[මෙය Sri Lankan police file criminal charges against Alton Estate workers යන මැයෙන් 2025 ජූනි 17 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ශ්‍රී ලංකා පොලිසිය විසින්, මධ්‍යම වතුකරයේ මස්කෙලිය අසල ඕල්ටන් වතුයායේ කම්කරුවන් 26 දෙනෙකුට එරෙහිව අපරාධ චෝදනා මාලාවක් ගොනු කර තිබේ. මෙම නඩුව වසර හතරකට වැඩි කාලයක් ඇදී යාමෙන් පසු, මැයි 28 වන දින හැටන් මහේස්ත්‍රාත් අධිකරනයේදී වින්දිත කම්කරුවන්ට එරෙහිව චෝදනා පත්‍රයක් නිකුත් කරන ලදී. ඔවුන්ගේ නඩුව සැප්තැම්බර් 10 වන දින විභාග කෙරේ.
විත්තිකරුවන්ට එරෙහිව චෝදනා හතක් ගොනු කර තිබේ. වතු කලමනාකරු සත්‍යමූර්ති සුභාෂ් නාරායනන් සහ සහකාර කලමනාකරු අනූෂන් තිරුචෙල්වම් යන අයට පහර දීමේ අරමුනින් රැස්වූ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම; අත්, පාද සහ පොලුවලින් පහර දී බරපතල තුවාල සිදු කිරීම; සහ වතු කලමනාකරුගේ නිවසට පහර දීමෙන් රුපියල් 27,684 ක අලාභයක් සිදු කිරීම යන චෝදනා ඊට ඇතුලත් ය.
ඕල්ටන් වතු කම්කරුවන්ට රටේ දන්ඩ නීති සංග්‍රහය යටතේ අධිචෝදනා ගොනු කර ඇති අතර, ඔවුන් වරදකරුවන් වුවහොත් වසර හතක බරපතල සිර දඬුවමක් සහ විශාල දඩ මුදල් නියම කල හැකිය.
චෝදනා එල්ල වී ඇති අය: මරුක්කු කංකානම්ගේ චාන්දනී, සෙම්බන් පුවනේෂ්වරී, ෆ්‍රැන්සිස් තෙරේසා අම්මා, මුන්නුසාමි යෝගශක්ති, ගෝවින්දරාජ් සතිස්වරී, කනපති දේවි, මාරිමුත්තු තමිල් චෙල්වි, ආන්ඩිමුත්තු විශ්වකේතු, සිවපෙරුමාල් වික්නේෂ්වරන්, පලනි අමිර්තලිංගම්, කේ චිදයියම්බාම්තාන්, කේ. තංකුසාමි පුෂ්පවල්ලි, චන්ද්‍රබෝස් ස්වර්නදේවි, රාමලිංගම් විනෝතිනී, රාමචන්ද්‍රන් කවිතාමනී, පලනියාන්ඩි සෙල්වකුමාරි, අනර් පරිමලා දේවි, දොරසාමි තිලකාවතී, සුබ්‍රමනියම් සෙව්වන්දි, කාලේශ්වරම් ප්‍රියදර්ශනී, නිලමේගම් ප්‍රියදර්ශනී, මුත්තුසාමි වසන්තා මලාර්, පරසුරමමරි, මුත්තුසාමි වසන්තා මලර්.
2021 පෙබරවාරි මස අග සහ මාර්තු මස මුලදී අත්අඩංගුවට ගත් ඕල්ටන් වතු කම්කරුවන් පොලිසියේ සහ කලමනාකරුගේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත. 2021 මාර්තු 22 වන දින, එම බොරු චෝදනා මත, ඕල්ටන් වතුයාය කලමනාකරනය කරන හොරන ප්‍රාදේශීය වැවිලි සමාගම (හොප්‍රාවැස) විසින් වහාම සේවයෙන් පහ කරන ලද සේවකයින් 38 දෙනා අතර ඔවුන් ද විය.
දෙමල භාෂාව මව්බස ලෙස කතා කරන කම්කරුවන් 26 දෙනාට චෝදනා පත්‍ර නිකුත් කර ඇත්තේ සිංහල භාෂාවෙනි. මෙය ඔවුන්ගේ ව්‍යවස්ථාපිත සහ නීතිමය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි; එහි සඳහන් වන්නේ, ඔවුන්ට ඔවුන්ගේ මව් භාෂාවෙන් සියලුම නිල හෝ නීතිමය ලියකියවිලි ලබා දිය යුතු බවයි.
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව (වකක්‍රික), මෙම කම්කරුවන් පන්ති-යුද්ධයේ ගොදුරු බවට පත්ව ඇති බව ප්‍රකාශ කරන අතර සියලු චෝදනා ඉවත් කරන ලෙස බලකර සිටී.
මෙම කුරිරු මර්දනයෙන් තම සගයන් ආරක්ෂා කරන ලෙස සසප සහ වකක්‍රික සියලුම වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාව පුරා සිටින කම්කරුවන් තම පන්ති සහෝදර සහෝදරියන් ආරක්ෂා කල යුතු අතර බොරු චෝදනා ඉවත් කර, ඕල්ටන් වත්තේ සියලුම කම්කරුවන්ට ඔවුන්ගේ සියලු වැටුප් ආපසු ලබා දී නැවත පූර්න සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටිය යුතුය.
ආරම්භයේ සිටම—ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සංගමය, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය, කඳුරට ජනතා පෙරමුන සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරන සමස්ත ලංකා වතු කම්කරු සංගමය යන—වතු වෘත්තීය සමිති නිලධරයන්, වින්දිත ඕල්ටන් වතු කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා තම සාමාජිකයින් බලමුලු ගැන්වීම ප්‍රතික්ෂේප කලහ. දැන් ඔවුන් නිල පොලිස් චෝදනා සම්බන්ධයෙන් සාපරාධී නිහඬතාවයක් පවත්වා ගෙන යන අතර, එමඟින් මෙම මර්දනයට සහාය පල කරති.
වෘත්තීය සමිති නිලධරයන්ගේ පිටුබලය ද, අනුප්‍රාප්තික ආන්ඩුවල ආශිර්වාදය ද ඇතිව, වතු සමාගම සහ පොලීසිය විසින් මෙම කම්කරුවන් දඩයම් කරනු ලබන්නේ ඇයි?
ජීවත් වීමට සරිලන වැටුපක්, වඩා හොඳ සේවා කොන්දේසි සහ යහපත් නිවාස, අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් ඉල්ලා සිටි වතු කම්කරුවන් 150,000 ක් පමන විසින් වසර හතරකට පෙර ගත් අධිෂ්ඨානශීලී කාර්මික ක්‍රියාවක කොටසක් ලෙස කටයුතු කිරීම නිසා ඕල්ටන් වතු කම්කරුවන් ඉලක්ක කර ගෙන ඇත.
මෙයට වතු සමාගම් දැඩි ලෙස විරුද්ධ වූ අතර, මෙය ගෝලීය වෙලෙඳපොල තුල කර්මාන්තයේ තරඟකාරිත්වය අඩු කරනු ඇතැයි කියා සිටියේය. සියලුම වතු සේවා යෝජකයින් වෙනුවෙන් ක්‍රියා කරමින් හොප්‍රාවැස උත්සාහ කරන්නේ, සියලුම වතු කම්කරුවන් බිය ගන්වා, වඩා යහපත් කොන්දේසි සඳහා සටන් කිරීම වැලැක්වීමටත්, සමාගමේ සියලු ඉල්ලීම්වලට යටත් කිරීමටත් ය.
2021 පෙබරවාරි 2 වන දින ඕල්ටන් වතු කම්කරුවන් වැඩ වර්ජනය කල අතර දින තුනකට පසු, රුපියල් 1,000 ක දෛනික වැටුපක් ඉල්ලා, ලක්ෂ සංඛ්‍යාත වතු කම්කරුවන් සම්බන්ධ වූ ජාතික වැඩ වර්ජනයට එක් විය.
ඕල්ටන් වතුයායේ කම්කරුවන් මාර්තු 29 වන දින දක්වා සිය වැඩ වර්ජනය දිගටම කරගෙන ගිය අතර, පෙබරවාරි 17 වන දින, සෙසු කම්කරුවන්ට හිරිහැර කිරීම නවත්වන ලෙස ඉල්ලමින්, කලමනාකරුගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ. මෙම සිදුවීම ඩැහැගනිමින්, කම්කරුවන් කලමනාකරුට සහ ඔහුගේ සහායකයාට පහර දුන් බවට සහ නිවසට හානි කල බවට බොරු චෝදනා එල්ල කරන ලදී.
පොලිසිය, විරෝධතාවයට සහභාගී වූ බවට චෝදනා ලැබූ කම්කරුවන් දඩයම් කිරීම වහාම ආරම්භ කලේය. ඕල්ටන් වත්තේ කම්කරුවෝ, ඇතැම් කම්කරුවන්ගේ නම් පොලිසියට ලබා දුන් බවටත්, ඇතැමුන්ගෙන් පොලිසියට යටත් වන ලෙස ඉල්ලා සිටි බවටත් සීඩබ්ලිව්සී ප්‍රාදේශීය නිලධාරීන්ට චෝදනා කරති.
සේවයෙන් පහ කරන ලද කම්කරුවන් 38 දෙනාගෙන් 13 දෙනෙකු විසින්, හිඟ වැටුප් සමඟ ඔවුන් නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටිමින්, හොප්‍රාවැස ට එරෙහිව හැටන් කම්කරු විනිශ්චය සභාවට ගොනු කරන ලද නඩුවකට ලැබුනු ප්‍රතිචාරයෙන් සමාගමේ දඩයමේ කුරිරු ස්වභාවය හෙලිදරව් විය.
මෙම වසරේ ජනවාරි මාසයේදී විනිසුරුවරයා නඩුව නිෂ්ප්‍රභ කල අතර, එය පැමිනිලිකරුවන්ට ම එරෙහිව හැරවීය. හොප්‍රාවැස ට පක්ෂව තීන්දුව ලබා දෙමින්, සමාගමේ නීතිමය වියදම් පියවා ගැනීම සඳහා සේවකයින් 13 දෙනාට රුපියල් 7,500 බැගින් ගෙවන ලෙස ඔහු නියෝග කලේය.
පෙර නොවූ විරූ මෙම තීන්දුව සීඩබ්ලිව්සී නිලධාරීන් විසින් අභියෝගයට ලක් නොකල අතර ඔවුන් එයට එරෙහිව කිසිදු අභියාචනයක් ඉදිරිපත් කලේ නැත. සේවයෙන් පහ කරන ලද තවත් සේවකයින් 17 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම ඉල්ලා ගොනු කල වෙනම නඩුවක තීන්දුව තවමත් විභාග වෙමින් පවතී.
ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව වැඩ කරන ජනතාවට විවිධ සමාජ සහන ලබා දෙන බවට පොරොන්දු වෙමින් බලයට පත් වූ නමුත්, ඕල්ටන් වතු කම්කරුවන් මර්දනය කිරීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජ කප්පාදු ප්‍රහාර ක්‍රියාත්මක කිරීම ද අඛන්ඩව සිදු වේ. පෞද්ගලිකව කලමනාකරනය කරන වතු කර්මාන්තය සහ අනෙකුත් ප්‍රධාන කර්මාන්ත ප්‍රතිව්‍යුහගත කිරීම මෙයට ඇතුලත් ය.
වතු සමාගම් 'ආදායම් බෙදා ගැනීමේ යෝජනා ක්‍රම' හඳුන්වා දීමට පටන් ගෙන ඇති අතර, ඒ යටතේ තේ පඳුරු වලින් යම් ප්‍රමානයක් කම්කරුවන්ට පවුලේ සහයෝගය ඇතිව නඩත්තු කිරීම සඳහා වෙන් කරනු ලැබේ; අස්වැන්න නැවත සමාගමට විකුනනු ලබන අතර ආදායමෙන් කුඩා කොටසක් ඔවුන්ගේ කොටස ලෙස ආපසු ලබා දෙනු ලැබේ.
මෙම අතිශය සූරාකෑමේ ක්‍රමය මගින් අරමුනු කර ඇත්තේ, සාම්ප්‍රදායික වැටුප් ක්‍රමය ප්‍රතිස්ථාපනය කිරීම, විශ්‍රාම වැටුප් සහ අනෙකුත් මූලික අයිතිවාසිකම් අහෝසි කිරීම සහ කම්කරුවන් නූතන අඳ ගොවීන් බවට පරිවර්තනය කිරීමයි. ලාභ නොලබන වතු කෘෂිකාර්මික හා උද්‍යාන විද්‍යාත්මක ව්‍යාපෘති බවට පරිවර්තනය කිරීම ද මෙම ප්‍රතිව්‍යුහකරන ව්‍යාපෘතියට ඇතුලත් වේ.
පෙබරවාරි 17 වන දින සිය අයවැය කතාවේදී ජනාධිපති දිසානායක ප්‍රකාශ කලේ, දෛනික වැටුප රුපියල් 1,700 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් තම ආන්ඩුව සමාගම් සමඟ සාකච්ඡා කරන බවයි; නමුත් වතු කම්කරුවන් සඳහා කිසිවක් වෙනස් වී නොමැත.
මෙම වැටුප් යෝජනාව සහ පූර්ව ආන්ඩු විසින් ලබා දුන් ඒ හා සමාන හිස් පොරොන්දු, ඉහල ශ්‍රම පිරිවැය ගැන නැවත නැවතත් පැමිනිලි කරන වතු සමාගම් විසින් ප්‍රතික්ෂේප කර උපාමාරු දමා ඇත. 2022 සිට ජීවන වියදම් දර්ශකය දෙගුනයකට ආසන්න වී ඇතත්, ස්ථිර සේවකයින්ට දැන් ලැබෙන්නේ රුපියල් 1,350 ක දෛනික වැටුපකි.
ආන්ඩුවේ සහ වතු වෘත්තීය සමිතිවල සහාය ඇතිව ඕල්ටන් වත්තේ සේවකයින් 26 දෙනා සිරගත කිරීමට හොප්‍රාවැස දරන උත්සාහය, වතු කම්කරුවන්ට පමනක් නොව සමස්ත කම්කරු පන්තියටම එල්ල කරන බරපතල ප්‍රහාරයක් වන අතර එය පරාජය කල යුතුය.
සෑම වත්තකම, සියලුම වෘත්තීය සමිති නිලධරයන් බැහැර කරමින්, ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන ස්වාධීන සංවිධාන, එනම්, කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. මෙම ක්‍රියාකාරී කමිටු, මහා ව්‍යාපාර, ධනේශ්වර ආන්ඩු සහ ලාභ පද්ධතියට විරුද්ධ වන සමාජවාදී වැඩපිලිවෙලක් මත ජාත්‍යන්තරව ඔවුන්ගේ අරගල ඒකාබද්ධ කිරීම අරමුනු කරගත්, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනැගීමේ සටන සමඟ පෙල ගැසිය යුතුය.
ඕල්ටන් වත්තේ 26 දෙනා රාජ්‍ය දඩයමට ලක්කිරීම අවසන් කිරීම සඳහා සටන් කිරීමට ව්‍යාපාරයක් දියත් කල යුතුය. මෙය සමග පහත ඉල්ලීම් සමඟ සම්බන්ධ කල යුතුය:
• යහපත් ජීවතයක් ගත කිරීමට සරිලන, ජීවන වියදමට අනුකූලව වැඩිවන මාසික වැටුපක්.
• උසස් තත්ත්වයේ නිවාස, පාසල් සහ රෝහල්
• ජාමූඅ කප්පාදු එපා!
ඕල්ටන් වතු කම්කරුවන්ට එල්ල කරන ලද හිංසා පීඩා සහ රාජ්‍ය මර්දනය නැවත වරක් පෙන්නුම් කර ඇත්තේ, මහා වතු සමාගම් ජනසතු කිරීමේ අවශ්‍යතාවයයි; ඒවා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ තැබිය යුතුය. මෙය, දිසානායක ආන්ඩුවේ ජාමූඅ කප්පාදු පියවරයන්ට එරෙහිව, සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත, කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සියලුම ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ පුලුල් අරගලයක කොටසක් විය යුතුය.