ආන්ඩුවේ අතිකාල කප්පාදුවට එරෙහි ව දුම්රිය කම්කරුවෝ සංකේත වර්ජනයක යෙදෙති

දුම්රිය කම්කරුවන්ගේ අතිකාල කප්පාදුවට විරෝධය පල කරනු වස්, රත්මලාන දුම්රිය වැඩපොලේ කර්මාන්තශාලාවල සේවයේ නිරත කම්කරුවෝ ජුනි 26 බ්‍රහස්පතින්දා ලෙඩ නිවාඩු දමා සංකේත වැඩ වර්ජනයක නිරත වූ හ. මෙම වැඩ වර්ජනය හේතුවෙන් රත්මලාන දුම්රිය වැඩපොලේ සියලු වැඩ කටයුතු ඇන හිටියේ ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය පෙබරවාරි මාසයේ ඉදිරිපත් කල අයවැයෙන් යෝජනා කල සොච්චම් වැටුප් වැඩි කිරීමත් සමග, දුම්රිය කම්කරුවන් අපේක්ෂා කලේ සීමිත ව ඉහල ගිය අතිකාල රේට්ටු අනුව සම්පූර්න අතිකාල ගෙවනු ඇති බව යි. දුම්රිය කම්කරුවන් යෙදෙන වැඩ කටයුතුවල තිබෙන අසීරුතාව හේතුවෙන් මෙතෙක් කල් අතිකාල පැයක්, සාමාන්‍ය පැය එකහමාරක් ලෙස සලකා ගෙවීම් කරනු ලැබී ය.

2023 සැප්තැම්බර් 13 වැනි බදාදා, ශ්‍රී ලංකාවේ, කොලඹදී දුම්රිය එන්ජින් රියදුරන්ගේ වර්ජනය අතරතුර මගීහු කොටුව දුම්රිය ස්ථානයේ වේදිකාවක් මත ඇවිදිමින් සිටිති. [ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන] [AP Photo/Eranga Jayawardena]

එහෙත්, දිසානායක ආන්ඩුව දුම්රිය ප්‍රවාහනයට වෙන් කරන ප්‍රතිපාදන සීමා කර ඇති හෙයින් මාසික  අතිකාල පැය ගනන 11/30ක් හෙවත් තුනෙන් එකකටත් වැඩි ප්‍රමානයකින් කපා දැමීමට  දුම්රිය පාලනාධිකාරය තීන්දු කර ඇත. කලින් අතිකාල පැයක්, සාමාන්‍ය පැය එකහමාරක් සේ සලකා කල ගෙවීම පැය එකයි කාලක් දක්වා අඩු කිරීම ට ද යෝජනා කර තිබේ.  

දුම්රිය දෙපාර්තමේන්තුව තුල යෝජිත මෙම අතිකාල කප්පාදුව සමස්ත රාජ්‍ය සේවකයන්ගේ අතිකාල සහ අනෙකුත් දීමනා හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) නියමයන් ට අනුව රාජ්‍ය වියදම් කප්පාදුවේ ද කොටසකි.

එහෙත්, වෘත්තීය සමිති නායකයන්  සාමාජිකයන්ට පවසා ඇත්තේ ආන්ඩුව හා එහි මැති ඇමතිවරු මෙම කප්පාදුව පිලිබඳ ව නො දන්නා බවත්, කාර්යාලවල  අදාල විෂය භාර  ලිපිකරුවන්ගේ වැරැද්දක් නිසා එය  සිදුවන බවත් ය.  නමුත්  ප්‍රවාහන අමාත්‍යාංශය විසින්  කලින් කලට නිකුත් කරන චක්‍රලේඛ අනුව  මිස අත්තනෝමතික ලෙස ලිපිකරුවන් කටයුතු නොකරන බව සමිති නායකයෝ හොඳින් ම දනිති. එය හිතාමතා ම ආන්ඩුව ක්‍රියාවට දමන කප්පාදු වැඩපිලිවෙල පිලිබඳව කම්කරුවන්ගේ අවධානය අවමංගත කිරීමේ හා  ලිපිකරුවන් සහ අවශේෂ දුම්රිය කම්කරුවන් අතර විරසකභාවයක් ඇති කිරීමේ  දැනුවත් උත්සාහයකි.

ජුනි 26දා පවත්වන ලද සංකේත වැඩ වර්ජනය කැඳවුම් කලේ  දුම්රිය තාක්ෂන ශිල්පී සංගමය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන විසින් පාලන කරනු ලබන ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමය සහ එක්සත් ජාතික පක්ෂය පක්ෂය විසින් පාලන කරනු ලබන ජාතික දුම්රිය සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් විසිනි. පාලක ජනතා විමුක්ති පෙරමුනට අනුබද්ධ සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය වර්ජනය ට හොරිකඩකම් කල ද එය නො තකා බහුතරයක් දුම්රිය කම්කරුවෝ ඊට සහභාගි  වූ හ.

දුම්රිය වෘත්තීය සමිති විසින් වර්ජනය කැඳවුම් කලේ අතිකාල  දීමනා කප්පාදුව, පුරප්පාඩු නොපිරවීම, උසස්වීම් පරිපාටිය නිසි ලෙස ක්‍රියාවට නොදැමීම සහ දුෂ්කර වැඩ කොන්දේසි ඇතුළු ගැටළු දිගුකාලයක් නොවිසඳී තිබීම සහ ජිවන වියදම දැරිය නොහැකි ලෙස ඉහල නැගීම කෙරෙහි දුම්රිය කම්කරුවන් අතර  වර්ධනය වන  නොසන්සුන්තාවය සමනය කිරීමේ අරමුන ඇති ව මිස උක්ත ප්‍රශ්න අරභයා අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීමේ උවමනාව ඇති ව නොවේ.

සමස්තයක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව තුල වෘත්තීය සමිති 100 ට වඩා ඇත. සමස්ත වෘත්තීය සමිති නිලධරය මෙන් ඔවුන් ද වැඩ බෙදාගෙන ක්‍රියාත්මක වන්නේ, තම රැකියා, වැටුප් හා සේවා කොන්දේසි වලට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහි ව දුම්රිය කම්කරුවන්ගේ දැනුවත් ඒකාබද්ධ අරගලයක් වර්ධන වීම වැලැක්වීමට හෝ ශ්‍රේනිවාදී සහ සීමිත විරෝධතා උද්ඝෝෂනවලට කොටුකර දුම්රිය කම්කරුවන් දුර්මුඛ කර ඔවුන්ගේ අරගල විසුරුවා  හැරීමටයි.     

සෙසු බොහෝ සමිති මෙන් ම දුම්රිය සමිති ජවිපෙ/ජාජබ ආන්ඩුවේ සහ ජාමූඅ කප්පාදු  වැඩපිලිවෙල සමග  පෙල ගැසී සිටිති. සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය ජනාධිපතිවරනයට පෙරාතුව 2024 ජුලි 29 කඳවු සම්මේලනයට  දුම්රිය වෘත්තීය සමිති සන්ධානය, දුම්රිය රියදූරු සහායක සංගමය, දුම්රිය පාලකවරුන්ගේ සංගමය සහ ශ්‍රීලංකා නිදහස් සේවක සංගමය  සහභාගි වූ හ. එය ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට ගෙන ඒමේ මැතිවරන උද්ඝෝෂනයේ කොටසකි. අනෙකුත් වෘත්තීය සමිති විපක්ෂයේ ධනපති පක්ෂ විසින් මෙහෙයවනු ලබන ඒවාය.

ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල යටතේ ප්‍රතිව්‍යුහකරනය/පුද්ගලීකරනය ට නියමිත 400 අධික රාජ්‍ය ව්‍යවසායන් අතර  දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රමුඛ ස්ථානායක ඇත.  එය ක්‍රියාවට දැමීමට බලයේ පැවති  ආන්ඩු 2015 සිට උත්සාහ කල නමුත් දුම්රිය කම්කරුවන්ගේ විරෝධය මධ්‍යයේ ප්‍රමාද කිරීමට සිදුවිය. දැන් ජවිපෙ/ජාජබ  ආන්ඩුව ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල මුළුමනින් ම ක්‍රියාවට දැමීමට සපතකර  ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය කඩිනම් කිරීමට පියවර ගනිමින් සිටි. 

ඒ අනුව සංචාරක කර්මාන්තය සහ පුද්ගලික ආයෝජකයන් සඳහා පහසුකම් සම්පාදනය කිරීම යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලිකරනය කිරීමේ ව්‍යාපෘතියක් දිසානායක ආන්ඩුව විසින් ආරම්භ කර ඇත.

දුම්රිය ස්ථාන 100 ක් නවීකරනය කිරීමේ  “Dream Destination” (සිහින ගමනාන්තය)  වැඩ සටහන නිවේදනය කිරීම සඳහා  27 වෙනිදා පැවති රැස්වීමක දී ජනාධිපති දිසානායක ඒ සඳහා 'පුද්ගලික අංශයට ද ආයෝජනය කිරීමට අවස්ථාව විවර කරන ' බව පැවසුවේය.

ප්‍රවාහන අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව  “රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව  ව්‍යාපෘතියක්” ලෙස එය  ආරම්භ කර තිබෙන බව ද ප්‍රවාහන ඇමති බිමල් රත්නායක සඳහන් කලේ ය.

දුම්රිය මැදිරි අලුත් වැඩියාව මේ වනවිට මුලුමනින් ම තන්ත්‍රි නමැති සංගතය ට පවරා ඇත.

එලෙස ම උතුරු මාර්ගයේ මහව දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරය දක්වා කොටසේ නඩත්තු හා මෙහෙයුම් කටයුතු ඉන්දියාවේ අදානි සංගතයට පැවරීමේ කටයුතු කෙරීගෙන යයි.  මෙම පියවරයන් මගින් දුම්රිය කම්කරුවන්ගේ රැකියා දහස්ගනනක් විනාශ කෙරෙනු ඇත.

සහනදායි මහජන ප්‍රවාහන සේවාවක් ලෙස දුම්රිය සේවයේ පැවැත්ම ද ඒ සමගම අහෝසි කෙරෙනු  ඇත. මෙය ධනපති ආන්ඩු විසින් ජාත්‍යන්තර ව ක්‍රියාවට දමන ලාභ තරකර ගැනීමේ  පිලිවෙතක කොටසකි.  

යුරෝපා සංගමයට අයත් රටවල් තුල දුම්රිය සේවය පුද්ගලිකරනය  1991 සිට 2004 අතර ක්‍රමානුකූල ව ක්‍රියාවට දැමුනි. බ්‍රිතාන්‍ය දුම්රිය සේවය 1993 -97  තුල පුද්ගලීකරනය කෙරුනි. ඒවා ක්‍රියාවට දැමුනේ “ලිබරලිකරනය” “නිර්නියාමනය” සහ “තරඟකාරිත්වය” යන නියාමයන් යටතේ ය. ප්‍රතිඵලය වුයේ දස දහස් ගනනක් කම්කරුවන්ට  රැකියා අහිමි වීම සහ දුම්රිය සේවය පුද්ගලික ධනපති සංගතයන්ගේ  ලාභදායී වානිජ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමය.

වෘත්තීය සමිති තවදුරටත් කම්කරුවන්ගේ අයිතීන් සඳහා සටන් කරන සංවිධාන  නොවේ. ඒවා ක්‍රියාත්මක වන්නේ ධනපති ආන්ඩුවේ, ආයෝජකයන්ගේ සහ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ උවමනාවන් ට කම්කරුවන් යටත් කරන හා ඔවුන්ගේ අරගල මැඩලන කාර්මික පොලිසියක් ලෙසිනි.  

මෑත සතිවල සහ පසුගිය දෙ වසර තුල එවන් අරගල දුසිමක් පමන දුම්රිය සමිති නිලධරය විසින් කැඳවන ලදී. දුම්රිය කම්කරුවන් එම අරගලවල අත්දැකීම් කවරේදැයි විවේචනාත්මකව විමසා බැලිය යුතු ය. ඒවායින් සමහරක්  ආන්ඩුවට සහ දුම්රිය බලධාරීන්ට බලපෑම් දැමීමේ හා සීමිත වර්ජන වලට සිමා වූ අතර, ඒවා ආන්ඩුවේ බොරු පොරොන්දුවලට යටත් කොට පාවා දෙනු ලැබිය. තවත් ඒවා නිවේදනය කල සැනින් ම ප්‍රවාහන ඇමතිගෙන් හෝ දුම්රිය බලධාරීන්ගෙන් “සාධනීය ප්‍රතිචාරයක්” ලැබුන බව  සාමාජිකයන්ට පවසමින් අවලංගු කෙරුනි. 

සමිති නිලධරයේ මෙම පාවාදීම සහ රැවටිල්ල තවදුරටත් ඉවසා සිටිනවා ද නැතහොත් තම අයිතීන් සඳහා අරගලය දැනුවත් ව සංවිධානය කිරීමේ විකල්ප ඉදිරිදර්ශනයක්, ක්‍රියාමාර්ගයක් සහ සංවිධාන ව්‍යුහයක් කෙරෙහි බැරෑරුම් අවධානයක් යොමු කරනවාද යන තීරනාත්මක  ප්‍රශ්නය කම්කරුවන් ඉදිරියේ මතු කෙරී ඇත.

දුම්රිය සහ අවශේෂ කම්කරුවන් වෘත්තීය සමිති කෙරෙහි කිසිදු විශ්වාසයක් නොතැබිය යුතු ය. ඔවුන් තම අයිතීන් සඳහා අරගලය තමන් අතට ගත යුතුය. ඒ සඳහා කම්කරුවන්ගේ අව්‍යාජ හා විකල්ප  සංවිධාන ලෙස  ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කෙරෙන තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු ය. 

දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව (දුකක්‍රික) ඒ සඳහා ආරම්භකත්වය ගෙන ඇත. එය හා සම්බන්ධ වන ලෙසත් සියලු ම දුම්රිය වැඩපලවල් තුල එවන් කමිටු පිහිටුවීමට පියවර ගන්න ලෙසත් දුකක්‍රික ඉල්ලා සිටි. මෙම කමිටු  තුලට වෘත්තීය සමිති නිලධරයේ කිසිවකු වැද්ද නොගත යුතු ය.

එමෙන් ම, සමාන ප්‍රහාරවලට මුහුන දී සිටින  හා අරගලය ට එලැඹෙමින් සිටින සෙසු රටවල තම සහෝදර දුම්රිය කම්කරුවන් සමග ජාත්‍යන්තර එකමුතුව පිහිටුවා ගැනීම අවශ්‍ය වේ.  මෙය කල හැක්කේ ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානය ගොඩනැගීමට එක්වීමෙනි.

ධනේශ්වර ක්‍රමය සහ ජාතික රාමුව තුල කම්කරු පන්තියට තම දැවෙන ප්‍රශ්න සඳහා විසඳුමක් නැත.  කම්කරු පන්තියට තම සමාජීය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගත හැක්කේ  ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන අරගලය තුල පමනි.

Loading