ශ්‍රී ලංකාවේ උතුරේ චෙම්මනි ප්‍රදේශයෙන් තවත් සමූහ මිනීවලක් සොයා ගැනේ

[මෙම ලිපිය New mass grave uncovered at Chemmani in northern Sri Lanka මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

චෙම්මනි හි අලුතින් හාරන ලද සොහොනක් නිරීක්ෂනය කරන කැනීම් කන්ඩායම [Photo: WSWS]

දශක ගනනාවක් පුරා පැවති දෙමල විරෝධී වර්ගවාදී යුද්ධය සිහිපත් කරමින්, උතුරු ශ්‍රී ලංකාවේ යාපනය නගරයට නුදුරින් පිහිටි චෙම්මනි හි සිටුපත්තුවෙන් තවත් සමූහ මිනීවලක් සොයාගෙන තිබේ. මෙය, මෑත වසරවල දී උතුරේ විවිධ ස්ථානවල අහම්බෙන් හමු වූ සමූහ මිනීවලවල් කිහිපයෙන් එකකි.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව ලක්ෂ සංඛ්‍යාත සොල්දාදුවන් දිගේලි කරමින්, අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් මුදා හරින ලද කුරිරු වාර්ගික යුද්ධය අතරතුර සිදු කරන ලද කෲරකම් පිලිබඳ තවත් සාක්ෂි මෙම සොහොන්බිම් දරා සිටියි.

2009 මැයි මාසයේ දී එල්ටීටීඊයේ පරාජයත් සමඟ අවසන් වූ වසර 26 ක යුද්ධයේදී, උතුරු හා නැගෙනහිර ජනවාර්ගික දෙමල ජනතාවගෙන් 100,000 කට වැඩි පිරිසක් මිය ගිය බවට ගනන් බලා තිබේ. තවත් දහස් ගනනක් බලහත්කාරයෙන් අතුරුදහන් කෙරුනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගනන් බැලීම්වලට අනුව, යුද්ධයේ අවසාන මාසවල දී මරා දැමූ සිවිල් වැසියන් සංඛ්‍යාව 40,000 කි.

මෙම පලාත් දෙක දැඩි හමුදා පාලනය යටතේ පවතින අතර, යුද ගැටුමේ කැලැල් වරින් වර මතුවෙමින් තිබේ.

චෙම්මනි හි සින්තුපත්ති හින්දු ආදාහන භූමියේ විදුලි ආදාහනාගාරයක් ඉදිකිරීම සඳහා කැනීම් කරන අතරතුර, පෙබරවාරි 20දා මිනිස් අස්ථි කොටස් අඩංගු නව සමූහ මිනීවල සොයා ගැනුනි. අධිකරන නියෝගයක් මත ක්‍රියා කරමින්, මහාචාර්ය රාජ් සෝමදේවගේ නායකත්වයෙන් යුත් පුරාවිද්‍යාඥයින් කන්ඩායමක් මැයි 15දා විධිමත් කැනීම් ආරම්භ කලහ.

පසුගිය සතිය වන විට මිනිස් ඇටසැකිලි 42 ක් පමන සොයාගෙන තිබුනි. ප්‍රවෘත්ති වාර්තාවලට අනුව, සම්පූර්න ඇටසැකිලි 37 ක් ගොඩ ගෙන අධිකරන වෛද්‍ය විශ්ලේෂනය සඳහා ප්‍රවේශමෙන් සංරක්ෂනය කර ඇත.

චෙම්මනි සමූහ මිනී වල කැනීමෙන් හමු වූ ඇටසැකිලි වලින් එකක් [Photo: WSWS]

සන්ඩේ ටයිම්ස් වාර්තා කලේ පසුගිය සතියේ කැනීම් සේවකයින්ට ඇඳුමක්, බෑගයක්, සෙරෙප්පු සහ සෙල්ලම් බඩුවක් ද හමු වූ බවයි. මීට පෙර, අනාවරනය නොවූ භාන්ඩ අතර ඇඳුම්, කුඩා වීදුරු වලලු සහ නිල් පැහැති රෙදි පාසල් බෑගයක් ඇතුලත් වූ අතර, එය උතුරු හා නැගෙනහිර පාසල් දරුවන්ට සහානාධාර සංවිධානයක් විසින් බෙදා හරින ලද ආධාර ලෙස හඳුනාගෙන තිබුනි. මේ දක්වා වාර්තාවලට අනුව, මාස 10 ට අඩු ලදරුවන්ගේ අස්ථි කොටස් තුනක් වර්ගීකරනය කර ඇත.

මිනිස් දේහයන් භූමදාන කර ඇත්තේ අඩි 1.6ක් යටින් බව වාර්තාව සඳහන් කරයි - එය සම්මත සාමාන්‍ය අඩි හයක භූමදාන ගැඹුරට වඩා හාත්පසින්ම වෙනස් අසාමාන්‍ය ලෙස නොගැඹුරු භූමදානයකි.

අවසානයේ මෙම සිරුරු වෛද්‍ය විශේෂඥයින් විසින් විශ්ලේෂනය කොට, මරනවලට හේතුව නීර්නය කිරීමට වෑයම් දැරෙනු ඇත. විභූමදානය කල කාලය ඇස්තමේන්තු කිරීම සඳහා දින වකවානු සහිත සෙලෝපේන් එතුම් සහ ඇඳුම් වැනි කෞතුක වස්තු මහාචාර්ය සෝමදේව විසින් පරීක්ෂා කෙරුනු ඇත. චන්ද්‍රිකා ඡායාරූප සහ ඩ්‍රෝන් ඡායාරූපකරනය සුසාන භූමිය තුල දෙවැනි භූමදාන ස්ථානයක් ද හඳුනා ගැනීමට උපකාරී වූ බව ද ඔහු සඳහන් කලේය.

කෙසේ වෙතත්, මීට පෙර උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් හමුවූ සමූහ මිනී වලවල්වලට අත්වූ ඉරනම සැලකූකල, අලුත් මිනීවල සම්බන්ධයෙන් ද විය හැකි දේ වන්නේ, ගැඹුරු විමර්ශනයක් අතහැර දමා සත්‍යය වලලා දැමීම ය.

එකම චෙම්මනි භූමියෙන් සමූහ මිනීවලක් හමු වූ දෙවන අවස්ථාව මෙයයි. වසර විසිපහකට පෙර, 1995-96 කාලය තුල, උතුරේ සේවය කල කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂගේ පාපොච්චාරනයකින් පසු, 1999 දී, අස්ථි කොටස් 15 ක් සහිත සොහොනක් සොයා ගැනුනි.

දෙමල පාසල් සිසුවියක්වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි සමූහ දූෂනයට ලක්කොට ඝාතනය කර, පසුව සිසුවිය සොයා ගිය ඇගේ පවුලේ සාමාජිකයන් සමූලඝාතනය කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ වරදකරු කොට, තවත් හමුදා නිලධාරීන් සිව්දෙනෙකු සමඟ මරන දඬුවම නියම කිරීමෙන් පසුව, ඔහුගේ මෙම හෙලිදරව්ව සිදු විය.

'එල්ටීටීඊ සැකකරුවන්' ලෙස චෝදනා ලැබ අත්අඩංගුවට ගත් හෝ පැහැරගෙන ගිය පුද්ගලයින් හමුදාව විසින් අල්ලා ගෙන, වධහිංසා පමුනුවා ඝාතනය කල ආකාරය පිලිබඳ බියකරු වාර්තාවක් ඔහු සැපයී ය. එම අවස්ථාවේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් මෙම සිදුවීම පුලුල්ව වාර්තා කලේ ය. 1995-96 කාලය තුල රැස් කරන ලද තොරතුරුවලට අනුව, උතුරේ පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් 'අතුරුදහන්' වී ඇත.

මෙය සිදු වූයේ 1995 අප්‍රේල් මාසයේදී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුව, එල්ටීටීඊය සමඟ ඇගේ ව්‍යාජ සාම සාකච්ඡා අවසන් කරමින් ලේ වැකි යුද්ධය නැවත ආරම්භ කල කාලය තුල ය.

1999 දී සමූහ මිනීවල සොයාගත් අවස්ථාවේ, අතුරුදහන් වූවන්ගේ ඥාතීහු යාපනය අධිකරනවල නඩු ගොනු කලහ. මානව හිමිකම් සහ සංවර්ධන මධ්‍යස්ථානයට අනුව, පසුව හමුදාව යාපනය අධිකරනවලින් යුක්තිය ලබා ගත නොහැකි බවට පැමිනිලි කල අතර, එම නඩු උතුරු මැද පලාතේ අගනුවර වන අනුරාධපුරයට මාරු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

කෙසේ වෙතත්, නඩු පැවරූ පුද්ගලයින් අධිකරන සැසි කිහිපයකට සහභාගී වීමෙන් පසුව, හමුදාවෙන් එල්ල වන හිරිහැර හේතුවෙන් නඩුවලට දිගට ම පැමිනීම ප්‍රතික්ෂේප කල අතර, එහි ප්‍රතිඵලය වූයේ ඒවා නිශ්ප්‍රභ කර දැමීම ය.

චෙම්මනි සමූහ මිනීවලෙන් හමුවූ දරුවෙකුගේ යැයි සැලකෙන ඇටසැකිල්ලක් [Photo: WSWS]

චෙම්මනි හි සොහොන්වලවල් නියෝජනය කරන්නේ, අනුප්‍රාප්තික කොලඹ ආන්ඩුවල අනුග්‍රහය යටතේ, හමුදාව විසින් දඬුවම් නොලබා සිදු කරන ලද පුලුල්ව ව්‍යාප්ත ව පැවැති අපරාධවලින් කොටසක් පමනි.

උතුරු හා නැගෙනහිර පලාත් හරහා තවත් සමූහ මිනී වලවල් සොයා ගෙන ඇත. ඒවා නම්, 2013 දී මන්නාරම දිස්ත්‍රික්කයේ තිරුකේතීස්වරම්; 2018 දී මන්නාරමේ සමුපකාර තොග ආයතන පරිශ්‍රය; 2021 දී මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි; සහ 2014 දී මඩකලපුව දිස්ත්‍රික්කයේ කලවන්චිකුඩි යන ප්‍රදේශවලින් හමුවී මිනීවලවල් ය.

මෙම ස්ථානවල කැනීම් සිදු කරන ලද නමුත්, පසුව වැඩිදුර විමර්ශනයක් සිදුවූයේ නැත.

නවතම සමූහ මිනීවල සොයා ගැනීමත් සමඟ අතුරුදහන් වූවන්ගේ ඉරනම පිලිබඳ කනස්සල්ල තීව්‍ර වී දෙමල ජනතාව අතර විරෝධයක් පැන නැගී ඇත. ජුනි 5දා, උතුරු සහ නැගෙනහිර පලාත්වල බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීන් ගේ සංගමය (ARED) නිවේදනයක් නිකුත් කරමින්, චෙම්මනි සමූහ මිනීවල අසල විරෝධතාවක් පැවැත්වීය.

විරෝධතාකරුවන් ප්‍රධාන ඉල්ලීම් පහක් මතු කල අතර, ඒ අතරට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල ව ජාත්‍යන්තර පරීක්ෂනයක් පැවැත්වීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එයට සම්බන්ධ කර ගැනීම ඇතුලත් විය.

2011 සිට, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව සහ ප්‍රංශය ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (යූඑන්එච්ආර්සී), ඊනියා දැඩිමතධාරී කන්ඩායම (ශ්‍රී ලංකාවේ සම්බන්ධ), මෙරට ගැටුම අතරතුර සිදුව ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ යෝජනාවන් සඳහා අනුග්‍රහය දක්වා ඇත.

කෙසේ වෙතත්, යුද අපරාධ ගැන සැලකිලිමත් වනවාට වඩා, විශේෂයෙන් එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවේ ආන්ඩුවලට බීජිං වෙතින් ඈත් වීමට සහ චීනයට එරෙහි ව වොෂින්ටනය මූලිකත්වය දෙන මිලිටරි සූදානම සමඟ පෙලගැසීමට බලපෑම් කිරීම සඳහා මෙම යෝජනා ගසා කෑවේය.

ට්‍රම්ප් යටතේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය, ඊශ්‍රායලයට එරෙහි ව පක්ෂග්‍රාහී වන බවට චෝදනා කරමින් ඇමරිකා එක්සත් ජනපදය එයින් ඉල්ලා අස් විය. දැන් ඊනියා දැඩිමතධාරී කන්ඩායමේ ප්‍රධානියා වන්නේ එක්සත් රාජධානිය යි.

2017 සිට, ARED විරෝධතාවල ක්‍රියාකාරී ව නිරත වන්නේ, මෙම බලවතුන්ට කනිපින්දන් ගසමිනි.

මෙම අධිරාජ්‍යවාදී බලවතුන් යුක්තිය කෙරෙහි උනන්දුවක් දක්වන බවට මිථ්‍යාවක් වගා කිරීම සම්බන්ධයෙන්, දෙමල ජාතික ජනතා පෙරමුන (ටීඑන්පීඑෆ්), ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ) සහ වෙනත් විවිධ දෙමල ජාතිකවාදී කන්ඩායම් සහ ඩයස්පෝරා සංවිධාන වගකිව යුතු ය.

මෙය දේශපාලනික වශයෙන් සාපරාධී ක්‍රියාවකි. මෙම අධිරාජ්‍යවාදී බලවතුන්ම යුද අපරාධ සඳහා වගකිව යුතු අතර, වර්තමානයේ ඔවුහු පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරයට ද සම්පූර්නයෙන්ම සහාය දෙති.

දෙමල පක්ෂ මෙම “ජාත්‍යන්තර ප්‍රජාවට” ආයාචනා කරන්නේ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මැදිහත්වීමට නොව, උතුරු හා නැගෙනහිර දෙමල ප්‍රභූන්ට වැඩි බලතල සහ වරප්‍රසාද ලබා දීම සඳහා කොලඹට පීඩනය යෙදෙන ලෙස ඉල්ලා සිටීමට ය.

වත්මන් ශ්‍රී ලංකා ආන්ඩුව මෙහෙයවනු ලබන්නේ, ආරම්භයේ සිට ම එල්ටීටීඊයට එරෙහි වාර්ගික යුද්ධයට සහාය දුන් සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසිනි. මිලිටරිය විසින් සිදු කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් කිසිදු අව්‍යාජ පරීක්ෂනයකට ඔවුහු දැනුදු දැඩි ලෙස ම විරුද්ධ වෙති .

2024 ඔක්තෝබර් මාසයේ දී, ජවිපෙ ප්‍රමුඛ ආන්ඩුව, එවැනි පරීක්ෂනයක් ඉල්ලා සිටින යූඑන්එච්ආර්සී යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන්, යුද අපරාධ පිලිබඳ ඕනෑ ම ජාත්‍යන්තර පරීක්ෂනයකට තම විරුද්ධත්වය යලි වතාවක් තහවුරු කලේ ය.

සාම්ප්‍රදායික ධනපති පක්ෂවලට එරෙහි පුලුල්ව පැතිරුනු විරෝධය සහ දෙමල ජනතාවගේ අයිතිවාසිකම් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට දුන් පොරොන්දු උපයෝගී කරගනිමින්, පසුගිය වසරේ පලමු වරට ජවිපෙ බලයට පත්විය. එතැන් සිට එය අනෙකුත් හිස් මැතිවරන පොරොන්දු ද සමඟ තම කැපවීම් අතහැර දමා ඇත.

දෙමල ජනතාවට තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා අධිරාජ්‍යවාදී බලවතුන් කෙරෙහි හෝ ශ්‍රී ලංකාවේ - සිංහල හෝ දෙමල - ධනේශ්වර දේශපාලනඥයන් කෙරෙහි විශ්වාසය තැබිය නොහැක. ආරම්භයේ සිට ම කොලඹ ආන්ඩුවේ, වර්ගවාදී යුද්ධයට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමට නිරන්තරයෙන් විරුද්ධ වූ එකම දේශපාලන පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි.

දශක ගනනාවක් තිස්සේ සසප සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) පමනක් උතුරු නැගෙනහිරින් කොන්දේසි විරහිතව හමුදාව ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටි අතර, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක පදනම මත කම්කරු පන්තිය එක්සත් කිරීමේ අරගලයේ කොටසක් ලෙස, දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කලේ ය.

දශකයකට වැඩි කාලයක් තිස්සේ දෙමල වැඩ කරන ජනතාව, යුක්තිය පතා සහ වෙනස්කොට සැලකීම් නතර කරන ලෙස ඉල්ලා අනවරත ව විරෝධතා සහ ව්‍යාපාර දියත් කර ඇත. ඔවුන්ගේ කටුක අත්දැකීම වන්නේ, ප්‍රධාන බලවතුන් හෝ කොලඹ ආන්ඩු හෝ අධිරාජ්‍යවාදයට පක්ෂපාතී දෙමල පක්ෂ, ඔවුන්ගේ කිසිදු ඉල්ලීමක් විසඳන්නේ නැති බවයි.

දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන අරගලය තුලදී දෙමල, සිංහල හා මුස්ලිම් කම්කරුවන් ඒකාබද්ධ කිරීමට සහ ගම්බද දුප්පතුන් ඒ වටා පෙලගස්වා ගැනීමට සසප අඛන්ඩ ව සටන්වැද තිබේ. ජනවාර්ගික ගැටුමට ඇති එක ම ශක්‍ය විසඳුම මෙය වන අතර, සමස්ථයක් ලෙස කම්කරු පන්තියේ සහ පීඩිත ජනයාගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතිවාසිකම් සඳහන් සටන් කිරීමේ එකම දේශපාලන ක්‍රියාමාර්ගය එයයි.

Loading