[මෙය What’s behind the Trump-Powell clash මැයෙන් 2025 ජූලි 18 වැනි දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]
පොලී රේට්ටු පහල දැමීමට ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ෆෙඩරල් බැංකු (ෆෙඩ්) සභාපති ජෙරොම් පවෙල්ට එරෙහිව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දිගින් දිගටම එල්ල කරන පීඩනය තුල, රාජ්‍ය බලයේ සියලු ලීවරයන් තම අතේ සංකේන්ද්‍රනය කර ගැනීමට ට්‍රම්ප් විසින් දරන තවත් උත්සාහයකට වඩා වැඩි යමක් පවතී.
එය නිසැක ව ම සාධකයකි, නමුත් ක්‍රියාත්මක වන බලගතු ආර්ථික බලවේග ද තිබේ. ඒවා බැඳී ඇත්තේ, එක්සත් ජනපද රජයේ නය වැඩි වීම - එය දැන් ඩොලර් ට්‍රිලියන 36 ක් වන අතර තවත් ඉහල යමින් පවතී - සහ රජයේ වියදම්වලින් වඩ වඩාත් ඉහල කොටසක් අවශෝෂනය කර ගනිමින් ඉහල යන පොලී වාරිකය ද සමගිනි.
ට්‍රම්ප් පවෙල්ට එල්ල කරන ප්‍රහාරයට සහ මූල්‍ය සංස්ථාපිතයේ බලගතු කොටස්වලින්, ඔහුගේ නියෝග ක්‍රියාත්මක කරන ෆෙඩරල් සංචිත ප්‍රධානියෙකු පත් කිරීමට ඔහු තුල ඇති කැමැත්තට එරෙහි විරෝධයේ කේන්ද්‍රය වන්නේ, රජයේ නය සහ ඒවාට මුදල් සම්පාදනය කරගැනීම පිලිබඳ ප්‍රශ්නයයි. ෆෙඩරල් බැංකුවේ ස්වාධීනත්වය අහෝසි කලහොත් එක්සත් ජනපදයට ජාත්‍යන්තර මුදල් සැපයුම උවදුරේ වැටෙනු ඇතැයි ඔවුන්ගේ කනස්සල්ලයි.
වත්මන් සියයට 4.5 මට්ටමේ සිට සියයට 1 ක් දක්වා පොලී රේට්ටුව අඩුකරන ලෙස කෙරෙන ට්‍රම්ප්ගේ ඉල්ලීම, මූල්‍ය වෙලඳපොලවල තම සමපේක්ෂන මෙහෙයුම් සඳහා මුදල් යෙදවීමට නය භාවිතා කර ඇති මූල්‍ය කතිපයාධිකාරයේ ඉහල නයකාර කොටස්වලට ක්ෂනික ප්‍රතිලාභ අත්කර දෙනු ඇත.
එම සලකා බැලීම සාධකයක් වන නමුත්, එය කිසිසේත්ම එකම එක නොවේ. සංගත සහ සුපිරි ධනවතුන් සඳහා ස්ථිර ප්‍රධාන බදු කප්පාදු සිදු කරන ඔහුගේ ඊනියා 'විශාල, ලස්සන අයවැයට' අරමුදල් සම්පාදනය කරන්නේ රජයේ නය වර්ධනය මගිනි. ස්වාධීන විශ්ලේෂන ඇස්තමේන්තු වලට අනුව එය ඩොලර් ට්‍රිලියන 3.3 ක් තරම් යෝධ නය කන්දකි.
රජයේ නය සඳහා පොලී වාරිකය දැනටමත් ඩොලර් ට්‍රිලියන 1 ක් පමන වන අතර, පොලී රේට්ටු සාපේක්ෂව ඉහල මට්ටමක පවතින තාක් කල් එය තවත් ඉහල යනු ඇත. පවෙල්, රේට්ටු අඩු කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් අදහස් වන්නේ, එක්සත් ජනපදය තම නය සඳහා අධික මිලක් ගෙවන බවයි.
විශේෂයෙන් 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු, පසුගිය දශක එකහමාරක කාලය තුල එක්සත් ජනපදයේ නය ක්‍රමයෙන් ඉහල යමින් පවතී. නමුත් ෆෙඩරල් බැංකුව පොලී රේට්ටු අතිශය පහල මට්ටම්වල තබා ගත් නිසා, ඒ කාලයෙන් වැඩි කාලයක් පොලී වාරිකයක ගැන ගැටලුවක් ඇති නොවුනි. කෝවිඩ් වසංගතයේ උද්ධමනකාරී බලපෑමට ප්‍රතිචාර වශයෙන් 2022 දී ආරම්භ වූ රේට්ටු ඉහල දැමීම් වලින් පසුව එය වෙනස් විය.
පසුගිය වසරේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුල ෆෙඩරල් බැංකුව තම පොලී රේට්ටු සියයට 1කින් පහල දමා තිබුනත්, ට්‍රම්ප් සහ ඔහුගේ ආධාරකරුවන් සලකන්නේ, මෙය මුලුමනින්ම ප්‍රමානවත් නොවන බවයි. කෙටි කාලීන ව සැලකිය යුතු පොලී රේට්ටු කප්පාදුවක් නිසැක ව ම ඔවුන්ගේ සමස්ථ කොටස් ගොන්නට වාසි සලසමින්, මූල්‍ය හා තත්‍ය දේපල වෙලඳපොලවල්වල සමපේක්ෂකයින්ගේ තත්ත්වය පුම්බනු ඇත.
එක්සත් ජනපදයේ මන්දගාමී වර්ධනය හේතුවෙන් දිගුකාලීන සාධක ද ක්‍රියාත්මක වේ. එය තවමත්, සියයට 2ක ප්‍රතිශතයේ හෝ ඇතම් පුරෝකථන අනුව ඊටත් අඩු පොලී රේට්ටුවක් පවතින අනෙකුත් බොහෝ රටවලට වඩා තාමත් වැඩි වුව ද, පොලී රේට්ටුව සියයට 4.5 ක් පමන වන විට, එක්සත් ජනපදයේ මන්දගාමී වර්ධනය, නය සඳහා මුදල් යෙදවීමේදී ඇති ගැටලු පෙන්නුම් කරයි.
2017 දී ඔහු විසින් පත් කරනු ලැබුව ද, ට්‍රම්ප් ඔහුගේ පලමු ධූර කාලය තුල, ඔහු ධුරයෙන් ඉවත්ව සිටි කාලය තුල සහ වඩාත් ඝෝෂාකාරී ලෙස ඔහුගේ දෙවන ධූර කාලයේ අර්ධ වසර තුල, වසර ගනනාවක් තිස්සේ පවෙල්ට පහර දෙමින් සිටී.
තවත් දේවල් අතරින් 'මෝඩයෙක්' 'අමනයෙන් ' සහ 'ගෝතයෙක්' යනාදී ලෙස පවෙල් හංවඩු ගසා තිබෙන ට්‍රම්ප්, 2026 මැයි මස ඔහුගේ ධුර කාලය අවසන් වීමට පෙර ඔහු ධුරයෙන් පන්නා දමන බවට තර්ජනය කර ඇත. ට්‍රම්ප්, පවෙල් නෙරපා හැරීමට තර්ජනය කල සෑම අවසථාවක ම එය ක්‍රියාවට නැගුවේ නැති නමුත්,මස්කට්ටට එන සුනඛයෙක් මෙන් ඒ කාරනයට නැවත නැවත පෙරලා පැමිනෙයි.
මේ සතියේ ඔහුගේ නවතම පරලවීමෙන් හෙලි වූයේ, පවෙල් ධුරයෙන් පහ කිරීමේ අදහස තවමත් ඔහුගේ මනසෙහි පවතින බවත්, එය ක්‍රියාත්මක කල හැකි යාන්ත්‍රනයක් සැකසීමේ හැකියාව වඩාත් ඉදිරියට ගෙන ගොස් ඇති බවත් ය.
ධවල මන්දිරයේ පැවති රැස්වීමක දී, ක්‍රිප්ටෝ නීති සම්පාදනය සඳහා සහාය අපේක්ෂා කරන රිපබ්ලිකන් නීති සම්පාදකයින් සමඟ, ට්‍රම්ප් පවෙල් සේවයෙන් පහ කල යුතුද යන්න මතු කලේ ය. එම අදහසට තමන්ගේ එකඟතාව ඔවුහු ප්‍රකාශයට පත් කලහ. .
ඔවුන්ගෙන් එක් අයෙකු වන ෆ්ලොරිඩාවේ කාන්තා කොංග්‍රස් සභිකයෙකු වන ඇනා පෝලිනා ලූනා, අඟහරුවාදා සවස රැස්වීමෙන් පිට ව ගියේ, පවෙල් සේවයෙන් ඉවත් කරන බවත්, මෙය “ඉතා ආසන්න” බවත්, මෙම පනිවුඩය “ඉතා බැරෑරුම් මූලාශ්‍රයකින්” ලැබුනු බවත්, X හි සටහනක් තැබීමට ය.
මෙය මූල්‍ය වෙලඳපොලවල යම් කැලඹීමක් ඇති කිරීමෙන් පසු, ඕවල් කාර්යාලයේ (එජ ජනාධිපතිගේ නිල කාර්යාලය) සිට “අපි කිසිවක් කිරීමට සැලසුම් නොකරමු” යැයි ප්‍රකාශ කිරීමට ට්‍රම්ප්ට බලකෙරුනු අතර, එහෙත් “ඔහුව සේවයෙන් පහ කිරීමේ අදහස පිලිබඳව” සාකච්ඡා කල බව ඔහු පිලිගත්තේ ය.
“මම කිසිවක් බැහැර කරන්නේ නැහැ, නමුත් මම හිතන්නේ එය බොහෝ දුරට ඉඩක් නැහැ, වංචාවක් නිසා ඔහුට ඉවත්ව යාමට සිදුවුවහොත් මිසක්,” ඔහු වාර්තාකරුවන්ට පැවසී ය.
ෆෙඩරල් බැංකු ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරනය කිරීම සඳහා වන මූලික පිරිවැය අඩුම ගානේ ඩොලර් බිලියන 2.5ද ඉක්මවා යන බවට දැන් ඇස්තමේන්තු කර ඇති තත්වයක් තුල ඔහුව ඉවත් කල හැකි බවට ට්‍රම්ප් යෝජනා කලේ ය--- දැනට ට්‍රම්ප්ට ඇති එකම නීතිමය විකල්පය ලෙස දිස්වන්නේ මෙයයි.
ප්‍රතිසංස්කරන වියදම් ඇස්තමේන්තු මුදලද ඉක්මවා ගොස් තිබීම සේවයෙන් පහ කල හැකි තරමේ වරදක් දැයි විමසූ විට, ට්‍රම්ප්ගේ පිලිතුර වූයේ, “මම හිතන්නේ ඒක ඒ වගේ කාරනයක් තමයි” යන්න යි.
පවෙල් නෙරපා හැරීමට රිපබ්ලිකන් පක්ෂයේ ට්‍රම්ප්ගේ සහචරයින් අතර සැලකිය යුතු සහයෝගයක් පවතින අතර, ඔවුන්ගෙන් සමහරෙක් ඔහු ඉවත් කිරීම සඳහා පදනම් කරගත හැකි කාරනයක් ලෙස ෆෙඩරල් බැංකු ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධ කාරනය ඉදිරිපත් කර ඇත. එහෙත්, ට්‍රම්ප්ගේ මෙහෙයුම, මූල්‍ය සංස්ථාපිතයේ ප්‍රමුඛ පුද්ගලයින්ගේ විරෝධයට මුහුන දී තිබේ.
ඔවුන්ගේ උත්සුකතාව වන්නේ, පවෙල් ෆෙඩ් සභාපති ධුරයෙන් ඉවත් කිරීම ඩොලරය, මූල්‍ය වෙලඳපොලවල් අස්ථාවර කරමින්, එක්සත් ජනපදයේ මූල්‍ය ආධිපත්‍යය අඩපන කරනු ඇතැයි යන්නයි. පවෙල් ධුරයේ දිගට ම සිටියත්, ඔවුන්ගේ උත්සුකයන් පවෙල්ගේ ප්‍රශ්නය ඉක්මවා යයි, මන්දයත්, ඔහුගේ අනුප්‍රාප්තිකයා පොලී රේට්ටු කප්පාදුවලට එකඟ විය යුතු බවට ට්‍රම්ප් පැහැදිලිව ම සඳහන් කර ඇති බැවිනි. තතු එසේ වෙද්දී, ෆෙඩරල් බැංකුවේ ස්වාධීනත්වයට ඇති සහතිකය කුමක්ද?
බැංකුකරුවන්ගේ ප්‍රතිචාරය, අඟහරුවාදා බැංකු විශ්ලේෂකයින් සමඟ පැවති සම්මන්ත්‍රනයකදී, ජේපී මෝගන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජැමී ඩිමොන් විසින් මුල පිරුවේ ය.
'ෆෙඩරල් බැංකුවේ ස්වාධීනත්වය ---වත්මන් ෆෙඩරල් බැංකු සභාපතිවරයාට පමනක් නොව... ඊලඟ ෆෙඩරල් බැංකු සභාපතිවරයාට ද-- අතිශයින්ම වැදගත්” බව ඩිමොන් කීවේ ය. .
“ෆෙඩරල් බැංකුව සමඟ සෙල්ලම් කිරීම බොහෝ විට අහිතකර ප්‍රතිවිපාක ඇති කල හැකිය- ඔබ බලාපොරොත්තු වන දේට සම්පූර්නයෙන්ම ප්‍රතිවිරුද්ධ දෙය විය හැකිය.”
ඩිමොන් වැඩිදුර විස්තර නොකලත්, පසු ව අදහස් දැක් වූ අනෙකුත් මූල්‍ය ප්‍රධානීහූ එසේ කලහ. ඔවුන්ගේ උත්සුකයන් සංකේන්ද්‍රනය වූයේ, එක්සත් ජනපදයේ සහ එහි මූල්‍ය පද්ධතියේ ගෝලීය තත්ත්වය කෙරෙහි ය.
ඇමරිකා එක්සත් ජනපදයට කෙලවරක් නැතයි පෙනෙන සේ නය ප්‍රමානය වැඩි කර ගැනීමට හැකි වී ඇති එක් හේතුවක් නම්, ලෝකයේ සෙසු රටවලින් ඒ වෙත මුදල් ගලා ඒමයි.
නමුත් ෆෙඩරල් බැංකුවේ ස්වාධීනත්වය පිලිබඳ විශ්වාසය බිඳ වැටී, තීරුබදු සම්බන්ධයෙන් ගත් තීරන වලට සමාන තීරනවලට මූල්‍ය පද්ධතිය යටත් වුවහොත්, එම මුදල් ගලා ඒම සැලකිය යුතු ලෙස මන්දගාමී විය හැකි අතර, එය ඩිමොන් සඳහන් කල, “අහිතකර ප්‍රතිවිපාක” වලට හේතු විය හැක.
ව්‍යාපාරික විත්ති පිලිබඳ නාලිකාවක් වන සීඑන්බීසී සමග සම්මුඛ සාකච්ඡාවකට එක්‌වෙමින් ගෝල්ඩ්මන් සැක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් සොලමන් මෙසේ පැවසීය: “මම හිතන්නේ එක්සත් ජනපදයේ පමනක් නොව ලොව පුරා මහ බැංකුවල ස්වාධීනත්වය අපට ඇදහිය නොහැකි තරම් හොඳින් සේවය කර තිබෙනවා.”
“අපි විසින් ආරක්ෂා කර ගැනීමට සටන් කල යුතු” දෙයකි, එය.
“එහි විස්වාසනීයත්ව ගලා එන්නේ, ෆෙඩරල් බැංකුවේ ස්වාධීනත්වයෙනි” සිටිගෲප් හි ජේන් ෆ්‍රේසර් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කලා ය. “එය, අපගේ ප්‍රාග්ධන වෙලඳපොලවල ඵලදායීතාවයට සහ එක්සත් ජනපද තරඟකාරිත්වයට ඉතා වැදගත්.”
සීඑන්බීසී වෙත අදහස් දක්වමින් ඇමරිකානු බැංකුවේ ප්‍රධානී බ්‍රයන් මොයිනිහාන් කීවේ, එක්සත් ජනපද ආර්ථිකයේ ප්‍රමානය, එහි දැවැන්ත නය සහ ගෝලීය වෙලඳාමේ එහි භූමිකාව නිසා ෆෙඩරල් බැංකුවේ ස්ථාවරත්වය, එක්සත් ජනපදයට පමනක් නොව මුලු ලෝකයට ම තීරනාත්මක සාධයක් බවට පත් කර ඇති බවයි..
සම්මන්ත්‍රනයට සම්බන්ධ වූ බැංකු හතර, ඩොලර් ට්‍රිලියන 12 ක වත්කම් පාලනය කරයි.
හෙජ් අරමුදල් සහ අනෙකුත් මූල්‍ය සමාගම්වල විශ්ලේෂකයෝ ද මෙයාකාරයෙන් ම ප්‍රතිචාර දැක්වූහ.
ටෙලිමෙට්‍රි නම් හෙජ් අරමුදලේ නිර්මාතෘ තෝමස් තෝන්ටන් බ්ලූම්බර්ග් වෙබ් අඩවියට කල ප්‍රකාශය බොහෝ දෙනෙකුට පොදු වූවකි. පුලුල් උත්සුකතා වෙත අවධානය යොමුකරමින්, ෆෙඩරල් බැංකුවේ ස්වාධීනත්වය “බිඳ වැටුනහොත්” එය බැඳුම්කර වෙලඳපොලට අවදානමක් එන්නත් කරනු ඇතයි ඔහු කීවේ ය.
“ෆෙඩරල් බැංකුවේ සභාපතිවරයෙකු ඉවත් කිරීමේ මෙම විභවය, ඉහල හිඟයන් සහ පාලනයෙන් තොර එක්සත් ජනපද නය මට්ටම්වල අවදානම සමඟ ඒකාබද්ධ ව, [බැඳුම්කර වෙලඳපොලේ] දිගුකාලීන රේට්ටු ඉහල යාමේ අවදානම වැඩි වෙමින් පවතී.”
වෝල් ස්ට්‍රීට් ජර්නලයේ ලිපියක් තත්වය සාරාංශ කරමින් මෙසේ ලීවේය: “ෆෙඩරල් බැංකුවේ ස්වාධීනත්වයට බාධා කිරීම, ගෝලීය ප්‍රාග්ධන ගලායාම්වලට දැවැන්ත ප්‍රතිවිපාක ඇති කල හැකි බව වෝල් වීදියේ සෑම තැනකම පාහේ විශ්වාස කෙරේ, මන්ද එය එක්සත් ජනපද බැඳුම්කර සහ ලොව පුරා මූල්‍ය වෙලඳපොලවල්වලට රැකුල් දෙන ඩොලරය දුර්වල කල හැකි බැවිනි.”
පවෙල් කෙරෙහි ට්‍රම්ප් දක්වන වෛරය සහ එයට ලැබෙන ප්‍රතිචාරය යන දෙක ම පෙන්නුම් කරන්නේ, කොටස් වෙලඳපොල වාර්තාගත ඉහල මට්ටමක වෙලඳාම් දිගට ම පැවතුන ද, මූල්‍ය පද්ධතිය තුල දැවැන්ත ආතතීන් ගොඩනැගෙමින් පවතින බවයි.