ඉරානයට එරෙහි ව එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය ගැන සසප/සසජාතශි උද්ඝෝෂනය

“ඔවුන්ගේ ආර්ථික හා අනෙකුත් අරමුනු වෙනුවෙන් අධිරාජ්‍යවාදී බලවතුන් මිනිස් ජීවිත ගැන කිසිදු තැකීමක් නොකරන බව පැහැදිලියි”, රත්මලාන දුම්රිය කම්කරුවෙක්

ගාසා තීරය සහ ඉරානය තුල ඇමරිකානු-ඊශ්‍රායල් යුද්ධයට එරෙහි ව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත රැස්වීම්වලට  සහයෝගය ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) දියත් කර ඇති උද්ඝෝෂනයට කම්කරුවන්, සිසුන් සහ තරුනයින්ගෙන් ලැබුනු උද්‍යෝගිමත් ප්‍රතිචාර, ජාත්‍යන්තර පරිමානයෙන් යුද්ධයට එරෙහි ව වැඩෙන මහජන විරෝධයේ පිලිබිඹුවකි.

සසප/සසජාතශි යුද විරෝධී උද්ඝෝෂනයේ කොටසක් ලෙස, ජූලි 6 ඉරිදා සවස 7ට සූම් රැස්වීමක් පැවැත්වෙන අතර, “ඉරානයට එරෙහි ඇමරිකානු-ඉරාන යුද්ධයට විරුද්ධ වනු” මැයෙන් ප්‍රසිද්ධ රැස්වීමක් ජූලි 8දා යාපනයේ වීරසිංහම් ශාලාවේදී පැවැත්වේ.

පසුගිය  දින කීපයේම, සසප සහ සසජාතශි සාමාජිකයෝ, විශ්ව විද්‍යාලවල, නිදහස් වෙලඳ කලාප ඇතුලු වැඩපලවල් සහ නිවහන් ප්‍රදේශවල උද්ඝෝෂනවල නිරත වූ අතර, සිංහල සහ දෙමල යන භාෂා ද්වයෙන්ම මුද්‍රනය කල රැස්වීම් දැන්වීම් දහස් ගනනක් ද ඉරානයට එරෙහි යුද්ධය පිලිබඳ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ලිපිවල ඡායා පිටපත් ද මහජනයා  අතට පත් කලහ.

ජූනි 23දා ඉරානයේ සිවිල් න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් ඉලක්ක කල, එක්සත් ජනපද ගුවන් ප්‍රහාර රූපවාහිනියෙන් සහ යූටියුබ් ඇතුලු සමාජ මාධ්‍යවලින් නැරඹූ ලොව පුරා ජනතාව මෙන් ශ්‍රී ලාංකිකයෝ ද කම්පනයට පත්වූහ. ඉරාන ස්වෛරීභාවය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වන මෙම නීති විරෝධී ප්‍රහාරය, මැද පෙරදිග පූර්න පරිමාන යුද්ධයක අද්දරට තල්ලු කර තිබේ. වඩ වඩාත් ෆැසිස්ට්වාදී න්‍යාය පත්‍රයක් අනුගමනය කරමින්, ඇමරිකාවේ අතවැසි රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ අරමුනින් ටෙහෙරානයේ පාලන තන්ත්‍ර මාරුවක් සඳහා දිවෙන වොෂින්ටනයේ ඉලක්කය ගැන,  එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පුනපුනා කියා තිබේ. එක්සත් ජනපදය, ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ කුරිරු යුද්ධයට ආයුධ සම්පාදනය කරමින් එයට සහාය දීම සහ කලාපය පුරා එහි ආධිපත්‍යය බලගන්වමින් සිටින තත්වය යටතේ, ව්‍යසනකාරී ගෝලීය ගැටුමක තර්ජනය අඛන්ඩ ව උත්සන්න වෙමින් පවතී.

උත්සන්න වන ගෝලීය ආතතීන් මධ්‍යයේ, සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවය තීරනාත්මක ව ඉස්මතු වී ඇත. එවැනි ව්‍යාපාරයකට නායකත්වය සම්පාදනය කල හැකි වන්නේ,  ජාත්‍යන්තර කම්කරු පන්තියට පමනි. සියලු ධනේශ්වර, “ලිබරල්” සහ ව්‍යාජ-වාම බලවේග අධිරාජ්‍යවාදයට බැඳී සිටින අතර, ඒවා දැනුවත් ව ම කම්කරුවන් දේශපාලනික ව නිරායුධ කිරීමට වැඩට බැස සිටී. ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව, මැද පෙරදිග තත්වය “ සමහන් කිරීම” සඳහා කැඳවුම් කරමින් බියගුලු මෙන්ම වඳ ප්‍රකාශයක් නිකුත් කල අතර, ඉරානයට එරෙහි ආක්‍රමනශීලී යුද්ධයේ දී එක්සත් ජනපදයේ සෘජු භූමිකාව පිලිබඳ මොන ම සඳහනක් කිරීම පැහැදිලි ව ම ප්‍රතික්ෂේප කලේ ය.

ඉදිරි රැස්වීම් ගොඩනැගීම සඳහා උද්ඝෝෂනය අතරතුර, සසප සහ සසජාතශි සාමාජිකයින්ට  උත්සන්න වන යුද්ධය පිලිබඳ ව මහජනයා අතර පැතිරුනු සාවධාන වීම ගැන අත්දැකීමට ලැබිනි.  සාකච්ඡාවන්ට සම්බන්ධ වූ සෑම අයෙකු ම, මැද පෙරදිග එක්සත් ජනපද-ඊශ්‍රායල් ප්‍රහාරය කෙරෙහි දැඩි විරුද්ධත්වය පල කලේ ය. කෙසේ වෙතත්, ඒ අතර ම, ඔවුන් අතර ඇති  සැලකිය යුතු ඇතම් ව්‍යාකූලත්වයන් සහ මිත්‍යාවන් ද පවතින ආකාරය දැකගත හැකි වූ අතර, ඒවා දැනුවත් ව වැපිරීමේ මූලික වගකීම යන්නේ ධනේශ්වර මාධ්‍ය සහ ව්‍යාජ-වාම පක්ෂවලට ය. සසප/සසජාතශි උද්ඝෝෂකයන් හා මහජනයා අතර ඇති වූ මෙම සංවාද,  පැහැදිලි සහ ස්වාධීන සමාජවාදී ඉදිරිදර්ශනයක හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරමින්, පුලුල් හා ඵලදායී දේශපාලන අදහස් බෙදාගැනීමකට මෙහෙය වුනි.

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පැවති උද්ඝෝෂනයක් අතරතුර, අපනයන වෙලඳපොල සඳහා ටොරොයිඩල් ට්‍රාන්ස්ෆෝමර්, බල සැපයුම් සහ ප්‍රේරක නිෂ්පාදනය කරන නොරටෙල් කර්මාන්ත ශාලාවේ කාන්තා කම්කරුවක ගෝලීය යුද අර්බුදය පිලිබඳව කතා කලා ය. අන්තර්ජාලය ඇසුරු කිරීම හරහා මැදපෙරදිග සිදුවන ව්‍යසනකාරී යුද්ධය පිලිබඳ ව යම් ආකාරයක දැනුවත්වීමක් සහිත ව සිටි  ඇය, එක්සත් ජනපදයේ පූර්න අනුග්‍රහයෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ සිදු කරන  ජනසංහාරය දැඩි ලෙස හෙලා දුටුවා ය. “ඊශ්‍රායලය පලස්තීන මිනිස්සුන් සම්පූර්නයෙන්ම අයින් කරලා අයිති කර ගන්නයි හදන්නේ. ඇමරිකාව තමයි ඊශ්‍රායල ආන්ඩුවට උදව් කරන්නේ” ඇය පැවසුවාය. වොෂින්ටනයේ උපායමාර්ගික අවශ්‍යතා පිලිබඳව කතා කරමින් ඇය තවදුරටත් මෙසේ පැවසුවා ය, “ඇමෙරිකාව ලෝකයේ ප්‍රබල ම රටයි. ඇමෙරිකාව හදන්නේ, ඊශ්‍රායලය මගින් පලස්තීන භූමියේ ආධිපත්‍යය පවත්වා ගන්නයි”.

යුද්ධයේ යථාර්ථයන් වසන් කිරීමේ දී මාධ්‍යයේ නරුම භූමිකාව ද ඇගේ විවේචනයට ලක්විය. මාධ්‍ය ඉඳහිට සංවේදී වාර්තා ගෙන එන නමුත් අර්ථවත් තොරතුරු සැපයීමට අපොහොසත් වන බව ඇය කීවා ය. “එය කෙනෙකුට විස්තර කිරීමට තරම් දැනුමක් දෙන්නේ නැහැ. අපිම මේ ගැන සොයා ගන්න ඕන. එහෙම වුනත් මාධ්‍ය හරහා සොයාගන්න බැහැ.” ඇය පැවසුවා ය. 

“ඇමරිකාවේ තමයි හුඟාක් යුද උපකරන හදන්නේ. ඒවා අලෙවිය වැඩි කරගන්න තමයි අර වගේ රටවල් නැති කරන්න හදන්නේ කියලයි මම හිතන්නේ”  යනුවෙන්  නොරටෙල් සේවිකාව පවසන විට , බලවත් රටවල් අවි විකිනීම සඳහා යුද්ධය ප්‍රවර්ධනය කරන බවට ව්‍යාජ වම්මුන් ගෙනියන  සාවද්‍ය ප්‍රකාශවල බලපෑම පෙන්නුම් කෙරුනි. මෙම කාරනය පිලිබඳ පැහැදිලි කරමින් සසප උද්ඝෝෂකයෙකු ඇයට පැහැදිලි කලේ,  යුද්ධවලට ආයුධ අවශ්‍ය නමුත්, හුදෙක් ආයුධ නිපදවීම ම  යුද්ධවලට හේතුව නොවන බවයි. ඉරාන යුද්ධයේ මූල හේතුව වන කලාපය මත ආධිපත්‍ය පතුරුවමින්, එහි තෙල් ඇතුලු ඛනිජ සම්පත් කොල්ලකෑමේ අධිරාජ්‍යවාදීන්ගේ අරමුන පැහැදිලි කෙරුනු විට ඇය එම පැහැදිලි කිරීමට එකඟ වූවා ය.

එක්සත් ජනපදය යනු හුදෙක් ධනපතියන්ගේ එක්සත් ජනපදය නොවන බවත් එහි බලගතු කම්කරු පන්තියක් සිටින බව මෙන්ම, ඔවුන් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආක්‍රමනයට සක්‍රීය ව විරුද්ධ වෙමින් සිටින ආකාරය ද උද්ඝෝෂකයෝ ඇයට පැහැදිලි කලහ. කම්කරු පන්තිය මත පදනම් වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේදී ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ කාර්යභාරය ගැනද ඔවුහු අවධාරනය කලහ. 

ට්‍රම්ප්ගේ අඥාවන්ට එරෙහිව ජූනි 14දා ඇමරිකානු ඉතිහාසයේ  ඇති වූ දැවැන්තම විරෝධතාවන් ඇතුලුව පසුගිය මාස ගනනාව පුරාවටම දැවැන්ත අරගල ඇමරිකානු කම්කරු පන්තිය තුලින් පැන නැගෙමින් පවතින බව ලෝසවෙඅ යේ ලිපි ඇසුරින් උද්ඝෝෂකයෝ ඇයට පෙන්වා දුන්හ. එවිට, “අනිත් අයත් (ඇමෙරිකානු ජනතාව) නැගී හිටියනම්, ලංකාවේ (2022 මහජන නැගිටීමේ දී) ගෝඨාභය (රාජපක්ෂ) යැව්ව වගේ ට්‍රම්ප්ව පලවා හරින්න පුලුවන්” නොවේද යනුවෙන් ඇමෙරිකාවේ උද්ඝෝෂන පිලිබඳව ඇය උද්‍යෝගයෙන් සඳහන් කලා ය.  

මෙම පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් සසප/සසජාතශි උද්ඝෝෂකයන්ට ප්‍රසංශා කල ඇය, මේවා වැඩිදුර හැදීරීමේ අවශ්‍යතාව අවධාරනය කරමින් පක්ෂ අරමුදලට මූල්‍ය ආධාරයක්ද  ලබා දුන්නා ය. 

***

මෑතක දී රැකියාවෙන් නෙරපනු ලැබූ මිචෙලින් සේවකයෙකු වන සෙනෙවිරත්න, ගාසා තීරය සහ ඉරානය ඉලක්ක කරගත් එක්සත් ජනපද-ඊශ්‍රායල ආක්‍රමනයට එරෙහි ව අදහස් දැක්වූයේ ය. දකුනු පලාතේ මිදිගම පිහිටි මිචෙලින් ටයර් කම්හල, ඉන්දියාවේ සියැට් සමාගමට විකිනීමට එරෙහි ව කම්කරුවන්ගේ අරගලයට සහභාගී වීමෙන් අනතුරු ව ඔහු සේවයෙන් පහ කරන ලදී. පාලක පක්ෂයට අනුබද්ධ අන්තර් සමාගම් සේවක සංගමය, සේවකයින්ගෙන් උපදෙස් නොගෙන හෝ ඔවුන්ගේ රැකියා, වැටුප් හෝ සේවා කොන්දේසි සඳහා කිසිදු සහතිකයක් ලබා නොදී සමාගම් දෙකම සමඟ රහසිගත “අවබෝධතා ගිවිසුමක්” අත්සන් කර තිබීම කම්කරුවන්ගේ කෝපය දල්වා තිබේ.

රැකියාවෙන් නෙරපනු ලැබූ මිචෙලින් සේවකයෙකු වන සෙනෙවිරත්න [Photo: WSWS]

දරුවන් සිවු දෙනෙකුගේ පියෙකු වන සෙනෙවිරත්න රැකියාවට අමතර ව අතිරේක ව සංචාරක කර්මාන්තයේ සේවය කරන අතර, එහිදී ඔහු ඊශ්‍රායල සංචාරකයින් සමග කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන බව සඳහන් කලේ ය. “මෙම යුද්ධය උත්සන්න වෙලා පැතිරිලා ගියොත් ඒක අපට  තදින්ම බලපායි කියලා හිතනවා.  එක පැත්තකින් යුද්ධය නවත්තා ගන්න කටයුතු කිරීම වැදගත් වෙන්නෙ ඒ නිසයි,” සෙනෙවිරත්න කීවේ ය. යුද්ධයේ දුරදිග යන බලපෑම පිලිගනිමින්,  සසප විශ්ලේෂනය සමඟ එකඟතාව පල කල සෙනෙවිරත්න, මිචෙලින් කම්කරු අරගලය තුලදී සසප කාර්යභාරය ප්‍රශංසා කරමින් ඉරිදා රැස්වීමට සහභාගී වීමට පොරොන්දු විය.

***

රත්මලාන කර්මාන්ත ශාලාවේ දුම්රිය සේවකයෙකු වන ජානක, ඊශ්‍රායලය සහ ඇමරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් ඉරානයට බෝම්බ දැමීම හෙලා දකිමින් මෙසේ පැවසී ය: “ඇමරිකා එක්සත් ජනපදය ලෝක සුපිරි බලවතා විදියට තමයි මේ ප්‍රහාර  උසිගන්වන්නේ.  ඒ වගේම ඔවුන්ගේ  ආධිපත්‍යය ස්ථාපිත කිරීමට  සහ එහි ප්‍රධාන ප්‍රතිවාදීන් වන චීනය සහ රුසියාව බය ගැන්වීම. මෙම බලවතුන්,  ඔවුන්ගේ ආර්ථික හා අනෙකුත් අරමුනු වෙනුවෙන් මිනිස් ජීවිත ගැන අබමල් රේනුවක තැකීමක් කරන්නේ නැති බව පැහැදිලියි.”

කම්කරු පන්තියට වත්මන් තත්වයේ පවතින අනතුර ඔහු තක්සේරු කරන්නේ කෙසේ දැයි විමසූ විට,“එය ඇත්තෙන්ම භයානකයි. තමන්ගේ රටට සිද්ධ වෙච්ච අසාධාරනයට පලිගැනීමක් විදියට ඉරානය,   ඊශ්‍රායලයටත් හා  ඇමරිකානු මිලිටරි කඳවුරකට ප්‍රහාර එල්ල කරා ම, මෙය තුන්වන ලෝක යුද්ධයක් දක්වාම යන්න පුලුවන් නේද කියන බය මට ඇතිවුනා” යනුවෙන් ජානක කීවේ ය. 

මෙම යුද්ධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය සහ එය එක්සත් ජනපදයට යටත් වීම ගැන ඔහු සිතන්නේ කුමක්දැයි විමසූ විට,  ඔහු කීවේ, යුද්ධය එරෙහි ව ශ්‍රී ලංකා රජයේ කිසිදු මැදිහත්වීමක් තමා නොදකින නමුත්,  මෙම ආන්ඩුව,  අයිඑම්එෆ් කප්පාදුව ඉදිරියට ගෙන යමින්  මේ රටේ ජනතාව අතර අපකීර්තියට පත්වෙමින් තිබෙන බවයි. “ඔවුන් අයිඑම්එෆ් පදේට නටමින්, මැතිවරනවල දී දීපු පොරොන්දුවලට පස්ස හරවමින් ඉන්නවා.”

යුද්ධය නතර කරන්නේ කෙසේ ද සහ කම්කරු පන්තියට සහ සාමාන්‍ය ජනතාවට ඇති විසඳුම් මොනවාද යන ප්‍රශ්නය සාකච්ඡා කරන විට, ජානක මෙම කාරනය සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයක් පවතින බව කියමින් සසප උද්ඝෝෂකයන් වෙත මෙලෙස තම අදහස් ප්‍රකාශ කලේ ය: “මේ ආන්ඩුව බලයට ආවේ  ජනතා හිතවාදී ආන්ඩුවක් කියාගෙන. ඒත් දැන් ඔවුනුත් අනෙක් ආන්ඩුවලින්  වෙනස් නෑ. එහෙම නම්, අපි කරන්න ඕන, වෙනත් අලුත් මුහුනුවරක් සහිත තවත් ආන්ඩුවකට ඡන්දය දීම ද?” ඒ වගේම, “අයිඑම්එෆ් නැතිව ආන්ඩුවට ඉදිරියට යා හැකි ද?” යන ප්‍රශ්නය ඔහු ඇසුවේ ය.  

මුලු ධනේශ්වර පාලනයම පෙරලා දැමීමට පමනක් නොව, අධිරාජ්‍යවාදී යුද්ධය සහ ජන සංහාරය නැවැත්වීමට ද රට තුල සහ ජාත්‍යන්තර ව විප්ලවීය ශක්තිය මත පදනම් ව පන්තියේ බලය සංවිධානය කිරීමේ කම්කරු පන්තියේ මූලෝපාය පැහැදිලි කල පසු, ඔහු කීවේ  මෙය පැහැදිලි වැඩපිලිවෙලක් බවයි. එ මෙන් ම, යුද අර්බුදය සම්බන්ධයෙන් ඉදිරියේ දී පැවැත්වෙන සූම් රැස්වීමට සහභාගී වීමට තම කැමැත්ත ද  ප්‍රකාශ කලේ ය.

“යුද්ධය, අප වැනි දියුනු නොවන රටවලටත් සමස්ත ලෝකයටමත්  විශාල හිරිහැරයක්. මේ ලෝක බලවත්තු මොනම අනුකම්පාවක්වත් නැතිව මැදපෙරදිග මිනිසුන් මරා දමමින් සිටිනවා. මම හිතන්නේ, ඇමරිකා එක්සත් ජනපදය මේ ආකාරයෙන් පහර දෙන්නේ තෙල් සම්පත්වල පාලනය වියරු ආකාරයෙන් තමන් අතට ගැනීමට කියලා. මෙම බලවතුන්ට වෙනත් රටවල් ගැන තැකීමක් ඇත්තේ නෑ. ආර්ථිකයන් පෙරලා දමමින් ඔවුන් අපව ගොදුරු බවට පත් කරගනිමින් ඉන්නවා, ”දුම්රිය සේවක කපිල කුමාර සාකච්ඡාවට එකතු වෙමින් කීවේ ය.

ඔහු මුහුන දෙන ආර්ථික ගැටලු පිලිබඳ විස්තර කරමින්, තමන්ට දැන් සිදු ව ඇත්තේ ඒවා ගැන ම ඔලුව වෙහෙසීම බවත්, ඒ නිසා ගෝලීය වශයෙන් සිදුවන දේ කෙරෙහි අවධානය යොමු කිරීමට වෙලාවක් නැති ව ගොස් තිබීම ගැන කනස්සල් පල කලේ ය.  “මගේ ගැටලු තමයි,  මගේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්නේ කොහොමද සහ දුර බැහැර ජීවත් වන මගේ මවට බෙහෙත් ගැනීමට මුදල් ටික වෙලාවට යවා ගන්නෙ කොහොමද වගේ ඒවා. මේ සොච්චම් වැටුපෙන් මම මේ ඔක්කොම කරන්නේ කොහොමද? මම මගේ අම්මා බලන්න ගියොත්, දැන් තියෙන ජීවන වියදම හින්දා  මට විශාල මුදලක් වැය වෙනවා. ඒ මදිවට ආන්ඩුව දැන් අතිකාල ගෙවීමුත් කපලා දාන්න හදන්නේ. මේකට විරුද්ධව අපි සටන් කරන්න ඕන,” දුම්රිය කම්කරුවා කීවේ ය. 

මෙම ගැටලු පුලුල් දේශපාලන අභියෝග සහ අධිරාජ්‍යවාදී යුද්ධය එකට ගැටගැසී ඇති ආකාරය සසප/සසජාතශි උද්ඝෝෂකයන් ඔහුට පැහැදිලි කල විට, අපගේ සියලුම රටවල් මෙම ගෝලීය බලවතුන් විසින් සූරාකනු ලබන බවත්, ඒ නිසා කිසිදු රටකට ආර්ථිකය පුනර්ජීවනය කල නොහැකි බවත් කියමින් ඔහු ඊට ප්‍රතිචාර දැක්වුවේ ය. සමාජවාදී ක්‍රියාමාර්ගය මත පදනම් වූ කම්කරු පන්තියේ විප්ලවීය වැඩපිලිවෙල කෙරෙහි ඔහු අවාධනය  යොමු කල අතර, ඉරිදා රැස්වීමට සහභාගී වීමට උපරිම උත්සාහයක් ගන්නා බව පැවසීය.

රත්මලාන දුම්රිය කම්හලේ විදුලි සේවකයෙකු වන සුරංග, සමාජවාදී වැඩසටහනක් මත පදනම් වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් සඳහා සසප කල ඉල්ලීමට දැඩි එකඟතාවයක් පල කලේ ය. ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය “විකාරයක්' ලෙස ඔහුගේ විවේචනයට ලක්විය. 'මගේ කියවීමට අනුව ඉරානයට න්‍යෂ්ටික අවි ඇත්තේ නෑ. නමුත් ලෝක බලවතුන් ඔවුන්ගේ සැබෑ යුද අරමුනු වසන් කිරීමට ඉරානයේ ඊනියා න්‍යෂ්ටික තර්ජනය ගැන කතාවක් තොරොම්බල් කරනවා. සැබෑ වැරදිකරුවන් වන්නේ වෙන කවුරුවත් නෙවෙයි,  න්‍යෂ්ටික අවි ලෙලවන මෙම බලවතුන්ම යි. අපි දන්නවා  ජපනයේ නගරවලට ඔවුන් මේවා භාවිතා කලේ කොහොමද කියලා” යැයි සුරංග කීවේ ය.

දුම්රිය සේවක සුරංග [Photo: WSWS]

චීනය සහ රුසියාව යුද්ධයට මැදිහත් වුවහොත් දැන් ඇරඹී තිබෙන යුද්ධය න්‍යෂ්ටික අවි සහිතව කෙරෙන ලෝක යුද්ධයක් බවට වැඩියාමේ අනතුර ගැනත්, ඉරානය ප්‍රතිගාමී ආගමික පාලනයක් යටතේ පැවතියද, එම රට සහ එහි පීඩිත ජනතාව අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ප්‍රහාරවලින් ආරක්ෂා කල යුතු බවට සසප ස්ථාවරය සමඟ ඔහු එකඟතාවය පල කලේ ය.

ජූලි 06 දා සවස 7.00 ට පැවැත්වෙන සූම් රැස්වීමට මෙතැනින් ලියා පදිංචි වන්න.

Loading