ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයට අයත් සමාගමක් කොලඹ ඩොක්යාර්ඩයේ පාලනය අත්පත් කර ගැනීමට යයි

[මෙය, “Indian defence ministry-owned company to acquire control of Colombo Dockyard” මැයෙන්, 2025 ජූලි 09 දා පල වූ ලිපියේ පරිවර්තනයකි.]

ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් පාලනය කරනු ලබන නැව් නිශ්පාදන සමාගමක් වන මැසගන් ඩොක් ෂිප්බිල්ඩර්ස් ලිමිටඩ් (එම්ඩීඑල්), ශ්‍රී ලංකාවේ කොලඹ ඩොක්යාර්ඩ් හි බහුතර කොටස් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ සඳුදා ආරම්භ කරන ලද බහාලුම් පර්යන්ත තුනෙන් පලමුවැන්නෙහි බහාලුම් ප්‍රවාහන නෞකාවක් නැංගුරම් ලා ඇත. [AP ඡායාරූපය/AP ඡායාරූපය] [AP Photo/AP Photo]

මෙම ගනුදෙනුවට, ජපානයේ ඔනොමිචි ඩොක්යාර්ඩ් සමාගමට අයත් ව තිබූ කොලඹ ඩොක්යාර්ඩ් හි සියයට 51 ක පාලන කොටස්, ඇමරිකානු ඩොලර් මිලියන 52.9 කට අත්පත් කර ගැනීම ඇතුලත් වේ. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ඔනොමිචි නිවේදනය කලේ තම මූල්‍ය අර්බුදය මධ්‍යයේ තම කොටස් විකිනීමට තීරනය කල බවයි. එම්ඩීඑල් සමඟ ගනුදෙනුව අවසන් කිරීමට තවත් මාස හතරක් හෝ හයක් ගතවනු ඇති අතර, නියාමන අවසරය බලාපොරොත්තුවෙන් සිටී.

1974 දී පිහිට වූ ඩොක්යාර්ඩ්, ශ්‍රී ලංකාවේ විශාලතම නැව් තැනීමේ සහ අලුත්වැඩියා කිරීමේ පහසුකමයි. එය වානිජ හා නාවික නැව් තැනීමේ සහ නඩත්තු කටයුතු සඳහා විශේෂඥ කාර්යයන්හි නිරත වෙයි. 1993 සිට ජපානයේ ඔනොමිචි ඩොක්යාර්ඩ් එහි ප්‍රධාන කොටස්කරු විය.

තම නව ව්‍යාපාරය නිවේදනය කරමින් එම්ඩීඑල් ප්‍රකාශ කලේ, අත්පත් කර ගැනීම මගින්, “ඉන්දියානු සාගර කලාපයේ මූලෝපායික පාදමක් - ප්‍රධාන සමුද්‍රීය කොරිඩෝවක්” සමාගමට ලබා දෙන බවයි.

චීනයට එරෙහි ව ඉන්දියානු සාගර කලාපයේ තම මූලෝපායික පදනම් වර්ධනය කර ගැනීමේ නවදිල්ලියේ වැඩ කටයුතුවල සැලකිය යුතු වර්ධනයක් මෙම ගනුදෙනුව සනිටුහන් කරයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, මෙම පියවර ඉන්දියාවේ මූලෝපායික කක්ෂයට ගැඹුරු ඒකාග්‍ර වීමක් පෙන්නුම් කරන අතර නව දිල්ලිය, චීනය සමඟ යුද්ධය සඳහා එක්සත් ජනපද සූදානමේ ප්‍රධාන හවුල්කරුවෙකි.

2023 දී ඩොක්යාඩය ලැබූ ඇමරිකානු ඩොලර් මිලියන 38.2 ක දැවැන්ත පාඩුව, සියයට 49 ක කොටස් හිමි ශ්‍රී ලංකා ආන්ඩුවට ද අර්බුදයක් වූ බැවින්, ශ්‍රී ලංකාවට ඉන්දියාව වෙත හැරීමට බල කෙරුනි.

ජුනි 29 වන දින, ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ ලිපියක්, ඉන්දියානු නිලධාරීන් උපුටා දක්වමින්, “ශ්‍රී ලංකා ආන්ඩුව ඉන්දියානු ආයෝජකයින් කොලඹ ඩොක්යාර්ඩය මිලදී ගැනීමට දිරිමත් කරන ලෙස ඉන්දීය ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය” යනුවෙන් සඳහන් කලේ ය. රටවල් දෙකෙහි ම බලධාරීන් “ශ්‍රී ලංකාවේ විශාලත ම නැව් අංගනය පිලිබඳ මෙම මූලෝපායික ගනුදෙනුව අවසන් කිරීමට වෙහෙස නොබලා වැඩ කල” බව ලිපියේ වැඩිදුරටත් සඳහන් විය.

කෙසේ වෙතත්, මෙය තනිකරම ව්‍යපාරික ගනුදෙනුවක් නොවේ. ඩොක්යාර්ඩ් හි ඉන්දියානු ආයෝජන සඳහා ආරාධනා කිරීමට දිසානායක ආන්ඩුව ගත් තීරනය නවදිල්ලිය සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ සබඳතා ශක්තිමත් කිරීමේ සිය විදේශ ප්‍රතිපත්තිය සමඟ සමපාත වේ.

දිසානායක දෙසැම්බර් මාසයේ දී නවදිල්ලියට ගොස් “බෙදාහදාගත් අනාගතයක් සඳහා හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම” යන මාතෘකාව යටතේ “ආර්ථික හවුල්කාරිත්වයේ ආයෝජන ප්‍රමුඛ වර්ධනය සහ සම්බන්ධතාවය” වැඩි දියුනු කිරීම සඳහා මෝදි රජය සමඟ “ඒකාබද්ධ දැක්ම ගිවිසුම” අත්සන් කලේ ය.

අප්‍රේල් 4-6 දිනවල මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර, නායකයින් දෙදෙනා ම, ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක ඒකාබද්ධ ආයෝජන සඳහා ගිවිසුම් කිහිපයකට අත්සන් කලහ.

වඩාත් ම වැදගත් දෙය වූයේ සමුද්‍රීය ආරක්ෂාව සහ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වැඩි දියුනු කිරීම සඳහා වසර පහක ආරක්ෂක සහයෝගීතා ගිවිසුමයි. මෙයට ඒකාබද්ධ හමුදා අභ්‍යාස, බුද්ධි තොරතුරු බෙදා ගැනීම, පුහුනුව, ධාරිතාව ගොඩනැගීමේ ආරම්භකත්වයන් සහ ඉහල මට්ටමේ හුවමාරු ඇතුලත් වේ.

ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු දිසානායක ප්‍රකාශ කලේ, “ශ්‍රී ලංකාවේ භූමිය ඉන්දියාවේ ආරක්ෂාව අඩපන කිරීම සඳහා කිසිවෙකුට භාවිතා කිරීමට ඉඩ නොදෙනු ඇත” යනුවෙනි. “අපගේ ආරක්ෂක අවශ්‍යතා එක පෙලකට පැමින ඇත... අපගේ ආරක්ෂාව අන්තර් රඳා පවතින අතර අන්තර් සම්බන්ධිත යයි අපි විශ්වාස කරමු” යයි මෝදි මීට උද්‍යෝගයෙන් ප්‍රතිචාර දැක්වී ය.

1963 සිට ඉන්දීය ආන්ඩුව සතු සමාගමක් ලෙස ක්‍රියාත්මක වන එම්ඩීඑල්, නාවික සහ වානිජ යාත්‍රා යන දෙ වර්ගය ම ඉදිකරයි. 1960 සිට ඉන්දීය නාවික හමුදාව සඳහා “වැඩි දියුනු ‘ඩිස්ට්‍රෝයස්’ වල සිට මිසයිල බෝට්ටු දක්වා යුධ නැව් 30 ක් මෙන්ම සබ්මැරීන 8 ක්” ද ඉදිකර ඇති බව එහි වෙබ් අඩවිය සටහන් කරයි.

ඉන්දියාව සහ එක්සත් ජනපදය “මාස්ටර්” නැව් අලුත්වැඩියා ගිවිසුම් හරහා ඔවුන්ගේ හමුදා සහයෝගීතාව ගැඹුරු කර ඇති අතර, එය ඉන්දියානු නැව් අංගනවලට එක්සත් ජනපද නාවික හමුදා “සීලිෆ්ට් කමාන්ඩ්” යාත්‍රාවලට සේවාවන් ලබා දීමට බලය පවරයි. ලාර්සන් සහ ටූබ්‍රෝ හි කට්ටුපල්ලි අංගනය, මැසගොන් ඩොක් නැව් සාදන්නන් සහ කොචින් නැව් තටාකයේ පහසුකම් මෙම කාර්යය සිදු කිරීම සඳහා අනුමත කර ඇත.

ඇමරිකානු නැව් කිහිපයක් දැනටමත් ඉන්දියාවේ අලුත්වැඩියා කර ඇති අතර, එය, මූලෝපායික හවුල්කාරිත්වය හරහා ඉන්දු-පැසිෆික් කලාපයේ අධිරාජ්‍යවාදී අවශ්‍යතා තහවුරු කිරීම සහ තීව්‍ර වන මිලිටරිකරනය පිලිබිඹු කරයි. කොලඹ ඩොක්යාඩයට දැන් මෙම ජාලයේ කොටසක් විය හැක.

යුරෝපය, මැදපෙරදිග සහ අප්‍රිකාව, චීනය ඇතුලු නැගෙනහිර ආසියාව සමඟ සම්බන්ධ කරන වැදගත් මුහුදු මාර්ගවලට යාබදව ශ්‍රී ලංකාවේ පිහිටීම, එය චීනයට එරෙහි පෙන්ටගනයේ යුද සැලසුම්වල ප්‍රමුඛස්ථානයක් බවට පත් කරයි.

දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ, තමන් සමඟ මූලෝපායිකව පෙල ගැසෙන ලෙස, එක් පසෙකින් ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාවත්, අනික් පසින් චීනයත් ශ්‍රී ලංකාව මත විශාල පීඩනයක් හෙලා ඇත.

චීනයේ “රෝඩ් ඇන්ඩ් බෙල්ට් ආරම්භකත්වය”, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය යටිතල පහසුකම් සඳහා, විශේෂයෙන්ම කොලඹ වරාය නගරය, කොලඹ දකුනු බහාලුම් පර්යන්තය සහ හම්බන්තොට වරාය වෙත සැලකිය යුතු ආයෝජන ගෙන ආවේය.

වාර්ෂික ව බහාලුම් මිලියන තුනකට වඩා හසුරුවන කොලඹ වරායේ, බටහිර ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ, ඇමරිකානු ඩොලර් මිලියන 700–800 ක කොටස් වලින් සියයට 51 ක් ඉන්දියානු සමූහ ව්‍යාපාරයක් වන අදානි සතු ය. ඉන්දියාව ත්‍රිකුනාමලයේ තෙල් ටැංකි සමූහය ද නැවත සංවර්ධනය කරමින් සිටින අතර, මෙය “ශ්‍රී ලංකාවේ බලශක්ති ආරක්ෂාව සහ සමුද්‍රීය හැකියාවන් වැඩි දියුනු කරන” බව පවසයි.

ශ්‍රී ලංකාව තුල සිය බලපෑම පුලුල් කිරීමේ නවදිල්ලියේ වැඩ කටයුතුවල කොටසක් ලෙස, ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (සීඅයිඅයි) සභාපති සංජීව් පූරිගේ නායකත්වයෙන් යුත් ඉහල පෙලේ ව්‍යාපාරික දූත පිරිසක් ජුනි 29 සිට ජූලි 2 දක්වා කොලඹට පැමිනියහ.

දූත පිරිස ජනාධිපති දිසානායක හමුවූ අතර විදේශ ආයෝජකයින් ආකර්ෂනය කර ගැනීමට කොලඹ දරන උත්සාහයන් පිලිබඳව දැනුවත් කරන ලදී. විදේශ සෘජු ආයෝජන ආකර්ෂනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට “ශක්තිමත් ආන්ඩුක්” අවශ්‍ය බව පූරි දිසානායකට පැවසූ බව වාර්තා විය.

2022 දී ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ ආර්ථික බිඳවැටීම සහ රාජපක්ෂ ආන්ඩුව බලයෙන් පහ කල මහජන නැගිටීමෙන් පසු ව නවදිල්ලිය කොලඹ ආන්ඩුවට ඇමරිකානු ඩොලර් බිලියන 4 ක මූල්‍ය ආධාර ලබා දෙන බව නිවේදනය කරන ලදි. මූල්‍ය සහතික ලබා දීමෙන් සහ නය ප්‍රතිව්‍යුහගත කිරීමට සහාය වීමෙන් ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) ඩොලර් බිලියන 3 ක ඇපකර නයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට සහාය විය.

ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමක් ම - එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන ජාතික ජනතා බලවේග ආන්ඩුව සහ දෙමල පක්ෂ - ශ්‍රී ලංකාව එක්සත් ජනපද මූලෝපායික අවශ්‍යතා සහ එහි ඉන්දියානු සහකරු සමඟ ඒකාබද්ධ කිරීමට සම්පූර්නයෙන් ම සහාය දක්වයි. ඔවුන් සියල්ලෝ ම අයිඑම්එෆ් හි කප්පාදු වැඩසටහන අනුමත කරති.

ඇත්ත වශයෙන් ම, ජනාධිපති දිසානායක, පැවති වික්‍රමසිංහ ආන්ඩුවේ ඇමරිකානු ගැති විදේශ ප්‍රතිපත්තිය සහ අයිඑම්එෆ් විසින් මෙහෙයවන ලද කප්පාදු වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිටී. දිසානායක සහ ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන බොහෝ කලකට පෙරම ඔවුන්ගේ පෙර අධිරාජ්‍ය විරෝධී මවාපෑම් අතහැර දැමූහ.

Loading