ඉරානයට එරෙහි ව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලයේ නෙතන්යාහු ආන්ඩුව දියත් කරන ලද සාපරාධී යුද්ධය, ශ්‍රී ලංකාවේ දෙමල ධනේශ්වර ජාතිකවාදී පක්ෂවල අධිරාජ්‍ය ගැති ස්වභාවය නැවත වරක් හෙලිදරව් කෙරුනු අවස්තාවක් බවට පත් ව ඇත.
ජූනි 12 වන දින ඉරානයට එරෙහි ව යුද්ධය දියත් කල ඊශ්‍රායලය එරට න්‍යෂ්ටික මධ්‍යස්ථාන, හමුදා කඳවුරු සහ රට පුරා ආර්ථික මධ්‍යස්ථාන ඉලක්ක කර පහර දෙමින්, ඉහල හමුදා සහ සිවිල් නිලධාරීන් ඝාතනය කලේ ය. ඊශ්‍රායලයේ ආක්‍රමනයට සම්පූර්නයෙන් ම සහාය දුන් ට්‍රම්ප් පරිපාලනය, ජූනි 22 වන දින ප්‍රධාන ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙලමින් යුද්ධයට සෘජු ව ම සම්බන්ධ විය.
මෙම ප්‍රහාරයන්ගෙන් ලමුන් ඇතුලු 600 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත; 4,000 කට වැඩි පිරිසක් බරපතල තුවාල ලබා ඇති අතර, බොහෝ සිවිල් යටිතල පහසුකම් සුන්බුන් බවට පත් ව ඇත. ට්‍රම්ප් විසින් යෝජනා කරන ලද හෙලෙත්තාඩු සටන් විරාමයක් දැන් ක්‍රියාත්මක වන මුත්, එය රඳා පවතිනු ඇත්තේ වොෂින්ටනය ඊලඟ පියවර ගන්නා තෙක් පමනකි.
ඉරානයට එරෙහි ආක්‍රමනය මධ්‍යයේ, ඊශ්‍රායල සියොන්වාදී තන්ත්‍රය ගාසා තීරයේ වර්ගික සුද්ධ කිරීමේ ප්‍රහාරය අඛන්ඩ ව තීව්‍ර කර තිබේ; ආහාර සොයා යන්නන් හා ඔවුන්ට ආධාර කිරීමට උත්සාහ කරන සහන සේවකයින් ඇතුලු සිය ගනනක් මරා දමා ඇත.
වසර 45 කට පෙර ඉරානයේ 1979 විප්ලවයේ දී සීඅයිඒ පිටුබලය ලත් රේසා ෂා පහ්ලවි රජු බලයෙන් පහ කිරීමෙන්, තමන්ට අහිමි වූ නව යටත් විජිත ආධිපත්‍යය නැවත අත්පත්කර ගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අධිෂ්ඨාන කරගෙන සිටී. මෙය, තෙල්වලින් පොහොසත් මැද පෙරදිග සිය පාලනය පවත්වා ගැනීමත්, රුසියාවට සහ චීනයට එරෙහි ව යුද්ධයට සූදානම් වීමත් සඳහා වන පුලුල් උපාය මාර්ගයක කොටසකි.
පසුගිය සතිවල, ඉරානයට එරෙහි යුද්ධය සහ ගාසා තීරයේ ජන සංහාරය සම්බන්ධයෙන් සිය කෝපය ප්‍රකාශ කිරීම සඳහා ජාත්‍යන්තර ව, ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්, තරුනයින් සහ පීඩිතයින් වීදි බසිනු දකින්නට ලැබුනි.
කෙසේ වෙතත්, පසුගිය සති දෙක තුල, ශ්‍රී ලංකාවේ දෙමල ධනේශ්වරයේ කිසිදු දේශපාලන පක්ෂයක් මෙම නීති විරෝධී අධිරාජ්‍යවාදී ආක්‍රමනශීලී යුද්ධය හෙලා දැකීම තබා විවේචනය කර හෝ නැත. බොහෝ දුරට ඔවුන් කිසිවක් කියා නැති තරම් ය.
මෙම දෙමල පක්ෂ අතරට, ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ), දෙමල ජාතික ජනතා පෙරමුන (ටීඑන්පීඑෆ්), දෙමල ඊලාම් ජනතා විමුක්ති සංවිධානය (ප්ලොට්) සහ ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුන (ඊපීආර්එල්එෆ්) ඇතුලු අනෙකුත් සංවිධාන ඇතුලත් වේ.
මෙය පුදුමයක් නොවේ. මෙම පක්ෂ සියල්ලම, විශේෂයෙන් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් දියත් කරන ලද 26 වසරක වාර්ගික යුද්ධය 2009 මැයි මාසයේදී අවසන් වීමෙන් පසු, එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ සමීප සබඳතා වර්ධනය කර ගෙන ඇත.
දෙමල කන්ඩායම් වොෂින්ටනයේ සහ අනෙකුත් බලවතුන්ගේ ගෝලීය භූ-මූලෝපායික අවශ්‍යතාවලට—විශේෂයෙන් චීනයට එරෙහි ව—දැඩිව සහාය දෙති. ඊට හිලව් වශයන්, දිවයිනේ උතුරු හා නැගෙනහිර සඳහා බලය බෙදා ගැනීමේ විධිවිධානයක කොටසක් ලෙස, දෙමල ප්‍රභූ පැලැන්තියට වරප්‍රසාද ලබා දීම සඳහා කොලඹ තන්ත්‍රයට බලපෑම් කරන ලෙස මෙම පක්ෂ ඔවුන්ගෙන් ඉල්ලා සිටිති.
ජූනි 19 වන දින පාර්ලිමේන්තුවේදී අයිටීඒකේ මන්ත්‍රී කවීන්දිරන් කෝඩීස්වරන් කල ප්‍රකාශ කිහිපයෙන් එකක් මෙසේ ය: “[ලංකාවේ] සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී මේ රටවල් දෙකම [ඊශ්‍රායලය සහ ඉරානය] ශ්‍රී ලංකා ආන්ඩුවට සහාය දැක්වූවා. දැන් ඉරානය ද එම තත්වයටම මුහුන දෙමින් සිටිනවා.”
දෙරටට ම එහි සාපය වැදී ඇතැයි කියන කෝඩීස්වරන් දැනුවත්ව වසන් කරන්නේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එහි ඒජන්තයකු වන ඊශ්‍රායලය, ඓතිහාසික ව පීඩිත ජාතියකට එරෙහි ව අප්‍රකෝපිත ආක්‍රමනශීලී යුද්ධයක් දියත් කල බවයි. එසේම, වක්‍ර ව, ඔහු ඇඟවුම් කරන්නේ ඉරානය මෙම “තත්වයට” වගකිව යුතු බවයි; ඔහු එමගින්, අවස්ථාවාදී තීරන ගත් ඉරාන පාලන තන්ත්‍රය සහ යුද්ධයේ බරට ලක් ව සිටින ඉරාන ජනතාව එක හා සමාන කර දක්වයි.
කෝඩීස්වරන් මෙම මුලුමනින්ම ප්‍රතිපත්ති විරහිත ස්ථාවරය අනුගමනය කරන්නේ, ශ්‍රී ලංකා ධනේශ්වරයේ පටු, ප්‍රාදේශීය අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරමිනි. ඔහු “යුද්ධය නැවැත්වීමට සහාය වීම සඳහා වෙනත් රටවල්” සමග එක්වන ලෙස කොලඹ ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය. ඒ ඇයි? ගැටුමේ සාපරාධී අධිරාජ්‍යවාදී ස්වභාවය නිසා නම් නොවේ; “ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳෙනසුලු තත්වයක පවතින” නිසා එය ආරක්ෂා කල යුතු බැවිනි.
ජූනි 22 වන දින ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ “ඊශ්‍රායලය, ඉරානය සහ ශ්‍රී ලංකාව” යන මැයෙන් පල වූ ලිපියක්, ඉරානයට එරෙහි යුද්ධයෙන් ආර්ථිකයට ඇති විය හැකි බලපෑම පෙන්වීමට සම්පූර්නයෙන් ම කැපවී ඇත. ශ්‍රී ලංකාව තුල තම අවශ්‍යතා වැඩි දියුනු කිරීම සඳහා දෙමල ධනේශ්වරය තත්වය ගසා කෑ යුතු බවට එම ලිපිය යෝජනා කරයි. එක්සත් රාජධානියේ පිහිටි මෙම වෙබ් අඩවියෙන් ප්‍රකාශ වන්නේ දෙමල ඩයස්පෝරාවේ ධනවත් ස්ථරයන්ගේ හඬයි.
“කොලඹ පාලනය සම්බන්ධයෙන් ගත්කල, මෙම බලපෑම දුරදිග යන ආර්ථික හා දේශපාලන ප්‍රතිවිපාක ඇති කල හැකිය” යනුවෙන් ලිපිය ප්‍රකාශ කලේය. ඉන්පසු එය මෙසේ පැවසයි: “ගෝලීය අස්ථාවරත්වය තුල කොලඹට [ආන්ඩුවට] ආර්ථික ජීවිතය රැක ගැනීමට පිටස්තර ලෝකය දෙස බැලීමට බල කෙරන බැවින්, ජාත්‍යන්තර හවුල්කරුවන් තමන් දිගු කලක් තිස්සේ බලාසිටි ප්‍රතිසංස්කරන ඇතිකර ගනිම සඳහා බලපෑම් කිරීමට මෙය අවස්ථාවක් කරගත යුතුය.”
“ජාත්‍යන්තර හවුල්කරුවන්” යන්නෙන් දෙමල ප්‍රභූව අදහස් කරන්නේ මැද පෙරදිග යුද්ධ කරන, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව යුද්ධ කරන සහ චීනයට එරෙහි ව ඉන්දු-පැසිෆික් කලාපයේ යුද්ධයකට සූදානම් වන ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලවතුන් ය. එපමනක් නොව, මෙම බලවතුන්, ඉන්දියාව සමඟ එක් ව, අවසාන මාසවල දී දස දහස් ගනනක් සිවිල් වැසියන් ඝාතනය කල කොලඹ පාලනයේ වාර්ගික යුද්ධයට සම්පූර්නයෙන්ම සහායය දුන් අයයි.
ඉරානයට එරෙහි යුද්ධය ගෝලීය ගැටුමක් බවට පත්විය හැකි බවට අනතුරු අඟවමින් පවා, ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය උත්සුක වී සිටින්නේ, ශ්‍රී ලංකාවේ දෙමල ධනේශ්වරයේ අවශ්‍යතා ගැන, අන් සියල්ලටත් වඩා “දෙමල නිජබිම සඳහා අර්ථවත් ස්වයං පාලනයක්”—එනම්, දෙමල කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව සූරාකෑමට එයට ඇති වැඩි ඉඩකඩ ගැන පමනකි.
ශ්‍රී ලංකාවේ දෙමල පීඩිත කම්කරුවන් සහ දුප්පතුන් දශක ගනනාවක් තිස්සේ කොලඹ පාලන තන්ත්‍රයන් විසින් වෙනස්කම් කිරීම්වලට සහ ප්‍රචන්ඩත්වයන්ට මුහුන දී ඇති අතර, එය වත්මන් ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග ආන්ඩුව යටතේ ද එසේම පවතී. දෙමල ප්‍රභූන් ඉරානයේ පීඩිත ජනතාවට සහ ගාසා තීරයේ පලස්තීනුවන්ට අවඥා සහගත ලෙස සලකනවා සේම, ඔවුන් දෙමල ජනතාවට සලකන්නේ ද එම අවඥාවෙන්ම ය.
ඊශ්‍රායල ජන සංහාරය ගැන සේ ම, ඉරානයට එල්ල කරන එක්සත් ජනපදය/ඊශ්‍රායලය බෝම්බ හෙලීම සම්බන්ධයෙන් ද දෙමල ප්‍රභූන් එම ද්‍රෝහී සහ ප්‍රතිගාමී තර්කයම ප්‍රචාරය කරති: එනම්, එල්ටීටීඊයට එරෙහි 26 වසරක වාර්ගික යුද්ධයට කිසිවෙකු විරුද්ධ නොවූ බැවින්, මැද පෙරදිග ජනතාවගේ දුක්ඛිත තත්ත්වය ගැන දෙමල ජනතාව කිසිවක් නොකියා සිටිය යුතුය.
මෙය තවත් බොරුවකි. යුද්ධයේ අවසන් මාස පමනක් ගත්ත ද, දෙමල සිවිල් වැසියන්, අනවරත සමූලඝාතනවලට මුහුන දෙන විට, ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධයට එරෙහිව අධිරාජ්‍යවාදී රටවල ප්‍රධාන නගරවල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විරෝධතා දැක්වූහ. එහෙත්, එල්ටීටීඊය ඇතුලු දෙමල පක්ෂවල නායකයින් සිදුකලේ, කොලඹ ආන්ඩුවේ ලේ වැකි ප්‍රහාරයට දේශපාලනික හා මිලිටරි සහයෝගය ලබා දුන් එම බලවතුන්ටම සාමය ඉල්ලා නිරර්ථක ආයාචනා කිරීමයි
හමුදාවට යටත් වූ තම ආදරනීයයන්ට සිදුවූයේ කුමක්ද, අතුරුදහන් වූවන් පිලිබඳ සත්‍යය කමක්ද යන්න සහ යුද අපරාධවලට යුක්තිය සෙවීම සඳහා දෙමල ජනතාව අඛන්ඩව උද්ඝෝෂනවල නිරත වෙමින් සිටිති.
දෙමල ධනපති පක්ෂවල ස්ථාවරය සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ සහ කොලඹ දේශපාලන සංස්ථාපිතයේ අනෙකුත් අයගේ ස්ථාවරය අතර ඇත්තේ සුලු වෙනසක් පමනි.
ජූනි 23 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශය, ප්‍රවේශමෙන් සකස් කරන ලද වාක්‍ය තුනකින් යුත් ප්‍රකාශයක් නිකුත් කල අතර, එහිදී එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ගැන කිසිදු සඳහනක් නොකර, ඉරානයට එරෙහි ඔවුන්ගේ නීති විරෝධී සහ අප්‍රකෝපිත යුද්ධය විවේචනය කිරීම මග හරිමින්, සිය “බරපතල කනස්සල්ල” යොමුකල අතර “[යුද] උත්සන්නිය අඩුකර ගන්නා ලෙස” සහ “සංවාදය” යොමුවන ලෙසද සඳහා ආයාචනා කෙරුනි. ආන්ඩුව එසේ කලේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විරසක කර නොගැනීම සඳහා ය.
කම්කරුවන්, තරුනයින් සහ සිසුන් කල යුත්තේ, දෙමල සහ සිංහල ධනපති පක්ෂවල නරුම, බංකොලොත් සහ අධිරාජ්‍ය ගැති ආස්ථානයන් ප්‍රතික්ෂේප කොට, සාපරාධී අධිරාජ්‍යවාදී යුද ධාවනයට එරෙහි ව නිර්භීත ස්ථාවරයක් ගැනීමයි.
ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය—දෙමල, සිංහල සහ මුස්ලිම්—ඉරානයේ, ගාසා තීරයේ, ඊශ්‍රායලය ඇතුලු මැද පෙරදිග පුරා සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු ජාත්‍යන්තරව ඔවුන්ගේ පන්ති සහෝදරයන් සමග එකම ව්‍යසනයකට මුහුන දී සිටිති. යුරෝපයේ, මැද පෙරදිග සහ ඉන්දු-පැසිෆික් කලාපයේ දිග හැරෙමින් පවතින්නේ න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් අතර ගෝලීය ගැටුමකි. එය මානව වර්ගයාට මහා විනාශයකට තර්ජනය කරයි.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂ, කම්කරු පන්තියේ සහ පීඩිතයින්ගේ ඒකාබද්ධ අරගලය හරහා පීඩිත ජාතීන් අධිරාජ්‍යවාදයේ ප්‍රහාරයෙන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තරවාදී සහ මාක්ස්වාදී මූලධර්මය මත පදනම් වේ.
ලෝක යුද්ධයේ ව්‍යසනය වලක්වා ගත හැක්කේ සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වූ කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් පමනි.
ශ්‍රී ලංකාවේ සසප, දෙමල, සිංහල සහ මුස්ලිම් කම්කරුවන් එක්සත් කිරීමට සටන් වදින්නේ, සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් සහ වර්ගවාදයන්ට විරුද්ධ වීමට, උතුරු නැගෙනහිරින් සියලු හමුදා ඉවත් කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ය. මෙම අරගලයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන සටනට පෙල ගැසෙන ලෙස, අපි කම්කරුවන්ගෙන් සහ දුප්පතුන්ගෙන් ඉල්ලා සිටිමු.
සසප සහ සසතාතශි සංවිධානය “ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල් යුද්ධයට විරුද්ධ වනු!” යන තේමාව යටතේ ප්‍රසිද්ධ රැස්වීම් සංවිධානය කර ඇත.
ඉරානයට එරෙහි ඇමරිකානු යුද ධාවනය සහ ඇමරිකානු-ඊශ්‍රායල් ආක්‍රමනයත්, එයට එරෙහිව සටන් කරන්නේ කෙසේද යන්නත් සාකච්ඡා කරන මෙම රැස්වීම්වලට සහභාගී වන ලෙස අපි ඔබගේ අවධානය යොමුකරමු .
ජූලි 6 වන ඉරිදා සවස 7 ට—ඔන්ලයින් රැස්වීම
කරුනාකර මෙම සබැඳියෙන් ලියාපදිංචි වන්න:
https://us06web.zoom.us/meeting/register/vgd37er4T7WeEj_VFXQBvw
ජූලි 8 වන අඟහරුවාදා සවස 3 ට—වීරසිංහම් ශාලාව (දෙවන මහල), යාපනය
ඉරානයට එරෙහි යුද්ධය නතර කරනු!