[මෙය Sri Lankan government’s assault pushes health services to the brink මැයෙන් පලවූ ලිපියේ පරිවර්තනය යි.]
ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මූලිකත්වය දෙන ආන්ඩුව යටතේ ද අඛන්ඩ ව සිදු වන දැඩි අරමුදල් කප්පාදුවේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවය දැඩි අර්බුදයකට ඇද වැටී ඇත. යල් පැන ගිය සහ අක්‍රිය උපකරන, බිඳ වැටෙන යටිතල පහසුකම්, අත්‍යවශ්‍ය ඖෂධ සහ රසායනාගාර සැපයුම් නොමැතිකම සහ වෛද්‍ය නිලධාරීන්ගේ දැඩි හිඟයකින් එය පීඩා විඳියි.
පෞද්ගලික රෝහල්වල සුඛෝපභෝගී මිල ගනන් දරාගත නොහැකි සහ “නිදහස්” මහජන සෞඛ්‍ය පද්ධතිය මත යැපෙන ලක්ෂ සංඛ්‍යාත රෝගීහූ දැඩි ලෙස දුක් විඳිති. සමහරු ජීවත් වන්නේ, හරියට මරන දඬුවම නියම වූවන් පරිදි ය.
මේ වසර මුල දී 2025 අයවැය ඉදිරිපත් කරමින්, මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපති අනුර දිසානායක පැවසුවේ සෞඛ්‍ය වියදම් රුපියල් බිලියන 604 (ඇමරිකානු ඩොලර් බිලියන 2) දක්වා “සැලකිය යුතු වැඩිවීමක්” සිදුවනු ඇති බවයි. ඖෂධ සැපයීම සඳහා රුපියල් බිලියන 185 ක් වෙන් කරන බව ඔහු කියා සිටියේය.
දිසානායකගේ පොරොන්දුවට පටහැනි ව, යථාර්ථය නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) විසින් නියම කරන ලද කප්පාදු වැඩසටහනේ කොටසක් ලෙස, 2024 දී සෞඛ්‍ය වියදම් ලෙස වියදම් ලෙස වෙන් කල රුපියල් බිලියන 410ක ප්‍රතිපාදන, 2025දී රුපියල් බිලියන 383 ක් දක්වා පහත හෙලමින් සෞඛ්‍ය වියදම් කප්පාදු කර ඇති බවයි.
ජුනි 22දා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (විවෛසං) සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙත ලිපියක් යවමින් කියා සිටියේ, රෝහල්වලට පිටත මූලාශ්‍රවලින් ඖෂධ, සැපයුම් සහ රසායනාගාර පරීක්ෂන ලබා ගැනීමට රෝගීන්ට උපදෙස් දීමට වෛද්‍ය වෘත්තිකයන්ට වැඩි වැඩියෙන් බල කෙරෙමින් පවතින බවයි.
අමාත්‍යාංශයෙන් ලිඛිත උපදෙස් නොමැති විට, ඔවුන් “රෝගීන්ට දැනුම් දීමට [ඒවා පිටතින් මිලදී ගැනීමට] තෝරා ගත යුතු ද නැතහොත් නිහඬ ව සිටිය යුතු ද” යන්න ලිපියෙන් ප්‍රශ්න කලේ ය.
සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ පිලිතුරු දුන්නේ: “විශේෂඥයින් ඉල්ලා සිටින සියලු ම ඖෂධ අපට [රජයට] ලබා දිය නොහැක. රෝගීන්ට ඒවා ලාභ ම ස්ථානවලින් මිලදී ගත හැකි ය.”
ලිහා හැර ඇත්‌තේ, ජාමූඅ නියෝගවලට අනුකූල ව, මහජන සෞඛ්‍යයට එරෙහි කුරිරු සමාජ ප්‍රතිවිප්ලවයකි.
රට පුරා රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවතී. ජුනි 14දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම්ඕඒ) මාධ්‍ය වෙත පැවසුවේ, මධ්‍යම ඖෂධ ගබඩාවේ අත්‍යවශ්‍ය ඖෂධ 180 ක තොග නොමැති බවයි. මේවාට වේදනා නාශක, ප්‍රතිජීවක සහ දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ වකුගඩු රෝග සඳහා වන ඖෂධ ඇතුලත් වේ. මෙම ඖෂධවලින් 50 කට වඩා රෝහල්වල නොමැත.
ජුනි 18දා ඩේලි මිරර් පුවත්පතේ විමර්ශන වාර්තාවක මෙසේ සඳහන් විය: “පිලිකා, දියවැඩියාව, මානසික ආබාධ, අපස්මාරය සහ ආසාදන සඳහා ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන තීරනාත්මක ඖෂධ රාශියක් ලබා ගත නොහැක, නැතහොත් භයානක ලෙස සීමිත සැපයුමක පවතී.” වාර්තාව, ඉන්සියුලින් 10ml (මාස හතරකට වැඩි කාලයක් තිස්සේ නැත), ෆිල්ග්‍රැස්ටිම් එන්නත, සිස්ප්ලැටින් එන්නත, ඩිල්ටියාසෙම් 30mg/60mg, ෆීනෝබාර්බිටෝන් 30mg, ක්ලෝරොප්‍රොමැසීන් 50mg, ඉමිප්‍රමයින් 25mg, ඇට්‍රොපින් අක්ෂි බිංදු, සෝඩියම් වැල්ප්‍රොඒට් සිරප්, ඔක්සිබුටිනින් 2.5mg, ඔසෙල්ටාමිවිර් 30mg/45mg/75mg, සහ ජීවනි (ORS) ඇතුලු තීරනාත්මක ඖෂධ කිහිපයක හිඟයන් ලැයිස්තුගත කර ඇත.
අර්බුදය කෙතරම්ද යත්, රට පුරා රජයේ රෝහල්වලට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂන සිදු කිරීමට පවා නොහැකි වී තිබේ.
ශ්‍රී ලංකාවේ දෙවැනියට ප්‍රමුඛත ම රෝහල වන මහනුවර ජාතික රෝහලේ සේවකයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසුවේ මුලු කලාපයට ම ඇත්තේ එකම එම්ආර්අයි (චුම්භක අනුනාද රූපකරන) යන්ත්‍රයක් පමනක් බවයි. එම්ආර්අයි ස්කෑන් එකක් ලබා ගැනීම සඳහා රෝගීන්ට වසරකට වැඩි කාලයක් බලා සිටීමට සිදු වන අතර, නිසි රෝග විනිශ්චය හෝ ප්‍රතිකාර නොමැති ව බලා සිටින අතරතුර සමහරු මිය යති.
රජයේ රෝහල්වල වකුගඩු සහ අක්මා බද්ධ කිරීමේ රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ටැක්‍රොලිමස් මට්ටමේ පරීක්ෂනවල අවිනිශ්චිත ප්‍රමාදයන් පවතින බව සිලෝන් වයර් නිවුස් වාර්තා කර ඇත. කොලඹ ජාතික රෝහලේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂන ආයතනයේ නිලධාරීන් තහවුරු කලේ මෙම තීරනාත්මක පරීක්ෂනය පසුගිය මාස තුනක කාලයක් තිස්සේ ලබා ගත නොහැකි බවයි.
ටැක්‍රොලිමස් මට්ටම් නිරීක්ෂනය කිරීමට අපොහොසත් වීම ජීවිතයට අවධානමක් විය හැකිය. පරීක්ෂනය පෞද්ගලික රෝහල්වල ලබා ගත හැකි වුවද, ඒ සඳහා රුපියල් 26,000 ක් පමන වැය වේ - බොහෝ රෝගීන්ට එය දැරිය නොහැකි මුදලකි.
ජීවිතාරක්ෂක ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරනවල දැඩි හිඟයකට ද රජයේ රෝහල් මුහුන දී සිටී.
රටේ ප්‍රධාන ලමා රෝහල් දෙක වන කොලඹ ලේඩි රිජ්වේ ලමා රෝහල සහ පේරාදෙනියේ සිරිමාවෝ බන්ඩාරනායක විශේෂිත ලමා රෝහල යන රෝහලවල හෘද රෝග ඒකකවල ලමුන් සඳහා හෘද ආශ්‍රිත ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය උපකරන ඇත්තේ නැත.
මහජන සෞඛ්‍ය යටිතල පහසුකම්වල පිරිහෙන තත්ත්වය සහ නඩත්තු කටුයුතු නොමැතිකම ද විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරයි. නිදසුනක් වශයෙන්, කොලඹ ජාතික රෝහලේ හදිසි අනතුරු සේවා සැත්කම් සංකීර්නවල නිරන්තර ජල කාන්දුවීම් පිලිබඳව සෞඛ්‍ය සේවකයින් වාර්තා කරමින් තිබේ.
රෝහල්වල දැඩි කාර්ය මන්ඩල හිඟයක් ද පවතින අතර, හෙදියන්ට සහ වෛද්‍යවරුන්ට අධික වැඩ බරක් කලමනාකරනය කිරීමට බල කෙරී ඇත.
සෞඛ්‍ය පද්ධතියේ බිඳවැටීමත් සමඟ රෝහල්වල ඩෙංගු, චිකුන්ගුන්යා, COVID-19 සහ ඉන්ෆ්ලුවෙන්සා අඛන්ඩව පැතිරෙමින් තිබේ. මහජන සෞඛ්‍යයට අමතර අරමුදල් වෙන් කිරීම වලක්වා ගැනීම සඳහා මෙම පැතිරීම්වල සැබෑ පරිමානය අවතක්සේරු කරන බවට ආන්ඩුවට චෝදනා එල්ල වෙයි.
මහනුවර ජාතික රෝහලේ හෙදියන් කිහිප දෙනෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ, අධික ලෙස ජනාකීර්න වාට්ටු සහ ප්‍රමානවත් ආරක්ෂාවක් නොමැතිකම හේතුවෙන් තමන් අප්‍රමාන ලෙස මිරිකී සිටින බවත්, චිකුන්ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා සහ අනෙකුත් බෝවන රෝගවලට තමන් භයානක ලෙස නිරාවරනය වී ඇති බවත් ය. එම රෝහලේ හෙදියක් මෙසේ පැවසුවා ය: “හෙදියන්ට සහ වෛද්‍යවරුන්ට වාඩි වීමට ප්‍රමානවත් පුටු පවා අපට ඇත්තේ නැහැ.”
අතිකාල වැටුප් කප්පාදු කිරීම සහ උසස්වීම් ප්‍රමාද වීම හේතුවෙන් ද සෞඛ්‍ය සේවකයෝ කෝපයට පත් ව සිටිති. ඉහල යන ජීවන වියදම මධ්‍යයේ ජීවිතය පවත්වා ගැනීමට බොහෝ හෙදියෝ දැන් අධික අතිකාල පැය ගනනක් වැඩ කරති. නරක අතට හැරෙන ආර්ථික අර්බුදය හේතුවෙන් දහස් ගනනක් විදේශගත වී ඇත.
ආන්ඩුවේ වියදම් අඩු කිරීමේ පියවරයන්ට එරෙහි ප්‍රතිරෝධයෙන් වැඩි කොටසක් සෞඛ්‍ය අංශයෙන් මතුවීම පුදුමයක් නොවේ.
සෞඛ්‍ය සේවකයින් අතර වැඩෙන කෝපය මධ්‍යයේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය (සෞවෘසස) සහ විවිධ හෙද වෘත්තීය සමිති වැනි ප්‍රධාන වෘත්තීය සමිතිවලට සීමිත වැඩවර්ජන සහ විරෝධතා කැඳවීමට බල කෙරී ඇත.
කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් විසඳීම සඳහා අතීත සහ වර්තමාන ආන්ඩු විසින් ලබා දුන් හිස් පොරොන්දු මත පදනම් ව, මෙම ක්‍රියාමාර්ග බොහොමයක් වෘත්තීය සමිති විසින් අත්හිටුවා ඇත.
උදාහරනයක් ලෙස, මාර්තු 17-18 දිනවල, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (රහෙනිසං) සහ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ සම්මේලනය විසින් කැඳවන ලද විරෝධතා වැඩවර්ජනවලට හෙදියන්, වින්නඹු මාතාවන්, රසායනාගාර කාර්මිකයන් සහ ඖෂධවේදීන් ඇතුලු සෞඛ්‍ය සේවකයෝ 30,000 ක් පමන සහභාගී වූහ. භාන්ඩාගාර ලේකම් සමඟ කරුනු සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා දුන් පොරොන්දුවක් මත වැඩවර්ජනය අවලංගු කරන ලදී.
දශක ගනනාවක කම්කරු අරගල තුලින් දිනාගත්, ශ්‍රී ලංකාවේ නිදහස් මහජන සෞඛ්‍ය සේවාව, රටේ වැදගත්ම සමාජ ජයග්‍රහනවලින් එකකි. සීමිත වුවද, එය - නිදහස් පොදු අධ්‍යාපනය සමඟ - කම්කරුවන්ට සහ දුප්පතුන්ට අත්‍යවශ්‍ය ආධාරකයක් ලෙස පවතී.
පසුගිය දශක හතර තුල අනුප්‍රාප්තික ආන්ඩු සහ ඔවුන්ගේ “නිදහස් වෙලඳපොල” ප්‍රතිපත්ති මගින් මෙම අයිතිවාසිකම් ක්‍රමානුකූල ව කාබාසිනියා කර ඇත. අනෙකුත් රටවල මෙන්, සෞඛ්‍ය සේවාවන් ද ආර්ථික අර්බුදවල බර වැඩ කරන ජනතාව මත පැටවීමේ ආන්ඩුවේ වෑයම්වලට ගොදුරු වී ඇත.
ශ්‍රී ලංකාවේ මෙම ප්‍රහාරය ක්‍රියාත්මක කරනු ලබන්නේ, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බලවේගය ආන්ඩුව කැප වී සිටින අයිඑම්එෆ් වැඩසටහන හරහා ය. මහජන සෞඛ්‍ය සේවයේ බිඳ වැටීම ගැන දුක් වන අතර ම වෘත්තීය සමිති නායකයෝ අයිඑම්එෆ් වැඩසටහනට සම්පූර්නයෙන්ම සහාය දක්වයි. ඔවුහු ධනේශ්වර ක්‍රමයට පක්ෂපාතී වන අතර, කම්කරු අරගල ක්‍රියාකාරී ව මර්දනය කරති.
සියලුම සෞඛ්‍ය ආයතනවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා මහජන සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සටන ආරම්භ කරන ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි. මෙම අරගලයේ දී, සෞඛ්‍ය සේවකයින්ට පුලුල් මහජනයා සමඟ ඒකාබද්ධ වෙමින් ඔවුන්ගේ සහයෝගය බලමුලු ගැන්විය හැකි ය.
සෞඛ්‍ය සේවා පද්ධතිය ආරක්ෂා කිරීම සහ වැඩිදියුනු කිරීම - සහ ගෝලීය තාක්ෂනික දැනුම අත්පත් කර ගැනීම - සඳහා දැවැන්ත මූල්‍ය සම්පත් අවශ්‍ය වේ. මෙම අරමුදල් පවතින අතර, විදේශ නය ප්‍රතික්ෂේප කිරීමෙන් සහ සුපිරි ධනවතුන් විසින් රැස් කරන ලද ධනය අත්පත් කර ගැනීමෙන් ඒවා ලබා ගත හැකි ය.
මෙය දිසානායක ආන්ඩුවේ කප්පාදු පියවර පරාජය කිරීම සඳහා කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමේ පුලුල් අරගලයක කොටසකි. ප්‍රධාන සංස්ථා, බැංකු සහ සියලු ම පෞද්ගලික රෝහල් සහ ඒ ආශ්‍රිත ආයතන, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කල යුතු ය.
මහජන සෞඛ්‍ය සේවා පද්ධතියේ බිඳ වැටීම අවධාරනය කරන්නේ, ජාතික වශයෙන් හෝ ගෝලීය වශයෙන් හෝ ධනේශ්වර ක්‍රමය තුල මූලික සමාජ ගැටලුවලට පවා විසඳුමක් නොමැති බවයි.
සසප කම්කරුවන්ගෙන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ දේවල් තමන්ගේ අතට ගන්නා ලෙසයි. සෑම වැඩබිමක ම සහ ගම්බද දුප්පතුන් අතර වෘත්තීය සමිති සහ ධනපති පක්ෂවලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු ගොඩනඟන්න!
මෙම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින්ගෙන් සමන්විත, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට නිර්භීත පියවර ගන්න! සමාජවාදය සඳහා වන ජාත්‍යන්තර අරගලයේ කොටසක් ලෙස, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සංවිධානය කරමින් ඒ සඳහා සටන් කිරීමට මෙය අඩිතාලම දමනු ඇත.
WSWS සෞඛ්‍ය සේවා සේවකයින්ගේ පුවත් පත්‍රිකාව සඳහා ලියාපදිංචි වන්න!