ට්‍රම්ප් ශ්‍රී ලංකාවට සියයට 30 ක තීරු බදු පනවයි

[මෙය Trump slaps 30 percent tariff on Sri Lanka
යන මැයෙන් 2025 ජූලි 15දා පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කරන ලද ලිපියක, ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්, ශ්‍රී ලංකාවේ අපනයන සඳහා, අගෝස්තු 1දා සිට බලපැවැත්වෙන පරිදි, සියයට 30ක තීරු බදු පැනවීම නිවේදනය කලේ ය. මෙම පියවර, එක්සත් ජනපදයේ ප්‍රතිවාදීන් මෙන්ම සගයන් යන දෙකොටස ම ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුලුල් ගෝලීය වෙලඳ යුද්ධ මූලෝපායේ කොටසකි.

ශ්‍රී ලංකාවට ඇමරිකානු බදු පැනවීම පිලිබඳ විශේෂ සාකච්ඡාවක ප්‍රධානත්වය දරන ජනාධිපති දිසානායක [Photo by President’s Media Division]

සියයට 30ක තීරුබදු ශ්‍රී ලංකාවට - විශේෂයෙන් රටේ ඇඟලුම් නිෂ්පාදන සහ අනෙකුත් අපනයන කර්මාන්තවලට - දැඩි ලෙස බලපෑම් එල්ල කරමින්, රැකියා දස දහස් ගනනක් අහිමි කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව මුහුන දෙන ආර්ථික හා දේශපාලන අර්බුදය තව දුරටත් උග්‍ර කරනු ඇත.

අප්‍රේල් මස මුල දී, ට්‍රම්ප් ලොව පුරා රටවල් සඳහා විශාල තීරුබදු ප්‍රකාශයට පත් කල නමුත්, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 75ක් සඳහා එම තීරුබදු ක්‍රියාත්මක කිරීම දින 90 කට අත්හිට වූයේ ය. මෙම 'විරාම' කාලය ඉකුත් වීමෙන් අනතුරු ව, ට්‍රම්ප් දැන් රටවල් ගනනාවකට දැවැන්ත තීරුබදු වැඩි කිරීම් පනවා තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, තීරුබදුවල බලපෑම ලඝු කොට දැක්වීමට උත්සාහ කලේ ය. නව සියයට 30ක තීරුබදු සහ මුලින් නිවේදිත සියයට 44කින් වැඩි කිරීමේ යෝජනාව සංසන්දනය කරමින්, හේමචන්ද්‍ර ප්‍රකාශ කලේ, ලැයිස්තුගත කර ඇති සියලු ම රටවල් අතරින් විශාලත ම තීරුබදු අඩු කිරීම ශ්‍රී ලංකාවට ලැබී ඇති බවයි.

ඇත්ත වශයෙන්ම, ජනාධිපති දිසානායකගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුවට අනුව, එක්සත් ජනපදයට කරන සියලු ම මෙරට අපනයන සඳහා මෙම අලුත්ම සියයට 30ක තීරුබදු පැනවෙනු ඇත්තේ, දැනටමත් එක්සත් ජනපදය විසින් විවිධ භාන්ඩ සඳහා අනවා තිබෙන සියයට 0 සිට සියයට 25දක්වා ඇති තීරුබදුවලට අමතර වසයෙනි.

ඇමරිකානු භාන්ඩ සඳහා ප්‍රති-තීරුබදු පැනවීමෙන් එකට එක කිරීමේ කිසිදු අදහසක් ජවිපෙ/ජාජබ ආන්ඩුවට නොමැති බව හුලංගමුව තහවුරු කලේය. 'අපගේ ඉලක්කය වන්නේ හැකි හොඳ ම ගනුදෙනුව ලබා ගැනීමයි. මෙය තුලනය කිරීමේ ක්‍රියාවකි. අපි ගැටුමක් බලාපොරොත්තු නොවෙමු; අපි අනුගමනය කරන්නේ සහයෝගීතාව යි,' ඔහු කීවේ ය.

ඉහල තීරුබදු සාධාරනීකරනය කිරීම සඳහා ට්‍රම්ප් විසින් නිතර දොඩවන වාක්‍ය ඛන්ඩ පුනරුච්ඡාරනය කර තිබුනි: එක්සත් ජනපදයට ශ්‍රී ලංකාව සමඟ “අඛන්ඩ වෙලඳ හිඟයන්” ඇත; ලංකාව, “තීරුබදු සහ තීරුබදු නොවන ප්‍රතිපත්ති සහ වෙලඳ බාධක” පවත්වාගෙන යයි යනාදි වසයෙනි. ශ්‍රී ලංකාව එහි තීරුබදු සහ වෙලඳ බාධක අඩු කලහොත්, එක්සත් ජනපදය තවදුරටත් සීරුමාරු කිරීම් ගැන සලකා බලනු ඇත.

ලිපිය ලැබුනු වහා ම ජූලි 10දා ජනාධිපති දිසානායක තම අමාත්‍යවරුන්, උපදේශකයින් සහ රජයේ ඉහල නිලධාරීන් සමඟ මාධ්‍යයට වැසුනු සාකච්ඡාවක් පැවැත්වූවේ ය. පසුව ඔහු මාධ්‍යට කීවේ, සහන ලබා ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සමඟ අඛන්ඩ සංවාදයක් පවත්වා ගනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා විශාලත ම තනි වෙලඳපොල ඇමරිකා එක්සත් ජනපදය වන අතර, එය මුලු ඇඟලුම් අපනයනයෙන් සියයට 40 ක් හෙවත් වාර්ෂික ව ඩොලර් බිලියන 1.9 ක් පමන වේ. ශ්‍රී ලංකාවේ සියලු ම අපනයන සඳහා විශාලත ම ගමනාන්තය වන්නේ ද එක්සත් ජනපදය යි. එය සමස්ත අපනයනවලින් සියයට 25 ක් වන අතර ඒවායේ වටිනාකම වාර්ෂික ව ඩොලර් බිලියන 3 කි.

ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාර සියයට 30ක තීරු බදු පැනවීමට ප්‍රතිචාර දැක්වූයේ, අනතුරු සංඥා නිකුත් කරමිනි. නිදහස් වෙලඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමය අනතුරු ඇඟවූයේ, මෙම තත්වය මුලින් රැකියා 50,000 ක් දක්වා අහිමි වීමට හේතු විය හැකි බවත් දකුනු හා අග්නිදිග ආසියාව තුල ශ්‍රී ලංකාවේ තරඟකාරිත්වය අඩපන කල හැකි බවත්‍ ය. ඇඟලුම් කර්මාන්තය නියෝජනය කරන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (ඒඇසසං) අනතුරු ඇඟවූයේ, නව තීරු බදු 'කලාපීය ප්‍රතිවාදීන්ට වාසි සහගහත කොන්දේසි සැකසීමට' තර්ජනය කරන බවත්, එක්සත් ජනපද මූලාශ්‍ර ශ්‍රී ලංකාවෙන් ඉවතට හරවා යැවීමේ අනතුරක් පවතින බවත් ය.

ඇඟලුම් කර්මාන්තයේ සෘජු ව ම කම්කරුවෝ 350,000 කට අධික සංඛ්‍යාවක් සේවය කරති. ඔවුන්ගේ සාමාන්‍ය මාසික වැටුප රුපියල් 35,000 (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 116) ක් පමන වන අතර, නිෂ්පාදන ඉලක්ක සැපිරීමට බොහෝ විට අතිකාල වැඩ කිරීමට ඔවුන්ට බල කෙරෙයි. මෙම අංශයේ අතිරේක කම්කරුවෝ 60,000ක් පමන වක්‍ර ව සේවයේ නිරතව සිටිති.

ඇගලුම් කම්හල් ඒවායේ නිෂ්පාදන පිරිවැය තවදුරටත් අඩු කිරීම සඳහා, අඩු වැටුපට කම්කරුවන් සේවයේ යොදවන සමාගම් සමඟ පවා, වැඩි වැඩියෙන් කොන්ත්‍රාත්වලට ඇතුලු වෙමින් සිටී. ඇඟලුම් අපනයනවල සැලකිය යුතු පහත වැටීමක් අනිවාර්යයෙන්ම තුඩු දෙනු ඇත්තේ, කර්මාන්තශාලා වසා දැමීමටත්, රැකියාවලින් දැවැන්ත ලෙස එලියට ඇද දැමීමට සහ වැටුප් හා සේවා කොන්දේසි පිරිහෙලීමටත් ය.

තේ, රබර්, මැනික්, මුහුදු ආහාර සහ විවිධ නිෂ්පාදන ඇතුලු අනෙකුත් අපනයන කර්මාන්ත ද එක්සත් ජනපද තීරුබදු යුද්ධයෙන් බලපෑමට ලක් වනු ඇත.

ට්‍රම්ප්ගේ ආරම්භක තීරුබදු වැඩි කිරීමේ නිවේදනයට ප්‍රතිචාර වශයෙන්, ජනාධිපති දිසානායක “ජාතික සමගිය” සඳහා කැඳවුම් කරමින් අප්‍රේල් 11දා සර්ව පාක්ෂික සමුලුවක් කැඳවූවේ ය. “අනාගත ආර්ථික බිඳවැටීමේ බර දරා ගන්නා ලෙස” සහ මහා ව්‍යාපාරිකයන්ගේ යහපත සඳහා තම අයිතිවාසිකම් කැප කරන ලෙස, ඔහු වැඩ කරන ජනයාගෙන් ඉල්ලා සිටියේ ය.

දිසානායක ආන්ඩුව, ඇමරිකා එක්සත් ජනපදය සමඟ මිලිටරි සබඳතා ශක්තිමත් කර ගැනීම, ජ්‍යෙෂ්ඨ ඇමරිකානු හමුදා නිලධාරීන්ගේ සංචාර සාදරයෙන් පිලිගැනීම සහ චීනයට එරෙහි ව එක්සත් ජනපද මිලිටරි ගොඩනැගීම් සමඟ පෙලගැසීම මගින්, වොෂින්ටනයේ භූ දේශපාලනික න්‍යාය පත්‍රයට තම සහයෝගය ප්‍රකාශකර තිබේ.

පාර්ලිමේන්තු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකාව සඳහා හොඳම ගනුදෙනුව ලබා ගැනීම සඳහා ආන්ඩුවට සහාය දීමට ඇති තම පක්ෂයේ කැමැත්ත වහාම ප්‍රකාශ කලේ ය. විපක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා ද හදිසි ද්විපාර්ශ්වික සහයෝගීතාවය සඳහා කැඳවුම්කරමින් “දේශපාලන පක්ෂපාතිකම් පසෙකලෑමට” ඉල්ලා සිටියේය.

ලංකා වානිජ මන්ඩලය සහ ඒඇසසං වැනි මහා ව්‍යාපාරික උපදේශක කන්ඩායම්, බදු සහන සහ අනෙකුත් සහන වැඩි කරන ලෙස දිසානායක ආන්ඩුවට සක්‍රීය ව බලපෑම් කරමින් සිටිති.

තීරුබදු සම්බන්ධයෙන් ඕනෑ ම ගනුදෙනුවක් සඳහා ඇති හැකියාව ඉතා සීමිත ය. ට්‍රම්ප් තීරුබදු මුලින්ම ප්‍රකාශයට පත් කිරීමෙන් ගත වූ මාස තුනකට වැඩි කාලය තුල එලැඹ ඇත්තේ--එකක් බ්‍රිතාන්‍යය සමඟ සහ දෙවැන්න වියට්නාමය වසයෙන්-- එකඟතා දෙකකට පමනි. එපමනක් නොව, නව තීරුබදු ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍ර කරනු ඇති අතර, තවත් ගෙවුම් ශේෂ අර්බුදයක් පුපුරුවාලීමේ හැකියාව ඇත.

මෙම මස මුල දී නිකුත් කල වාර්තාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්), එක්සත් ජනපදය පැන වූ දැවැන්ත තීරුබදු පිලිබඳ ව කනස්සල්ල පල කලේ ය. තීරුබදු මගින් අපනයන අඩු කල හැකි බවත්, ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතය මූලික ප්‍රක්ෂේපනවලට වඩා සියයට 1.5 කින් හැකිලීමට ඉඩ ඇති බවත් එය අනතුරු ඇඟවී ය. අයිඑම්එෆ් පුරෝකථනය කලේ, වෙලඳ අපගමනය හේතුවෙන් අපනයන දල දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස සියයට 3 කින් පමන පහත වැටිය හැකි බවයි.

අයිඑම්එෆ්, රැකියාවිරහිතභාවයේ නැගීමක් ගැන අනාවැකි කීවද, රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීම සහ රාජ්‍ය වියදම් දැඩි ලෙස කපා හැරීම ඇතුලු ව එහි වත්මන් කප්පාදු පියවර අප්‍රමාද ව අඛන්ඩ ව ම කර ගෙන යා යුතු බව අවධාරනය කලේ ය.

ට්‍රම්ප්ගේ තීරුබදු වලට වෘත්තීය සමිති නිලධරයන් ප්‍රතිචාර දැක්වූයේ, ආන්ඩුව සහ මහා ව්‍යාපාරිකයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති කැමැත්ත සහතික කිරීමෙනි.

අප්‍රේල් මාසයේ දී, නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ (නිවෙකපොසේසේසං) නායක ඇන්ටන් මාකස්, සමාගම් සහ වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුලත් පාර්ලිමේන්තු කමිටු පිහිටුවන ලෙස ඉල්ලා සිටියේ ය. ඔහු යෝජනා කලේ, එක්සත් ජනපද ආනයන තීරුබදු වලින් නිදහස් කිරීමෙන්, ශ්‍රී ලංකාවට ට්‍රම්ප්ගේ අනුග්‍රහය 'දිනාගත හැකි' බවයි.

ලංකා වෙලඳ සංගමයේ (සීඑම්‍යූ) නායක එස්.පී. නේතන්, තීරුබදු ආපසු හරවාගන්නා ලෙස ට්‍රම්ප් පරිපාලනයට වඳ ආයාචනයක් ඉදිරිපත් කලේ ය - පුදුමයට කරුනක් නො වී ම, එම කනිපින්දමට ට්‍රම්ප්ගෙන් ප්‍රතිචාරයක් ආවේ නැත.

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති නිලධරයන් - නිවෙකපොසේසේසං, සීඑම්‍යූ සහ ජවිපෙ පාලනය කරන අන්තර් සමාගම් සේවක සංගමය (අසසේසං) ඇතුලුව - ශ්‍රී ලංකාවේ ධනවාදය මුහුන දෙන සෑම අර්බුදයකට ම නිරන්තරයෙන් ප්‍රතිචාර දක්වා ඇත්තේ, අර්බුදයෙ බර සෑම විට ම කම්කරු පන්තිය මතට මාරු කරමින්, ආන්ඩු සහ දැවැන්ත සමාගම් සමඟ ඔවුන්ගේ සහයෝගිතාව ගැඹුරු කිරීමෙනි.

2008 ගෝලීය මූල්‍ය අර්බුදය අතරතුර, ඔවුහු ප්‍රධාන ඇඟලුම් කර්මාන්තශාලා වසාදැමීමට සහ අනෙකුත් මහා පරිමාන දොට්ට දැමීම්වලට සහාය දුන්හ. ඒ හා සමාන ව, 2020 දී කෝවිඩ්-19 වසංගතය අතරතුර, රැකියාවලින් දොට්ට දැමීම්, වැටුප් කප්පාදු සහ අනාරක්ෂිත සේවා කොන්දේසි පැන වූ, 'ත්‍රෛපාර්ශ්වික කාර්ය සාධක බලකායකට' සහාභාගී වූ අතර එ මඟින් අහිමි වූ රැකියා ප්‍රමානය 150,000 කි.

කම්කරු පන්තියේ ඕනෑ ම ස්වාධීන බලමුලු ගැන්වීමකට විරුද්ධ වූ ඔවුහු, 2022 ආර්ථික බිඳවැටීම අතරතුර පනවන ලද දොට්ට දැමීම්වලට අභියෝග කිරීම ප්‍රතික්ෂේප කලෝය. එමෙන්ම, වික්‍රමසිංහ සහ දිසානායකගේ නායකත්වයෙන් යුත් ආන්ඩු දෙක විසින් ම ක්‍රියාවට දැමූ, අයිඑම්එෆ් ඇන වූ සමාජ ප්‍රහාරවලට සම්පූර්නයෙන්ම සහාය දුන්හ.

තීරුබදු යුද්ධය සහ එහි විනාශකාරී සමාජ ප්‍රතිවිපාක හුදකලා සිදුවීම් නොවේ. ඒවා මුල්බැස ඇත්තේ, ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදය තුල ය. ගෝලීය ආර්ථික කැලඹීමට හෝ උත්සන්න වන තීරුබදු යුද්ධවලට කම්කරුවන් වගකිව යුතු නැති අතර, ශ්‍රී ලංකාවේ ධනවාදය සහ එහි පාලක ප්‍රභූව ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ අයිතිවාසිකම් කැප නොකල යුතු ය.

ලාභ පද්ධතිය හෝ ජාතික ආර්ථික රාමුවක සීමාවන් තුල වැඩ කරන ජනතාවට තම රැකියා, වැටුප්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හෝ අනාගතය ආරක්ෂා කර ගත නොහැක. මෙම ප්‍රහාරවලට මුහුන දීම සඳහා කම්කරුවන් අරගලය තමන්ගේ අතට ගෙන, සමාජවාදී සහ ජාත්‍යන්තර ඉදිරිදර්ශනයක පදනම මත තම කාර්මික සහ දේශපාලන ශක්තිය බලමුලු ගැන්විය යුතු ය.

ඇඟලුම් සේවකයින් සහ බලපෑමට ලක් වූ අනෙකුත් සියලු ම අංශ, කර්මාන්තශාලා සහ නිවහන් ප්‍රදේශවල, ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කර ගන්නා සහ ප්‍රජාතන්ත්‍රීය ව පාලනය කරන තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු ය. ධනේශ්වර පක්ෂ සහ වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීන වූ මෙම කමිටු, කර්මාන්තයන් පුරා කම්කරුවන් සමඟ සම්බන්ධීකරනයෙන් විරෝධතා, වැඩ වර්ජන සහ කර්මාන්තශාලා වාඩිලා ගැනීම් වැනි ක්‍රියාමාර්ග සාකච්ඡා මාර්ගයෙන් තීන්දු කල යුතු ය.

ඔවුන්ගේ ඉල්ලීම්වලට පහත සඳහන් ඒවා ඇතුලත් විය යුතු ය:

  • රැකියා කප්පාදු එපා, වැටුප් අඩු කිරීම් එපා, නරක අතට හැරෙන සේවා කොන්දේසි හෝ වැඩ ප්‍රමානය අධික කිරීම එපා.
  • ෆැක්ටරිවලට පාලනය තමන් යටතට ගැනීම ඇතුලු කාර්මික ක්‍රියාමාර්ග ගැනීමෙන් සියලු ම කර්මාන්තශාලා වැසීමට විරුද්ධ වනු. හාම්පුතුන් හා වෘත්තීය සමිති විසින් අටවන නාමික වන්දි ගනුදෙනු ප්‍රතික්ෂේප කර, විකල්ප රැකියාවක් සහතික කරදෙන තෙක් සම්පූර්න වැටුප ඉල්ලා සිටිනු.
  • ජීවන වියදමට සරිලන ආකාරයට වැටුප් හැඩගස්වමින්, මූර්ත වැටුප් ඛාදනය පියවා ගැනීම සඳහා වැටුප් වැඩිකරනු.
  • යහපත් නිවාස සහ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය ද සමග, සම්පූර්න වැටුප් සහිත ලෙඩ නිවාඩු සහතික කරනු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවට එරෙහි සටන මෙන්ම, තීරුබදු යුද්ධයට එරෙහි අරගලය ද ස්වභාවයෙන්ම ජාත්‍යන්තර ය. ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ අනෙකුත් කම්කරුවන් ගෝලීය ධනේශ්වර ප්‍රහාරයට එරෙහි පොදු සටනක දී, දේශසීමා ඉක්මවා තම පන්ති සහෝදර සහෝදරියන් සමඟ එක්සත් විය යුතු ය.

මෙම එකමුතුව ගොඩනැගිය යුත්තේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භ කරන ලද කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (කක්‍රික-ජාකස) පිහිටුවීම හරහා ය. බංග්ලාදේශය, ඉන්දියාව, වියට්නාමය සහ දකුනු හා නැගෙනහිර ආසියාව පුරා තීරුබදු පියවරයන්ට එරෙහි ව සටන් කරන කම්කරුවන් සම්බන්ධ කරමින් ඔවුන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට දිරිමත් කරමින්, කක්‍රික-ජාකස හා සම්බන්ධ වන ලෙස ඔවුන්ට ආරාධනා කල යුතුය.




Loading