තැපැල් සේවකයෙකුගෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලිපියක්

මෙහි පහත පලවන්නේ, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයෙකු, තමා ඇතුලු සේවක සගයන් මුහුන දෙමින් සිටින රුදුරු කොන්දේසි පිලිබඳ ව පැහැදිලි කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලියූ ලිපියකි.
***

2025 මාර්තු 15 වැනි දා පැවති තැපැල් කම්කරුවන්ගේ විරෝධතාවයට සහභාගී වන මඩකලපුව තැපැල් කාර්යාලයේ සේවකයෝ

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථීර සේවකයෙකු වන මම, කොලඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ මේල් රූම් අංශයේ සේවයේ යෙදී සිටින්නෙමි. මගේ ස්ථිර සේවා කාලය වසර දහය ඉක්මවයි.

මා ඇතුලු මගේ සේවා සගයන් මුහුන දෙන රුදුරු සේවා සහ සමාජ කොන්දේසි අනාවරනය කිරීම මෙම ලිපියේ අරමුනයි. කෙසේ නමුත්, ඉහත කොන්දේසි පිලිබඳ ව සෘජු ව ම ජනමාධ්‍යවලට අදහස් දැක්වීම හේතුවෙන්, ආයතන මට්ටමින් සහ රාජ්‍ය මට්ටමින් එල්ල විය හැකි දඩයම හමුවේ මගේ අනන්‍යතාවය හෙලි නොකිරීමට තීරනය කලෙමි.

අප මුහුන දෙන කොන්දේසි එකින්එක ගෙන හැර දැක්වීමට මම උත්සාහ කරමි.

පලමු ව, දෛනික සේවා කාලය ගතහොත්, අප කැමති වුනත්, නැතත්, රෑ වන තුරු වැඩ කිරීමට සිදු වීම දරා ගත නොහැකි තත්වයකි. ඉරිදා සහ පෝය දිනවල දී ද වැඩ කිරීමට නියම වී ඇත.

දෙවනු ව, සේවක හිඟය හේතුවෙන්, අධික වැඩ භාරයක් දැරීමට සෑම සේවකයෙකුට ම සිදු ව ඇත. මා සේවය කරන මේල් රූම් එකේ සේවයට යොදවා ඇත්තේ 64 දෙනෙකු පමනක් වන අතර සේවකයන් 79 ක් හිඟ බවට ගනන් බලා ඇත. මෙහි අර්ථය, දෙදෙනෙකුගේ වැඩ භාරය ද ඉක්මවා එක් සේවකයෙකු වැඩ කල යුතු බවයි.

වැඩ කන්දරාව දරාගත නොහැකි ව සමහරු මාරුවීම් ඉල්ලුව ද, සේවක හිඟය නිසා එයට ද අවස්ථාවක් ලැබෙනුයේ කලාතුරකිනි. මා දන්නා තරමින්, ලංකාවේ අනෙකුත් සෑම රාජ්‍ය සහ පුද්ගලික ආයතනයක ම මේ තත්වය අඩු වැඩි වසයෙන් පවතී.

ලැබෙන වැටුප, පවුල සමග දිවි ගැටගසා ගැනීමට කිසිසේත්ම ප්‍රමානවත් නොවීම දැවෙන ම ප්‍රශ්නයයි.

මා ඇතුලු බොහෝ දෙනෙකුට අමතර ආදායමක් නොමැත. මා සම්බන්ධයෙන් ගත්කල, දෙමව්පියන්ගෙන් හිමි වූ දේපල හෝ වෙනත් ස්ථාවර වත්කම් කිසිවක් නැත. මව ජීවත් වන්නේ මෙම රැකියාවෙනි. ලැබෙන සොච්චම් වැටුපෙන්, දරුවන් පෝෂනය කිරීමත්, ඔවුන්ට අධ්‍යාපනය ලබා දීමත්, ඉතා දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇති බව පවසනුයේ, පාලකයන් පිලිබඳ බලගතු කෝපයෙනි.

තැපැල් සේවකයින්ගේ වැටුප් වර්ධනයන් ලබා දීමේ දී අතීතයේ පැවැති පහසුකම්, බලයට පැමිනි ආන්ඩු ක්‍රමානුකූල ව කප්පාදු කර ඇත. අතීතයේ දී, තැපැල් දෙපාර්තමේන්තුව මගින් මාස හයක හෝ වසරක පාඨමාලාවක් නොමිලේ ලබා දී, වැටුප් වර්ධක සඳහා සුදුදුකම් ලබා ගැනීමේ විභාග පැවැත්වූව ද, දැන් ඒවා ද අහෝසි කර ඇත. දැන් අපේම වියදමින් ඔන්ලයින් ක්‍රමයට පංතිවලට සහභාගී වී විභාගවලට පෙනී සිටීමට සිදුවී ඇත. විභාගවලට පෙනී නොසිටියොත් උසස්වීම් නොලැබෙන අතර, විභාගයෙන් අසමත් වුවහොත් වාර්ෂික වැටුප් වැඩිවීම් නතර වේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ උසස් වීම් පටිපාටිය ද කප්පාදු කර ඇත. පෙර දී, තැපැල් ස්ථානාධිපති, 2 වන ශ්‍රේනියට බඳවාගනු ලබන කෙනෙකුට, වසර හතකින් පසු ව විභාගයට පෙනී සිට පලමුවන ශ්‍රේනියට උසස් වීම් ලබාගත හැකි ව තිබූ නමුත්, දැන් බඳවා ගන්නේ 3 වන ශ්‍රේනියට පමනකි. දෙවන ශ්‍රේනියට උසස් වීමට වසර දහයක් සිටිය යුතු අතර, පලමුවන ශ්‍රේනියට උසස් වීම සඳහා තවත් වසර දහයක් සිටිය යුතුයි. මෙමගින් විභාග වලට පෙනී සිටින අයටද ඉහල තනතුරු වලට යාම අවහිර කර ඇත. මෙය ඉතාමත් අසාධාරනයකි.

මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් වෘත්තීය සමිති දක්වන නොතැකීම සම්බන්ධයෙන් මා ඇතුලු බොහෝ සේවකයන් තුල ඇත්තේ ඉමහත් පිලිකුලක් සහ වෛරයකි. මම, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ (තැවිසනිස) සහ ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ (තැවිසසේස) සාමාජිකයෙකු වෙමි.

සේවක පුරප්පාඩු පිරවීම ඇතුලු තවත් ඉල්ලීම් ගනනාවක් මුල් කරගනිමින් පසුගිය මැයි මස 28 දා රාත්‍රි 12 සිට, 30 දා රාත්‍රි 12 දක්වා දින දෙකක්, තැවිසනිස කල කැඳවීම මත, මා ඇතුලු නිලධාරීන් දිවයින පුරා වැඩ වර්ජනයක යෙදුන ද, තැවිසසේස ප්‍රධාන ලේකම් චින්තක බන්ඩාර, එයට කවර හෝ සහයෝගයක් ලබා නොදී හොරිකඩකම් කලේ ය. බන්ඩාර ගේ සමිතිය මෙම වර්ජනයට සහභාගි නොවුනේ, මීට පෙරාතුව ඔහුගේ සමිතිය කැඳවන ලද වර්ජන දෙකකට තැවිසනිස නායකත්වය සහයෝගය නොදීම සම්බන්ධයෙන් එකට එක කිරීමක් ලෙසිනි.

මෙලෙස, සමිති නායකත්වය විසින්, කම්කරුවන් ඒකාබද්ධ වීම සිතා මතා ම අවහිර කිරීමේ වාසිය ලැබෙනුයේ පාලකයන්ට බව කම්කරුවන් ලෙස අප අවබෝධ කර ගත යුතුයි.

සමිති නායකයන් ගේ අවස්ථාවාදී ස්වභාවය, ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) ජවිපෙ වෘත්තීය සමිතියේ සහ ජවිපෙ හි නායකයෙකු වන රංජන් ජයලාල්ගෙන් මනාව ප්‍රකාශයට පත්වෙයි. පෙර ආන්ඩු මගින් විදුලි බිල වැඩිකිරීමට එරෙහි ව කෑ ගැසූ ඔහු, කඩුවෙල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා බවට පත්වීමෙන් පසු සඳහන් කර ඇත්තේ විදුලි බිල වැඩිකිරීම සාධාරන බවයි. ජවිපෙ වෘත්තීය සමිති නායකයින් ව සිට, දැන් වෙලඳ ඇමති ධූරය දරන වසන්ත සමරසිංහ, නියෝජ්‍ය කම්කරු ඇමති ධූරය දරන මහින්ද ජයසිංහ කලින් පෙනී සිටියේ සමාජවාදීන් ලෙස වුව ද, ඔවුන් දැන් එයට පයින් ගසා ඇත.

ජවිපෙ ජනගතව සිටියේ සමාජවාදී පක්ෂයක් ලෙස බැවින්, සමාන අයිතීන් මහජනතාවට ලබාදී, කම්කරුවන් නගා හිටුවා, රටේ ප්‍රශ්න විසඳා දෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් පසුගිය මැතිවරන තුනේදීම ජනතාව එයට ඡන්දය දුන් බව මගේ අදහසයි. යම් හෙයකින් මෙම ආන්ඩුව ද මහජනතාවගේ අභිලාෂයන් ඉටු නොකලහොත් මහජනතාව හොඳ තීරනයක් ගනු ඇතැයි මම විශ්වාස කරමි.

මේ තත්වය තුල, තැපැල් සේවකයන් ඇතුලු සියලු කම්කරුවන්, තම අයිතීන් සඳහා සටන තම අතට ගත යුතු බවටත්, ඒ සඳහා වෘත්තීය සමිති වලින් සහ ධනපති පක්ෂ වලින් ස්වාධීන වූ කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු බවට ඔබේ වෙබ් අඩවිය කරන යෝජනාව වැදගත් ලෙස සලකන මම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානමෙන් සිටින බව දැන්වීමට කැමැත්තෙමි.

Loading