[මෙය Stop the war against Iran! යන මැයෙන් 2025 ජූනි 21 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ එහි ඊශ්‍රායල නියෝජිතයා, ආසන්න ප්‍රහාරයක් දියත් කරනුවස්, එක්සත් ජනපද න්‍යෂ්ටික-ශක්‍ය B-52 ගුවන් යානා සහ ගුවන් යානා ප්‍රවාහන නෞකා සටන් කන්ඩායම් සූදානම් කරමින්, ඉරානයට එරෙහි, නීති විරෝධී, අප්‍රකෝපිත සහ ආක්‍රමනශීලී යුද්ධය උත්සන්න කරමින් සිටිති.
එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය ආක්‍රමනය කිරීමෙන් ආසන්න වශයෙන් සියවස් කාලකට පසු, ඇමරිකානු පාලක පන්තිය නැවත වරක් සාපරාධී යුද්ධයක් දියත් කිරීමට සූදානම් වෙමින් සිටී; නමුත් මෙවර, ඉරාකයට වඩා තුන් ගුනයකට වඩා විශාල ජනගහනයක් සහිත විශාල රටකට එරෙහි ව ය.
ඒකාධිපතියෙකු වීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ හරහා පාලනය කරන මූල්‍ය කතිපයාධිකාරය යුද්ධය මගින් බලාපොරොත්තු වන්නේ:
• ඉරාන ජනතාව, එක්සත් ජනපදය විසින් පිහිටුවන ලද ෂා රාජාන්ඩු ආඥාදායකත්වය පෙරලා දමා වසර 45 කට පසු, නව-යටත් විජිතමය විලංගු යලි ඉරානය මත පැටවීම.
• වොෂින්ටනයේ ප්‍රධාන මූලෝපායික විරුද්ධවාදීන් වන චීනය සහ රුසියාව සමඟ යුද්ධයට සූදානම් වීම සඳහා, ලෝකයේ ප්‍රධාන තෙල් අපනයන කලාපය සහ ප්‍රධාන ගෝලීය සාගර වෙලඳ මාර්ග මත ඇමරිකානු අධිරාජ්‍යවාදී පාලනය අසීමිත ලෙස සුරක්ෂිත කර ගැනීම.
• කොල්ලකෑම තුලින් ආර්ථික අර්බුදය සහ මූල්‍ය බිඳවැටීම වලක්වා ගැනීම.
• දැවැන්ත දේශීය අර්බුදයකින් සහ වැඩෙන සමාජ විරෝධයකින් අවධානය වෙනතකට යොමු කිරීම.
මෙම සාහසික සූදුවේ ප්‍රතිවිපාක ඉරාන ජනතාවට, මැද පෙරදිගට සහ මුලු ලෝකයටම විනාශකාරී වනු ඇත.
දැවැන්ත ලෙස සන්නද්ධව සිදු කෙරෙන මැරකම, වංචාව සහ ද්‍රෝහීත්වය යන සියල්ලට ප්‍රතිවිපාක ලෙස, මෙම යුද්ධයේ ප්‍රතිඵලය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ඇෆ්ගනිස්ථානය, ඉරාකය, වියට්නාමය සහ කොරියාව තුල දියත් කරන ලද “තෝරාගත් යුද්ධ” වලට වඩා නොඅඩු ලෙස—බොහෝ විට ඊටත් වඩා—විනාශකාරී වනු ඇත.
අනෙක් අතට, ඇමරිකා එක්සත් ජනපදයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල දේශපාලන සංස්ථාපිතයන් පූර්න යුද ප්‍රචාරනයක යෙදී සිටී. ඉරානය 'ත්‍රස්තවාදී රාජ්‍යයක්' බවටත්, එය ඊශ්‍රායල හා ඇමරිකානු ජනතාවගේ 'පැවැත්මට' තර්ජනයක් බවටත් හෙලා දකිනු ලැබේ.
නමුත් දශක ගනනාවක බොරු සහ අපරාධ වලින් පසුව, එනම්, ඉරාකය සතුව 'සමූල ඝාතක අවි' ඇති බවට ප්‍රකාශ කිරීමෙන් සහ ගාසා තීරයේ පලස්තීනුවන් මරා දමා පලවා හැරීමේ මෙහෙයුම් වලදී රෝහල්වලට බෝම්බ හෙලන විට සහ ආහාර සඳහා පෝලිමේ සිටින පුද්ගලයින් ඝාතනය කරන විට ඊශ්‍රායලය වෙනුවෙන් නිමක් නැති ක්ෂමාලාප වලින් පසුව, මේ කිසිවක් බැරෑරුම් ලෙස සලකන්නේ කවුද?
වසර විසි දෙකකට පෙර, පෙන්ටගනය විසින්, ඉරාකය 'කම්පනයට සහ භීතියට පත්කරමින්' ආක්‍රමනය දියත් කරන විට, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ ලිවීය: 'ආරම්භ වී ඇති ගැටුමේ ආරම්භක අවධීන්ගේ ප්‍රතිඵලය කුමක් වුවත්, ඇමරිකානු අධිරාජ්‍යවාදයට, නියමිත පරිදි ව්‍යසනය අත්පත් වී තිබේ. එයට ලෝකය ජය ගත නොහැක. එයට මැද පෙරදිග ජනතාව මත, නැවත වරක් යටත් විජිත විලංගු පැටවිය නොහැක.'
ඇමරිකානු අධිරාජ්‍යවාදය යුද්ධයට යන්නේ ඉරානයේ මිලියන 90 ක ජනතාවට එරෙහිව පමනක් නොව මුලු ලෝකයටම එරෙහිව ය. සිකුරාදා (20), නීති විරෝධී එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරයට එරෙහිව හඬ නැගීමට මිලියන ගනනක් ඉරානයේ සහ මැද පෙරදිග අනෙකුත් රටවල වීදිවලට බැස සිටියහ.
ට්‍රම්ප් පරිපාලනය ඊශ්‍රායලය සමඟ සන්ධානගත ව ආක්‍රමනශීලී යුද්ධයක් දියත් කිරීමට සූදානම් වන බව ලොව පුරා ජනතාව තේරුම් ගෙන ඇත. ගාසා තීරයට එල්ල කරන ලද ජන සංහාරක ප්‍රහාරය හේතුවෙන් ඊශ්‍රායලය ලෝකයේ වඩාත්ම පිලිකුල් සහගත රාජ්‍යය බවට පත්ව තිබේ.
එක්සත් ජනපදය තුල ට්‍රම්ප්ට එරෙහි ව වැඩෙන මහජන ව්‍යාපාරයක් පවතින අතර, ජුනි 14 වන දින 'රජවරු එපා' විරෝධතාවලට මිලියන 10-15 ක ජනතාවක් එක්වූහ. එපමනක් නොව, වොෂින්ටන් පෝස්ට් හි මත විමසුමකින් හෙලි වූයේ, එය සමීක්ෂනය කල ඇමරිකානුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක්, ඉරානයට එරෙහි යුද්ධයකට එක්සත් ජනපදය සම්බන්ධ වීමට විරුද්ධ වන බවයි.
සම්භාව්‍ය මාක්ස්වාදීන් පැහැදිලි කල පරිදි, කම්කරු පන්තිය ඕනෑම යුද්ධයක් කෙරෙහි තම ආකල්පය තක්සේරු කල යුත්තේ, ඊට සම්බන්ධව පවතින සමාජ අවශ්‍යතා පරීක්ෂා කිරීමෙනි.
ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය අධිරාජ්‍යවාදී යුද්ධයකි. එය ඓතිහාසික වශයෙන් පීඩිත රටක් මත දියත් වෙමින් පවතී. එහි දේශපාලන ඉතිහාසයේ ප්‍රමුඛ සාධකය වූයේ, පලමුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් ද, පසුව ඇමරිකානු අධිරාජ්‍යවාදයෙන් ද විමුක්තිය සඳහා සියවසක් පුරා පැවති අරගලය යි.
එපමනක් නොව, මෙම යුද්ධය, දශක ගනනාවක් පුරා විහිදෙන අන්තර් සම්බන්ධිත මිලිටරි මෙහෙයුම් දාමයක කොටසකි. ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ ප්‍රහාරයට දැන් සහාය දෙන එම ආන්ඩු, සංවිධාන සහ මාධ්‍ය ආයතන, අධිරාජ්‍යවාදී බලවතුන් විසින් කුපිත කරන ලද සහ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීමේ පදනම මත යුක්ති සහගත කරන ලද රුසියාවට එරෙහි යුද්ධයට දෘඪතර ලෙස සහාය දැක්වීය.
පසුගිය වසර 35 තුල, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, 20 වන සියවසේ යටත් විජිත විරෝධී සහ සමාජ විප්ලව රැල්ලෙහි ප්‍රතිවිපාක ආපසු හැරවීමටත්, නිරන්තරයෙන් ප්‍රසාරනය වන මිලිටරිවාදය සහ ආක්‍රමනශීලීත්වය හරහා එහි ගෝලීය ආධිපත්‍යයේ ඛාදනය වැලැක්වීමටත් උත්සාහ කර ඇත.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ඊට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ, ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ එහි ඊශ්‍රායල නියෝජිතයා පරාජය කිරීම වෙනුවෙන් එකහෙලා පෙනී සිටී.
ඉරානය යනු ප්‍රතිගාමී ධනේශ්වර ජාතිකවාදී තන්ත්‍රයක් විසින් මෙහෙයවනු ලබන ධනවාදී රටකි. 1979 විප්ලවයේ පදනම මත බලයට පත්වීමේදී එහි විශාලතම භීතිය වූයේ කම්කරු පන්තියයි. පසුගිය දශක දෙක තුල එක්සත් ජනපදයේ වැඩිවන තර්ජනවලට මුහුන දී සිටින ඉරාන ධනේශ්වරය, ෂා පෙරලා දැමූ මහජන පිපිරීමෙන් පසු වහා ලබා දුන් සමාජ සහනවල ඉතුරුපහදු දේ තුරන් කිරීමේ ධාවනයක් සමඟ වොෂින්ටනය සමඟ එකඟතාවයකට පැමිනීමට නැවත නැවතත් උත්සාහ කර තිබේ.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඉරානයේ ධනේශ්වර ආන්ඩුවට විරුද්ධ වේ. නමුත් ආසන්න යුද්ධය කෙරෙහි එහි ආකල්පය නිර්නය වන්නේ, ඓතිහාසිකව පීඩිත රටක් වන ඉරානය, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සන්ධානයක් විසින් යටත් කර ගැනීමේ සහ සමූලඝාතනය කිරීමේ තර්ජනයට ලක්ව ඇතැ යි යන්නෙනි. අධිරාජ්‍යවාදී ප්‍රහාරයට එරෙහි ඉරාන ප්‍රතිරෝධය සම්පූර්නයෙන්ම නීත්‍යානුකූල සහ දේශපාලනික වශයෙන් ප්‍රගතිශීලී වේ.
ඉරාන ආන්ඩුවේ ප්‍රතිගාමී ස්වභාවය විසින් ඉරානයට තමන්ව ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය නිෂේධනය කෙරෙන බවට තර්ක කරන අය අධිරාජ්‍යවාදී යුද ධාවනයට “වාම” වහන්තරාවක් ලබා දෙති.
ජපන් අධිරාජ්‍යවාදය චීනයට එරෙහිව තම ආක්‍රමනශිලී යුද්ධය දියත් කිරීමෙන් ටික කලකට පසු 1937 දී ලියොන් ට්‍රොට්ස්කි ලියූ පරිදි, පීඩිත රටක් අධිරාජ්‍යවාදී ප්‍රහාරයකට ලක් වූ විට, සමාජවාදීන්ගේ යුතුකම වන්නේ එහි ආන්ඩුවේ ප්‍රතිගාමී ස්වභාවය නොතකා එය ආරක්ෂා කිරීමයි. 1925-27 අධිරාජ්‍ය විරෝධී විප්ලවයේ ගෙල සිර කර, විප්ලවවාදී අභිලාෂයන් තිබූ කම්කරුවන් දස දහස් ගනනක් සමූලඝාතනය කල චියැං කායි-ෂෙක් සහ ධනේශ්වර ජාතිකවාදී කුවොමින්ටෑනය විසින් එවකට චීනය මෙහෙයවන ලද බැවින් එය ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කල අයට පිලිතුරු දෙමින්, ට්‍රොට්ස්කි මෙසේ පැහැදිලි කලේය:
ජපානය අපගේ ඇස් ඉදිරිපිටම, අර්ධ යටත් විජිත රටක් වන චීනය, යටත් විජිත රටක් බවට පරිවර්තනය කරමින් සිටී. ජපානයේ අරගලය අධිරාජ්‍යවාදී සහ ප්‍රතිගාමී වේ. චීනයේ අරගලය විමුක්තිකාමී සහ ප්‍රගතිශීලී ය.…
ජපානය සහ චීනය පවතින්නේ එකම ඓතිහාසික තලයක නොවේ. ජපානයේ ජයග්‍රහනය චීනය වහල්භාවයට පත් කිරීම, එහි ආර්ථික හා සමාජීය සංවර්ධනයේ අවසානය සහ ජපන් අධිරාජ්‍යවාදයේ ඉමහත් ශක්තිමත් වීම සංකේතවත් කරනු ඇත. ඊට ප්‍රතිවිරුද්ධව, චීනයේ ජයග්‍රහනය, ජපානයේ සමාජ විප්ලවය සහ බාහිර පීඩනයේ බාධාවෙන් තොර චීනයේ පන්ති අරගලයේ නිදහස් සංවර්ධනය සංකේතවත් කරනු ඇත.
ඉරානයේ මෙන්ම ගෝලීය වශයෙන් කම්කරු පන්තිය, ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයට විරුද්ධ විය යුතු නමුත් ඔවුන් එසේ කල යුත්තේ තමන්ගේම පන්ති අරගල විධික්‍රම හරහා ය. මෙහි තේරුම, අධිරාජ්‍යවාදී යුද්ධයට සහ කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහිව නිරන්තරව පුලුල්වන ප්‍රහාරයට එරෙහි සටන, ධනවාදයට එරෙහි සටන සමග සම්බන්ධ කරන ගෝලීය කම්කරු පන්ති ප්‍රතිප්‍රහාරයක් වර්ධනය කිරීමයි. මෙය, ඉරානයේ, මැද පෙරදිග සහ ජාත්‍යන්තරව හජාජාක ශාඛා ගොඩනැගීම සඳහා අරගලය ආවශ්‍යක කරයි.
සාම්ප්‍රදායික මිලිටරි අර්ථයෙන් ගත් කල, ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරකයින්ට අතිමහත් විනාශකාරී බලයක් ඇත. නමුත් විප්ලව සහ යටත් විජිත යුද්ධ ඉතිහාසය නැවත නැවතත් පෙන්වා දී ඇති පරිදි, මිලිටරි ශක්තිය, සැලකිය යුතු වුවද, එය එක් සාධකයක් පමනි.
අධිරාජ්‍යවාදයේ මූලික අවදානම පවතින්නේ, මැද පෙරදිග, ආසියාව, අප්‍රිකාව පුරා පවතින සමාජ විරෝධය සඳහා පවත්නා දැවැන්ත හා වේගයෙන් ප්‍රසාරනය වන විභවය තුල සහ අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල කම්කරුවන්ගේ වැඩෙන ප්‍රතිරෝධය තුල ය.
අධිරාජ්‍යවාදී ආක්‍රමනයට සහ ප්‍රසාරනය වන ගෝලීය යුද්ධයට තීරනාත්මක පිලිතුර මෙම බලවේගය වන අතර එය බලමුලු ගැන්විය යුතුය. මෙය කල හැක්කේ සියලු ප්‍රතිවාදී ධනේශ්වරයන්ට, ඔවුන්ගේ ආන්ඩු වලට සහ දේශපාලන නියෝජිතයින්ට අශමනීය ලෙස විරුද්ධ වීමෙන් පමනි.
එක්සත් ජනපදයේ, ඩිමොක්‍රටික් පක්ෂයේ සියලුම කොටස් සහ එහි ප්‍රධාන මාධ්‍ය හඬ වන නිව්යෝර්ක් ටයිම්ස්, ජනාධිපතිවරයෙකු විසින් සංවිධානය කරන ලද යුද්ධයකට සහාය දක්වමින් සිටින අතර, එය ක්‍රමානුකූලව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට උත්සාහ කරන බව ඔවුන්මත් පිලිගනී.
ට්‍රම්ප් පෙරමුනු දෙකක යුද්ධ කරමින් සිටී: එනම්, විදේශයන්හි ඉරානයට එරෙහිව සහ රට තුල ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වලට සහ කම්කරු පන්තියට එරෙහි යුද්ධය යි. මේ දෙකම එකම ක්‍රියාවලියක පැතිකඩ දෙකකි. ඉරානය සමඟ යුද්ධයක් අනිවාර්යයෙන්ම සිදුවනු ඇත්තේ, දේශපාලන මර්දනය සහ සමාජ කප්පාදුව උත්සන්න කිරීම සමඟ ය. යුද අයවැය දැනටමත් ඩොලර් ට්‍රිලියන 1 ඉක්මවා ඇති හෙයින්, කම්කරු පන්තියට එය ගෙවීමට සිදුවනු ඇත.
එක්සත් ජනපදය තුල ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීම සඳහා ට්‍රම්ප්ගේ ව්‍යවස්ථා-විරෝධී ධාවනය සහ ඉරානයට එරෙහිව නීති විරෝධී යුද්ධයක් දියත් කිරීම සාපරාධී ආන්ඩුවක අන්තර්-සම්බන්ධිත අංගයන් වේ. මෙම අංගයන්හි අන්තර්ක්‍රියා එක්සත් ජනපදයට සහ ලෝකයට ව්‍යසනයක තර්ජනය මතු කරයි. පාලන තන්ත්‍ර වෙනසක් සඳහා දැඩි අවශ්‍යතාවයක් ඇති මොනයම් හෝ රටක් තිබේ නම්, ඒ එක්සත් ජනපදයයි.
යුරෝපයේ ද එම මූලික ක්‍රියාවලීන්ම සිදුවෙමින් පවතී. සිකුරාදා යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් වියානාහිදී ඉරාන විදේශ අමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡා, ටෙහෙරානය යටත් කර ගැනීම සඳහා වන ධාවනය අරමුනු කරගත් ප්‍රෝඩාවක් විය. ට්‍රම්ප් යුද්ධයට ඉක්මන් වීම පිලිබඳව ඔවුන්ට ඇති ඕනෑම නොඑකඟතාවක්, තමන්ගේම කොල්ලකාරී අවශ්‍යතා මත පාදක වේ: ට්‍රම්ප් සහ නෙතන්යාහු විසින් අවුලුවා ඇති ගින්නෙන් තමන් පුලුස්සා දැමිය හැකි බව; මැද පෙරදිග සමස්ත යුද්ධයක් මගින් එක්සත් ජනපද යුද උපකරන යුක්‍රේනයෙන් ඉවතට හරවනු ඇති බව; සහ අධිරාජ්‍යවාදී ආක්‍රමන සහ කොල්ලකෑම් වලින්, වොෂින්ටනය ඔවුන් කපා හැරීමේ අවදානමට ලක්ව ඇතිබව යනාදියයි.
ඉතාමත් උපයෝගිතාවාදී, කෙටි-කාලීන ගනන් බැලීම් මත පදනම් ව, ට්‍රම්ප් සහ ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ යම් එකඟතාවයකට පැමිනිය හැකිය යන බලාපොරොත්තුවේ එල්බගෙන සිටින චීන සහ රුසියානු ධනවාදී පාලන තන්ත්‍ර, ඉරානයට එල්ල කරන ප්‍රහාරයට විරුද්ධ වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
ඉරාන තන්ත්‍රය සම්බන්ධයෙන් ගත් කල, යුද්ධයට පෙර සහ යුද්ධය අතරතුර එහි කල්කිරියාව මගින් අවධාරනය කර ඇත්තේ, අධිරාජ්‍යවාදයට එරෙහිව අරගලයක් කිරීමට ජාතික ධනේශ්වරය අසමත් බවයි. ට්‍රම්ප්, 'කොන්දේසි විරහිතව යටත් වීම' ඉල්ලා සිටීමෙන් පසුව පවා, ඔවුන් අනාගත ෆැසිස්ට් ආඥාදායකයාට සහ යුරෝපීය අධිරාජ්‍යවාදී මැරයන්ට තමන් වෙනුවෙන් මැදිහත් වන ලෙස ආයාචනා කරයි.
පලමුවන ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය මෙන් මෙම යුද්ධය ද පැන නගින්නේ ධනවාදයේ මූලික ප්‍රතිවිරෝධතාවලිනි: ගෝලීය වශයෙන් ඒකාබද්ධ වූ ආර්ථිකයක් සහ යල් පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතිය අතරත්, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතිය සහ නූතන ආර්ථික ජීවිතයේ සමාජ ස්වභාවයත් අතර ප්‍රතිවිරෝධතාවලිනි.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ඊට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ, ඉරානයට එරෙහිව සෘජු යුද්ධයක් දියත් කිරීමේ ට්‍රම්ප් පරිපාලනයේ සැලසුම්වලට එරෙහිව මහජන විරෝධයක් කැඳවුම් කරයි. මෙම අධිරාජ්‍යවාදී ආක්‍රමනශීලී ක්‍රියාවට විරුද්ධ වීම සඳහා විරෝධතා, පෙලපාලි සහ වැඩ වර්ජන අපි ඉල්ලා සිටිමු.
අධිරාජ්‍යවාදී යුද්ධය සහ එය පැනනංවන ධනේශ්වර ක්‍රමය අවසන් කල හැක්කේ විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ ජාත්‍යන්තර කම්කරු පන්තියට පමනි. යුද්ධයට එරෙහි සටන, කම්කරු බලය සඳහා සටන සහ ගෝලීය ආර්ථික ජීවිතය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම සමඟ ඒකාබද්ධ කල යුතු බව හජාජාක අවධාරනය කරයි.
සමාජවාදී සමානතා පක්ෂය සමග සම්බන්ධ වීමට පහත පෝරමය පුරවන්න.