මැයි දිනය 2025

ආඥාදායකත්වය, යුද්ධය සහ තුර්කිය තුල සසප ගොඩනැගීමේ සටන

2025 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියේ දී තුර්කියේ සමාජවාදී සමානතා කන්ඩායමේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන උලාශ් අතේශි, Dictatorship, war and the fight to build the SEP in Turkey යන මැයෙන් කල කතාව:


උලාශ් අතේශීගේ 2025 මැයි දින කතාව

තුර්කියේ සමාජවාදී සමානතා කන්ඩායම වෙනුවෙන්, ලොව පුරා කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ එකමුතුවේ, සහයෝගීතාවයේ සහ අරගලයේ ජාත්‍යන්තර දිනය සමරමින්, අපගේ විප්ලවීය සුබ පැතුම් එක් කරනවා.

අපි මේ මැයි දිනය සමරන්නේ ජනාධිපති රිසෙප් තායිප් එර්ඩොගන් ගේ ආන්ඩුව ජනාධිපති ආඥාදායකත්වයක් ගොඩනැගීම නව අදියරකට උත්සන්න කර ඇති කොන්දේසි යටතේයි. මැයි දිනයට පෙර ඉස්තාන්බුල්හි නිවාස වැටලීම් වලදී පුද්ගලයින් 90 කට වැඩි පිරිසක් රඳවා තබා ගන්නා ලදී. පසුගිය මාසයේ, ඉස්තාන්බුල්හි රිපබ්ලිකන් මහජන පක්ෂයේ (සීඑච්පී) නගරාධිපති එක්‍රෙම් ඉමාමොලු, කුර්දි ව්‍යාපාරයේ නායකයින් ඇතුලු අසංඛ්‍ය දේශපාලන සිරකරුවන් ගේ නාම ලේඛනයට ඇතුලත් කරමින්, අත්අඩංගුවට ගෙන සිරගෙට යවනු ලැබුවා.

2028 අනිවාර්යෙන් පැවැත් විය යුතු ජනාධිපතිවරනය ගැන මත විමසුම්වල දී එර්ඩොගාන්ට වඩා ඉදිරියෙන් සිටින ඉමාමොලු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, රට පුරා තරුනයන්ගේ සහ වැඩකරන ජනතාවගේ පුලුල් ස්වයංසිද්ධ විරෝධතාවලට තුඩු දී තිබේ.

එක්‍රෙම් ඉමමොලු අත්අඩංගුවට ගැනීමට එරෙහි ව 2025 මාර්තු 23 වැනි දින ඉස්තාන්බුල් නගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැත්වූ මහජන විරෝධතා [Photo by herkesicinCHP/X]


මෙම මහජන විරෝධතා ස්වාධීන හා විප්ලවවාදී කම්කරු පන්ති ව්‍යාපාරයක් අවුලුවාලීමට ඇති විභවය, එර්ඩොගාන් ආන්ඩුව සහ සීඑච්පී ඇතුලු අනෙකුත් ධනේශ්වර සංස්ථාපිත පක්ෂ ද භීතියට පත් කලා. එම ව්‍යාපාරය මීලඟ මැතිවරනය දෙසට යොමුකරමින් අවසන් කිරීමට සීඑච්පී ය උපරිම උත්සාහයක් දැරුවේත්, විරෝධතා මැඩපැවැත්වීමට ආන්ඩුව පොලිස්-රාජ්‍ය මර්දනයට යොමු වූයේත් ඒ නිසායි.

මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා වන පිලිකුල සහ කම්කරු පන්තිය හා තරුනයන් අතර වැඩෙන සමාජ විරෝධය සහ රැඩිකලීකරනය යන දෙකම ධනේශ්වර ක්‍රමයේ සහ පාලක පන්තියේ ගැඹුරු වන අර්බුදයෙන් පැන නගින ජාත්‍යන්තර සංසිද්ධීන්.

තුර්කි ආන්ඩුව මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර ගත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ දෙවන ධුර කාලය සඳහා ජනාධිපති වීමෙන් පසුවයි. ට්‍රම්ප් පරිපාලනයමත් එක්සත් ජනපදයේ ජනාධිපති ආඥාදායකත්වයක් ගොඩනගමින් සිටින්නේ කම්කරුවන් හා තරුනයින් අතර වැඩෙන විරුද්ධත්වයට මුහුන දෙමින්.

එක්සත් ජනපදයේ මෙන්ම තුර්කියේ ද මෙම අධිකාරීවාදී තන්ත්‍රයන් අවශ්‍යයෙන්ම ඉලක්ක කරන්නේ, ධනේශ්වර පන්තියේ පාලනයට තිත තබා බලය අතට ගෙන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කල හැකි එකම සමාජ බලවේගය වන කම්කරු පන්තියට එරෙහිවයි.

2019 නොවැම්බර් 13 දාතම සහිත මෙම සංරක්ෂිත පින්තූරය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩොගන්ට වොෂින්ටනයේ ධවල මන්දිරයේ මාධ්‍ය හමුවකින් පසු අතට අත දෙන ආකාරය පෙන්නුම් කරයි. [AP Photo/Evan Vucci]


ඉමාමොලු ඇතුලු සියලුම දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස සමාජවාදී සමානතා කන්ඩායම කියා සිටිනවා. මෙය , ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් යුක්‍රේන සමාජවාදී බොග්ඩන් සිරොටියුක් ඇතුලු සියලු දේශපාලන සිරකරුවන්ගේ නිදහස සඳහා, අප ද කොටස්කරුවන් වන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) ගෙන යන ගෝලීය ව්‍යාපාරයක කොටසක්.

ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා නොකර කම්කරුවන්ට ඔවුන්ගේ අවශ්‍යතා සහ සමාජවාදය සඳහා අරගලය ඉදිරියට ගෙන යා නොහැකියි.

මූලධර්මාත්මක ව අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වීමේ අවශ්‍යතාවයට ද එය අදාල වෙනවා. සියොන්වාදී ඊශ්‍රායල රාජ්‍යය විසින් ගාසා තීරයේ පලස්තීනුවන් සමූල ඝාතනය කිරීම වසර එකහමාරකට වැඩි කාලයක් තිස්සේ සිදුවෙමින් පවතිනවා. ඊශ්‍රායලයට තුර්කිය ද සාමාජිකත්වය දරන නේටෝ සංවිධානයේ පූර්න සහයෝගය නොමැතිව මෙම ජන සංහාරය පවත්වාගෙන යා නොහැකියි. දැන්, එම අධිරාජ්‍යවාදී සහ සියොන්වාදී බලවතුන් වඩ වඩාත් ඉරානය සහ එහි සගයින් ඉලක්ක කර ගනිමින් සමස්ත කලාපයම ලේ විලක් බවට පත් කරන යුද්ධයකට සූදානම් වෙමින් සිටිනවා. ඔවුන්ගේ අරමුන ඉරානය ඇතුලු සමස්ත මැද පෙරදිග පුරා අධිරාජ්‍යවාදී ආධිපත්‍යය යි.

සමාජවාදී සමානතා කන්ඩායම කියා සිටින්නේ තුර්කිය නේටෝවෙන් ඉවත් වී ඊශ්‍රායලය සමඟ ඇති සියලු සබඳතා බිඳ දැමිය යුතු බවයි. එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ ප්‍රයෝජනය සඳහා භාවිතා කරන හමුදා කඳවුරු වසා දැමිය යුතු අතර අසර්බයිජානයේ සිට ඊශ්‍රායලයට ඛනිජ තෙල් සැපයුමට පහසුකම් සැපයීමේ මැදිහත්වීම නැවැත්විය යුතුයි. පලස්තීනය, ඉරානය, යේමනය සහ සමස්තයක් ලෙස මැදපෙරදිගට අත නොතබනු!

මින් අදහස් කරන්නේ නේටෝවේ දෙවන විශාලතම හමුදාවට නායකත්වය දෙන එර්ඩොගාන්ගේ ආන්ඩුවට එරෙහිව පමනක් නොව, සීඑච්පී ඇතුලු සියලුම නේටෝ ගැති සහ අධිරාජ්‍ය ගැති පක්ෂ වලට එරෙහි අරගලයයි . එය මැද පෙරදිග හා ජාත්‍යන්තරව විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත අධිරාජ්‍යවාදයට හා සියොන්වාදයට එරෙහිව කම්කරු පන්තිය එක්සත් කිරීමේ අරගලයේ කොටසකි.

දශක ගනනාවක් තිස්සේ මැද පෙරදිග උග්‍ර වෙමින් පවතින යුද්ධයේ ව්‍යසනය අධිරාජ්‍යවාදී ජාතික රාජ්‍ය පද්ධතියේ නිෂ්පාදනයක් වන අතර එය අවසන් කර දැමීමෙන් පමනක් යුද්ධය නිමා කල හැකියි. මෙම අරගලයේ සිටින තුර්කි, කුර්දි, අරාබි, පර්සියානු, යුදෙව් සහ අනෙකුත් ජාතීන්ට අයත් මැද පෙරදිග කම්කරුවන්ගේ සටන් සගයන් වන්නේ ධනේශ්වර ක්‍රමයේ කොටසක් වන බංකොලොත් ධනේශ්වර ජාතිකවාදී පාලන තන්ත්‍ර සහ ව්‍යාපාර නොවේ; ඇමරිකානු, යුරෝපීය සහ ජාත්‍යන්තර කම්කරු පන්තියයි. අපගේ සටන් පාඨය සහ ඉලක්කය මැද පෙරදිග සමාජවාදී සමූහාන්ඩු සංගමයක්.

මෙම සටනේ බලවේගය වන්නේ ධනේශ්වර පක්ෂ විසින් පාලනය කරනු ලබන වෘත්තීය සමිති නිලධරයන්ට එරෙහිව බලමුලු ගැන්වීමට පටන් ගෙන ඇති කම්කරු පන්තියයි. වඩා හොඳ වැටුප් සහ යහපත් සේවා කොන්දේසි සඳහා තුර්කියේ කම්කරුවන්ගේ වෘත්තීය සමිතිවල ආධිපත්‍යයට පිටින් නැගී එන වැඩ වර්ජන ව්‍යාපාරය සමාන ගැටලුවලට හා එකම පන්ති සතුරාට මුහුන දෙන අනෙකුත් රටවල කම්කරුවන්ගේ අරගල සමඟ සම්බන්ධ කල යුතුයි. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) මේ සඳහා යොදා ගත හැකි මෙවලමයි.

කම්කරු පන්තියේ හා තරුනයන්ගේ සමාජ කොන්දේසි වැඩිදියුනු කිරීමේ අරගලය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලයේ අනිවාර්ය අංගයක් ලෙස ජාත්‍යන්තරව වර්ධනය කල යුතුයි. මෙම සියලු අරගල අත්‍යවශ්‍යයෙන්ම ධනවාදයට එරෙහිව සමාජවාදය සඳහා වන සටනක්; ලාභ ලබන කතිපයාධිකාරීන් අතලොස්සක් සහ ලෝක ජනගහනයෙන් බහුතරයක් වන කම්කරු පන්තිය අතර අවසන් සටනයි.

මාර්තු මාසයේ තුර්කියේ පුපුරා ගිය මහජන විරෝධතා තුල, වැඩෙන සමාජ අසමානතාවය, අතෘප්තිය සහ අනාගතය පිලිබඳ කනස්සල්ල සැලකිය යුතු භූමිකාවක් ඉටු කලා. ධනේශ්වර ක්‍රමය තුල මූලික වශයෙන් මුල් බැස ඇති මෙම ගෝලීය සමාජ ගැටලු ජය ගන්නේ කෙසේද යන්න සහ පුද්ගලික ලාභය මත නොව සමාජ අවශ්‍යතා මත පදනම් වූ සමාජයක් ගොඩනඟන්නේ කෙසේද යන්න පෙන්වා දෙන විප්ලවීය ඉදිරිදර්ශනයක් සහ නායකත්වයක් නොමැති වීම පමනක් එම අරගලවල ඌනතාව වුනා.

ජාත්‍යන්තර කමිටුව සමග එක්ව, සමාජවාදී සමානතා කන්ඩායම මෙම ඉදිරිදර්ශනය ඉදිරියට ගෙන යමින් ජාත්‍යන්තර කම්කරු පන්තියේ වෛෂයික විප්ලවවාදී භූමිකාව මත පදනම්ව මෙම නායකත්වය ගොඩ නගනවා. ධනේශ්වර පන්තියේ අයථා ධනය හා බලය අල්ලා නොගෙන කිසිදු මූලික සමාජ හා දේශපාලන ගැටලුවක් විසඳිය නොහැකියි. ගෝලීය වශයෙන් ඒකාබද්ධ ආර්ථිකයක් තුල, මෙම විසඳුම් ජාත්‍යන්තර විය යුතුයි.

මිලියන සංඛ්‍යාත ජනතාවක් මුහුනපා සිටින අන්තරාය හෙලි කල ඉස්තාන්බුල් සහ මාමරා කලාපයේ මෑත කාලීන භූමිකම්පා මෙම වැඩසටහනේ හදිසි අවශ්‍යතාවය පෙන්නුම් කර ඇත. ධනේශ්වර පන්තිය සූරාකෑමෙන් හා මූල්‍යකරන මෙහෙයුම්වලින් උපයාගත් ධනය උදුරා ගත යුතුයි. මෙම සමාජ ධනය සහ යුද්ධයට නාස්ති කරන ලද අතිමහත් සම්පත් යන දෙකම හදිසි සමාජ ගැටලු, විශේෂයෙන්ම ආරක්ෂිත නිවාස ආදි ගැටලු කඩිනමින් විසඳීමට යොදා ගත යුතුයි.

2025 අප්‍රේල් 24 වැනි දා තුර්කියේ ඉස්තාන්බුල්: ඉස්තාන්බුල් නගරයට බලපෑ භූමිකම්පාවෙන් පසු අවතැන් වූවෝ එලිමහන් කඳවුරු තනා ගෙන සිටින ආකාරය [AP Photo/ Khalil Hamra]


මෙම දැවැන්ත සමාජ පරිවර්තනයට අවශ්‍ය වන්නේ සියලු ධනය නිර්මානය කරන සහ ලෝක ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය සහතික කරන කම්කරු පන්තිය සමාජවාදී විප්ලවය හරහා බලය ලබා ගැනීමයි. සමාජවාදී සමානතා කන්ඩායම සහ එහි හජාජාක සහෝදර පක්ෂ ලොව පුරා සටන් කරන්නේ මේ සඳහායි.

මෙම මැයි දිනයේ දී, තුර්කියේ සහ ජාත්‍යන්තර ව හජාජාක සහ සමාජවාදී සමානතා පක්ෂ ගොඩනැගීමට සම්බන්ධ වන ලෙස අප දෙස බලා සිටින සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා.

සියලු ධනේශ්වර සංස්ථාපිත පක්ෂවලින් සහ ඔවුන්ට සහාය දීම හැර වෙනත් මාර්ගයක් නැතැයි කියන ඊනියා වාම පක්ෂවලින් බිඳෙන්න!

තුර්කියේ සමාජවාදී සමානතා පක්ෂය පිහිටුවීමට ඉදිරියට!

Loading