මිචෙලින් සමගමේ මිදිගම කර්මාන්ත ශාලාව ඉන්දියානු සියැට් සමාගමට විකිනීම තුලින් උද්ගත වී ඇති රැකියා සුරක්ෂිතභාවය පිලිබඳ අවිනිශ්චිතභාවය කෙරෙහි මිචෙලින් කම්හලේ කම්කරුවන් අතර නොසන්සුන්තාවය වර්ධනයවන තත්වය තුල අන්තර් සමාගම් සේවක සංගමයේ (අසසේස) ප්‍රධාන ලේකම් ජානක අධිකාරි විසින් ම්චෙලින් කම්කරුවන් අමාන්ත්‍රනය කරමින් ජුනි 25 වෙනිදා හඬ පටයක් නිකුත් කර ඇත.
ඔහුගේ වියරුව උත්සන්න වීමට හේතු වී ඇත්තේ, අසසේස කෙරෙහි මිචෙලින් කම්කරුවන් අතර පවතින කෝපය ගසා කමින්, ඔවුන් මුහුන දෙන ප්‍රශ්න වලට තමන්ට විසඳුමක් ඇති බව පවසමින් ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප)ට අනුබද්ධ පෞද්ගලික කම්කරු මධ්‍යස්ථානය විසින් තවත් වෘත්තීය සමිතියක් ඇටවීමට උත්සාහ කරමින් සිටීමයි.
අධිකාරි විසින් නායකත්වය දෙන අසසේස නිලධරයත්, පෙසප සහ එහි වෘත්තීය සමිති නිලධරයත් මිචෙලින් කම්කරුවන් අතර සමාජවාදී සමානතා පක්ෂය (සසප) මැදිහත්වීම කෙරෙහි අතිශයින් ම සතුරු ය. තම රැකියා සහ සෙසු අයිතීන් රැක ගැනීම සඳහා මිචෙලින් කම්කරුවන් මැයි 23 අරගලයට පිවිසුන තැන් පටන් සසප ඔවුන් ගේ අරගලය වර්ධනය කිරීමට සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඔවුන් එකමුතු කිරීමට අඛන්ඩ ව සටන් කරමින් සිටි.
අධිකාරි නිකුත් කර තිබෙන හඬපටය ඔහු මිචෙලින් සමාගම සමග අත්සන් කල 12.1 ගිවිසුම පිලිබඳ විවේචන කෙරෙහි දක්වන බියගුලු සහ උද්ධච්ච ප්‍රතිචාරයකි. තම විවේචකයන් ගිවිසුමේ අන්තර්ගතය නොදන්නා බවට ඔහු චෝදනා කරන නමුත් ඔවුන් කවුරුන්දැයි ඔහු නම් නොකරයි.
ඔහු උද්ධච්ච ලෙස මෙසේ පවසයි: “අපි සේවකයින්ට යහපතක් වන ගිවිසුමකට එලඹ තිබෙනවා. ඔබ දැන් කල යුත්තේ එය පිලිගෙන සියට් හා සම්බන්ධ වීමයි.”
අධිකාරි ගිවිසුම විවේචනය කරන්නන් එසේ කරන්නේ 12.1 ගිවිසුම කුමක්දැයි හරි හැටි නොදැන බවට චෝදනාකරන නමුත් යතා ප්‍රශ්නය වන්නේ ඒ පිලිබඳව ඔවුන් දන්නවා ද නැද්ද යන කාරනාව නොවේ.
ඔහු මෙම ප්‍රශ්න වලට පිලිතුරු දිය යුතු ය. ඔහු ඇතුලු අසසේසං නායකයන් මිචෙලින් සහ සියැට් සමාගම් සමග අත්සන් කල ගිවිසුම ගැන තම සමිතියේ සාමාජිකයන් හා සාමජිකයන් නොවන මිචෙලින් සේවකයන් සමග සාකච්ඡා නොකලේ ඇයි? සියැට් සමාගමට සේවකයන් මාරු කිරීමේ දී ඔවුන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි විමසුවේ නැත්තේ ඇයි? ගිවිසුම් වලින් මිචෙලින් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවයට සහ සේවා කොන්දේසිවලට හානියක් නොවන්නේ නම් සමාගම් දෙක සහ අසසේස මැයි 22 අත්සන් කල අවබෝධතා ගිවිසුම නැතහොත් 12.1 ගිවිසුම සාමාජිකයන් අතට නොදුන්නේ ඇයි?
අසසේස සහ ශාඛා සමිතියේ නායකයන් මෙහි දී ක්‍රියාකර ඇත්තේ ද, ක්‍රියාකරමින් සිටින්නේ ද සාමාජිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මුලුමනින් ම උල්ලංඝනය කරමින් නිලධාරිවාදී අත්තනෝමතික ක්‍රමයකට ය.
අධිකාරි නීතිඥයෙකු, වෘත්තීය සමිති සහ ජාතික ජන බලවේගයේ (ජාජබ) සාමාජිකයෙකි. ජවිපෙ/ජාජබ ආන්ඩුවේ සහාය ලබන ඔහු හාම්පුතුන් සහ සමාගම්වල කලමනාකරුවන් සමග ගැලතී කටයුතු කරන්නෙකි. ඔහුට අනුව කම්කරුවන් කිසිවක් නොදන්නා “මෝඩ රැලකි.”
වෘත්තීය සමිති “නවීන කාලයට” අනුගත වියයුතු බව ඔහු සිය හඬ පටයේ සඳහන් කර ඇත. නවීන කාලයට අනුව ක්‍රියාකිරීම යනු අධිකාරිට අනුව ඔහු සහ ඔහු නායකත්වය දෙන සමිතිය මෙන් ක්‍රියා කිරීමයි. එනම්, තම සමිතියේ සාමාජිකයින්ට හොරෙන් සමාගම් සමග කතිකා කොට, එලඹෙන තීන්දු තීරන කම්කරුවන් මත පැටවීමට ක්‍රියා කිරීමයි.
දශක කිහිපයකට පෙර වෘත්තීය සමිති නිලධරය, අවශ්‍ය නම් සාමාජිකයන්ගේ කාර්මික ක්‍රියාවලට මෙහයවා කේවල් කිරීම් මගින් යම් සහන දිනාගැනීමට ක්‍රියා කලහ. එමගින්, මෙම නිලධරයන්ට කම්කරුවන් අතර යම් අධිකාරියක් ගොඩනගා ගැනීමට ද හැකිවිය. ඔවුන්ගේ සියලු ක්‍රියාවන් ධනපති රාමුව තුල ඊට යටත් ව සිදු විය.
අන්තර්ජාතික සංගත සහ ගෝලීය ප්‍රාග්ධනය අධිකාරිත්වය දරන වත්මනේ සෑම රටක ම ධනපති පන්ති සහ එහි ආන්ඩු ගෝලීය ආර්ථිකයට වඩවඩාත් සිය ආර්ථිකයන් එකාග්‍රකර ඇත. සමිති නිලධරයන් ඔවුන් නායකත්වය දෙන සමිති ධනපති පන්තියේ හා ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ උවමනාකම් ඉටුකරන ඒජන්සි බවට පරිවර්තනය කෙරී ඇත. ලංකාවේ දී, අද ඔවුහු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ( ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙලේ සහායකයෝ ය. ඉහල වරප්‍රසාද අපේක්ෂා කරන ඉහල මධ්‍යම පන්තික නිලධරයෝ මෙම “නවීන යුගයේ” වෘත්තීය සමිතිවල කර උඩින් ඇමතිකම් ඇතුලු ඉහල තානාන්තර වලට නැගී ගෙන සිටිති.
අධිකාරි මාසයකට පමන පෙර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මිචෙලින් කම්කරුවන්ගේ අරගලය හෙලා දුටුවේ එය බංකොලොත් දේශපාලනඥයන් සහ “පාතාලයේ” සහය ලබන සුලු කන්ඩායමකගේ ක්‍රියාවක් ලෙස ය.
කම්කරුවන් ඔහුගේ ප්‍රකාශයට අභියෝග කරමින් අරගලය පෙරට ගෙන යන තතු තුල “අපේ ආදරනිය සහෝදරවරුන්” ලෙස අමතමින් උද්ඝෝෂනය නතරකර මිචෙලින්, සියැට් සමාගම් සහ අසසේස අතර අත්සන් කල අවබෝධතා ගිවිසුම පිලිගන්නා ලෙස ඉල්ලා සිටින හඬ පටයක් කම්කරුවන්ට එවිය.
ඒ අතර අධිකාරි සහ ශාඛා සමිතියේ නායකයෝ කම්කරුවන්ට විරුද්ධ ව පාලනාධිකාරය සමග කම්කරුවන්ගේ අරගලය බිඳීමේ දඩයක්කාරී කුමන්ත්‍රනවල යෙදුනාහ: මිචෙලින් පාලනාධිකාරය සේවකයන් දෙදෙනෙකු සේවයෙන් පහකල අතර තවත් සේවකයෙක් ගේ වැඩ තහනම් කලේ ය. ශාඛා සමිතියේ ලේකම් පී.එච්.ඒ. සුපුන් මධුසංඛ විසින් කම්කරුවන් වෙත එවන ලද නවත ම පනිවිඩයක දී ඔවුන්ගේ අරගලයට පහර දී තිබුනේ ඔවුන් “නීති විරෝධී ක්‍රියාවන්” වල යෙදුනු නිසා ඒවා වෙනුවෙන් පෙනී සිටීමට හෝ [ඒවාට] “නිලභාවය ලබාදීමට” නොහැකි බව සඳහන් කරමිනි.
අධිකාරි සහ ශාඛා නායකයින් මේ සියල්ල කරන ලද්දේ සමාගමට සේවය කිරීමට මිස සේවකයන් වෙනුවෙන් නොවේ. නුතන වෘත්තීය සමිතිවල සැබෑ භූමිකාව එයයි. ජවිපෙ/ජාජබ ආන්ඩුව ජාමූඅ නියම කර ඇති රුදුරු කප්පාදු පියවරයන් ක්‍රියාවට දැමීමට මෙන් ම, ආයෝජකයන්ගේ සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයන් සන්තර්පනය කිරීමට කැප වූ ආන්ඩුවකි.
අසසේසං සභාපති වසන්ත සමරසිංහ, ජවිපෙ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත, ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ඇතුලු ජවිපෙ වෘත්තීය සමිති නායකයෝ ආන්ඩුවේ ඇමතියන් සහ නියෝජ්‍ය ඇමතියන් බවට පත් ව සිටිති. සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුනාරත්න දැන් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති වන අතර ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් නගරාධිපති කෙනෙකි. අධිකාරි ඇතුලු කල්ලිය එවන් තානාන්තර සඳහා කෙලහලමින් සිටිති.
කෙසේ වෙතුදු, අධිකාරි ඇතුලු සමිති නායකයන් හා ඔවුන්ගේ සමිතිය අපකීර්තියට පත්වන තතු තුල තවත් වෘත්තීය සමිතියක් ඇටවීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එහි පුද්ගලික කම්කරු මධ්‍යස්ථානය දරන වෑයමට සහාය නොදිය යුතු ය. එහි ක්‍රියාකලාපය ද අසසේසංට වෙනස් නොවනු ඇත.
මිචෙලින් අන්තර්ජාතික සංගතය ප්‍රතිව්‍යුහකරනය කිරීම ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ ලාභ වැඩි කරගැනීම සඳහා අන්තර්ජාතික සංගත ක්‍රියාවට දමා ඇති ප්‍රතිව්‍යුහකරන ක්‍රියාවලියේ කොටසකි. රැකියා විනාශය, නිෂ්පාදන ඵලදායිතාවය ඉහල දැමීම සහ නිෂ්පාදන පිරිවැය පහත හෙලීම අරමුනු කරගත් රුදුරු වැඩ කොන්දේසි සහ කම්කරුවන් තම අතීත අරගලවලින් දිනාගෙන ඇති සියලු අයිතීන් යලි පැහැර ගැනීම එහි අනිවාර්ය අංග ලක්ෂනයන් ය.
කම්කරුවන්ට අවශ්‍ය වන්නේ, තවත් වෘත්තීය සමිතියක් නොව, තම අයිතීන් සඳහා අරගලය තමන්ගේ අතට ගැනීම සඳහා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව හා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් පිහිටුවා ගනු ලබන ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගැනීමයි.
එවැනි කමිටු ශ්‍රී ලංකාව තුලත් ජාත්‍යන්තරවත් තම සහෝදර කම්කරුවන් සමග එකමුතුව පිහිටුවා ගනිමින් ගෝලීය ප්‍රාග්ධනයේ සහ ධනේශ්වර ලාභ පද්ධතියේ ප්‍රහාරයන්ට එරෙහි ව ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමේ කොන්දේසි නිර්මානය කරනු ඇත.
වැඩිදුර කියවන්න
- ඔන්ලයින් රැස්වීම: රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් අරගලයේ යෙදෙන මිචෙලින් කම්කරුවන් සඳහා ඉදිරි මාවත
- මිචෙලින් කම්කරුවන්ගේ අරගලයේ දේශපාලන පාඩම්
- මිචෙලින් කම්කරුවන් නොමග යැවීමට, ව්‍යාජ-වාම පෙසප අලුතින් වෘත්තීය සමිතියක් ඇටවීමට වැඩට බසියි
- මිචෙලින්-සියැට් බහුජාතික සමාගම් සහ අසසේස අතර ප්රජාතන්ත්ර විරෝධී ගිවිසුම ප්‍රතික්ෂේප කරනු
- ප්‍රමූඛ පෙලේ ජවිපෙ වෘත්තීය සමිති නායකයකු වන රන්ජන් ජයලාල් කඩුවෙල නගරාධිපති තනතුරෙන් පිදුම් ලබයි