ශ්‍රී ලංකාවේ ආන්ඩුව සහ ජාමූඅ, කප්පාදු වැඩසටහනේ “සාර්ථකත්වය” සමරයි

[මෙය Sri Lankan government and IMF celebrate “success” of austerity program යන මැයෙන් 2025 ජූනි 27 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජුනි 16 වන දින, ශ්‍රී ලංකා ආන්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), කොලඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී, “ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධනය සඳහා මාවත: නය සහ ආන්ඩුකරනය” යන මැයෙන් ඉහල පෙලේ උත්සවයක් පැවැත් වී ය.

ආන්ඩුවේ ඇමතිවරුන්, ජාමූඅ නිලධාරීන් සහ සංගත ප්‍රභූව සහභාගී වූ, ආරාධිතයින් සඳහා පමනක් පැවති මෙම රැස්වීම, ජාමූඅ හි රුදුරු කප්පාදු වැඩසටහන උත්කර්ෂයට නැංවීමක් විය. එම කප්පාදු වැඩසටහන, “සාර්ථකත්වය පිලිබඳ කතාවක්” සහ අර්බුදයට ලක් ව ඇති අනෙකුත් රටවලට “ආදර්ශයක්” ලෙස නරුම ලෙස ප්‍රශංසාවට භාජනය කෙරිනි.

ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී මවා පෙන් වූ සර්වශුභවාදය පිටුපස ඇත්තේ, ජාත්‍යන්තර නය හිමියන්ට සහ ශ්‍රී ලංකාවේ ධනේශ්වර ප්‍රභූවට සේවය කිරීම සඳහා නිර්මානය කර ඇති නය ආපසු ගෙවීමේ තන්ත්‍රයක විනාශකාරී ප්‍රතිවිපාක දිගටම දරා සිටින කම්කරුවන්, දුප්පතුන් සහ තරුනයින්ගේ දහඩියෙන් මෙම “ප්‍රතිසාධනය” ගොඩනැගී ඇති බවට වන කුරිරු යථාර්ථයයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 ජුනි 16 වන දින කොලඹ පැවති “ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධනය සඳහා මාවත: නය සහ ආන්ඩුකරනය”  යන ජාත්‍යන්තර සමුලුව අමතමින්. [Photo by President’s Media Division of Sri Lanka]

“අපිට තෝරා ගැනීමට මාවත් දෙකක් තිබුනා. පැරනි අසාර්ථක විනාශකාරි මාවතේ ම යනවද, එසේ නොමැති ව අපේ රට යලි ජයග්‍රහනය කරවීම සඳහා නව මාවතක් තෝරා ගන්නවාද යන කරුනු දෙක අපි හමුවේ පැවතුනා” යනුවෙන් පවසමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සමුලුව ආරම්භ කලේ ය.

“අසාර්ථක හා විනාශකාරී මාර්ගය” යනු 2022 මුල් භාගයේ ආර්ථික බිඳවැටීම ගැන සඳහනකි. විදේශ සංචිත අවසන් වීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව ශ්‍රී ලංකාවේ පලමු විදේශ නය පැහැර හැරීම ප්‍රකාශයට පත් කලේ ය. කෝවිඩ්-19 සහ යුක්‍රේන යුද්ධයේ ගෝලීය බලපෑම හේතුවෙන් ඇති වූ අර්බුදය අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල විනාශකාරී හිඟයකට, දෛනික විදුලි කප්පාදුවට සහ උද්ධමනය ඉහල යාමට හේතු විය.

ඇත්ත වශයෙන් ම, දිසානායක එම වසරේ තීරනාත්මක දේශපාලන සිදුවීම ගැන, එනම්, 2022 අප්‍රේල් සිට ජූලි දක්වා මිලියන සංඛ්‍යාත කම්කරුවන්, තරුනයින් සහ ග්‍රාමීය දුප්පතුන් සම්බන්ධ වූ, පෙර නොවූ විරූ මහජන නැගිටීම ගැන කිසිදු සඳහනක් කලේ නැත; එහි දී ඔවුහු දරාගත නොහැකි ජීවන තත්වයන් අවසන් කරන ලෙස ඉල්ලා වීදි බැස්සාහ. එම විරෝධතා හමුවේ රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වීමට සිදු වූ අතර ශ්‍රී ලංකා ධනවාදයේ අත්තිවාරම් සොලවා දැමී ය.

ඒ කාලයේ දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දුන් ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) මහජන අරගලය “අරාජිකවාදයට” සමාන කලේ ය. එවකට ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය (සජබ) සමඟ එක් ව එය අන්තර්කාලීන ධනවාදී පරිපාලනයක් ඉල්ලා සිටියේ ය. ව්‍යාජ වමේ ද සහාය ඇතිව වෘත්තීය සමිති නිලධරයන්, පාර්ලිමේන්තු ආවෘත අන්තයක් දෙසට මහජන ව්‍යාපාරය පීලි පැන්නවීම සඳහා වූ මෙම කැඳවීම සමග පෙල ගැසී එය පාවා දුන්හ.

එමඟින් අපකීර්තිමත් පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂයේ (එජාප) එකම මන්ත්‍රීවරයා වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට ඔසවා තැබීමටත්, ජාමූඅ ගනුදෙනුව සාකච්ඡා කිරීමටත්, එය ම්ලේච්ඡ ලෙස ක්‍රියාත්මක කිරීමටත් කොන්දේසි නිර්මානය කලේ ය.

2023 මාර්තු මාසයේ දී නිල වශයෙන් ක්‍රියාත්මක කරන ලද එම ගිවිසුම, සංස්ථාපිත විරෝධී බලවේගයක් ලෙස පෙනී සිටිමින් බලයට පත් ව සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් දැන් සම්පූර්නයෙන් ම වැලඳ ගෙන ක්‍රියාත්මක කරන ම්ලේච්ඡ කප්පාදු වැඩසටහන සඳහා අඩිතාලම දැමී ය. මැතිවරන සමයේ දී එය කම්කරුවන් සහ දුප්පතුන්, කප්පාදුවේ ඉතාම නරක සමාජ බලපෑම් වලින් ආරක්ෂා කරන බවට ව්‍යාජ ලෙස සපථ කලේ ය.

අවසාන ප්‍රතිඵලය වන්නේ, පූර්ව ආන්ඩුවලින් ඉවත් වීමක් නොව, පුද්ගලීකරනය, රැකියා විනාශය සහ සමාජ කප්පාදුවේ එම වැඩසටහන ම අඛන්ඩ ව පවත්වා ගෙන යාමයි.

දිසානායක කොලඹ සමුලුවේ දී පැවසුවේ ආන්ඩුව “ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට” බලාපොරොත්තු වන බවයි. එහි ප්‍රතිඵලය විය යුත්තේ, “අපගේ ජාතික ස්වෛරීභාවය සහ ආත්ම-විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීම” යි. වත්මන් ජාමූඅ වැඩසටහන, එහි විස්තීර්න අරමුදල් පහසුකම යටතේ සිදු කරනු ලබන අවසාන වැඩසටහන වනු ඇතැයි ඔහු පැවසී ය.

දිසානායකගේ උත්සාහයේ ප්‍රධාන අංගයක් වන්නේ, වැඩි වැඩියෙන් විදේශ සෘජු ආයෝජන ආකර්ෂනය කර ගැනීමයි; එයට “ආයෝජකයින් දිරිගැන්වීම්... [ඔවුන්ට] උපායමාර්ගික සහන ලබා දීම්” ඇතුලත් වන බව ඔහු පැවසී ය. එහි තේරුම ජාත්‍යන්තර මූල්‍ය හා ප්‍රධාන ගෝලීය සංගතවල අවශ්‍යතා සඳහා ශ්‍රම පිරිවැය අඩු කිරීම සහ සූරාකෑම වැඩි කිරීමයි.

ජාමූඅ පලමු නියෝජ්‍ය කලමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත්, 2025 ජුනි 16 වන දින කොලඹ පැවති “ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධනය සඳහා මාවත: නය සහ පරිපාලනය” සමුලුව අමතමින්. [Photo by X/@GitaGopinath]

දිසානායක සහ ජාමූඅ පලමු නියෝජ්‍ය කලමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් යන දෙදෙනා ම ශ්‍රී ලාංකික ජනතාවගේ “ධෛර්යයට සහ කැපවීමට” ප්‍රශංසා කිරීමට තම කතාවන් යොදා ගත්හ.

ප්‍රතිසංස්කරන, “විශේෂයෙන් දුප්පතුන්ට මිල අධික හා වේදනාකාරී” බව ගෝපිනාත් පිලිගත් නමුත්, දශක ගනනාවක් තිස්සේ නය ගනිමින්, රට අගාධයට ඇද දැමීමේ මූල හේතුව ධනේශ්වර අවශ්‍යතා සඳහා දශක ගනනාවක් තිස්සේ නය ගැනීම බව සැඟවූ ඈ, අඩු බදු මෙන්ම සහනාධාර, අර්බුදයට මූලික හේතු බවට වන බොරුව පුනරුච්චාරනය කලාය.

මේ වසරේ පෙබරවාරි මාසයේදී මුදල් අමාත්‍යවරයා ලෙස දිසානායක විසින් ඉදිරිපත් කරන ලද 2025 අයවැය, ඊනියා ප්‍රතිසාධනයේ සැබෑ ස්වභාවය පෙන්නුම් කලේ ය.

රාජ්‍ය අංශයේ රැකියා කප්පාදු කරමින් සහ රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කරන අතරතුර, ආන්ඩුව සෞඛ්‍ය වියදම් රුපියල් බිලියන 383 දක්වා අඩු කර ඇත—පසුගිය වසරේ එය බිලියන 410 ක් විය—අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 271 ක් පමනක් ලබා දී ඇති අතර එය බිලියන 29 ක සොච්චම් වැඩිවීමකි. දැනටමත් අර්බුදයට ලක් ව ඇති මෙම අංශ දෙක, නය ආපසු ගෙවනු වස්, දිගට ම දිය කර හැරෙනු ඇත. රාජ්‍ය අධ්‍යාපන වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක් පමනි—එය ලෝකයේ අඩු ම අගයන් අතර වේ.

තම සොච්චම් මාසික දීමනාව දෙගුන කරන ලෙස ඉල්ලා සිටි විශ්වවිද්‍යාල සිසුන්ට රුපියල් 5,000 සිට 7,500 දක්වා හුදු සංකේතාත්මක වැඩි වීමක් ලැබුනි—එය ජීවත් වීමට තරම් ප්‍රමානවත් නොවේ.

ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ඊලඟ ප්‍රධාන ඉලක්කය රාජ්‍ය අංශය වන අතර, රාජ්‍ය ව්‍යවසායන් (රාව්‍ය) 400 කට අධික ප්‍රමානයක් ප්‍රතිව්‍යුහගත කිරීම හෝ විසුරුවා හැරීම මගින් රැකියා මිලියනයක් දක්වා කපා හැරීමට සැලසුම් කර ඇත. ඛනිජ තෙල්, විදුලිය, විදුලි සංදේශ, රක්ෂන යන ප්‍රධාන අංශ විදේශ සෘජු ආයෝජන ආකර්ෂනය කර ගැනීමේ මුවාවෙන් සම්පූර්න පුද්ගලීකරනය සඳහා සූදානම් වෙමින් පවතී. මෙම පියවරයන් අරමුනු කර ගෙන ඇත්තේ “සංවර්ධනය” නොව; ශ්‍රී ලංකාව ගෝලීය ප්‍රාග්ධනය සඳහා අඩු වියදම් ශ්‍රම පාරාදීසයක් බවට තවදුරටත් පරිවර්තනය කිරීම යි.

මේ අතර, සංගත අංශය සමෘද්ධිමත් වෙමින් පවතී. ෆස්ට් කැපිටල් රිසර්ච් ආයතනයට අනුව, ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් 2025 මාර්තු මාසයේදී වාර්ෂිකව සියයට 57.4 ක ඉපැයීම් වැඩිවීමක් වාර්තා කල අතර එය අඛන්ඩව කාර්තු හයක ලාභ වර්ධනයක් සනිටුහන් කලේ ය. සංගත බදු අනුපාත—සියයට 15 ත් 30 ත් අතර—අඩු මට්ටමක පවතින අතර ඊට අතිරේක වශයෙන් බදු සහන සහ ආයෝජකයින් සඳහා ත්‍යාගශීලී දිරිගැන්වීම් ලබා දෙයි.

අඛන්ඩ සමාජ ප්‍රහාර නොතකා, කම්කරුවන් අධිෂ්ඨානශීලී ප්‍රතිරෝධයක් දක්වා ඇත. 2023 වසර පුරා ම සහ 2024 මුල් භාගය දක්වා, වැඩි වැටුප් සහ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කරන ලෙස ද කප්පාදුව අවසන් කරන ලෙස ද ඉල්ලා සිටිමින් ලක්ෂ සංඛ්‍යාත පිරිස් වැඩවර්ජන සහ විරෝධතාවලට සහභාගී වූහ.

වැඩවර්ජන මගින් ආන්ඩුව “අස්ථාවර” කල හැකි බව පවසමින් 2024 ජූලි මාසයේ සිට කාර්මික ක්‍රියාවන් තහනම් කර ඇති ජනතා විමුක්ති පෙරමුන සමඟ පෙලගැසී සිටින්නන් ඇතුලු වෘත්තීය සමිති නිලධරයන් විසින් මෙම අරගල ක්‍රමානුකූල ව පාවා දෙන ලදී.

ලක්ෂ සංඛ්‍යාත රැකියා විනාශ කරමින්, රාජ්‍ය සේවාවන් කප්පාදු කරමින් සහ කම්කරු අයිතිවාසිකම් සෝදාපාලුවට ලක් කරමින්, අනුකම්පා විරහිත ව ජාමූඅ නියෝග ක්‍රියාත්මක කරන ජවිපෙ/ජාජබ, මහජන අරගලයේ නව හා බලගතු පිපිරීමක් සඳහා වේදිකාව සකසමින් සිටී.

ධනවාදයේ රාමුව තුල හෝ පවතින වෘත්තීය සමිති ව්‍යුහයන් හරහා කම්කරු පන්තියට මෙම ප්‍රහාරයට එරෙහි ව සටන් කල නොහැක. අවශ්‍ය වන්නේ නව දේශපාලන හා සංවිධානාත්මක උපාය මාර්ගයකි.

කම්කරුවන් සහ පීඩිතයින් සෑම කර්මාන්ත ශාලාවක ම, වතුකරයේ, පාසල්, රෝහල් සහ අසල්වැසි ප්‍රදේශයක ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු ය. මෙම කමිටු වෘත්තීය සමිති නිලධරයන්ගේ සහ ධනේශ්වර පක්ෂවල බලපෑමට පිටතින් කම්කරුවන් බලමුලු ගැන්විය යුතු අතර පලාත් හා කර්මාන්ත අංශ හරහා අරගල සම්බන්ධීකරනය කිරීම ආරම්භ කල යුතු ය.

දිගු කලක් නොසලකා හරින ලද, ගම්බද පීඩිත ජනතාව ද තම ජීවනෝපායන් සහ සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු ය.

මෙම කමිටු, කප්පාදුවලට, යුද්ධයට සහ සූරාකෑමට එරෙහි ව ගෝලීය වශයෙන් කම්කරුවන්ගේ අරගල එක්සත් කිරීමට සටන් කරන ජාත්‍යන්තර ජාලයක් වන කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) සමඟ සම්බන්ධ විය යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින් මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් කැඳවන ලෙස ඉල්ලා සිටී. විදේශ නය ප්‍රතික්ෂේප කිරීම, ප්‍රධාන කර්මාන්ත සහ බැංකු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම සහ ලාභය සඳහා නොව, ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කැපවන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවකට මෙම සම්මේලනය අත්තිවාරම දැමිය යුතු ය.

කම්කරුවන්ගෙන් සහ තරුනයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ 077 3562327 අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙස යි; නැතහොත් එම අංකයට කෙටි පනිවිඩයක් හෝ වට්ස්ඇප් පනිවිඩයක් එවන ලෙසයි.

Loading