මැයි දිනය 2025

විද්‍යාවට එරෙහි ට්‍රම්ප්-කෙනඩි යුද්ධයේ ගෝලීය ඇඟවුම්

මෙය කෝවිඩ්-19 වසංගතය පිලිබඳ ජාත්‍යන්තර කම්කරු පරීක්ෂනයේ සම්බන්ධීකාරක එවන් බ්ලේක්, 2025 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියේදී The global implications of the Trump-Kennedy war on science යන මැයෙන් කල කතාවේ සිංහල පරිවර්තනයයි:

එවන් බ්ලේක් ගේ 2025 මැයි දින කතාව

අද පැවැත්වෙන මැයි දින රැලියට ලොව නන් දෙසින් එකතු වන සියලු ම දෙනාට විප්ලවීය සුබ පැතුම්.

යන්තම් මාස තුනකට වැඩි කාලයක් තුල, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කනිටු රොබර්ට් එෆ් කෙනඩි, නවීන ඇමරිකානු ඉතිහාසයේ පෙර නුවූ විරූ අයුරින් විද්‍යාව සහ මහජන සෞඛ්‍යයට එරෙහි ව ෆැසිස්ට් යුද්ධයක් මුදා හැරලා. කම්කරුවන්ගේ හා විද්‍යාඥයින්ගේ පරම්පරා ගනනාවක් විසින් දිනාගත් සියලු ජයග්‍රහන විනාශ කිරීමට ඔවුන් වැඩ කරමින් සිටිනවා. මෙය නාසි පාලන තන්ත්‍රයේ සිට දක්නට නොලැබුනු කාර්මික වහල්භාවයේ සහ ම්ලේච්ඡත්වයේ කොන්දේසි වෙත ගෝලීය සමාජය ආපසු ඇදගෙන යාමට සැලසුම් කර ඇති ප්‍රතිවිප්ලවයක්.

2025 පෙබරවාරි 13 වැනි දා, ඕවල් කාර්යාලයේ දී, රොබට් එෆ් කෙනඩි සෞඛ්‍ය ලේකම් ලෙස දිවුරුම් දෙන අයුරු බලා සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් [AP Photo/Alex Brandon]

සිදුවී ඇති දේ ගැන අපි පැහැදිලි ව කියමු.

  • යන්තම් මාස තුනක් තුල සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවෙන් 20,000කට අධික විද්‍යාඥයින් සහ මහජන සෞඛ්‍ය සේවකයින් ඉවත් කර ඇති අතර, CDC, NIH, FDA සහ ජනගහනයේ සෞඛ්‍යය සහ ආරක්ෂාව සඳහා වගකිව යුතු අනෙකුත් සෑම ආයතනයක්ම ඉවත් කර ඇත.
  • ජාතික වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය ආයතනයේ (NIOSH) කාර්ය මන්ඩලයෙන් සියයට 90ක් සේවයෙන් පහ කර ඇති අතර, සේවා ස්ථානවල ආරක්ෂාව, රසායනික නිරාවරනය සහ ආරක්ෂක උපකරන පිලිබඳ පර්යේෂන අවසන් කර ඇත.
  • රටවල් 40කට අධික සංඛ්‍යාවක වසංගත තත්ත්වයන් පෙර හඳුනා ගැනීම අඩාල කරමින් සහ මිලියන ගනනකගේ දියවැඩියාව සහ හෘද රෝග නිරීක්ෂනය නතර කරමින්, CDC යේ ගෝලීය සෞඛ්‍ය මධ්‍යස්ථානය සහ නිදන්ගත රෝග නිවාරන වැඩසටහන් විසුරුවා හැර ඇත.
  • දේශගුනික විපර්යාස සහ පාරිසරික විද්‍යාවට සම්බන්ධ බොහෝ වැඩසටහන් ඇතුලුව වෙනත් වැඩසටහන් සහ නියෝජිතායතන දුසිම් ගනනක් ඉවත් කර ඇත.
  • රජයේ වෙබ් අඩවිවලින් විද්‍යාත්මක තොරතුරු පිටු දහස් ගනනක් ඉවත් කර ඇත, මෙය සමාන කල හැක්කේ නූතන පොත් ගිනිබත් කිරීමකටයි. නියෝග පනවා විද්‍යාඥයින් නිහඬ කර මහජනතාවට වැදගත් සෞඛ්‍ය තොරතුරු වෙත ප්‍රවේශ වීම වලක්වා ඇත.

මෙය 'පිරිවැය ඉතිරි කිරීම' නොවේ. එය නවීන සමාජයට යටින් පවතින විද්‍යාත්මක පර්යේෂන සහ මහජන සෞඛ්‍ය යටිතල පහසුකම් විනාශ කිරීමට හිතාමතා කරන ලද, ෆැසිස්ට්වාදී උත්සාහයක්.

මෙම ප්‍රහාරයන්ට විශාල ගෝලීය ප්‍රතිවිපාක ඇත. සැලසුම් කර ඇති PEPFAR අරමුදල් අහෝසි කිරීම් මිලියන ගනනකට HIV/AIDS ප්‍රතිකාරය අහිමි කරන්නේ දශක ගනනාවක ප්‍රගතිය ආපසු හරවා මිලියන ගනනක් මරනයට කැප කරමින්. මෑත කාලීන විද්‍යාත්මක ආකෘතියක් අනුමාන කරන්නේ, මෙම කප්පාදුව ආපසු හරවා නොගත හොත්, ඉදිරි වසර 15 තුල මිනිසුන් මිලියන 25ක්, වලක්වා ගත හැකි මරන වලින් මිය යනු ඇති බවයි. HIV/AIDS වලින් පමනක් මිලියන 15ක මරන එයට ඇතුලත් වනු ඇත. උප සහරා අප්‍රිකාව විශේෂයෙන් දැඩි ලෙස පහරකට ලක් වනු ඇත.

එච්අයිවී අසාදනය සමග ජීවත් වන ගෝලීය ජනගහන පංගුව [Photo by Our World In Data / CC BY 4.0]

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම සහ වසංගත නිරීක්ෂන වැඩසටහන් විසුරුවා හැරීම යන්නෙන් අදහස් වන්නේ ලෝකය දැන් නව සහ නැගී එන සෞඛ්‍ය තර්ජන හමුවේ අන්ධව පියාසර කරන බවයි. මේවාට H5N1 'කුරුලු උන' ඇතුලත් වන අතර, විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ මෙම වෛරසයට මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂනය කිරීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා එක් විකෘතියක් පමනක් අවශ්‍ය බවයි

නිශ්චිතවම ට්‍රම්ප් පරිපාලනයට, නොහැකියාවන් නොමඳව පවතින නමුදු, එහි අදූරදර්ශී ප්‍රතිපත්ති හුදෙක් එම නොහැකියාවේ ප්‍රතිඵලයක් නොවේ. එහෙත් වඩාත් මූලික වශයෙන්, මෙම ෆැසිස්ට්වාදීන් දැනුවත්ව ලෙබෙන්සන්වර්ටෙස් ලෙබන් (හෝ “ජීවත්වීමට නුසුදුසු ජීවිත”) නාසි මූලධර්මය පුනර්ජීවනය කරමින් , මෙම ප්‍රතිපත්තිවලින් අවදානමට ලක් වූවන් සහ මෙම ප්‍රතිපත්තිවලින් මිය යන සියල්ලන්ම ආයතනික ලාභ පූජාසනයේ වටිනා බිලි පූජාවක් ලෙස සලකමින්, සුජනකවාදී වැඩපිලිවෙලක් දැනුවත්ව ක්‍රියාත්මක කරනවා.

ඔටිසම් රෝගීන් මිනිසුන් ලෙස නොසැලකෙන කෙනඩිගේම ප්‍රකාශ, නාසින්ගේ කුප්‍රකට T4 වැඩසටහන හරහා ආබාධිතයන් සමූලඝාතනය කිරීම යුක්ති සහගත කල ෆැසිස්ට්වාදී ප්‍රචාරනය ප්‍රතිරාවය කරයි. කුප්‍රකට එන්නත් විරෝධී ජාවාරම්කරුවෙකු වන ඩේවිඩ් ගයියර් විසින් මෙහෙයවනු ලබන එන්නත් සහ ඔටිසම් පිලිබඳ ඔහුගේ වංචනික “අධ්‍යයනයන්” අරමුනු කරන්නේ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම ගැන නොව, නොසලකා හැරීම සහ අහිමි කිරීම් හරහා ඔවුන්ව බිල්ලට ගැනීමට සහ තුරන් කිරීමට ය.

නිදන්ගත රෝගවලට එරෙහි ව යැයි කියනු ලබන සටනක් ලෙස සකස් කරන ලද ඕවෙලියානු “අමෙරිකාව නැවතත් සෞඛ්‍ය සම්පන්න කරනු” කොමිසම, කෝටි ගනන් මූල්‍ය කතිපයාධිකාරයට මුදල් ලබා දෙමින් මෙඩිකෙයා, මෙඩිකේඩ් සහ ආබාධිත සේවා බිඳ දැමීම සඳහා එවා ඇති ට්‍රෝජන් අශ්වයෙක්. ඔවුන්ගේ සැබෑ අරමුන වන්නේ විශ්‍රාම ගිය වහාම කම්කරුවන් ඉක්මනින් මිනීවලට යැවීමයි , එනම් ඔවුන්ගේ ආයු අපේක්ෂාව පහත හෙලීමයි.

පසුගිය වසර පහ තුල ඇමරිකානුවන් මිලියන 1.4 කට වඩා මරා දැමූ සහ දිගුකාලීන කෝවිඩ්වලින් තවත් මිලියන 20කට වඩා ආබාධිත වූ තවමත් පවතින COVID-19 වසංගතයේ අත්දැකීම් සමඟ යමෙකු පොරබදන තුරු මෙම සමාජ ප්‍රතිවිප්ලවය තේරුම් ගත නොහැක. ගෝලීය වශයෙන්, දැන් COVID-19 හේතුවෙන් අතිරික්ත මරන මිලියන 30 ක් සිදු ව ඇති අතර මිලියන 400 කට වැඩි පිරිසක් දිගුකාලීන් COVID වලින් පීඩා විඳිනවා.

දිගු කාලීන කෝවිඩ් හි වඩාත් ප්‍රකට රෝග ලක්ෂන කිහිපයක් [Photo: WSWS]

“වසංගතය අවසන්” බව නිල වශයෙන් ප්‍රකාශ කරමින්, HHS ආයතනය දිගුකාලීන කෝවිඩ් සහ ඊලඟ පරම්පරාවේ එන්නත් පිලිබඳ සියලු පර්යේෂන නතර කිරීමට උත්සාහ කරනවා. මහජන සෞඛ්‍ය සම්පත් සඳහා එක් අවස්ථාවක දී කේන්ද්‍රස්ථානයක් වූ COVID.gov විද්‍යාව මකා දමමින් සහ එය බොරු සහ චීන විරෝධී හිස්ටීරියාවෙන් ප්‍රතිස්ථාපනය කරන ප්‍රචාරක අලෙවිසැලක් බවට පරිවර්තනය කෙරී ඇත.

ට්‍රම්ප් සහ කෙනඩි වෙත මාවත විවර කලේ බයිඩන් පරිපාලනයයි. 2020 මැතිවරනයේදී “විද්‍යාව අනුගමනය කරන” බවට බොරු පොරොන්දු දුන් බයිඩන් ඒ වෙනුවට සමූහ පරිමාන කෝවිඩ් ආසාදන සාමාන්‍යකරනය කර මහජන සෞඛ්‍ය යටිතල පහසුකම් බිඳ දැමුවා. වසංගතය පුරාවටම, එක්සත් ජනපදයේ ධනේශ්වර පක්ෂ සහ ගෝලීය වශයෙන් ඔවුන්ගේ සගයන් ආයතනික-මූල්‍ය ප්‍රභූවේ ලාභ අවශ්‍යතා සඳහා මහජන සෞඛ්‍යය යටත් කර ඇත.

ලාභය මත පදනම් වූ තර්කය ම අනුගමනය කරමින්, ලෝකයේ සෑම ධනේශ්වර දේශපාලන පක්ෂයක්ම සෑම වසරකම ගැඹුරු වන දේශගුනික ව්‍යසනයට දායක වෙනවා. බිලියන ගනනක්, ඉහල යන මුහුදු මට්ටම් තුලින් අවතැන් වීම, නියඟය තුලින් කුසගින්න සහ ලැව්ගිනි, සුලි කුනාටු සහ අනෙකුත් ඊනියා 'ස්වාභාවික විපත්' වලින් මිය යාමේ තර්ජනයට ලක් වෙලා.

2025 ජනවාරි 8 වැනි දා, කැලිෆෝනියාවේ අල්ටාඩෙනාහි ගොඩනැගිල්ලක් ඊටන් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට වෙර දරන ගිනි නිවන හමුදාව [AP Photo/Ethan Swope]

විද්‍යාවේ සහ මහජන සෞඛ්‍යයේ වර්ධනය, ධනේශ්වර දේශපාලකයන්ට හෝ කම්කරුවන්ගේ විරෝධය යටපත් කර ඇති වෘත්තීය සමිති නිලධරයන්ට භාර දිය නොහැකියි. ජාත්‍යන්තර කම්කරු පන්තිය ස්වාධීනව සංවිධානය විය යුතු අතර, ලොව පුරා සිටින විද්‍යාඥයින් හා සෞඛ්‍ය සේවකයින් සමග ඒකාබද්ධ වීමට ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුයි. සියලුම කප්පාදු වහාම ආපසු හැරවීම, සේවයෙන් පහ කරන ලද සියලුම කම්කරුවන් නැවත බඳවා ගැනීම, සෞඛ්‍ය සේවා සඳහා නිදහස් හා විශ්වීය ප්‍රවේශය සහ විද්‍යාත්මක අඛන්ඩතාව සහ මහජන සෞඛ්‍ය දත්ත ප්‍රතිස්ථාපනය කිරීම අපි ඉල්ලා සිටිය යුතුයි.

සියල්ලටත් වඩා, සියලුම විද්‍යාත්මක ආයතන, ඖෂධ ඒකාධිකාරය, සෞඛ්‍ය සේවා වැඩසටහන්, බලශක්ති සංස්ථා සහ තවත් බොහෝ දේ ප්‍රජාතන්ත්‍රවාදී ව කම්කරුවන් විසින් පාලනය කිරීම මත පදනම්ව විද්‍යාව සහ මහජන සෞඛ්‍යය දියුනු කිරීම සඳහා ලෝක සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා අප සටන් කල යුතුය

විද්‍යාව සහ මහජන සෞඛ්‍යය සඳහා වන අරගලය සමාජවාදය සඳහා වන අරගලයෙන් වෙන් කල නොහැකියි. අපට ෆැසිස්ට් අන්තරාය පරාජය කර ලාභය, යුද්ධය සහ සමූලඝාතනය නොව මනුෂ්‍ය වර්ගයාට සේවය කරන අනාගතයක් සුරක්ෂිත කල හැක්කේ මහජන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා පමනි.

අනාගතය සඳහා වන මෙම සටනට අප හා එක්වන්න.

Loading