එක්සත් ජනපදය හා ඊශ්‍රායලය, ඉරානයට එරෙහි ව දියත් කර තිබෙන යුද්ධය හා වැඩෙන ලෝක යුද්ධය සම්බන්ධයෙන්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, කොලඹ, යාපනය හා පේරාදෙනිය යන විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් අතර පසුගිය දිනවල සාකච්ඡාවක නිරත විය.
සසප/සසජාතශි යුද්ධයට එරෙහි ව ගෙන යන උද්ඝෝෂනයේ කොටසක් ලෙස, “ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයට විරුද්ධ වනු!” යන මාතෘකාව යටතේ, ජුලි මස 06 වන ඉරිදා සවස 07 ට සූම් රැස්වීමක් හා ජුලි මස 08 දා යාපනයේ වීරසිංහම් ශාලාවේ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ලැබේ.
ඉරානය පාර්ශ්වයෙන් කවර හෝ ප්‍රකෝපකරනයක් නොමැති ව, එයට එරෙහි ව, එක්සත් ජනපදය සහ එහි කලාපීය සගයා වන ඊශ්‍රායලය දියත් කල ආක්‍රමනකාරී, අධිරාජ්‍යවාදී යුද්ධයට හා පලස්තීනය තුල සිදු කෙරෙන ජන සංහාරක යුද්ධයට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සිය විරුද්ධත්වය පල කලහ. එපමනක් නොව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සම්බන්ධ ව ප්‍රකාශ කල සටන් විරාමය ප්‍රෝඩාකාරී එකක් බවත් යලි යුද්ධය ඉදිරියට ගනු ඇති බවත් ඔවුහු කියා සිටිය හ.
යුක්‍රේනය අරබයා රුසියාවට එරෙහි ව සහ මැද-පෙරදිග කලාපයේ පලස්තීනය හා ඉරානයට එරෙහි ව, එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් ගෙන යන යුද්ධ තුලින් සහ චීනයට එරෙහි ඔවුනගේ යුද සූදානම තුලින්, ලෝක යුද්ධය දැනටමත් පෙරමුනු තුනකින් මතු වී ඇත. එය න්‍යෂ්ටිත යුද්ධයක් දක්වා වර්ධනය වීමේ අවදානම වඩවඩාත් තීව්‍ර වෙමින් පවතී. පසුගිය සතියේ පැවති නේටෝ සමුලුවේ දී යුරෝපයේ අධිරාජ්‍යවාදී බලයන් දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 5ක් යුද වියදම් සඳහා වෙන් කිරීමට සපත වීම, මෙම අවදානම ඉස්මතු කර පෙන්වයි.
යුද්ධය, ලෝක ධනේශ්වර අර්බුදයේ නිර්මිතයක් බැවින්, ධනවාදය ලෝක පරිමාන ව පෙරලා දැමීමෙන් තොර ව යුද්ධය නතර කල නොහැකි බව පෙන්වා දුන් සසප/සසජාතශි සාමාජිකයෝ, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත පදනම් ව කම්කරුවන්ගේ හා තරුන ජනයාගේ ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ හදිසිභාවය පිලිබඳව ශිෂ්‍යයන් සමග සාකච්ඡා කලහ.
කොලඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තුන්වන වසර ශිෂ්‍යයෙකු වන අජිත මෙසේ ප්‍රකාශ කලේ ය. “සටන් විරාමය බොරුවක්. ආයේ කවදා හරි ප්‍රහාර එල්ල කරනවා. යුද්ධයක් යටතේ අපි කාටවත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බෑ. ඒක අපි ගාසාවෙන්, යුක්‍රේනයේ හා දැන් ඉරානයෙන් දකිනවා. ලොකු රටවල් අතර යුද්ධයක් ඇවිලුනොතින්, පරාජයකින් වැලකෙන්න න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කරන්න පුලුවන්. ඉරාන ආක්‍රමනය මම හෙලා දකිනවා. ලෝක යුද්ධයක් නතර කල යුතුයි”.
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යාවක වන දෙව්මි මෙසේ ප්‍රකාශ කලා ය. “තරුන ජනයා විදිහට අපි ජීවිතය පටන් ගත්තා විතරයි. අපි විතරක් නෙමේ කව්රුත් කැමති නෑ ජීවිත දේපල විනාශ වෙනවා දකින්න. මේ යුද්ධය තෙල් මිල ඉහල යෑම ඇතුලු ආර්ථික ප්‍රශ්න ගනනාවකට හේතු වෙනවා. අපිට දකින්න ලැබෙන්නේ දිනෙන් දින අසතුටු දායක ප්‍රවෘත්ති”.
සාකච්ඡාවට සම්බන්ධ වූ සියලූ ම ශිෂ්‍යයන් යුද්ධයට විරුද්ධත්වය පල කරන නමුත් එහි මූලයන් සහ නතර කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔවුනට විවිධ ව්‍යාකූල අදහස් පැවතුනි.
“මිනිස්සු තෘෂ්නාවෙන් වෙලී” ඇති බැවින් යුද්ධ හට ගන්නා බවක් ඉන්දික කියා සිටි අතර, “ට්‍රම්ප්, නෙතන්යාහු හා කුමේනි වැනි නායකයන් වයස් ගත වී සිටින නිසා තරුන පරම්පරාවන්ට එරෙහි ව යුද්ධයෙන් විනාශය ගේන්න වැඩ කරනවා” යයි දෙව්මි පැවසුවාය.
යුද්ධයේ මූලය, ධනපති පාලකයන්ගේ “තෘෂ්නාව” තුල සොයනු වෙනුවට, ඔවුන් යුද්ධයට තල්ලු කෙරෙන හේතු වෛෂයික ලෝකය තුල සෙවිය යුතු බව සසප/සසජාතශි උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.
එක්සත් ජනපද මිලිටරි බලය යොදා අන් රටවල් යටත් කර ගැනීමටත්, ඒවායේ සම්පත් කොල්ලකමින් තම ආර්ථික ආධිපත්‍යය යලි තහවුරු කර ගැනීමටත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුලු එරට පාලක පංතිය තල්ලු කරනු ලබන්නේ පහත හේතු විසිනි: 01. එක්සත් ජනපදය මුහුන දී සිටින දැවැන්ත රාජ්‍ය නය කන්දරාව 02. ලෝක වෙලඳපොලේ එහි පංගුව සුවිසල්ව කඩා වැටීම 03. රට තුල වැඩී ඇති පෙර නොවූ විරූ සමාජ අසමානතාව 04. කම්කරු පංතියේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව වැඩෙන පංති අරගල. මේ සියල්ල ලෝක ධනේශ්වර අර්බුදයේ නිර්මිතයන් ය.
අනෙකුත් අධිරාජ්‍යවාදී රටවල පාලක පංතීන් ද යුද්ධය කරා ධාවනය කරනු ලබන්නේ, මෙම ගෝලීය ආර්ථික අර්බුදයෙනි.
මෙම අර්බුදයේ මූලය, ලෝක ධනපති ක්‍රමයේ අභ්‍යන්තර පරස්පර විරෝධයන්, එනම්, ගෝලීය ආර්ථිකය හා එකිනෙකට සතුරු ව පිහිටි ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය අතරත්, සමාජයියකෘත නිෂ්පාදනය සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ (මහ බැංකු, කම්හල්) පෞද්ගලික අයිතිය අතරත් වන පරස්පර විරෝධයන් (නොපෑහීම), ගැඹුරු වීම බව සසප/සසජාතශි සාමාජිකයෝ පැහැදිලි කලහ.
“ඇමරිකාව ඉරානයට විරුද්ධව යුද්ධ කරන්නේ ඇයි? මේ සටන් විරාමය කොපමන කාලයක් පවතීද?” යනුවෙන් ඉන්දික ප්‍රශ්න කලේ ය. පුලුල් වන චීන ආර්ථික සබඳතාවන් තම ගෝලීය ආධිපත්‍යයට තර්ජනයක් ලෙස දැක ගන්නා ඇමරිකානු අධිරාජ්‍යවාදය, ඉරානය යටත් කර ගැනීමෙන්, චීනයේ සැපයුම් මාර්ග තම පාලනයට ගැනීමට උත්සාහ දරන බව උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.
චීනය, ඉරාන තෙල් නිෂ්පාදනයෙන් සියයට 90 ක් මිල දී ගන්නා අතර, ඉරාන පාලනයේ පවත්නා හෝමූස් සමුද්‍ර සන්ධිය, කැස්පියන් මුහුද හා යුරෝපය, මැදපෙරදිග, රුසියාව හා ආසියාව සම්බන්ධ කරන භූ-මූලෝපායික ව වැදගත් ස්ථානයක පිහිටා තිබේ. ඒ අනුව, ඉරාන ආක්‍රමනය චීනයට එරෙහි යුද්ධයට සූදානම් වීමකි. එපමනක් නොව, සමස්ත මැද-පෙරදිග කලාපයේ තෙල් සහ වටිනා ඛනිජ සම්පත් කොල්ලකෑම එක්සත් ජනපදයේ ඉරාන ආක්‍රමනය පිටුපස පවතී.
දැනට බෝම්බ හෙලීම නතර වී පැවතියත් ඊශ්‍රායල් හමුදාපති පසුගිය ජූනි 3 වන දා ප්‍රකාශ කලේ “අපි ඉරාන මෙහෙයුමේ ප්‍රධාන අදියරක් අවසන් කලා. නමුත් ඉරානයට එරෙහි ප්‍රහාර අවසන් නැත” යනුවෙනි. ඒ අනුව, මෙම සටන් විරාමය ඉක්මනින් ම අවසන් විය හැක.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව ඉන්දියාවේ මෝදි තන්ත්‍රය සමග පසුගිය අප්‍රේල්වල අත්සන් කල යුද ගිවිසුම් ගැන ද ශිෂ්‍යයෝ අදහස් පල කලහ. “මේ ආන්ඩුවේ වෙනසක් නෑ. රනිල් වික්‍රමසිංහ කර ගෙන ගිය වැඩපිලිවෙලමයි ගෙන යන්නේ. එම ගිවිසුම්, චීනයට එරෙහි ඇමරිකාවේ යුද සැලසුම් වලට සම්බන්ධ බවට ඔබ කල පැහැදිලි කිරීම ඒ ගැන අලුත් විදියට හිතන්න මට පෙලඹීමක් ඇති කලා. ඔබේ වැඩපිලිවෙල අධ්‍යනය කරන්න මම කැමතියි. සමාජවාදය වෙනුවෙන් ඔබ ගෙන යන අරගලය මම අගය කරනවා. ඔන් ලයින් රැස්වීමට මම සහභාගී වෙනවා” යයි ඉන්දික කියා සිටියේ ය.
ශාස්ත්‍ර පීඨයේ තුන්වන වසර ශිෂ්‍යයෙකු වන පහන්, යුද්ධයේ මූලයන් සම්බන්ධව මෙසේ ප්‍රකාශ කලේ ය; “මම හිතන්නේ ඇමරිකාව සතු ආයුධ අලෙවි කර ගන්න යුද්ධ අවුලනවා කියලා. අවි ආයුධ නිෂ්පාදනය ඇමරිකාවේ ප්‍රධාන කර්මාන්තයක්”.
මෙවන් තර්ක, ඉහත පැහැදිලි කල යුද්ධයේ සැබෑ මූලයන් වසන්කොට, යුද්ධය නතර කිරීමේ සැබෑ සටනින්, එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනින් කම්කරු පංතිය සහ තරුනයන් ඉවතට හැරවීමට, ව්‍යාජ-වම්මුන්, ඊනියා ශාස්ත්‍රාලිකයන් සහ ධනපති මාධ්‍යයන් විසින් ගොතන ප්‍රලාපයන් බව උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ.
රැකියා විරහිත උපාධිධාරී තරුනයෙකු වන ලක්ෂාන් යුද්ධය සම්බන්ධ ව “ලංකාවේ විදේශ පිලිවෙත කුමක් විය යුතු ද ?” යනුවෙන් ප්‍රශ්න කලේ ය.
“ලංකාවේ විදේශ පිලිවෙත” යනුවෙන් අදහස් කෙරෙන්නේ ආන්ඩුවේ විදේශ පිලිවෙත බවත්, එය නිර්නය කෙරෙනුයේ ධනපති පංතියේ අවශ්‍යතාවන් මත බවත් පැහැදිලි කල උද්ඝෝෂකයෝ, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ විදේශ පිලිවෙත වී ඇත්තේ, චීනයට එරෙහි එක්සත් ජනපද මූලෝපායික වැඩකටයුතු සමග වඩ වඩාත් ඒකාග්‍ර වීම බව ඔහුට පෙන්වා දුන්හ.
කම්කරු පංතියට තමාගේම විදේශ පිලිවෙතක් ඇත. එය කම්කරු පංතික ජාත්‍යන්තරවාදය යි.
කෙසේ නමුත්, පෙරටුගාමි සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම පක්ෂ, කම්කරු පංතික ජාත්‍යන්තරවාදයෙන් කම්කරුවන් සහ තරුනයන් ඉවතට හරවනුවස්, ඊනියා “නොබැඳි” පිලිවෙත අනුගමනය කරන ලෙස ධනපති ආන්ඩුවට බල කරන උද්ඝෝෂනයක යෙදී සිටින අතර, එයට එක්වන ලෙස “මහජනතාවට” කැඳවුම් කරයි.
ධනේශ්වර අධිරාජ්‍යවාදී පද්ධතිය යුද්ධයක් කරා ධාවනය කරන පරස්පර විරෝධයන් ම සමාජ විප්ලවයට ද කොන්දේසි නිර්මානය කරන ආකාරය සසප/සසජාතශි සාමාජිකයෝ ඔහුට පෙන්වා දුන්නේ ය. යුද්ධයේ වෙඩි උන්ඩ බවට පත්වන්නේ සෑම රටක ම තරුන ජනයා ය. යුද්ධය සඳහා වියදම් උපයාගනු ලබන්නේ මහජන අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුලු සුභසාධන වියදම් බරපතල ලෙස කප්පාදු කිරීමෙනි. දැනටමත් පුපුරා ඇති යුද්ධ මගින් ඉන්ධන, පොහොර, ධාන්‍ය වැනි අත්‍යාවශ්‍ය භාන්ඩ ඇතුලු නිෂ්පාදන, සැපයුම් දාම අවහිරවීමේ ප්‍රතිවිපාකවලට මුහුන දෙන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය, දුගීන් හා තරුනයන් ය.
2022 ලංකාවේ මහජන නැගිටීම, කෝවිඩ්-19 වසංගතය හා යුක්‍රේන යුද්ධය මගින් ලංකාවේ අපනයන ආදායම් පහත වැටීම ඇතුලු ගෝලීය අර්බුදයක කොටසක් වූ අතර එවැනි බලගතු පන්ති සටන් දැන් ලෝකය පුරා ඇවිලී යමින් පවතී. පසුගිය සතියේ, සංක්‍රමනික මහජනයාට එරෙහි ව හමුදාව යෙදවීම ඇතුලු ට්‍රම්ප්ගේ ඒකාධිපති පියවරයන්ට එරෙහි ව මිලියන 15 ක් පමන ජනයා විරෝධතාවලට සහභාගි වූහ. වර්ධනය වන යුද්ධයට එරෙහි ව ඇමරිකාවේ, යුරෝපයේ හා මැදපෙරදිග කලාපයේත් එ වැනි ම විරෝධතා ඇවිල ගියේ ය.
හදිසි භාවයකින් මතු කෙරී ඇත්තේ, කම්කරු පන්තිය ඒ ඒ රටවල ජාතික ධනේෂ්වරට බැඳ තබන ව්‍යාජ-වාම පක්ෂවල හා වෘත්තීය සමිති නිලධරයේ ග්‍රහනයෙන් මිදී, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක වූ කම්කරු පංතියේ ස්වාධීන යුද-විරෝධී ව්‍යාපාරයක් ලෝක පරිමාන ව ගොඩනගමින්, යුද්ධයේ මූලය වන ලෝක ධනවාදය පෙරලා දැමීමේ සටන සූදානම් කිරීමයි.
සසප/සසජාතශි, එහි ලෝක පක්ෂය වන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය මුල් කර ගෙන වර්ධනය කරනු ලබන්නේ එම අරගලයයි.
මෙය වඩාත් පැහැදිලි කෙරෙන, ජූලි 06 දා රැස්වීමට සහභාගිවන ලෙස සියලු කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
ජූලි 06 දා සවස 7.00 ට පැවැත්වෙන සූම් රැස්වීමට මෙතැනින් ලියා පදිංචි වන්න.