[මෙම ලිපිය ජූනි 25දා Showing its true colours, India’s Modi government tacitly backs the US-Israeli war on Iran මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනයයි.]
ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල අධිරාජ්‍යවාදී ආක්‍රමනික යුද්ධයට පහත සඳහන් ඒවාද ඇතුලු බහුවිධ ආකාරවලින් සහාය දක්වා ඇත:
- ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයට නමින් හැර අන් සියලු ආකාරයෙන්ම අනුමැතිය දීම, එහි සාපරාධී ස්වභාවය හෝ එක්සත් ජනපදය සහ එහි ඊශ්‍රායල නියෝජිතයා එය සිදු කිරීමේදී සිදු කර ඇති බොහෝ යුද අපරාධ පිලිබඳව බයාදු ලෙස හෝ සුමට ලෙස හෝ කිසිදු විවේචනයක් කිරීම ප්‍රතික්ෂේප කිරීම;
- “තත්වය උත්සන්න නොකිරීමේ” නාමයෙන් ඉරානයට ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය අත්හැරීමට බලපෑම් කිරීම;
- නව එක්සත් ජනපද-ඊශ්‍රායල මැදපෙරදිග යුද්ධය මධ්‍යයේ, ඉන්දු-ඇමරිකානු සබඳතා සහ එක්සත් ජනපද නායකත්වයෙන් යුත් ඉන්දු-පැසිෆික් බලවතුන්ගේ චීන විරෝධී සන්ධානය වන ක්වොඩ් හෙවත් චතුර්පාර්ශවික සන්ධානය ශක්තිමත් කිරීමට වෑයම් කිරීම.
කෙසේ වෙතත්, භූ දේශපාලනික සහ දේශීය හේතූන් මත මෝදි ආන්ඩුව, ඉරානයට එරෙහි අධිරාජ්‍යවාදී ප්‍රහාරයට, තම සාපරාධී හවුල්කාරිත්වය වසන් කිරීමට උත්සාහ දරමින් සිටී.
නව දිල්ලිය, තමන් ඉරානයේ මිත්‍රයෙකු බව ප්‍රකාශ කරන අතර, ඇෆ්ගනිස්ථානය සහ මධ්‍යම ආසියාව සමඟ ඉන්දියාවේ බලපෑම සහ වෙලඳ සබඳතා පුලුල් කිරීමේ අරමුනින් ඉරානයේ ගිනිකොනදිග වෙරල තීරයේ චාබහාර්හි වරාය පහසුකම් සංවර්ධනය කිරීමට උත්සාහ කරමින් සිටී. ඊටත් වඩා වැදගත් දෙය නම්, ඉන්දියාවට තම තෙල්වලින් වැඩි ප්‍රමානයක් සපයන සහ විදේශගත ඉන්දියානු කම්කරුවන් මිලියන 10 කට රැකියා සපයන ගල්ෆ් රාජ්‍යයන් සමඟ සබඳතා කිසිදු ආකාරයකින් පලුදු වනවා දැකීමට අවශ්‍ය නොවීම යි.
මෝදිගේ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී), සියොන්වාදී අන්ත දක්ෂිනාංශය සමඟ එහි දේශපාලන-දෘෂ්ටිවාදාත්මක සම්බන්ධතාවය පිලිගන්නා අතර, එක්තරා දුරකට එම දෘෂ්ටිවාදයේ ආරක්ෂකයන් ද වේ. නමුත් ඉන්දියාවේ කම්කරුවන් සහ වැඩ කරන ජනතාව පලස්තීන ජනතාවට අනුකම්පා කරන බවත්, අධිරාජ්‍යවාදයට සහ වොෂින්ටනයේ ගෝලීය හිරිහැර කිරීම් සහ ආක්‍රමනශීලීත්වයට සතුරු බවත් බීජේපී ආන්ඩුව දනී.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කර ඇති පරිදි, ලෝකයේ වැදගත්ම තෙල් අපනයන කලාපය මත, අසීමිත එක්සත් ජනපද අධිරාජ්‍යවාදී ආධිපත්‍යය පැටවීමට වොෂින්ටනය විසින් දශක ගනනාවක් තිස්සේ ගෙන යන ධාවනයෙන් මෙන්ම එහි කොටසක් ලෙස ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය පැන නගියි.
2023 ඔක්තෝබර් මාසයේ සිට මෙම ධාවනය නාටකාකාර ලෙස උත්සන්න විය. කලාපයේ එක්සත් ජනපද-ඊශ්‍රායල ආධිපත්‍යයට විරුද්ධ රාජ්‍යයන් සහ සටන්කාමී කන්ඩායම්වලට පහර දෙමින්, ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරක ප්‍රහාරයක් දියත් කරමින් ද මැද පෙරදිග පුරා ප්‍රචන්ඩ ලෙස ක්‍රියා කිරීම ද නිසා, එක්සත් ජනපදය, පසුගිය මාස 20 පුරාවට එහි ඊශ්‍රායල ප්‍රාදේශීය පාලකයාට අබාධිත දේශපාලන හා මිලිටරි සහයෝගය ලබා දුන්නේ ය.
ජූනි 12දා රාත්‍රියේ- - ට්‍රම්ප් පුරසාරම් දොඩන පරිදි - ධවල මන්දිරය සහ පෙන්ටගනය සමඟ සමීප සම්බන්ධීකරනයෙන් ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව අප්‍රකෝපිත ප්‍රහාරයක් ආරම්භ කිරීම සහ, පසුව ඉරානයේ සිවිල් න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට වොෂින්ටනය නීති විරෝධී ලෙස අදිසි ආකාරයෙන් පහර දීමත් සමඟ, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමස්ත කලාපය සහ ලෝකයම ව්‍යසනයක් අද්දරට ගෙනැවිත් තිබේ.
ට්‍රම්ප්ගේ සඳුදා රාත්‍රී සටන් විරාම නිවේදනය, එදිරිවාදීකම්වල දිගු කාලීන ව තබා, සැබෑ අවසානයක් සහතික කිරීමට කිසිදු සහතිකයක් ලබා දෙන්නේ නැත. වොෂින්ටනය සහ ටෙල් අවිව්, ටෙහෙරානය සමඟ සාකච්ඡා සඳහා ධවල මන්දිරයේ පොරොන්දු නැවත නැවතත් භාවිතා කර ඇත්තේ ආක්‍රමනශීලීත්වය උත්සන්න කිරීම සඳහා වහන්තරාවක් ලෙස ය. කෙසේ වෙතත්, ඔවුන්, එලැඹෙන මොනයම් ම හෝ සාකච්ඡාවන්හි දී, ට්‍රම්ප්ගේ වචනවලින් කිවහොත්, “කොන්දේසි විරහිත යටත් වීම” යන ඉල්ලීම ඉදිරිපත් කිරීමට, ඉරානයේ දුර්වල කරනු ලැබූ මිලිටරි තත්ත්වය සහ ටෙහෙරානයට සහාය දැක්වීමේ දී කිසිදු අර්ථවත් ක්‍රියාමාර්ගයක් ගැනීමට එහි චීන සහ රුසියානු සහචරයින් අසමත් වීම යන කාරනාවල් යොදා ගනු ඇත .
වඩාත් මූලික වශයෙන්, ට්‍රම්ප් ඉරානයට සෘජු ප්‍රහාරයක් එල්ල කිරීම සහ ටෙහෙරානයේ පාලන තන්ත්‍ර වෙනසක් සඳහා වන අනවරත තල්ලුව බැඳී ඇත්තේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ලෝක තත්ත්වය සීග්‍රයෙන් පරිහානියට පත්වීම සමඟ ය. ෂා රේසා පහ්ලවිගේ (1979 ඉරාන විප්ලවයේදී පලවා හරින ලද ඇමෙරිකන් ගැති පාලකයා-පරිවර්තක) කාලයේ එය ක්‍රියාත්මක කල ආකාරයේ නව යටත් විජිත වහල්භාවය ඉරානය මත නැවත පැටවීමටත්, එමඟින් මැදපෙරදිග පුරා අනභියෝගී අධිරාජ්‍යවාදී ආධිපත්‍යයක් ස්ථාපිත කිරීමටත් වොෂින්ටනය අධිෂ්ඨාන කරගෙන සිටී. එමඟින් තම වැදගත්ම උපායමාර්ගික විරුද්ධවාදීන් වන චීනය සහ රුසියාවට මුහුන දීමට සහ අවශ්‍ය නම්, ඔවුන්ට එරෙහිව සම්පූර්න යුද්ධයක් කිරීමට වඩා හොඳින් ස්ථානගත වීමට එක්සත් ජනපදයට හැකියාව ලැබේ.
මේ සියල්ල හමුවේ, මෝදි ආන්ඩුවේ ප්‍රධාන උත්සුකය වන්නේ ඉන්දු-ඇමරිකානු “ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය” තවදුරටත් පුලුල් කරගැනීම යි. මහා බලවතෙකු වීමේ ඉන්දියානු ධනේශ්වරයේ අභිලාෂ සාක්ෂාත් කර ගැනීම සඳහා වොෂින්ටනයෙන් ලැබෙන සහයෝගයට හිලව් වශයෙන්, නව දිල්ලිය, මෙම ක්‍රියාමාර්ගය යටතේ, චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට වඩ වඩාත් පූර්න ලෙස ඒකාග්‍ර වී ඇත.
මෙම වැඩපිලිවෙල තුල, අනාගත හින්දු බලවතෙකු වීමේ අභිලාෂයෙන් පෙලෙන මෝදි යටතේ ඉන්දියාව, ඊශ්‍රායලය සහ එහි අන්ත දක්ෂිනාංශික ආන්ඩුව සමඟ වඩ වඩාත් වැදගත් මිලිටරි-මූලෝපායික සබඳතා වර්ධනය කර ගෙන ඇත.
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කරන ලද එක්සත් ජනපද ප්‍රහාරයට ඉන්දියාවේ ප්‍රතිචාරය වන්නේ ගොලුවත රැකීම යි. එය පැහැදිලි ව ම නීති විරෝධී, අතිශයින් ම ප්‍රකෝපකාරී වූයේ වුව ද මෙතෙක් යොදාගත් බලවත් ම න්‍යෂ්ටික-නොවන බෝම්බ භාවිතා කල ද නවදිල්ලිය, ප්‍රහාරය විවේචනය කිරීම හෝ හෙලා දැකීම ප්‍රතික්ෂේප කලේ ය.
අගමැති මෝදි කලේ, ඉරිදා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්ට ව්‍යාජ කනස්සල්ල සහ අනුකම්පාව ප්‍රකාශ කරමින් ටෙහෙරානයට කිසිවක් නොකරන ලෙස බලකෙරෙන දුරකථන ඇමතුමක් ලබාදීම යි.
X (කලින් ට්විටර්) හි පල කරන ලද ප්‍රකාශයක, මෝදි ඇමරිකානු ආක්‍රමනය පිලිබඳ කිසිදු සඳහනක් කිරීම ඉතා සූක්ෂම ලෙස මග හැරිය අතර, ඉරාන ආන්ඩුවේ ප්‍රධානියා සමඟ කල සංවාදයේ දී ඔහු “කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි මාර්ගය ලෙස, එදිරිවාදීකම් උත්සන්න කිරීම කඩිනමින් නැවත්වීම, සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සඳහා අපගේ ඉල්ලීම නැවත අවධාරනය කල” බව සඳහන් කලේ ය. වෙනත් වචන වලින් කිව හොත්, එක්සත් ජනපද-ඊශ්‍රායල් ආක්‍රමනය හමුවේ ටෙහෙරානය යටත් විය යුතු යැයි ඉල්ලා සිටිමින්, ඉරාන ස්වයං ආරක්ෂාවේ ඕනෑ ම ක්‍රියාවක් තත්වය “උත්සන්න කිරීමක්” ලෙස හංවඩු ගසමින් ප්‍රකාශ නිකුත් කරමින් සිටි අධිරාජ්‍යවාදයේ නායකයින් සමග මෝදි අත්වැල් බැඳගත්තේ ය.
මීට පෙර, ජූනි 13දා, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (එස්සීඕ) අනෙකුත් සියලු ම සාමාජික රාජ්‍යයන් නවය විසින් සහාය දක්වන ලද යෝජනාවකට ඉන්දියාව කුමන්ත්‍රනකාරී ලෙස විරුද්ධ විය. ඊශ්‍රායලය ඉරානයට එල්ල කල මිලිටරි ප්‍රහාර දැඩි ලෙස හෙලා දුටු එම යෝජනාව, ප්‍රහාර ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස හෙලා දුටුවේය. 2001 දී චීනයේ සහ රුසියාවේ මූලිකත්වයෙන් පිහිටුවන ලද එස්සීඕ, පකිස්ථානය, ඉන්දියාව, මධ්‍යම ආසියානු රාජ්‍ය කිහිපයක්, බෙලරුස් සහ 2023 සිට ඉරානය ඇතුලත් කලාපීය දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක සන්ධානයකි.
පසු ව, යෝජනාව සම්බන්ධයෙන් තමන්ගෙන් නිසි ලෙස උපදෙස් ලබා නොගත් බව පවසමින් ද ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ ප්‍රහාරය විවේචනය කරන කිසිදු භාෂාවක් අඩංගු නොවන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයක් හුවා දක්වමින් ද ඉන්දියාව තම විරෝධයට හේතුපාඨ කීවේ ය.
ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධයට ඉන්දීය රජය ලබා දුන් වඩාත්ම ප්‍රමුඛතම සහ සැලකිය යුතු සහයෝගය, ඉරානයට එරෙහිව යුද්ධයක් සැලසුම් කරමින් සිටියදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජූනි 17දා මෝදි ලබාදුන් දුරකථන ඇමතුම විය හැකිය. ඊට පෙර දින සවස, ට්‍රම්ප්, ඔහුට වොෂින්ටනයට ආපසු ගොස් ඉරානයට ප්‍රහාරයක් සඳහා සැලසුම් සම්පූර්න කර ගැනීමට ඔහුගේ ආරක්ෂක කන්ඩායම සහ පෙන්ටගනයේ ඉහල නිලධාරීන් හමුවිය හැකිවන පරිදි, කැනඩාවේ පැවති G-7 සමුලුවට සහභාගී වීම කෙටියෙන් අවසන් කලේ ය. අන්සියල්ලන්ට ම වඩා, මෙය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ ට්‍රම්ප් විසින් ම ය.
මෝදිගේ ඇමතුම ලබා ගැනීමට පැය කිහිපයකට පෙර, ට්‍රම්ප් ඉරානයට එරෙහි ව තර්ජනාත්මක එක්ස්/ට්විටර් පනිවිඩ මාලාවක් නිකුත් කල අතර, දිනය අවසානයේ ඒවා අවසන් වූයේ, ඉරානයට “කොන්දේසි විරහිතව යටත් වීම” සඳහා කෙරෙන නියෝගයකිනි.
ක්වොඩ්-වොෂින්ටනය විසින් මෙහෙයවනු ලබන සහ ඉන්දියාව සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රධාන ආසියානු-පැසිෆික් සහචරයින් වන ජපානය සහ ඕස්ට්‍රේලියා ඇතුලු- චතුර්පාර්ශවික සන්ධානයේ රාජ්‍ය නායකයින්ගේ සමුලුවකට සහභාගී වීම සඳහා මෙම වසර අග දී ඉන්දියාවට පැමිනෙන ලෙස ට්‍රම්ප්ට ආරාධනාවක් නිකුත් කිරීමෙන්, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ ඉන්දියාවේ කොල්ලකාරී හවුල්කාරිත්වයේ ශක්තිය අවධාරනය කලේ මෙම තත්වයන් යටතේ ය.
රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධයට සහාය දීමට මෝදි ආන්ඩුව අසමත් වීම සහ සීතල යුද්ධය දක්වා දිවෙන, මොස්කව් සමඟ ඉන්දියාවේ දිගුකාලීන සමීප මිලිටරි-මූලෝපායික සබඳතා ආරක්ෂා කර ගැනීම සඳහා එහි අවධාරනය මෙන්ම, රුසියානු තෙල් විශාල ප්‍රමානයක් වට්ටම් සහිතව ලබා ගැනීමේ හැකියාව පිලිබඳව බොහෝ කාරනා ප්‍රකාශයට පත්ව තිබේ.
නිසැකවම, මෙය වොෂින්ටනය සහ අනෙකුත් නේටෝ බලවතුන් කෝපයට පත් කර ඇත, නමුත් චීනය සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දක්වා ඇත්තේ, එක්සත් ජනපදය සමඟ මුලුමනින්ම පෙල ගැසීමෙනි. එපමනක් නොව, ඊශ්‍රායලයේ ගාසා තීරය සහ පුලුල් මැදපෙරදිග යුද්ධය අතරතුර, මෝදි ආන්ඩුව, නෙතන්යාහු තන්ත්‍රය සමඟ ඇති සබඳතා පුලුල් කරගෙන තිබෙන අතර, එමඟින් ඉන්දියාව සහ ඊශ්‍රායලය අපරාධවල හවුල්කරුවන් ලෙස වඩ වඩාත් වේගයෙන් ක්‍රියාත්මක වෙයි.
මෙම සන්දර්භය තුල, ඊශ්‍රායල හයිෆා වරාය හරහා ගමන් කරන ඉන්දියානු-මැදපෙරදිග-යුරෝපීය ආර්ථික කොරිඩෝව, බයිඩන් පරිපාලනය විසින් ප්‍රවර්ධනය කරන ලද සහ නෙතන්යාහුගේ සහාය ඇතිව 'නව මැදපෙරදිග' සඳහා වූ එක්සත් ජනපද සැලැස්මේ අනිවාර්ය අංගයක් වූයේය යන කාරනය සිහිපත් කිරීම වටී.
මාස 20ක් පැරනි යුද්ධය අතරතුර, නවදිල්ලිය, ගාසා තීරයේ ඊශ්‍රායලයේ සමූහ ඝාතන සහ වාර්ගික පවිත්‍ර කිරීමේ ව්‍යාපාරය, සැලකිය යුතු ආකාරයෙන් හෙලා දැකීමෙන් නිරන්තරයෙන්ම වැලකී සිටියේය. ඊශ්‍රායලය ඉරානයට පහර දීමට පැය කිහිපයකට පෙර, ජූනි 12දා පැවති එක්සත් ජාතීන්ගේ මහා මන්ඩල සැසිවාරයේ ඉහල පෙලේ ඡන්ද විමසීමකදී, රටවල් 149 ක් - ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාරයට ඔවුන්ගේ සාපරාධී හවුල්කාරිත්වය වසන් කිරීමට උත්සාහ කල කැනඩාව සහ ප්‍රංශය වැනි අධිරාජ්‍යවාදී බලවතුන් කිහිප දෙනෙකු ද ඇතුලුව - වටලනු ලැබූ ප්‍රදේශය සඳහා “ක්ෂනික, කොන්දේසි විරහිත සහ ස්ථිර සටන් විරාමයක්” සහ තහංචි පැනවීමකින් තොරව මානුෂීය ආධාර ගලායාම සඳහා පක්ෂ ව ඡන්දය ප්‍රකාශ කලහ. ඉන්දියාව ඔවුන් අතර සිටියේ නැත. 2023 දෙසැම්බර් සහ 2024 දෙසැම්බර් මාසවල මෙයට සමාන යෝජනා සම්බන්ධයෙන් ගත් ස්ථාවරය ආපසු හරවමින්, එය ඡන්දය දීමෙන් වැලකී සිටියේ ය.
ඊශ්‍රායලය ඉන්දියාවට ප්‍රධාන ආයුධ සැපයුම්කරුවෙකු බවට පත් ව ඇති අතර, මෑතකදී අල් ජසීරා වාර්තාවක් හෙලිදරව් කල පරිදි, ඉන්දියාව ගාසා යුද්ධය අතරතුර ඊශ්‍රායලයට චෙන්නායි සිට නැව්ගත කල රොකට් එන්ජින් සහ පුපුරන ද්‍රව්‍ය ඇතුලු ආයුධ අපනයනය කර ඇති අතර, “ඉන්දියාවේ නිපදවන ලදි” ලෙස සලකුනු කල මිසයිල සුන්බුන් ගාසා තීරයෙන් සොයාගෙන තිබේ.
මේ සියල්ල වැදගත් වුවත්, එක්සත් ජාතීන්ගේ යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ඡන්දයේ තීරනාත්මක සාධකයක් වූයේ, මැයි 7දා දින හතරක සටන් අවුලුවාලමින් නීති විරෝධී ලෙස පකිස්ථානයට පහර දුන් අවස්ථාවේ, ඊශ්‍රායලය නවදිල්ලියට දුන් නිසැක සහයෝගය විය හැක. මෙම ප්‍රහාරය, දකුනු ආසියාවේ න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් අතර සම්පූර්න යුද්ධයක් ඇවිලීමේ ආසන්නයට ඇදගෙන ගියේය. ඉන්දීය ප්‍රහාරවලින් පැය කීපයකට පසු, ලෝක නායකයින් අතරින් එම ප්‍රකෝප ක්‍රියාව අනුමත කිරීමට ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු තනි ව ම ඉදිරිපත් විය.
ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයට ඉන්දියාවේ හවුල්කාරිත්වය අවධාරනය කරන්නේ, ඉන්දු-ඇමරිකානු සන්ධානයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ හදිසි අවශ්‍යතාව යි. එය, දැනටමත් චීනයට එරෙහි වොෂින්ටනයේ යුද ධාවනයේ පෙරටුගාමී රාජ්‍යයක් බවට ඉන්දියාව පරිවර්තනය කර ඇත. ඒ අතර ම, එය ආක්‍රමනශීලීත්වය සහ යුද්ධය හරහා කලාපීය බලවතා ලෙස තමන් ස්ථාපිත කර ගන්නා ලෙස, ඉන්දියානු පාලක පන්තිය දිරිමත් කරමින් සිටී .
සැලකිය යුතු කරුනක් නම්, නිල විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය, ඉරානයට ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාරය හෙලා දකිමින් යම් දේශපාලන වාසියක් ලබා ගැනීමට උත්සාහ කලද, වොෂින්ටනය යුද්ධයට ඇතුලුවීම හෙලා දැකීම මග හැරීමයි. මෙයට හේතුව නම්, පාලක පන්තියේ සියලු කොටස්, ඉන්දියාව චීනයට විකල්ප ලාභ ශ්‍රම නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ ඔවුන්ගේ උත්සාහයන් ද ඇතුලුව, ඉන්දු-ඇමරිකානු සන්ධානය ඔවුන්ගේ ගෝලීය උපාය මාර්ගයට තීරනාත්මක යැයි සලකන බැවිනි.
ජූනි 22දා, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) ඇතුලු ස්ටැලින්වාදී සහ මාඕවාදී පක්ෂ පහක්, ඉරානයට එක්සත් ජනපදය බෝම්බ හෙලීම හෙලා දුටු නමුත්, මොනම ආකාරයකින්වත් කම්කරු පන්තියක් බලමුලු ගැන්වීමක් ඉල්ලා සිටීමෙන් වැලකී සිටියේ ය. කොංග්‍රස් පක්ෂයේ සහ කොංග්‍රසය ප්‍රමුඛ විපක්ෂ කන්ඩායම වන ඉන්දියානු ජාතික සංවර්ධන සාර්වත්‍ර සන්ධානයේ මිත්‍ර පාක්ෂිකයෝ, “සාමයට ලැදි ජනතාවට” ආයාචනා කල අතර, මෝදි ආන්ඩුවට එහි ඇමරිකානු ගැති, ඊශ්‍රායල ගැති ස්ථාවරය වෙනස් කරන ලෙස ඉල්ලා සිටියෝ ය.
අධිරාජ්‍යවාදයේ මෙම දේශපාලන සහචරයින්ට වෙනස් ව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉන්දියානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියෙන් ඉල්ලා සිටින්නේ, පන්ති අරගලයේ ක්‍රමවේදයන් සහ කම්කරු බලය සහ සමාජවාදය සඳහා සටන් කිරීම මගින්, ඉරානයට එරෙහි අධිරාජ්‍යවාදී ප්‍රහාරයට සහ වර්ධනය වන ගෝලීය යුද්ධයට විරුද්ධ වන ලෙසයි.
වැඩිදුර කියවන්න
- ඉරානයට එරෙහි යුද්ධය නතර කරනු!
- සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම්: ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයට විරුද්ධ වනු!
- ට්‍රම්ප් සටන් විරාමය නිවේදනය කිරීමෙන් පසු ව ඊශ්‍රායලය ඉරානයට බෝම්බ හෙලීම දිගට ම
- ඉන්දියා-පාකිස්ථාන ගැටුම සහ න්‍යෂ්ටික ලෝක යුද තර්ජනය
- ගාසා තීරයට එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාරය මධ්‍යයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඊශ්‍රායල රාජ්‍යය සමඟ “පෙලගැසෙයි”