[මෙය Dollar fall an expression of the crisis of US and global capitalism යන මැයෙන් 2025 ජූනි 30 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
1971 අගෝස්තු මාසයේදී ජනාධිපති නික්සන් එක්සත් ජනපද ඩොලරයේ රන් පිටුබලය ඉවත් කිරීමටත්, 1930 ගනන්වල වියවුල් සහගත තත්ත්වයෙන් පසු ව ස්ථාපනය කරන ලද පශ්චාත් යුධ මුදල් පර්යායේ කේන්ද්‍රීය ඵලකයක් වූ 1944 බ්‍රෙට්න්වුඩ්ස් ගිවිසුම අවලංගු කිරීමටත් ගත් තීරනයෙන් ඉක්බිති ව, 1973 සිට, වසරක් සඳහා ඩොලරය දැන් එහි නරක ම ආරම්භය අත්කර ගෙන ඇත.
වසරේ මුල් මාස හය තුල, ඩොලරය ප්‍රධාන මුදල් ඒකක හයකට සාපේක්ෂව සියයට 10 කට වඩා පහත වැටී ඇති අතර, එය, මූල්‍ය කැලඹීම් සහ ආතතිසහගත කාල පරිච්ඡේදයන් තුල ආරක්ෂිත තෝතැන්නක් වූ ප්‍රමුඛ මුදල් ඒකකය ලෙස එහි තත්ත්වය කෙරෙහි විශ්වාසය නැති ව යාමේ සලකුනකි.
වසර ආරම්භයේ සිට ම ඩොලරය පහත වැටීමේ පීඩනයකට ලක් ව තිබූ අතර, අප්‍රේල් 2 වන දින ට්‍රම්ප් රටවල් ගනනාවකට දැවැන්ත “එකට එක තීරුබදු” පැනවීම නිවේදනය කිරීමෙන් පසු, එහි පහත වැටීමේ හැරවුම් ලක්ෂ්‍යයක් පසු කලේ ය.
මෙම තීරනය මගින් පෙන්නුම් කරන ලද පශ්චාත් යුධ ජාත්‍යන්තර වෙලඳ පද්ධතියේ උඩු යටිකුරු වීම මූල්‍ය කැලඹීම් ඇති කල අතර, එක්සත් ජනපද බැඳුම්කර වෙලඳපොලේ සැලකිය යුතු පහත වැටීමක් සමග පොලී අනුපාත ඉහල යාමට හේතු විය.
නමුත් “සාමාන්‍ය” ප්‍රතිචාරය ලෙස සැලකෙන ඩොලරයට මාරු වීමක් සිදු වීම වෙනුවට, ඩොලරය අඩු මිලට විකිනීමක් සිදු වූ අතර, පවතින තේමාව “ඇමරිකානු වත්කම් විකිනීම” වන බැවින් මුදල් වෙලඳපොලවල එහි වටිනාකම පහත වැටුනි.
සාකච්ඡා පැවැත්වීමට ඉඩ සැලසීම සඳහා තීරුබදු වැඩි කිරීම් ආරම්භ කිරීමට දින 90 ක විරාමයකට ට්‍රම්ප් අප්‍රේල් 9 වන දින ගත් තීරනය නොතකා, මෙම පහත වැටීම දිගට ම පැවතුනි. බැඳුම්කර වෙලඳපොලවල් විකුනා දැමීම්වලට ට්‍රම්ප් ප්‍රතිචාර දක්වමින් සිටි අතර, එය “චුට්ටක් සෙලවෙන” තත්වයකට පත් වීමට පටන් ගෙන ඇති බව ඔහු පැවසීය.
එතැන් සිට මාස තුනකට ආසන්න කාලයක් තුල, එක්සත් රාජධානිය සමඟ ඇති කරගත් ගිවිසුමක් හැර වෙනත් කිසිදු ගිවිසුමක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, [තීරුබදු] විරාමය අවසන් කිරීමේ අවසන් දිනය වන ජූලි 9 ලඟා වීමත් සමඟ නොසන්සුන්තාව නැවත පැමිනෙමින් තිබේ. කනස්සල්ල යොමු වන්නේ සමස්ත එකට එක තීරුබදු ගැන පමනක් නොව, ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද අනෙකුත් පියවරයන්, විශේෂයෙන් ජපානයට සහ ජර්මනියට එරෙහි ව යොමු කර ඇති මෝටර් රථ සඳහා තීරුබදු වැඩි කිරීම් ගැන ය.
මෝටර් රථ කර්මාන්තයට ඩොලර් බිලියන ගනනක පාඩුවක් සිදුවීමට තර්ජනය කරන තීරුබදු වැඩි කිරීම් සම්බන්ධයෙන්, ජපානය, ට්‍රම්ප් පරිපාලනය සමඟ සාකච්ඡා මාලාවක නිරත වී ඇතත්, කිසිදු එකඟතාවයකට පැමින නොමැත.
ඊයේ (ජූනි 29) ඩොලරය තවත් සියයට 0.5 කින් පහත වැටීමෙන් පසු, ඩොලරයේ පහත වැටීම පිලිබඳව ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත අදහස් දක්වමින්, මූල්‍ය සමාගමක් වන අයිඑන්ජී හි විදේශ විනිමය උපායමාර්ගිකයෙකු වන ෆ්‍රැන්චෙස්කෝ පෙසෝල්, ඊට හේතු කිහිපයක් පෙන්වා දුන්නේය.
තීරුබදු යුද්ධය, එක්සත් ජනපද නය ඉහල යාම සහ එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ ස්වාධීනත්වයට එල්ල කරන අඛන්ඩ ප්‍රහාර උපුටා දක්වමින්, “ඩොලරය, දෙවෙනි වර පැමිනි ට්‍රම්ප්ගේ අක්‍රමවත් ප්‍රතිපත්ති වෙනුවෙන් වේවැල් පහර කන කොලුවා බවට පත් ව ඇති,” බව ඔහු පැවසී ය.
ෆෙඩරල් මහ බැංකුවේ පොලී අනුපාතිකය එහි වර්තමාන සියයට 4.5 මට්ටමේ සිට සියයට 1 ක් හෝ 2 ක් තරමට අඩු කල යුතු බවට වන ඔහුගේ ඉල්ලීමට අනුකූල ව පොලී අනුපාත කපා හැරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ෆෙඩරල් මහ බැංකුවේ සභාපති ජෙරොම් පවෙල් “මොට්ටයෙකු” සහ “මුග්ධයෙකු” ලෙස නම් කර තිබේ.
ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ කැලඹිලි සහගත තත්ත්වය සහ ඔහුගේ බදු අඩු කිරීමේ අයවැයෙන් ගලා එන නය වැඩි වීමට අනුව, ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 36 ක නය කන්දට තවත් ඩොලර් ට්‍රිලියන 3.2 ක් පමන එකතු විය හැකි බවට, එෆ්ටී විසින් පවත්වන ලද මත විමසුමකදී ආර්ථික විද්‍යාඥයින් විසින් අදහස් දක්වා ඇත.
මත විමසුම පිලිබඳ සිය වාර්තාවේ, ට්‍රම්ප්ගේ “ලොමුදැහැ ගන්වන සීමාව ඉක්මවා යන මූල්‍ය ප්‍රතිපත්ති” සමග “ෆෙඩරල් සංචිතයේ ස්වාධීනත්වයට එල්ල කරන ප්‍රහාර, විදේශ ආයෝජකයින් සඳහා අවසාන ආරක්ෂිත තෝතැන්න ලෙස එක්සත් ජනපදයේ තත්ත්වය හීන කිරීමේ අවදානමක් පවතින” බව එය පැවසීය.
ඔස්ටින් හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ සරෝජ් භට්ටරායි විසින් කරන ලද ප්‍රකාශයක්, පවතින මනෝභාවය සාරාංශගත කරයි.
“වඩාත් ආරක්ෂිත වත්කම් ලෙස පෙනී යන්නේ ස්විස් ෆ්‍රෑන්ක් සහ රත්තරන් ය. ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදය නැගී එන වෙලඳපොලක මට්ටමට පහත වැටී ඇති සේ පෙනේ; එමඟින්, ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතාවය, දිගුකාලීන ප්‍රතිලාභ ඉහල යාමටත්, මුදල් වටිනාකම පහත වැටීමටත් හේතු වන පරිදි, පාරිතෝෂික සම්බන්ධ ඉහල යන අවදානමකට හේතු වේ.”
ට්‍රම්ප් විසින් “නිදහස් දිනය” ලෙස නම් කරන ලද අප්‍රේල් 2 න් පසු සිදු වූ දේ උපුටා දක්වමින්, ප්‍රධාන මැඩ්රිඩ් විශ්ව විද්‍යාලයක ආර්ථික විද්‍යාඥයෙකු වන එවි පැපා මෙසේ පැවසීය: “එක්සත් ජනපද භාන්ඩාගාරය [බැඳුම්කර] තවදුරටත් ආරක්ෂිත වත්කමක් නොවිය හැකිය.”
ඇමරිකානු ඩොලරය කෙරෙහි විශ්වාසයක් නොමැතිකම රන් මිල නව ඉහල මට්ටම් කරා තල්ලු කරයි – එය මේ වසරේ සියයට 25 කින් පමන ඉහල ගොස් ඇති අතර එක් අවස්ථාවක දී අවුන්සයකට ඩොලර් 3,500 ක් විය; එය නික්සන් ඇමරිකානු ඩොලරයෙන් රන් පිටුබලය ඉවත් කල විට එහි මිල වූ ඩොලර් 35 ට වඩා 100 ගුනයකි. ඉහල යාමට හේතු වූ එක් සාධකයක් වන්නේ මහ බැංකු විසින් මිලදී ගැනීම් වැඩි කිරීමයි.
යුරෝපීය බදු ගෙවන්නන්ගේ සංගමය (ටීඒඊ) ඉතාලියේ සහ ජර්මනියේ මුදල් අමාත්‍යාංශ සහ මහ බැංකු වෙත ලිපි පවා යවා ඇති අතර, මැන්හැටන්හි ෆෙඩරල් සංචිතයේ රන් සුරක්ෂිතාගාරයේ ඇති ඔවුන්ගේ රත්‍රන් පිටතට ගෙන යන ලෙස ඉල්ලා සිටී.
ටීඒඊ සභාපති මයිකල් ජෙගර් එෆ්ටී වෙත මෙසේ පැවසීය: “ට්‍රම්ප් ෆෙඩරල් රිසර්ව් බැංකුවේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීම ගැන අපි ඉතා කනස්සල්ලට පත් ව සිටිමු.”
ඉරිදා රාත්‍රී රූපවාහිනියෙන්, 1971 දී එක්සත් ජනපද ඩොලරයෙන් රන් පිටුබලය ඉවත් කිරීම, වෙනත් බලවතුන් සමඟ කිසිදු සාකච්ඡාවකින් තොරව සරල ව නිවේදනය කල බව සිහිපත් වන විට එම බිය අස්ථානගත එකක් නොවේ.
ඉහල යන නය මධ්‍යයේ ඩොලරය පහත වැටීම දිගට ම පවතින බැවින්, ට්‍රම්ප් පරිපාලනයට ඕනෑ ම අදියරක දී තම තනි කැමැත්තට ක්‍රියා කිරීමේ හැකියාවක් පවතී.
ට්‍රම්ප් පාලන තන්ත්‍රයේ ආර්ථික කවයන් තුල සංසරනය වන එක් අදහසක් නම්, එක්සත් ජනපද භාන්ඩාගාර බැඳුම්කර නිත්‍ය බැඳුම්කර (perpetual bonds) බවට පත් කල හැකි බවයි; එනම්, ඒවා දිගටම පොලිය ගෙවන අතර, මුදල් ලබා දුන් පාර්ශ්වයට කිසි විටෙකත් මූලික තැන්පතු ව ආපසු නොගෙවනු ඇත - එය එක්සත් ජනපදය විසින් තම නය පැහැර හැරීමකි.
මෙය අප්‍රේල් මාසයේ දී භාන්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත්, අවම වශයෙන්, ඔහුට දැනට එය නිෂ්ප්‍රභ කිරීමට සිදුවීම, නය අර්බුදය ගැඹුරු වන විට සාකච්ඡා කෙරෙන ක්‍රියාමාර්ග පිලිබඳ ඇඟවීමකි.
ඩොලරයේ පහත වැටීමට ආසන්නත ම හේතුව ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාමාර්ග වුව ද, ඒවාමත්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දිගුකාලීන ආර්ථික පරිහානිය තුල මුල් බැසගත් ඓතිහාසික අර්බුදයේ ප්‍රතිඵලයකි.
යුද්ධයෙන් පසු ගෝලීය ධනවාදය නැවත ස්ථාවර වූයේ කිසිසේත් බ්‍රෙට්න්වුඩ්ස් ගිවිසුම නිසා නොව, ඇමරිකාව ලෝකයේ කාර්මික බල-කෝෂ්ඨාගාරය වූ නිසා ය. 1930 ගනන්වල අවුල් සහගත තත්ත්වයෙන් පසු ආර්ථික පිලිවෙල (economic order) ස්ථාපිත කිරීම සඳහා එය තම බලය භාවිතා කලේය.
මෙය ඇමරිකා එක්සත් ජනපදයේ ත්‍යාගශීලීභාවයේ ප්‍රතිඵලයක් නොවේ. මෙය සිදු නොකලහොත් ලෝකය සහ ඇමරිකා එක්සත් ජනපදය අවපාත තත්වයන්ට නැවත පැමිනෙනු ඇති බවත්, ඒ සමඟ සමාජ විප්ලවයේ විය හැකියාව පිලිබඳ භීතියත් මත එය පදනම් විය.
නමුත් ලෝක ආර්ථිකයේ පුනර්ජීවනය, ලෝක වෙලඳාමේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ ස්ථානය ක්‍රමයෙන් අඩපන කල අතර, එය ගෙවුම් ශේෂයට සහ වෙලඳ හිඟයන්ට තුඩු දුන්නේ ය; එහි තේරුම, තවදුරටත් රන් සඳහා ඩොලර් හුවමාරු කර ගත නොහැකි වීමයි.
නික්සන්ගේ තීරනයෙන් පසුව, ඩොලරය ගෝලීය මුදල් ඒකකය ලෙස එහි ස්ථානය රඳවා ගත්තේය. නමුත් එය එසේ කලේ නව පදනම් මත ය. එය ආඥප්ති (ෆියට්) මුදල් ඒකකයක් වූ අතර, එය තවදුරටත් රන් ස්වරූපයෙන් වටිනාකමෙන් නොව, එක්සත් ජනපද රාජ්‍යයේ සහ එහි මූල්‍ය වෙලඳපොලවල බලයෙන් පිටුබලය ලැබීය.
කෙසේ වෙතත්, මෙයට හේතු වූ මූල්‍ය අංශයේ නැගීම, වර්තමාන අර්බුදයට තුඩු දී ඇති ක්‍රියාවලීන් ආරම්භ කලේය. පසුගිය වසර 50 තුල, ඇමරිකා එක්සත් ජනපදය මූල්‍ය පරපෝෂිතභාවයේ සහ සමපේක්ෂනයේ මධ්‍යස්ථානය බවට පත් ව ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය කුනාටු මාලාවක් ඇති විය - 1987 ඔක්තෝබර් කොටස් වෙලඳපොල බිඳ වැටීම, 2001 දී ඩොට්කොම් බුබුල බිඳවැටීම, 2008 කඩා වැටීම සහ 2020 මාර්තු මාසයේ භාන්ඩාගාර වෙලඳපොල කැටි වීම, වඩාත් කැපී පෙනෙන ඒවා ලෙස නම් කල හැකිය.
මෙම කාල පරිච්ඡේදය පුරා ම ආන්ඩුවේ නය වැඩි වීමක් සිදු වී ඇති අතර, විශේෂයෙන් ඒ මිලිටරි වියදම් වැඩිවීම සහ දැවැන්ත සංගත ඇපදීම් හේතුවෙනි. 2008 දී ඩොලර් ට්‍රිලියන 5 ක් පමන වූ ආන්ඩුවේ නය මිල දී ගැනීම සහ විකිනීම සිදු කරන භාන්ඩාගාර වෙලඳපොලේ වර්ධනයෙන් මෙය පිලිබිඹු වේ. අද වන විට එය ඩොලර් ට්‍රිලියන 29 දක්වා ඉහල ගොස් ඇත.
මූල්‍ය වෙලඳපොල ගනුදෙනු වලින් සියයට 15 ක් පමනක් නව ආයෝජන සංවර්ධනය සඳහා සම්බන්ධ වී ඇති අතර සියයට 85 ක් මූල්‍ය වත්කම්වල ගනුදෙනු මත පදනම් වී තිබීමෙන් පෙන්නුම් කෙරෙන්නේ, ලාභ සමුච්චය කිරීමේ ප්‍රධාන ධාවකය ලෙස පරපෝෂිතභාවය සහ සමපේක්ෂනය නැගී ඒම, මූල්‍ය ප්‍රාග්ධනය මත පදනම් වූ කතිපයාධිකාරීත්වයක නැගීමට තුඩු දී ඇති බව යි.
මූල්‍ය ප්‍රාග්ධනයට නිමක් නැතිව සමුච්චය වෙමින්, හිස් අවකාශයෙන්, නය හරහා ලාභයක් නිර්මානය කල නොහැක. සියලුම මූල්‍ය වත්කම්, කොටස්, නය සහ අනෙකුත් විවිධ ගූඪ යාන්ත්‍රන, අවසාන විග්‍රහයේදී, කම්කරු පන්තියෙන් උපුටා ගන්නා අතිරික්ත වටිනාකමට හිමිකම් පෑමකි.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, ධනේශ්වර පර්යායේ රාමුව තුල නැගී එන අර්බුදයට සාමකාමී විසඳුමක් නොමැත. එක්සත් ජනපදය සඳහා, මෙයින් අදහස් කරන්නේ, චීනය වැනි තම ප්‍රතිවාදීන් මෙන්ම යුරෝපයේ පැරනි සගයන් ද පරාජය කිරීමට උත්සාහ කරන විට, ආර්ථික හා මිලිටරි පෙරමුනේ යුද්ධය තීව්‍ර කිරීම සහ ඒකාධිපති පාලන තන්ත්‍රයක් විසින් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරන, කම්කරු පන්තියට එරෙහි යුද්ධයක් සමඟ සම්බන්ධ වීමයි.
චීනය සහ යුරෝපය වැඩි වැඩියෙන් ඉදිරියට ගෙන එන පරිදි, මූල්‍ය සහජීවනය හා සාමකාමී ව තරඟ කරන ඊනියා බහු ධ්‍රැවීය ලෝකයක අපේක්ෂාවක් ද නොමැත. එම මාර්ගය, දෙවන ලෝක යුද්ධයට තුඩු දුන් 1930 ගනන්වල ආර්ථික ගැටුම් වෙත නැවත පැමිනීමකි. ගැඹුරු වන ආර්ථික කැලඹීම් මධ්‍යයේ, ලොව පුරා ආන්ඩු සන්නද්ධ වෙමින් සහ නැවත-සන්නද්ධ වෙමින් සිටින්නේ මේ නිසා ය.
ඩොලර්-නය අර්බුදය මුල් බැස ඇත්තේ හුදෙක් ට්‍රම්ප්ගේ පෞරුෂය හා ක්‍රියාවන් තුල නොවේ - ඔහු සමස්තයක් ලෙස ධනේශ්වර ක්‍රමයේ ඓතිහාසික බංකොලොත්භාවයේ වඩාත් ම දුෂ්ට ප්‍රකාශනය පමනි.
මෙම යුද්ධ ක්‍රමය, ආර්ථික අර්බුදය, අගහිඟකම්, ෆැසිස්ට්වාදී සහ ඒකාධිපති පාලන තන්ත්‍ර අවසන් කිරීමේ දී, ජාත්‍යන්තර සමාජවාදය සඳහා දේශපාලන අරගලයේ අවශ්‍යතාවයත්, එයට නායකත්වය දීම සඳහා සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීමේ අවශ්‍යතාවයත් කම්කරු පන්තිය ඉදිරියේ තබයි.