මිචෙලින්-සියැට් බහුජාතික සමාගම් සහ අසසේස අතර ප්‍රජාතන්ත්‍ර විරෝධී ගිවිසුම ප්‍රතික්ෂේප කරනු

දැවැන්ත බහුජාතික සමාගම් වන මිචෙලින් සහ සියැට් සමග අන්තර්-සමාගම් සේවක සංගමය (අසසේස) ඇති කරගත් ඊනියා “අවසාන ගිවිසුම” ප්‍රතික්ෂේප කරන ලෙස ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (කක්‍රිකසා) මිදිගම මිචෙලින් කම්කරුවන්ට කැඳවුම් කර සිටී.

2025 මැයි 26 දින මිච්ලින් කම්කරුවෝ කම්හල ඉදිරිපිට උද්ඝෝෂනයක [Photo: WSWS]

ජුනි 17 වන දින, අසසේස මිදිගම ශාඛා ලේකම් සුපුන් මධුශංක විසින් වට්ස්ඇප් හරහා කම්කරුවන්ට පිටු හතරක ලේඛනයක් නිකුත් කරන ලද අතර, එහි නොපැහැදිලිව විස්තර කරන ලද “සමථකරන කොන්දේසි” 15 ක් සමග වෘත්තීය සමිතිය “12.1 ගිවිසුමකට” එලඹ ඇති බව සඳහන් විය.

කම්කරුවන්ගේ කිසිදු අදහස් විමසීමකින් තොරව නිකුත් කරන ලද ඊනියා ගිවිසුමේ ආරම්භක කාල සීමාව ගැන සඳහන් වන්නේ, මිචෙලින් සේවකයින් ඔවුන්ගේ සේවා කොන්ත්‍රාත්තු ජුනි 30 වන දින අවසන් වන බවට 'එකඟ වන' බවත්, අමුනා ඇති 'පත්වීමේ ලිපියේ' දක්වා ඇති කොන්දේසි යටතේ ජූලි 1 වන දින සිට සියැට් හි වැඩ ආරම්භ කරන බවත්‍ ය.

පෙර ගිවිසුම මෙන් මෙම නවතම ගිවිසුම ද, උක්ත ඒකපාර්ශ්වික නිවේදනයට පෙර සේවකයින්ට පෙන්වා හෝ ඔවුන් අතර සාකච්ඡා කිරීමට ඉඩ දී නොමැත. සේවකයින්ට දුන් පනිවිඩය තුල 'පත්වීම් ලිපියක් අමුනා ඇති' බව සඳහන් වුවද, එවැනි ලිපියක් අමුනා නොමැත. මෙය එහි සාමාජිකයින්ගේ සහ සාමාජිකයින් නොවන අයගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන වෘත්තීය සමිතියේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා මාලාවේ නවතම ක්‍රියාවයි.

ප්‍රංශය පදනම් කරගත් මිචෙලින් ට්‍රාන්ස්නැෂනල් කෝපරේෂන් සමාගම, පසුගිය දෙසැම්බර් මාසයේදී, තම මිදිගම ටයර් නිෂ්පාදන කම්හල සහ ජා-ඇල අනෙකුත් සේවා ස්ථාන විකිනීම සඳහා ගිවිසුමකට එලැඹීමේ තීන්දුව ගනු ලැබීය. මෙය මිචෙලින් සමාගම ජාත්‍යන්තරව සිදු කරන ලද ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ කොටසකි. මැයි 22 වන දින, අසසේස විසින් සේවකයින් 1,500 ක් පමන සිටි සමාගම් දෙකම, සියැට් වෙත මාරු කිරීමේ නියෝග සහ කොන්දේසි සම්බන්ධයෙන් “අවබෝධතා ගිවිසුමක්” අත්සන් කරන ලදී.

අසසේස මව් සංගමය සහ එහි මිදිගම මිචෙලින් කම්හල් ශාඛාව විසින් මෙම රහසිගත ගනුදෙනුව සිදු කර ඇත්තේ එහි සාමාජිකයින් 900 දෙනාගෙන් හෝ අනෙකුත් සේවකයින්ගෙන් අදහස් නොවිමසා ය.

මැයි 23 වන දින සිට මිදිගම කම්හලේ සියලුම සේවකයෝ විරෝධතාවල නිරත වූහ; සමාගම් සමඟ අත්සන් කරන ලද අසසේස අවබෝධතා ගිවිසුම ප්‍රතික්ෂේප කරමින් වාඩිලා ගැනීමේ වැඩවර්ජන ඇතුලු විරෝධතාවල නිරත වූ අතර, ගිවිසුමෙ හි ඇති දේ ඔවුන් නොදන්නා බවට දොස් පැවරූහ. සේවය අවසන් කිරීම සඳහා මිචෙලින් සමාගමෙන් රුපියල් මිලියන 3 ක වන්දියක්, නව සමාගම යටතේ සේවය අඛන්ඩව පවත්වාගෙන යාම ඇතුලු තමන්ගේම ඉල්ලීම් ඔවුන් විසින් සූත්‍රගත කරන ලදී.

විරෝධතාකරුවන් බිය ගැන්වීම සඳහා මිචෙලින් කලමනාකාරිත්වය එක් සේවකයෙකුගේ වැඩ තහනම් කර දෙදෙනෙකු වහාම සේවයෙන් පහ කල නමුත් එය අසාර්ථක විය. ඊට ප්‍රතිචාර වශයෙන්, අරගල කරන මිචෙලින් කම්කරුවන් වින්දිත සේවකයින් තිදෙනා වහාම නැවත සේවයේ පිහිටුවීමේ ඉල්ලීම ඔවුන්ගේ ඉල්ලීම් ලැයිස්තුවට එක් කලහ.

අසසේස, සේවකයින්ගේ අරගලය නොතකා හැරියේය. ඒ වෙනුවට, එහි නායකයින් සමාගම් සමඟ අත්වැල් බැඳගෙන, කම්කරුවන්ට ඔවුන්ගේ ගිවිසුමට එකඟ වන ලෙසට බල කලහ. නවතම ගිවිසුම මගින් නැවත වරක් පෙන්නුම් කෙරෙන්නේ, සමාගම් වෙනුවෙන් කරන ලද එහි නියෝගවලට කම්කරුවන් යටත් කිරීමට අසසේස නායකයින්ගේ අධිෂ්ඨානය බවයි.

අසසේස යනු පාලක ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අනුබද්ධ ප්‍රධාන වෘත්තීය සමිතියයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජවිපෙ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද කුරිරු කප්පාදු පියවරයන්ට සම්පූර්නයෙන්ම කැපවී සිටින අතර කම්කරු පන්තියේ වියදමින් ආයෝජකයින්ට විශාල සහන ලබා දෙමින් ඔවුන් ආරක්ෂා කිරීමට කැපවී සිටී.

ජවිපෙ වෘත්තීය සමිති නිලධාරීන් බොහෝ දෙනෙක් ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් බවට පත්ව ඇත. කම්කරු අරගල මර්දනය කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට ජවිපෙ නායක වසන්ත සමරසිංහ විසින් අසසේස සභාපතිත්වය දරනු ලැබේ. මිදිගම හි අසසේස ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාමාර්ග ගලා එන්නේ ජවිපෙ ආයෝජක-හිතවාදී ප්‍රතිපත්තිවලිනි.

*හොර රහසේ ඇති කර ගත් ගිවිසුම ප්‍රතික්ෂේප කරන ලෙස කක්‍රිකසා සහ සසප කම්කරුවන්ට කැඳවුම් කරයි!

*හදිසි වෘත්තීය සමිති සාමාජික රැස්වීමක් කැඳවා ගිවිසුම සඳහා ඡන්ද විමසීමක් සිදු කරනු!

*මිචෙලින් විසින් ඔවුන්ගේ සේවය අවසන් කල යුතු සහ ඔවුන් සියැට් වෙත පත් කල යුතු නියමයන් සහ කොන්දේසි මෙනවාද යන්න පිලිබඳව සාමාජිකයින්ට සහ සාමාජිකයින් නොවන අයට සාකච්ඡා කිරීමට ඉඩ දෙනු!

සිකුරාදා (20) මිදිගම කර්මාන්තශාලා සේවකයින් දුසිම් ගනනක් මාතර කම්කරු දෙපාර්තමේන්තු කාර්යාලයට පැමින ප්‍රාදේශීය නියෝජ්‍ය කොමසාරිස්වරිය හමුවූ අතර, ඔවුන් නවතම ගිවිසුමට විරුද්ධ බව ඇයට පැවසූහ. ඔවුන්ට කොලඹ කම්කරු කොමසාරිස් (කකො) සමඟ කතා කිරීමට අවශ්‍ය විය. දුරකථන සංවාදය අතරතුර දී, දෙපාර්තමේන්තුව වෘත්තීය සමිතිය සමඟ පමනක් කටයුතු කරන බව පවසමින් ඔහු සේවකයින් සමඟ කතා කිරීම ප්‍රතික්ෂේප කලේය.

මෙය කකො සේවකයින් සමඟ කතා කිරීම ප්‍රතික්ෂේප කල දෙවන අවස්ථාවයි. අසසේස අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට තම විරෝධය ප්‍රකාශ කරනුවස්, කම්කරුවන් 17 දෙනෙකුගෙන් යුත් කන්ඩායමක් මැයි 26 වන දින කකො හමුවීමට කොලඹ ගියහ. ඔවුන් වෘත්තීය සමිතියෙන් ඉල්ලා අස්වන බවට සේවකයින් 900 ක් පමන අත්සන් කල ලිපියක් ද ඉදිරිපත් කලහ. කෙසේ වෙතත්, කකො ඔවුන්ට පැවසුවේ වෘත්තීය සමිතිය සමග මිස සේවක නියෝජිතයින් සමග තමා කතා කිරීමට සූදානම් නැති බව ය.

අරගලයේ සති කිහිපය පුරාම, අසසේස නිලධරයන් කම්කරුවන්ගේ ඉල්ලීම් නොතකා හැර ඇතිවා පමනක් නොව, සියැට් හි සේවකයින්ට නැවත රාජකාරි ආරම්භ කිරීම සඳහා බලපෑම් කිරීමට රජයේ කම්කරු දෙපාර්තමේන්තුව සහ සමාගම් විධායකයින් සමඟ—එලිපිට මෙන්ම රහසිගතව—ක්‍රියාකාරීව සහයෝගයෙන් කටයුතු කර ඇත.

මිදිගම සේවකයින්, තම අයිතිවාසිකම්වලට අහිතකර අසසේස ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කිරීමට ගත් පියවර සහ අධිෂ්ඨානය සසප සහ කක්‍රිකසා අගය කරයි. ඒ සමඟම, හුදකලා සහ විසිරුනු ක්‍රියාමාර්ග, කම්කරුවන්ට තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ අරගලයක් තුල එක්සත් වීමට උපකාරී නොවන බව අපි කියමු.

මිදිගම කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ: ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනුවස් ඔබ එක්සත් කිරීම සඳහා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තෝරා පත් කරගත් නියෝජිතයින්ගෙන් සමන්විත ඔබේම ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවන ලෙසයි!

අසසේස නිලධාරීන් ඔබේ අවශ්‍යතා නියෝජනය නොකරන බවත්, ඔවුන් ඔබව සම්පූර්නයෙන්ම නොතකා හරින බවත්, මිචෙලින් සහ සියැට් හි අවශ්‍යතා වෙනුවෙන් සේවය කරන බවත් දැන් ඔප්පු වී හමාර ය.

කම්කරුවන්ට අහිතකර වන ගිවිසුමේ සමහර වගන්ති උපුටා දැක්වීම වටී.

2025 ජුනි මාසයේ මිචෙලින් වැටුප් පත්‍රිකාවේ සඳහන් වැටුප් සහ 'ඇමුනුම් අංක 3' හි ලැයිස්තුගත කර ඇති දීමනා දීර්ඝ කරන බවට සඳහන් වන හතරවන වගන්තිය අවිනිශ්චිතතාවය තවත් වැඩි කරයි. මේ සියල්ල සිදු කෙරෙනුයේ, නිර්වචනය නොකල 'පවතින පදනමක්' යටතේ ය.

එහෙත්, එය ඔවුන්ගේ වැටුප් ව්‍යුහය හෝ සේවා කොන්දේසි පිලිබඳව පැහැදිලි බවක් ලබා නොදෙන අතර, එමඟින් සියැට් සමාගමට, පලපුරුදු මිචෙලින් ශ්‍රම බලකාය තමන්ගේම කොන්දේසි මත සූරාකෑමට දොර විවර වේ.

පස්වන වගන්තිය නිශ්චිතවම පවසා ඇත්තේ, මිචෙලින් සේවකයින් විසින් වරක් භුක්ති විඳි ප්‍රධාන ප්‍රතිලාභ තුනක් වන මිචෙලින් කොටස් (මිකො), මිචෙලින් ටයර් ප්‍රතිලාභ සහ සුභසාධන සාප්පු පහසුකම ඉවත් කරන බවයි.

සමාගම් දෙකෙන්ම රුපියල් මිලියන 3 ක වන්දි මුදලක් ඉල්ලා සිටින කම්කරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන නවවන වගන්තිය මඟින් පිරිනමනු ලබන්නේ—ඉල්ලා සිටින මුදලින් පහලොවෙන් එකක් පමනක් වන—රුපියල් 200,000 ක් පමනි; එම මුදල සමාගම් දෙක අතර බෙදී යන ආකාරය පිලිබඳ විස්තර නොමැත.

දොලොස්වන වගන්තිය මගින්, කොලඹ පිහිටි මිචෙලින් මධ්‍යම ඉංජිනේරු අංශයේ (මඉංඅං) සහ අපනයන හරිත පරිශ්‍රයේ (අහප) සේවකයින් කිලෝමීටර් 161 ක් දුරින් පිහිටි මිදිගම පිහිටි සියැට් කර්මාන්ත ශාලාවට මාරු කිරීම දක්වා ඇත.

යලි ස්ථානගතවීමට එකඟ වන අයට රුපියල් 420,000 ක් පිරිනමන නමුත්, ප්‍රවාහන විධිවිධාන හෝ නවාතැන් පහසුකම් ගැන කිසිදු සඳහනක් නොමැති අතර, එමඟින් සේවකයින්ට යලි ස්ථානගතවීමට හෝ රැකියා අහිමිවීම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවේ.

දාහතරවන වගන්තියෙන් හෙලි වන්නේ වෛද්‍ය හේතු මත පදනම්ව ස්වේච්ඡා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා සියැට්, අසසේස සමඟ සාකච්ඡා කරන බවයි. මෙය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිලිබඳව වගන්තියේ කිසිදු පැහැදිලි කිරීමක් නොමැත. සමාගම සමඟ වෘත්තීය සමිතියේ සම්බන්ධතාවය, රෝගාබාධ ඇති සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය පිලිබඳ උත්සුකය මතු කරයි.

'මෙය, මතභේදය අවසන් කරන සම්පූර්න හා අවසාන විසඳුම බවට පාර්ශවයන් එකඟ වන' බවට පුලුල් ප්‍රකාශයක් සමඟ ගිවිසුම අවසන් වන අතර එමඟින් තවදුරටත් සාකච්ඡා සඳහා දොරටු වසා දමයි. මේ අනුව, නීති විරෝධී ලෙස දඬුවම් ලැබූ සේවකයින් තිදෙනා නැවත සේවයේ පිහිටුවීමේ ඉල්ලීම ඇතුලුව සේවකයින් විසින් කරන ලද එක ඉල්ලීමක්වත් ඉටු වී නැත.

මෙම වර්ධනයන් මිචෙලින් සේවකයින්ට පමනක් නොව සමස්තයක් ලෙස කම්කරු පන්තියටම ප්‍රතික්ෂේප කල නොහැකි පාඩම් කියා දෙයි: පලමුව, වෘත්තීය සමිති නිලධරයන් සේවකයින් නොව සේවායෝජකයා නියෝජනය කරයි; එකම පිලිවෙත අනුගමනය කරන අනෙකුත් සියලුම වෘත්තීය සමිති නිලධරයන් මිදිගම සේවක අරගලය ආරක්ෂා කිරීමට අත එසවූයේ නැත.

දෙවනුව, කම්කරු ජනතාව ආරක්ෂා කිරීම සඳහා පවතින බවට සඳහන් වන කම්කරු දෙපාර්තමේන්තුව ඇතුලු රාජ්‍ය ආයතන, ඇත්ත වශයෙන්ම සේවය කරන්නේ ධනේශ්වර දේපල පද්ධතියේ අවශ්‍යතා වෙනුවෙනි.

කම්කරු පන්තියට තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කල හැක්කේ, වෘත්තීය සමිති නිලධරයන්ට ඉඩ නොදී, සියලු ධනේශ්වර පක්ෂවලින් සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් බිඳී තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින්, තම ස්වාධීන ශක්තිය බලමුලු ගැන්වුවහොත් පමනි.

ජුනි 2 වන දින, සසප විසින් කරන ලද ආයාචනයට ප්‍රතිචාර දක්වමින්, මිදිගම මිචෙලින් කම්කරුවන්, ඔවුන්ගේ ජාත්‍යන්තර සගයින්ගේ සහයෝගීතාවය සඳහා ආයාචනා කරමින් ප්‍රධාන පියවරක් ඉදිරියට තැබීය. වැදගත් දෙය නම්, ලොව පුරා මිචෙලින් කම්කරුවන් එක හා සමාන තත්වයන්ට සහ සමාන අරගලයකට මුහුන දෙන බව මෙම ආයාචනය මගින් හඳුනා ගැනීමයි.

මෙම ආරම්භකත්වය වර්ධනය කල යුතුය: කම්කරුවන්, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) සමග එක්සත් වී ධනේශ්වර ලාභ ක්‍රමයට එරෙහි ජාත්‍යන්තර කම්කරු අරගල සමග සම්බන්ධ විය යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන්ට සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රහාරයන්ට මුහුන දී සිටින මිදිගම සහ පෞද්ගලික හා රාජ්‍ය අංශවල අනෙකුත් කම්කරු කොටස් අතර මෙම අරගලය වර්ධනය කිරීම සඳහා ඔබට සහාය වීමට කක්‍රිකසා සහ සසප ඔබ සමග සිටී.

Loading