ඉදිරිදර්ශන

2025 ජූලි 4 දිනය: ට්‍රම්ප්, කතිපයාධිකාරය සහ ඇමරිකාවේ ප්‍රති-විප්ලවය

[මෙය July 4, 2025: Trump, the oligarchy and the American counter-revolution යන මැයෙන් 2025 ජූලි 03 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 2025 ජූලි 1 වන අඟහරුවාදා, ෆ්ලොරිඩාවේ ඔචොපී හි ඩේඩ්-කොලියර් පුහුනු සහ සංක්‍රමන කලාපයේ පිහිටුවා ඇති නව රැඳවුම් කඳවුරක සංචාරය කරමින්. [AP Photo/Evan Vucci]

2025 ජූලි 4දා නිදහස් ප්‍රකාශනය අත්සන් කිරීමෙන් වසර 249 ක් සැපිරෙන අතර, එය 'ජීවිතය, නිදහස සහ සතුට හඹා යාමේදී', 'විනාශකාරී' බවට පත්වන ඕනෑම ආන්ඩුවක් 'වෙනස් කිරීමට හෝ ඉවත් කර දැමීමට' ජනතාවට ඇති අයිතිය තහවුරු කලේය.

නිදහස් දිනය සමරනු ලබන්නේ පෙලපාලි, බාබකියු, විනෝද චාරිකා සහ ගිනිකෙලි සංදර්ශන සමඟිනි. ඒ සියල්ල සතුට ගෙන දේ; මනා ය. කෙසේ වෙතත්, ඇමරිකානු විප්ලවයේ ඉරනම සහ රටේ තත්වය ගැන බැරෑරුම් ලෙස සිතා බැලීමට යම් කාලයක් වෙන් කිරීම අවශ්‍යය ය. එක්සත් ජනපදය එහි පැවැත්මේ 250 වන වසර ආරම්භ කරන විට, එය දේශපාලන, සමාජීය, බුද්ධිමය සහ සංස්කෘතික ප්‍රතිවිප්ලවයක ග්‍රහනයට හසුව සිටී. ජෙෆර්සන්ගේ අමරනීය ලේඛනය තුල ප්‍රකාශ කරන ලද සහ බ්‍රිතාන්‍ය රාජාන්ඩුවට එරෙහි අරගලයට පමනක් නොව, වහල්භාවය අහෝසි කල 1861-65 දෙවන ඇමරිකානු විප්ලවයට ද ආවේශය ලබා දුන් සියලුම ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ප්‍රචන්ඩ ප්‍රහාරයකට ලක්ව ඇත.

1863 දී ගෙටිස්බර්ග් හිදී සිදුකල ඔහුගේ කතාවේදී, සියලු මිනිසුන් සමානව නිර්මානය කර ඇති බවට වන මූලධර්මය මත පදනම් වූ ජාතියකට 'දිගු කලක් පැවැතිය හැකිද' යනුවෙන් ලින්කන් විමසීය. වසර එකසිය හැට දෙකකට පසු, ධවල මන්දිරයේ ෆැසිස්ට් දාමරිකයා සහ ඔහු නියෝජනය කරන කතිපයාධිකාරය, ඔවුන්ගේ පිලිතුර ලබා දෙමින් සිටී: 'නැත, එයට බැරි ය, එසේ නොවිය යුතු ය, එමෙන් ම එසේ නොවනු ඇත.'

ට්‍රම්ප් තන්ත්‍රය යනු හුදෙක් තවත් එක දක්ෂිනාංශික ආන්ඩුවක් හෝ ව්‍යවස්ථාපිත ආන්ඩුවේ “සාමාන්‍ය” ගමන් මගෙහි තාවකාලික අපගමනයක් නොවේ. එය නියෝජනය කරන්නේ, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීමකි. “සාමාන්‍ය තත්වයට” ආපසුයාමක් සිදු නොවනු ඇත. “නව සාමාන්‍යය” වන්නේ “අසාමාන්‍ය” යි. පාලක පන්තිය ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය වෙතට හැරෙමින් සිටී.

ජූලි 4 ට පෙර දිනවල සිදු වූ දේ සලකා බලන්න. බ්‍රහස්පතින්දා (03), එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මන්ඩලය, ඇමරිකානු ඉතිහාසයේ ධනවත්ම ස්ථරයට සිදුකල විශාලතම ධන හුවමාරු අතරට එක්වන පන්ති යුද පනතක් සම්මත කලේය. ට්‍රම්ප් අද (4) පනතට අත්සන් කරන විට, ඔහු, මෙඩිකේඩ් සෞඛ්‍ය රක්ෂනය, ආහාර සහනාධාර සහ කෝටි සංඛ්‍යාත ජනතාවකට ආධාරක වන අනෙකුත් සමාජ වැඩසටහන් ඉලක්කර ගත් ඩොලර් බිලියන සිය ගනනක කප්පාදු ක්‍රියාත්මක කරනු ඇත. මෙම කුරිරු කප්පාදු සැලකෙන්නේ, ධනවතුන් සඳහා ට්‍රිලියන ගනනක බදු සහනවලට ගෙවීම සඳහා වන මූලික ගෙවීමක් ලෙස ය.

ොධවල මන්දිරය සහ එය අරක්ගෙන සිටින ෆැසිස්ට්වාදීන්, සොහ්රන් මම්දානිට තර්ජනය කරන හා ඔහුව හෙලාදකින උද්ඝෝෂනය උත්සන්න කිරීමට කේන්ද්‍රීය අවධානයක් යොමු කර තිබේ. ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් සෝෂලිස්ට් සංවිධානයේ සාමාජිකයෙකු වන මම්දානි, සොච්චම් සමාජ ප්‍රතිසංස්කරන ඉල්ලා සිටින වැඩපිලිවෙලක් මත නිව්යෝර්ක්හි නගරාධිපතිධුරය සඳහා වන ඩිමොක්‍රටික් ප්‍රාථමික මැතිවරනය ජයග්‍රහනය කලේ ය.

'කොමියුනිස්ට් උන්මත්තකයෙකුට නිව්යෝර්ක් විනාශ කරන්න මම ඉඩ දෙන්නේ නැහැ,' ට්‍රම්ප් බදාදා (02) කෝපයෙන් බිරුසන් දුන්නේ ය. 'කාරනය සහතික ය, මම සියලු ලීවර අල්ලාගෙන සිටිමි, සියලු ම කාඩ්පත් මා සතුව ඇත.' වෙනත් වචන වලින් කිවහොත්, මම්දානිට ඡන්දය දුන් ලක්ෂ සංඛ්‍යාත ජනතාව තුට්ටුවකට ගනන් ගන්නේ නැත; දිනන්නේ කවුදැයි තීරනය කරන්නේ ජනාධිපතිවරයා ය. එය, සැල්වදෝර් ඇලෙන්ඩේ බලයෙන් පහකිරීමට සහ චිලියේ දස දහස් ගනනක් ඝාතනය කිරීමට හේතු වූ, එක්සත් ජනපද පිටුබලය ලත් හමුදා කුමන්ත්‍රනයට පෙර හෙන්රි කිසිංගර්ගේ—'රටක් එහි ජනතාවගේ වගකීම් විරහිතභාවය නිසා කොමියුනිස්ට් වන ආකාරය දෙස බලා සිටීමට අපට අවශ්‍ය ඇයි දැයි මට නොතේරේ'—කුප්‍රකට ප්‍රකාශය සිහිපත් කරයි.

ෆ්ලොරිඩා එවර්ග්ලේඩ්ස් හි ගාල් කඳවුරක් විවෘත කිරීම සැමරීම සඳහා ද ට්‍රම්ප් ගියේය. සංචාරයෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී ට්‍රම්ප්, ලේඛනගත නොකල සංක්‍රමනිකයින් සඳහා පමනක් නොව, ඇමරිකානු පුරවැසියන් සඳහා ද කඳවුර යොදාගන්නා බවට තර්ජනය කලේය. 'ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අපේ රටේ උපත ලැබූ අය යි,' ට්‍රම්ප් ප්‍රකාශ කලේය. 'මම හිතන්නේ, මකබෑවිලා යන්න කියලා, අපි ඔවුන්වත් මෙතනින් එලියට දැමිය යුතුයි. ඔබට සත්‍යය දැන ගැනීමට අවශ්‍යයි. ඉතින්, සමහර විට එය අපේ ඊලඟ වැඩ කටයුත්ත විය හැකියි.'

ඔහුගේ දෙවන ධුරකාලයේ මාස පහ තුල, ට්‍රම්ප් ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ කුමන්ත්‍රනයක් අධීක්ෂනය කර ඇත—අසීමිත විධායක බලය තහවුරු කරන විධායක නියෝග රොත්තක් නිකුත් කිරීමේ සිට, අධිකරන තීන්දු නොසලකා හැරීම, අයිසීඊ ගෙස්ටාපෝව විසින් සංක්‍රමනික කම්කරුවන් සමූහ වශයෙන් වටලා ග්‍රහනයට ගැනීම, ලොස් ඇන්ජලීස් වීදිවල හමුදාව යෙදවීම සහ ගාසා තීරයේ ජන සංහාරයට විරුද්ධවූවන් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට උත්සාහ කිරීම ඇතුලුව, දේශපාලන විරුද්ධත්වය සාපරාධීකරනය කිරීම දක්වා ගොස් ඇත.

ප්‍රතිවිප්ලවය, සමාජ හා බුද්ධිමය ජීවිතය පුරාම පැතිර තිබේ. වසංගතයෙන් විනාශයට පත් මහජන සෞඛ්‍යය සම්පූර්නයෙන්ම කුඩුපට්ටම් කරමින් තිබෙන අතර, එන්නත්කරනය ප්‍රතික්ෂේප කරන්නන් සහ කුමන්ත්‍රන න්‍යායාචාරීන් රජයේ ඉහලම තනතුරුවලට උසස් කරනු ලැබේ. බදාදා, ආහාර හා ඖෂධ පරිපාලනය (Food and Drug Administration) හෙලි කලේ, ට්‍රම්ප් විසින් පත් කල, කොවිඩ්-19 වසංගතය සුලුකොට තකන ප්‍රමුඛයෙකු වන වෛද්‍ය විනයා ප්‍රසාද්, එන්නත් අනුමත කිරීම් පිලිබඳ තමන්ගේ ම විද්‍යාඥයින්ගේ නිර්දේශ නොසලකා හැර ඇති බවයි—එය විද්‍යාත්මක සම්මතයක් පෙර නොවූ විරූ ලෙස උල්ලංඝනය කිරීමකි.

ඇමරිකානු අධිරාජ්‍යවාදය ලෝකය පුරාම ගෙනියනු ලබන්නේ ද රටතුල දියත් කර තිබෙන එම සාපාරාධීත්වම ය; එම පන්ති යුද්ධයම ය. සඳුදා (ජූනි 30), ගාසා තීරයේ සිදුවෙමින් පවතින ජන සංහාරයක් අධීක්ෂනය කරමින් සිටින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වොෂින්ටනයට සංචාරය කරනු ඇත. ඇමරිකානු ආයුධ සහ ඇමරිකානු මුදල් භාවිතා කරමින්, ඊශ්‍රායල හමුදාව සෑම දිනකම, පලස්තීන පිරිමින්, කාන්තාවන් සහ ලමයින් එලිපිට මරාදමමින් සිටින අතර, ඒවාට දඬුවම් නැත. නෙතන්‍යාහුගේ සංචාරය සිදු වන්නේ, ට්‍රම්ප් පරිපාලනය, ජාත්‍යන්තර හා දේශීය නීතිය මුලුමනින්ම උල්ලංඝනය කරමින් සිදු කරන ලද යුද ක්‍රියාවක් වන, ඉරානයට බෝම්බ හෙලීමෙන් පසුව ය.

මෙම සිදුවීම් සලකා බලනවිට, එක්සත් ජනපදය තුල ගුනාත්මකව අලුත් සහ බිහිසුනු දෙයක් සිදු නොවන බවට මවාපෑමක් පවත්වා ගැනීම දැනුවත්ව රවටා ගැනීමකි. නිව් යෝර්ක් ටයිම්ස් හි තීරු ලිපි රචක ජැමෙල් බූයි ඊයේ ප්‍රකාශයට පත් කරන ලද, 'එයට මුහුන දෙන්න. ට්‍රම්ප් නියම රිපබ්ලිකානුවෙක්' යන මැයෙන් වූ තීරු ලිපියක, මාධ්‍ය සහ ඩිමොක්‍රටික් පක්ෂ කවයන් තුල පවතින මෙම ස්වයං තෘප්තිමත් ආකල්පය සාරාංශ කලේ ය.

ට්‍රම්ප්, සුවිශේෂී සාහසික ක්‍රියාවන්හි නියැලෙමින් සිටිනවා විය හැකිවුවත්, 'බොහෝ අතින් සාමාන්‍ය රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකි' යනුවෙන් බූයි ලියයි. පසුගිය වසර 20 තුල පැවති රිපබ්ලිකන් ජනාධිපති ධුර දෙක ම 'ව්‍යසනයෙන් අවසන් විය' යනුවෙන් ඔහු නිගමනය කරයි. 'ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය, එම නීතිය කඩ කරන ව්‍යතිරේකයක් වනු ඇතැයි සිතීමට කිසිදු හේතුවක් නැත.'

ට්‍රම්ප් හුදෙක් 'සාමාන්‍ය රිපබ්ලිකන් ජනාධිපතිවරයෙක්' නම්, ප්‍රතිචාර වශයෙන් සැලකිය යුතු කිසිවක් අවශ්‍ය නොවේ. දැනුවත්ව හෝ නොදැනුවත්ව, එවැනි ප්‍රකාශවල කාර්යය වන්නේ, මෙම ස්ථරයන් අන් සියල්ලටම වඩා බිය වන දෙය වන, ට්‍රම්ප් පරිපාලනය සහ එය රඳා පවත්නා සමාජ ක්‍රමයට එරෙහි මහජන ව්‍යාපාරයක් වැලැක්වීම සඳහා ජනතාව නිර්වින්දනය කර තැබීම යි.

ට්‍රම්ප් පරිපාලනය යනු, බලයේ සිටින දේශපාලනික පාතාලය යි—නමුත් මෙම දේශපාලනික පාතාලය ඇමරිකානු පාලක පන්තිය ද වේ. වසර අටකට පෙර, 2017 ජනවාරි 3 වන දින ප්‍රකාශයට පත් කරන ලද තම අලුත් අවුරුදු ප්‍රකාශය තුලදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට්‍රම්ප්ගේ පලමු මැතිවරනයේ වැදගත්කම පැහැදිලි කලේ මෙසේ ය:

එලඹෙන ට‍්‍රම්ප් පරිපාලනය එහි අරමුනු හා ඊට අයත් පුද්ගලයින් අතින් ගත් කල, කතිපයාධිකාරයෙහි කැරැල්ලක ගුනාංග සහිත වෙයි. විනාශය තීන්දු කෙරුනු සමාජ පන්තියක් සිය අවසානය කරා ලඟා වෙද්දී, ඉතිහාසයේ රලපහරට මුහුන දීමට එය දරන ප‍්‍රයත්නය තුල, සිය බලය හා වරප‍්‍රසාද දිගු කලක් තිස්සේ ඛාදනය වීම ආපසු හැරවීමට දරන වෑයමක ස්වරූපය ගන්නේ ඉඳ හිට නො වේ. සමාජ හා ආර්ථික පරිවර්තනයෙහි දෘඪතර බලවේග සිය පාලනයේ පදනම් කා දැමීම ඇරඹීමට පෙර, එම පන්තිය වරෙක භුක්ති විඳි තත්වය (නැතහොත් එසේ යැයි ඔවුන් සිතන තත්වය) කරා කොන්දේසි ආපසු හැරවීමට උත්සාහ දරයි. ...

“ඇමෙරිකාව යලි ශ්‍රේෂ්ඨත්වයට පත් කරමු” යන ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිඥාවෙන් භාවිතයේ දී අදහස් කරන්නේ, දසක ගනනක මහජන අරගල තුලින් අත් කර ගැනුනු, කම්කරු පන්තියේ ජීවන තත්වයන් ඉහල නැංවූ සමාජ ප‍්‍රතිසංස්කරනවලින් යමක් ඉතිරි ව ඇත් නම් එය අතුගා දැමීම යි. ...

මෙම විශ්ලේෂනය සම්පූර්නයෙන්ම සනාථ වී ඇත. ට්‍රම්ප්ගේ පලමු ධුර කාලය තුල ඒකාධිපතිත්වයක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කල නමුත්, එය සම්පූර්න කිරීමට නොහැකි විය. එම ධුර කාලය අවසන් වූයේ, මැතිවරනය පෙරලා දැමීමේ අරමුනින් 2021 ජනවාරි 6දා දියත් කල කුමන්ත්‍රන වෑයමිනි.

වගකිවයුත්තන්ට දඩුවම් පැමිනවීම වෙනුවට, ඩිමොක්‍රටික් පක්ෂය ඊලඟ සිව් වසර ගත කලේ, ට්‍රම්ප්ගේ නැවත පැමිනීම වෙනුවෙන් කොන්දේසි සකස් කිරීම සඳහා ය. ජනගහනයේ පුලුල් කොටසකගේ අවශ්‍යතා කෙරෙහි ඩිමොක්‍රටිකයන් දැක්වූ සතුරුකම සහ ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස්වල වාර්ගික හා අනන්‍යතා දේශපාලනය උමතු ලෙස ඔවුන් විසින් ප්‍රවර්ධනය කිරීම, තොරොම්බල්කාරයෙකු සහ ෆැසිස්ට්වාදී වාචාලයෙකු වන ට්‍රම්ප්ට දේශපාලන සංස්ථාපිතයේ විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිටීමට ඉඩ අවකාශ සලසා දුන්නේ ය.

ඩිමොක්‍රටික් පක්ෂය, ඇමරිකානු ලිබරල්වාදයේ බිඳවැටීමේ ආන්තික ප්‍රකාශනය යි. එය වෝල් වීදියේ සහ මිලිටරි-බුද්ධි යාන්ත්‍රනයේ පක්ෂයකි. එය, බියගුලුකම, දුස්සහාය සහ ට්‍රම්ප් තන්ත්‍රය සමඟ සම්පූර්න සහයෝගීතාවය එකට ඒකාබද්ධ කරයි. සති දෙකකට පෙර සිදු වූ දේශපාලන දන්ඩ නමස්කාරයකදී, ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඉදිරිපත් වූ යෝජනාවක් පරාජය කිරීමට ඡන්දය දීමේදී ඩිමොක්‍රටික් නායකත්වය රිපබ්ලිකන් පක්ෂය සමඟ අත්වැල් බැඳගත්තේය.

කෙසේ වෙතත්, ගැඹුරු හා වැඩෙන මහජන විරෝධයක් පවතී. ට්‍රම්ප් සංක්‍රමනිකයින්ට, සිසුන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මේ වසරේ දැනටමත් රට පුරා මහජන විරෝධතා පැන නැගී තිබේ. “රජවරු එපා” යන ධජය යටතේ පසුගිය මාසයේ පැවති විරෝධතා ඇමරිකානු ඉතිහාසයේ විශාලතම ආන්ඩු විරෝධී උද්ඝෝෂනවූ අතර ඒවාට මිලියන ගනනක් සහභාගී වූහ.

ඇමරිකානු විප්ලවය තුල මූර්තිමත් වූ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ගේ බලගතු අනුනාදය රැඳී ඇත්තේ පාලක පන්තිය තුල නොව, කම්කරු පන්තිය තුල ය. ඒකාධිපතිත්වයේ, ජන සංහාරයේ සහ යුද්ධයේ කම්පන මධ්‍යයේ, මිලියන ගනනක් රැඩිකලීකරනය වෙමින් සිටිති.

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමයි. ඒකාධිපතිත්වයට සහ යුද්ධයට වේගයෙන් ඇදී යන පාලක පන්තියක් හමුවේ, නිෂ්ක්‍රමනශීලීව සිටින්නැයි බන දේශනා කරන, බර්නි සැන්ඩර්ස්, ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටිස් සහ මම්දානි මෙන්, ධනවාදයේ පදනම්වලට අභියෝග නොකර “කතිපයාධිකාරය” ගැන දොඩවන සියල්ලන් ප්‍රතික්ෂේප කිරීම අත්‍යවශ්‍ය ය.

කම්කරු පන්තියේ විප්ලවයෙන් පමනක් බව කතිපයාධිකාරයේ ප්‍රතිවිප්ලවය පරාජය කිරීමේ හැකියාව ඇති බව, ඇමෙරිකාවේ මෙන්ම ලෝකය පුරා මිලියන සංඛ්‍යාත කම්කරුවන් සාක්ෂාත් කර ගත යුතු අතර ඔවුන් එලෙස සාක්ෂාත් කරගනු ඇත.

ඇමරිකානු විප්ලවයේ මෙම සංවත්සරයේදී, සමාජවාදී සමානතා පක්ෂය නව විප්ලවයක් දියත් කිරීම සඳහා මහජන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට කැඳවුම් කරයි—එය කතිපයාධිකාරීත්වයේ පාලනය පෙරලා දමා සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ අවශ්‍යතා මත පදනම්ව සමාජය ප්‍රතිසංවිධානය කරනු ඇත. ලෝක සමාජවාදයේ වැඩපිලිවෙල මගින් මෙහෙයවනු ලබන කම්කරු පන්තියේ සවිඥානික මැදිහත්වීම හරහා සාපරාධී ට්‍රම්ප් පරිපාලනය බිඳ දැමිය යුතුය.

Loading