පෞද්ගලික කම්කරු මධ්‍යස්ථානය මිචෙලින් කම්කරුවන් අලුත් සමිතියක කොටුකිරීමේ වැඩ පටන් ගනියි

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නායකත්වය දෙන පෞද්ගලික කම්කරු මධ්‍යස්ථානය (පීඩබ්ලිව්සී) මිදිගම මිචෙලින් කම්හල තුල නව වෘත්තිය සමිතියක් ස්ථාපිත කර ගැනීම සඳහා වැඩට බැස ඇත. ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන අන්තර් සමාගම් සේවක සංගමය (අසසේසං) කරන ලද පාවාදීමට විරුද්ධව කම්කරුවන් අතර පැන නැගී බලගතු විරෝධතාව ගසාකන පීඩබ්ලිව්සී, තමන්ට පරන අසසේසං ට වඩා හොඳ වැඩපිලිවෙලක් ඇතැයි මවා පෑමක යෙදෙයි.

පෞද්ගලික කම්කරු මධ්‍යස්ථානය, ජූනි 26 දා, වැලිගම තානායම අසලට මිචෙලින් කම්කරුවන් කන්ඩායමක් කැඳවූවේ ය. එහි දී, පීඩබ්ලිව්සීයේ ප්‍රභාත් සහ දේවින්ද කෝදාගොඩ යන දෙදෙනා කම්කරුවන්ට කියා සිටියේ, දැනට ඇති ප්‍රධාන ප්‍රශ්නය අසසේසං ඇතිකරගෙන තිබෙන12-1 ගිවිසුම තුල ඇති ගැටලු නිසා, අලුත් ගිවිසුමකට කම්කරුවන් යා යුතු බවයි. සේවා අඛන්ඩතාව ආරක්ෂා වන ආකාරය අපැහැදිලි වීම හා ඒවා ශක්තිමත්ව නීතිගත නොවීම, පාරිතෝෂිත ගෙවීම සඳහා කාලය ගනන් බැලීමට ප්‍රමානවත් වගන්ති ඇතුලත් නොවීම, ඉදිරියේදී සියැට් සමාගම ගනු ලබන තීරන වල දී වන්දි හිමිවීම සම්බන්ධයෙන් පවතින අවදානම ආදී ප්‍රශ්න විසඳා ගැනීමට ඇති බව ඔවුහු කම්කරුවන්ට කීහ.

2025 මැයි 26 දින මිච්ලින් කම්කරුවෝ කම්හල ඉදිරිපිට උද්ඝෝෂනයක [Photo: WSWS]

වෘත්තිය සමිති ගොඩවෙදකම් වල දී තමන්ට පවතින සුදුසුකම් පෙන්වා දෙමින් ඔවුන් තවදුරටත් ප්‍රකාශ කොට සිටියේ, “හාම්පුතුන් සමග ඩීල් දාන, අපිරිසිදු, ජරාජීර්න වෘත්තිය සමිති සංස්කෘතිය” තමන්ට වෙනස් කල හැකි බවයි. 

තවද තම සංගමයට ඇති සුදුසුකම් කියා පාමින් නිකුත් කල පනිවුඩයක, “අපේ වෘත්තිය සමිතියේ අවංක බව හා සටන්කාමීත්වය නිසා ම පැරනි  වෘත්තිය සමිති ව්‍යාපාරය නියෝජනය කල පලපුරුදු නීතිඥයින්, පැරනි සංවිධායකයින් අප හා සහයෝගයෙන් කටයුතු කරමින් ඉන්නවා,” යැයි සඳහන් කර තිබුනි.  

සහතිකෙන්ම, අලුත් බෝතලයක පැරනි වයින් ම දමා තිබේ. 

පසුගිය මැයි මස 23දා සිට කම්කරුවන් මාසයකට අධික කාලයක් එක දිගට අරගලයක යෙදී සිටිය දී ඉදිරිපත් කලේ, මිචෙලින් සහ සියැට් සමාගම් අතර සිදුවන හුවමාරුවේ දී ලක්ෂ තිහක දීමනාවක් ලබා දීම, නැතහොත් මිචෙලින් සමාගමේ රැකියාවේ රැඳී සිටීම හෝ එම සමාගමේ ක්‍රමවේදය යටතේ රැකියාවෙන් ඉවත් වීමට අවස්ථාව ලබා දීම යන ඉල්ලීම් ය. පීඩබ්ලිව්සී නියෝජිතයන් එම ඉල්ලීම ගැන කිසිවක් කියා නැත. 

සිය අරගලය තුලදී, මිචෙලින් සමගම අත්තනෝමතික ලෙස, සම්පත් කරුනාසේනගේ වැඩ තහනමට ලක්කල අතර,  චිරන්ජිවි සෙනෙවිරත්න හා ප්‍රියංග දිමුතු කුමාර යන කම්කරුවන් සේවයෙන් පහකලේය.  තම සහෝදර කම්කරුවන් දඩයම් කිරීමට විරුද්ධ වූ සේවකයෝ, ඔවුන් කොන්දේසි විරහිත ව නැවත සේවයේ පිහිටුවනු යන්න තමන්ගේ ඉල්ලීමක් කර ගත්හ. නව සමිතිය පිහිටුවීමට ක්‍රියාකරන්නන් මෙම ඉල්ලීම ද අත්හැර දමා ඇත. 

අලුත් සමිතිය ගොඩනැගීමට මූලිකත්වය ගන්නා අයෙක්, මෙම ලිපියෙහි කර්තෘට දුරකථනයෙන් කතා කරමින් සඳහන් කලේ, කම්කරුවන් ඉල්ලා සිටින්නේ “ක්ෂනික නූඩ්ල්ස්” බැවින් එවන් ක්ෂනික ආහාර පීඩබ්ලිව්සී මල්ලේ ඇති බවයි. මෙම ප්‍රකාශය, එම කම්කරුවාගේ මුවෙන් ඉබේ පිටවූ අදහසක් නොව, අලුත් සමිතියේ ආරම්භකයන් දැමු අදහසක් බව නිසැක ය. කෙටි මාවත් පෙන්වීමේ කලාව පැරනි හා “අලුත්” සමිති වලට ද පොදු දෙයකි. 

අලුත් සමිතිය ගොඩනගන්නන් ගේ මල්ලේ ඇත්තේ ද, පරන වෘත්තීය සමිති කල අයගේ මල්ලේ තිබූ පොරොන්දු ම ය. එකල අසසේසං ශාඛාව සංවිධානය කිරීමට පැමිනි එහි නායකයන් තමන්ට නොයෙකුත් පොරොන්දු දුන් බව කම්කරුවෝ පසුගිය දා සඳහන් කලහ. එහෙත්, ඔවුන් තමන්ට ද නොපෙන්වා බහුජාතික සංගත දෙක සමග ගිවිසුම් අත්සන් කල බව, සේවකයෝ ඔවුන්ට චෝදනා  කරමින් අප සමග පැවසූහ. 

අසසේසං ශාඛාවේ සහ මව් සංගමයේ නායකයන් මිචෙලින් සහ සියැට්  සමග හොර රහසේ ගිවිසුමකට එලැඹීම ඔවුන්ගේ පුද්ගලික දුෂ්ටකමක් නිසා ඇති වූ දෙයක් නොවේ. වෘත්තිය සමිති නිලධරයෝ ජාත්‍යන්තර සංගත හා ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ඒජන්තයන් බවට පත්ව සිටිති. ඒ ඒ සමාගම්වලට කොටු වී, ඒ ඒ රටවලට සීමා වී ක්‍රියා කරන ජාතිකවාදී වෘත්තීය සමිති අනුගමනය කරන කේවල් කිරීමේ ක්‍රියාමාර්ගවල පල්ල ගොස් ඇත. ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන ආන්ඩුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) හා ජාත්‍යන්තර සමාගම්වල ඒජන්තයකු බවට පත්වී ඇති අතර එහි සමිති නිලධරය ද එම කාර්යය ම ඉටු කරයි. 

පෙසප, වෘතිය සමිතියක් ලෙස පිහිට වූ කම්කරු අරගල මධ්‍යස්ථානයේ නායක නිලධරය ද පසුගිය වසරවල ක්‍රියා කලේ එ ලෙස ම ය. ආන්ඩු බලයේ සිටියා වේවා, නොවේවා  අනෙකුත් ධනපති පක්ෂවල හා පෙසප වැනි ව්‍යාජ වාම සංවිධානවලට අයත් වෘත්තීය සමිතිවල නිලධරයන්ට වෙනස් ලෙසකින් ක්‍රියාකිරීමට නොහැකි ය. 

කම්කරු අරගල මධ්‍යස්ථානයේ කැඳවුම්කරු දුමින්ද නාගමුව 2020 කෝවිඩ් 19 වසංගතය සමයේ කම්කරු ඇමති දිනේෂ් ගුනවර්ධන  සමග

ඉදිරි දිනවල, පීඩබ්ලිව්සී මිචෙලින් සමාගමේ සේවකයන් අතර සමිතියක් හදා ගතහොත්, එහි නිලධාරින්, 12.1 ගිවිසුම “වෙනස්කර ගැනීමට” මේ බහුජාතික සමාගම් දෙකේ කලමනාකරුවන් සමග සාකච්චාවට යනු ඇත.  

තම රුදුරු ප්‍රාග්ධන අවශ්‍යතා මත ක්‍රියාකරන සමාගම් පීඩබ්ලිව්සී නායකයන් ඉදිරියේ බියෙන් වෙවුලා, ඔවුන්ට අවශ්‍ය පරිදි ගිවිසුම් වෙනස් කරනු ඇතැයි සිතිය හැක්කේ හා කිව හැක්කේ ස්වයං මුලාවට පත්වූවන්ට ය. කෙසේ වෙතත්, අවශ්‍ය නම්, අසසේසං වෙතින් කරගත් කාර්යය ඉටු කරගැනීම පීඩබ්ලිව්සී නායකයන්ට පැවරීම සඳහා මෙම සමාගම් ක්‍රියාකරනු ඇත. සමාගම් ක්‍රියාකරන්නේ තම ලාභ අවශ්‍යතාවන් මත ය. ඒවා වෘත්තිය සමිතියකට ඉඩ දෙයි නම්, ඒ කම්කරුවන් හික්මවා ගැනීමේ උපකරනයක් ලෙස සමිති නායකයන් පෙලගස්වා ගනිමිනි.  

මිචෙලින් සමාගමේ සේවකයන් තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් තෝරා පත්කරගත් ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉල්ලා සිටින්නේ මේ නිසා ය. එ ලෙස ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම මගින්, ලංකාව තුල ද ජාත්‍යන්තර ව ද අවශේෂ කම්කරුවන් වෙත ලඟාවීමට කොන්දේසි සකස් කර ගැනීම, කම්කරු පන්තියේ ශක්තිය තහවුරු කරගැනීමේ මාවතයි. 

ලාභ රැක ගැනීමේ ප්‍රාග්ධනයේ ප්‍රහාරයට යටකර රැකියා, වැටුප් හා සේවා කොන්දේසි කපා හැරීමට ඉඩ දීමට කම්කරු පන්තියට නොහැකි ය. මිචෙලින් සමාගම ලංකාවේ සිය ආයතනය විකුනන්නේ,  ලාභ රැකගැනීමත් ලාභ පුම්බා ගැනීමත් සඳහා කෘතීම බුද්ධිය ඇතුලු  තාක්ෂනය යොදා ගෙන තම සංගතය ප්‍රතිව්‍යුහගත කර ගැනීමේ කොටසක් ලෙස ය. 

ඉන්දියාවේ සියැට් සමාගම එය මිල දී ගන්නේ ද තම ලාභ අවශ්‍යතා මත ය. සමාගම්වල අධිකාරය පිලිගෙන ඒවා යටතේ කේවල් කිරීමට කැප වූ වෘත්තීය සමිති නිලධරයේ ග්‍රහනයට පිටින් සිය බල සංස්ථා ලෙස  කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමට සසප යෝජනා කරන්නේ ප්‍රාග්ධනයේ ප්‍රහාරය පරාජය කිරීමට ගතයුතු අත්‍යවශ්‍ය පියවරක් ලෙස ය. 

යෝධ සංගත ලාභ හඹා යාමේ කටයුතු වේගවත් කර ඇත්තේ, තමන් අතර වෙලඳපොල හා අමුද්‍රව්‍ය, ලාභ ශ්‍රමය කොල්ලය සඳහා තරඟය උග්‍රවන කොන්දේසි තුල ය. ඉන් සලකුනු  වී ඇත්තේ ලෝක ධනවාදයේ අර්බුදය උග්‍ර වීමයි. අන් රටවල් මෙන් ම, ලංකාව ද මෙම ගිනි සුලිය තුල ගිලී ඇත. දැන් රුදුරු ලෙස ක්‍රියාවට දැමෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු පියවර එහි කොටසකි. 

තම අරගලය වර්ධනය කර ගැනීම සඳහා, වෘත්තීය සමිති නිලධරය බැහැර කෙරුනු තමන්ගේ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගන්නා ලෙස සසප අවධාරනය කරයි. මිචෙලින් වෙතින් හෝ කම්හල මිලදී ගන්නා සියැට් වෙතින් හෝ තම අයිතීන් රැකගැනීම සඳහා අව්‍යාජ අරගලයක් ගෙන යා හැක්කේ එවන් බැරෑරුම් සුදානම් වීමකින් පමනි. 

Loading