ඉන්දියාවේ ඖෂධ කම්හලක ගින්නෙන් කම්කරුවන් 42ක් මරුට

[මෙම ලිපිය Indian pharmaceutical factory explosion leaves 42 dead මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජූලි 8දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]

ඉන්දියාවේ කර්මාන්ත ක්ෂේත්‍රය කම්කරුවන්ට මාරක ලෙස අනාරක්ෂිතව පවතින බව නැවත වතාවක් ඛේදජනක ලෙස තහවුරු කරමින්, ජුනි 30දා දකුනු ඉන්දීය තෙලන්ගානා ප්‍රාන්තයේ ඖෂධ කම්හලක සිදු වූ විනාශකාරී පිපිරීමකින් අවම වශයෙන් කම්කරුවන් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් බොහෝ දෙනෙකු තුවාල ලැබුවේය.

පිපිරීම සිදුවන අවස්ථාවේ සේවකයින් 143 දෙනෙකු පමන කම්හලේ රැඳී සිටි අතර, පිපිරීමත් සමග ඇතිවූ ගින්න පරිශ්‍රය පුරා වේගයෙන් පැතිර ගියේය. මල සිරුරු කිහිපයක් හඳුනාගත නොහැකි තරමට පිලිස්සී තිබූ අතර,ඒවා හඳුනා ගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂන සිදුකිරීමට බලධාරීන්ට සිදුවිය.

2025 ජුනි 30දා ඉන්දියාවේ ඖෂධ කම්හලක ඇතිවූ පිපිරීම සහ ගින්නෙන් පසු, ගලවා ගැනීමේ සේවකයින් දිවි බේරා ගත් අය සොයමින්. [AP Photo/Uncredited]

මෙම ඛේදවාචකය සිදුවූයේ, තෙලන්ගානා හි සංගරෙඩ්ඩි දිස්ත්‍රික්කයේ, පශමිලරාම් කාර්මික ප්‍රදේශයේ පිහිටි සිගාචි කර්මාන්ත ශාලාවේ ය. 1989 දී ආරම්භ කරන ලද මෙම සමාගම, ඖෂධ කැප්සියුලවල ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන දැව පල්ප් වලින් ලබාගත් ක්ෂුද්‍ර ස්ඵටික සෙලියුලෝස් (MCC)හි ප්‍රමුඛ නිෂ්පාදකයෙකි. සමාගම අනෙකුත් නිෂ්ක්‍රීය ඖෂධ සංරචක (ඹෟෂධයේ අන්තර්ගතයට අදාල නොවන දේවල්) ද නිෂ්පාදනය කරන අතර ඉන්දියාව පුරා ඇති මධ්‍යස්ථානවලින් රටවල් 65 කට වැඩි ගනනකට තම නිෂ්පාදන අපනයනය කරයි.

පිපිරීම කොතරම් ප්‍රබල වී ද යත් කම්හලෙන් කිලෝමීටර් දෙකක් පමන ඈතින් පිහිටි ඉස්නාපූර් වැසියන්ට එය ඇසුනි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රදේශවාසීහු භීතියේ සහ ව්‍යාකූලත්වයේ දර්ශන විස්තර කලහ.. ගෘහනියක් වන රාජිතා 'බෝම්බයක් පිපිරුනා' යැයි සිතා ඇගේ අඬන දරුවා ද සමඟ දිව ගියාය.

පලාතේ තේ කඩයක් පවත්වාගෙන යන රාමා දේවි පැවසුවේ, “පිපිරීම අපගේ ජනේල සෙලවූ” බවයි. ශබ්දය කොහෙන් ආවේද යන්න මුලදී ඇය ව්‍යාකූලත්වයට පත් කල බවත්, පසුව “දුර සිට කලු දුමාරයක්” දුටු බවත් ඇය කීවා ය. 24 හැවිරිදි ගබඩා සේවකයෙකු වන ප්‍රවීන් කුමාර් එය, “කන් බිහිරි ශබ්දයක්” ලෙස විස්තර කල අතර, පිටතට පැමිනිවිට, “අවට වායුව දුමෙන් හා රසායනික ද්‍රව්‍යවල ගන්ධයෙන් පිරී” තිබුනු බව කීවේ ය.

අනතුරුව, ඉහල පෙලේ රාජ්‍ය නිලධාරීහූ එම ස්ථානයට පැමිනියහ. තෙලන්ගානා සෞඛ්‍ය අමාත්‍ය සී. දමෝදර් රාජා නරසිංහ කිහිප වතාවක්ම එහි සංචාරය කල අතර, පසුව මහ ඇමති ඒ. රේවන්ත් රෙඩ්ඩි එහි පැමිනියේ ය.

මහජන කෝපය සමනය කිරීම සඳහා, මියගිය සෑම කම්කරුවෙකුගේම පවුලකට රුපියල් මිලියන 10 ක් (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.2 ක්) වන්දි වශයෙන් ද බරපතල තුවාල ලැබූ එක් අයෙකුට රුපියල් මිලියන 1 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 11,660 ක් පමන) ලබා දෙන ලෙස ද රෙඩ්ඩි නිලධාරීන්ට නියෝග කලේය. අතීතයේ මෙවන් සිදුවීම්වලදී පොරොන්දු කඩ කිරීමේ කුප්‍රකට ඉන්දියානු බලධාරීන්ගේ වාර්තාව සැලකිල්ලට ගත්විට, මෙම වන්දි පොරොන්දු ඉටු වේවිද යන්න පිලිබඳව මහජනයා තුල ඉමහත් සැක සංකා පවතී.

අනාගත කාර්මික අනතුරු වැලැක්වීමට තම ආන්ඩුව පියවර ගන්නා බව රෙඩ්ඩි ප්‍රකාශ කල අතර, සිගාචි කර්මාන්ත ශාලාවේ සේවා ආරක්ෂක විධිවිධානයන් උල්ලංඝනය කිරීම් විමර්ශනය කිරීම සඳහා සිව් සාමාජික විශේෂඥ කමිටුවක් පිහිටුවන බව නිවේදනය කලේය.

හින්දු පුවත්පතට අනුව , කමිටුව මාසයක් ඇතුලත සිය වාර්තාව ඉදිරිපත් කරනු ඇත. පෙර අත්දැකීම්වලින් පෙනී යන්නේ එහි සොයාගැනීම්, වගකිවයුත්තන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනුකිරීම කරා මෙහෙයවනු නැති බවයි. මේ සා බිහිසුනු ව්‍යසනයක් සිදුව තිබෙද්දීත්, සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිසිවෙකු එම ස්ථානයට නොපැමිනි බව මාධ්‍ය වාර්තා කල අතර, කම්කරුවන්ගේ ජීවිත කෙරෙහි කම්හල් අධිකාරියේ නොතැකීම මෙයින් ඇඟවුම් කෙරෙයි.

වින්දිතයෙකුගේ පවුලේ සාමාජිකයෙකු විසින් ගොනු කරන ලද පැමිනිල්ලක් මත ක්‍රියා කරමින්, සංගරෙඩ්ඩි පොලිසිය ජුනි 30දා පිපිරීම සම්බන්ධයෙන් සිගාචි කර්මාන්ත කලමනාකාරිත්වයට එරෙහිව පලමු ආවේදන වාර්තාවක් (FIR) ගොනු කලේය. ඒ, ඉන්දීය දන්ඩ නීති සංග්‍රහයේ 105 (මිනීමැරීමට සමාන නොවන සාපරාධී මනුෂ්‍ය ඝාතනය), 110 (සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් කිරීමට උත්සාහ කිරීම) සහ 117 (ස්වේච්ඡාවෙන් බරපතල තුවාල සිදු කිරීම) යන වගන්ති යටතේ ය.

අනතුරින් මියගිය කම්හලේ දීර්ඝ කාලයක් සේවය කල, රාජනාල වෙන්කට් ජගන් මෝහන්ගේ පුත් 21 හැවිරිදි සායි යෂ්වන්ත් විසින් මෙම පැමිනිල්ල ගොනු කර ඇත. යල් පැන ගිය යන්ත්‍රෝපකරන සහ ව්‍යසනකාරී අනතුරක අවදානම පිලිබඳව තම පියා සහ අනෙකුත් සේවකයින් සමාගම් කලමනාකාරිත්වයට පුනපුනා අනතුරු අඟවා තිබූ බව යෂ්වන්ත් චෝදනා කලේය. මේ වන විටත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

කාර්මික විශේෂඥයින් උපුටා දක්වමින් හින්දු පුවත්පත වාර්තා කලේ, දැව පල්ප මයික්‍රොක්‍රිස්ටලයින් සෙලියුලෝස් බවට පරිවර්තනය කරන වියලන ක්‍රියාවලියේදී පිපිරීම ඇති වන්නට ඇති බවයි. මෙම ක්‍රියාවලියට උනුසුම් වාතය භාවිතයෙන් පල්ප් වලින් තෙතමනය ඉවත් කර සියුම් කුඩු නිපදවීම ඇතුලත් වේ. විශේෂඥයින් විශ්වාස කරන්නේ මෙම අතිශයින් දහනශීලි නිෂ්පාදිතය, හදිසියේ ජ්වලනය වී මාරාන්තික පිපිරීම ඇති කලා වන්ට පුලුවන් බවයි.

ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ප්‍රවෘත්ති සඟරාවක් වන Moneycontrol.com වාර්තා කලේ, අඛන්ඩ පරීක්ෂන හරහා හෙලිකරගත් 'බරපතල වැරදි' මාලාවක් සාමූහිකව පිපිරීමට හේතු වූ බවයි. දෝෂ සහිත උෂ්නත්ව සංවේදක සහ 399°C පමන උෂ්නත්වයකදී ඇවිලෙන MCC (විද්‍යුත් උපකරනවල ආවරන) අධික ලෙස උනුසුම් වීම හඳුනා ගෙන අනතුරු ඇඟවීමට අසමත්වීම යනාදී වැරැදි මේවාට ඇතුලත් වේ.

වාර්තාවලට අනුව, කර්මාන්ත ශාලාව ක්‍රියාත්මක වූයේ හදිසි ගිනිගැනීම්වලට අදාල වලංගු ගිනි සහතිකයක් නොමැතිව ය. එපමනක් නොව, ස්වයංක්‍රීයව තාපය කපා හැරීමට හෝ අනතුරු ඇඟවීම් සිදුකිරීමට නිර්මානය කර ඇති කම්හලේ අන්තර් අගුලු පද්ධතිය අක්‍රිය වී පැවැතුනි. හිරවූ ඉසින වියලුමක්, දුර්වල නඩත්තුවක් සහ අනාරක්ෂිත සේවා මාරුවීම් වේලාවන් ගැන ද විමර්ශකයෝ සඳහන් කලහ.

ඉන්දියානු රසායනික තාක්ෂන ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ කේ. බාබු රාඕ, පල්ප වියලන යන්ත්‍ර පිලිබඳව විස්තර කලේ, 'පිපිරීමට ආසන්න කාල බෝම්බ' ලෙස ය. අතිශයින්ම අනතුරුදායක වියලන ප්‍රදේශයේ අධික සේවකයන් පිරිසක් ගැවසීම අවදානම තවදුරටත් වැඩි කලේය.

අනෙකුත් සාධක අතරට යන්ත්‍රසූත්‍ර ක්‍රමනුකූලව පරීක්ෂා කිරීමට අසමත්වීම් මෙන්ම පැහැදිලි නියාමන අඩුපාඩු ද ඇතුලත් විය හැකිය. කම්හලේ ආරක්ෂකවිධි විධාන විමර්ශන කිරීම සහ ඒවා බලාත්මක කිරීමේ ප්‍රමානවත් ද යන්න ගැන රාජ්‍ය නිලධාරීන් විසින් ප්‍රසිද්ධියේම ප්‍රශ්න කෙරී ඇත.

සිගාචි කර්මාන්ත ශාලා පිපිරීම ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ මාරාන්තික සිදුවීම් මාලාවක නවතම සිදුවීමයි. 2024 සිට අවම වශයෙන් ප්‍රධාන කාර්මික අනතුරු තුනක් සිදුවී ඇත.

2024 දී, සංගරෙඩ්ඩි හි පිහිටි එස්බී ඕගනික්ස් කම්හලේ සිදුවූ පිපිරීමකින් කම්කරුවන් හය දෙනෙකු ද; එම වසරේම අගෝස්තු මාසයේදී, අසල්වැසි ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අනකපල්ලිහි කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් කම්කරුවන් 17 දෙනෙකු සහ 2025 ජුනි මාසයේදී සිදු වූ තවත් සිදුවීමකින් ආන්ද්‍රා ප්‍රදේශ් හි පරාවාඩා හි කම්කරුවන් දෙදෙනෙක් ද මරනයට පත්වූහ.

ගෝලීය වෘත්තීය සමිති සම්මේලනයක් වන ඉන්ඩස්ට්‍රිඔ්ල් හි දත්ත වලට අනුව, 2024, ඉන්දියාවේ වැඩපලවල ආරක්ෂාව සම්බන්ධයෙන් 'තවත් භයානක වසරක්' වූ අතර, කාර්මික අනතුරු වලින් සේවකයින් 400 කට වැඩි පිරිසක් මිය ගොස් 850 ක් බරපතල තුවාල ලබා ඇත. පුලුල් ලෙස වාර්තා කිරීම්වල පවතින අඩුව හේතුවෙන් සැබෑ සංඛ්‍යාලේඛන මෙයට වඩා බොහෝ වැඩි විය හැකිය.

2025 වසරේ මේ දක්වා වන කාලය තුල රසායනික හා ඖෂධ අංශවලට අදාලව සේවා ස්ථාන සිදුවීම් 60 කින් සේවකයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස්, 170 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සම්මේලනය සඳහන් කලේය.

රටේ ඖෂධවලින් තුනෙන් එකක්, අපනයනයෙන් පහෙන් එකක් සහ ගෝලීය එන්නත්වලින් තුනෙන් එකක් නිෂ්පාදනය කරන්නේ තෙලන්ගානා ප්‍රාන්තයේ බව හින්දු පුවත්පත සඳහන් කලේය. පසුගිය වසර හතර තුල මෙම ප්‍රාන්තය ඩොලර් බිලියන 1.49 කට අධික ආයෝජන මේ ක්ෂේත්‍රයට ආකර්ෂනය කර ගෙන තිබේ.

දැරිය හැකි මිලකට සාමාන්‍ය ඖෂධ සහ එන්නත් නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛ කාර්යභාරය නිසා ඉන්දියාව බොහෝ විට සැලකෙන්නේ, 'ලෝකයේ ඔසුසල' ලෙස ය. 2022 දී, ඉන්දියාවේ ඖෂධ කර්මාන්තය, ඩොලර් බිලියන 50ක ආදායමක් ලබා ඇති අතර, ගෝලීය සාමාන්‍ය ඖෂධවලින් සියයට 20 කට වඩා සහ ලොව පුරා එන්නත්වලින් සියයට 60ක් පමන සම්පාදනය කරයි. ඖෂධ සමාගම් 3,000 කට අධික සංඛ්‍යාවක් තිබෙන ඉන්දියාව, රටවල් 200 කට වැඩි ගනනකට බෙහෙත් අපනයනය කරයි.

ඉන්දියාවේ ලාභදායී ඖෂධ නිෂ්පාදනය මිලියන ගනනකට - විශේෂයෙන් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල - ප්‍රතිලාභ ලබා දී ඇති අතර, ලාභ අභිප්‍රායන් සහ ආන්ඩුවේ නොතැකීම නිසා සිදුවන ආරක්ෂක සහ ගුනාත්මක ප්‍රමිතීන් දැඩි ලෙස උල්ලංඝනය කිරීම් දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද මාරාන්තික ප්‍රතිවිපාක ඇති කර තිබේ.

2020 දී ජම්මු ප්‍රදේශයේ විෂසහිත කැස්ස සිරප් පානය කිරීමෙන් ලමුන් 11 දෙනෙකු මරනයට පත් විය. 2022 දී බටහිර අප්‍රිකාවේ ලමුන් 70කට ආසන්න සංඛ්‍යාවක්, ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් පානය කිරීමෙන් උග්‍ර වකුගඩු අකර්මන්‍යවීම්වලට ලක්ව මිය ගිය ගියහ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාර විමර්ශනයකින් හෙලි වූයේ, මෙම සිරප් වල කර්මාන්තවලදී යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් වන “ඩයිඑතිලීන් ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් අදහාගත නොහැකි පරිමානයෙන්” අඩංගුව තිබූ බවයි.

2022 දී රචිත “බෙහෙත් පෙත්තේ ඇත්ත: ඉන්දියාවේ ඹෟෂධ නියාමනයේ මිත්‍යාව” (The Truth Pill: The Myth of Drug Regulations in India) නම් ග්‍රන්ථයේ කතුවරුන් වන දිනේෂ් එස්. තාකූර් සහ ප්‍රශාන්ත් රෙඩ්ඩි ටී. ඉන්දියාවේ ඖෂධ අනුමත කිරීමේ ක්‍රමයේ පවතින බරපතල අඩුපාඩු හෙලිදරව් කලහ. සංවර්ධිත වෙලඳපොලවල කිසිදා අනුමත නොකල ඖෂධ, ඉන්දියානු නියාමකයින් විසින් අනුමත කර ඇති බව ඔවුන් අනාවරනය කලහ.

යල් පැන ගිය රෙගුලාසි පවා ක්‍රියාත්මක නොකරනවා පමනක් නොව, කිසිදු බලපෑමක් නැති අමුද්‍රව්‍ය හෝ භයානක බැක්ටීරියා එන්ඩොටොක්සින් අඩංගු ඖෂධ ඇතුලුව බරපතල උල්ලංඝනයන් පරීක්ෂකවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් විසින් බොහෝ විට නොසලකා හැරෙයි. ඉන්දියාවේ නියාමන පද්ධතිය විද්‍යාත්මක විධික්‍රමයට වඩා කර්මාන්ත වර්ධනයට, වෙනත් වචන වලින් කිවහොත්, ආරක්ෂාවට වඩා ලාභයට ප්‍රමුඛත්වය දෙන බව කතුවරු තර්ක කරති.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව යටතේ කාර්මික අනතුරු ඉහල ගොස් ඇති අතර, ගෝලීය ධනවාදී අවශ්‍යතා සමඟ ඔහුගේ පෙලගැස්ම, සීමිත වැඩපොල-ආරක්ෂිත විධිවිධාන පවා තවදුරටත් ඛාදනය කර ඇත. පෞද්ගලීකරනය වේගවත් කිරීම, කම්කරු අයිතිවාසිකම් කප්පාදුකිරීම සහ ස්ථිර නොවන රැකියා දිරි ගැන්වීමේ ප්‍රතිපත්ති මෙහෙයවී ඇත්තේ, සේවා කොන්දේසි වඩවඩාත් අනාරක්ෂිත බවට පත් කිරීමට ය.

ඉන්දියාවේ 2020–21 කම්කරු නීති ප්‍රතිසංස්කරනය, එහි වෘත්තීය ආරක්ෂාව, සෞඛ්‍ය සහ වැඩ කොන්දේසි සංග්‍රහය ඇතුලුව නීති 29 ක් හතරකට සිඳවීම, මූලික ආරක්ෂන ක්‍රම සැලකිය යුතු ලෙස දුර්වල කොට, යෝධ දේශීය හා බහුජාතික සමාගම්වලට එහි සේවකයින් උපරිම ලෙස සූරාකෑමට හැකියාව ලබා දී ඇත. කම්කරුවන්ගේ ජීවිත අඛන්ඩව බිලිගන්නා මෙම මාරාන්තික චක්‍රය අවසන් කිරීම සඳහා, මිනිස් ජීවිතයට වඩා ලාභයට ප්‍රමුඛත්වය දෙන ධනේශ්වර ක්‍රමයත් සමග ගනු දෙනු බේරාගෙන, එය අවසන් කිරීම සඳහා කම්කරු පන්තියේ දේශපාලනික හා කාර්මික ශක්තිය බලමුලු ගැන්වීම අත්‍යවශ්‍යව පවතී.

Loading