ආන්ඩුව අධ්‍යාපන කථිකාචාර්යවරුන්ගේ  වැටුප් හා සේවා විෂමතා ගැටලු  දිගට ම නොතකා හරියි

ඊයේ (14) ඉසුරුපාය, බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂනයක යෙදුනු ලංකාවේ ජාතික අධ්‍යාපන පීඨ, ගුරු විද්‍යාල හා ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානවල ගුරු කථිකාර්යවරු මෙන්ම ගුරු අධ්‍යාපනඥයින් බියවැද්දීම සඳහා ආන්ඩුව සිය ගනනක් පොලිස් භටයින් යොදා තිබුනි. උද්ඝෝෂනය කැඳවා තිබුනේ, ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්ගේ සංගමය (ශ්‍රීලඅසේකසං) යි. 

සියයකට වැඩි උද්ඝෝෂක අධ්‍යාපනඥයින්ගේ පිකට් බෝඩ් අවහිර කිරීමට, ඒ හා සමාන විශාල  පොලිස් බල ඇනියක් යෙදවීම මගින් ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ඕනෑ ම උද්ඝෝෂනයක් මැඩීමට  ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)  නායකත්වය දෙන ජාතික ජනබලවේගය (ජාජබ) ආන්ඩුවේ සුදානම පෙන්නුම් කෙරුනි.  

වෘත්තීය සමිති නායකයින්, සාමාජිකයන්ට කියා තිබුනේ, “මහජන දිනය” නිමිත්තෙන් අගමැති මෙන්ම  අධ්‍යාපන ඇමැතිවරිය ද වන  හරිනි අමරසූරිය නිසැක ලෙසම අමාත්‍යංශයට එනු ඇති බවයි.  එහෙත් අමරසූරිය හෝ අමාත්‍යාංශ ලේකම් ඊයේ එහි ආවේ නැත. 

ශ්‍රීලඅසේකසං නායකත්වය පෙරදා මාධ්‍යයකට කියා තිබුනේ, බලයට පත් වූ තැන් සිට ගෙවුනු මාස කීපය තුල පමනක් හත් වතාවක්- දල වසයෙන් සෑම මසකට වතාවක් බැගින්- ඔවුන්, අමරසූරිය හා අනෙකුත් නිලධාරීන් සමග නිරර්ථක සාකච්ඡා පවත්වා  තිබෙන බවයි. තව දුරටත් එම සංගමයේ ඉල්ලීම් ගැන සාකච්ඡා කිරීමට සුදානම් නැති බව අමරසූරිය අඟවා තිබුනේ එසේ ය. 

බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට  ජූලි 14දා උද්ඝෝෂනයේ නිරත අධ්‍යාපන කථිකාර්යවරුන්ගේ පිකට් බෝඩ් අවහිර කරන පොලිසිය

කෝපභරිත සාමාජිකත්වය අස්වැසීමට සමිති සාමාජිකත්වය මාධ්‍යය ඉදිරියේ පැවසුවේ,  ඉදිරියේදී  තමන් “දැවැන්ත අරගලයක් අඛන්ඩ ව” සිදුකරන බවයි.  එම දැවැන්ත අරගලය කුමක්දැයි සංගමයේ නායකයෝ පැහැදිලි නොකලහ. වෙනත් ආකාරයක විරෝධතා දැක්වීමකින්, අධ්‍යාපන ඇමතිනිය නම්මා ගත හැකි යයි ගනන් බැලීම මිත්‍යාවක් වනු ඇත.  ආන්ඩුව මුදල්  වියදම් කරන්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (අයිඑම්එෆ්) පනවා ඇති සීමාවන් යටතේය. 

පොලිස් අවහිර කිරීම් නෙතකා පැයකට අධික කාලයක් තිස්සේ ගුරුවරු අමාත්‍යාංශය ඉදිරිපිට රැදී  සටන්පාඨ හඬ නැගූහ. ඔවුන් ප්‍රදර්ශනය කල පිකට් බෝඩ්වල,  “නියමිත වැටුප  අහිමි කර මාස 43යි, කෝ විසඳුම්?” ,  “ගුරුවරු අගය කිරීමෙන් තොර ව ගුනාත්මක් අධ්‍යාපනයක් නැත”,  “ගුරු අධ්‍යාපනයේ අභාවයද මේ?”, “ නිර්බාධ උසස්වීම් අපට අකැපද?” යනාදී සටන් පාඨ ලියා තිබුනි.

ගුරු අධ්‍යාපනඥයින් හා ගුරු කථිකාචාර්යවරු යනු, ගුරු සේවයේ දීර්ඝ කාලයක් සේවය කොට පසු ව විභාගයකින් විධායක මට්ටමේ සැලකෙන තනතුරුවලට පත්කෙරෙන අධ්‍යාපනඥයින් ය. රටපුරා ඇති ජාතික අධ්‍යාපන පීඨ 20, ගුරු විද්‍යාල 8 සහ ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන 112ක කථිකාචාර්යවරු හා ගුරු අධ්‍යාපනඥයෝ 1,500ක පිරිසක් දැනට සේවයේ නියැලෙති. 

උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම් අතර ප්‍රධාන ඉල්ලීම් දෙකකි. පලමුවැන්න,  නිර්බාධ උසස්වීම් ක්‍රියාවලියට ගුරු අධ්‍යාපන සේවය ඇතුලත් කිරීමට අවශ්‍ය කටයුතු නොකිරීම:  සාමාන්‍ය විධායක ශ්‍රේනියේ නිලධාරියෙකුට පලමු ශ්‍රේනියට (වෘත්තියෙන් උසස්වීම් හා ඉහල වැටුප් ලැබිය හැකි තත්වය) ඇතුලුවීමට වසර 12ක් ගතවුවද, ගුරු අධ්‍යාපනඥ සේවා කතිකාචාර්යවරුන්ට ඒ සඳහා වසර 17ක් ගත වෙන බව චෝදනා කල උද්ඝෝෂකයෝ එය සාමාන්‍ය විධායක ශ්‍රේනියේ මෙන් වසර 12ක කාලයට ගෙන එන ලෙස ඉල්ලා සිටියෝ ය.  

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂනයේ නිරත අධ්‍යාපන කථිකාචාර්යවරු

දෙවන ඉල්ලීම ලෙස ඉදිරිපත් වූයේ, ගුරු වැටුප් විෂමතාව විසඳීමට පියවර නොගැනීම: කෝවිඩ්-19 වසංගතය මධ්‍යයේ දී ගුරුවරුන් අතරින් පැන නැගි උද්ඝෝෂන හේතු කොට, ආන්ඩුවේ පාසැල්වල ගුරුවරුන්ට ලබා දීමට බල කෙරුනු සොච්චම් වැටුප් වැටුප් වැඩිවීම මෙන්ම,  2025 ගුරුවරුන් ඇතුලු ආන්ඩුවේ සේවකයන්ට ලබාදුන් සොච්චම් වැටුප් වැඩවීම,  ගුරු අධ්‍යාපන කථිකාචාර්යවරුන්ට ලබා දී නැත. එනම්,  උසස්වීම් ලැබෙන විට ඊට  සරිලන ආකාරයෙන් වැටුප් වැඩිවීම මෙම කන්ඩායමට  ලැබී නැත.

දිසානායක-අමරසූරියගේ ආන්ඩුව, අධ්‍යාපන ක්ෂේත්‍රයේ විධායක කම්කරුවන්ගේ මෙම සාධාර්මික වැටුප් හා සේවා ඉල්ලීම් දිගින් දිගටම නොතකා හැරීම මගින් ඇඟවුම් කරන්නේ,  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමේ දී, කම්කරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඇහුන්කන් දීමට තමන් සූදානම් නැති බවයි. දශක ගනනාවක් තිස්සේ විවිධ පාලක පන්තීන් විසින් කම්කරුවන්ගේ වැටුප් හා සේවා කොන්දේසි තලා දැමීමේ කටයුත්ත, කොන්දේසි විරහිත ව දැන් භාර ගෙන ඇත්තේ  ජවිපෙ/ජාජබ ආන්ඩුව යි. 

මෙම කටුක සත්‍යය සමිති නායකයින් විසින් සාමාජිකත්වයට වසන් කරයි. ඒ වෙනුවට ඔවුහු ශ්‍රේනිවාදී කා කොටා ගැනීම් ඇවිස්සීම මගින් කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් වැලක්වීමට කටයුතු කරමින් සිටිති. ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට ගෙන ඒමේ දී,  ලක්ෂ සංඛ්‍යාත ගුරුවරුන් ඇතුලු අධ්‍යාපන කම්කරුවන්ගේ සහාය ඒ වටා රැලිකරවීමට මෙම වෘත්තීය සමිති ඉටුකලේ සුලුපටු කාරියක් නොවේ. 

දැනුදු ඔවුහු සාමාජිකයන්ට ඇඟවීමට වෑයම් කරන්නේ, ඔවුන් මුහුන දී ඇති ප්‍රශ්නවල මූලය අධ්‍යාපන ඇමතිගේ හෝ අනෙකුත් නිලධාරීන්ගේ පුද්ගලික අසමර්ථභාවයේ ප්‍රතිපලයක් ලෙස විනා, ජනාධිපති, අගමැති ඇතුලු ආන්ඩුවේ අයිඑම්එෆ් ගැති තීන්දු නිසා සිදුවන්නක් ලෙස නොවේ.  

අවුරුදු 27ක් විධායක සේවයේ නිරත වූ, නම් සඳහන් කිරීමට අකැමැති වූ අධ්‍යාපන විධායක නිලධාරියෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුට කීවේ, තමා ඇතුලු විශාල පිරිසක් ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය දුන්නේ, විශාල බලාපොරොත්තු ඇති ව බවයි. “පේනවානේ දැන් ආන්ඩුව අපිට සලකන විදිය, අද අධ්‍යාපන ඇමති අපේ අපේ ඉල්ලීම් ගැන සාකච්ඡා කරන්නවත් ආවේ නෑ. මේක තමයි ඔවුන් අපිට සලකන විදිය” ඔහු කීවේ ය. 

දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ඉමහත් මුදලක් වැය වන බවත්, සෞඛ්‍ය ඇතුලු අනෙකුත් සේවාවන්ට මෙන්ම පාරිභෝගික භාන්ඩ මිල ඉහල යන තත්වයක් යටතේ වැටුප් මේ විදියට ලබා නොදීම මගින් තමන් පත් ව සිටින දුෂ්කර තත්වය ගැන ඔහු විස්තර කලේ ය. 

“අනෙක් හැම ආන්ඩුවක්ම එපා වෙලා තමයි අපි මේ ආන්ඩුව බලයට ගේන්න ඡන්දය දුන්නේ. මේක සමාජවාදී ආන්ඩුවක් කියලා මිත්‍යාවක් මට තිබුනේ නැතත්, කලින් තිබුන ආන්ඩුවලට වඩා මහජනයා ගැන හිතලා වැඩ කරයි කියලා හිතුවේ. ඒත් දැන් ඒ සියල්ල ම බොරු බව ඔප්පු වෙලා තියෙනවා”, ගුරු අධ්‍යාපනඥයා සිත් තැවුලෙන් සඳහන් කලේ ය.    

තම ඉල්ලීම් උදෙසා ජුලි 14දා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂනයේ නිරත අධ්‍යාපන කථිකාචාර්යවරු

ජවිපෙ/ජාජබ ආන්ඩුව ක්‍රියාත්මක කරන්නේ අයිඑම්එෆ් වැඩපිලිවෙල බවත්,  මෙම කප්පාදු පියවර ලෝකයේ අවශේෂ පාලක පන්තීන් විසින් ඒ ඒ රටවල කම්කරු පන්තියට එල්ල කර ඇති ප්‍රහාරයේ ම කොටසක් බවත් ලෝසවෙඅ වාර්තාකරු ඔහුට පැහැදිලි කලේ ය. 

අයිඑම්එෆ් රුදුරු කප්පාදු නියෝග මත ක්‍රියාත්මක වෙමින් ආන්ඩුව වැඩ පටන් ගත්තේ ම, ඉසුරුපායේ මෙම අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරියේ ම තමන්ගේ රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා උද්ඝෝෂනයේ නිරත වූ, සිය ගනනක් පාසැල් සංවර්ධන නිලධාරීන්ට (පාසංනි) මුර්ග පොලිස් ප්‍රහාර එල්ල කරමින්,  හතර දෙනෙකු පමන අභූත චෝදනා මත අත්අංගුවට ගනිමිනි. 2021 වසරේ උපාධීධාරීන් 16,000ක් පමන පාසංනි ලෙස සේවයේ යොදවා තිබෙන අතර, ඔවුන්ගේ මාසික වැටුප ස්ථිර ගුරු සේවයේ අයට වඩා රු. 6,500කින් අඩු ය.

මේ වන විට රටේ දකුනේ මෙන්ම උතුරේ ද රැකියා විරහිත උපාධිධාරීන් 40,000කට අධික සංඛ්‍යාවක් සිටින අතර, මැතිවරනයට සහාය දිනා ගැනීම සඳහා දිසානායක සහ ජවිපෙ/ජාජබ, උපාධිධාරීන්ට රැකියා ලබා දීම ද ඇතුලු කප්පරක් ව්‍යාජ  පොරොන්දු ලබා දුන්හ. ජවිපෙ/ජාජබ ආන්ඩුව දැන් මෙම පොරොන්දු කානුවට දමා ඇත. ගුරු පුරප්පාඩු 40,000ක් රටපුරා පාසැල්වල පවතින බව මෑතක දී හෙලිදරව් කෙරුනු අතර, ඒවා පිරවීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට ආන්ඩුවට උත්සුකතාවක් ඇත්තේ නැත. 

පසුගිය දෙසැම්බර් මාසයේ දී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද  හුලංගමුව අනතුරු ඇඟවුයේ,  දැනට මිලියන 1.3ක් වන රාජ්‍ය සේවක ප්‍රමානය ලක්ෂ හත හමාර දක්වා, රැකියා ලක්ෂ පහ හමාරකින් කපා දැමීමට සිදු වනු ඇති බවයි. මෙය ආන්ඩුවේ ද ස්ථාවරය වී තිබෙන බව ඇඟවුම් කරමින්,  ඇමති ලාල් කාන්ත මෑතක දී කීවේ,  සියලු දෙනාට රජයේ රැකියා ලබා දීමට ආන්ඩුව බැඳී නැති බව යි. 

මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා පීඩිත ජනයාගේ ජීවිතය හා මරනය සම්බන්ධ ප්‍රශ්නයක් වන සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ඇති ව තිබෙන මාරක ගැටලු  අතර වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමන්ඩලයේ දැවැන්ත හිඟය ඉදිරියට පැමින තිබේ.  මෙසේ වන්නේ, කෝවිඩ්-19 වසංගතය,  චිකුන්ගුන්යා, ඩෙංගු ඇතුලු  මාරක රෝග වේගයෙන් පැතිරෙමින් ජනගහනයෙන් අතිමහත් ප්‍රමානයක් රෝගීන් බවට පත් කරමින් පවතින තත්වය තුල ය. උතුරු පලාතේ පමනක් එකදු හෙදියක්වත් හෝ නොමැති රෝහල් 33ක් ඇති බව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස හෙලි කරේ මෑතක දී ය.  සමසෞඛ්‍ය  උපාධිධාරීන් 500ක් පමන මෑතක දී රජයේ රෝහල්වල පවතින පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් සඳහා බඳවා ගන්නා ලෙස උද්ඝෝෂනයේ යෙදෙති.

මහජනයාගේ ජීවිත හා සෘජු ව ම බැඳී ඇති තිබෙන මෙම ක්ෂේත්‍රවලට අයිඑම්එෆ් කප්පාදු පිලිවෙත් බලපාන්නේ නැතයි යන මිත්‍යාවක් පවතී. අයිඑම්එෆ් වැඩපිලිවෙල මේ ආන්ඩුවටත් පෙර සිට ම තිබුනා නේදැයි එක් ගුරුවරයෙක් ප්‍රශ්න කලේ ය. බලයට ඒමේදී අයිඑම්එෆ් නය කොන්දේසි පිලිබඳ නැවත සාකච්ඡා කරන බව කියමින් ඡන්දය ලබාගත් ජවිපෙ/ජාජබ නායකයන්, එම බොරු පොරොන්දු කුනු කූඩයට දමා ඇති බව ද, එම කප්පාදු වැඩපිලිවෙල අකුරක් නෑර ක්‍රියාවට දමන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බව ද ලෝසවෙඅ වාර්තාකරුවෝ එහිදී පෙන්වා දුන්හ.  

මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් කම්කරු පන්තිය කරබදු කරදීමට දිසානායක මුලුමනින්ම කැප ව සිටී.  ධනේශ්වර ක්‍රමය ගෝලීය වසයෙන් ම අර්බුදයේ කිඳා බැසීම එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී රටවල ප්‍රතිචාරය වී ඇත්තේ, අනෙකුත් රටවල් යටත් කරගැනීම සඳහා නව විජිතකරන යුද්ධය උත්සන්න කරන අතර ම, ඒ යුද්ධයට  කරබදු කරවීම සඳහා රට තුල කම්කරු පන්තියේ  වැටුප් ඇතුලු අතීත අරගලවලින් දිනාගත් සියලු අයිතිවාසිකම් කාබසිනියා කිරීමයි. අවශේෂ රටවල පාලක පන්තීන් මෙන්ම දිසානායක ආන්ඩුව ක්‍රියාවට දමා ඇත්තේ මෙම ප්‍රහාරයන්ම ය. 

Loading