ජවිපෙ/ජාජබ ආන්ඩුව මර්දනකාරී පොලිස් යාන්ත්‍රනය පුලුල් කිරීමට සූදානම් වේ

[මෙය Sri Lankan government to expand repressive police apparatus යන මැයෙන් 2025 ජූනි 20 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, වයස අවුරුදු 45 ට අඩු නීත්‍යානුකූලව විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් 10,000 ක්, සහායක බලකායක් ලෙස වසර පහක කාලයක් සඳහා පොලිස් බලකායට බඳවා ගැනීමේ සැලැස්මක් නිවේදනය කර තිබේ.

රැස්වීම අමතන මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල [Photo by Facebook/Sri Lanka Police]

මෙම පියවර ගන්නේ, පොලිසියේ “හිඟයන්ට” ආමන්ත්‍රනනය කිරීමේ සහ “මහජන ආරක්ෂාව ශක්තිමත් කිරීමේ” මුවාවෙනි. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ජුනි 9 වන දින උතුරු මැද පලාතේ තඹුත්තේගම පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ දී මෙම සැලැස්ම හෙලි කලේ ය. කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කරමින් පවතින බව අමාත්‍යවරයා පැවසී ය.

පොලිසියේ පහල නිලයන් සඳහා ස්ථිර පදනමක් මත නව නිලධාරීන් 5,000 ක් බඳවා ගැනීමටත්, සේවය ශක්තිමත් කිරීම සඳහා විවිධ නිලයන් හරහා උසස්වීම් ලබා දීමටත් සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා තවදුරටත් විස්තර කලේය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසන්නේ, “බොහෝ කලක් තිස්සේ හිඟයක්” පවතින බවත්, පුරප්පාඩු 22,000 ක් ඇති බවත්‍ ය. පොලිස් වෙබ් අඩවියට අනුව, සහායක බලකාය සහ නව බඳවා ගැනීම් පොලිසියට ඒකාබද්ධ කිරීමට නියමිත ය; එහි දැනටමත් නිලධාරීන් 90,000 කට වඩා සිටී.

එය හුදෙක් සංඛ්‍යා පිලිබඳ කාරනයක් නොවේ—ජවිපෙ/ජාජබ ආන්ඩුව දැවැන්ත රාජ්‍ය මර්දන යාන්ත්‍රනයක් ශක්තිමත් කරමින් සිටී.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බොහෝ දෙනෙකුට, 1983 සිට බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ව වසර 26 ක් පුරා පැවති දෙමල විරෝධී වාර්ගික යුද්ධයේ සටන් අත්දැකීම් තිබේ. ඔවුන් පොලීසියට ඇතුලත් කිරීම, කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ ඕනෑ ම විරෝධයක් ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීම අරමුනු කරගත් රාජ්‍ය යාන්ත්‍රනය මිලිටරිකරනය කිරීමේ තවත් පියවරක් සනිටුහන් කරයි.

සැලකිය යුතු කරුනක් නම්, ජුනි 20 වන විට සියලු ම ග්‍රාම නිලධාරී කොට්ඨාස පුරා මහජන ආරක්ෂක කමිටු 14,000 කට අධික සංඛ්‍යාවක් නිර්මානය කර ක්‍රියාත්මක කිරීමට නියමිත බව ආන්ඩුව නිවේදනය කර තිබීමයි.

මැයි 24 වන දින මාධ්‍ය වාර්තාවල අමාත්‍ය විජේපාලගේ ප්‍රකාශ උපුටා දක්වමින්, එම කමිටු “පොලිස්-ප්‍රජා සබඳතා ශක්තිමත් කිරීම, සාමය සහ ප්‍රාදේශීය ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම, අපරාධ සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට එරෙහි ව සටන් කිරීම සහ ආගම් අතර සමගිය සහ සමාජ සහජීවනය දිරිමත් කිරීම” සඳහා ක්‍රියා කරනු ඇති බව පැහැදිලි කර තිබුනි.

මෙම කමිටුවලට, නම් කරන ලද පොලිස් නිලධාරියෙකු සහ සිවිල් සාමාජිකයින් ඇතුලත් වේ. සිවිල් සාමාජිකයින් අතරට විශ්‍රාමික රාජ්‍ය සේවකයින්, හිටපු පොලිස් සහ හමුදා නිලධාරීන් සහ තරුන නියෝජිතයින් ඇතුලත් වේ. ඔවුන්ට වසර තුනක කාලයක් සඳහා පත්වීම් ලිපි ලැබෙනු ඇත. ඔවුන්ට වැටුපක් ගෙවනු ලබන්නේද යන්න පැහැදිලි නැත.

ප්‍රාදේශීය පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට (ඕඅයිසී) මාසික ප්‍රගති සමාලෝචන පැවරෙනු ඇත. ප්‍රදේශයේ පොලිස් කොට්ඨාස අධීක්ෂනය කරන සහකාර පොලිස් අධිකාරීවරුන් වන උසස් නිලධාරීන් විසින් ද්විමාසික සමාලෝචන පවත්වනු ලැබේ.

මෙහි තේරුම නම්, මෙම ඊනියා සිවිල් ආරක්ෂක කමිටු (සිආක) පොලිසිය යටතේ ක්‍රියාත්මක වන බලවේගයක් ලෙස ආයතනීකරනය කිරීමට නියමිත බවයි.

යුද්ධය අතරතුර, එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 2008 දී මීට සමාන කමිටු පිහිටුවන ලද අතර එමඟින් පොලිසියට බුද්ධි තොරතුරු සපයන ලදී. 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වීමෙන් පසු මෙම කමිටු අහෝසි වූ නමුත්, රාජපක්ෂ 2011 දී ඒවා නැවත පන ගැන්වීමට උත්සාහ කල මුත් එතරම් සාර්ථක නොවී ය. පසුව පැමිනි ආන්ඩු ද එවැනිම කෙටි කාලීන උත්සාහයන් ගෙන ඇත.

දැන් ජවිපෙ/ජාජබ ආන්ඩුව මහජන ආරක්ෂක කමිටු ආකෘතිය නැවත ස්ථාපිත කිරීමටත්, ඒවා ආයතනගත කිරීමෙන් නිසි ලෙස ක්‍රියාත්මක වන බව සහතික කිරීමටත් උනන්දු වී සිටී.

ජුනි 1 වන දින අයිලන්ඩ් හි ප්‍රධාන ලිපියක් පැහැදිලි කලේ, එවැනි කමිටු පිහිටුවීමේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති බවයි. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින්, පත්වීම් ලබා දීමට පෙර අයදුම්පත් කැඳවා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන ලද බව සඳහන් කර තිබුනි.

“නමුත් දැන්, නව නියෝගයකින් කියැවෙන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ සාමාජිකයින් දෙදෙනෙකු එක් එක් කමිටුවට ඇතුලත් කල යුතු බවයි. සෑම ප්‍රදේශයකම පාහේ, මෙම පත්වීම්ලාභීන් ජවිපෙ සාමාජිකයින් බව පෙනේ,” යයි නිලධාරියා පවසා තිබේ. ක්ලීන් ශ්‍රී ලංකා යනු ආන්ඩුවේ ව්‍යාපෘති වලින් එකකි.

කෙසේ වෙතත්, මෙම නව කමිටු, දේශපාලන විරුද්ධවාදීන්ට සහ අරගලයේ යෙදී සිටින කම්කරුවන්ට එරෙහි ව නිරීක්ෂන, බුද්ධි තොරතුරු රැස් කිරීම සහ මර්දනය සඳහා යාන්ත්‍රන බවට පත්වනු ඇත.

ආන්ඩුව හමුදා නිලධාරීන් සහ අනෙකුත් පියවරයන් සමඟ පොලීසිය ශක්තිමත් කිරීම, කම්කරු පන්තිය සහ තරුනයින් බරපතල අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද තවත් දැඩි පියවර ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙමින් සිටී. රාජ්‍ය ව්‍යවසායන් සහ රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම මෙයට ඇතුලත් වේ; එමඟින් ලක්ෂ සංඛ්‍යාත රැකියා විනාශ වන අතර සේවා කොන්දේසි කප්පාදු කෙරේ. මහජන සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා දුරදිග යන කප්පාදු ද සිදුවනු ඇති අතර, අනෙකුත් කප්පාදු පියවර අතර ඒවා පෞද්ගලික අංශයට විවෘත කරනු ඇත.

ආන්ඩුව සිසුන් ඇතුලු තරුනයින්ගෙන් තියුනු ප්‍රතිරෝධයක් අපේක්ෂා කරයි. පසුගිය මාස හය තුල පාලක ජවිපෙ/ජාජබ ආන්ඩුව ගුරුවරුන්ගේ සහ ශිෂ්‍ය විරෝධතා ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීමට පොලිසිය යෙදවීය.

දෙසැම්බර් 2 වන දින, ගුරු සේවයට අන්තර්ග්‍රහනය කරන ලෙස ඉල්ලා සිටි පාසල් සංවර්ධන නිලධාරීන් විසුරුවා හැරීම සඳහා කැරලි මර්දන පොලිසිය ඇතුලු පොලිසිය යොදවන ලදී. පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීමේ චෝදනාව මත විරෝධතාකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී—එම චෝදනාව අසත්‍ය බව පසුව ඔප්පු විය.

මාර්තු 28 වන දින, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් කොලඹ සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූහ. පොලිසිය විසින් මෙම ක්‍රියාව ප්‍රචන්ඩ ලෙස මර්දනය කරන ලද අතර, 27 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

අප්‍රේල් 6 වන දින, එම ස්ථානයේම සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ තවත් විරෝධතාවක් මර්දනය කිරීමේදී, නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපතිවරන සහ පාර්ලිමේන්තු මැතිවරන අතරතුර, ජවිපෙ/ජාජබ ප්‍රකාශ කලේ, අත්තනෝමතික ලෙස පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට, දිගු කාලයක් රඳවා තබා ගැනීමට සහ—බොහෝ විට වධහිංසා යටතේ ලබා ගන්නා—පාපොච්චාරන අධිකරනයේ සාක්ෂි ලෙස භාවිතා කිරීමට පොලිසියට පුලුල් බලතල ලබා දෙන, පිලිකුලට පාත්‍ර වූ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) අවලංගු කරන බවයි.

බලයට පත්වීමෙන් පසු මෙම පොරොන්දුව අත්හැර දැමූ අතර, අධිකරන අමාත්‍ය හර්ෂන නානායක්කාර, ඒවා අවශ්‍ය බව පවසමින්, නව ත්‍රස්ත විරෝධී නීති කෙටුම්පත් කරන්නේ කෙසේද යන්න පිලිබඳව අදහස් රැස් කිරීම සඳහා ආන්ඩුව කමිටුවක් පත් කර ඇති බව පැවසීය. මෙම කමිටුව මිනිසුන් රැවටීමේ තවත් උපක්‍රමයක් පමනි.

පාලක ජවිපෙ/ජාජබ ආන්ඩුව, ප්‍රජාතන්ත්‍රවාදීව, තවදුරටත් කප්පාදු පියවර ක්‍රියාත්මක කල නොහැකි බව හොඳින් දනී. 2022 අප්‍රේල්-ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ පැවති මහජන ව්‍යාපාරය පාලක පන්තිය තුල හොල්මන් කරයි. පසුගිය ආන්ඩුව විසින් පනවා ඇති ආර්ථික අර්බුදයේ දරාගත නොහැකි බරට එරෙහිව මිලියන සංඛ්‍යාත වැඩ කරන ජනතාව නැගී සිටි අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට බල කෙරුනි.

සියලුම ධනේශ්වර පක්ෂ, ජාමූඅ ප්‍රතිපත්ති වලටත්, රජයේ මර්දනකාරී පියවරයන්ටත් සහාය දක්වයි. ආන්ඩුව පොලිස් රාජ්‍ය, පාලන ක්‍රම කරා වේගයෙන් ගමන් කරන විට වෘත්තීය සමිති නිලධරයේ නිහඬතාවය, එහි දුස්සහාය පෙන්නුම් කරයි.

සියලු ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව, සෑම වැඩබිමක ම තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින්, තම ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. ඒ හා සමාන ව, ග්‍රාමීය ජනතාව තම තමන්ගේ ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු පිහිටුවීම හදිසි අවශ්‍යතාවයකි.

කප්පාදු පියවරයන්ට සහ රාජ්‍ය මර්දනයට එරෙහි සටන සම්බන්ධීකරනය කිරීම සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට, ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කරයි.

Loading