත. 

ගම්බද ජනතාව සහ කම්කරුවන් මුහුන දෙන ප්‍රශ්න විසඳිය හැකි වන්නේ, අතලොස්සක් ධනපතියන්ගේ ලාභය සඳහා නොව, බහුතර මහජනයාගේ යහපත සඳහා ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනි. ඒ සඳහා කම්කරු පන්තිය අත දුගී ජනයාගේ සහායට ඉදිරිපත් විය යුතුය. ධනවත් ප්‍රභූ පැලැන්තිය අතින් නිෂ්පාදන හා බෙදා හැරීමේ මාධ්‍යවල පාලනය අල්ලා ගෙන, එම සම්පත් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කිරීම අවශ්‍ය වේ.

ගම්බද ජනයාට, තම අයිතීන් සඳහා අරගලය ගෙන යාමට, තමන්ගේ ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉල්ලා සිටී. කිසිදු ධනපති පක්ෂයක නියෝජිතයන් එම ක්‍රියාකාරී කමිටු තුලට වැද්ද නොගත යුතු ය. ඒවා වර්ධනය කලයුත්තේ ගම්බද දුගීන්ගේ අයිතීන් සඳහා සටන්කරන සංවිධාන ලෙසයි.  

කම්කරු පන්තියට සිය අයිතීන් සඳහා අරගලය කිරීමට, වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීන ව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අරගලයකට කැඳවුම් කර කර ඇති සසප, ධනවාදයට එරෙහි සිය අරගලයේ සහකරුවෙකු ලෙස ගම්බද ජනතාව කැඳවා ගැනීම අවශ්‍ය බව අවධාරනය කරයි.  

අප පක්ෂය යෝජනා කරන්නේ, ගම්බද ජනයාගේ සහ කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත්, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ  ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනගන ලෙසයි. කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ අයිතීන් සඳහා අරගලය දැන් එකට බැඳී ඇත. ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගූ කල්හි, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ අයිතීන් රැකගැනීමේ අරගලය කෙලෙස, කුමන පියවර මගින් සංවිධානය කරගත යුතුදැයි සාකච්ඡා කර තීන්දු තීරන ගත හැකිය. 

මහා සමාගම්, විශාල වතු, බැංකු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම ඔවුන්ගේ අයිතීන් විසඳීම සඳහා ගත යුතු මුලික පියවරයන් ය. එමෙන් ම, ධනපතියන් කඳු ගසා ගෙන සිටින ධනස්කන්ධයන් අත්පත් කර ගැනීම හා විදේශ මූල්‍ය මිනී මෝරුන්ට නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ අවශ්‍යතා සැපිරීමට මුලික පියවර ගැනීමට ඉඩ සලසයි. 

මෙම ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීම කල හැකිවන්නේ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙනි. ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගු විට මේ සඳහා අරගලය සංවිධානය කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. මෙම සටන, ජාත්‍යන්තර කම්කරුවන් සමග එක් ව සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසකි.  

Loading