පසුගිය වසරේ, දින 75ක් පුරා පැවති, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ දීර්ඝ වැඩ වර්ජනය ආන්ඩුවේ බොරු පොරොන්දු වලට යටත් කොට පාවාදීමෙන් වසරක් ගතවේ. කිසිදු ඉල්ලීමක් නොලබා ආපසු වැඩට යාමට කම්කරුවන්ට සිදු වූයේ වෘත්තීය සමිති සියල්ල නියෝජනය කල විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති සන්ධානයේ (යූඑන්ඒටීයූඒ) වැඩපිලිවෙලෙහි බංකොලොත්භාවය මිස කම්කරුවන්ගේ සටන්කාමීත්වයේ අඩුවක් නිසා නොවේ.
දීර්ඝකාලීන වැටුප් විෂමතා නිවැරදි කිරීම, සියයට 15 ක වැටුප් වැඩි කිරීම සහ මාසික හිලවු දීමනාව සියයට 30 කින් වැඩි කිරීම යන ඉල්ලීම් මුල් කර ගෙන දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාල 17 ක අනධ්‍යයන සේවකයෝ 13000ක් පමන එම වසරේ මැයි 02 දා වැඩවර්ජනය ආරම්භ කලහ.
වර්ජකයන් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන අයිතිය අහෝසි කරන බවට මාධ්‍ය හරහා ගෙන ගිය කැත ප්‍රචාරය, විශ්වවිද්‍යාල අසල පොලීසිය බලමුලු ගන්වා වර්ජකයන් මර්දනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව දැරූ ප්‍රයත්නය, රැකියාව අතහැර ගියා සේ සලකන බව දන්වමින් නිකුත්කල රාජ්‍ය තර්ජන සහ පොලිස් ප්‍රහාරයන්ට මුහුන දෙමින් මාස දෙකකට අධික කාලයක් වැටුප් නොමැති ව වර්ජනයේ යෙදුනු අනධ්‍යයන සේවකයෝ සිය ජීවන තත්වයන් ඉහල දමා ගැනීමේ දැවෙන අවශ්‍යතාවය සහ අධිෂ්ඨානය ප්‍රදර්ශනය කලහ.
වැටුප් වැඩි කිරීම සහමුලින්ම ප්‍රතික්ෂේප කල ආන්ඩුව, ඉදිරි අයවැයෙන් කම්කරුවන්ට වැටුප් වැඩි කිරීම් ලබා දීම සලකා බැලීමට රාජ්‍ය සේවයේ සියලු ම කම්කරුවන්ගේ වැටුප් සමාලෝචනය සඳහා පිහිටවා තිබු උදය නානායක්කාරගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට අනධ්‍යන කම්කරුවන්ගේ ගැටලු ඉදිරිපත් කොට ඒ සඳහා නිර්දේශ ලබා ගත යුතු බව අවධාරනය කලේය.
මෙම කමිටුව පිහිටු වීම, කෝවිඩ් වසංගතය මගින් තීව්‍ර කරන ලද ආර්ථික අර්බුයේ බර කම්කරු පන්තිය මත පැටවූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රුදුරු කොන්දේසි මගින්, ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් මිල ඉහල යාමද පොහොර ඇතුලු බෙහෝ භාන්ඩවල හිඟය ද මගින් අවුලුවාලු කම්කරුවන්ගේ අරගල රැල්ල මැඩීමට ජනාධිපති වික්‍රමසිංහ ගත් වංචනික පියවරකි. අනධ්‍යන වෘත්තීය සමිති නායකත්වය වර්ජනය අතහැර දැමීමේ දී කමිටුව සුජාත බවට පත් කලහ.
වර්ජනයේ අවසන් මාසයේ, ගුරුවරු සහ විදුහල්පතිවරු, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවයේ, පලාත් රාජ්‍ය සේවයේ කම්කරුවෝ අසනීප නිවාඩු වාර්තා කරමින් කොලඹ නගරයේ පැවැත් වූ දැවැන්ත උද්ඝෝෂන ව්‍යාපාරයන්ට එක් වූහ. සෞඛ්‍ය සහ දුම්රිය කම්කරුවෝ අරගලයට පැමින තිබුනි. අනෙකුත් ක්ෂේත්‍රවල කම්කරුවන් අරගලයට පැමිනීමට නියමිත විය.
කෝවිඩ් වසංගතයෙන් ගැඹුරු කෙරුනු ගෝලීය ආර්ථික අර්බුදය විසින්, එක් පසෙකින්, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි යුද්ධය තීව්‍ර කිරීමටත්, ගාසාවේ ජන සංහාරය සඳහා ඊශ්‍රායලයට වඩ වඩාත් පිටුබලය ලබා දීමටත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ප්‍රමුඛ නේටෝ බලයන් තල්ලු කෙරුනි.
අනෙක් පසින්, එම ආර්ථික අර්බුදය විසින්ම, සමාජ සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට පහරපිට පහර එල්ල කිරීමටත්, ඒකාධිපති පාලනයන් දෙසට ගමන් කිරීමටත්, සෑම රටක ම පාලක පංතීන් පොලඹවන ලදී. අනධ්‍යන කම්කරු අරගලය මෙන්ම ලංකාවේ අනෙකුත් පන්ති අරගල සම්පාත වුයේ එම විනාශයට එරෙහි ව ජාත්‍යන්තර ව වැඩෙමින් පැවති කම්කරු පන්ති අරගල රැල්ල සමගය.
එක්සත් ජනපදයේ, රථවාහන, සෞඛය, අධ්‍යාපන සහ ප්‍රවාහන කම්කරුවන් ද ඇතුලුව, එක්සත් රාජධානියේ රාජ්‍ය අංශයේ, ජර්මනියේ සහ ඕස්ට්‍රේලියාවේ සහ ලොවපුරා කම්කරුවන් අරගලයට පැමින තිබුනි.
වර්ජනයේ බලපෑම නිසා ආන්ඩුව ලබාදුන් සාකච්ඡා “සාධනීය” බව පවසමින්, ආන්ඩුවේ තීන්දුව වෙනස් කර වැටුප් ඇතුලු ඉල්ලීම් දිනා ගත හැකි බව තම සාමාජිකයන්ට ඒත්තු ගැන්වීමට, අනධ්‍යන වෘත්තීය සමිති දිගින් දිගටම උත්සාහ ගත්හ. නමුත්, වික්‍රමසිංහ ආන්ඩුව මෙම සාකච්ඡා ඇද ගෙන ගියේ, කම්කරුවන් හෙම්බත්කොට වර්ජනය දියකර හැරීමටයි.
දින 70 ගතවී, වර්ජනය පාවාදීමට සමිති නායකත්වය කුමන්ත්‍රනය කරමින් සිටින විට පවා යූඑන්ඒටීයූඒ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත ප්‍රකාශ කොට සිටියේ “ජනාධිපති ලේකම්තුමාගේ මූලිකත්වයෙන් පවත්වපු සාකච්ඡාවේදී යම් සාධනීය එකඟතාවයක් ආවා. නමුත් මුදල් අමාත්‍යාංශයෙන් එවා තිබෙන ලිපිය අතර ගැටලුවක් මතුවෙලා තිබෙනවා. අපි ගරු ඇමතිතුමා එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.
ඉන් දින දෙකකට පසු යූඑන්ඒටීයූඒ හවුල්කාර ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය පරිපාලන සහ මුල්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චානක රොඩ්‍රිගෝ, “අපි ගරු ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරලා ... වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නව ඉදිරියේදී” යැයි ප්‍රකාශ කලේ ය. අවසානයේ ඔවුහු, ව්‍යාජ සාකච්ඡා මගින් තව දුරටත් කම්කරු පන්තිය රැවටීමට නොහැකි වූ තැන, ජාමූ අරමුදලේ නියෝග මත ක්‍රියාවට දැමූ තීන්දුවලට හිස නමමින්, ආන්ඩුවේ බොරු පොරොන්දු ලෙලවමින් අරගලය පාවා දුන්හ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රහාරයන්ට එකඟ සමිති නායකත්වය, ආන්ඩුව සමග “සාධනීය” සාකච්ඡා උදෙසා, සැබෑ තත්ත්වය කම්කරුවන්ගෙන් සඟවද්දී, ආන්ඩුව, පොලීසිය සහ කැරලි මර්දන හමුදා දිගට ම සීරුවෙන් තබා තිබුනේ, වර්ජකයන්ට එරෙහි ව රාජ්‍ය මර්දන යන්ත්‍රය යොදා ගැනීමට නොපැකිලෙන බව ප්‍රදර්ශනය කරමිනි.
විවිධ උපාමාරු හරහා දිගට ම බලයේ රැඳී සිටීමට උත්සාහ කල ජනාධිපති වික්‍රමසිංහ, අවසානයේ ජනාධිපතිවරනයක් සඳහා දින නියම කලේ වැඩෙන පන්ති අරගල අපසරනය කිරීමේ අරමුනෙනි. 2022 මහජන නැගිටීම වැන්නක් යලි පැනනගිනු ඇතැයි ඔහු බියපත් විය. රටේ අස්ථාවර තත්වය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඇතුලු විදේශ නය ගෙවීමට ද වල කපනු ඇතැයි යන භීතිය, ඔහු ඇතුලු සමස්ත පාලක පංතිය තුල රජයන්නට වූ අතර, වෘත්තීය සමිති වහා ම ලංකාවේ ධනපති පන්ති පාලනය රැකීමට ඉදිරිපත් විය.
විශ්වවිද්‍යාල තුල ජනතා විමුක්ති පෙරමුනේ වෘත්තීය සමිතිය වන අන්තර් විශ්වවිද්‍යාල සේවා වෘත්තීය සමිතිය, එහි නායකත්වය අනුව යමින් කියා සිටියේ දැන් තිබෙන්නේ පන්ති අරගලය නොව ජනතා විමුක්ති පෙරමුන බලයට පත් කිරීම බවයි. ඊනියා දේශපාලනයෙන් ස්වාධීන බව පවසන ධම්මික එස් ප්‍රියන්ත ඇතුලු නායකත්වය ද ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට ගෙනඒමට තම ශක්තිය යෙදුහ.
ජවිපෙ බලයට පැමින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් තමන්ගේ පොරොන්දු වලට පයින් ගසා එය සෘජු ව ක්‍රියාවට දැමීම ඇරඹීමත් එහි මංගල අය වැයෙන් අනධ්‍යන කම්කරුවන්ගේ වැටුප් ගැලපීමේ දීමනාවෙන්(එම්සීඒ) කොටසක් කපාහැර ජනාධිපති වික්‍රමසිංහ ඉදිරියට දැමු වැඩපිලිවෙල තීව්‍ර කලේය. ජවිපෙ/ජාජබ ආන්ඩුව සිදුකල සොච්චම් වැටුප් වැඩිකිරීම ඉහල යන ජිවන තත්වය හමුවේ කිසිසේත්ම ප්‍රමානවත් නොවේ.
අයවැය සම්මත වීමට දින කිහිපයකට පෙර කැලනිය විශ්ව විද්‍යාලයේ මාධ්‍ය හමුවක් කැඳවූ අන්තර් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත “සාධනීය විසඳුමක් නොලැබුනොත් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ඒකරාශී කර ගනිමින් වත්මන් රජය මංගල අයවැයෙන් කප්පාදු කල විශ්ව විද්‍යාල සේවකයන්ගේ දීමනා දිනා ගැනීම සඳහා උද්ඝෝෂයක නිරත වෙනවා” යයි ඝෝෂාවක් කල බව පෙබරවාරි 28 මව්බිම වාර්තා කර තිබේ. “වත්මන් රජය බලයට ගේන්න අපි ලොකු කැපකිරීමක් කරා” යැයි ඔහු තවදුරටත් පවසා ඇත.
ප්‍රියන්ත ඇතුලු නායකත්වය කැසකවන්නේ යලි වතාවක් ආන්ඩුවට බලපෑම් දැමීමේ උගුලේ අනධ්‍යන කම්කරුවන් සිර කිරීමටයි. මෙම වෘත්තීය සමිති තුල කිසි ම දිනක ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් නොතිබුනි. එය අරගලය ආරම්භ කිරීමේදී හෝ අවසන්කිරිමේදී හෝ අන් කවර අවස්ථාවකදී හෝ කම්කරුවන් සමග සාකච්ඡාකොට තීන්දු ගත්තේ නැත. නායකත්වය වැසුනු කාමර තුල ගත් තීන්දු, සාමාජිකත්වය ඉදිරියේ ප්‍රකාශයට පත්කෙරුනි.
අනධ්‍යන වෘත්තීය සමිති ඇතුලු සමස්ත වෘත්තීය සමිති නිලධරය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල පිලිගෙන ඇති තතු යටතේ, ආන්ඩුව එය වේගවත් කර ඇත. විශ්‍රාම යන සේවකයන් සඳහා පුරප්පාඩු නොපිරවීම හේතුවෙන් වැඩ වේගවත් කිරීමේ ප්‍රහාරයකට අනධ්‍යන සේවකයෝ මුහුන දී සිටිති. එමෙන්ම වෘත්තීය සමිතිවල පාවා දීමෙන්, අත ශක්තිමත් කරගත් ආන්ඩුව සහ විශ්වවිද්‍යාල පරිපාලනය නව මර්දන නීති සම්පාදනය කිරීමට ඉදිරියට ගොස් ඇත.
ආන්ඩුවලට බලපෑම් යෙදීමෙන් ඉල්ලීම් දිනාගත හැකිය යන මිත්‍යාවේ කම්කරුවන් සිර කරන වෘත්තීය සමිති, කම්කරු පන්තියේ විකල්ප දේශපාලන වැඩපිලිවෙලක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිවීම එක දිගට ම වැලැක්වීය. එමෙන්ම අරගලයට පැමිනි විවිධ ක්ෂේත්‍රයන්හි කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් මෙහෙයවීමට විරුද්ධ විය.
අනධ්‍යන කම්කරු අරගලය තුල. සමාජවාදී සමානතා පක්ෂය බලගතු මැදිහත්වීමක් සිදු කලේ ය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල එහි සෑම වැදගත් වර්ධනයක් ම පැහැදිලි කරමින් ලිපි දහයකට අධික සංඛ්‍යාවක් පල කිරීමට අපට හැකි විය.
එමෙන්ම අරගලය මැද, 'අනධ්‍යන කම්කරු අරගලයට සමාජවාදී විසඳුමක්' යන මැයෙන් රැස්වීමක් පැවැත්වීම එහි තවත් වර්ධනීය අවස්ථාවකි. දැන්වීම සමාජ මාධ්‍ය තුල පුලුල් ලෙස පල කිරීමට අපට හැකි විය. එමෙන්ම එහි පිටපත් මුද්‍රනය කොට බෙදා හරිමින් කොලඹ අවට විශ්වවිද්‍යාලවලත්, යාපනය, පේරාදෙනිය සහ රුහුනු ආදී විශ්ව විද්‍යාලවලත් අනධ්‍යන සේවකයන් සමග සාකච්ඡාවට භාජනය කිරීමට අපට හැකි විය.
අනධ්‍යන කම්කරු අරගලයේ පාඩම් කවරේද?
සමිති නායකත්වයන්ගේ සීමා පැනවීම් හා පාවාදීම් හමුවේ, කම්කරු අරගල, තවදුරටත් වෘත්තීය සමිති අත තැබිය නොහැකි බව මෙහි ප්‍රථම පාඩමයි. තම අයිතීන් දිනාගැනීමට නම් කම්කරුවන් මෙම අරගල තමන් අතට ගත යුතු ය. මේ සඳහා වෘත්තීය සමිති නායකත්වය වැද්ද නොගත්, කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු, විශ්වවිද්‍යාල ඇතුලු සෑම වැඩපොලක ම ගොඩනැගීම අත්‍යවශ්‍ය ය.
මෙම කමිටු තුල සිදු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවන් මගින්, අරගලය ඉදිරියට ගෙනයාමේ වැඩපිලිවෙල ඇතුලු සියලු තීන්දු තීරන ගෙන සාමූහික ව ක්‍රියාවට නැංවිය හැක.
සමස්ත ධනපති ක්‍රමය මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදය හමුවේ, ධනපති ආන්ඩුවලට පීඩනය යෙදීමෙන් කවර හෝ ඉල්ලීමක් දිනාගත නොහැකි බව, අනධ්‍යන කම්කරු අරගලයේ තවත් වැදගත් පාඩමකි.
මෙම අරගලය අභිමුඛ වී ඇත්තේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට බැවින්, ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයකින් තොර ව එයට ඉදිරියට යා නොහැකි බව අනෙක් මූලික පාඩමයි.
“වර්ජිත අනධ්‍යන කම්කරුවන් මර්දනය කිරීම සඳහා ආන්ඩුවේ සූදානමට එරෙහිවනු! වැඩ වර්ජනය ආරක්ෂා කරනු! ජීවන වියදමට සරිලන වැටුපක් සඳහා සටන්කරනු!” යනුවෙන් සමාජවාදී සමානතා පක්ෂය 2024 මැයි 27 දින නිකුත්කල ප්‍රකාශයෙන් පෙන්වාදුන් පරිදි, “කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන හා සමාජ කොන්දේසි රැක ගැනීම හා වර්ධනය කර ගැනීම සඳහා අරගලය, මහා සමාගම්, වතු, බැංකු, කම්කරු පාලනය යටතේ ජනසතු කිරීම හා විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීම ඇතුලු සමාජවාදී ක්‍රියාමාර්ගයකට සටන් කිරීම හා එම පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා කම්කරුවන් හා ගොවීන්ගේ ආන්ඩුවකට කරන අරගලය සමග බැඳී තිබේ.”
“මෙම අරගලය ගෙන යාමට හැකිවනු ඇත්තේ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතු ව ගොඩනගා ගැනීමෙනි. මේ සඳහා ලංකාවේ කම්කරුවන් විසින් තමන් ගොඩනගන ක්‍රියාකාරී කමිටු, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍යවේ.”
අනධ්‍යන කම්කරු අරගලය ඉදිරියට ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වැඩපිලිවෙල තීන්දු කරනු වස්, වහා ම වෘත්තීය සමිති රැස්වීමක් කැඳවන ලෙසත්, එම රැස්වීමේ දී ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් සඳහා සමස්ත සාමාජිකත්වයට ඉඩ සලසන ලෙසත් ඉල්ලා, සමිති නායකත්වයට බල කරන ලෙස සියලු විශ්වවිද්‍යාල අනධ්‍යන කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.