[මෙය Sri Lankan government fails to condemn US strikes on Iran යන මැයෙන් 2025 ජූනි 25දා පල කෙරුනු ලිපියේ පරිවර්තනය යි.]
ඉරාන න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන තුනකට එල්ල වූ දැවැන්ත, අප්‍රකෝපිත එක්සත් ජනපද ගුවන් ප්‍රහාරවලට පසු දින, එනම් ජූනි 23දා, ශ්‍රී ලංකා ආන්ඩුව, මැද පෙරදිග “තත්වය සමනය කරන” ලෙස ඉල්ලා බයාදු හා දියාරු ප්‍රකාශයක් නිකුත් කලේය. සමස්ත මැද පෙරදිග කලාපය ම ගිල ගැනීමට සහ මුලුමහත් ලෝකයම ගිනි තැබීමට තර්ජනය කරන, ඉරානයට එරෙහි ආක්‍රමනශීලී යුද්ධයට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සෘජු මැදිහත්වීම ගැන, එයට කීමට කිසිවක් තිබුනේ නැත.
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කල, කෙටි වාක්‍ය තුනකින් යුත් ප්‍රකාශය, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ගැන සඳහන් කිරීමෙන් පවා වැලකී සිටීමේ අරමුනින් වචන යොදා ඇත්තේ ප්‍රවේශමිනි; ඉරානයට එරෙහි ඔවුන්ගේ නීති විරෝධී සහ අප්‍රකෝපිත යුද්ධය පිලිබඳව යන්තම් හෝ විවේචනයක් එහි නොතිබීම ගැන කියනුම කවරේ ද. “මැද පෙරදිග කලාපයේ වත්මන් තත්වය පිලිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සලට පත් ව සිටින” බව ප්‍රකාශ කරන අතර ම, එය, “තත්වය සමනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි සියලු පාර්ශවන්ගෙන් තරයේ ඉල්ලා සිටින්නෙමු” යැයි කියා සිටී; එසේම, මැද පෙරදිග සාමය සහ ස්ථාවරත්වය ස්ථාපිත කිරීම සඳහා නැවත සංවාදයට පැමින, නොපසුබට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නවල නිරත වන ලෙස “අදාල සියලු පාර්ශවයන්ගෙන්” ඉල්ලා සිටී.
පාලක ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, ඉරානයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නග්න ආක්‍රමනය හෙලා දැකීම කෙසේ වෙතත්, විවේචනයක් පවා නොකිරීම, එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් යුතු මෙම සාපරාධී යුද්ධයට නීත්‍යානුකූලභාවයක් ලබා දීමකි.
ජවිපෙ මෙම ප්‍රතිචාරය, ඊශ්‍රායලය, ඉරානයේ මිලිටරි, න්‍යෂ්ටික සහ ආර්ථික යටිතල පහසුකම් ඉලක්ක කරමින් ද ඉහල මට්ටමමේ ඉරාන නිලධාරීන් ඝාතනය කරමින් ද ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කල අවස්ථාවේ, එය දැක්වූ ප්‍රතිචාරය ම අඛන්ඩ ව ඉදිරියට ගෙන යාමකි. ජූනි 13දා නිකුත් කරන ලද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයකින් ඉල්ලා සිටියේ, ඊශ්‍රායලය සහ ඉරානය යන දෙරට ම සංයමයෙන් සහ සංවාදයෙන් යුතුව, තත්වය සමනය කරගන්නා ලෙසයි. මෙම ඉල්ලීමේ දී, එය, ආක්‍රමනිකයන් වන ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලයත්, එවායින් ආරක්ෂා වීමට උත්සාහ කරන ඉරානයත් එක ම මට්ටමක පිහිටුවයි.
ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය පිලිබඳ ව ශ්‍රී ලංකාව තුල ඕනෑ ම විවාදයක් මර්දනය කිරීමට ජවිපෙ/ජාජබ උත්සාහ කරමින් සිටී. පසුගිය සතියේ පාර්ලිමේන්තුව තුල මෙම ගැටලුව පිලිබඳ කවරාකාර හෝ සාකච්ඡාවක් වැලැක්වීමේ එල්ලයෙන් යුතු ව උපාමාරු මාලාවක් ක්‍රියාවට දැමුනි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්, ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධය පිලිබඳ ව ප්‍රශ්න මතු කිරීමටත්, විවාද කිරීමටත් පාර්ලිමේන්තුවේ කාලය ලබා දෙන ලෙස ඉල්ලීමක් කලෝ ය. ඇමරිකානු අධිරාජ්‍යවාදයට උග්‍ර පක්ෂපාතී ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය (සජබ) සහ එහි පාර්ලිමේන්තු සහචරයින් තුල ඇමරිකානු සහ ඊශ්‍රායල ආක්‍රමනයට සැබෑ විරුද්ධත්වයක් ඇත්තේ නැත.
ජූනි 17දා ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කිරීමට උත්සාහ කලේය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ඔහුට බාධාකරමින් ප්‍රකාශ කලේ, ප්‍රේමදාසට පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටිවලට අනුකූල නොවී සහ පූර්ව දැනුම්දීමකින් තොරව ප්‍රශ්න මතු කල නොහැකි බවයි. “ඊශ්‍රායල්-ඉරාන ගැටුමේ” ප්‍රතිවිපාක පිලිබඳ පාර්ලිමේන්තු සාකච්ඡාවක් අනවශ්‍ය බව ඔහු පැවසීය; මන්ද, එම ප්‍රශ්නය එදින ම සවස සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බැවිනි. ප්‍රේමදාසගේ නායකත්වය යටතේ සිටින විපක්ෂ මන්ත්‍රීවරු විරෝධය පල කරමින් පාර්ලිමේන්තුවෙන් පිටව ගියෝ ය.
එදින සවස් වරුවේ, ආන්ඩුවේ මන්ත්‍රීනී ගීතා හේරත්, කලින් පිලියෙල කරගත් ප්‍රශ්න හතරක් ආන්ඩුවට ඉදිරිපත් කලා ය: ඒ, ඊශ්‍රායලයේ සහ ඉරානයේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමනික සේවකයින්ගේ ආරක්ෂාව, ඇතිවිය හැකි තෙල් හිඟය සහ රටේ විදේශ සංචිත කෙරෙහි එහි බලපෑම පිලිබඳව යි. යුද්ධය සම්බන්ධයෙන් ආන්ඩුවේ ස්ථාවරය ගැන, විදේශ අමාත්‍ය විජිත හේරත්ගේ කෙටි පිලිතුරුවල කිසිදු සඳහනක් නොවීය.
ජූනි 18දා, ඉරානයට එල්ල වූ ප්‍රහාර සාකච්ඡා කිරීම සඳහා, සජබ මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් ඉදිරිපත් කරන ලද කල් තැබීමේ යෝජනාවක් පිලිබඳ විවාදයක් පැවැත්වීමට නියමිතව තිබුනි. සුලු අනතුරකට මුහුනදී ඇති බව පවසමින් පෙරේරා අදාල වේලාවේදී පාර්ලිමේන්තුවට පැමින සිටියේ නැත; නමුත් ගැටුම “ජාතික වැදගත්කමක් ඇති” කාරනයක් බව පවසමින් විපක්ෂය යෝජනාව ඉදිරිපත් කිරීමට උත්සාහ කලේ ය. විපක්ෂ මන්ත්‍රීවරුන් විසි දෙනෙකු යෝජනාව අනුමත කලහ.
කෙසේ වෙතත්, ආන්ඩුවට මෙන්ම විපක්ෂයටද වුවමනාවූයේ, ඉරානයට එරෙහි යුද්ධයේ සාපරාධී ස්වභාවය ගැන නොව, ගැටුම ශ්‍රී ලංකාවට ඇති කරන බලපෑම පිලිබඳව විවාද කිරීමට ය. එය, ශ්‍රී ලාංකිකයින් 15,000 ත් 20,000 ත් අතර සංඛ්‍යාවක් ඊශ්‍රායලයේ සේවය කරන බව පෙන්වා දුන් අතර, ඉරානයට තේ අපනයනයේ වැදගත්කම ඉස්මතු කලේ ය. ගැටුම, තෙල් මිලේ හදිසි උච්චාවචනයන්ට තුඩු දිය හැකි බවත්, එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපාන බවත් ප්‍රේමදාස අනතුරු ඇඟවීය.
විජිත හේරත් සහ සභානායක බිමල් රත්නායක යන දෙදෙනා ම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කලේ, “මන්ත්‍රීවරයෙකුට තවත් අයෙකු වෙනුවෙන් (යෝජනාවක්) ඉදිරිපත් නොහැකි” බවයි. සාකච්ඡාවක් පැවැත්වීමට ආන්ඩුව “විවෘත” මුත්, ස්ථාවර නියෝග අනුව කටයුතු කල බවත් ඔවුහු පැවසූහ. පසුදා යෝජනාව ඉදිරිපත් කිරීමට ගත් උත්සාහය ද නොසලකා හරින ලදි.
ජනාධිපති දිසානායක සහ ඔහුගේ ආන්ඩුව මෙම කාරනය සම්බන්ධයෙන් මොනම හෝ පාර්ලිමේන්තු විවාදයක් වැලැක්වීමට අධිෂ්ඨාන කරගෙන සිටී. කෙතරම් උපද්‍රව රහිත එකක් වුවත්, එයට අවශ්‍ය වන්නේ, යුද්ධය පිලිබඳව ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කිරීමට බලකෙරනු ඇති පාර්ලිමේන්තු විවාදයක් කෙසේ හෝ නවත්වා ගැනීම යි.
ලොව පුරා ආන්ඩු මෙන්ම දිසානායක ද, එක්සත් ජනපදය විසින් මැද පෙරදිග කලාපය තුල මෙහෙයවන ගැටුම සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව පමනක් නොව, එක්සත් ජනපදය චීනය සමඟ ද යුද්ධයක් කරා වන ධාවනය වේගවත් කිරීමේ දී, කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ යුද විරෝධී ව්‍යාපාරයක් මතු වීමේ විභවය ගැන දැඩි ලෙස කනස්සල්ලට පත් ව සිටී. ඒ සමඟම, මැද පෙරදිග යුද්ධයෙන් ඇතිවිය හැකි ආර්ථික බලපෑම, ශ්‍රී ලංකාව මත නැවත වරක් ගැඹුරු අර්බුදයක්, දැඩි සමාජ ආතතීන් සහ පුලුල් විරෝධතා අවුලුවාලීමට තර්ජනය කරයි.
2022 දී විදේශ නය ගෙවීම පැහැර හැරීමෙන් ඉක්බිති ආන්ඩුව දැනටමත් අයිඑම්එෆ් ඇන වූ දරුනු කප්පාදු නියෝග දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටින අතර, ඇමරිකා එක්සත් ජනපදයට සිදුකරන අපනයන සම්බන්ධයෙන් ලබන මාසයේ සිට බලාත්මක කිරීමට නියමිත දැවැන්ත තීරුබදු පැනවීම්වලට මුහුන දී සිටී. ජනාධිපතිවරයාට රට හැර යාමට සහ ඉල්ලා අස්වීමට බල කල, 2022 දී සිදු වූ ආකාරයේ මහජන ව්‍යාපාරයක් පුපුරා යාම ගැන සමස්ත කොලඹ දේශපාලන සංස්ථාපිතය ම තැති ගැන්වී සිටී.
එක්සත් ජනපද-ඊශ්‍රායල් මිලිටරි ප්‍රහාරයට ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රතිචාරය, ඉන්දියාවේ ස්ථාවරයේ සමීප පිලිබිඹුවකි; එය, නවදිල්ලිය සමඟ ආන්ඩුවේ ගැඹුරු වන සන්ධානය අවධාරනය කරයි. ඊශ්‍රායලය, ඉරානයට එල්ල කල ප්‍රහාර සහ එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කල මිසයිල ප්‍රහාර හෙලා දැකීම, ඉන්දියාවේ අන්ත-දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කෙරුනි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්, ඊශ්‍රායලය හෙලා දකින සහ එක්සත් ජනපදයේ සහයෝගය විවේචනය කරන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (එස්සීඕ) මෑත කාලීන යෝජනාවෙන් ඉන්දියාව ඉවත් කරගත්තේ ය. පසු ව, යෝජනාව සම්බන්ධයෙන් තමන්ගෙන් නිසි ලෙස උපදෙස් ලබා නොගත් බව පවසමින් ද ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ ප්‍රහාරය විවේචනය කරන කිසිදු භාෂාවක් අඩංගු නොවන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයක් හුවා දක්වමින් ද ඉන්දියාව තම ක්‍රියාවට හේතුපාඨ කීවේ ය.
ධනපති පන්තියේ සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කොටස්වල සහාය ඇති ව පසුගිය වසරේ බලයට පත්වීමෙන් පසු, දිසානායක ආන්ඩුව වඩ වඩාත් එක්සත් ජනපදය හා ඉන්දියාව සමඟ පෙල ගැසී ඇත. ආන්ඩුව දිනා ගැනීමට පෙර, ජවිපෙ ගාසා ජන සංහාරය හෙලා දැක තිබුනේ මුස්ලිම් ඡන්ද ගරාගැනීමේ අරමුනිනි. දැන් එය ඊශ්‍රායලයේ මිනීමරු මෙහෙයුම් පිලිබඳව වඳ ප්‍රකාශ නිකුත් කරන අතරම, එක්සත් ජනපද මැදිහත්වීම වසන් කරයි.
ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූයේ, 1980 ගනන්වල මුල් භාගයේදී ය. ඒ, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි කුරිරු වාර්ගික යුද්ධයේදී ඊශ්‍රායල සහාය පැතූ අවස්ථාවේ දී ය. විශේෂයෙන් ගැටුමේ අවසාන අදියරේ දී, ඊශ්‍රායලය, (ලංකාවේ මිලිටරියට) කෆීර් ප්‍රහාරක ජෙට් යානා, මුර සංචාර යාත්‍රා, ඩ්‍රෝන යානා සහ මිසයිල ඇතුලු දියුනු මිලිටරි පද්ධති සැපයූ අතර විශේෂිත පුහුනු වැඩසටහන් ද ලබා දුන්නේය.
සමාජවාදී සමානතා පක්ෂය, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියෙන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ, දිසානායක ආන්ඩුවේ ඇමරිකානු ගැති ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරන ලෙසත්, ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධයට විරුද්ධ වන ලෙසත් ය. ජූනි 21දා ලෝසවෙඅ කර්තෘ මන්ඩලය පැහැදිලි කල පරිදි:
“ඉරානයේ මෙන්ම ගෝලීය වශයෙන් කම්කරු පන්තිය, ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයට විරුද්ධ විය යුතු නමුත් ඔවුන් එසේ කල යුත්තේ, තමන්ගේ ම පන්ති අරගල විධික්‍රම හරහා ය. මෙහි තේරුම, අධිරාජ්‍යවාදී යුද්ධයට සහ කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ව නිරන්තරව පුලුල්වන ප්‍රහාරයට එරෙහි සටන, ධනවාදයට එරෙහි සටන සමග සම්බන්ධ කරන ගෝලීය කම්කරු පන්ති ප්‍රතිප්‍රහාරයක් වර්ධනය කිරීමයි. මෙය, ඉරානයේ, මැද පෙරදිග සහ ජාත්‍යන්තරව හජාජාක ශාඛා ගොඩනැගීම සඳහා අරගලය ආවශ්‍ය කරයි..'
*****
ශ්‍රී ලංකාවේ සසප සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), “ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයට විරුද්ධ වනු” මැයෙන් ප්‍රසිද්ධ රැස්වීම් දෙකක් පවත්වනු ඇත.
1.පලමුවැන්න, ජූලි 6 ඉරිදා සවස 7 ට සූම් හරහා මාර්ගගත ප්‍රසිද්ධ රැස්වීමකි. ( මෙම රැස්වීමට මෙතැනින් ලියාපදිංචි වන්න)
2.දෙවැන්න, ජූලි 8දා සවස 3 ට යාපනයේ වීරසිංහම් ශාලාවේදී පැවැත්වෙන ප්‍රසිද්ධ මහජන රැස්වීමකි.
මෙම, රැස්වීම්වලට සහභාගී වී, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලයට එක්වන ලෙස, සියලු ම කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන්, සිසුන්ගෙන් සහ මේ සම්බන්ධයෙන් උද්‍යෝගිමත් සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු.